Daily Archives: අප්‍රේල් 6, 2011

2011 අප්‍රේල් 06 : ගිය පාරත් දුන්න බැටේ,…. මේ පාරත් දුන්න බැටේ……


අද අන්තර් දෙපාර්තමේන්තු වොලිබෝල් තරඟාවලියේ අවසාන (මහා) තරඟය. සුපුරුදු පරිදි අපි (Free Radicals) ගිය සතියේ අවසාන වටයට තේරුණා. අනෙක් කණ්ඩායම වුනේ Rock-ets කියන කණ්ඩායම, ඔවුනුත් අපි වගේම දක්‍ෂයි… (ඔවු අපි දක්‍ෂයි තමයි….) කොහොම වුනත් පළමු වටය අපි පරාද වුනේ 25-19 ක් වශයෙන්…. දෙවන සහ තුන්වන වට අපි 07-25 සහ 15-25 වශයෙන් ජයගත්තා… නමුත් සෑහෙන සටනක් දෙන්න වුනා…. මේ පාරත් ගියපාර වගේම බැටේ දුන්නත්, මේ පාර ටිකක් වෙන්න අමාරු වුනා….. මේ ඉන්නේ ගියපාර දිනුව කණ්ඩායම… ගියපාර නම් පදක්කමක් ලැබුණා.. මේ පාර ලැබුණේ විශ්ව විද්‍යාලයේ නම සටහන් කළ ප්ලාස්ටික් වතුර බෝතලයක්.. අර ලංකාවේ ටී ෂර්ට් එකක් දාගෙන ඉන්න පිටිපස්සේ ඉන්න උසම උස එක්කෙනා තමයි මම… දැක්කාම අඳුරගන්න පුළුවන් වේවි කියලා හිතෙනවා…

වොලිබෝල් ගහන එකත් ලේසි පාසු කෙලියක් නොවෙයි…. දන්න අය දන්නවනේ කොහොමද අතපය රිදෙන්නේ කියලා… ඉස්සර දවසකත් මම දිනපොතේම ලියලා තිබුණනේ කොහොමද මම වොලිබෝල් ක්‍රීඩාවට යොමු වුනේ කියලා… ඒ නිසා ආයෙම ලියනඑකේ තේරුමක් නෑ…

෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴

අද අපේ නිවසට අළුතෙන් සාමාජිකයෝ තුන් දෙනෙක් එකතු වෙලා… පැටියට ගෙනා සීබ්‍රාස් මැළු ජෝඩුව පැටවු දාලා… දන්නෙත් නෑ.. ඊයෙ රෑ කෑම දාන්න යනකොට තමයි දැක්කේ… ඉක්මනටම දෙමාපියනුයි දරුවො ටිකයි පොඩි ටැංකියකට දැම්මා… අනිත් එවුන්ට මොනව වෙලාද දන්නෙ නැ.. ගෝල්ඩ් ෆිෂ් ලා කාලාද ? නැත්නම් ෆිල්ටරේ හිර වෙලාද දන්නෙ නෑ….
මේ සිදුවීම පැටියට අළුත් දෙයක්… දැන් ඔන්න මාළුන්ට පැටවු හම්බවෙන එක ගැන අහනවා… මිනිහා ඩොල්ෆින් සහ තල්මස්සු ගැන නම් හරිම උනන්දුයි.. දැන් ඒ ගැන සෑහෙන පොත් අපට කියලා කියවගෙන තියෙනවා… ඒ නිසා අපිත් සෑහෙන දැනුමක් ලබාගත්තා තල්මස්සු යි ඩොල්ෆින්ලායි ගැන…. පොඩි එවුන් නිසා අපිත් ඉගෙන ගන්නවා කියන්නේ මෙන්න මේ නිසා…..

෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴.
අද දවසත් ටිකක් වෙන්න කාර්ය බහුලයි.. උදේ වරුවෙම කළේ එක්තරා සංයෝගයක් වෙන් කරන වැඩක්… බොහොමයක් අකාබනික සංයෝග සැදී තිබෙන්නේ ලෝහ පරමාණු එකක් හෝ කිහිපයක් කාබනික සංයෝග වන ලිගන (Ligands) සමඟ සංයෝජනය වීමෙන්. (ලිගන කියන වචනය මම ගත්තේ අපොස උසස් පෙළ විෂය නිර්දේශයෙන්) මේ නිසා මේ සංයෝග විවිධ ද්‍රාවණවල විවිධ ද්‍රාව්‍යතාවයන් පෙන්නනවා.. මේ නිසා සුදුසු ද්‍රාවණය සොයාගෙන ද්‍රාව්‍යතාවය අඩු ද්‍රාවණයක් සමඟ මිශ්‍ර කළ විට ඒවා අවක්‍ෂේපණය වනවා.. මෙමඟින් එම සංයෝගය පිරිසිදු කරගන්නට පුළුවන්.. මෙසේ පිරිසිදු කරගන්නා සංයෝගය න්‍යෂ්ඨික චුම්බක අනුනාද වර්ණාවලි දීප්තමානය (එහෙමත් නැත්නම් සිංහලෙන් කියනවා නම් Nuclear Magnetic Resonance Spectrophotometer) එක මගින් විශ්ලේෂණය කර පිරිසිදුභාවය නිර්ණය කරනවා… ඒ සියල්ල කරන්න උදේ වරුවම ගත වුනා.. ඉන් පසු වොලිබෝල් ගහලා ඇවිත් ඉතිරි වැඩ කළා… සවස වෙනත් විශ්ව විද්‍යාලයක මහාචාර්ය වරයෙකුගේ ආරාධිත දේශනයක් අසන්නට ගියා… ඇත්තෙන්ම එය ඝණ අවස්ථාවේ සිදු කරන ප්‍රතික්‍රියා වලින් ලබා ගන්නා සංයෝග ගැන කියැවුන තරමක නීරස දේශනයක්… වැදගත් යමක් තිබුනෙත් නැති නිසා පුටුවේ දිග ඇදිලා ටිකක් නිදියගත්තා… අපි එහෙමයි දේශන අහන්නේ….

ඔන්න ඔහොමයි අද දවස ගෙවුනේ…. දෙපාරක්ම වොලිබෝල් ශූරයො වෙච්චි එක ගැන නම් සතුටුයි.. තාත්තා තවත් පදක්කමක් ගෙදර ගෙනාවෙ නැති එක ගැන නම් ඇල්කෙමි පැටියා ඉන්නේ වැඩි මනාපෙකින් නොවෙයි… හැමදාම ඉතින් කැමති දේවල්ම ලැබෙන්නේ නැහැ නේ…..

%d bloggers like this: