Daily Archives: අප්‍රේල් 7, 2011

2011 අප්‍රේල් 07 : පුංචි සිත් සියුමැලියි…. මල් වගේ…. තැළුනොත් අවදානම්…..


අද උදේ නැගිටලා මාළු ටැංකියට කෑම දාන්න ගියාමයි තේරුණේ ඊයෙ වෙන්කරපු සීබ්‍රා මාව ජෝඩුව හිටිය ටැංකිය අපිරිසිදු වෙලා කියලා… ඉතින් ඒ දෙන්නයි පැටවු දෙන්නයි කුඩා භාජනයකට දාලා තිබ්බා පොඩ්ඩක් පිරිසිදු ජලය ලැබෙන්න… කොහොම වුනත් හිතාගෙන හිටපු දේ නෙවෙයි සිද්ධ වුනේ… භාජනය රවුම් නිසා මේ දෙන්නා රවුම් ගහන්න ගත්තා… වැඩේ හරියන්නේ නැති නිසා ආයෙම ලොකු දෙන්නා ලොකු ටැංකියට දැම්මා..ඒ දාල ටික වෙලාවක් යනකොට මාළු තාත්තා ෆිල්ටරේ අස්සේ හිර වෙලා…. අනේ අසරණ සතා මිය පරලොව ගිහින් කාටවත්ම නොකියා..

මේ දැකපු ඇල්කෙමි පැටියා මරහඬ දීලා හැඬුවා… එයාට හරිම දුකයි… මොනව කරන්නද ? මාළුවා වැසිකිළියට දාලා මුහුදට යවන්න සැලැස්වුවා.. එයාට දුක මාළු පැටවුන්ට තාත්තා කෙනෙක් නැති එක ගැන… කොහොම විස්තර කරන්නද ඉතින්…. ටික වෙලාවක් අඬලා නැවැත්වුවා… පස්සේ කියලා දුන්නා මාළු පැටවුන්ට තාත්තා කෙනෙක් නැති වුනා කියලා දුකක් නෑ. ඒ ගොල්ලලොන්ට හැමෝම තාත්තලා වගේ පේන්නේ කියලා… අම්මා නම් කිවුවා මීට පස්සේ පුංචි මාළු ගෙදර ගේන්නෙ නෑ කියලා…

මේක ලියන්නේ අපේ අළුත් තාත්තා නවම් ඇතුළු සැමදෙනා වෙනුවෙන්……

පුංචි සිත් හරිම පුදුමාකාරයි.. පොඩි දේකිනුත් සැලෙනවා.. ඒ අයගේ ලෝකය සීමා වෙලා තියෙන්නේ අම්මා තාත්තා සහ පවුල වටා සිටින කිහිප දෙනෙක් අතරේ… යන්තම් හෝ වෙසක් වුනොත් තදින් දැනෙනවා… ඒ වගේමයි ඒ වෙනස්වීම් ඔවුන්ගේ සිතට වදිනවා තදින්ම…. මේ රටේ අළුතෙන් පාසලකට ළමයෙක් ඇතුලත් කරනවිට අනිවාර්යයෙන් අහන ප්‍රශ්නයක් වන්නේ දරුවා ළඟකදී හිත් සසළ වන දෙයකට භාජනය වූවාද යන්නයි. එනම් පවුලේ වියෝවීමක්, සුරතල් සතකුගේ වියෝවක්, මිතුරු මිතුරියන්ගෙන් වෙන්වීමක්, දෙමාපියන් දික්කසාද වීමක්, පදිංචිය වෙනස් වීමක් වැනි දෙයක්. මෙයින් කරන්නේ අදාල පන්තියේ ගුරුතුමියට ඒ දරුවා කෙරෙහි විශේෂ සැලකිල්ලක් දැක්වීමට අවධානය යොමු කිරීමක්. මක් නිසාද යත් මෙවන් සිත් සසල වූ දරුවන් අනාගතයේදී විවිධ මානසික සංකූලතාවලට භාජනය වීමේ ප්‍රවණතාවය වැඩි නිසා. අප දරුවන් හදා ගැනීමට කරන සුව පහරදීමක් වුවත් ඔවුන්ගේ සිතට දැඩිව කා වදින්නට පුවවනි. මේ නිසා දරුවන් පිළිබඳව කටයුතු කිරීමේදී දැඩිව සැලකිළිමත් විය යුතුයි.

අපි පොඩි කාලෙ නම් අනන්තවත් ගුටි කාලා තියෙනවා.. එහෙම නොකළා නම් මේ ගානට වත් හැදෙන්නේ නැ… නමුත්, දැන් ඒ කාලෙ ගිහින්… පොඩි එවුන්ට ආදරෙන් කියන්න ඕන කාළය, නිසි පරිදි විනයගරුක කරන්න ඕන කාළය ඇවිත්.. ගහලා විතරක්ම හදන්න බෑ.. බැරිම තැන පොඩි තරවටු කිරීම් අවශ්‍යයි. නැතහොත් ඔවුනට දඬුවම කියන දෙය පිළිබඳ කිසිදු අගයක් නැතිව යනවා.. එසේමයි, ඔවුනට සියළුම දේවල සීමාවක් ඇති බව වටහා දෙන්න ඕනමයි.. සල්ලි තිබුණ පලියට සෑම දේම අරන් දෙන්න යාමෙන් වෙන්නේ ඔවුනට මුදල් පිළිබඳ අගයක් නැති වීම…

සෙල්ලම් බඩු වුනත් එහෙමයි, බෙදා හදාගැන්ම, නැති බැරි අයට බෙදා දීම කුඩාකළ සිටම පුරුදු කරන්නට ඕන. ඒ වගේමයි පරිසරයට, සතා සීපාවට ආදරය කිරීමට කුඩා කළ සිටම පුරුදු කරන්නට ඕන… අදහන ආගමක් අනුව කටයුතු කරන්නට, පන්සල් පල්ලි යන්නට දහම්පාසල් යාමට, කුඩා කල සිටම දරුවා හුරුකරන්න අවශ්‍යයි. එසේමයි, හොඳ පුරුදු, නිහතමානී හැසිරීම ගෙදරින් පුරුදු කල යුතුයි.. පාසලෙන් එවුන් බොහෝ දේ රැගෙන එනවා. හොඳ පුරුදු වලට වඩා නරක පුරුදු වැඩියි… මේ නිසාම ඔවුන්ගේ හැසිරීම කෙරෙහි නිතර අවධානයෙන් සිටිය යුතු වෙනවා. නිතරම පාසලේ සිදු වන කටයුතු පිළිබඳ ඔවුන්ගෙන් විමසා සිටීමෙන් අප ඔවුන්ගේ නොදකින පැත්තක් දකිනවා… සමහර විට ඔබම පුදුම වන්නට පුළුවන් ඔබ නොදන්නා දක්‍ෂතා දරුවන්ගෙන් පෙනෙනවිට…
මට වඩා මේ ගැන ලියන්න දන්න බොහෝ දෙනෙක් මේ අවකාශය තුළ සැරිසරනවා. මේ අයගේ දැනුමත් මෙතැනට එකතු වුනා නම් හෝ වෙනත් ලිපියකට එකතු වුනානම් අගෙයි..

තව ටිකකින් ඇල්කෙමිච්චියි පැටියයි ඒවි මාව එක්කගෙන යන්න… දැන් හැමදාම කතාවක් කියලා දෙන්න ඕන නිදාගන්න ඉස්සර… හොඳ වෙලාවට අම්මා මට කියාදීපු කතන්දර තාමත් මතකයි.. ඒ හැම කතාවක්ම යම් යම් ආදර්ශයක් ගතහැකි දේවල්.. ඒ නිසාම ඒ හැම කතාවක්ම අවසානයේ ගත හැකි ආදර්ශයත් කියන එක වැදගත්.. දැන් ඒ අයට නොතේරෙන්නට පුළුවනි… නමුත් නිතර නිතර ඇසීමෙන් ඔවුනට එය සිතට කාවදිනවා… නිව්යෝක් නුවර මහා ව්‍යාපාරිකයෙකු වන ඩොනල්ඩ් ට්‍රම්ප් සිය දෙ හැවිරිදි පුතාට දුම්බීමේ ආදීනව, මත්ද්‍රව්‍ය ගැනීමේ ආදීනව සහ ඉගෙන ගැනීමේ යහපත නිතර නිතර ප්‍රකාශ කරන පුද්ගලයෙක්. ඔහු කියන්නේ සිය පුතු අවුරුදු 4 වන විට ඒ සියල්ල පිළිබඳ හොඳ දැනුමක් ලබා ඇති බවයි…

දරුවෝ කියන්නේ අපේ අනාගතයයි… ඔවුන් හරියට සමාජයේ නොහැදුනොත් අහල-පහල අය බනින්නේ “ මුගේ අම්මට…………..“ කියලයි… නැත්තම් “මුගෙ තාත්ත ………….“ කියලයි…. ඒ වගේම හොඳට හැදුන දරුවෙක් ගැන කියන්නෙත් මේ අහවලාගෙ දරුවා කියලයි… ඉතින් ඔබ අනාගතයේදී සමාජයේ හඳුන්වාගත යුත්තේ කෙසේද කියා ඔබම සිතන්න…………..

%d bloggers like this: