Daily Archives: අප්‍රේල් 10, 2011
2011 අප්‍රේල් 10 : අවුරුද්දත් කිට්ටු කිට්ටු………. පඩිපතටත් තට්ටු තට්ටු……..
අද ඉරිදා… ඊයෙ තිබූ උගුරේ අමාරුව දැන් පූර්ණ හෙම්බිරිස්සා තත්ත්‍වයක් දක්වා වර්ධනය වෙලා.. ඒ නිසාම ටිකක් වැඩිපුර නිදාගත්තා… ගෙවල් වලට කතා කරද්දි තමයි තේරුණේ සිංහල-දමිල අළුත් අවුරුද්ද තව දවස් තුනකින් එනවා කියලා… අපට නම් ඒක දැනෙන්නේ නැහැ… කෝ අඬන්න කොහෙක් වත් ඉන්න එකක් යෑ.. පාත්තයො නම් අඬාගෙන යනවා හැම නිතරම…
අපේ පවුලට එකතු වන අවුරුදු කුමාරයා නිසා ආච්චීයි සීයයි ( ඒ කියන්නේ අපේ අම්මයි තාත්තයි) නම් ඉන්නේ සන්තෝසෙන්, එහෙම වුනයි කියලා අමුතුවෙන් සාරෙට අළුත් අවුරුද්ද ගැනෙන එකක් නැහැ. පුතාලා දෙන්නම රටේ නැතිකොට අම්මලාට මොන අවුරුදු ද? මම රට ආපු දවසේ ඉඳලා අවුරුදු ගනිත්දි වෙන් කරපු මගේ කෑම පිඟාන වෙනදා වගේම මේ සැරෙත් බල්ලො කාවි… සමහරවිට කැවිලි ටික නං නංගි කාවි… මේ සැරේ කැවිළි හදන්නෙත් නෑ කියලයි අම්ම කිව්වේ.. අම්මත් ටිකක් ලෙඩ ගානේ… සීනි වැඩි මනුස්සයා සීනි තියෙන කැවිලි කෑවම වැඩ ගොඩ වෙනව නේ… බොහොමයක් ගෙවල්වල තත්ත්‍වය මේකයි.. දරුවො වෙන් වෙලා දුර පලාත්වල යනවා… දෙමවුපියෝ මහගෙදර තනි වෙලා… අපිත් ආසයි අවුරුද්දට ගෙදර ඇවිත් නෑදෑයො එක්ක නිදහසේ කතා කරන්න… ඒත් කෝ එන්න විදියක් ? ප්‍රශ්න ගොඩයිනේ.. බැඳීම් ගොඩයි…. නිවාඩු ගන්න ප්‍රශ්න, අපේ අවුරුද්ද කාලේ පැටියගේ පාසලේ නිවාඩු නැති ප්‍රශ්න, ආදී ප්‍රශ්න ප්‍රශ්න…..
අම්මා කියපු විදියට ගම් වල නම් ඒ තරම් සරුවක් නෑ අවුරුදු… මිනිස්සුන්ට නිදහස තිබුණත් කන්න අඳින්න සල්ලි නැත්තං කොහොමද අවුරුදු සමරන්නේ ? ආණ්ඩුවෙන් බඩු මිල අඩු කරනවා කියුවත් ඉස්සර තිබුණ ගණනට ගන්න බෑලු.. ඇත්ත තමයි… එන්න එන්න බඩු ගණන් වැඩි වෙනවා මිසක් කොයි රටකවත් අඩු වෙන සිරිතක් නෑනේ… මාළුවල මිල ගණන් වැඩි වෙන්නේ කොහොමද කියන එක රටම හොයාගත්තේ පෑලියගොඩ වෙළඳ සංකීර්ණයේ සිද්ධියෙන් පස්සේ… අනෙකුත් වෙළඳ මධ්‍යස්ථානවලත් මේ තත්ත්‍වයේ වෙනසක් නැතිව ඇති. ඒ නිසා ඉතින් වෙලෙන්දො කරන්නේ කප්පම් කරුවන්ට ගෙවන්න තියෙන සල්ලි මහජනතාවගෙන් අය කරගන්නවා…
මේ තත්ත්‍වය වෙනස් කරන්න පුළුවන් කාටද ? කප්පම් කාරයොන්ගෙන් සල්ලි ගන්නෙ නැති කෙනෙකුට පමණයි.. බැලු බැල්මට නම් ආරක්‍ෂක ලේකම් තුමා අන්න ඒ වගේ පුද්ගලයෙක්. ඒ ඔහු දේශපාලනඥයෙක් නොවීම නිසා… මිනිස්සුන්ට ඇති එකම බලාපොරොත්තුව ඔහු වන්නට පුළුවන්. සියළුම දේශපාලනඥයෝ දූෂිතයි… ඔහුගේ මගපෙන්වීම යටතේ මේ කප්පම් කල්ලි අඩු කරලා (නැති කරන්න නම් අමාරු වෙයි) මිනිස්සුන්ට සහනයක් කෙරෙනවා නම් ලොකු දෙයක්…. සමහර විට මේ මට පෙනෙන පැත්ත වෙන්න පුළුවනි… තවත් සමහර දේශපාලන දර්ශනයක් හෝ න්‍යාය පත්‍රයක් ඇති කෙනෙකුට ඔහුව වෙනස් ආකාරයකට පේන්නට පුළුවනි… ඒ අපේ ස්වභාවය නේ….. ඒ ගැන අපි වාද විවාද කරගන්න අවශ්‍ය නෑ..
රටට වැඩක් නැති ප්‍රමාණයකට දේශපාලනඥයෝ ඉන්නකොට ඔවුන්ව නඩත්තු කරන්න වැය වෙන්නේ රටේ බදු මුදල්… එවිට මහජනයාගේ යහපතට ඒවා යොදාගන්නට බැහැ… එවිට සල්ලි නැති කමින් බොහෝ තැන් වල නියමිත පරිදි වැඩ කෙරෙන්නේ නැහැ.. මෑතකදී රජයේ රෝහල් 95 ක් වැසී ගිහින් කියලත් පත්තරේ තිබුණා… මේවා ඉතින් කාට කියන්නද ? මොන පක්‍ෂය ආවත් මේ තත්ත්‍වය එකමයි.. ඔක්කෝම එකම වල්ලේ පොල් තමයි..
කොහොම වුනත්……. පඩි පතට තට්ටු වෙන්නේ නැති අවුරුද්දක් කවදා හරි එනකල් මිනිස්සු බලාගෙන ඉන්නවා..