Daily Archives: අප්‍රේල් 12, 2011

2011 අප්‍රේල් 12 : මුල හරි නොගියොත් අග සොරි වෙනවාමයි…..


අදත් සුපුරුදු පරිදි වැඩ… සිංහල අළුත් අවුරුද්ද කියලා සුද්දා අපට නිවාඩු දෙන එකක් යෑ… ලොක්ක නං අදත් ආවෙ නෑ ඔන්න Science fair එකක් විනිශ්චය කරන්න යන්න ඕන කියලා ගියා.. මට තමයි වැඩ වැඩි වුනේ. පොඩි එවුන්ට පරීක්‍ෂණ කරන්න රසායන ද්‍රව්‍ය නැතිලු… ඉතින් පැයෙන් පැයට ගබඩා කාමරයට ගිහින් බලනවා ඇනවුම් කරපු රසායන ද්‍රව්‍ය ඇවිත්ද කියලා. ඒකට තවත් හේතුවක් තිබුණා කියලයි අපේ රසායනාගාරයේ ඉන්න කොල්ලො ටික මට විහිළු කරන්නේ. ඒ තමයි දෙපාර්තමේන්තුවේ ගබඩා කාමරයේ වැඩට ඉන්න වයසක උන්දෑ වෙනුවට ටිකක් ඇහැට කණට පේන කෙල්ලක් ඇවිත් ඉන්නවා ඉදිරි සති තුනට… ඉතිං මම ඒ කෙල්ලව බලන්න යනවා කියලා තමයි කට්ටිය කියන්නේ.. බොරුත් නෑ බැලුවාම… තියෙන වලත්තකම……

මෙන්න මේ වගේ රූප තමයි ස්ඵටික ව්‍යුහයක් කියන්නේ

මේ දවස්වල අළුතෙන් සංයෝග හදන එක නැවැත්වුවා. හදපු සංයෝග නිසි පරිදි හඳුනාගැනීමේ පරීක්‍ෂණ වලට භාජනය කරලා ඒ සියල්ල නිසි ලෙස තහවුරු කරන කල් අළුතෙන් වෙනත් සංයෝග හදන්නේ නෑ කියලා මම හිතාගත්තා. ඒ නිසා නැවත නැවතත් මුලින් හදපු සංයෝග හදලා ඒවා සෑදීමේ ක්‍රියා පටිපාටියේ නිරවද්‍යතාවය තහවුරු කරන්න පටන් ගත්තා. ඒ අතරම අළුතෙන් තනා තිබූ සංයෝග කිහිපයක ස්ඵටික ව්‍යුහ රූප ගැනිමටත් යොමු කළා. මේ අතරවාරයේ අපේ රසායනාගාරයේ ඉන්න ස්ඵටික ව්‍යුහ රූප ගැනීමට පුහුණු කරපු කොලුවා වැඩේ පොඩ්ඩක් අනාගෙන.. මුලින්ම එක්ස් කිරණ විවර්තකය මගින් දෙන දත්ත වලින් නිසි පරිදි අදාල ඒකක කෝෂය (unit cell) තෝරාගත යුතුයි. මෙය වැරදියට තෝරා ගතහොත් සම්පූර්ණ ව්‍යුහයේම වෙනසක් ඇති වෙනවා. ඉතින් මේ කොල්ලා මුලින් වැරදි ඒකක කෝෂයක් තෝරගෙන වැඩේ හරියට කරගන්න බැරුව දඟලලා දඟලලා බැරිම තැන එක්ස් කිරණ විවර්තකය භාරව ඉන්න නිලධාරියා එක්ක එකතු වෙලා කොහොම හරි අන්තිමට ස්ඵටික රූප ව්‍යුහය නිවැරදි පරිදි සකසලා ගෙනත් දුන්නා… ඉතින් මට හිතුනේ ඇත්තෙන්ම සෑම දෙයකම මුල හරි නොගියොත් වැඩේ බකල් නේද කියන එකයි.

හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ කියන්නෙත් මේ අවනඩුවටම තමයි නේ… නිවසක වුනත් අත්තිවාරම සවිමත්ව, නිසි පරිදි එක මට්ටමකට දැම්මේ නැතිනම්, එක්කෝ නිවස ඇදයි, නැත්නම් කඩා වැටෙනවා. දරුවෙක් වුනත් කුඩා කාළයේ නිසි පරිදි ආචාරශීලීව, යහගුණ උගන්වා හැදුවේ නැත්නම් පසු කාළයක ඔවුන් යහමග ගන්නවා බොරු. සතෙක් වුනත් එහෙමයි. හරියට පුහුණු කළේ නැත්තං බල්ලෙක් වුනත් හතරවටේ ජරා කරනවා, සපත්තු කනවා, එක විකාරයයි. කළමණාකරණ විද්‍යාවේ Total Quality (පූර්ණ තත්ත්‍වය) කියන්නෙත් මෙන්න මේ සංසිද්ධියට තමයි. උදාහරණයක් විදියට මේ Total Quality කියන එක 100% ක්ම තිබිය යුතු ස්ථානයක් තමයි ගුවන් තොටුපල. වැරදිලා වත් ගුවන් යානා පරීක්‍ෂා කරන තාක්‍ෂණික නිලධාරියා නිසි පරිදි ගුවන් යානය පරීක්‍ෂා කළේ නැතුව කඩා වැටුනොත් වෙන්නේ මහ විනාශයක්. මේ වගේ බොහෝ සේවා ස්ථානවල මේ පූර්ණ තත්ත්‍ව කටයුතු කෙරෙනවා.

ඉතින් මේ ලබන අළුත් අවුරුද්දේ කරන්න හිතන් ඉන්න යමක් හරි විදියට මුල ඉඳලම කරන්න හිතට ගන්න. හරියට යමක් පටන් ගත්තාම හරියට කරගෙන යන්නත් ලේසියි. කරන්න ඉස්සර පොඩි සැලසුමක් ඇති කරගන්න. ඒ වගේම එක සැලසුමක් වැරදුනොත් කරන්න බලාපොරොත්තු වන දෙවන සැලසුම (Plan B) ගැනත් සිහියේ තබාගෙන වැඩ කරන්න…

සුභ අළුත් අවුරුද්දක්.

%d bloggers like this: