Daily Archives: අප්‍රේල් 13, 2011
2011 අප්‍රේල් 13 : අවුරුද්දේ අරුමය……
ලංකාවෙ නම් අද සිංහල-හින්දු අළුත් අවුරුද්ද… හිටියා නම් අද අම්මා-තාත්තා බලන්න ගමේ ගිහින්.. පැටියට ආච්චියි සීයයි එක්ක අවුරුදු සමරන්න තිබුණා… අවසන් වතාවට පවුලක් කියලා අම්මලා – තාත්තලා එක්ක අවුරුදු සැමරුවේ 2000 අප්‍රේල් මාසයේ. 2000 දෙසැම්බර් මාසෙ රටින් පිට වුනාට පස්සේ එකම අවුරුද්දක් වත් අවුරුදු කාලේ ලංකාවෙ ඉන්න බැරි වුනා…ජීවිතේ හැටි එහෙම තමයි. හැබැයි අපි හැමදාම අවුරුදු දවසට හිතින් ගෙදර.. දැන් මේ අම්මට කතා කරලා ඉවර වුනා විතරයි.
අද වේලසනින් ගෙදර ඇවිත් ගෙදර අස්පස් කළා.. සාලෙ තිබුණ පුටු මේස ටීවී ආදිය වෙනස් තැන්වලින් තියලා ගේ අළුත් කළා.. මාළු ටැංකියේ වතුර අස් කරලා මාළුන්ටත් අවුරුද්ද සමරන්න පිරිසිදු වතුර දාලා දුන්නා..
ඉස්සර අපි අවුරුද්ද එනකල් බලන් ඉන්නේ හරිම නොයිවසිල්ලෙන්… අවුරුද්දට පෙර ගෙවල් සෝදලා බිම පොලිෂ් කරලා මිදුලේ තණකොල ගලවලා ආදී වශයෙන් වට පිට පිරිසිදු කෙරෙනවා. ගෙදර කුස්සිය පිරිසිදු කෙරෙන්නේ අම්මා අතින්.. තාත්තත් කෙසෙල් කැණක් එහෙම දුම් ගහලා ලෑස්ති කරනවා.. අවුරුද්ද දවසට අළුත් ඇඳුම් ඇඳගෙන නොනගතේ වෙලාවට පවුල පිටින්ම පන්සල් යන එක සිරිතක්. පන්සල් ගිහින් ඇවිත් කුස්සියේ ලිප ගිණි මොනවන්න අම්මා ලෑස්ති වෙද්දි අපි නැකතට රතිඤ්ඤා පුපුරවන්න බලාන ඉන්නවා… අම්මා කිරිබත හදනකල් අපි කරන්නේ ටීවී එකේ අවුරුද්ද වෙනුවෙන් යන වැඩසටහන් බලන එකයි.. සමහර අවුරුද්ද දවස් වලට නම් ආරාධිත අමුත්තෙක් ඇවිත් ගෙදර ඉඳුල් කරනවා. පස්සේ පස්සේ මම හරි මල්ලි හරි ඒ වැඩේට යොදවගන්න තාත්තා තීරණය කළේ ඇයිද දන්නෙ නෑ.. සමහර විට අපි ගෙදරට අවනම්බු වෙන දෙයක් නොකළ නිසා වන්නට පුළුවනි..අපි ගෙදර නැතත් හැම අවුරුද්ද දාකම අපි වෙනුවෙන් පිඟානක් පිළියෙල වෙන්නේ අපි ගතින් නැතත් සිතින් ගෙදර අය එක්ක ඉන්න නිසා වෙන්න ඇති. නැකතට වැඩ අල්ලන්න අපි පුංචි කාලෙදි නම් පොත් කියවන්න ගණනක් හදන්න ආදිය යොදාගන්නවා.. සීයා ඉන්න කාලෙ නම් බැරි බැරි ගානෙ වුනත් සීයා එළියට ගිහින් උදැල්ලෙන් පස් ටිකක් කොටලා එනවා… එහෙමයි අපි අවුරුදු සැමරුවේ… කෑම පිඟන් අරන් නෑගෙවල් වල යන එකත් හරි අපූරුයි… එහෙම ගියාම පුංචි කාලෙ නම් රුපියලක් දෙකක් බුලත් කොලේක ඔතලා හම්බ වෙනවා.. ඒවත් අරන් එන්නේ ආච්චිලගෙ ගෙදර පිටිපස්සේ ඇති කැට ගහන තැනට.. ඉස්සර අපේ ආච්චිලගෙ ගෙදර පිටිපස්ස අවුරුදු දාට හරි සෙල්ලම්.. ලොකු අය ඉඩොක්ක ගහනවා… පොඩි අය කැට ගහනවා… ගෑණු කට්ටිය පංචි දානවා…. ඒ අවුරුදු තිහකට විතර ඉස්සර… දැන් නම් ඒවා කරන්න කවුරුත් නෑ…. ගමට පොලීසියකුත් ලැබිලා තියෙන නිසා කට්ටිය වැඩිය අවදානමක් ගන්නෙත් නෑ….
අළුත් අවුරුද්ද කියන්නේ මුළු ලංකාවම රටක් වශයෙන් කිසියම් දෙයක් එකට කරන දවසක්.. මේ විදියට හැම යහපත් දේම රටක් වශයෙන් කරන්න පුළුවන් නම් අපි දියුණු වෙන දවස ඈතක නෙවෙයි… නමුත් මේ සංසිද්ධිය අපි කවදා තේරුම් ගනීද ?