Daily Archives: අප්‍රේල් 20, 2011
2011 අප්‍රේල් 20 : අහගෙන ඉන්න.. අවධානයෙන් ඉන්න.. ගොඩක් දේවල් ඉගෙනගන්න පුළුවනි….ගෙදර උන්දැගෙන් බැණුම් අහන්නෙත් නැතුව ඉන්න පුළුවනි…
හයිඩ්‍රජන් ඉන්ධනයක් වශයෙන් යොදාගන්න කරන පර්යේෂණ සහ කාබන් ඩයොක්සයිඩ් භාවිතා කර සරළ අණු තැනීමට කරන පර්යේෂණ පිළිබඳ පිළිගත් මහචාර්ය වරයෙක් විසින් කරන ලද හොඳ දේශනයක් තිබුණා අද…. මේ වගේ බොහෝ දේශන සාමාන්‍යයෙන් විශ්ව විද්‍යාලයේ සංවිධානය කෙරෙනවා. විශේෂයෙන්ම රසායන විද්‍යා දෙපාර්තමේන්තුවෙන් සංවිධානය කෙරෙනවා. මේ බොහෝ දේශන වලට සිසුන්, පර්යේෂකයන් සහ මහචාර්යවරු සහභාගි වෙනවා. ඒ අතරේ අපට වැදගත් පර්යේෂණ කරුණුත් සෑහෙන්න ඔවුන්ගේ දේශන වලදී අපට දැනගන්නට ලැබෙනවා. සමහර දේශන නම් කිසිම වැදගත්කමක් නැහැ… ඒ වෙලාවට හොඳ නින්දක් දාන්න හොඳයි ඒ දේශන…
නමුත් අද තිබුණ දේශනය නම් හැම අකුරක්ම වැදගත්.. ඒ මොකද කියනව නම් ඒ පර්යේෂණයට මූලික වෙලා තිබුණෙත් අපි පර්යේෂණ කරන දේම තමයි… නමුත් ඔවුන් පර්යේෂණ කරන්නේ වෙනත් වෙනත් සංයෝග භාවිතයෙන්. මේ නිසාම හැම දෙනාම බොහොම උනන්දුවෙන් අවධානය යොමු කරගෙන සිටියා.. කොහොම වුනත් මේ පර්යේෂණ දෙකේම සිද්ධාන්ත එක සමානයි…ඒ අතරෙ තමයි වැදගත්ම දේ අසන්නට ලැබුණෙ…
මෙතෙක් කල් අපේ පර්යේෂණයෙ අවධානය වෙලා තිබුණ එක්තරා සංයෝගයක ක්‍රියාකාරී තත්ත්‍වය අප හිතනවාට වඩා වෙනස් එකක් වගෙයි පෙනෙන්නේ… ඉතින් මට අළුත් පාරක් අහු වුනා වගෙයි යන්නට….. පර්යේෂණ වල සාර්ථකත්‍වය රඳාපවතින්නේ කොපමණක් වැඩ කෙරෙනවාද යන්න මත පමණක් නොවෙයි, අපි සොයාගන්න දේවල් පාවිච්චි කෙරනේනනේ කොහොමද කියන දේ වඩාත් වැදගත් වෙනවා. මූලික පර්යේෂණ වලට වඩා දැන් දැන් වැදගත් වන්නේ භාවිතයනුයි… එවම් මූලික පර්යේෂණ ඇසුරින් සොයාගන්නා දේවල් භාවිතා කර මහා පරිමාණ දේ කිරීමේ හැකියාවයි…
ඇත්තටම සාමාන්‍ය ජීවිතයේදීත් අපි හරියට ඇහුම්කන් දෙනවා නම් ප්‍රශ්න අඩුයි… මටත් මේ ප්‍රශ්නේ බොහොම බරපතලව තියෙනවා.. ඇල්කෙමිච්චිගෙන් හැමදාම බැණුම් අහන්නේ එයා කියන දේ ගැන අවධානයෙන් නොසිටීම නිසා… අඩුම ගණනේ දවසට දෙතුන් පාරක් බැණුම් අහනවා… කොච්චර හැදෙන්න උත්සාහ කළත් අර හැම පිරිමියාටම ඇති ගතිය ඇවිත් අවධානය නොයෙදෙනවා.. ඉතින් කණ පුරා බැණුම් අහනවා…
ඉතින් අපි හැමෝම ගෙදර උන්දැගෙන් බැණුම් නාහන පිරිමි වෙන්න උත්සාහ කරමු… එහෙම කිවුවට මම දන්නවා අපට ඒක කරන්න අමාරු බව..