Daily Archives: අප්‍රේල් 21, 2011
2011 අප්‍රේල් 21 : විනාඩි පහලොවක් ඉහළ පහළ ගියාම දැනෙන සනීපෙ…..
අදත් සුපුරුදු පරිදි වැඩ… ලොක්කා අදත් නෑ… හැම බ්‍රහස්පතින්දාම එක එක පාසල්වලට යනවා විවිධ වැඩසටහන්වලට…. රසායනාගාරයේ අනිත් එවුන්ටත් බරටම වැඩ. සමහරු පාඩම් වැඩ, තවත් සමහරු තමන් උගන්වන පන්තිවල විභාග වැඩ ආදිය… ඊයෙ සොයාගත් අළුත් තොරතුරු ආශ්‍රයෙන් අළුත් ප්‍රතික්‍රියා කිහිපයක් පටන්ගන්න කියලා අළුතෙන් ආපු ශිෂ්‍යාවකට පවරලා දවල් ගියා Gym එකට වොලිබෝල් ගහන්න… අර හයේ හතරේ කට්ටියත් එක්ක…. අදත් සුපුරුදු පරිදි දාඩිය දාගත්තා…
වොලිබෝල් තරඟවට දෙකක් ක්‍රීඩා කරලා ගියා අර බර උස්සන, ඇඟ හදාගන්න උපකරණ තියෙන කොටසට… ඉතින් ඔන්න බරටම වැඩ.. සාමාන්‍යයෙන් කරන ව්‍යායාම ටිකක් කරලා, බඩටත් ටිකක් වද දීලා, අර ඉහළ පහල යන බයිසිකලේ වගේ මැසිමෙ විනාඩි 15 ක් පැදලා එළියට එනකොට ඇඟට හරිම සනීපයි… ඒකයි කිව්වේ විනාඩි 15 ක් ඉහළ පහල ගියා කියලා… වෙනත් දෙයක් හිතාගත්ත නම් මට කරන්න දෙයක් නෑ…
මේ දවස්වල ටික ටික රත් වෙන නිසා හැමෝම වගේ දුවනවා ව්‍යායාම් කරනවා එක විදියයි. මම වගේ පඟර නැට්ටො නම් ව්‍යායාම් කරන්නේ ඇඟ පොඩ්ඩක් හදාගැනීමේ පරම පවිත්‍ර ඒකමතික චේතනාවෙන් වුනාට බොහොමයක් දෙනාට තියෙන ප්‍රශ්නයක් තමයි බර වැඩි වීම… යන්තම් පොඩ්ඩක් කාපු ගමන් කිලෝ ගාණක් දානවා ඇඟට… ඉතින් අපට හූල්ලනවා.. නැතිනම් පණ දාගෙන දුවනවා, ව්‍යායාම කරනවා… බොහෝ දෙනා අවුරුදු 30 වගේ වයසට ගියාම ඒ අයගේ පරිවෘත්තීය ක්‍රියා (ඒ කියන්නේ Metabolism එක) අඩු වෙනවා. මේ නිසා ඒ අයගේ ශරීරයේ ක්‍රියාකාරකම් වෙනස් වෙලා සමට යටින් මේදය තැන්පත් වීම, රුධිරවාහිනීවල කොලෙස්ටරෝල් තැන්පත්වීම, රුධිරගත සීනි සාන්‍ද්‍රණය වෙනස් වීම වගේ අහිතකර ක්‍රියා ඇති වෙනවා. මේ නිසාම සමහරු අධික ස්ථුලතාවයට පත් වෙනවා. කාන්තා පක්‍ෂයේ මේ ගතිය වැඩි නිසාම ඒ ගොල්ලන් වඩාත් සැලකිළිමත් විය යුතුයි.
බොහො දෙනා විවාහ වුනාට පස්සේ මහත් වෙනවා. නෝනා උයන කෑම රහ වැටිලා හෝ මහත්තයා වැඩ කරලා දෙන නිසා කම්මැලි වෙලා.. අනේ අපි දිහා දැන් කවුරු බලන්නද කියලා හිතන අයත් ඉන්නවා.. ඒ වගේම සමහරු 30 පැන්නාම ටික ටික කම්මැලි වෙනවා… ඉස්සර දුව පැන ඇවිදපු අය ටික ටික හෙමින් වැඩ කරනවා. සමහරු කාර්යාලයේ වාඩිවෙලාම වැඩකරන නිසා ශරීරය හොර වෙනවා… දරුවන් ලැබූ පසු කාන්තාවන්ට වැඩ අධික වීම, ඩිංගක් හෝ ව්‍යායාම කළොත් අනෙක් අය මොනවත් කියයිද යන විචිකිච්ඡාව ආදී නොයෙකුත් සමාජයීය සංස්කෘතික බාධක නිසාත් ලාංකීය කාන්තාව සිය සිසිවන වුවන රිය සක වන් පුළුලුකුල ඇතිව කොකා කෝලා බෝතලේ වගේ තියෙන Figure එක බැරල් එකක් වගේ වෙනවා දන්නෙම නැතිව. මේ නිසාම බොහෝ දෙනෙකු අකාලයේ නාකි වෙනවා විතරක් නොවෙයි ලෙඩ දුක් වලටත් භාජනය වෙනවා.
බටහිර රටවල නම් කොපමණ වයසට ගියත් සෞඛ්‍ය සම්පන්නව සිටීමේ වටිනකම වටහාගත් අය කුමක් හෝ ව්‍යායාමයක් කර සිරුර මනාව පවත්වා ගන්නවා. ඒ වගේම කෙට්ටු අයටත් ව්‍යායාම අවශ්‍යයි… මහත අය විතරක් නොවෙයි… ඒ අයගෙත් ශරීරය වියපත් වෙනවා, නිසි ආකාරව වැඩ කරන්නේ නැති වෙනවා ව්‍යායාම් නොකළොත්… ඒ වගේමයි ව්‍යායාම නිසා රුධිර සංසරණය සහ අනිකුත් පද්ධතින් මනාව ක්‍රියාකරන්න පටන් ගන්නවා. සෙම ගතිය නැති වෙනවා, නිරෝගී වෙනවා.. ගැහැණු අය නම් ලස්සන වෙනවා…ව්‍යායාම කරන්න Gym එකකටම යන්න ඕන නැහැ.. ගෙදර සාලෙත් ව්‍යායාම කරනවා නම් කරන්න අවශ්‍ය කෙනාට කරන්න පුළුවනි. ගම්වල මිනිස්සු නම් තමන්ගේ එදිනෙදා වැඩකටයුතු කෙරෙනවිටම ඔවුනට අවශ්‍ය දවසේ ව්‍යායාම් ට්ක කෙරිලා ඉවරයි..මිනිසුන්ගේ උදරයේ ප්‍රමාණය විශාල වන තරමට ඔවුනට හෘද රෝග වැනි දරුණු රෝගාබාධ වැළඳීමේ අවදානමත් වැඩි බව සොයාගෙන තිබෙනවා…
තමන් සහ තමන්ගේ සැමියා හෝ බිරිඳ තඩි බඩක් එක්ක ලෙඩ ගොඩක් කරගහගෙන ඉන්නවාද ? එහෙමත් නැතිනම් හොඳ කඩවසම්ව, පිළිවෙලකට ලස්සනට දිගු කළක් ජීවත් වෙනවාද කියන එක තීරණය කරන්න ඒ අයටම භාර දීලා අදට සමුගන්නවා….