2011 අප්‍රේල් 22 : තව පොඩ්ඩෙන් මැරෙනව ඕයි…. හොඳ වෙලාවට හුස්ම ගත්තෙ නැත්තෙ…..
අද නම් ඕනකමින්ම ටිකක් දවල් වෙලයි රසායනාගාරයට ගියේ… ඊයෙ රසායනාගාරයට පය නොගහපු ලොක්ක අද උදෙන්ම ඇවිල්ලා… ඉතින් ලොක්කා උදෙන් ආව කියලා අපි මොනව කරන්නද ? මම යන වෙලාවට තමයි මම වැඩට යන්නේ… අධ්‍යාපන ක්ෂෙත්රයේ ඉන්න එකේ එක හොඳක් තියෙන්නේ අපි වැඩ කරන වෙලාව හරිම නම්‍යශීලීයි. ඒ වුනාට නිවාඩු නම් ටිකක් අඩුයි… විශේෂයෙන් රසායනාගාරයක ඉන්නව නම් සමහරවිට රෑ මැදත් යන්න වෙන වෙලාවල් තියෙනවා.
අදට නියමිත වැඩටික කරගෙන යන අතරේ ලොක්කා ඇවිත් තවත් වැඩක් පංගාර්තු කළා… මීට ටික දවසකට පෙර රසායනාගාරයට වෙනත් රසායනාගාරයකින් ගෙනාපු සංයෝගයක පිරිසිදු බව පරීක්ෂා කරන්න කියලා.. සංයෝගයේ නම එතිල් ඇක්‍රිලේට්… මෙය දැඩි දුර්ගන්ධයකින් යුත් තරමක් විෂ සහිත සංයෝගයක්.
නමුත් මෙහි දුර්ගන්ධය නිසාම විෂ සහිත ප්‍රමාණයක් ආඝ්‍රාණය වීමේ අවදානම අඩුයි.. කෙසේ හෝ මේ සංයෝගය දමා තිබූ බෝතලය විවෘත කරනවිටම එහි දුර්ගන්ධය රසායනාගාරය පුරාම පැතිරුණා.. මගේ නහයත් කඩාගෙන යන තරමට දුර්ගන්ධය වැදුනා.. ඒ වහාම හුස්ම ගැනීම පසෙක ලා මමත් රසායනාගාරයේ වැඩ කරමින් සිටි අනෙක් සිසුවාත් හනැක රසායනාගාරයෙන් එළියට ගියා.. පසුව දුගඳ පහව ගිය පසු අපි නැවත පැමිණ ජනේලයක් විවෘත කර පිරිසිදු වාතය රසායනාගාරය තුළට ලබාගෙන යන්තම් නොමැරී ජීවත් වෙන්නට ඉඩ සලසා ගත්තා…
ඇත්තෙන්ම මම කළේ තරමක මෝඩ වැඩක්.. අපි මුලින්ම නොදන්නා සංයෝගයක් හැසිරවීමේදී ඒ සංයෝගයට අදාල MSDS (Material Safety Data Sheet) නම් ලියවිල්ල නියමිත පරිදි හදාරා ඒ ඒ සංයෝගයේ ගුණ පරීක්ෂා කර නිසි පියවර ගත යුතුයි.. අපේ නොසැලකිල්ලත්, අධිතක්සේරුවත් නිසාම ඒ ගැන වැඩි සැලකීමක් නැතිව හැසිරවූවා.. මේ වැරැද්ද අප බොහෝ දෙනෙකු කරනවා. බොහෝ සේවා ස්ථානවල ඇති පළමුව ආරක්ෂාව යන පාඨය අප අවතක්සේරු කරනවා. කර්මාන්තශාලාවල නම් මේ නීතිය තදින්ම ක්‍රියාත්මක වෙන නිසා බොහෝ දෙනා එය පිළිපැදීමට දැඩිව බැඳී තිබෙනවා. නමුත් විශ්ව විද්‍යාල පර්යේෂණාගාරවල මේ තත්ත්වය ටිකක් ලිහිල්. ලොස් ඇන්ජලීස් හි කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධි අපේක්ෂිකාවක් පසුගිය දෙසැම්බර් 29 වෙනිදා මියගියේ මෙවැනි අනතුරක් නිසා. ඇය ටර්ෂරි බියුටයිල් ලිතියම් (t-BuLi) නම් අධික ගිණිගන්නාසුළු රසායන ද්‍රව්‍යය සිරින්ජයක් මාර්ගයෙන් බෝතලයෙන් පිටතට ගැනීමේදී සිරින්ජය ගැලවීගොස් එයට ගිණි ඇවිලීම නිසා සිය ඇඳුමට ගිණි ඇවිලී තෙවැනි මාත්‍රයේ පිළිස්සුම් තුවාල (Third degree burns) ලබා මියගියා. ඉන්පසු බොහෝ විශ්ව විද්‍යාලවල සිසුන්ගේ ආරක්ෂාව කෙරෙහි දැඩි සැලකිල්ලක් දැක්වීමට විශ්ව විද්‍යාල සම්මුතියකට පැමිණ තිබෙනවා. එසේම ටෙක්සාස් විශ්ව විද්‍යාලයක සිසුවෙක් පර්ක්ලෝරේට් අඩංගු සංයෝගයක් වංගෙඩියක් වැනි උපකරණයක දමා ඇඹරීමට ගොස් එය පුපුරා ඇඟිලි තුනක් කැඩි ගොස්, එක් කනක ඇසීමද නැතිව ගොස් තිබෙන්නේ ද ඔහුගේම නොසැලකිල්ලෙන්…
මා පාවිච්චි කළ සංයෝගය එවැනි පිපිරුම් හෝ ගිණිගන්නාසුළු නොවීම නිසාම මම ඒ ගැන වැඩි සැලකිල්ලක් නොදැක්වුවත්, එවැනි ගිණිගන්නාසුළු හෝ පිපිරුම් සහගත ද්‍රව්‍ය නම් අප පාවිච්චි කරන්නේ බොහොම ගෞරවාන්විතව.. අප නොදැනුවත්වම කරන මේ අතපසුවීම් නිසා අප ජීවිත කාලයක්ම විඳවන දේ වන්නට පුළුවනි. මීට දශක කිහිපයකට පෙර රසායන ද්‍රව්‍ය භාවිතයේදී එතරමි දැඩි ආරක්ෂිත උපක්‍රම නොතිබුණ නිසාම බොහෝ රසායනඥයන් පිළිකා වැනි අවාසනාවන්ත තත්ත්ව නිසා අකාලයේ මිය ගිය අවස්ථා එමටයි… දැන් දැන් බොහෝ රසායනාගාර, කර්මාන්තශාලා ආදියෙහි සේවක ආරක්ෂාවට මූලික තැන දෙන නිසා සේවකයා හොඳින් ආරක්ෂා වෙනවා… මේ තත්ත්වය සේවක සේව්‍ය දෙපක්ෂයටම වාසිදායකයි. සේවකයා ආරක්ෂා වන අතර සේවා ස්ථානයේ ඵලදායීතාවයටද හැනි පැමිණිම අඩු වෙනවා…
ඉතින් ඔබත් සේවා ස්ථානයේ පණවා ඇති ආරක්ෂාව සම්බන්ධ නීති නොදැක්කාසේ නොසිට ඒවා නිසි පරිදි පිළිපැදීමෙන් තමනුත් අනෙක් අයත් නිසි ලෙස ආරක්ෂා කරගෙන වැඩ කරගන්න.. මම වගේ මෝඩ වෙන්නේ නැතිව…
Posted on අප්‍රේල් 22, 2011, in ඇල්කෙමියාගේ දිනපොත and tagged ඇල්කෙමියාගේ දිනපොත, පළමුව ආරක්ෂාව. Bookmark the permalink. ප්‍රතිචාර 4.
ජූල්ගස් හන්දියෙ ඉස්කෝලෙ ඉන්නකොට උසස්පෙල රසායනාගාරෙදිත් ඔන්න ඔය වගේ [එච්චරටම දරුණු නැති] අණතුරක් උනා. ඒ කාලෙ ලැබ් ඇසිස්ටන්ට් කෙනෙක් උන්න “කණ්ඩම්බි” කියල. මම හිතන්නෙ තාමත් ඇති එයා නං. දවසක් මොකක් හරි පරීක්ෂණයකට පොටෑසියම් උවමනා වෙලා ගබඩාකර තිබුන තැනින් අඬුවක් අධාරයෙන් තඩි කුට්ටියක් පෙට්රිදීසියකට දාන්න අරන් යනකොට අත ලිස්සල පොටෑසියම් කුට්ටිය වැටුන මේසෙ මැද හයිකරල තිබුන කුණු වලට වතුර හිරවෙච්ච සින්ක් එකට. ඒ අනපේක්ෂිත ගින්නට කලබල වෙච්ච කොල්ලො දෙන්නෙක් වාඩිවෙලා උන්නු ස්ටූල් වලින් පිටිපස්සට වැටිල ඔළු පලාගත්ත.
කැමතියිකැමතියි
AL ක්ලස් එකෙදි SO2 වෑදිලා පෑයක් විතර හුස්ම ගන්න අමාරුවෙන් හිටියා මටත් මතකයි.
කැමතියිකැමතියි
අපි මාසකට වරක් ටොප් මැනේජ්මන්ට් එකටයි, ප්ලාන්ට් එකේ අයටයි Case study එකක් ප්‍රසන්ට් කරනවා HSE cases / Incidents ගැන.. මේ මාසේ මුල කලා එයට සමගාමීව Chemical Management ගැන… අපි හයිලයිට් කරපු එක කාරණයක් තමා MSDS පරිහරණය… අර LA සිද්ධිය පිලිබඳ විස්තර / ෆොටෝ සොයාගන්න පුලුවනිද…? මැයි මාසේ එකට ඉදිරිපත් කල හැකි incident එකක් විදිහට…
ස්තූතියි ලිපියට…
කැමතියිකැමතියි
තිස්ස මහත්තයා,
ඒ වගේ අවාසනාවන්ත සිද්ධියක ෆොටෝ නම් මෙහේ ප්‍රසිද්ධ කරන්නෙ නෑ… ඒත් අන්තර්ජාලයේ ඕනෑතරම් පින්තූර තිබෙනවා Chemical Spills, Chemical Hazards ගැන… මම ඉහත කී සිද්ධිය පිළිබඳ Link එකක් ලිපියේම අඩංගු කරලයි තියෙන්නේ… එතරනට ගියාම අකුරුවල පාට වෙනස් වෙනවා..
මෙන්න ලින්ක් එක
http://www.chemistry-blog.com/2009/01/20/tert-butyllithium-claims-fellow-chemist-at-ucla/
කැමතියිකැමතියි