Monthly Archives: අප්‍රේල් 2011

2011 අප්‍රේල් 19: කොට ගවුම් ඇඳගත්තු සුදු කෙල්ලො එක්ක හිත එකලාසයක් කරගෙන වැඩ කරන්න බෑ අප්පා….


හිත හීලෑ නෑ….
හරිම මුරණ්ඩුයි තැන තැන ඇවිදිනවා……
හිතෙන හිතෙන තැන නවතිනවා…..

මොනව කරන්නද…. කොහොම හරි හිත එකලාසයක් කරගෙන වැඩ ටික කරගන්නත් ඕන…. දැන් දැන් පරිසරය ටික ටික රත් වෙනවා… ඒ රත් වීමට විශ්ව විද්‍යාලයේ කෙල්ලන්ගේ ඇඳුම්වල දිග ප්‍රතිලෝමව සමානුපාතික වෙනවා… කවුද කියන්නේ Global warming හොඳ නෑ කියලා…. ?

ලංකාවෙ නම් ගෑණු පරාණ වලට කොට ඇඳුම් අකැපයි නෙ… ඒවා ඇඳගෙන යනකොට පිරිමින්ගේ විලිසංගෙ නැති වෙනවනේ… එතකොට ජනගහන වර්ධනය වැඩි වෙනවලු… අපරාධ වැඩි වෙනවලු… එහෙම තමයි ලංකාවෙ සංස්කෘතික බක පණ්ඩිතයොන්ගෙ තර්කය… උන් දන්නෙ නෑ ලංකාව කියන්නේ ඝර්ම කලාපීය රටක් කියලා.. උන් හිතාන ඉන්නේ ලංකාව තියෙන්නේ ග්‍රීන්ලන්තෙ හරියෙ කියලා.. ඒ වගේමයි අර පාරවල් අයිනේ තියෙන දැන්වීම් පුවරුවලත් පොඩ්ඩක් හරි ඇඟ පේන්න පින්තූරයක් තිබුණොත් ඒකත් ගලවන්න කියලා නීතියක් ගෙනාවෙ…

එක අතකට ඒක හොඳයි කියලා හිතෙන්නෙත් අපේ සමහර උන්දලා බස්වල කරන අමන වැඩ දිහා බැලුවාමයි.. ඇවිද ගන්න පණ නැති නාකි උන්දලා මේ අවුරුදු 16 කෙල්ලො ලඟ මයිකල් ජැක්සන් ලා වෙනවා… හැබැයි මෙහෙම දේකුත් වෙනවා. අර නිතර දකින කුකුලගේ කරමලේ වගේ වෙන රටවල නම් මේවා දැකලා දැකලාම කොට ගවුමක් ඇඳන් ගියා කියලා, එහෙමත් නැත්නම් නාන ඇඳුමක් ඇඳපු ගෑණු රුවක් තියෙන බිල්බෝඩ් එකක් පාරෙ අයිනෙ තිබුණා කියලා මිනිස්සුන්ට ගානක් නෑ.. නමුත් මේවා ලංකාවේ තහනම් කරන්න කරන්න මිනිස්සුන්ට ඒව බලන්න තියෙන ආසාව වැඩි වෙනවා… සංචාරක ව්‍යාපාරෙත් වැඩි දියුණු වෙන එකේ සංස්කෘතික තහංචි පනවන්න බෑ රටකට.. එහෙම වුනාම සංචාරකයො තමන්ට නිදහස ඇති වෙන තැන් සොයාගෙන යාවි.. අච්චර මුස්ලිම් රටක් වෙච්ච මාල දිවයින වත් මේ වගේ තහංචි දාලා නැතුව ඇති….
නීති වල දෙපැත්තක් තියෙනවා සමහර වෙලාවට නීති නැතිව සමහර දේවල් පාලනය කරන්න අමාරුයි වගේම, නීති තද වුනාමත් රටක් පාලනය කරන්න බැරි වෙනවා…

ලංකාවෙ නිරුවත, ලිංගිකත්‍වය කියන වචනත් කුණුහරුප විදියටයි ගණන් ගැනෙන්නේ.. කිසිම මාධ්‍යයක මේවා විවෘතව කතා කෙරෙන්නේ නෑ.. සමහර විට බොහෝ පවුල් කඩාකප්පල් වන මානව සබඳතා පිළිබඳව වත් ලාංකීය මාධ්‍ය නාලිකාවල ගැඹුරින් කතා කෙරෙනවා මම නම් දැකලා නැහැ.. දෙමාපිය-දූදරු සබඳතා පවා බොහෝ දුරස්… සමහර විට අම්මාවරුන්ගේ දිනය- පියවරුන්ගේ දිනය මහ ඉහලින් සැමරුවත්, ඉන් පසුව ඒ සපඳතා පිළිබඳ කාටවත් මතකයක්වත් නැහැ….

ඒ මදිවට මත්පැන් පානය කෙරෙනවිට,සිපගැනීමේ දර්ශනයක් ඇති විට රූපවාහිනියේ කොටු දමනවා… මේ වැනි විකාර වැඩ වෙනුවට රූපවාහිනී වැඩසටහන් නියමිත ප්‍රමිතියකට ලක් කර, වයස්කාණ්ඩ අනුව නැරඹිය හැකි සීමාවන් පැණවූවා නම් කොච්චර අගේද ? පිට රටවල නම් PG13, PG 15, R, MA,

වැනි කාණ්ඩ වලට වැඩසටහන් බෙදා වෙන්කර තිබෙනවා… ඒ වගේම කිසියම් වැඩසටහනක දරුවන්ට නැරඹිමට නුසුදුසු ප්‍රචණ්ඩත්‍වය, නග්න දර්ශන, වාග් සංග්‍රාම වැනි දේ ඇත්නම් ඒ වැඩසටහනට පෙර සහ අතරවාරයේ ඒ බව දන්වනවා.. මේ නිසා දෙමාපියන්ට පුළුවනි තම දරුවන් ඒ වැඩසටහන් නැරඹීම සීමා කරන්නට…. ලංකාවේ වෙන්නේ මේක නොවෙයි.. දරුවන්, දෙමාපියන් සියල්ල එකතු වෙලා රූපවාහිනියේ පෙන්වන සියළුම දහජරාව නරඹනවා.. මේකෙන් වෙන්නේ ළමා මනස දූෂ්‍ය වන එකයි… ඉන්පසු කිසිම වාරණයක් දැමීමෙන් පලක් නැහැ…

මේ දේවල් අපේ නිසි බලධාරීන් තේරුම් අරන් නිසි පරිදි වැඩසටහන් වර්ගීකරණයකට ලක් කරනවා නම් අනාගත පරපුර නීති නොදමා නිසි මගට ගගන්නට පුළුවන් වේවි…

ඒ වගේ ලස්සන දවසක් එනකල් අපි බලා ඉමු….

2011 අප්‍රේල් 16,17,18 : අළුත් අවුරුද්දෙන් පසු එළැඹෙන අළුත් අවුරුද්ද…..


සමාවෙන්න… පසුගිය දවස් දෙකේම දිනපොත ලියන්න බැරි වීම ගැන… සෙනසුරාදා ඩෙලවෙයාර් ප්‍රාන්තයේ අවුරුදු උත්සවය නිම වෙනකොට රෑ 2.00 යි… සවස 4.30 ට අපේ ප්‍රධාන අමුත්තො දෙන්නා අරුණි ශපිරෝ මහත්මියයි ඩේවිඩ් ශපිරෝ මහත්මයයි ඇවිත් අවුරුදු උත්සවය ආරම්භ කළා… සූ ගාලා 10 දෙනෙක් ආවා පැටවු එක්ක, ඔක්කොම 16ක්… ඉතින් සුපුරුදු පරිදි කච බචේ එක්ක පටන් ගත්ත අවුරුදු උත්සවය අවසන් වුනේ උදේ දෙකට.. රෑ 10.00 ට විතර පටන් ගත්ත මහා කැරම් තරඟාවලිය නිම වුනෙත් ඒ වෙලාවෙ.. ආපු අය මගේ දිනපොතේ ගුණාගුණත් කියන්න අමතක කළේ නැහැ….දොස්තර මාමාත් කතාකළා… රසායන ද්‍රව්‍ය විෂ වීම පිළිබඳ පුංචි තොරතුරු පත්‍රිකාවක් හදන එක ගැන කතා කරගන්න… ඒක නම් කොහොමහරි කරන්න ඕන…

ආරාධිත අමුත්තො දෙන්න නම් වේලසනින් ගියා දුර යන්න තියෙන නිසා… ඒ අය හමු වෙච්චි එක නම් ලොකු දෙයක්… අපට බැරි වුනේ උතුරු ඇමරිකාවේ ඩෙලවෙයාර් ප්‍රාන්තයේ බ්ලොග් කරුවන්ගේ සැසිවාරයක් පවත්වන්න විතරයි… සභාපතිනියි ලේකම් තුමයි දෙන්නම එකතැන හිටියනේ…

උදේ පාන්දර ඇල්කෙමිච්චිගේ පොල්කිචි නාදයෙන් ඇහැ ඇරුණේ පන්සල් යන්න තියෙන නිසා.. තුනට විතර නිදාගෙන හතට ඇහැ ඇරෙනකොට දන්නවනේ තියෙන සනීපෙ… මොනව කරන්නද… පවුල රැකගන්න එපායෑ… නිදිමතේ ඔළුවත් කැක්කුමේම වොෂිංටන් බෞද්ධ විහාරයේ අවුරුදු වැඩසටහනට සහභාගි වෙන්න ගියා… එතැන පොඩි පැටවුන්ට දෙමවුපියන් සහ ගුරුවරුන්ට බුලත් දීලා වඳින්න සූදානම් කරලාත් තිබුණා.. වැඩේ නම් බොහොම අගය කළ යුතුයි… හොඳින් කෙරුණා… ඉන්පසු අගනුවර පොඩි රවුමක් යන්න හිතාගෙන හිටියත් තිබුණ අමාරුව නිසාම නෑදෑ ගෙදරකට ගිහින් දවස ගෙවලා සවස ගෙදර ආවා… එනකොටත් අර හිසේ කැක්කුම හොඳ වෙලා තිබුණෙ නැති නිසාම දිනපොත ලියන එක පැත්තක තියලා නිදාගත්තා..

ගිය සතියේ අපේ ලොක්කට පොඩි වාසියක් වෙලා… එයාට පර්යේෂණ කරගෙන යන්නට සුළු මුදලක් ලැබිලා රජයේ ආයතනයකින්… මේ නිසා ඒ පුවත විශ්ව විද්‍යාලයේ පුවත් අංශයෙන් ප්‍රසිද්ධ කිරීමට පින්තූර ගන්න පොටෝ නෝනා කෙනෙක් රසායනාගාරයට ආවා.. අනේ ඉතිං ලොක්කව ලෑස්ති කරලා මට අදාල වැඩ කොටස් නිම කරලා ඒ ගොල්ලන්ට පොටෝ ගන්න දීලා යන්න හදනකොට පොටෝ නෝනා ලොක්කගෙන් ඇහුවා මේ මම පොටෝ එකට දාන්න කැමතිද කියලා..( මගේ ලස්සන දැකලද කොහෙද…) ලොක්කත් ඉතිං හා කියපු නිසා Accidental Photo Shoot එකකටත් ඉන්න වුනා උදේ පාන්දර… පොටෝ නම් විසිපන්දාහක් විතර ගැහැවුවා……. පින්තූරෙ වෙබ් සයිට් එකේ වැටුනොත් ඔයාලටත් දන්වන්නම්.. නැත්නම් ඉතින් අමතක කරලා දාන්නම්..

අද දවසත් ඉතින් සුපුරුදු පරිදි වැඩ… සවස ඉස්සෙල්ලා වැඩකළ රසායනාගාරයේ මහචාර්ය වරයාගේ උපන් දින සාදයට සහභාගි වුනා… ලොකු කේක් කෑල්ලක් හම්බ වුනා… කන්න බැරුව ඒක කෑවෙ තුන්පාරකට… ආයෙම දිනපොත ලියන මෝඩ් එකට වැටුනේ දැන්…නවම් නම් අහලා තිබුණා තවම ලිස්සන ගහ උඩද කියලා… ඔන්න බැස්සා…. කියන්න දේවල් ගොඩක් තිබුණත්, ඒවා වෙන වෙනම කියන එක හොඳයි…

ඉතින්, අළුත් අවුරුද්ද අළුතෙන් පටන් ගනිමු….. දැන් දැන් ටික ටික රත් වෙන නිසාම සති අන්තයන් බොහෝ කාර්ය බහුල වේවි.. ඒ නිසාම සති අන්තයේ දින දෙක එක දිනයකට එකතු කරලා ලියන්න තීරණය කළා… අපියි කියලා බ්ලොග් ලිය ලිය ඉඳලාම හරියන්නේ නැහැනේ…..

2011 අප්‍රේල් 15 : ඩෙලවෙයාර් ප්‍රාන්තයේ අළුත් අවුරුදු උළෙල හෙටයි..


අද බොහොම මහන්සි දවසක්… උදේ ඉඳලම රසායනාගාරයේ වැඩ…. සවස Group meeting………
හෙට ඩෙලවෙයාර් ප්‍රාන්තයේ අළුත් අවුරුදු උළෙල… ඒ කියන්නේ අපි අවට සිටින පවුල් පහේ කට්ටිය එකතු වෙලා පුංචි පාටියක්…. පොඩි එවුන්ට කරන්න අවුරුදු ක්‍රීඩා කිහිපයකුත් හදලයි තියෙන්නේ….
ප්‍රධාන ආරාධිතයො දෙන්නා අරුණි සහ සුදු මහත්තයා….
අද දවසෙම මහන්සි වෙච්චි නිසාදෝ ලොකු හිස කැක්කුමක් තියෙනවා… ලියන්න දේවල් බොහොමයි.. ඒත් අමාරුයි..

අද නම් වේලසනින් නින්දට යනවා…
අවුරුදු උළෙලේ විස්තරත් එක්ක හෙට හමුවෙමු….

2011 අප්‍රේල් 14 : මෙන්න මෙහෙමයි අපි අළුත් අවුරුද්ද සැමරුවේ……


ලංකාවෙ අය අවුරුද්ද සමරනවිට අපි හොඳටම නිදි… ඊයෙ රෑ ගෙදර අස්-පස් කරලා තුන්දෙනාම හොඳටම මහන්සි පිට නිදාගත්තා… උදේම ඇල්කෙමිච්චි නැගිටලා තාත්තවයි පුතාවයි ඇහැ ඇරෙව්වා… ඇල්කෙමිච්චි නා-කියා ගන්නකල් මම කළේ කැකුළු හාල් ටිකක් සෝදලා ලිපේ තියන එකයි… ඊට පස්සේ මමත් දෙයියනේ කියලා පිරිසිදු වෙන්න ගියා… අවුරුද්ද දවසෙවත් ගඳ ගහන්නෙ නැතිව ඉන්න එපායෑ….

අවුරුද්දට ගෙනාපු අළුත් ඇඳුමකුත් ඇඳගෙන එනකොට කෑම මේසය හරියාගෙන එනවා… මේසෙ උඩ තිබුණ කිරිබත් පිඟාන කිරිබත් හැඩේට කපලා පිළිවෙලකට හදන අතරේ ඇල්කෙමිච්චි පැටියව ලෑස්ති කළා.
පහන් පත්තු කරලා බුදු හාමුදුරුවන්ට කිරිබත් කැවිලි පූජා කරලා තුන්දෙනා එක්ක මේසයට වාඩි වෙලා ආහාර වැළඳීම කළා… පැටියට එයාගේ ආසම දේ වන සෙල්ලම් කාර් එකක් තෑගි දුන්නේ අම්මා… ඒක එසේ මෙසේ එකක් නෙවෙයි 2010 Ford Mustang GT එකක්… පස්සේ පින්තූර දාන්නම්… තවම ඒවා කැමරාවේ… ඊට පස්සේ අපි දෙන්නාගෙම ගෙවල් වලට කතා කරලා අවුරුද්දට සුබ පැතුවා…..

නැකතට වැඩ අල්ලන එක නැකතක් බලාගෙන නොකළත්, පැටියයි අම්මයි නම් පොත් දෙකක් කියෙවුවා.. මමත් අළුතෙන් රසායන විද්‍යා සඟරාවකට ලියන්න බලාපොරොත්තු වන අපේ පර්යේෂණ ලිපියක් ලියන්න පේලියක් ආරම්භ කළා…

අද දවසේ වැඩ ගොඩක් රසායනාගාරයෙත් කරගත්තා… ප්‍රතික්‍රියා තුනක්ම කළා… දවාලේ පැයක් වොලිබෝල් ගහන්නත් ගියා… ඒකට නේ වොලිබෝල් කියන්නේ… අද හිටියේ ඔක්කොම වොලිබෝල් පුළුවන් අය…. හයේ හතරේ උස අය වගේම දෙකේ දෙකේ කොට එක්කෙනෙකුත් හිටයා.. දන්නවනේ කවුද කියලා….එක කණ්ඩායමක හිටියේ පස් දෙනයි. ඒ වුනාට බෝලයක් බිම වැටෙන්න විනාඩි පහක් විතර යනවා… එක්කෙනෙකුට එක්කෙනෙක් දෙවනි නෑ… කොහොම හරි ලකුණු 15 තරඟ දෙකක් යන්න පැයක් ගත වුනා… හොඳට දාඩිය දාගත්තා.. ආයෙම හවස ඇවිත් තවත් වැඩ ගොඩක් කරගත්තා…. ඒ වගේම තවත් ස්ඵටික ව්‍යුහයකුත් ලබා ගත්තා…. ඉතින් අළුත් අවුරුද්දේ පළමු දවස සාර්ථකයි.

ලොක්කත් අද ආවෙ නෑ.. එයාටත් දහසක් වැඩ… දැන් මේ ගෙදර යන්න ලෑස්ති වෙලා තමයි දිනපොත ලියන්නේ.. ඇල්කෙමියාගේ රසායනාගාරයටත් අළුතෙන් ලිපියක් ලියලයි තියෙන්නේ… නමුත් මේ දවස්වල මගේ පාඨක ජනතාව අවුරුදු සමරන නිසා ඒක දැම්මේ නෑ… කට්ටියට බලන්න අතපසු වෙන නිසා….

ඉරිදා දිහාට ඒක දාන්නම්… රසායනාගාරෙට අළුතින් ඇඳුමක් අන්දවන්නත් සූදානමක් තියෙනවා.. පුළුවන් වුනොත් ඒකත් කරන්න ඕන…. දැන් ඉතින් ගෙදර යන්න ඕන… පස්සේ හමුවෙමු…

ඒක නෙවෙයි… ඔයගොල්ලන්ගේ අවුරුදු කොහොමද ?

2011 අප්‍රේල් 13 : අවුරුද්දේ අරුමය……


සුබ අළුත් අවුරුද්දක් !

ලංකාවෙ නම් අද සිංහල-හින්දු අළුත් අවුරුද්ද… හිටියා නම් අද අම්මා-තාත්තා බලන්න ගමේ ගිහින්.. පැටියට ආච්චියි සීයයි එක්ක අවුරුදු සමරන්න තිබුණා… අවසන් වතාවට පවුලක් කියලා අම්මලා – තාත්තලා එක්ක අවුරුදු සැමරුවේ 2000 අප්‍රේල් මාසයේ. 2000 දෙසැම්බර් මාසෙ රටින් පිට වුනාට පස්සේ එකම අවුරුද්දක් වත් අවුරුදු කාලේ ලංකාවෙ ඉන්න බැරි වුනා…ජීවිතේ හැටි එහෙම තමයි. හැබැයි අපි හැමදාම අවුරුදු දවසට හිතින් ගෙදර.. දැන් මේ අම්මට කතා කරලා ඉවර වුනා විතරයි.
අද වේලසනින් ගෙදර ඇවිත් ගෙදර අස්පස් කළා.. සාලෙ තිබුණ පුටු මේස ටීවී ආදිය වෙනස් තැන්වලින් තියලා ගේ අළුත් කළා.. මාළු ටැංකියේ වතුර අස් කරලා මාළුන්ටත් අවුරුද්ද සමරන්න පිරිසිදු වතුර දාලා දුන්නා..

ඉස්සර අපි අවුරුද්ද එනකල් බලන් ඉන්නේ හරිම නොයිවසිල්ලෙන්… අවුරුද්දට පෙර ගෙවල් සෝදලා බිම පොලිෂ් කරලා මිදුලේ තණකොල ගලවලා ආදී වශයෙන් වට පිට පිරිසිදු කෙරෙනවා. ගෙදර කුස්සිය පිරිසිදු කෙරෙන්නේ අම්මා අතින්.. තාත්තත් කෙසෙල් කැණක් එහෙම දුම් ගහලා ලෑස්ති කරනවා.. අවුරුද්ද දවසට අළුත් ඇඳුම් ඇඳගෙන නොනගතේ වෙලාවට පවුල පිටින්ම පන්සල් යන එක සිරිතක්. පන්සල් ගිහින් ඇවිත් කුස්සියේ ලිප ගිණි මොනවන්න අම්මා ලෑස්ති වෙද්දි අපි නැකතට රතිඤ්ඤා පුපුරවන්න බලාන ඉන්නවා… අම්මා කිරිබත හදනකල් අපි කරන්නේ ටීවී එකේ අවුරුද්ද වෙනුවෙන් යන වැඩසටහන් බලන එකයි.. සමහර අවුරුද්ද දවස් වලට නම් ආරාධිත අමුත්තෙක් ඇවිත් ගෙදර ඉඳුල් කරනවා. පස්සේ පස්සේ මම හරි මල්ලි හරි ඒ වැඩේට යොදවගන්න තාත්තා තීරණය කළේ ඇයිද දන්නෙ නෑ.. සමහර විට අපි ගෙදරට අවනම්බු වෙන දෙයක් නොකළ නිසා වන්නට පුළුවනි..අපි ගෙදර නැතත් හැම අවුරුද්ද දාකම අපි වෙනුවෙන් පිඟානක් පිළියෙල වෙන්නේ අපි ගතින් නැතත් සිතින් ගෙදර අය එක්ක ඉන්න නිසා වෙන්න ඇති. නැකතට වැඩ අල්ලන්න අපි පුංචි කාලෙදි නම් පොත් කියවන්න ගණනක් හදන්න ආදිය යොදාගන්නවා.. සීයා ඉන්න කාලෙ නම් බැරි බැරි ගානෙ වුනත් සීයා එළියට ගිහින් උදැල්ලෙන් පස් ටිකක් කොටලා එනවා… එහෙමයි අපි අවුරුදු සැමරුවේ… කෑම පිඟන් අරන් නෑගෙවල් වල යන එකත් හරි අපූරුයි… එහෙම ගියාම පුංචි කාලෙ නම් රුපියලක් දෙකක් බුලත් කොලේක ඔතලා හම්බ වෙනවා.. ඒවත් අරන් එන්නේ ආච්චිලගෙ ගෙදර පිටිපස්සේ ඇති කැට ගහන තැනට.. ඉස්සර අපේ ආච්චිලගෙ ගෙදර පිටිපස්ස අවුරුදු දාට හරි සෙල්ලම්.. ලොකු අය ඉඩොක්ක ගහනවා… පොඩි අය කැට ගහනවා… ගෑණු කට්ටිය පංචි දානවා…. ඒ අවුරුදු තිහකට විතර ඉස්සර… දැන් නම් ඒවා කරන්න කවුරුත් නෑ…. ගමට පොලීසියකුත් ලැබිලා තියෙන නිසා කට්ටිය වැඩිය අවදානමක් ගන්නෙත් නෑ….

අළුත් අවුරුද්ද කියන්නේ මුළු ලංකාවම රටක් වශයෙන් කිසියම් දෙයක් එකට කරන දවසක්.. මේ විදියට හැම යහපත් දේම රටක් වශයෙන් කරන්න පුළුවන් නම් අපි දියුණු වෙන දවස ඈතක නෙවෙයි… නමුත් මේ සංසිද්ධිය අපි කවදා තේරුම් ගනීද ?

2011 අප්‍රේල් 12 : මුල හරි නොගියොත් අග සොරි වෙනවාමයි…..


අදත් සුපුරුදු පරිදි වැඩ… සිංහල අළුත් අවුරුද්ද කියලා සුද්දා අපට නිවාඩු දෙන එකක් යෑ… ලොක්ක නං අදත් ආවෙ නෑ ඔන්න Science fair එකක් විනිශ්චය කරන්න යන්න ඕන කියලා ගියා.. මට තමයි වැඩ වැඩි වුනේ. පොඩි එවුන්ට පරීක්‍ෂණ කරන්න රසායන ද්‍රව්‍ය නැතිලු… ඉතින් පැයෙන් පැයට ගබඩා කාමරයට ගිහින් බලනවා ඇනවුම් කරපු රසායන ද්‍රව්‍ය ඇවිත්ද කියලා. ඒකට තවත් හේතුවක් තිබුණා කියලයි අපේ රසායනාගාරයේ ඉන්න කොල්ලො ටික මට විහිළු කරන්නේ. ඒ තමයි දෙපාර්තමේන්තුවේ ගබඩා කාමරයේ වැඩට ඉන්න වයසක උන්දෑ වෙනුවට ටිකක් ඇහැට කණට පේන කෙල්ලක් ඇවිත් ඉන්නවා ඉදිරි සති තුනට… ඉතිං මම ඒ කෙල්ලව බලන්න යනවා කියලා තමයි කට්ටිය කියන්නේ.. බොරුත් නෑ බැලුවාම… තියෙන වලත්තකම……

මෙන්න මේ වගේ රූප තමයි ස්ඵටික ව්‍යුහයක් කියන්නේ

මේ දවස්වල අළුතෙන් සංයෝග හදන එක නැවැත්වුවා. හදපු සංයෝග නිසි පරිදි හඳුනාගැනීමේ පරීක්‍ෂණ වලට භාජනය කරලා ඒ සියල්ල නිසි ලෙස තහවුරු කරන කල් අළුතෙන් වෙනත් සංයෝග හදන්නේ නෑ කියලා මම හිතාගත්තා. ඒ නිසා නැවත නැවතත් මුලින් හදපු සංයෝග හදලා ඒවා සෑදීමේ ක්‍රියා පටිපාටියේ නිරවද්‍යතාවය තහවුරු කරන්න පටන් ගත්තා. ඒ අතරම අළුතෙන් තනා තිබූ සංයෝග කිහිපයක ස්ඵටික ව්‍යුහ රූප ගැනිමටත් යොමු කළා. මේ අතරවාරයේ අපේ රසායනාගාරයේ ඉන්න ස්ඵටික ව්‍යුහ රූප ගැනීමට පුහුණු කරපු කොලුවා වැඩේ පොඩ්ඩක් අනාගෙන.. මුලින්ම එක්ස් කිරණ විවර්තකය මගින් දෙන දත්ත වලින් නිසි පරිදි අදාල ඒකක කෝෂය (unit cell) තෝරාගත යුතුයි. මෙය වැරදියට තෝරා ගතහොත් සම්පූර්ණ ව්‍යුහයේම වෙනසක් ඇති වෙනවා. ඉතින් මේ කොල්ලා මුලින් වැරදි ඒකක කෝෂයක් තෝරගෙන වැඩේ හරියට කරගන්න බැරුව දඟලලා දඟලලා බැරිම තැන එක්ස් කිරණ විවර්තකය භාරව ඉන්න නිලධාරියා එක්ක එකතු වෙලා කොහොම හරි අන්තිමට ස්ඵටික රූප ව්‍යුහය නිවැරදි පරිදි සකසලා ගෙනත් දුන්නා… ඉතින් මට හිතුනේ ඇත්තෙන්ම සෑම දෙයකම මුල හරි නොගියොත් වැඩේ බකල් නේද කියන එකයි.

හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ කියන්නෙත් මේ අවනඩුවටම තමයි නේ… නිවසක වුනත් අත්තිවාරම සවිමත්ව, නිසි පරිදි එක මට්ටමකට දැම්මේ නැතිනම්, එක්කෝ නිවස ඇදයි, නැත්නම් කඩා වැටෙනවා. දරුවෙක් වුනත් කුඩා කාළයේ නිසි පරිදි ආචාරශීලීව, යහගුණ උගන්වා හැදුවේ නැත්නම් පසු කාළයක ඔවුන් යහමග ගන්නවා බොරු. සතෙක් වුනත් එහෙමයි. හරියට පුහුණු කළේ නැත්තං බල්ලෙක් වුනත් හතරවටේ ජරා කරනවා, සපත්තු කනවා, එක විකාරයයි. කළමණාකරණ විද්‍යාවේ Total Quality (පූර්ණ තත්ත්‍වය) කියන්නෙත් මෙන්න මේ සංසිද්ධියට තමයි. උදාහරණයක් විදියට මේ Total Quality කියන එක 100% ක්ම තිබිය යුතු ස්ථානයක් තමයි ගුවන් තොටුපල. වැරදිලා වත් ගුවන් යානා පරීක්‍ෂා කරන තාක්‍ෂණික නිලධාරියා නිසි පරිදි ගුවන් යානය පරීක්‍ෂා කළේ නැතුව කඩා වැටුනොත් වෙන්නේ මහ විනාශයක්. මේ වගේ බොහෝ සේවා ස්ථානවල මේ පූර්ණ තත්ත්‍ව කටයුතු කෙරෙනවා.

ඉතින් මේ ලබන අළුත් අවුරුද්දේ කරන්න හිතන් ඉන්න යමක් හරි විදියට මුල ඉඳලම කරන්න හිතට ගන්න. හරියට යමක් පටන් ගත්තාම හරියට කරගෙන යන්නත් ලේසියි. කරන්න ඉස්සර පොඩි සැලසුමක් ඇති කරගන්න. ඒ වගේම එක සැලසුමක් වැරදුනොත් කරන්න බලාපොරොත්තු වන දෙවන සැලසුම (Plan B) ගැනත් සිහියේ තබාගෙන වැඩ කරන්න…

සුභ අළුත් අවුරුද්දක්.

2011 අප්‍රේල් 11: සිංහල අළුත් අවුරුද්ද ඔබේ ලග්නයට කොහොමද ?


අළුත් අවුරුද්ද කිට්ටු වෙනවා නොදැනිම…. බොහොමයක් දෙනා පලාපල බලන්නත් යොමු වෙනවා…. මේ ඇල්කෙමියා දීර්ඝකාලීනව කරන ලද පර්යේෂණයක් අනුව ග්‍රහ පිහිටීම් අනුව ගනන් බලා කියන පලාපල විස්තරයයි….මේ ග්‍රහ පලාපල අර සුමනදාස උන්නැහේ ලංකාව ලෝක කුසලානෙ දිනනවා කිවුවා වගේ සත්තයි…

෴෴෴෴෴

ස්වස්ථි සිද්ධම්

෴෴෴෴෴


මේස ලග්නය

මේස ලග්නය

මේස ලග්නාධිපතින්ට ලබන අවුරුද්ද මිශ්‍ර ඵල ගෙන දේ. මේස මිලදි ගන්න අයට පාඩුත්, මේස විකුණන අයට ලාභත් ගෙන දෙන මේ අවුරුද්ද සමස්ථයක් වශයෙන් ගත් කල මේස හදන අයට තරමක් කරදරකාරී වාතාවරණයක් ලබා දේ. විශේෂයෙන් මේස සැදීමට ගන්නා අමුද්‍රව්‍ය හිඟ වීම නිසා බොහෝ මේස ලග්න කරුවනට අපල උපද්‍රව උදාවේ. මේ නිසා ප්‍රදේශයේ රජයේ දේශපාලුවෙකුට පඬුරක් ගැට ගසා, ඔහුගේ මාර්ගයෙන් හොරෙන් කපා ගත් ලී භාවිතා කර මේස සෑදීමෙන් ඒ අපල උපද්‍රව දුරු කරගත හැක. 

වෘෂභ ලග්නය.

වෘෂභ ලග්නය

වෘෂභ ලග්නාධිපතීන්ටද මේ වසර මිශ්‍ර ඵල ලබා දේ. පුරුෂ පක්‍ෂයේ වෘෂභ ලග්නාධිපතීන්ට තරමක් අපල වන අතර වැඩිපුර වැඩ කිරීමට සිදු වේ. කාන්තා පක්‍ෂයේ වෘෂභ ලග්නාධිපතීන්ට වැඩිපුර දරුවන් ලැබෙන වසරකි, එසේම ඔවුනට කිරියෙන් ඉතිරෙන වසරකි. මහළු වෘෂභ ලග්නාධිපතීන්ට මාරක අපල ලබා දෙන කාළයක් බැවින් පරිස්සම් වීම යහපති. නගරයේ වෙසෙන වෘෂභ ලග්නාධිපති කාන්තා පක්‍ෂයට වැඩි වැඩියෙන් වාසි ලැබෙන අතර ලෙඩ රෝග වැළඳීමේ අවදානමද වැඩිය. මේ නිසා කරන දෙයක් ආරක්‍ෂා සහිතව කිරීම යහපති. 

මිථුන ලග්නය.

මිථුන ලග්නය

මිථුන ලග්නාධිපතීන්ට මේ වසර යහපත් වසරකි. ඔවුනට වැඩි වැඩියෙන් සිය වැඩෙහි යෙදිය හැකි අතර තරමක් අපල නැතුවා ද නොවේ. අයථා අන්දමේ වැඩෙහි යෙදන්නන් සහ අනිසි ලෙස වැඩ කරන්නන් පරෙස්සම් විය යුත්තේ අදාල ස්ථානවලට පොලීසියෙන් පැනිය හැකි බැවිනි. එවිට පොලීසියට අල්ලසක් දීමට මුදල් අත තබා ගැනීම යහපති. මිථුන ලග්නාධිපතීන් ආරක්‍ෂාකාරීව වැඩෙහි නොයෙදුනහොත් දරුඵල මහත් රාශියක් ලැබෙන වසරකි.

කටක ලග්නය.

කටක ලග්නය

කටක ලග්නාධිපතීන්ට මෙය තරමක් අයහපත් කාළයකි. සංචාරක ව්‍යාපාරය වැඩි දියුණු වීම නිසා කටක ලග්නාධිපතීන් ව්‍යාපාරිකයන්ගේ අවධානයට ලක්වීමෙන් ජීවිත හානි ඇතිවිය හැකිය. විශේෂයෙන් සංචාරක කලාප ආශ්‍රිතව ජීවත් වන කටක ලග්නාධිපතීන් රට තුළ වාසය කිරීමට යාම යහපති. කෙළින් ගමන් කිරීමට පුරුදු වූ කටක ලග්නාධිපතීන්ට සංචාරක ව්‍යාපාරය මගින් ලාභ ලැබීමක් ද කරගත හැක. පාර්ලිමේන්තුවේ සිටින කටක ලග්නාධිපතීන් සිහියේ තබාගත යුත්තක් වන්නේ නිසි ලෙස කට පරිස්සම් කරගැනීමයි…

සිංහ ලග්නය

සිංහ ලග්නය

සිංහ ලග්නාධිපතීන්ගේ එළැඹෙන වසර තරමක් මිශ්‍රඵල ලබා දේ, IPL තරඟාවලියට සහභාගී වන සිංහ ලග්නාධිපතීන් පැරදුනත් දිනුවෝ වෙති. සෙසු සිංහ ලග්නාධිපතීන් ඊලඟ සංචාරය එනතෙක් බලා සිටිය යුතු වේ. සත්තු වත්තේ සිටින සිංහ ලග්නාධිපතීන්ට ආහාර හිඟයකට මුහුණ පාන්නට සිදු වේ. ඒ නිසා දැන්ම තණකොළ කෑමට පුරුදු වීම යහපති.

කන්‍යා ලග්නය.

කන්‍යා ලග්නය

පවතින තත්ත්‍වය යටතේ කන්‍යා ලග්නාධිපතීන්ට ඉතාමත් අපල බව ඉඳුරාම පැවසිය හැක. මිථුන ලග්නාධිපතීන් හා බන්ධනය වන කන්‍යා ලග්නාධිපතීන් නිතැතින්ම මිථුන ලග්නාධිපතීන් බවට හැරෙන නිසා කන්‍යා ලග්නාධිපතීන්ගේ ප්‍රමාණයේ අඩුවක් දැකිය හැක. ඉතිරිව ඇති කන්‍යා ලග්නාධිපතීන් එක්කෝ ඇහැට කනට පේන කන්‍යා ලග්නාධිපතීන් නොවීම හෝ කිසිවෙකු සමග බන්ධනය වීමට හැකියාවක් නැති කන්‍යා ලග්නාධිපතීන් වීම ඔවුන්ගේ පැවතීමට කරුණක් විය හැක.

තුලා ලග්නය.

තුලා ලග්නය

තුලා ලග්නාධිපතීන්ට මේ වසර අධික ලාභ ලබා දෙන වසරකි. විශේෂයෙන්ම දේශපාලුවන් හා සම්බන්ධිත තුලා ලග්නාධිපතීනට අවැසි ඕනෑම දෙයක් කර ජීවත් වීමේ හැකියාව ලැබෙන වසරකි. එසේ නොවන තුලා ලග්නාධිපතීනට කප්පම් ගෙවීම නිසා ධන හානි සිදුවන වසරකි. මේ නිසා ප්‍රදේශයේ අදාල දේශපාලුවාට තුටු පඬුරු පූජා කිරීම මගින් දේව උදහසට ලක් වීම වලක්වා ගත හැකිය. ඉඳ හිට පනින කිරුම් මිනුම් දෙපාර්ගතමේන්තුවේ නිල මැස්සන්ට දීමට මත්පැන් බෝතලයක් සහිත පූජා වට්ටියක් නිතර ලඟ තබා ගැනීම යහපති.

වෘශ්චික ලග්නය.

වෘශ්චික ලග්නය

වැඩි වැඩියෙන් කෘෂිරසායන ද්‍රව්‍ය භාවිතා වන නිසා වෘශ්චික ලග්නාධිපතියන් වඳ වීමේ තර්ජනයකට මුහුණ පාන වසරකි. දැනට තමන් සිටින වාසස්ථානයේම සිටීමෙන් හෝ හැකි පමණ මිනිස් වාසයෙන් තොර වූ ප්‍රදේශවල විසීමෙන් මේ අපල උපද්‍රව දුරු කරගත හැක. එසේම මනුෂ්‍යයන්ට අනතුරු කිරීමෙන් මාරක අපල ලැබේ.

ධනු ලග්නය.

ධනු ලග්නය

මේ වසරේදී ඔලිම්පික් උළෙලක් නැති නිසා ධනු ලග්නාධිපතීන්ට මේ වසර කිසිදු වෙනසක් නැති වසරකි. දේශපාලුවන්ට සමීප ධනු ලග්නාධිපතීන්ට ඡන්ද කාලයේ මෙන් වැඩිපුර වැඩ කිරීමට සිදු නොවේ. කප්පම් ගැනීම තරහකරුවන් පැහැරගෙන යාම වැනි සුළු වැඩ කිහිපයක් හැරුන විට බරපතල වැඩ කිරීමට සිදු නොවේ. නමුත් ප්‍රතිවිරුද්ධ ධනු ලග්නාධිපතීන් සෑමවිටම උච්ච ස්ථානයේ පසුවන නිසා සියළු ධනු ලග්නාධිපතීන්ට පොදුවේ මාරක අපල ගෙන දෙන වසරකි

මකර ලග්නය.

මකර ලග්නය

මකර ලග්නාධිපතීන්ට ගිය වසරේ මෙන්ම වාසි ලැබුනද එය තමන්ට තබාගත නොහැකි වසරකි. බොහොමයක් රාජ්‍ය අංශයේ මුදල් මකර ලග්නාධිපතීන්ගේ මුඛයට යෑම ඊට හේතුවයි. එසේ වුවද මකර ලග්නාධිපතීන්ට මූල්‍යමය වශයෙන් වාසි නොලැබෙන වසරක් වනුයේ එසේ මකර ලග්නාධිපතීන්ගේ මුඛයට යන රාජ්‍ය මුදල් නැවත එසේ යැවූ පුද්ගලයාම අත් කරගන්නා බැවිනි.

කුම්භ ලග්නය

කුම්භ ලග්නය

සෑම වසරක මෙන්ම කුම්භ ලග්නාධිපතීන්ට මේ වසර ද යහපත් වේ. විශේෂයෙන් රාජ්‍ය අංශයේ සේවය කරන කුම්භ ලග්නාධිපතීන්ට වැඩි වැඩියෙන් නිදාගැනීමේ අවස්ථාව හිමි වන අතර ඒ හා සමාන මුදල් ගරා ගැනීමට ද හැකියාව ඇති වේ. දේශපාලුවෙකුගේ හෙංචයියෙක් වන කුම්භ ලග්නාධිපතීන්ට වැඩි වැඩියෙන් මූල්‍ය වාසි හිමිවන අතර ඔවුනට අසීමිත බලයක් හිමි වන වසරකි. විශේෂයෙන් මැතිවරණයක් ඇති විට ඔවුන්ගේ අගය දෙගුණ තෙගුණ වන බැවින් දිනන පැත්තට හෝයියා දමාගෙන සිටීම මැනවි.

මීන ලග්නය.

මීන ලග්නය

මීන ලග්නාධිපතීන්ට මේ වසර දැඩි අපල ලබා දෙන වසරකි. විශේෂයෙන් දැල් වලට අසු වීම. වැරදි ඇම කෑම වැනි මාරක අපල ලබා දෙන වසරක් වන අතර ජීවිත හානි අධිකවේ. එසේ වුවද මීන ලග්නාධිපතීන්ගේ අගය ඉතාමත් ඉහළ යන වසරකි. අන් කිසිකෙනෙකුටත් වඩා මීන ලග්නාධිපතීන් කප්පම් කරුවන්ගේ අවධානයට සහ ඇගයීමට ලක්වන බැවින් ඔවුනට ඉතා විශාල මාධ්‍ය ප්‍රසිද්ධියක් ලැබෙන වසරකි. මීන ලග්නාධිපතීන්ගේ අගය වැඩි වූයේ කෙසේ දැයි රටම සොයා ගන්නා වසරක් වන අතර රජයේ ක්‍රියාකලාපය අනුව මීන ලග්නාධිපතීන්ගේ අගය අඩු හෝ වැඩි විය හැකි වසරකි.

මේ පලාපල අනුව කටයුතු කිරීමෙන් ඔබගේ ඉදිරි අවුරුද්ද සාර්ථක කරගත හැකිය…..

2011 අප්‍රේල් 10 : අවුරුද්දත් කිට්ටු කිට්ටු………. පඩිපතටත් තට්ටු තට්ටු……..


අද ඉරිදා… ඊයෙ තිබූ උගුරේ අමාරුව දැන් පූර්ණ හෙම්බිරිස්සා තත්ත්‍වයක් දක්වා වර්ධනය වෙලා.. ඒ නිසාම ටිකක් වැඩිපුර නිදාගත්තා… ගෙවල් වලට කතා කරද්දි තමයි තේරුණේ සිංහල-දමිල අළුත් අවුරුද්ද තව දවස් තුනකින් එනවා කියලා… අපට නම් ඒක දැනෙන්නේ නැහැ… කෝ අඬන්න කොහෙක් වත් ඉන්න එකක් යෑ.. පාත්තයො නම් අඬාගෙන යනවා හැම නිතරම…
අපේ පවුලට එකතු වන අවුරුදු කුමාරයා නිසා ආච්චීයි සීයයි ( ඒ කියන්නේ අපේ අම්මයි තාත්තයි) නම් ඉන්නේ සන්තෝසෙන්, එහෙම වුනයි කියලා අමුතුවෙන් සාරෙට අළුත් අවුරුද්ද ගැනෙන එකක් නැහැ. පුතාලා දෙන්නම රටේ නැතිකොට අම්මලාට මොන අවුරුදු ද? මම රට ආපු දවසේ ඉඳලා අවුරුදු ගනිත්දි වෙන් කරපු මගේ කෑම පිඟාන වෙනදා වගේම මේ සැරෙත් බල්ලො කාවි… සමහරවිට කැවිලි ටික නං නංගි කාවි… මේ සැරේ කැවිළි හදන්නෙත් නෑ කියලයි අම්ම කිව්වේ.. අම්මත් ටිකක් ලෙඩ ගානේ… සීනි වැඩි මනුස්සයා සීනි තියෙන කැවිලි කෑවම වැඩ ගොඩ වෙනව නේ… බොහොමයක් ගෙවල්වල තත්ත්‍වය මේකයි.. දරුවො වෙන් වෙලා දුර පලාත්වල යනවා… දෙමවුපියෝ මහගෙදර තනි වෙලා… අපිත් ආසයි අවුරුද්දට ගෙදර ඇවිත් නෑදෑයො එක්ක නිදහසේ කතා කරන්න… ඒත් කෝ එන්න විදියක් ? ප්‍රශ්න ගොඩයිනේ.. බැඳීම් ගොඩයි…. නිවාඩු ගන්න ප්‍රශ්න, අපේ අවුරුද්ද කාලේ පැටියගේ පාසලේ නිවාඩු නැති ප්‍රශ්න, ආදී ප්‍රශ්න ප්‍රශ්න…..

අම්මා කියපු විදියට ගම් වල නම් ඒ තරම් සරුවක් නෑ අවුරුදු… මිනිස්සුන්ට නිදහස තිබුණත් කන්න අඳින්න සල්ලි නැත්තං කොහොමද අවුරුදු සමරන්නේ ? ආණ්ඩුවෙන් බඩු මිල අඩු කරනවා කියුවත් ඉස්සර තිබුණ ගණනට ගන්න බෑලු.. ඇත්ත තමයි… එන්න එන්න බඩු ගණන් වැඩි වෙනවා මිසක් කොයි රටකවත් අඩු වෙන සිරිතක් නෑනේ… මාළුවල මිල ගණන් වැඩි වෙන්නේ කොහොමද කියන එක රටම හොයාගත්තේ පෑලියගොඩ වෙළඳ සංකීර්ණයේ සිද්ධියෙන් පස්සේ… අනෙකුත් වෙළඳ මධ්‍යස්ථානවලත් මේ තත්ත්‍වයේ වෙනසක් නැතිව ඇති. ඒ නිසා ඉතින් වෙලෙන්දො කරන්නේ කප්පම් කරුවන්ට ගෙවන්න තියෙන සල්ලි මහජනතාවගෙන් අය කරගන්නවා…

මේ තත්ත්‍වය වෙනස් කරන්න පුළුවන් කාටද ? කප්පම් කාරයොන්ගෙන් සල්ලි ගන්නෙ නැති කෙනෙකුට පමණයි.. බැලු බැල්මට නම් ආරක්‍ෂක ලේකම් තුමා අන්න ඒ වගේ පුද්ගලයෙක්. ඒ ඔහු දේශපාලනඥයෙක් නොවීම නිසා… මිනිස්සුන්ට ඇති එකම බලාපොරොත්තුව ඔහු වන්නට පුළුවන්. සියළුම දේශපාලනඥයෝ දූෂිතයි… ඔහුගේ මගපෙන්වීම යටතේ මේ කප්පම් කල්ලි අඩු කරලා (නැති කරන්න නම් අමාරු වෙයි) මිනිස්සුන්ට සහනයක් කෙරෙනවා නම් ලොකු දෙයක්…. සමහර විට මේ මට පෙනෙන පැත්ත වෙන්න පුළුවනි… තවත් සමහර දේශපාලන දර්ශනයක් හෝ න්‍යාය පත්‍රයක් ඇති කෙනෙකුට ඔහුව වෙනස් ආකාරයකට පේන්නට පුළුවනි… ඒ අපේ ස්වභාවය නේ….. ඒ ගැන අපි වාද විවාද කරගන්න අවශ්‍ය නෑ..

රටට වැඩක් නැති ප්‍රමාණයකට දේශපාලනඥයෝ ඉන්නකොට ඔවුන්ව නඩත්තු කරන්න වැය වෙන්නේ රටේ බදු මුදල්… එවිට මහජනයාගේ යහපතට ඒවා යොදාගන්නට බැහැ… එවිට සල්ලි නැති කමින් බොහෝ තැන් වල නියමිත පරිදි වැඩ කෙරෙන්නේ නැහැ.. මෑතකදී රජයේ රෝහල් 95 ක් වැසී ගිහින් කියලත් පත්තරේ තිබුණා… මේවා ඉතින් කාට කියන්නද ? මොන පක්‍ෂය ආවත් මේ තත්ත්‍වය එකමයි.. ඔක්කෝම එකම වල්ලේ පොල් තමයි..

කොහොම වුනත්……. පඩි පතට තට්ටු වෙන්නේ නැති අවුරුද්දක් කවදා හරි එනකල් මිනිස්සු බලාගෙන ඉන්නවා..

2011 අප්‍රේල් 09 : නිතරම අළුත් වන්න…. හැම දෙයින්ම…..


අද උදේ නැගිටිනකොට කොහේදෝ නැති උගුරේ අමාරුවක් ඇවිල්ලා… පැටියාගෙන් වෙන්න ඕන බෝ වෙලා තියෙන්නේ.. කොහොම වුනත් ඇල්කෙමිච්චි හදලා දීපු කොත්තමල්ලි-ඉඟුරු-සුදුළූණු-කුරුඳු මිශ්‍රණයක් බීලා වැඩට ගියා. සවස් වනවිට තරමක් මහන්සිත් වුන නිසාම බෙහෙත් පෙත්තක් බීලා ඇඟේ අමාරුව අඩු කර ගත්තා… දැන් දැන් පරිසරය රත් වන නිසා ඇඟට ඒ වෙනස සමහර විට ඔරොත්තු දෙන්නේ නැහැ.. ඒ වගේම මේ කාලෙට ටිකක් මේ උණ හෙම්බිරිස්සාව ගතිය පැතිරිලා යනවා හැමෝම අතරේ.. සමහරු නම් ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා ගන්නවා… ස්වභාවික ප්‍රතිශක්තිකරණය ගැන විශ්වාසය තබන අපි ඒ එන්නත් ලබාගන්නේ නැහැ… ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා ගන්න පුද්ගලයෝ කරන්නේ තමන්ගේ සිරුර තුළ ඇතිවන ස්වභාවික ප්‍රතිශක්තිකරණයට නිවාඩු ලබා දීලා එන්නත් වලට රෝග සමග සටන් කිරීමේ අයිතිය ලබා දෙනවා… මේ නිසා ස්වභාවික ප්‍රතිශක්තිකරණය දුර්වල වෙලා එන්නත් නැති අවස්ථාවක රෝග ලක්‍ෂණ උත්සන්න වෙනවා.. මේ නිසාම අපි නම් කෘත්‍රිම ප්‍රතිශක්තිකරණය ගැන විශ්වාසය තබන්නේ නැහැ.

අද අපේ රසායනාගාරය පිරිසිදු කරන දවස (Spring Cleaning) උදේ 9.00 වෙනකොට ඔක්කෝම රසායනාගාරයට ඇවිත් හිටියා. ලොක්කා හැමෝටම උදේ කෑමට බේගල් ගෙනත් තිබුණා… හැමෝම බේගල් ඇදබාලා එකිනෙකාට පැවරිලා තිබුණ පිරිසිදු කිරීම් කලා…

මට පැවරිලා තිබුණේ මගේ වැඩ කරන ස්ථානය පිරිසිදු කරගන්න සහ අපි පොදුවේ පාවිච්චි කරන Glove Box එක පිරිසිදු කරන්නයි. මගේ Hood එක (සිංහලෙන් කියනව නම් දුම් කූඩුව) තරමක් පිරිසිදුවටයි තියාගෙන ඉන්නේ… හැමදාම කරන පරීක්‍ෂණ වලට පස්සේ අදාල භාජන සෝදලා තබන නිසා වැඩිපුර අපිරිසිදු වන්නේ නැහැ… නමුත් සමහරවිට වැඩ වැඩි වුනාම සමහර දේවල් අතපසු වෙනවා…
ඉතින් අද අපි සියළු දෙනාම එකතු වෙලා රසායනාගාරය පිළිවෙලක් කළා…. දවල් කෑමට ලොක්කා පිට්සා ගෙනැවිත් තිබුණා.. අපේ පොඩි එවුන් නම් කන්න දන්නෙම නෑ… පිට්සා ටික කොහේ ගියාද දන්නේ නෑ ටික වෙලාවකින්… නැවතත් කට්ටියම එකතු වෙලා රසායනාගාරයේ අඩුපාඩු පිළිසකර කරලා නිම කළා…

ඉඳලා හිටලා තමන් වැඩකරන තැන පිරිසිදු කරලා නවතාවයක් දෙන එක කාටත් හොඳ දෙයක්.. එවිට එතැන වැඩ කරන්න ප්‍රියමනාප බවක් ඇති වෙනවා. සාමාන්‍යයෙන් තමන් වැඩ කරන තැන නිතර පිරිසිදුව තබා ගත යුතු වුනත්, වැඩ කිරීමේදී නිතැතින්ම එතැන අපිරිසිදු/අපිළිවෙල වෙනවා… මේ නිසා සැරෙන් සැරේ මෙසේ පිරිසිදු කිරීමෙන් තමන් ඒකාකාරි බවෙන් මිදීමක් වනවා නගේම නැවතත් අළුත් වීමක් හැඟෙනවා…
ගෙයක් වුනත් එහෙමයි… හැමදාම පුටු මේස තියන තැන් වෙනුවට, අළුත් අළුත් ස්ථානවල පුටු මේස තැබීමෙන් ඔබටම ඒ ඒ ස්ථානවල ඇති වෙනස වටහාගන්නට පුළුවනි.. මෙය ඔබ අවට පරිසරයටම විතරක් නොවෙයි, තමන්ගේ සිතුම් පැතුම්, අරමුණු, හැසිරීම්, ආදියටත් ඇතුළු කරගත්තාම ඔබ හැමදාම අළුත් පුද්ගලයෙක් වේවි… එවිට හැමෝම ඔබට කැමති වේවි…

ඉතින්….. නිතරම අළුත් වන්න… එවිට ඔබටම පෙනේවි වෙනස……. අත්හදා බලන්න….

2011 අප්‍රේල් 08: තමන් රැකබලාගන්න ආත්මාර්ථකාමී වෙන්න… ඒකට කමක් නෑ….


අද උදේ තමයි දැක්කේ… ඊයෙ ජගත් සෞඛ්‍ය දිනය ලු…. ලෝක සෞඛ්‍ය සංවිධානෙ නියම කරලා තියෙන්නේ….
කොහොමද අපේ ‍සෞඛ්‍යය රැක ගන්නේ කියල අමුතුවෙන් කියලා දෙන්න දෙයක් නෑ කියලා හිතුවත්, අපි නොසිතා කරන දේ වලින් අපේ සෞඛ්‍යය දන්නේම නැතිව පහළ යනවා.

ආහාර

උදේ නැගිට්ට වෙලේ ඉඳලා රෑ නින්දට යනකල් කරන දේ වලින් අපි අපේ සෞඛ්‍ය සම්පන්න බව විවිධ විදියට උකසට තබනවා… උදේ නැගිට්ටාම සමහරු නම් වතුර වීදුරුවක් පානය කරනවා… ඒක එක අතකට හොඳ වැඩක්… ඔය Chain E-mail වල කියන විදියට වතුර වීදුරුවක් උදේ පාන්දර බිව්වාම පිළිකා, හෘද රෝග ආදිය ලෙඩ සනීප වෙනවා කියන දේ කෙසේ වෙතත්, උදේ පාන්දර ජලය පානය කිරීමෙන් වකුගඩු ක්‍රියාත්මක වී මුත්‍රා පහවීම, නිසි පරිදි මලපහ කිරීමට අවශ්‍ය පරිදි ශරීරය සජල කිරීමක් (Hydration) කෙරෙනවා. මේ නිසා ආහාර ජීර්ණ පද්ධතිය මුත්‍රා පද්ධතිය ආදිය මැනවින් ක්‍රියා කරනවා. ඉන්පසු වඩාත්ම වැදගත් දේ වන්නේ උදෑසන ආහාරය. අපි බොහෝ දෙනෙක් කාර්ය බහුල නිසාම උදෑසන ආහාර වේල අමතක කරනවා. උදෑසන ආහාර වේල කියන්නේ අපි සාමාන්‍යයෙන් පැය 12 ක් විතර බඩගින්නේ ඉඳලා බඩට දාන කෑම වේලක්. Breakfast කියලා සිංහලෙන් කියන්නේ උපවාසය අත්හරින එක… ඒ කියන්නේ දිගු කාළයක් බඩගින්නේ ඉඳලා ආහාර ගැනීම ගැන… ඒ නිසා උදෑසන ආහාර වේල හොඳින් සමබලව පෝෂ්‍යදායීව ලැබිය යුතුයි.. නමුත් බොහෝ දෙනා කරන්නේ කලබලේට තියෙන දෙයක් කාලා හෝ කඩයෙන් ගන්නා සුළු ආහාර වේලකින් උදෑසන බඩ පුරවාගැනීමයි… මේ නිසා  නිසි පෝෂණ ගුණයක් සහිත ආහාර වේලක් නොලැබී යනවා. එසේම දවල්ට සමහරු බඩගින්නේ ඉඳලා රෑ කෑම වැඩියෙන් ගන්නවා.. එසේත් නැත්නම් දවල්ට හොඳට කාලා, රෑ ආහාරය දුවනගිරි හෝටලයකින් අරන් ගෙදර යනවා. මේ නිසා හරිහැටි පෝෂණයක් ලැබෙන්නේ නැතිවාක් මෙන්ම වැඩියෙන් කැවෙන්නේ ජරාවම වීමත් සිදු වනවා..

ව්‍යායාම.

බොහෝ දෙනා සිතන්නේ වැඩට යාම, ගෙදර වැඩ කිරීම ශරීරයට ව්‍යායාම දෙන කටයුත්තක් කියලයි… එසේ වුවත් ඒ වැඩ කිරීම් වලින් ශරීරයේ සෑම තැනටම ව්‍යායාම් ලැබෙන්නේ නැහැනේ… දැන් නිවෙස්වල සිටින අය දර පැලීම, පිටි කෙටීම, ගෙවත්තේ වැඩ ආදී ශරීරය මහන්සි වන වැඩ කෙරෙනවා අඩුයි.. මේ නිසාම දවසේ කිසියම් වෙලාවක හැල්මේ ඇවිදීම වැනි ක්‍රියාවක්, හෝ නිවසේම තැනක සුළු ව්‍යායාමයක් කිරීමෙන් ශරීරයේ ලේ ගමනාගමනය, මාංශපේෂි ක්‍රමාණුකූලව ක්‍රියාකිරීම, නිසි පරිදි හෝමෝන ක්‍රියාකාරීත්‍වය වැනි කරුණු සිදු වෙනවා. ව්‍යායාම කිරීම මගින් ශරීරයේ සතුටු හෝමෝන වන සෙරටොනින් ශ්‍රාවය වැඩි වෙනවා.  මේ නිසා සිත සතුටු වනවා වගේම ගතත් සතුටු වනවා.

මානසික සෞඛ්‍යය.

සෑම දෙනාටම වගේ විවිධාකාර ප්‍රශ්න තියෙනවා. ඒ ප්‍රශ්න තිබුණා කියා බොහොමයක් දෙනා සිය දෛනික රාජකාරි කෙසේ හෝ ඉටු කරනවා. නමුත් ඒ අය සමහරවිට සේවා ස්ථානයේ ඇති ප්‍රශ්න, නිවසේ ඇති ප්‍රශ්න ආදිය නිසා මානසිකව කරදර විඳිනවා.. මේ බොහොමයක් ප්‍රශ්න සාකච්ඡාවෙන් විසඳගත හැකි ප්‍රශ්න.. අනෙක් අයගේ සිත් තමන් විසින්ම කියවාගැනීම නිසා ඇති වන වැරදි වැටහීම් වලින් සිත් පුරවාගෙන තමන් දුක් විඳිනවා… සමහරවිට ඒ පුද්ගලයා මේ ගැන දන්නේවත් නැතුව ඇති… මේ නිසා සමහරවිට බොහෝ ප්‍රශ්න ඇති වනවා… සිතේ යමක් ඇත්නම් එය අදාල පුද්ගලයා සමඟ සාකච්ඡා කර විසඳාගැනීමෙන් බොහෝ වැරදි වැටහීම් විසඳා ගත හැකියි.. එය මිතුරු සබඳතා අළුත් වනවා පමණක් නොවෙයි තමන්ටත් සිතට නිදහසක්. මෙය මිතුරු මිතුරියන් අතර පමණක් නොවෙයි අඹු-සැමියන් අතරත් බොහෝවිට දැකිය හැකි දෙයක්..

ලිංගික සෞඛ්‍යය

ලිංගික කියන වචනයත් අපේ සමාජයේ දෙවිදිහකට වටහාගෙන ඇති වචනයක්. වැඩිහිටි පරපුරට එය කුණුහරුපයක්  වගේම බාල පරපුරට එය චූන් වන වචනයක්.. මේ පරම්පරා ගැටුම නිසා ලිංගිකත්‍වය යන්න කිසි කෙනෙක් එළිපිට කතා නොකරන දෙයක් බවට පත් වෙලා. මේ නිසා බාල පරපුර ලිංගික දැනුම ලබා ගන්නේ අයථා ක්‍රම වලින්. ඉස්සර නම් පත්තර (ගන පත්තර – උපුටා ගැනීම බ්ලොග් ගඩොල් පූසොන්ගෙන්) දැන් නම් අන්තර්ජාලයෙන්.. මේ නිසා නව යෞවනයින්ට නිසි ලිංගික දැනුමක් නොලැබෙනවා සේම ඔවුන් ලබන දැනුමද විකෘති විය හැකියි.. අඹු-සැමියන් අතර පවා මේ ගැන කතා කෙරෙනවා අඩුයි… එසේම විවිධ සීමා මායිම් වලින් බොහෝ දෙනාගේ හැඟීම් බැඳ තබලා.. දරුවන් නිදාගන්නේ මව සමඟ, එක්කෝ අඹු-සැමියන් ජීවත් වන්නේ දෙමාපියන් සමඟ. මෙවැනි බාධක නිසා සමහරුන්ගේ ලිංගික නිදහස සීමා වෙලා.. මේ නිසාම බොහෝ දෙනෙක් ලිංගිකව අසහනකාරී තත්ත්‍වයකයි ඉන්නේ.. මේ නිසාම එක්කෝ ඔවුන් අයථා සම්බන්ධකම් වලට හෝ සේවා ස්ථානවල සම්බන්ධකම් වලට පැටලෙනවා… මේ නිසා පවුල් අවුල්, සියදිවිනසාගැනීම් ආදී අවාසනාවන්ත තත්ත්‍වයකින් මේ කතා කෙළවර වෙනවා. මේ තත්ත්‍ව වලක්වා ගැනීමට අඹු-සැමියන් අතර විවෘත සංවාදයක් ඇති විය යුතුයි… සාමාන්‍යයෙන් නිතර ලිංගිකව එක් වන අඹු-සැමියන් අතර නොහොඳ නෝක්කඩු අඩුයි.. ආදරය වැඩියි…  ඒ වගේමයි, ඒ අය නිරෝගීයි, සතුටින් සිටිනවා….

ඉතින් මේ බොහොම සරළව අපි ගැන අපිටම බලා ගන්න පුළුවන් ක්‍රම කීපයක්.. මේවා විතරක්ම නොවෙයි.. වෙනත් වෙනත් දේත් මේ මනා සෞඛ්‍යමය දිවිපෙවෙතකට අයත්.. සාමාන්‍ය දැනීම හෙවත් Common sense තියෙන අය දෙයියනේ කියලා මේ දේවල් තමන්ම සිතලා බලලා කටයුතු කරනවා… ඉතින් තමන් ගැන සිතලා බලලා, තමන්ගේ සෞඛ්‍ය රැක ගැනීම පිළිබඳ ආත්මාර්ථකාමී වන්නට එකිනෙකාට අයිතියක් තියෙනවා.. ඉතින් තමන්ව රැකබලාගන්නට ආත්මාර්ථකාමී වෙන්න.. ඔබ දිගු කලක් ජීවත් වේවි…