Monthly Archives: මැයි 2011

2011 මැයි 27 : සතියක විරාමයකින් හමුවෙමු……


හෙට ඉඳලා සතියක් යනකල් දිනපොත ලියන්නට වෙන්නේ නැහැ. මතකනේ අපි අපේ ලුයිසියානා වල ඉන්න ඇමරිකන් දෙමාපියො බලන්න යනවා කියලා කිවුවා… ඒකට සතියක් ගතවෙනවා. ලුයිසියානා වල විතරක්ම නොවෙයි, මිසිසිපි සහ ටෙක්සාස් යන ප්‍රාන්ත වලත් සංචාරය කරනවා. පළමු ගමන පැය 16 ක්.. හෙට උදෙන්ම පිටත් වෙනවා. හැතැක්ම 980 ක්… ඉතින් හොඳ ගණන්… හරියට යාපනේ ගිහින් එනවා වගේ…. දෙවැන්න පැය 9 ක්. ලේසි නෑ.. එහෙම ගිහින් හූස්ටන් වල තියෙන දේවල් ටිකක් බලන්නත් එහේ ඉන්න යාළුවො ටිකක් බලන්නත් යනවා…

2003 දී ලුයිසියානා වල ඉඳලා එනකොටත් මේ වගේම ගමනක් ආවා… දැන් ඒක දෙපැත්තකට කරනවා. මෙහේ පාරවල් හොඳ නිසා සහ වේග සීමාව වැඩි නිසා ඉක්මනටත්, පහසුවෙනුත් යන්න පුළුවන්. ඒ වගේම මේක දීර්ඝ සති අන්තයක් නිසා හැමෝම විවිධාකාර ගමන් යන නිසා පාරවල් බොහෝ දුරට වාහන වලින් පිරීලා පවතීවි…  ඒ හැම දේම සලකා බලලා උදෙන්ම යන්න ඕන…

අද Nature Chemistry  කියන විද්‍යාත්මක සඟරාවේ සංස්කාරකවරයෙක් ඇවිත් දේශනයක් දුන්නා… එය ඉතාම හොඳ දේශනයක්… blogging ගැනත් ඒකෙ ගොඩක් දේවල් කිවුවා… බොහොමයක් blog  ලෝකෙ පුරා තිබුණත්, සාර්ථකව වටිනා බ්ලොගයක් පවත්වාගෙන යන්නේ කොහොමද කියලා ඔහු ලස්සනට කියා දුන්නා… ඇල්කෙමියාගේ රසායනාගාරයත් පල්  වෙනවා එකතැන…. ගිහින් ඇවිත් අර ලිපිය දාන්නම්…

මිසිසිපි වල ඉන්න සමීර මලයා දත කට මැදගෙන බලාගෙන ඉන්නේ අපි එනකල්…. පළමු රෑ ගත කරන්නේ එහේ….

විස්තර පුළු පුළුවන් විදියට ලියන්නම් ඉඩක් ලැබුණොත්…. දැන් ඉක්මනට නිදා ගන්න ඕන උදෙන් ඇහැ ඇරෙන්න….

ගිහින් එන්නම්…. පසුව හමුවෙමු….

2011 මැයි 26 : රසායන විද්‍යා මොළ 500 ක් එකට එකතු වූ දවසක්…. Heck of a Day,… !


අද අපේ විශ්ව විද්‍යාලයටත්, රසායන විද්‍යා අංශයටත් වැදගත් දවසක්… ඒ තමයි 2010 රසායන විද්‍යා නොබෙල් ත්‍යාග ලාභීන් දෙපලක් වන මහාචාර්ය රිචර්ඩ් හෙක් සහ මහාචාර්ය ඉයිෂි නෙගිෂි යන දෙදෙනාට උපහාර පිදීමේ සමුළුවක් පැවැත්වීම. විශ්ව විද්‍යාලයේ ප්‍රධානී පැට්‍රික් හාකර් විසින් අද හෙක් දිනය ලෙස නම් කරනු ලැබුවා. ඒ වගේම රසායන විද්‍යා දැවැන්තයින් සහභාගී වුන සමුළුවේ වටිනා දේශන රාශියක් පැවැත්වුනා…

මේ සමුළුවට අපේ විශ්ව විද්‍යාලයේ වගේම අවට විශ්ව විද්‍යාලවල, රසායනික ද්‍රව්‍ය හා ඒ ආශ්‍රිතව කටයුතු කරන ආයතන, කර්මාන්තශාලා වල අය ඇතුළු 500 දෙනා අද මේ සමුළුවට සහභාගී වුනා. ප්‍රාන්ත 20 කින් සහ රටවල් 4 කින් රසායන විද්‍යාවට ආදරය කරන අය මේ සඳහා ඇවිත් හිටියා… අපේ දෙපාර්තමේන්තුවේ ඔක්කෝම වගේ ළමයි එතැන හිටියේ ජීවිත කාළයටම සමහරවිට දැකගන්න ලැබෙන අවස්ථාවක් බලන්නට… ඒ රසායන විද්‍යා නොබෙල් ත්‍යාගලාභීන් දෙදෙනෙක් එකවිට හමු වෙන්නට.. ඔවුන් හමු වෙලා කතා කරන්නට මටත් වාසනාව ලැබුණා…

මහාචාර්ය හෙක් සමග අපි

මේ ඒ පින්තූර ටිකක්…

(වටේ ඉන්න අය නම් දන්නෙත් නෑ..පින්තූරයක් ගනිත්දි ඔක්කොම වටවුනා)

මහාචාර්ය නිගිෂි සමග අපේ කට්ටිය

ඉතින් අද දවසේම රසායන විද්‍යා දේශන අහගෙන ඉඳලා හරිම තෙහෙට්ටුයි…

හෙට ඉඳලා සතියක් අන්තර්ජාලයේ ඉන්න වෙන්නේ නැහැ… දිග ගමනක් යනවා.. ඒ විස්තර හෙට……

2011 මැයි 25 : ඔබේ ජීවිතයේ අරමුණු මොනවා ද ?


අපි හැමෝම ජීවත් වෙන්නේ අදට කාලා හෙට මැරෙන්න නෙවෙයි. හැම කෙනාගෙම ජීවිතයේ අරමුණු තියෙනවා. පුංචි කාලෙ අපි හිතුවේ අපේ සිත්ගත් වීරයා වගේ වෙන්න… තරුණ වයසෙදි සමහරු නළුවො වෙන්න, ගායකයො වෙන්න කැමතියි. ඉගෙන ගන්න අය නම් වෛද්‍යවරු, ඉංජිනේරුවෝ නීතීඥයො වෙන්න කැමතියි. අපේ යාළුවෙක් හිටියා ලොරි ඩ්‍රයිවර් කෙනෙක් වෙන්න කැමති.. මේ බොහොමයක් දෙනාගෙ හීන වලින් සැබැ වුනේ අල්පයක් පමණයි… ඒ වුනත් ඔවුන් හීන බිඳිලා ගියා කියලා නිකම් හිටියේ නැහැ… මොන මොනවා හරි කරලා ජීවිතය ගැට ගහගන්නවා.
මගේ අරමුණුත් කාලෙන් කාලෙට වෙනස් වුනා. සාමාන්‍ය පෙළින් උසස් පෙළට යනවිට වෛද්‍යවරයෙක් වෙන්න පෙරුම් පිරූ මම, ඇයත්, මගේ අනෙක් යාළුවොත් වෛද්‍ය විද්‍යාල කරා පා නගන විට රසායන විද්‍යා ආයතනයට ගියේ එතැන මගේ ජීවිතය මෙසේ වෙනස් කරාවි කියලා හිතලා නොවෙයි..

දෙව්රුවන් අල්විස් මහතා

නමුත් ටික දවසක් යද්දි රසායන විද්‍යාව මගේ ඇඟේ ජීර්ණය වෙන්න පටන් ගත්තාම මටත් හිතුනේ දැරණියගල සර් වගේ අකාබනික රසායනයෙන් ඉහළටම යන්න… මගේ ජීවිතයේ වීරයෝ (Role models) දෙන්නයි හිටියේ… එක්කෙනෙක් දෙව්රුවන් අල්විස් මහතා, අනෙක් එක්කෙනා ආචාර්ය සමිත දැරණියගල මහතා. දෙව්රුවන් සර් තමයි මගේ අනාගතයට අඩිතාලම දැම්මේ… දැරණියගල සර් තමයි මගේ රසායන විද්‍යා දැනුමේ කුතුහලය ඇවිස්සුවේ… අද මම මේ දෙදෙනාටම මගේ ජීවිතයෙන් ණයගැතියි. ඒ අඩිතාලම මග ගොඩනැගුණ රසායන විද්‍යා ජීවිතය තමයි මේ..

2010 රසායන විද්‍යා  නොබෙල් ත්‍යාගලාභී රිචර්ඩ් හෙක් සහ ඉයිචි නිගිශි යන විද්‍යාඥයින් දෙදෙනාට උපහාර පිදීමේ උත්සවයක් හෙට අපේ විශ්ව විද්‍යාලයේදී පැවැත්වෙනවා. උදේ 8.30 ට ඇරඹෙන ඒ උත්සවයේ රසායන විද්‍යා දේශන ගණනාවක් ඇතුළුව බොහෝ වටිනා දේ සිදු වෙනවා. ඇත්තෙන්ම සමහරක් වෙලාවට  නොබෙල් ත්‍යාගලාභීන් දෙදෙනෙක්ම එකවිට හමුවෙන්න ලැබෙන එකත් අපි වගේ අංකුර රසායනඥයින්ට ලැබෙන ලොකු භාග්‍යයක්. දැනට කරගෙන යන පර්යේෂණයේ විස්තර අඩංගු පෝස්ටරයක් දැනටමත් අපි පිළියෙල කරලා අවසන්. හෙට එය එතැන ප්‍රදර්ශනය කරනවා. ඒ අයත් එක්ක පින්තූරයක් ගන්නට පුළුවන් වුනොත් දිනපොතේ දාන්නම්. අපේ පර්යේෂණයේ වැදගත් සන්ධිස්ථානයකට වසරක් ඇතුලත එන්න ලැබීමත් ලොකු දෙයක්. අළුත් රසායනාගාරයකින් වැඩි ප්‍රතිපළ එකවිට බලාපොරොත්තු වෙන්නට බැරි වුනත් අපේ ළමයින්ගේ (සහ මගේ සහ ලොක්කගේ)  වාසනාවටද කොහෙදෝ අපේ පර්යේෂණ වලට වැදගත් තැනක් ලැබුණා වගේම හොඳ ප්‍රතිඵලත් ලැබුණා… ළඟදීම අපි ඒවා එළි දක්වන්නයි ඉන්නේ.

ඉතින් මගේ වෘත්තීයමය ජීවිතයේ මේ අරමුණු තියෙනවා වගේම සාමාන්‍ය ජීවිතයේ ඇති එකම අරමුණ අපේ පැටියා… ඒ අරමුණ තමයි අපි හැමදාම තවත් එක දවසක් ජීවත් කරවන්නේ…

අපි හැමෝටම අරමුණු තියෙනවා. මේ අරමුණු එක දවසකින් ඉටු කරගතහැකි දේවල් නෙවෙයි. බොහොම ඉවසීමෙන්, කල්පනාකාරීව, සැලසුමක් ඇතිව කරගන්න ඕන දේවල්.  කලබලයෙන් යන ගමනට ආයුෂ නැහැ..හැම දේම සිදු වන්නේ ඒ ඒ දේ සිදු විය යුතු වෙලාව අනුවයි.. ඒ නිසාම ඉවසීමෙන්, මනා කලමණාකාරීත්‍වයෙන්, සහ සැලසුමක් ඇතිව අනාගතය සැලසුම් කරගන්න.. දුවන්නන් වාලේ අනුන්ගේ පස්සේ දුවලා වැඩක් නෑ.. තමන්ටම කියලා අනන්‍යතාවයක් ගොඩනගා ගත යුතුයි. සමාජය තමන්ව හඳුනා ගන්නේ තමන් ගේ අනන්‍යතාවයෙන් විනා අණුන් අණුකරණය කරන්නෙක් ලෙස නෙවෙයි. ඒ අයගේ ජනප්‍රියත්‍වයට හෝ දිලිසීම වැඩි කල් පවතින්නේ නැහැ. තමන් සමාජයට යම් තරමක හෝ සේවයක් ඉටු කරයි නම් එය අප නොසිතුවාට බොහෝ දෙනෙකුට මතක තියෙනවා.

අපට අපේ ජීවිතය දිතුකාලීන අරමුණු සහ කෙටි කාලීන අරමුණු ලෙස දෙවිදියකට ගොඩනගන්න පුළුවන්. කෙටි කාලීන අරමුණු විය හැක්කේ විභාගයකින් සමත් වීම, රැකියාවක් සොයාගැනීම වැනි දේ. දිගු කාලීන අරමුණු ලෙස තවත් වසර දහයකින් තමන් සිටිය යුතු තැන බලා වැඩ කිරීම සැලකිය හැකියි. ඒ තැනට යන්නට වසරින් වසර තමන්නේ අරමුණු අළුත් කරගනිමින් කෙටි කාලීන ඉලක්ක සම්පූර්ණ කරගෙන ඒ ගමන යා හැකියි.

ඉතින් ඔබේ ජීවිතයේ අරමුණක් නැත්නම්, දැන්ම කොළයක් අරගෙන කෙටි කාලීන අරමුණු, දිගු කාලීන අරමුණු කුරුටු ගාන්න.. හෙටින් පටන් ගන්න.. නිදහසට කරුණු අවශ්‍ය නැහැ… ඔබේ ජීවිතයේ ඉදිරිය සකසා ගත යුත්තේ ඔබ විනා අන් තිසිවෙක් නොවෙයි. හෙට කළයුතු දෑ, හෙට කරන්න හිතාගෙන ඉන්න දෑ ලියන්න.. දවස අවසානයේ ඒවා නිම කර ඇත්දැයි බලන්න.. කරලා නැත්නම් ඊලඟදිනයේ මුලින්ම ඒවා නිම කරන්න……ජීවිතය, ඔබටත්  නොදැනීම ඉදිරියට යාවි…

2011 මැයි 24 : නායකයෙකු බලෙන් බිහි කළ නොහැක…. කළ හැක්කේ ඊට මඟ පෑදීම පමණි…


අදත් බොහෝ දෙනා නායකත්‍ව පුහුණු කඳවුරු නොහොත් JVP එකට සහ එහි අනුබද්ධ ආයතනයක් වන අන්තරේට අනුව “හමුදා වද කඳවුරු” ගැන නොයෙක් පුවත්පත් බ්ලොග් වල ලියලා තිබුණා.. ඇත්තෙන්ම මේ නායකත්‍ව පුහුණු කඳවුර හොඳයි කියන මතයේ තමයි මම ඉන්නේ.. මක් නිසාද යත්, මෙවැනි දේ වලට සහභාගී වෙලා (සති තුනක් තරම් කාළයක් නම් නොවෙයි) සහ පාසලේ ශිෂ්‍ය නායකයෙක්, රසායන විද්‍යා ආයතනයේ ශිෂ්‍ය සංගමයේ උපසභාපති සහ සභාපති, මොන්රෝ විශ්ව විද්‍යාලයේ අන්තර්ජාතික ශිෂ්‍ය සංගමයේ උප සභාපති සහ සභාපති ලෙස කටයුතු කිරීමෙන් මා ලද අත්දැකීම් නිසාම මෙවැනි නායකත්‍ව පුහුණුවකින් සිසුන්ගේ හැකියාවන් හඳුනා ගැනීම සහ ඔපමට්ටම් කිරීම, එසේම ඔවුන් සිතන පතන විදිය තරමකින් හෝ වෙනස් කිරීම වැනි දේ සිදු වන නිසා..

නමුත්, මෙතැන සිටින 10,000 (- 1100 – ආවෙ නැති අය) දෙනාම මේ පුහුණුව නිසා නායකයෝ වෙනවාද ? නැහැ… නායකත්‍වය කියන්නේ තමන්ගේ ගතිප්‍රභා ලක්‍ෂණ – හැඟීම්- ආකල්ප (attitude) ආදියේ සිදු වන පැහැදිලි වෙනසක් නිසා කෙනෙකු අන් අයගෙන් කැපී පෙනීම නිසා නිතැතින්ම හිමිවන ගෞරවය මුසු පිළිගැනීමයි. මෙය බලෙන් කාටවත් හිමි කරගන්නට බැහැ වගේම බලෙන් පටවන්නත් බැහැ. දැන් ඔබ හිතනවා ඇති මම මෙතෙක් කලක් කියූ දේ වෙනස් කරනවා කියලා.. නැහැ නැහැ… නායකත්‍ව පුහුණුව දිය යුතුයි කියන ස්ථාවරය මම කිසිවිටෙක වෙනස් කරන්නේ නැහැ… නායකයෙක් වෙන්නට නායකත්‍ව ලක්‍ෂණ තිබෙන්නට ඕන…. අපේ දේශපාලු උත්තමයොන්ට නාය්‍කත්‍ව ලක්‍ෂණ නැහැ… උන්ට තියෙන්නේ ගසාකෑමේ ලක්‍ෂණ… නායකයො හිටියා.. ලලිත් ඇතුලත්මුදලි, ගාමිණී දිසානායක ආදීන් ඒ නායක පරපුරේ අවසාන පුරුක්…. දැන් ඉන්නේ කොන්දක් පණ නැති, ගානක් ගසාගෙන කන තලගොයි ටිකක්…

නායකයෙක් සතුවිය යුතු ගුණාංග රාශියක් විවිධ ලිපිවල දක්වා තිබෙනවා.

  1. අවංක කම – නායකයෙක් වුනාම තමන්ටත්, තමන්ව අනුගමනය කරන අයටත් අවංක විය යුතුයි. එවිටයි අනෙක් අය තමන්ව විශ්වාස කරන්නේ…
  2. දැක්මක් / උපාය මාර්ගයක් තිබීම – නායකයෙකු සතුව තමන්ගේම දැක්මක් තිබිය යුතුයි. තමන්ගේ හැකියාවන්- දුර්වලතාවයන් හඳුනාගෙන ඒ අනුව තමන්ගේ සහ අනුගමනය කරන්නන්ගේ ඉදිරි ගමන සලසාගත හැකි දැක්මක් විය යුතුයි.. එය වෙනත් කෙනෙකුගේ හෝ දේශපාලන පක්‍ෂයක දැක්මක් වූ විට නායකත්‍වයේ නිරුවත පෙනෙන්නට පටන් ගන්නවා.
  3. සන්නිවේදනය. – නායකයා තමන්ගේ සිට පහළටත්, පහළ සිට තමන්ටත් හොඳ සන්නිවේදනයක් ඇති අයෙක් විය යුතුයි. තොරතුරු සහ අදහස් ගලා යාම දෙපැත්තටම සිදු විය යුතුයි.. නායකයාගේ සිට පහලට පමණක් අදහස් ගලා යාම ඒකාධිපතිත්‍වයේ ලක්‍ෂණයක් මෙන්ම, පහළ සිට එන අදහස් පමණක් ක්‍රියාවට නැංවීම – නායකයා සතුව කිසිදු දැක්මක් නැති බවට පෙන්නුම් කිරීමක් ද වෙනවා.
  4. සබඳතා – නායකයා  සිය අනුගාමිකයන් සමග මනා සබඳතාවයක් තිබිය යුතුයි. අනුගාමිකයන් කරන්නට යන්නේ මොනවාද යන්න ඔවුන් ඒ සඳහා සූදානම් වනවිටම දැනගත හැකි මෙන්ම නායකයාගේ අදහස් ද මනාව පහලට ගලා යන්නේ මෙවන් සබඳතාවයක් ඇති විට පමණයි. විශ්වාසය, අවංකභාවය මේ සඳහා ඉතා අත්‍යවශ්‍ය කාරණා වෙනවා.
  5. අනුන් පෙළඹවීමට ඇති හැකියාව – නායකයෙක් වූ විට තමන්ගේ දර්ශනය අනුව තම අනුගාමිකයන් පෙළඹවීමේ හැකියාවක් ඇති අයෙක් විය යුතුයි. ලොව ඉහළම දර්ශනය ඇති අවංකව කෙනෙකු වුවත්, තම අනුගාමිකයන් ඒ සඳහා පෙළඹවීමට නොහැකි නම් ඒ නායකත්‍වයෙන් පලක් නැහැ. නරකට පොළඹවන්න කාටත් පුළුවන්. හොඳක් කරන්නය් පොළඹවන්න ඕනා…
  6. අනුවර්ත්‍යතාව / ස්ථානෝචිත ප්‍රඥාව- අප වැඩක් කිරීමේදී අපගේ සැලසුම් සියයට සියයක් සාර්ථක වන්නේ නැහැ.. මෙවිට අපට දෙවන සැලසුමක් හෝ තත්ත්‍වය අනුව අනුවර්තනය වීමේ හැකියාවක් තිබිය යුතුයි.. මෙසේ නැතිව යමක් කිරීමේදී බාධකයක් හමු වූ විට ඉන් ගැලවීමට හෝ එය පසු කර යාමට නොහැකි නම් අනුගාමිකයන් තුල නායකයා කෙරෙහි වූ විශ්වාසය බිඳී යනවා.
  7. කණ්ඩායමක් ලෙස හැසිරීමේ හැකියාව. නායකයා මඟ පෙන්වන්නෙක් සේම අනෙක් අයත් සමඟ කණ්ඩායමක් ලෙස හැසිරීමේ හැකියාවද තිබිය යුතුයි… එසේ නැතිව අණ දෙන්නෙක් ලෙස සිටියහොත් එම නායකයා කිසිවෙකු පිළිගන්නේ නැහැ.
  8. පුහුණුව සහ දියුණුකිරීම – නායකයා සිය අනුගාමිකයන් නායකත්‍වය සඳහා පුහුණු කළ යුතුයි… එසේ නැතිව තමන්ම නායකත්‍වය රඳවා ගැනීම සඳහා දෙවන පෙළ නායකත්‍වයක් නොතැනීමෙන් සිදු වන්නේ එම සංවිධානය හෝ සමාජය බිඳ වැටීමයි.
  9. තීරණ ගැනීමේ හැකියාව.  දූරදර්ශී භාවය – නායකයෙක් නිසි පරිදි තීරණ ගත යුතු අතර ඒ තීරණවලට අනුව ක්‍රියා කළ යුතුයි. සමහරවිට වැරදි තීරණ ගත්තද ඒ මත පිහිටා එය නිවැරදි කර ගැනීම කළ යුතු වනවා… හරි හෝ වැරදි තීරණය පිළිගෙන ඒ තීරණ මත සංවිධානය හෝ සමාජය ඉදිරියට ගෙන යා හැකිවීම නායකත්‍වයේ තවත් ලක්‍ෂණයක්.
  10. සැලසුම් කරණය. නායකයා මනා ඉදිරි දැක්මක් ඇති පුද්ගලයෙක් විය යුතුයි. ඔහු හෙට පමණක් නොව තවත් අවුරුදු ගණනාවක් ඉදිරියට දැකිය හැකි පුද්ගලයෙක් විය යුතුයි. එසේම ඔහුට මනාව අනාගතය සැලසුම් කිරීමේ හැකියාවක් තිබිය යුතුයි.
  11. නායකයා දැඩි සේම මෘදු විය යුතුයි.. විවිධ අවස්ථාවලදී ඇතිවන තත්ත්‍වයන් අනුව සිය ස්ථාවරය නිසි ලෙස තබා ගනිමින් අවස්ථානුකූලව හැසිරීමේ හැකියාව තිබිය යුතුයි.
  12. ඉවසිලිවන්තකම – නායකයෙකු සෑම විටම අනෙක් අයට වඩා ඉවසීමකින් යුත් අයෙක් විය යුතුයි. තමන් කේන්ති ගියත් ඒ බව නොපෙන්වා තම අනුගාමිකයන් පාලනය කර ගැනීමේ හැකියාව තිබිය යුතුයි…

බුදු දහමේ එන ජාතක කතා ගණනාවක මේ  නායකත්‍ව ගුණාංග එකිනෙක විස්තර කර තිබෙනවා. වටු රැලේ කතාව – නලපාන ජාතකය – කාන්තාරයක් මැද අතරමං වූ ගැල් කරුවන්ගේ කතාව වැනි කතා සහ වෙනත් ගණනාවක මේ නායකත්‍ව ගුණාංග අපූරුවට විස්තර කර තිබෙනවා.

ඉතින් මේ නායකෙයකු බිහි කිරීම බලෙන් කිරීමට හැකියාවක් නැහැ. නමුත් සියළුම දෙනාට ඒ  නායකත්‍ව පුහුණුව ලබා දීමෙන් ඔවුන් සමාජයට වැඩදායක පුරවැසියන් කිරීමට නම් පුළුවන්. මේ අතර ඉන්නා නායකයන් කිහිප දෙනෙක් ඉදිරියට ඇවිත් රටට නායකත්‍වය දෙන්නත් බැරි කමක් ඇත්තෙත් නැහැ..

මේ ලයිස්තුව කියන්නේ නායකත්‍ව ගුණාංග සියල්ලම නොවෙයි… ඔබටත් මේ ලයිස්තුවට දායක වෙන්නට පුළුවන්..

බලමු ඉදිරියට කෙසේ වෙයිද කියා…

2011 මැයි 23 : වෙනසක් කරන්න සමූහයක් ඕනත් නෑ….. අඬබෙර ගහන්න ඕනත් නෑ… ඔබ වෙනස් වෙන්න… එතකොට ලෝකය ඔබත් එක්ක වෙනස් වේවි……


අද උදේ ඉඳලා පුටුව රත් කරලාම පස්ස රිදෙනවා… ඒ කියන්නේ වැඩ නැතුව නිකම් හිටියා කියන එක නෙවෙයි. නිකමටවත් නැගිටින්න බැරි තරමට වැඩක් සෙට් වෙලා… වෙනදා එහේ මෙහේ දුව පැන ඇවිදිමින් කරන වැඩ වෙනුවට වෙනස් දෙයක් කරන්න වෙලා… එකක් තමයි 26 වෙනිදා අපේ විශ්ව විද්‍යාලයේ පැවැත්වෙන නොබෙල් ත්‍යාගලාභී රිච්ර්ඩ් හෙක් සහ ඉයිචි නෙගිශි යන විද්‍යාඥයින් ‍දෙදෙනා වෙනුවෙන් පැවැත්වෙන සමුළුව වෙනුවෙන් නිර්මාණය කරන පර්යේෂණ අඩංගු පෝස්ටර් වලින් අපේ රසායනාගාරයෙන් ඉදිරිපත් කෙරෙන පෝස්ටර් දෙකෙන් එකක් මට හදන්න වෙලා තිබීම… මේ නිසා දවසේම පුටුව උඩ…. හොඳ වෙලාවට ඔක්කෝම මෘදුකාංග මගේ පරිඝණකයේ අටවගෙන තියෙන නිසා එහේ මෙහේ දුවන්න ඕන වුනේ නැහැ. ඇඩෝබි ඉලස්ට්‍රේටර් භාවිතයෙන් තමයි පෝස්ටරේ හදන්නේ. ඒකෙ හොඳකම බොහෝ දේවල් සරළව කරගන්න සහ ඉහළ විභේදනයක්  (High resolution) සහිතව කරගන්නට පුළුවන් වීම. උදේ ඉඳන් පෝස්ටරේ හදලා ඉවර වෙනකොට හවස හයයි. ඒකෙ හරි වැරදි බලන්න ලොක්කට ඒක යවලා ඉවර වෙලා වැදගත් පරීක්‍ෂණයක් ආරම්භ කළා.

අර අපේ සංයෝගයක් කාබන් ඩයොක්සයිඩ් සමඟ බන්ධනය වෙනවා කියලා හොයාගත්තා කිව්වේ… අන්න ඒ පරීක්‍ෂණය තරමක් මහා පරිමාණව කරන්න ලක ලෑස්ති කළා. මුලින්ම ඒ සංයෝගය  ඇසිටොනයිට්‍රයිල් කියන ද්‍රාවණයේ දිය කරලා, එය වාතය හෝ ජලවාෂ්ප නොයන සේ පලාස්කුවකට දැම්මා. කාබන් ඩයොක්සයිඩ් ටැංකියට සවි කළ බටයක් අරන් ඒ පලාස්කුවේ එක මුවකට සවි කරලා අනෙක් පැත්තෙන් බුබුලනය වන සිලිකන් තෙල් අඩංගු බටයකින් පිටවන්නට සැලැස්වූවා. එමගින් කාබන් ඩයොක්සයිඩ් බුබුලනය නිරීක්‍ෂණය කරන්න පුළුවන්. මෙය අද රෑ එළිවෙනකල් සිදු වනවා..  ඒ පරීක්‍ෂණය පිළියෙල කරන අතරතුරේ ඇල්කෙමිච්චියි පැටියයි රසායනාගාරයට ආවා, මාව ගෙදර එක්කරගෙන යන්න රෑ කෑමට. පවුල පිටින් රෑ කෑම එකට අරගෙන ආයෙම රසායනාගාරයට ආවේ ඉතිරි වැඩ ටික කරන්නයි… ලබන සතියේ අපි ලොකු රවුමක් යන නිසා රසායනාගාරයේ වැඩ කෙරෙන්නේ නැහැ. මේ නිසා මේ සතියේ වැඩ ටිකක් වැඩියෙන් කරන්න ඕන… ඒ වැඩ ටික අවසන් වෙලා තමයි මේ දිනපොත කුරුටු ගාන්නේ.

ආපසු රසායනාගාරයට එනවිට දුටුව දෙයක් තමයි අපේ විශ්ව විද්‍යාලයෙන් පළ කළ පොත් පිංචක්. ඒකෙන් කියවුනේ අපි අපේම සංස්කෘතියක් බිහිකරමු කියන තේමාව සහිත විස්තර පත්‍රිකාවක්. අද අර බොහෝ දෙනෙක් මැරෙන්න හදපු නායකත්‍ව පුහුණුව පටන් අරගෙන දැන් ඒකට ගියපු තරුණ තරුණියොන්ට හමුදා කඳවුරුවල දාගෙන දස වද දෙන්න පටන් ගනිපු නිසාම මේ ගැන පොඩි විස්තරයක් කරන්න හිතුවා.

විශ්ව විද්‍යාල කියන්නේ අමුතුම උප සංස්කෘතියක් ඇති තැනක්. එතැන දැනුමට තෝතැන්නක්. දැනුම ගන්න අවශ්‍ය, ඉදිරියට යන්න අවශ්‍ය කෙනා ඉන් උපරිම ප්‍රයෝජන අරගෙන ඉදිරියටම යනවා වගේම උන්ගේ ගමන නවත්වන්නත් කාටවත් බෑ.. එතැන සංවාද මණ්ඩපයක්. වැඩිම බුද්ධි ඝණත්‍වයක් ඇති ස්ථානයක්. ලෝකයට අළුත් ප්‍රවණතා හඳුන්වා දෙන උල්පතක්. මේ නිසාම විශ්ව විද්‍යාලවල අන් තැන් වලට වඩා නොලැබෙන විශේෂත්‍වයක් තියෙනවා. අළුත් සංස්කෘතීන් බිහි වන්නේ මේ වගේ ස්ථාන වලින්. අප හැමෝම දන්නා Facebook පටන් ගත්තේ Harvard විශ්ව විද්‍යාලයෙන්. ලෝකයට අළුත් පර්යේෂණ, අළුත් නිර්මාණ ලබා දෙන්නේ විශ්ව විද්‍යාල වලින්. මෙන්න මේ නිසයි විශ්ව විද්‍යාල ශිෂ්‍යයාගේ මනස නිතරම අළුත්ව තබා ගැනීමේ වැදගත්කම අවධාරණය කරන්නේ. ලංකාවේ විශ්ව විද්‍යාල තවමත් මේ අතින් සිටින්නේ බොහෝ පසුපසින්. මේ බොහොමයක් කෑ ගහන සිසු නායකයින් කෑ ගහන්නේ විදේශීය විශ්ව විද්‍යාලවල කටයුතු පිළිබඳ කිසිවක් නොදැන වෙන්නට ඇති. මේ තැන් වල සිසුන්ට නිකං ඉන්නට වෙලාවක් නැහැ. එසේම බොහෝ දෙනෙක් විශ්ව විද්‍යාලවලට මුදල් ගෙවන්න සල්ලි හොයා ගන්නේ අමතර රැකියා කරලා. ආපනශාලා වල වේටර් කමක්, කඩයක කැෂියර් කමක්, හෝ පිට්සා බෙදීම වැනි රැකියාවක් වුනත් ඔවුනට මදිකමක් නෙවෙයි. මගේ රසායනාගාරයේ ඉන්නා එක සිසුවෙක් තමන්ගේ මූලික උපාධිය ලබා ගත්තේ නොට්‍රිඩෑම් විශ්ව විද්‍යාලය කියන පෞද්ගලික විශ්ව විද්‍යාලයේ. එහි පාසැල් ගාස්තු පමණක් වසරකට ඩොලර් 40,000 ක්. අමතර වියදම් සමඟ සියල්ල වසරකට අවම වශයෙන් ඩොලර් 60,000 පනිනවා. ඔහුගේ දෙමාපියෝ වෛද්‍යවරුන්. මව හෘද රෝග විශේෂඥවරියක්, පියා සාමාන්‍ය වෛද්‍යවරයෙක්. ඒ වුනත් මේකා අවුරුද්දක්ම රැකියාව වශයෙන් කරලා තියෙන්නේ නගරයේ කුණු එකතු කිරීමේ මධ්‍යස්ථානයේ සුපවයිසර් කෙනෙක් වශයෙන්. වෙනත් රැකියා සොයාගන්නට පුළුවන් වුනත් ඉගෙන ගැනීමේ පහසුව නිසා ඒ රැකියාව තෝරාගෙන තිබෙනවා. අපි නම් විහිළුවට කියන්නේ Sanitation Engineer කියලා. නමුත් මෙහේ ඇත්ත තත්ත්‍වය ඒකයි. දෙමාපියන් වෛද්‍යවරුන් සහ පොහොසත් නිසා ඔහුටත් තිබුණා නිකම් ඉඳලා හෝ වෙනත් සුළු රැකියාවක් කරලා ඉගෙනගන්න. නමුත් ලැජ්ජාවක් හෝ පිළිකුළක් නොමැතිව ඔහු ඒ රැකියාවේ නිරතවෙලා තියෙන්නේ ඉගෙන ගන්න පහසුව නිසා.

වෙනස් නොවීමට නිදහසට කාරණා 50 ක්

අදින් ඇරඹෙන නායකත්‍ව පුහුණුව වර්ජනය කරන්න එක එක්කෙනා එක එක දේවල් කියනවා. සමහරු පේන බලනවා හමුදා කඳවුරු වල ලිංගික අඩන්තේට්ටම් විය හැකි බවට. සමහරු කියනවා එතැන අමානුෂික විදියට නවක වදය දෙනවා කියලා. හැබැයි කවුරුත් මොනවා වෙයිද දන්නේ නෑ…. ඇත්තෙන්ම බලන්න ඕන මේ සති තුන ගිහින් ඉවර වුනාට පස්සේ විශ්ව විද්‍යලයට යන්න ඉන්න සිසුන් කී දෙනෙක් පණ පිටින් ඔතනින් එළියට එනවා ද කියලා… අපට කිසි දේක අනාගතය දකින්නට 100% ක් බැහැ. නිතරම අපි අවදානමක් ගන්නට ඕන. අවදානමක් ගන්නට බැරි කෙනාට ඉදිරියට යන්නත් බැහැ. අවදානමක් රැගෙන අත්හදා බලන කෙනා නිතරම ඉදිරියට යන්නේ ඒ අවදානම නියමිත පරිදි ගණනය කර (Calculated risk) කරන දෙයක් අත්හදා බලන නිසා. අපට රටක් හදන්නට  මාධ්‍යවලින්  පුරසාරම් දොඩමින් හෝ ලෝකයට අඬබෙර ගසමින් කරන්නට බැරිවා සේම බොහෝ දෙනෙක් මේ කිසිදු ප්‍රචාරයක් නොමැතිව තමනට හැකි ප්‍රමාණවලින්  රටේ ඉදිරි ගමනට දායක වෙනවා.

මෙය මහා ලොකු කාර්යයක් නෙවෙයි. ඇටමැස්සා එයාගේ බ්ලොගයේ කියලා තිබුණේ හෝඩියේ ළමුන්ටත් මේ හමුදා පුහුණුව දෙන්න කියලා. හමුදා පුහුණුව කෙසේ වෙතත් විනයක් ඇතුව හැදෙන්න කියලා දෙන එක නම් හෝඩියේ පන්තියේ ඉඳලාම කියලා දෙන එක වැදගත්. ලංකාවෙන් සිංගප්පූරුවට යන එකා පාරෙ කෙළ ගහන්නේ නැතුව කුණු දාන්නේ නැතිව සිංගප්පූරු ගිහින් ඇවිත් කටුනායකින් බැහැපු ගමන් අතේ තියෙන කොළ ටික පාරෙ දාලා යන්නේ අන්න ඒ කියපු විනය අපට නැති නිසා සහ දඬුවමට ඇති බය නිසා. පොඩි එකාව කාර් එකේ දාගෙන වැඩට යන අම්මා තාත්තා පාරේ කවුරුවත් නැති තැනක් බලලා රෑට ගෙදර එකතුවුන කුණු ටික පාරෙ අයිනෙ දාලා යනකොට ඒ පොඩි එකාට දෙන ආදර්ශය වන්නේ පාරේ කුණු දැම්මට කමක් නෑ කියන එකයි.. ඌ ලොකු වුනාම කරන්නෙත් ඒකම තමයි. ඒකයි පොඩි එවුන්ට හරි දේ කියලා දීලා විනයක් ඇතිව හදන්න ඕන.. එන්න ඒ විනය ප්‍රමාද වී හෝ ඇති කිරීමට කවුරු හෝ ක්‍රියා කරනවා නම් එය කෙසේ වන්නේද කියලා පැත්තක සිට බලාගෙන ඉඳලා එය නියමිත පරිදි නොවෙනවා නම් විවේචනය කළාට කමක් නැහැ.

අපට යමක් වෙනස් කරන්න බොහෝ දෙනෙක් අවශ්‍ය නැහැ. කාර්යාලයක වුනත් එක්කෙනෙක් යමක් හරියට කරනවා දුටුවොක් අනෙක් අයත් එය අනුගමනය කරාවි. හොඳම උදාහරණය නම් අපේ නිවාස සංකීර්ණයේ පසුගිය වසර තුළ සිදු වී වෙනසයි. එනම් නිවාස සංකීර්ණයේ වාහන නැවැත්වීමේදී වාහනය පසුපසට ගන්න තරම් ඉඩක් නැති නිසාත්, උදෑසන සේවයට යාමේදී කෙළින්ම වැහනය ඉදිරියට පදවාගෙන යාමෙන් තරමක් හෝ වෙලාව සහ ඉන්ධන ඉතිරිකරගැනීමට හැකි නිසාත් මා හැමදාම වාහනය නැවැත්වීමේදී වාහනයේ ඉදිරිපස පාර පැත්තට වන්නට නැවැත්වූවා. මසක් පමණ යත්දී ඒ පේළියේ නවතා තිබූ වාහන දෙක තුනක් එසේ නවත්වන්නට පුරුදු වුනා. මාස හයක් පමණ යද්දී ඒ පේළියේ වාහන බොහොමයක් ඒ අයුරින් නැවැත්වූවා පමණක් නොවෙයි, වාහන පිටුපසට ගැනීමේදී සිදුවන අනතුරුද වැලකුණා. මේ මම හෝ වෙනත් කෙනෙක් අඬබෙර ගසමින් හෝ ප්‍රසිද්ධියක් ලබා දී කල දෙයක් නොවෙයි. අනෙක් අය මෙහි ඇති වාසිය, හොඳකම දැක එය අනුගමනය කිරීමට පටන් ගැනීමයි. බොහෝ පෞද්ගලික ආයතනවල සහ රෝහල්වල වාහන නවතා තබන්නේ මේ අන්දමින්, හදිසි ගින්නක් හෝ අනතුරක් වූ විට වාහනය පණගන්වාගෙන ඉන් ඉවතට යාමට ඇති පහසුව නිසා බොහෝ කර්මාන්තශාලාවල පවා මේ අයුරිනුයි වාහන නවතා තබන්නේ. එසේම වාහනය පසුසට ගෙන ඉදිරියට යාමේදී ඉන්ධන දහනයත් වැඩි වෙනවා කියා කොහේදෝ තිබුණා මතකයි…

ඉතින්,…. ලෝකය වෙනස් කරන්න හෝ උප සංස්කෘතියක් ඇති කරන්න දාහක් දෙනා අවශ්‍ය නැහැ.. එසේම ඔබ හොඳ දෙයක් කරනවා නම් අනිත් අයත් අනුගමනය කරාවි… මුලින් විවේචන එල්ල වුනත් ඔබේ චේතනාව හොඳ නම් පසුව පැසසුම් ගලා ඒවි.. නමුත් පැසසුම් බලාගෙන වෙනස් වෙන්න එපා.. හිතට දැනෙනවා නම් වෙනස් වෙන්න ඕන කියලා ඔබ වෙනස් වෙන්න හිතාගන්න…

ලෝකය එවිට ඔබත් එක්ක වෙනස් වේවි…. එවිට ලෝකය ලස්සන වේවි… ඒ බව පොඩි එවුන්ටත් කියලා දෙන්න.. එවිට උන්ට හමුදා පුහුණුව ඕන වෙන එකක් නෑ..

2011 මැයි 22: ළදරුවන්ට ඇත්තටම ඝණ ආහාර දිරවනවාද ?


අද ඉරිදා ක්‍රිකට් ගහන දවසනේ… උදේ පාන්දරම නැගිටලා ඔක්කෝම එක්ක පෙන්සිල්වේනියා වල යාළුවෙක්ගේ ගෙදරට මුලින් ගියා. ඇල්කෙමිච්චියි පැටියයි යාළුවගේ ගෙදර දාලා යාළුවත් එක්කලා මම ගියා පිට්ටනියට. ඇල්කෙමිච්චියි පැටියයි යාළුවගේ බිරිඳයි පැටියයි එක්කලා කාලය ගත කළා. අපි ගහපු මැච් එක අදනම් පරාදයි. හේතු ගොඩයි… (නිදහසට කාරණා වගේම) එකක් තමයි තණතිල්ල මතින් පන්දුව ඉල්පීමක් (bounce) නැතිකම නිසා අනෙක් කණ්ඩායමේ පිතිකරුවන් ලකුණු 136 කට දැවී යාම… අපි මුලින් හිතුවත් අපට ඒ ලකුණු ගණන ලබා ගතහැකියි කියා, ඒක ඒ තරම් පහසු නොවන බව වැටහී ගියේ අපේ කඩුළු දෙකක් ලකුණු 2 ක් තුළ දැවී යාම නිසා.. 4 වෙනි පිගිකරු ලෙස මා ක්‍රීඩා පිටියට ගොස් පන්දු 15 ක් පමණ ක්‍රීඩා කළත් ලබා ගත හැකි වූයේ ලකුණු 3 ක් පමණයි. පා ඉන්න දෙසින් ආ පන්දුවක් පිත්තේ වැදී උඩ ගිය පන්දුවක් එතැනට තරමක ඈත සිටි පන්දු රකින්නෙක් උඩපන්දුවක් ලෙසින් මනරම් ආකාරයට බිම වැටී පෙරළි ඇඹරී අල්ලා ගැනීම හේතුවෙන් මගේ ඉනිම ලකුණු 3 කට සීමා වුනා..

මේ අතර ඇල්කෙමිච්චි ඇගේ මිතුරිය සමග කල සංවාදයක සාරාංශයක් ආපසු එන ගමනේදී මා හට පැවසුවා.. එනම් ඇගේ දරුවාගේ වෛද්‍ය වරයා දුන් උපදෙසක්. ඒ තමයි කුඩා දරුවන්ට වසරක් සම්පූර්ණ වනතුරු මවු කිරි සහ යකඩ සපිරුණ කිරිවර්ග වැඩියෙන් දීමේ වාසිය. කුඩා දරුවන්ට පළමු වසරේදී වැඩීමට අවශ්‍ය පෝෂණය ඇත්තෙන්ම ලබා දෙන්නේ කිරි වලින් පමණයි. වෙනත් වෙනත් ඝණ ආහාර ද්‍රව්‍ය මාස හතරේ සිට ලබා දුන්නත්, ඒවායින් ඇත්තටම කෙරෙන්නේ පසු කාලීනව ලබා දෙන ඝණ ආහාරවලට ආහාර මාර්ග පද්ධතිය පුහුණු කිරීම පමණක් ලු. එයින් වැඩි පෝෂණයක් දරුවාට නොලැබෙන බවත්, හැකි පමණ මවු කිරි සහ වෙනත් කිරි දරුවාට ලබා දෙන ලෙසත් වෛද්‍ය වරයා පැවසූ බවයි ඈ මා හට පැවසුවේ. සමහර සරළ දේවල් අපට තේරෙන්නෙ නැති වුනත් ඇත්තක් තියෙනවා…..

මේ ලිපිය ලියනකොට හොඳටම රෑ වෙලා. වැඩි විස්තර මෙතැනින් බලාගන්න…

සෙස්ස පස්සට….

2011 මැයි 21 : ජංගම දුරකථන, මොළයේ පිළිකා සහ රැහැන් සහිත සවන්කඩ….


අද උදෑසනම රසායනාගාරයට ගියා. ඊයේ සැලසුම් කරලා තිබූ පරීක්‍ෂණයක් අද උදෙන්ම පටන් ගන්න ඕන. පැය අටක් දිග පරීක්‍ෂණයෙන් අපි බලන්නේ අපේ සංයෝගය කාබන් ඩයොක්සයිඩ් සමග බන්ධනය වනවාද කියලා. මූලික පරීක්‍ෂණවලට අනුව නම් එය බැඳෙනවා. මේ නිසා අපේ ලොක්කත් බොහොම උනන්දු වෙලා. මට කරදරේ වගේම එක අතකට හොඳ දෙයක්… අපේ රසායනාගාරයෙන් අවම වශයෙන් පර්යේෂණ ලිපි තුනක්වත් අගෝස්තු මස වනවිට පළ කරගත හැකි බවයි ලොක්කා පැවසුවේ… අළුත් රසායනාගාරයකට එය විශාල ජයග්‍රහණයක්.  ඉතින් අද උදේම රසායනාගාරයට ගිහින් ඒ පරීක්‍ෂණය සූදානම් කළා..පරීක්‍ෂණය කරන උපකරණය වැඩ අරඹනකල් විනාඩි 10 ක පමණ වෙලාවක් බලා ඉන්න වෙනවා. ඒ අතරේ තමයි CNN වෛද්‍ය උපදේශක දොස්තර සංජය ගුප්තා ගේ ලිපියක් කියවන්න අවස්ථාව ලැබුණේ. එහි කියැවුනේ ජංගම දුරකථන භාවිතය සහ මොළයේ පිළිකා හටගැනීමේ අවදානම පිළිබඳ වාර්තාවක්. එහි වීඩියෝවකුත් තිබුණා.  මෙන්න වීඩියෝව .

දොස්තර සංජය ගුප්තා

ඔහු බොහෝ කලක සිට ජංගම දුරකථනය භාවිතයේදී එය කණට තබා කතා කරන්නේ නැහැ. ඒ වෙනුවට රැහැන් සහිත සවන්කඩක් (සිංහලෙන් කියනවා නම් wired earpiece එකක්) භාවිතා කරනවා ලු. එසේ කරන්නේ මොළයේ පිළිකා ඇතිවීමේ අවදානමින් ගැලවීමටයි. ජංගම දුරකථන  විශාල වශයෙන් භාවිතයට ගැනෙන්න පටන් අරගෙන වසර 20 කට වඩා නැති වුනත් එද දැන් සෑම දෙනාගෙම අත්‍යවශ්‍ය භාණ්ඩයක් බවට පත් වෙලා ඉවරයි. කුඩා දරුවන් පවා දැන් ජංගම දුරකථනවලට හිමිකම් කියනවා. ජංගම දුරකථනවලින් ක්‍ෂුද්‍ර තරංග (Microwave) පිටවෙන බව අප හැමෝම දන්නා කරුණක්. මේ ක්‍ෂුද්‍ර තරංග සාමාන්‍ය උදුනක තරම් ප්‍රබලත්‍වයක් නැති වුනත්, දීර්ඝ කාලීන දුරකථන භාවිතයෙන් මොළයට අනතුරු දායක විය හැකු බවයි වෛද්‍ය මතය.

ජංගම දුරකථන භාවිතය පටන් අරන් වසර 20 ක් පමණ ගත වුවත් දැන් තරම් බහුලව භාවිතා වෙන්න පටන් අරන් තවමත් අවුරුදු 15 ක් පමණ ගත වී ඇති නිසා මොළයේ පිළිකා සහ ජංගම දුරකථන අතර ඍජු සම්බන්ධතාවයක් තිබෙනවාද යන්න තවමත් පැහැදිලි කරගැනීමට අවශ්‍ය දත්ත එකතු වී නැහැ. එනම් මොළයේ පිළිකාවක් ඇති කිරීමට අවශ්‍ය සාධක වලට නිරාවරණය වීම සහ රෝග ලක්‍ෂණ හටගැනීම අතර කාළය අවුරුදු 20 ක් පමණ වන නිසා මේ ගැන අවශ්‍ය දත්ත එකතු කරගැනීමට තරම් කාළය මදි. එසේ වුවත් පරීක්‍ෂණාගාර දත්ත වලට අනුව සහ මොළයේ ආකෘති යොදාගෙන කරන ලද පරීක්‍ෂණ වලට අනුව මෙමගින් පැහැදිලි ආචරණයක් ඇතිබව පෙනී ගොස් තිබෙනවා. ඒ අනුව වසර දහයක් ජංගම දුරකථන භාවිතා කළ පුද්ගලයන් යොදාගෙන කළ පරීක්‍ෂණයකට අනුව,  ඔවුන්ගේ මොළයේ Glioma නම් පිළිකා වර්ගය ඇති වීමේ අවදානම දෙගුණ වී ඇති බව පෙනී ගොස් තිබෙනවා. මේ නිසා සහ වෙනත් හේතු නිසාම ජංගම දුරකථනවලින් මොළයට හානි සිදු නොවෙනවා යැයි පවසා එය ගණන් නොගෙන සිටීමට හැකියාවක් නැහැ. දැන් දැන් බොහොමයක් දුරකථන සමග පැමිණෙන උපදෙස් පත්‍රිකාවේ සඳහන්ව ඇති කාරණයක් නම් දුරකථනය සිරුරට අඟලක පමණ දුරින් තබා භාවිතා කරන්නට දී ඇති අනතුරු හැඟවීමේ සංඥාවයි. ඇමරිකාවේ සමහර ආයතනවල සේවකයන්ට දුරකථන භාවිතයේදී රැහැන් සහිත සවන්කඩක් (Earpiece එකක්) භාවිතා කරන මෙන් නීති පවා පණවා තිබෙනවා.

කෙසේ වෙතත් ජංගම දුරකථන භාවිතයේදී කුඩා දරුවනට ඒවා භාවිතා කරන්නට දීම සුදුසු නොවන බවයි වෛද්‍ය මතය. වැඩුන මිනිසතුට වඩා කුඩා දරුවන්ගේ හිස් කබල ඝණකම් නොවීම නිසා මේ ක්‍ෂුද්‍ර තරංග වැඩි පුමාණයක් හිස්කබල විනිවිද යා හැකි බවත් කුඩා දරුවන්ගේ මොළයට ඉන් වැඩිපුර හානියක් විය හැකි බවටත් පැවසෙනවා. එපමණක් නොවෙයි දුරකථනය කණේ තබාගෙන රථවාහන පැදවීමේදීත්  බිඳෙන අවධානය රුධිරගත මධ්‍යසාර මට්ටම 0.8 % පමණ (එනම් මත්පැන් පානය කර වාහන පැදවීමේදී අත්අඩංගුවට ගතහැකි මට්ටම) දක්වා වැඩි වූ අයෙකුගේ අවධානය බිඳීමට හා සමාන බව සොයාගෙන තිබෙනවා.  මේ නිසා අමෙරිකාවේ නම් සමහර ප්‍රාන්තවල වාහන පැදවීමේදී දුරකථන භාවිතා කර නීතියෙන් වැරදිකරු වුවහොත් පළමු වතාවට ඩොලර් 75-100 දක්වා දඩයකට යටත් කළ හැකියි. එසේම දුරකථන භාවිතා කරන අතරතුර වාහන අනතුරකට භාජනය වුවහොත් දඬුවම ඊටත් වඩා වැඩියි.

මේ නිසා දිය හැකි හොඳම උපදෙස නම් හැකි සෑම විටම රැහැන් සහිත සවන්කඩක් (Earpiece එකක්) භාවිතා කරන්න.  මුලදි අපහසු වුනත් ටි කාලයක් යනවිට ඉබේම පුරුදු වෙනවා. රථවාහන පැදවීමේදී නම් මෙය ඉතාම හොඳ කරුණක්. මුලදී මමත් Bluetooth එකක් භාවිතා කළත් පසුව Earpiece එකක් භාවිතා කරන්නට පෙළඹුනේ අහක යන කරදර නිකම් ඇඟේ දමාගන්නවාට වඩා පෙර සූදානමකින් පසු වීම කොයිකටත් හොඳ නිසා. Bluetooth එකක් වුවත් ජංගම දුරකථනයකට වඩා පරෙස්සම්. එයින් පිටවන්නේ අඩු සංඛ්‍යාත රේඩියෝ තරංග නිසා ඇතිවන හානිය ජංගම දුරකථනයකට වඩා අඩුයි. නමුත් ඒවා මිල අධික නිසා කෙනෙකුට රැහැන් රහිත earpiece එකක් භාවිතා කරන එක ඊට වඩා ලාභදායකයි.

පසුව පිළිකා වැළඳී විඳවනවාට වඩා දැන්ම වෙනසක් කරගෙන ජීවිතය සුවෙන් ගෙවන එක කොච්චර හොඳද ?

හෙට උදෙන්ම ටිකක් දුර යන්න ඕන… හෙට ක්‍රිකට් මැච් එකක්…. හොඳට අවුව තියෙන රස්නෙ දවසක්…. ඒ ගැන විස්තර හෙට බලමු….
ඊයෙ ලියපු ලිපිය කියවපු කොමෙන්ටු දාපු හැමෝටම ස්තුතියි… සෑහෙන අවධානයක් තිබුණා ඒ ලිපියටත්….

2011 මැයි 20 : මේ…… ජාතික ස්වයංවින්දන මාසයයි…. (සමාවෙන්න….ලංකාවෙ නොවෙයි… ඇමරිකාවෙ )


අවවාදයයි ! මෙහි ඇති සමහර කරුණු, පිරිසිදු යැයි ඔබම කියාගන්නා ඔබගේ මනසට ගෝචර නොවනු ඇත…. කියවන්න අකමැති අය කියවන්න එපා….කියවලා මට බනින්නත් එපා….



අද උදේ නැගිටලා ඇල්කෙමියාගේ රසායනාගාරයට මානව ලිංගිකත්‍වය (ඉදිරියේදි බලාගන්න ලැබෙයි) ගැන ලිපියක් කෙටුම්පත් කරන වෙලාවේ කියවපු ලිපියක තිබිලා දැනගන්නට ලැබුණ කරුණක් නම් මැයි මාසය ඇමරිකාවේ ජාතික ස්වයං වින්දන මාසය කියලා නම් කරලා තියෙන බවයි. ඇත්තෙන්ම මෙම නම් කිරීම පිටුපස බොහොම වටිනා විස්තරයක් තියෙනවා.

මෙය ඇත්තටම පටන් ගත්තේ 1995 දී ඇමෙරිකාවේ පළමු කළු ජාතික ප්‍රධාන වෛද්‍යවරිය (Surgeon General) වූ ජැකලයින් එල්ඩර්ස් සේවයෙන් පහකිරීමට විරෝධතාවය දැක්වීමක් ලෙසින්. සිද්ධිය මෙසේයි. 1994 දි ලෝක ඒඩ්ස් දිනය වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පැවති දේශනයක් අවසානයේ සභාවේ සිටි අයෙක් විසින් අසන ලද ලිංගික කටයුතුවලට ස්වයං වින්දනයෙන් සිදු වන අහිතකර බලපෑම සම්බන්ධයෙන් ඇය දුන් පිළිතුර මත ඇයව ඉල්ලා අස් වීමට යොමු කළා. ඇය පැවසුවේ ඈ සිතන පරිදි ස්වයංවින්දනය යනු මානව ලිංගිකත්‍වයේ කොටසක් බවත් එය සමහරවිට ඉගැන්විය යුතු දෙයක් බවත් ය. මේ පිළිතුර නිසා අපහසුතාවයට පත් ඇමරිකානු රජය ඇයට ඉල්ලා අස්වන්නට බල කළා… එයින්ම ඇමරිකාවේ පළමු කළු ජාතික ප්‍රධාන වෛද්‍යවරියගේ සේවාව අවසන් වුනා. මෙයට ප්‍රතිචාර දැක්වීමට සැන් ෆ්‍රැන්සිස්කෝ හි ලිංගික උපකරණ සමාගමක් වන Good Vibrations විසින් මැයි මාසය ස්වයං වින්දන මාසය බවට නම් කෙරුවා.. මේ අනුව ඔවුන් ස්වයං වින්දනය පිළිබඳ ජනතාව දැනුවත් කළ අතර විවිධ මාධ්‍ය මගින් එය අධ්‍යාපනිකව පවා ඉදිරියට ගෙන ගියා. ඔවුන් පවසන්නේ 99% ක් ස්වයං වින්දනය ලබන බවත් ඉතිරි 2% බොරුකාරයන් බවත්ය….

ස්වයංවින්දනය සඳහා හේතු 7 ක් ලිපි ලේඛණවල දක්වා තිබෙනවා.

  1. ශරීරයත් මනසත් අමන්දානන්දයට පත් කරන සුරාන්තයක් කරා ඔබ රැගෙන යාම. මෙහිදී වෑහෙන හෝමොන සහ රසායන ද්‍රව්‍ය මගින් ශරීරයට නැවුම් ගතියක් දැනෙන බවත් තමන්ගේ ලිංගිකත්‍වය සහ තමන් කෙරෙහි බැඳීම ඇතිවන බවත් ඉන් පැවසෙනවා.නින්ද නොයාම ඉන් සමනය කරන බවත් පැවසෙනවා.
  2. ආතතිය නැති කිරීමට – ලිංගික හැඟීම් ශරීරයේ මාංශ පේෂීන්ගේ ආතතියක් ඇති කරන අතර සුරාන්තයක් මගින් ඒ සියල්ල ලිහිල් කෙරේ. යෝග ව්‍යායාම, සම්බාහනය, ශරීරය ලිහිල් කිරීමේ ව්‍යායාම වගේම මත්පැන් වලින් ලැබෙන ලිහිල් බව මින් ලැබෙන බව පැවසෙනවා.
  3. ප්‍රතිශක්තිකරණය වැඩි කර ගැනීම – සුරාන්තයේදී පිටවන ඔක්සිටොසීන් නම් හෝමෝනය ශරීරයේ විවිධ ආගන්තුක දේ සමග සටන් කරන රුධිරයේ සුදු රුධිරාණු වලට අමතර ශක්තියක් ලබා දෙනවා.  ශරීරයේ වැඩි ඔක්සිටොසීන් ප්‍රමාණයක් ඇති කාන්තාවන් රෝගී වන්නේ අඩුවෙන් බව පර්යේෂණ වාර්තාවල සඳහන් වෙනවා.
  4. කැලරි දහනයට. – ලිංගික ක්‍රියාවලියකදී මෙන්ම ස්වයං වින්දනයේදීත් අධික ලෙස කැලරි ප්‍රමාණයක් දහනය වෙනවා ලු. මෙමගින් ව්‍යායාම කිරීමකට සමාන කැලරි ප්‍රමාණයක් දහනය නොවුනත් සැලකිය යුතු දහනයක් වෙනවාලු…
  5. තමන් තමන් පිළිබඳ හරිහැටි නොදැන නිසි ලිංගික දැනුමක් ලබාගත නොහැකි බවයි පැවසෙන්නේ. ස්වයං වින්දනය නොලැබූ කිසිවෙක් සාර්ථක ලිංගික ජීවිතයකට හිමිකම් නොකියන බවයි වාර්තා වන්නේ.
  6. වඩාත්ම ආරක්‍ෂාකාරී සහ අරපරෙස්සම් සහගත ලිංගික ක්‍රියාවලිය වන්නේ ස්වයං වින්දනයයි. දරුවන් පිළිසිඳ ගැනීමේ අවදානමක් හෝ ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග වැළඳීමේ අවදානමක් නොමැති එකම ක්‍රමය එයයි. එසේම වගකීම් දරන්නට නොහැකි සහ මානව සබඳතා වලට කුලෑටි කමක් දක්වන සියල්ලන්ට ලිංගිකව සතුටු වීම සඳහා මෙය හොඳ පිළිතුරක්.
  7. විවිධ දුබලතා නිසා ලිංගිකව එක්වීමට අපහසු සමහර අයට කළ හැකි එකම දෙයත් මෙයයි…

මේ  කරුණු සහ තවත් වෙනත් කරුණු රාශියක් මෙයට අදාලයි… ඕනම දෙයක් ඔනවට වඩා ඕන නෑ වගේ මෙයත් වැඩි වැඩියෙන් පුරුදු වුනොත් ටිකක් අනතුරු දායක් වෙන්නටත් පුළුවනි…

අද ඉතිං මේ කරුණ අපේ රසායනාගාරයේ ඉන්න කොල්ලන්ට ගිහින් කිවුවාම එකෙක් කිවුවේ ඇයි මාසෙන් බාගයක් ගියාම කිවුවේ කියලා… දැන් ඉතින් පහුගිය දවස් 20 මගහැරුණ දින අල්ලන්න ඕන කියලත් කියනවා ඇහුනා… ඇත්තටම නොවුනත් ඉතිං විහිළුවට හරි අපි හරිම විවෘතයි….

ඉතිං මම මේ කරුණු කිවුවේ ඔබගේ දැනගැනීම පිණිසයි….

බොරුවට අපි උපාසක උදවිය මාව මරන් කන්න හදන්නේ නැතිව පොඩ්ඩක් හිතලා බලන්න… පොඩි එවුන් මේවා කියවලා අත්හදා බලන්න ගිහින් අතපය කඩාගෙන නෝන්ඩ් වෙනව එහෙම නොවෙයි ඕං…. ඇමරිකාවේ මේවා තරමක් විවෘත දේවල් වුනාට ලංකාවෙ සංස්කෘතික පොලීසියට අනුව මේවා සහගහන අපරාධ…..

2011 මැයි 19: පැය විසිහතරක් ඕනෑකර තිබේ…..


අපි උදේ ගිහිල්ලා…. යළි හවසට එනවා…
ඒ සියල්ල මැද කෙරෙන්න ඕන දේවල් දාහක් කරනවා… ඒ වගේම දහදාහක් දේ අතපසු වෙනවා… සමහර වෙලාවට සදහටම අමතක වෙනවා.. නැත්තං හෙට කරනවා… අමතක වෙච්චි දේ හෝ අතපසු වෙච්චි දේ ජීවිකයේ බොහොමයි…සමහර දේවල් ආයෙ ගන්න බෑ… සමහර වෙලාවට දුකත් හිතෙනවා… සමහර දේවල් සදහටම අපෙන් ඈත් වෙලා… සමහර දේවල් දුරස් වෙලා…. ජීවිතය එහෙමයි…

ඊයෙ පටන් ගත්ත පරීක්‍ෂණ වැලේ ඉවරයක් නෑ… ලොක්කත් හරි හරියට බැහැලා වැඩ.. කියවන්න කියලා එක එක ලිපි හොයලා ගෙනැත් දෙනවා මදිවට තව තවත් පරීක්‍ෂණ ගොඩ ගහනවා…. අරක කරන්න – මේක කරන්න කියලා.. හරියට හෙට උදේට ලෝක විනාසේ වෙනවා වගේ… කොහොම වුනත් අපේ ජීවිත මෙහෙම තමයි… යමක් අළුතෙන් සොයාගත්තොත් ඒක ඉවර වෙනකල් නිවනක් නෑ… උදේ පටන් ගත්ත එක පරීක්‍ෂණයක් ඉවර වෙනකොට දවල් දෙකයි… යන්තම් ඇවිත් දවල්ට කාලා ආයෙම දිවුවා.. අඩුම ගානේ අද වොලිබෝල් ගහන්නවත් යන්න බැරි වුනා… ඊට පස්සේ තවත් පරීක්‍ෂණයක් කළා…. එක ඉවර වෙනකොට සවස හතරයි.. අද තවත් ළමයෙකුට පැයක් උගන්වන්න දාගෙන තිබුණ වෙලාව හවස හතර වෙනකල් පසු පසට දම දමා තිබුණෙ… හතරට ඒ දරුවා ආවා… ඒළමයට සඳුදා විභාගයක්… අත්‍යවශ්‍යම දේවල් ටිකක් කියලා දීලා යැවුවා… ඊටත් පස්සේ තවත් පරීක්‍ෂණයක්…. ඒ මදිවට ලොක්කා තවත් පරීක්‍ෂණ දෙක තුනක් පටලවලා කියනවා අදම කරන්නලු… උදේත් පරීක්‍ෂණයක් හදිස්සියට කරන්න කියලා වෙලාව අපතේ ගියා.. කරන දෙයක් හරියට සැලසුම් කරලා කරන්න ඕන… නැත්තම් වෙලාවත් සංයෝගත් අපතේ යනවා.. කලබලේට පරීක්‍ෂණ කරන්න බෑ… ඒ නිසාම වැඩේ හෙටට කල් දැම්මා… ඒ වගේම අද කරන්න වෙලාවත් නෑ…..

හෙටට වැඩ ලෑස්ති කරලා ගෙදර එනකොට රෑ නවයත් පහු වෙලා… දවසෙම මහන්සි වුන නිසා ටිකක් වෙලා රූපවාහිනිය බැලුවා… ඇල්කෙමිච්චි මෙච්චර වෙලා කොම්පියුටර් එක බදු අරන් තිබුණා.. ඒ නිසා දිනපොත ලියන්නත් පරක්කු වුනා….. හෙට උදේට ආයෙම දිගටම වැඩ……

දවසකට පැය 24 කට වඩා වැඩියෙන් තියෙනවා නම් හොඳයි කියලා හිතෙන්නේ මේ වෙලාවට තමයි…..

2011 මැයි 18 : වැඩක් සෙට් වුනාම දැනෙන සනීපෙ…..


වේලී වේලි ඉඳලා ඉඳලා වැඩක් සෙට් වුනාම අපි හැමෝටම හොඳ සනීපයක් දැනෙනව නේද ? ගැණු ළමයෙක් වැරදිලාවත් බලන්නෙ නැතුව ඉඳලා එතරම් ඇහැට කණට පේන්නෙ නැති කෙනෙක් වැරදිලා හරි හැරිලා බැලුවත් ඉතිං දවල් හීන මවන්න තරම් අපි දස්සයි… (නෑ කියන්න එපා… මොකෝ අපි හැමෝම නළුවො වගේ හැන්ඩ්සම් නෑනෙ – වැරදුනා.. දැන් නම් ලංකාවෙ ඉන්නේ නළුවො නෙවෙයි – එළුවෝ (පුයර බබ්බු) ඒ වගේමයි සල්ලි නැතුව ඉඳලා වැරදිලාවත් රුපියලක් දෙකක් හරි පාරෙ වැටිලා තිබුණොත් දැනෙන සනීපෙ…. කන්න නැතුව ඉඳලා, අහක යන පාන් කෑල්ලක් ඇඟේ වැදුනම ඒක කනකෙට දැනෙන සනීපෙ…. ආදී වශයෙන් දෙයක් නැතුව ඉඳලා ඉඳලා වේලි වේලි කරකුට්ටං වෙවී ඉන්නකොට බලාපොරොත්තු වූ දේ ලැබුණාම ඇඟට හිතට දැනෙන සනීපෙ කියලා වැඩක් නෑ නේද ?

ඉතින් අපිටත් අන්න ඒ වගේ වැඩ සෙට් වෙනවා ඉඳලා හිටලා…

අද විශ්ව විද්‍යාලයේ මේ වාරයට පන්ති පවත්වන අන්තිම දවස… හෙට ඉඳලා වාර අවසාන විභාග. තව සතියකින් මේ පලාතම පාළු වෙනවා.. ළමයි ටික ගෙවල්වල ගියාම… අර ඉස්සර කියපු කොටට කොටේ ගවුම් කෑලි, ජංගි කොට ඇඳන් ගියපු කෙල්ලො එකෙක් වත් බෙහෙතකටවත් දකින්න නැති වෙනවා ටික කාලෙකට.. එතකොට නම් හිතට දුකයි තමයි රංජනී නේද ? ඉතින් අදත් සුපුරුදු පරිදි වැඩ… ඊයේ යොදාගත්ත පරිදි අදට නියමිත පරීක්‍ෂණයක් කරද්දි අමුතු නිරීක්‍ෂණයක් දකින්නට ලැබුණා.. මේ ඔස්සේ තව තවත් හාරගෙන හාරගෙන යනකොට මේ අමුතු නිරීක්‍ෂණය බොහොම වැදගත් එකක් විය හැකි බව මටත් ලොක්කටත් වැටහුනා… මේ නිසාම අද ටිකක් රෑ වෙනකල් ඉඳලා මේ පරීක්‍ෂණය කොණක් දකිනකල් තව තව දේවල් ටිකක් කරන්න තීරණය කළා…

ඒ නිසා වේලසනින්ම ගෙදර ගිහින් රෑට කෑමත් කාලා ඇවිත් මේ පරීක්‍ෂණය යන අතරමග තමයි කුරුටු ගාන්නේ….

ලොක්කගේ යාළු මහාචාර්ය වරු දෙදෙනෙකුත් ඇවිත් අපි හතර දෙනාම ලොකු රසායන විද්‍යා කතාවක් දාගෙන මේ කටයුත්තේ කළයුතු ඉදිරි පරීක්‍ෂණ සැලසුම් කළා… හෙට තවත් පරීක්‍ෂණ කිහිපයක් කරලා මේ ලබාගත්ත දේ තහවුරු කිරීමට වැඩ කරන්න ඕන… ඊට පස්සේ එන්නේ මේ දේවල් තහවුරු කරන්න පාලක පරීක්‍ෂණ කිරීම… මේ ඔක්කොම අවසන් වුනාට පස්සේ මේ දේවල් පිළිවෙලකට ලියලා සඟරාවකට යවන්න ඕන… දැනටමත් ටිකක් ලියන්න නම් පටන් අරගෙනයි තියෙන්නේ… ටිකක් හෙමින් ගමන් කළ අපේ පර්යේෂණය එකපාරටම නව පණක් ලබලා වගේ… දැන් ඉතින් පෙරටත් වඩා වේගයෙන් වැඩ කරලා මේක නිම කරන්නයි ඕන…

සෙස්ස පස්සට…..

ප:ලි: පින්තූරෙ මේකට අදාල නෑ කියලා මට බනින්න නම් එපා….

%d bloggers like this: