Daily Archives: මැයි 2, 2011

2011 මැයි 02 : අර මැරිච්ච ගෑණිගෙ මානව හිමිකම් වලට මොකද වෙන්නෙ දැං ?


අද උදේ ඇහැ ඇරුණෙ ඊයෙ රෑ ආරංචි වෙච්චි සිද්ධියේ මතකයත් එක්ක…. ඔසාමා ඉවර කරපු ඔබාමාගේ කතාවෙන් තේරුණේ ඇමරිකාව හරිම සාන්ත දාන්ත තීන්ත කූඩුවක් කියලා… ඔසාමා මරන්න මාස හයක් සැලසුම් කරපු ඇමරිකානු රහස් ඔත්තුසේවය සහ එයට සම්බන්ධ නිලධාරීන්ගේ රහස් සැලසුම් සහ ඒවා පිටතට යා නොදී රැක ගැනීම වෙනත් රටවලට ආදර්ශයක්.. කිසිම වෙලාවක ඒ ඒ මෙහෙයුම් වලට අදාල නිලධාරීන්ගේ නම් ප්‍රසිද්ධ නොකිරීම, ඇතුලත ගිණි පිටතට නොදීම වැනි දේ අපේ ඇත්තනි ඉගෙනගත යුතුයි.. සිදු වූ දේ මොනවා වුනත් ඒවා ඒ අයුරින්ම රහස් ලෙස රැක ගැනීම යුධ උපාය මාර්ග වල කොටසක් වුනත් අපේ රටේ නම් සමහරු යුද්ධෙ ඉවර වෙලා ගෙදර ආපු ගමන් වටේ පිටෙ පමණක් නොවෙයි පිට රටවල කට්ටියට පවා මහා සද්දෙන් වෙච්චි දේවල් කිවුවේ මං පොර වෙන්න හිතාගෙන…
ඒ වගේමයි, ඔබාම කිව්වේ සාමාන්‍ය මිනිස්සුන්ට අනතුරු අවම කරලා මේක කළා කියලා… ඇත්ත වෙන්න පුළුවනි.. නමුත් මේ මොහෙයුමට පෙර ගම් පිටින් ඩ්‍රෝන් දමා වනසනකොට මියෑදුනේ බල්ලො බලල්ලු හරක් වෙන්න ඇති… ඒ මියගිය මිනිස්සුන්ට හිලරි නෝනා කළේ ශෝකය ප්‍රකාශ කිරීමක් විතරයි නේ… හැබැයි ඇත්තෙන්ම අවසාන අවස්ථාවෙ අර මිනිස් පළිහක් විදියට භාවිතා කරපු ගැහැණියටත් ඇමරිකානු හමුදාව වෙඩි තියලා.. සමහර චිත්‍රපටිවල නං පෙන්නන්නේ ඒ වගේ අය බේරලා හතුරාට වෙඩි තියන එකයි… නමුත් මේ මියගිය ගැහැණියගේ මානව හිමිකම් ගැන කවුද දැන් කතා කරන්න ඉදිරිපත් වෙන්නේ ? සෑම යුද්ධයකදීම සාමාන්‍ය මිනිසුන්ට හානි සිදු වෙනවා.. ලංකාවෙ යුද්ධයේ දීත් ඒක එහෙමයි… අපේ හමුදාව ඒ හානි අවම කරගන්න තමන්ව බිල්ලට දුන් අවස්ථා පවා තියෙනවා කියලා අහන්නට ලැබෙනවා… ඒකත් ඇත්ත වෙන්න පුළුවනි.. අපේ මිනිසුන්ගේ මානසිකත්‍වය අනුව සමහර වෙලාවට තමන්ගේ ජීවිතය ගැන බලන්නේ නැතිව අනුන් බේරගන්න ඉදිරිපත් වෙනවා… නමුත් හැම යුද්ධයකදීම මාධ්‍ය විශාල මෙහෙයක් කරනවා… ඒ අනුව බලනකොට ඇමරිකානු මාධ්‍ය කිනම් දේශපාලනය අදහසක් දැරුවත්, සිය රට පළමු ස්ථානයේ තබා වැඩ කරනු දකින්නට පුළුවනි… මේවත් අපේ අය ආදර්ශෙට ගන්නවා නම් හොඳයි…

ඔන්න ඔහොමයි ඒ සිද්ධිය ගැන මට හිතෙන්නේ… හැබැයි ඉතිං මගේ මේ අදහස් වලට කැමති නැති අය ගොඩක් ඉන්නවා… මොනව කරන්නද ? හැමෝටම එක වගේ හිතන්න බෑ නෙවැ…

අද දවසේ රසානාගාරයේ නම් වැඩිය වැඩක් කෙරුණේ නැති ගානයි… උදෙන්ම ලොක්කා ව්‍යාපෘති වාර්තාවක් ගෙනත් දුන්නා හරි වැරදි බලන්න කියලා… වැරදි ටිකක් පෙන්නලා දීලා නැවත වැඩ කරන්න ගන්නකොට තවත් ළමයෙක් ඇවිත් එයාගේ වැඩට උදවු වෙන්න වුනා… හවස නම් වැඩ ටිකක් කෙරුණත් මේ සිකුරාදා තියෙන Group meeting එකට ඉදිරිපත් කරන්න තියෙන කරුණු ටික එකතු කරගත්තා…. ඒ වගේම අළුත් විශලේෂණ ක්‍රමයක් ඉගෙන ගන්න වෙනත් රසායනාගාරයකටත් යන්නට සිදු වුනා… ඒ සියල්ල නිම වෙනකොට ඇල්කෙමිච්චියි පැටියයි මාව එක්කරගෙන යන්න ඇවිත්… අද පැටියගේ අළුත් පාසලේ ලියාපදිංචි වෙන දවස… මීට පෙර දවසක නම දීලා ආවා… අද අදාල ලිය කියවිලි රැගෙන එන්න කිවුවා… පරීක්‍ෂා කළේ උප්පැන්න සහතිකයයි ස්ථිර පදිංචියයි ප්‍රතිශක්තිකරණ වාර්තාවයි විතරයි… පෝලිම් නෑ.. පගා නෑ… මන්ත්‍රී ලිස්ට් නෑ… මොකවත් නෑ…

මේක අළුත් පාසැලක්… මේ පාසලේ ඉගැන්වෙන්නේ 50: 50 ඉංග්‍රීසි සහ ස්පාඥ්ඥ භාෂාවෙන්… දැන් දැන් ස්පාඥ්ඥ භාෂාවෙන් කතා කරන අය වැඩි වෙන නිසා සහ තවත් භාෂාවක් ඉගෙන ගැනීම මොළය වර්ධනයටත් හේතු වන නිසා පැටියව ඒ පාසලට දාන්න අපි තීරණය කළා.. ඒ විතරක් නෙවෙයි ඒ පාසල Charter School කියන වෙනම විදියේ පාලනාධිකාරයකින් පාලනය වන පාසලක්.. මෙහි වෙනත් පාසල් වගේ නොවෙයි, නිල ඇඳුම් දැඩි නීති රීති සහ සියළුම සිසුන්ට වෙන වෙනම වූ තරඟකාරී අධ්‍යාපන රටාවක් තිබෙන පාසැලක්. දැන් දැන් මේ රටේ වැඩිපුර Charter Schools ඇති කෙරෙනවා….මෙහිදී දක්‍ෂ ළමුන්ට අභියෝග (Challenges) වැඩියෙන් ලැබෙන අතර, දුර්වල සිසුන් ද වසර අවසානයේ උසස් මට්ටමකට රැගෙන ඒමට විවිධ අභියෝග ලබා දීම සිදු වෙනවා.. මේ නිසා දක්‍ෂ සිසුන් කම්මැලි වීම සිදු වන්නේ නැහැ.. ඒ වගේමයි ගුරුවරුන් නිතරම විවිධ විභාග මගින් පරීක්‍ෂණවලට භාජනය කෙරෙනවා.. මේ නිසා ගුරුවරුන්ගේ දැනුම, ඉගැන්වීම් ක්‍රම ආදිය නිරන්තරයෙන් උසස් තත්ත්‍වයකට ගෙන එනවා… මේ කරුණු නිසා අපි පැටියව ඒ වගේ පාසලකට ඇතුලත් කළා… පන්ති පටන් ගන්නේ අගෝස්තු 31 වනදා…

තව පොඩ්ඩෙන් අද දිනපොත ලියන්නත් අමතක වෙනවා… අළුත් දවසක් එක්ක හෙට හමුවෙමු

%d bloggers like this: