Daily Archives: මැයි 4, 2011

2011 මැයි 04 : මගේ පළමු පුවත්පත් සාකච්ඡාව…. ඉංගිරිසියෙන්….


ඊයෙ රෑ නින්දට යන්න පෙර ඊමේල් පරීක්‍ෂා කරන විටයි දැක්කේ විශ්ව විද්‍යාලයීය පුවත්පතේ මාධ්‍යවේදිනියක් අපේ පර්යේෂණ පිළිබඳ විශ්ව විද්‍යාලයීය වෙබ් අඩව්යේ දැකලා ඒ ගැන ලිපියක් ලියන්න අවශ්‍ය කරුණු දැනගන්නට පුවත්පත් සාකච්ඡාවක් ඉල්ලලා එවා ඇති බව… ඉතින් රෑම ඒ පිළිබඳ වෙලාව නියම කරගෙනයි නින්දට ගියේ…

මේ ඉන්නේ ගෙදර මලක වහපු සමනළයෙක්

උදේ ඇහැ ඇරිලා බලනකොට ගෙදර ලොකු කලබලයක්… වෙනදා වදෙන් පොරෙන් පාසල් එක්කන් යන ඇල්කෙමි පැටියා උදේ පාන්දර ඇහැඇරගෙන පාසල් යන්නට ලක ලෑස්ති වෙනවා… මාවත් ඉක්මනටම ලෑස්ති කරගන්නයි කලබලේ… බැලින්නම් සමනළයෙක් හදන්න කියලා පන්තියට දළඹුවෙක් ගේනවලු අද උදේ… ඉතින් මේකට කලබල වෙලා තමයි පැටියා මේ ඉස්කෝලෙ යන්න පොරකන්නේ.. අපිත් ඒ අවසරයෙන් ප්‍රයෝජන අරගෙන පැටියව ඉක්මනට ලෑස්ති කරගත්තා… අද උදේ ඉඳන් චුරු චුරු වැස්ස… ඒ වැස්සෙම පැටියව ඉස්කෝලෙ දාගෙන මමත් රසායනාගාරයට ආවා… ඇවිත් ලොක්කත් එක්කලා පුවත්පත් සාකච්ඡාව ගැන කතා කරත්දි එයාගෙනුත් සාකච්ඡාවක් ඉල්ලලා.. ඒ අනුව අපි දෙන්නගෙම සාකච්ඡාව එකවිට කරන්නට තීරණය කරගත්තා…

දවල් අදාල මාධ්‍යවේදිනිය ඇවිත් විනාඩි 15 ක පමණ පුංචි සාකච්ඡාවක් කරගෙන යන්නට ගියා.. දන්න සිංහලෙනුත් නෙවෙයි නේ ඉංගිරිසියෙන් … දන්න විදියට වචන ගැට ගහලා උත්තර දුන්නා….  වැඩි විස්තර ඇහුවෙ නෑ.. සාමාන්‍යයෙන් රසායනාගාරයේ අපට අදාල දේ සහ කෙරෙන දේ ගැන ලියාගෙන ගියා… අපේ රසායනාගාරයේ කෙරෙන කාබන් ඩයොක්සයිඩ් පිළිබඳ පර්යේෂණය බොහෝ දෙනෙකුට සිතට වැදිලා තියෙන පාටයි… දැනටම ලොක්කගෙන් මාධ්‍ය සාකච්ඡා තුනක්ම ලබාගෙන තියෙන එකෙන් ඒ බව පැහැදිළි වෙනවා.. මේ හතරවැන්න… ඒ වගේ දෙයකට සම්බන්ධ වෙලා වැඩ කිරීම ගැන මගේ හිතෙත් තියෙන්නේ ලොකු ආඩම්බරයක්… (මම නැත්තං කොරයි ලොක්කා මේවා… හහ්…) එහෙම කියලාම නොවෙයි… නමුත් මේ වැඩකටයුතු ගැන මට ලැබිලා තියෙන වගකීම් සහ යුතුකම් මගේ අතින් කෙරෙන බව දැනගන්න ලැබුනාම ඉතින් ආඩම්බරයි නේද මං අහන්නේ… ?

හවස තිබුණා දිගම දිග දේශනයක්… මට නම් ඒක බොහොම ආස හිතුනට බොහෝ දෙනාට වැඩිය තේරුණේ නැතිලු… මට තේරුණෙත් මම ආචාර්ය උපාධියට ඒ හා සම්බන්ධ පර්යේෂණයක් කර තිබූ නිසායි…. ඒ නිසා මම නම් හොඳට අහගෙන හිටියත් බොහෝ දෙනෙක් බෙල්ල සාක්කුවේ දාගෙන නිදාගෙන හිටියා… (හොඳට නිදාගන්න ලැබෙන්නේ මේ වගේ වෙලාවක විතරයි නේ : මමත් ඒ වගේ වැඩ නම් අනන්තවත් කරනවා)……… සිකුරාදා තියෙන Group Meeting එකට දත්ත එකතු කරගෙන යනවා දැන්…  හෙට තියෙන පරීක්‍ෂණ වලට අදාල දේවල් ටිකත් නිම කරලා ගෙදර යන්න ඕන… පැටියගේ මාළු ටැංකිය සුද්ද කරන්න කාලෙ හරි… මාළුවො ටික දැන් හර්තාල් එකක් දාන්න ඉස්සර ඒකත් සුද්ද කරලා දාන්න එපායෑ….

මාළු ටැංකිය සුද්ද කරලා පැටියවත් නිදි කරවලා තමයි මේ ඉතිරි ටික ලියලා නිම කරන්නේ….

හෙට අළුත් දවසක්…. වැඩ ගොඩක් තියෙන….

%d bloggers like this: