Daily Archives: මැයි 7, 2011

2011 මැයි 07 : ඈ අප සැමගේ අම්මාය…….


ඔන්න අද උදේ නම් ඇහැ ඇරුණෙ ඇල්කෙමිච්චිගෙ කරුණාබර කෑගැහිල්ලට. ඊයෙ ක්ලබ් ගානේ රස්තියාදු ගහලා එක එක ජරාව බීලා උදේ ඇහැ ඇරෙනකොටම දෙයියනේ කියලා හොඳ ඔලුවෙ කැක්කුමක් එක්ක තමයි ඇහැ ඇරුණෙ… ඒත් ඉතිං කළ යුතු දේ කරන්න වෙනවනේ….. ගිය සතියෙ පොරොන්දු වුනා වගේ පැටියව පිහිණුම් පුහුණුවීම් වලට අරන් යන්න වෙනවා… ඔන්න බැරි බැරි ගානේ ඇල්කෙමිච්චිට හිතින් බැණ බැණ ලෑස්ති වුනා…(මුනිවත හොඳයි දෙබසින් වැඩ වැඩි හින්දා…) උදේ පාන්දර ටයිලනෝල් එකක් ගහලා යන්තම් ඔලුවෙ කැක්කුම අඩු කරගෙන පවුල පිටින් පිහිණුම් පුහුණුවීම් කරල තැනට ගියා… එතන පැය එකහමාරක් ඉඳලා රසායනාගාරයට එනකොට එතැන බල්ලෙක්වත් නෑ..  ඔක්කොම බල්ලො ටික ඊයෙ රෑ වෙනකල් රස්තියාදු ගහලා නිදි… ඔන්න එකා දෙන්නා එන්න පටන් ගත්තා එකොලහට විතර.. ලොක්කා නම් මේ වෙනතෙක් නෑ…

ඊයෙ Group Meeting එකේ සාකච්ඡා වුන කරුණු කිහිපයක් මත පදනම් වෙච්චි පරීක්‍ෂණයක් කරලා නිම වෙනකොටම තමයි දෙවන වරට ඇල්කෙමිච්චි කතා කළේ… පැටියව අරන් බේස් බෝල් පුහුණුවීම් යන්න… අනේ බෑ නොකියා ඒකටත් ගියා.. නොගිහින් කොහෙමද ? ඉන්නෙ එකම එකානේ… (ඒකම නෙවෙයි.. නොගිහින් හිටිය නම් සතියක් කණක් ඇහිල ඉන්න වෙන්නෙ නෑ) ඉතින් ඒකා එක්කලා සෙල්ලම් කරලා සෙල්ලම් කරවලා නිම වෙනකොට මෙන්න තව මගුලක් පංගාර්තු කරගෙන…ළඟ තියෙන State park එකක පොඩි වසන්ත සැණකෙළියක් තියෙනව කියලා ඒකට යමු ලු… දවල්ට කාලත් නෑ… ඒකටත් ගියා… ඊට පස්සේ අම්මවයි පුතාවයි ගෙදර දාලා ආපහු ඇවිත් තමයි මේ ලියන්නේ… අද නම් කිසි දෙයක් කරන්න ඇඟට පණත් නෑ හිතකුත් නෑ.. මොනවත් නොකෙරුවයි කියලා ලොක්ක බණින්නෙත් නෑ.. දන්නවනේ කට්ටිය ඊයෙ හිටපු හැටි…

ඒ එක කතාවක්….

හෙට, කඩ කාරයොයි, මාධ්‍ය කාරයොයි බලෙන් යොදාගත්ත අම්මාවරුන්ගේ දිනය (Mothers Day). ඇත්තටම අම්මලාට වෙනම දිනයක් අවශ්‍ය ද ? මම මේ ගැන බොහෝ වතාවල කතා කරලා තියෙනවා.. වෙනත් ආගම්වල දෙමාපියන්ට සැලකීම කෙසේ විස්තර කරලා තියෙනවද කියලා කියන්න මම දන්නෙ නෑ… ඒත් බුද්ධාගමේ නම් දෙමාපියන්ට සැලකීම බොහෝ තැන්වල මනාව විග්‍රහ කරලා තියෙනවා… සිඟාලෝවාද සූත්‍රයේ සදිසාවන්ගෙන් නැගෙනහිර දිශාව කියන්නේ දෙමාපියෝ…නැගෙනහිර කියන්නේ සූර්යයා නැගෙන දිශාව…ඒ කියන්නේ දරුවෙකුගේ ඉදිරි අනාගතය තීරණය කරන දිශාව අඩංගු අය සිටින දිශාව… දෙමාපියන්ට දරුවන්ගෙන් විය යුතු යුතුකම් සයකුත්, දරුවනට දෙමාපියන්ගෙන් සිදුවිය යුතු යුතුකම් සයකුත් වශයෙන් බුදුන් වහන්සේ සිඟාලක මානවකයාට දේශනා කර ඇති සිඟාලෝවාද සූත්‍රයේ මෙසේ සඳහන් වෙනවා

දරුවන් දෙමාපියන්ට

  • නිසි ලෙස සැලකීම
  • ඔවුන්ගේ අණ පිළිපැදීම
  • නිසි ලෙස හැසිරෙමින් පාරම්පරික සිරිත් විරිත් පවුලේ සිරිත් විරිත් වලට ගරු කිරීම
  • වස්තුවක් ඇත්නම් ආරක්‍ෂා කර අනාගතය සරිකර ගැනීම
  • මිය ගිය පසු නිසි ලෙස ගෞරව කිරීම

දෙමාපියන් දරුවන්ට

  •  නපුරින්/නරකින් මුදා ගැනීම
  • යහගුණ දම් කියා දීම
  • නිසි ලෙස ඉගැන්වීම
  • සුදුසු පරිදි ආවාහ විවාහ කරදීම
  • වස්තුව නිසි ලෙස බෙදා දීම

මේ ඇත්තෙන්ම බුදුන් වැඩ සිටි කාලයේ පැවති  රීතීන් සමුහයක්… වර්තමාන සමාජය මෙයට වඩා සංකීර්ණ වී තිබුණත් මේ රීතීන් අඩු වැඩි වශයෙන් දැනටත් බලපැවැත්වෙනවා.. බටහිර ලෝකයේ නම් මේ දේවල් දක්නට ලැබෙන්නේ නැතත් පෙරදිග රටවල විශේෂයෙන් ලංකාවේ මේ දේවල් තවමත් දක්නට ලැබෙනවා… මේ අනුව ක්‍රියා කිරීම නිසා දෙමාපිය – දූදරු සබඳතාවය කොපමණ ශක්තිමත් වෙනවා ද කියලා හඳුනාගැනීම මා ඔබටම බාර කරනවා….

කෙසේ නමුත් මා කියන්න තතනන්නේ ඇත්තෙන්ම අපි නිසි පරිදි අපේ අම්මාට, බිරිඳට ඒ වගේම පෙම්වතියට සළකනවා නම්, මේ අම්මාවරුන්ගේ දිනයක් කුමටද ? යන්නයි…

බිල් සහ ලින්ඩා රැම්බින් යුවල

ලින්ඩා රැම්බින් කියන්නේ ලුයිසියානා ප්‍රාන්තයේ මමත් ඇල්කෙමිච්චිත් ඉගෙන ගන්නා කාළයේ විදේශීය සිසුන් භාරව සිටි මහාචාර්ය රැම්බින් ගේ බිරිඳ.. රැම්බින් මහතා වගේම ඇයත් විදේශීය සිසු සිසුවියන්ට බොහොම ලැදියි… අපට ඔවුන්ගේ නිවස නිති පතා විවෘත වුනේ විවිධාකාර දේ වලට… සමහරවිට විවිධ ජාතීන්ගේ සිසුන් විසින් උයන ලද කෑම කන්න.. එක විටෙක අපි ලංකාවේ කෑම වේලක් ඔවුනට කන්න දුන්නේ ඔවුන්ගේ නිවසේ පිළියෙල කරලා… මමත් ඇල්කෙමිච්චිත් ඩෙලවෙයාර් ප්‍රාන්තයට එනවිට අපට සමුගැන්මේ සාදයක් ඔවුන් සංවිධානය කළා වගේම අපි දෙදෙනා විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධිය (MS) ලබා ගත් උපාධි ප්‍රදානෝත්සවය දවසේ අප දෙදෙනාට සාදයක් සංවිධානය කළේ ඔවුන්ගේ නිවසේ.. තවත් වතාවක මා ත්‍යාගයක් ලබා ගැනීම සඳහා ලුයිසියානාවට ගිය දවසක මා රෑ ගත කළේ ඔවුන්ගේ ගෙදර.. මේ ආකාරයට දෙමාපියන් දුරස්ව සිටි අපට දෙමාපිය යුවලක් වුනේ ඔවුන් දෙදෙනා… පැටියා ඉපදුන දවසේ ඔවුන් පැටියව හැඳින්වුවේ ඔවුන්ගේ ශ්‍රී ලාංකික මුණුබුරා කියලා… මාසයකට දෙකකට වතාවක් අපි ඔව්නට දුරකථනයෙන් කතා කරනකොට අහන්නේ කෝ අපේ මුණුබුරා කියලා… දුරක හිටියත් අපි හැම නත්තලටම පැටියගේ පින්තූරයක් ඔවුනට යවනවා.. එය ඔවුන්ගේ නත්තල් ගහේ තබන්න ඔවුන් අමතක කළේ නැහැ… මේ නිසාම සහ වෙනත් බොහෝ කරුණු නිසා ඔවුන් අපට මෙහේ ඉන්න දෙමාපියෝ….

ඉතින් මේ ලින්ඩා රැම්බින් මහත්මියට හදිසියේ මොළයේ පිළිකාවක් මතු වුනේ මීට අවුරුදු දෙකකට පෙරයි.. විශාලත්‍වයෙන් සෙන්ටිමීටර නවයක් තරම් වූ පිළිකාව මොළයේ එක අර්ධගෝලයක් සම්පූර්ණයෙන් අහුරාගෙන තිබුණා… ඒ බව ඇසූ අපට ඇති වුනේ පුදුමාකාර කම්පනයක්… ශල්‍යකර්මය අවදානම් වුනත් එවුන් ඒ අවදානම රැගෙන ඇය ශල්‍යකර්මයකට භාජනය කළා.. ඈ මිය යතැයි අනුමාන කර තිබුණත් වාසනාවකට ඈ ඇගේ ශරීරයේ ක්‍රියාකාරීත්‍වය තරමක් අඩාලව ජීවත් වෙනවා… මෙයට සතියකට පමණ පෙර අපට ලැබුන පණිවුඩය නම් කිසිසේත්ම සුබදායක එකක් නොවෙයි… ඒ ඇගේ පිළිකාව නැවතත් වර්ධනය වී තිබුණාටත් වඩා විශාලව ඇති බවයි… නැවත ශල්‍යකර්මයක් ප්‍රතිකර්මයක් නොවන තත්ත්‍වයකට පත්ව ඇති නිසා දැන් ඇය බෙහෙත් මගින් එය පැතිරීම අඩු කරගෙන යනවා… ඉතින් අපි තීරණය කළා අපේ ඒ දෙමාපියන් බලන්න මේ මස අග යන්නට.. අප ප්‍රාර්ථනා කරනවා ඈ ඒ වනතෙක් ජීවත්ව හිඳීවි කියලා…

ඇය සිය සැමියා වියට්නාමයේ යුද කටයුතු වල යෙදී සිටිය විට දරුවන් තිදෙනෙක් තනියම බලාගත් මාතාවක්.. ඒ වගේම ඒ දෙදෙනා එකිනෙකාට ඉතාම  ආදරයෙන් හිටපු ඇමරිකානු යුවලක්… බොහෝ දෙනෙකුට ආදර්ශයක්…. මේ ඇය ගෙවන්නේ ඇගේ අවසාන මව් වරුන්ගේ දිනය විය හැකියි… මෙවන් මවු වරු ලෝකයේ සෑම දෙනාටම ආදර්ශයක්… නිහාල් අයියාගේ ලිපියේ කියැවුන ඇමරිකානු මව වගේ නොවෙයි... තමන්ගේ දරුවන්ට පමණක් නොවෙයි අනුන්ගේ, වෙනත් ජාතියක දරුවන්ටද මවක් වීමට තරම් කරුණාබර හදවතක් ඇති ඇයට තවත් වසරක් ජීවත් වන්නට ලැබේවා‘යි මේ මවුවරුන්ගේ දිනයේදී  ප්‍රාර්ථනා කරනවා….

%d bloggers like this: