Daily Archives: මැයි 10, 2011

2011 මැයි 10: අපි නම් ගුරුවරුන්ට අල්ලස් දෙනවා… පුළුවන් නම් ඇවිත් අල්ලගන්න….


අද දවසෙත් වැඩ නේ… වැඩට ගියාම වැඩ කරන්න වෙනවා…. ඉතින් වැඩ… අද කරන්න යොදාගෙන තිබුණ වීඩියෝ කිරීම හෙටට කල් දමන්න වුනේ රසායනාගාරයේ වීඩියෝවට ඉන්න අනිත් ශිෂ්‍යයා අසනීපව වැඩට ආවෙ නැති නිසා… ඒ වුනත් වෙනත් වැඩ රාජකාරි බොහොමයක් තිබුණ නිසා හෙලවෙන්න බැරි තරම් වැඩ…
ඒ වුනත් අද ටිකක් වේලසනින් ගෙදර ආවේ ගෙදර අස් පස් කරලා දාන්නයි… හෙට පැටියගේ පන්තියේ ගුරුවරියො තුන් දෙනාගෙන් දෙදෙනෙක් එනවා රෑ කෑමකට…. ඒකයි… ගිය සතියේ පැටියගේ පාසලේ ගුරුවරුන් ඇගයීමේ සතිය (teacher appreciation week) පැවැත්වුනා.. පැටියා ඉගෙන ගන්නේ පල්ලියෙන් පාලනය වන පුද්ගලික පාසලක වුනත් ඒ පාසලේ ගුරුවරුන්ට ගෙවන්නේ බොහොම අඩු පඩියක්… ඒ වගේම ඒ ගුරුවරු තමන්ගේ පන්තිය වෙනුවෙන් අතින් වියදම් කරගෙන දේවල් ගේනවා.. මේ නිසා දෙමාපියන් ඒ ඒ පන්තිවලට යමක් දෙනවා නම් හෝ ගුරුවරුන්ට යමක් දෙනවා නම් ඒ අයට හරිම අගෙයි… බොහෝ දෙමාපියෝ ගුරුවරුන්ට සුළු සුළු තෑගි ගෙනත් දෙනවා ඒ සතියෙදී… සමහරු Restaurant වලින් කන්න තෑගි වවුචර අරන් දෙනවා… තවත් සමහරු විවිධ කඩවලින් බඩු ගන්න තෑගි වවුචර දෙනවා… මේ සැරේ අපි තීරණය කළා ඔවුනට ලංකාවේ කෑම වේලක් දෙන්න..
එක හේතුවක් තමයි ඔවුන් ලංකාවේ කෑම වේලක් රස නොබලා තිබීම.. තවත් හේතුවක් තමයි බොහෝ දෙනා ගුරුවරුන්ට තමන්ගේ නිවස විවෘත කරන්නේ නැහැ…. එසේ ඔවුන් වෙනුවෙන් යමක් කිරීමට තරම් සමහරුන්ට වෙලාවක් නැහැ… අපට තරමක් වෙලාවක් තිබෙන නිසාත් ඒ ගුරුවරු අපේ පැටියට උගන්වන ඉගැන්වීම අපට වටින නිසාත් අප තීරණය කළා ඔවුනට කෑම වේලක් ගෙදරම දෙන්න… ඒ කළා කියා ඔවුන් අපට හෝ පැටියට විශේෂ සැලකිල්ලක් දක්වන්නෙත් නැහැ… ඒ නිසා ඒ පිළිබඳ අපට ගැටළුවක් හෝ වැරදිකාර හැඟීමක් (Guilty feeling) පහළ වන්නෙත් නැහැ… මෙය කිසි කෙනෙක් අල්ලස් දීමක් හැටියට සලකන්නෙත් නැහැ…
ලංකාවෙ නම් ගමන්ගේ දරුවාට විශේෂ සැලකිල්ලක් දක්වගන්න බලාගෙන තමයි ගුරුවරුන්ට සලකන්නේ.. ඒ වගේම සමහර ගුරුවරුන් ඒ විශේෂ සැලකීම් දක්වන දෙමාපියන්ගේ දරුවන්ට වැඩි සැලකිල්ලක් දක්වන වෙලාවලුත් අප දැක තිබෙනවා… මේවා ඉතින් මනුෂ්‍ය ගති ලක්‍ෂණ නේ ඒවා වෙනස් කරන්නට බැහැ…
ඉස්සර නම් ගුරුවෘත්තිය හැඳින්වුනේ සේවයක් විදියට… නමුත් දැන් දැන් ගුරුවරුන් දේශපාලන පත්වීම් මත සහ අඇඳුණුම්කම් මත පත් වීම නිසා නිසි සුදුසුකම් නැති පිරිසකගේ වෘත්තියක් බවට පත් වෙලා…ඒ අතරේ ගුරු දෙවියනුත් නැතිවාම නොවෙයි… නමුත් කිසිම ගුරුවරයෙක් තම සිසුන් විභාගයෙන් අසමත් වීම පිළිබඳ වගකීමක් ගන්නේ නැහැ… ඔවුන් අළුත් ඉගැන්වීම් ක්‍රම අත්හදා බලනවාද යන්න මම නම් දන්නේ නැහැ… මේ නිසාම ගුරුවරුන් හැමදාම කරගෙන ආ පාඩම් ඒ අයුරින්ම කරගෙන යනවා විනා අළුතෙන් දෙයක් හිතන්නේ නැහැ.. ඔවුන් හිතන්නේ තමන්ගේ දරු පවුලට කන්න අඳීන්න සල්ලි හොයන්නේ කොහොමද කියලා විතරයි… ළමයි ටියුෂන් ගිහින් විභාග සමත් වන බව ඔවුන් දන්නවා… මේ නිසාම ගුරුවරුන්ගේ දැනුම අඩු වෙලා… මෙහේ නම් ගුරුවරු අවුරුදු කිහිපයකට වතාවක් විභාලවලට මුහුණ දීලා සිය සහතික අළුත් කරගත යුතුයි… ලංකාවෙ නම් පත්වීම ලැබුවාට පසු විශ්‍රාම යනකල් රැකියාව ස්ථිරයි… මේ නිසාම ඔවුන් බොහෝ දෙනෙක් සිය වගකීම සැහැල්ලුවෙන් පැහැර අරින්ට පුරුදු වෙලා තියෙනවා…. මේ තත්ත්‍වය කවදා වෙනස් වේද ?

ඉතින් මේ වැඩ කරද්දි දන්නෙම නැතිව රෑ වුනා…. හෙට හමුවෙමු..

%d bloggers like this: