Daily Archives: මැයි 12, 2011

2011 මැයි 12 : ලෝකය කැරකැවෙන්නේ ඔබ වටා නොවන බව කරුණාවෙන් සලකන්න…. The world doesn’t revolve around You !


අදත් වැඩ නේ… ඉතිං හැමදාම වැඩ… ඕක අමුතුවෙන් කියන්න ඕන දෙයක් නෙවෙයි නේ… ඉතිං සුපුරුදු පරිදි අදත් වැඩ කරගෙන ගියා…
ඊයේ අපේ එක්ස් කිරණ ස්ඵටික දත්ත එකතු කළ දවස… අනෙත් කට්ටියගේ දවස පටන් ගන්නේ දවල් 12 ට වුනත් සමහර වෙලාවලට දත්ත එකතු කිරීම ටිකක් දිගු වෙනවා.. හැම කණ්ඩායමටම එහෙම වෙන දවස් තියෙනවා.. ඉතින් ඊට පසු දා ඉන්න කණ්ඩායම පොඩ්ඩක් ඉවසලා අනෙත් අයට එය නිම කරගන්න දෙනවා.. අපි අපි කවුරුත් මිනිස්සු නේ…
නමුත් අපේ එක කණ්ඩායමක් ඉන්නවා හරිම ආත්මාර්ථකාමියි. උන් හිතන්නේ උන් විතරයි ඔක්කොම කරන්න ඕන කියලා.. මහාචාරියත් එකයි උගේ කණ්ඩායමත් එකයි.. මම නම් කෙළින්ම කියලා දානවා මූණටම… ඉතින් අද වැඩ කර කර ඉන්නකොට ඔන්න ඒ කණ්ඩායමේ කෙල්ලෙක් ඇවිත් අහපි අපේ දත්ත එකතු කිරීම නවත්තන්න පුළුවන්ද කියලා… ඔන්න මට හීනියට තරහ ඒගෙන ආවේ… මොකද කියනවා නම් දවසක් මහාචාරියා ඇවිත් අපේ එකෙක්ට තගක් දාලා ගිහින් තිබුණා… ඒ අස්සේ මෙයා ඇවිත් අහනවා ආයෙම දත්ත එකතු කිරීම නවත්වන්න කියලා.. ඒ විතරක් නෙවෙයි ඒ දත්ත එකතු කළේ බොහොම වැදගත් සංයෝගයක දත්ත… මේක හරියට එකතු කර ගත්තෙ නැති වුනොත් ආයෙම සෑහෙන කාළයක් යනවා එක කරගන්න.. අපි දැන් මේ අපේ සොයාගැනීම් ටික ටික ලියාගෙන යන නිසා එච්චර වෙලාවක් නාස්ති කරන්නත් බැහැ.. ඒ වෙලාවෙ තමයි මම ඇහුවා ඇයි කියලා… මෙන්න මේකි කියපි වෙලාව ඉවරයි කියලා… මම කිවුවා වෙලවෙ ඉවර එක ඇත්ත නමුත් අපි හැමෝම එකිනෙකාට උදවු කරනවා නේද මේ එකම උපකරණය සාමකාමීව සහජීවනයෙන් පාවිච්චි කරන්න කියලා… මෙන්න එතකොට කියපි අපි හැමදාම මෙහෙම කරනවා කියලා… ඔන්න එතකොට නම් මට පුෂ්ප ජම්ප් වුනා.. මොකද ඊයෙ අපි දත්ත එකතු කරන්න පටන් ගන්න ඉස්සර අපේ වෙලාවෙන් පැය තුනක් දීලා තිබුණෙ ඒ කණ්ඩායමේම තවත් කෙනෙකුට දත්ත එකතු කරන්න… ඊට පස්සේ මම ටිකක් හයියෙන් කියාගෙන කියාගෙන ගියා ඔයාලට වගේම අපටත් අපේ පර්යේෂණ වැදගත් බව සහ හැමෝම සහජීවනයෙන් වැඩ කළයුතු බව… මම හිතුවෙ මහාචාරියා කඩාගෙන එයි කියලා මට කතා කරන්න… ආව නම් ඌටත් කියන්නේ ඒ ටිකම තමයි… ලංකාවෙ හිටියනම් අම්මපා ඕකගේ කාර් එකේ හුලං අරිනවා රෝද හතරෙම…

ඇයි මේ මිනිස්සු මේ තරම් ආත්මාර්ථාකාමී ? ඒ ගොල්ලො විතරද මේ ලෝකෙ ජීවත් වෙන්න ඕන ? දැන් බලන්න… ලංකාවෙ බස් එකකට නගින්න තියෙන පොරේ ? පෝලිමක ඉන්නකොට කී දෙනෙක් පෝලිම් කඩාගෙන යන්න හදනවද ? පාරෙ වාහන එළවනකොට කීදෙනෙක් අනිත් වාහනේට ඉස්සරහින් කපාගෙන යනවද ? ගිහින් මොනවද කරන්නේ ? කොච්චර සුළු වෙලාවක්ද ඉතුරු කරන්නේ ? සාමාන්‍ය වේගයට වඩා කලබලේ ගිහින් ඇණගන්නවට වඩා හොඳ නැද්ද පොඩ්ඩක් කළින් ගෙදරින් පිට වෙන එක ? මේවා අළුතෙන් කියා දෙන්න ඕන ද ? ලංකාවේ වාහන අනතුරු ප්‍රමාණය කොච්චර වැඩිද කිවුවොත් ජනාධිපති තුමාත් ඒකට මැදිහත් වෙන්න තරම් අධික වෙලා.. ඩෙංගු වලින් මිනිස්සු 500 ක් වසරකට මැරෙන රටේ වාහන අනතුරු වලින් අඩුම ගණනේ 10,000 ක්වත් මැරෙනවා.. ඒ ගැන සොයන්න කව්රුවත් නෑ…

මේ ඔක්කොම අපි හැමෝම අධික ආත්මාර්ථකාමීව දුවන්නන් වාලේ දුවන නිසා… පොඩ්ඩක් නැවතිලා බැලුවොත් පෙනෙනවා කී දෙනෙක් හදිසියේ දුවනවාද කියලා…. එහෙම දිවුවා කියලා අපි අමුතුවෙන් ලබාගන්න දෙයක් නැති වෙන්න පුළුවන්.. ඒ වුනාට අපෙන් මඟහැරෙන දේවල් ගොඩයි…. පොඩ්ඩක් හිතන්න…..

ජීවිතය කියන්නේ විඳින්න ඕන දෙයක් මිස විඳවන්න ඕන දෙයක් නෙවෙයි….

%d bloggers like this: