Daily Archives: මැයි 15, 2011
2011 මැයි 15 : 2600 සම්බුද්ධ ජයන්තිය (ස)මරමු………….!
කොඩි තොරණ දන්සැල්ද සිල් ගැනිලි නිමක් නැත
සැදැහැවත් කම රටම එකළු කර පැතිර ඇත
මස් කඩේ, බාර් එක සූදු පොළ වසා ඇත
සම්බුද්ධ ජයන්තිය ජයට සමරනව ඇත
මැති ඇමති ජනපතිද සිල් අරන් අඳෝ මැයි
විපක්ෂෙන් දානෙ දෙයි ඒ වගත් එසේ මැයි
හෙට අනිත්දා දිහා මේ සීලෙ බිඳේ මැයි
හැමදේම කෙරෙන්නේ අනේ මැයි මාසෙ මැයි
සූදුවට ජරාවට පගාවට යට වෙලා
මුළු රටම එකම එක මඩ ගොහොරුවක් වෙලා
ආගමත් ධර්මයත් ආටෝපයක් වෙලා
ප්රතිපත්ති පූජාව මහ විහිළුවක් වෙලා
දන් සැලෙන් පොඩිත්තයි තොරණකින් ඇබිත්තයි
පාරකට පාලමට තැබෑරුම වැඩි හොඳයි
ටෙන්ඩරේ පාස්වී ගාන අතටම ලැබෙයි
සුදු ඇඳන් ඇමති වරු අනේ අද සිල් ගනියි
අද වගේ හැමදාම සීලෙ රැක ගනිල්ලා
බොරුව වංචා නැතුව රටට වැඩ කරල්ලා
වෙනත් දේශයක් නැහැ අපට දැන ගනිල්ලා
සම්බුද්ධ ජයන්තියෙ අරුත ඉටු කරල්ලා