Daily Archives: මැයි 16, 2011

2011 මැයි 16 : ළඟදී සරසවි යන ආදරණීය නංගිලා මල්ලිලා වෙතටයි….


අද අපේ විශ්ව විද්‍යාලයේ පළමු ඉගෙනුම් වාරයේ අවසාන දින දෙකෙන් එකක්.. බදාදා ඉඳලා වාර අවසාන විභාග පැවැත්වෙනවා… හැම දෙනාම පන්ති ඉවර කරගන්න, විභාග වලට සූදානම් වෙන්න, පැවරුම් නිම කරන්න දිවා රෑ නැතුව වැඩ…. සමහරු කළින්ම සියල්ලම නිම කරලා ගෙවල් බලා යන්න බඩු පැක් කරනවා…. මුළු විශ්ව විද්‍යාලයේ හැම තැනම පුංචි යුද්ධයක් වගේ…

මේ අතරෙයි දැනගන්න ලැබුණෙ යෝජිත නායකත්‍ව පුහුණු වැඩ සටහනට විරුද්ධව ජවිපෙ බලල් අතක් වූ අන්තරේ නඩු මගට බහින්න පවා සූදානම් බව…. ඇයි මේ ? සිසුන්ට නායකත්‍වය පුහුණුවක් එපාද ? නැත්නම් සිසුන් ඔවුන්ගේ ග්‍රහණයෙන් මිදෙයි කියන බයටද ? ඇත්තෙන්ම සිසුන්ට ඇති ආදරේටද ? මේ ප්‍රශ්න තුනම මට ඇති වුනේ මේ ප්‍රවෘත්තිය දැක්කාම… මෙහේ විශ්ව විද්‍යාලවල ලමයි සල්ලි හොයාගෙන, ණය අරගෙන, දෙමාපියො වසර විස්සක් පමණ ඉතිරි කරලා සල්ලි හොයාගෙන, ආදී වශයෙන් විශ්ව විද්‍යාලවල අධ්‍යාපනය ලබන්න විඳින දුක දැක්කාම ලංකාවේ ළමයින්ට නොමිලේ දීලා මහපොළත් දෙන විශ්ව විද්‍යාල අධ්‍යාපනය වටින්නේ නැද්ද කියන ප්‍රශ්නය හිතට නැගෙනවා…

කෙසේ වෙතත් අද ලාංකීය සරසවි ශිෂ්‍යයා කියන්නේ වොහොම කණගාටුදායක තත්ත්‍වයක ඉන්න කෙනෙක්.. පශ්චාත් උපාධි අධ්‍යාපනය සඳහා යොමු වන සංඛ්‍යාව බොහොම අඩු ප්‍රතිශතයක්. බොහොමයක් දෙනා (පසුගිය සංගණනයකදී 52% ක්) රාජ්‍ය අංශයේ රැකියා වලට යන්න කැමැත්තෙන් ඉන්නේ… ඇයි මේ… වැඩ අඩුවෙන් කරලා පඩි ගන්නද ? නැත්නම් රැකියා සුරක්‍ෂිත භාවය නිසාද ? මොනවා කළත් රැකියාව නැති වෙන්නේ නැති බව දන්න නිසාද ? මෑතකදී සරසවි ශිෂ්‍යයන් පිරිසක් සම්මුඛ පරීක්‍ෂණයකට භාජනය කළ මගේ මිතුරකු පැවසුවේ ඔවුන් ඉංග්‍රීසි, නායකත්‍ව ගුණාංග සහ පරිඝණක දැනුම අතින් බොහෝ සේ පසුපසින් සිටින බවයි. මේ නිසාම පෞද්ගලික අංශය ඔවුන් බඳවා ගන්නට අකමැතියි. ඵලදායීතාවය සහ කාර්යක්‍ෂමතාව මත පදනම් වූ ඔවුන්ගේ ව්‍යපාර පාඩු ලබන්න සේවකයන් බඳවා ගන්නේ නැහැ. එසේම කණ්ඩායමක් සේ හැසිරීම, නායකත්‍වය දැරීමට ඇති නොහැකියාව වැනි කරුණු නිසා ඔවුන් නිතැතින්ම සම්මුඛ පරීක්‍ෂණවලින් අසමත් වෙනවා.

මේ නිසා සරසවි ශිෂ්‍යයා නායකයෙක් කිරීමට යොදන මේ ප්‍රයත්නය අපතේ හැරීම සමහරවිට පාඩුවක් වෙන්නට පුළුවනි. මෙහි යටි අරුත (ජවිපෙට පේන විදියට) කුමක්දැයි මට නොතේරුණත්, නායක්‍වය පුහුණුවක් ලැබීම යනු බොහෝ දේ දෙස වෙනත් ඇසකින් බැලීමට පුහුණු කිරීමයි. සබකෝලය නැති කිරීම, තීරණ ගැනීමේ හැකියාව, කණ්ඩායමක් සේ ක්‍රියා කිරීමට ඉගැන්වීම, කණ්ඩායමක හැසිරීම ප්‍රගුණ කිරීම, නිර්මාණාත්මක ක්‍රියාකාරකම්, වැනි බොහෝ දේ මේ නායකත්‍ව පුහුණු කඳවුරු වල කියා දෙනවා. වරෙක සී.අයි. සී සමාගමේ කණිෂ්ඨ විධායක නිලධාරියෙකු ලෙස මා සේවය කරත්දී ගිහාන් තලගොඩපිටිය නම් කලමණාකාරීත්‍ව පුහුණුකරුවා විසින් කරනලද වැඩමුළුවකට සහභාගී වීමේ අවස්ථාව මට ලැබුණා.. ඒ වැඩමුළුව අවසානයේ ඔහු මට පැවසුවේ එතැන මගේ අවසාන නැවතුම්පල නොවන බවත් වහාම ඉදිරිය ගැන සිතන ලෙසත්, ඒ වන විටත් මා යුනිලීවර් ආයතනයට ඉල්ලුම් කර තිබුණා. අයදුම් කරුවන් 500 ක් පමණ දෙනා අතරින් මමත් මගේ තවත් මිතුරෙකුත් ඒ රැකියාව සඳහා තේරුණා. එතැනත් මගේ අවසාන නැවතුම්පල නොවන බව තේරුම් ගත් මා උසස් අධ්‍යාපනය සඳහා අයැදුම් කලා.. බොහෝ දෙනෙකු පුදුම වුනා මා යුනිලීවර් ආයතනය වැනි ආයතනයක රැකියාවට ආයුබෝවන් කීම පිළිබඳව… අද මා මෙතැන සිටින්නේ අනෙක් අය සිතනවාට වඩා වෙනස් ලෙස සිතන්නට මා මුල සිටම පුරුදු වී සිටීම නිසා…

ශිෂ්‍ය අරගල තිබිය යුතුයි… තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කළ යුතුයි. නමුත් දේශපාලන පක්‍ෂ වල බලල් අත් වී කරන උද්ඝෝෂණ අරගල වලට අනාගතයක් නැහැ… ඔබ සරසවියට පැමිණෙන්නේ දිවයිනේ ලක්‍ෂයක් පමණ දෙනා පරදවා. ඔබ ඔබේ අවස්ථාව පැහැර හැරීම යනු, සරසවියට පැමිණ හොඳින් ඉගෙනගෙන යහපත් ජීවිතයක් ගතකිරීමට බලා සිටින ඔබ වැනි තවත් කෙනෙක්ගේ ජීවිතයක් කාලකන්නි කිරීමක් විය හැකියි. ඔබ කෙරෙහි ඔබේ දෙමාපියෝ, නෑදෑයෝ ඇතුළු බොහෝ දෙනා බලාපොරොත්තු තබාගෙනයි ඔබ මෙතැනට එවන්නේ. ඒ ඔවුන්ගේ බලාපොරොත්තු බිඳ දැමීම පාපයක්. ඔබ වෙනුවෙන් රටේ මිනිසුන් ගෙවන බදු මුදලට වටිනාකමක් දෙන්න… ඔබේ අධ්‍යාපනය නොමිලේ ලැබුණත්, ඒ සඳහා වියදම් දරන්නේ වක්‍රාකාරව ඔබේ දෙමාපියන් විසින් රජයට, භාණ්ඩවලට ගෙවන බද්දෙන්. එනම් ඔබේම මුදලින්… ඔබට එය තමන් අතින් ගෙවාගෙන ඉගෙන ගන්නට වුනා නම්, ඔබට ඇතිවන බර කොපමණද යන්න සිතා බලන්න… සමහරවිට ඔබ සරසවියට යෑම පසෙක තබා රැකියාවක් කරාවි.. ඉගෙන ගන්න මුදල් නැති නිසා.

ඔබේ අනාගතය සරි කරගත යුත්තේ ඔබ මිස වෙන කිසිවකු නොවෙයි. ඔබ අමාරුවේ වැටුන විට හෝ රැකියාවක් නොමැතිව රස්තියාදු ගහන විට ඔබව උසි ගැන්වූ දේශපාලන පක්‍ෂ ඔබේ ගැලවීමට එන්නේ නැහැ. මේ ලැබුණ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න. ඔබට මේ ලැබී ඇති අවස්ථාව නොලැබුණ දස දහසක් දෙනා සුසුම් ලමින් ගෙදර ඇති… තමන් පොතපතේ දේ පමණක් නොව, වෙනත් දක්‍ෂතා ද ප්‍රගුණ කරගන්න.. පරිඝණක දැනුම, ඉංග්‍රීසී, නායකත්‍ව ලක්‍ෂණ ආදිය ප්‍රගුණ කරගන්න. කොටින්ම කියනවා නම් සරසවි ජීවිතය අවසානයේ ඔබව හොඳට මාකට් කරගතහැකි ආකාරයට ඔබේ දක්‍ෂතා මුවහත් කරගන්න. රැකියාව ගෙදර දොර ළඟට ඒවි…

මේ ලැබුණ අවස්ථාව පැහැර හරින්න එපා… ජීවිතයට මේ වැනි අවස්ථා ගොඩක් ලැබෙන්නේ නැහැ.. ඔබ මේ ලබන්නේ ලෝකයේ බොහෝ සිසුන් නොලබන අවස්ථාවක්, නොමිලේ සරසවි අධ්‍යාපනය ලෝකයේ බොහෝ රටවල ශිෂ්‍යයන්ට නොලැබෙන දෙයක්… ඉන් ප්‍රයෝජන ගන්න…

ඔබට ජය….. !

%d bloggers like this: