Daily Archives: මැයි 17, 2011

2011 මැයි 17 : උඹලගේ නායකත්‍ව පුහුණුව අපට එපා….. අපි ගොබ්බයො වෙලා ඉන්න කැමතියි…..


එක දිගට දවස් දෙකක් එකම දේ ගැන නොලියන්න තීරණය කර තිබුණත්, ලැබූ ප්‍රතිචාර වල පරාසය දිහා බැලුවාම ආයෙමත් ඒ ගැනම ලියන්න හිතුනා. මේ තමයි මම ඊයේ ලියපු ළඟදි සරසවි යන ආදරණීය නංගිලා මල්ලිලා වෙතටයි යන සටහනේ පසු වදන. මෙයට සමගාමීව  පිටුව සොයාගන්නට නැත කියන බ්ලොග් එකේ සහ බුවාගේ සිතුවිලි අඩවියේ ද සඳහන් වී තිබීම තවත් දවසකට මෙය කතා කරන්නට තරම් සිත් දෙන්නක් වුනා.

ඒ බ්ලොග් අඩවි දෙකෙන්ම පෙන්නලා දීලා තිබුණේ මෙහි ඇති නොහොඳ පිළිබඳව. බුවාගේ අඩවියෙ නම් දේශපාලක තුමන්ලා  විසින් මේ පුහුණුව ලබා ගත යුතු අන්දම මනාව පැහැදිලි කර තිබුණා. අනෙක් අඩවියේ ඒ පුහුණුව හා බැඳුනු තවත්සමහර දේ පිළිබඳ සඳහන් කර තිබුණා. ලංකාවේ බොහෝ දේ කරනවා කිය කියා නොකරන නිසා මෙයත් නොකරාවි යැයි හිතා තිබුණත් මෙය ක්‍රියාවට නඟපු එක ගැනත් ඔවුන් මැසිවිළි නඟනු පෙනුනා… හමුදා කඳවුරු වල මේ පුහුණුව දෙන්න තීරණය කළේ ඇයිද යන්න සමහරවිට බොහෝ දෙනෙකුට ගැටළුවක් වෙන්න ඇති… මෙය ඉඩ ප්‍රස්තාව සලකා බලා හමුදා කඳවුරක පවත්වන්නට තීරණය කළාද, නැත්නම් සිසුන් පාලනය කිරීමේ පහසුව තකා කළාද යන්න මමත් හරියටම දන්නේ නැහැ. නමුත් තමන්ගේ ගම් ප්‍රදේශයෙන් පිටත වෙනත් ස්ථානවල මේ පුහුණුව කරද්දි බොහෝ දෙනෙකු ස්වාධිනව ක්‍රියා කිරීමට පුහුණු කිරීමක් මෙතුලින් දැකිය හැකියි. එසේම එකම ප්‍රදේශයේ සිසුන් බොහෝ දෙනා දැන හඳුනන නිසා ඔවුන් වෙන් කර පුහුණුව සැපයීමෙන් විවිධ සිසුන් හඳුනාගැනීමේ අවස්ථාවද ඔවුනට ලැබෙනවා. කළමණාකාරීත්‍ව පුහුණු සැසි වලදී පවා පුහුණුව ලබන අය දන්නා හඳුනන අය සමඟ කල්ලි ගැසීමට ඉඩ දෙන්නේ නැහැ, ඒ ඔවුන් මානව සබඳතා හමුවේ හඳුනන අය සමඟ පහසුවෙන් කුළුපග වන නිසා අළුත් සබඳතා ඇති කරගැනීමට දක්වන කුලෑටිකම මඟහරවන්න… මෙයත් ඒ වැනි ප්‍රයත්නයක් විය හැකියි.

සරසවි සිසුන් පමණක් නොවෙයි පාරෙ යන දහ දෙනෙකු දිහා බැලුවම ඔබටම පෙනේවි කී දෙනෙක් විනයක් ඇතුව ක්‍රියා කරනවද කියලා. පාර පනින්න, ආචාරශීලී වන ආකාරය ආදී නොයෙක් දේ අතින් අප සිටින්නේ බොහෝ පසුපසින්. සෑම දෙනාටම එකම ආකාරයේ ඇඳුම් පැළඳුම් රැගෙන එන්නට නියම කිරීමෙන් හඟවන්නේ එතැන කිසිදු භේදයක් හෝ සුව්ශේෂිතාවයක් නොමැති බවයි. පාසැලේ නිල ඇඳුම් එකම ආකාරයට පවත්වාගෙන යන්නේ පාසැල තුළ සෑම ළමයෙකුම එක හා සමාන බව හැඟවීමටයි. අවුරුදු 13 ක් නිල ඇඳුම් හැඳ පාසල් යන ළමයාට මේ නායකත්‍ව පුහුණුව සඳහා සපයන ලද ලැයිස්තුවට අවශ්‍ය බඩු සොයාගැනීමට නොහැකි වීම යනු තවත් එක් නිදහසට කාරණයක් විය හැකියි… ඇත්ත  වශයෙන්ම දුප්පත් ළමයෙක්ට වුනත් ඒ ලැයිස්තුවෙන් වැඩි ප්‍රමාණයක් සොයා ගැනීම අපහසු වන්නේ නැහැ. නමුත් මේ ලිපි ලැබීමේ ප්‍රමාදයට නම් අදාල අංශ වගකිව යුතුයි.

මේ නායකත්‍ව පුහුණු වැඩමුළු වලදී, ශාරීරික යෝග්‍යතාවය, ව්‍යායාම, කණ්ඩායම් ක්‍රියා ආදී බොහෝ දේ කරනු ලබනවා. මෙහිදී ඇත්තෙන්ම සැබෑ නායකයින් එලියට එන අවස්ථා එමටයි. සිරස සුපර් ස්ටාර් එකේ අනෝජා වීරසිංහ කරන්නෙත් මේ හමුදා කඳවුරු වල කරන්න යන දේට සමාන දෙයක්… දරුවන්ගේ සැඟවුන දක්‍ෂතා, නායකත්‍ව ගුණාංග එළියට ඇදලා ගන්න එකයි. එකම වෙනස පවත්වන ස්ථානයයි. ලංකාවෙ කිසිම දෙයක් නොමිලෙ දෙනකොට කිසිම අගයක් නෑ.. මෙයත් ඒ වගේ… නායකත්‍ව පුහුණුවක් නොමිලේ දෙනවා සරසවි යන්නට පෙර එන්න යැයි කිවුවොත් කී දෙනෙක් එතැනට ඒවිද ? මෙය අනිවාර්ය කර ඇත්තේ සියළු දෙනාට මේ පුහුණාව ලබා දීමේ චේතනාවෙන් වන්ට පුළුවනි. හොඳින් කිවුවට කරන්නේ නැති දේවල් බොහොමයක් තරමක් දැඩි ස්වරයෙන් පැවසූවිට කරවාගත හැකි ලංකාව වැනි රටක මේ පුහුණුව අනිවාර්ය කිරීමෙන් ඒ සඳහා සියළු දෙනා ගෙන්වා ගැනීමේ වෑයමක් ඇති. දින ගණනක් වෙන් කර ඇත්තේ ඒ නිසා නේ…..

මේ නායකත්‍ව පුහුණුව මගින් පහර වදින එකම කණ්ඩායම ලෙස මා දකින්නේ ජනතා විමුත්ති පෙරමුණ හා ඊට සම්බන්ධ සංවිධානයි. සරසවි වල නවක වදය දීමට මූලික වන මේ කණ්ඩායමට මේ නායකත්‍ව පුහුණුව නිසා වදින්නේ මරු පහරක්. මේ නිසා ඔවුන් මෙය කඩා කප්පල් කිරීමට සෑම ප්‍රයත්නයක්ම දරනවා. ළමුන් නිසි නායකත්‍වයක්, දැක්මක් ලැබූ කල, ඔවුන් නොමඟ යැවීමට නොහැකි බව දන්නා නිසා ඔවුන් මෙයට විරුද්ධ වෙනවා යැයි මගේ හැඟීමයි. කෙසේ වෙතත් මේ නායකත්‍ව පුහුණුව වැනි දේ බොහෝ පෞද්ගලික ආයතනවල මුදල් වියදම් කර සේවකයන්ට ලබා දෙන්නේ එයින් ඔවුන් ඵලදායී, කාර්යක්‍ෂම පිරිසක් බවට පත් කරන නිසායි. උදේ නැගිටීම සියළුම දෙනා හැමදාම කළත්, කණ්ඩායමක් ලෙස එකට වැඩ කිරීම, සාමූහිකත්‍වය, විවිධ අදහස් දරන්නන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම වැනි බොහෝ හොඳ ගුණාංග මෙතැන ඔබට ඉගෙන ගන්නට ලැබේවි…

තවත් බොහෝ දේ කියන්න තියෙනවා….

මුහුද හත් ගවුවක් තබා අමුඩ ගහන්නේ නැතිව, මේ නායකත්‍ව පුහුණුවට ගිහින් ඇවිත්, අපි ඒ ගැන කතා කරමු…

%d bloggers like this: