Daily Archives: මැයි 23, 2011

2011 මැයි 23 : වෙනසක් කරන්න සමූහයක් ඕනත් නෑ….. අඬබෙර ගහන්න ඕනත් නෑ… ඔබ වෙනස් වෙන්න… එතකොට ලෝකය ඔබත් එක්ක වෙනස් වේවි……


අද උදේ ඉඳලා පුටුව රත් කරලාම පස්ස රිදෙනවා… ඒ කියන්නේ වැඩ නැතුව නිකම් හිටියා කියන එක නෙවෙයි. නිකමටවත් නැගිටින්න බැරි තරමට වැඩක් සෙට් වෙලා… වෙනදා එහේ මෙහේ දුව පැන ඇවිදිමින් කරන වැඩ වෙනුවට වෙනස් දෙයක් කරන්න වෙලා… එකක් තමයි 26 වෙනිදා අපේ විශ්ව විද්‍යාලයේ පැවැත්වෙන නොබෙල් ත්‍යාගලාභී රිච්ර්ඩ් හෙක් සහ ඉයිචි නෙගිශි යන විද්‍යාඥයින් ‍දෙදෙනා වෙනුවෙන් පැවැත්වෙන සමුළුව වෙනුවෙන් නිර්මාණය කරන පර්යේෂණ අඩංගු පෝස්ටර් වලින් අපේ රසායනාගාරයෙන් ඉදිරිපත් කෙරෙන පෝස්ටර් දෙකෙන් එකක් මට හදන්න වෙලා තිබීම… මේ නිසා දවසේම පුටුව උඩ…. හොඳ වෙලාවට ඔක්කෝම මෘදුකාංග මගේ පරිඝණකයේ අටවගෙන තියෙන නිසා එහේ මෙහේ දුවන්න ඕන වුනේ නැහැ. ඇඩෝබි ඉලස්ට්‍රේටර් භාවිතයෙන් තමයි පෝස්ටරේ හදන්නේ. ඒකෙ හොඳකම බොහෝ දේවල් සරළව කරගන්න සහ ඉහළ විභේදනයක්  (High resolution) සහිතව කරගන්නට පුළුවන් වීම. උදේ ඉඳන් පෝස්ටරේ හදලා ඉවර වෙනකොට හවස හයයි. ඒකෙ හරි වැරදි බලන්න ලොක්කට ඒක යවලා ඉවර වෙලා වැදගත් පරීක්‍ෂණයක් ආරම්භ කළා.

අර අපේ සංයෝගයක් කාබන් ඩයොක්සයිඩ් සමඟ බන්ධනය වෙනවා කියලා හොයාගත්තා කිව්වේ… අන්න ඒ පරීක්‍ෂණය තරමක් මහා පරිමාණව කරන්න ලක ලෑස්ති කළා. මුලින්ම ඒ සංයෝගය  ඇසිටොනයිට්‍රයිල් කියන ද්‍රාවණයේ දිය කරලා, එය වාතය හෝ ජලවාෂ්ප නොයන සේ පලාස්කුවකට දැම්මා. කාබන් ඩයොක්සයිඩ් ටැංකියට සවි කළ බටයක් අරන් ඒ පලාස්කුවේ එක මුවකට සවි කරලා අනෙක් පැත්තෙන් බුබුලනය වන සිලිකන් තෙල් අඩංගු බටයකින් පිටවන්නට සැලැස්වූවා. එමගින් කාබන් ඩයොක්සයිඩ් බුබුලනය නිරීක්‍ෂණය කරන්න පුළුවන්. මෙය අද රෑ එළිවෙනකල් සිදු වනවා..  ඒ පරීක්‍ෂණය පිළියෙල කරන අතරතුරේ ඇල්කෙමිච්චියි පැටියයි රසායනාගාරයට ආවා, මාව ගෙදර එක්කරගෙන යන්න රෑ කෑමට. පවුල පිටින් රෑ කෑම එකට අරගෙන ආයෙම රසායනාගාරයට ආවේ ඉතිරි වැඩ ටික කරන්නයි… ලබන සතියේ අපි ලොකු රවුමක් යන නිසා රසායනාගාරයේ වැඩ කෙරෙන්නේ නැහැ. මේ නිසා මේ සතියේ වැඩ ටිකක් වැඩියෙන් කරන්න ඕන… ඒ වැඩ ටික අවසන් වෙලා තමයි මේ දිනපොත කුරුටු ගාන්නේ.

ආපසු රසායනාගාරයට එනවිට දුටුව දෙයක් තමයි අපේ විශ්ව විද්‍යාලයෙන් පළ කළ පොත් පිංචක්. ඒකෙන් කියවුනේ අපි අපේම සංස්කෘතියක් බිහිකරමු කියන තේමාව සහිත විස්තර පත්‍රිකාවක්. අද අර බොහෝ දෙනෙක් මැරෙන්න හදපු නායකත්‍ව පුහුණුව පටන් අරගෙන දැන් ඒකට ගියපු තරුණ තරුණියොන්ට හමුදා කඳවුරුවල දාගෙන දස වද දෙන්න පටන් ගනිපු නිසාම මේ ගැන පොඩි විස්තරයක් කරන්න හිතුවා.

විශ්ව විද්‍යාල කියන්නේ අමුතුම උප සංස්කෘතියක් ඇති තැනක්. එතැන දැනුමට තෝතැන්නක්. දැනුම ගන්න අවශ්‍ය, ඉදිරියට යන්න අවශ්‍ය කෙනා ඉන් උපරිම ප්‍රයෝජන අරගෙන ඉදිරියටම යනවා වගේම උන්ගේ ගමන නවත්වන්නත් කාටවත් බෑ.. එතැන සංවාද මණ්ඩපයක්. වැඩිම බුද්ධි ඝණත්‍වයක් ඇති ස්ථානයක්. ලෝකයට අළුත් ප්‍රවණතා හඳුන්වා දෙන උල්පතක්. මේ නිසාම විශ්ව විද්‍යාලවල අන් තැන් වලට වඩා නොලැබෙන විශේෂත්‍වයක් තියෙනවා. අළුත් සංස්කෘතීන් බිහි වන්නේ මේ වගේ ස්ථාන වලින්. අප හැමෝම දන්නා Facebook පටන් ගත්තේ Harvard විශ්ව විද්‍යාලයෙන්. ලෝකයට අළුත් පර්යේෂණ, අළුත් නිර්මාණ ලබා දෙන්නේ විශ්ව විද්‍යාල වලින්. මෙන්න මේ නිසයි විශ්ව විද්‍යාල ශිෂ්‍යයාගේ මනස නිතරම අළුත්ව තබා ගැනීමේ වැදගත්කම අවධාරණය කරන්නේ. ලංකාවේ විශ්ව විද්‍යාල තවමත් මේ අතින් සිටින්නේ බොහෝ පසුපසින්. මේ බොහොමයක් කෑ ගහන සිසු නායකයින් කෑ ගහන්නේ විදේශීය විශ්ව විද්‍යාලවල කටයුතු පිළිබඳ කිසිවක් නොදැන වෙන්නට ඇති. මේ තැන් වල සිසුන්ට නිකං ඉන්නට වෙලාවක් නැහැ. එසේම බොහෝ දෙනෙක් විශ්ව විද්‍යාලවලට මුදල් ගෙවන්න සල්ලි හොයා ගන්නේ අමතර රැකියා කරලා. ආපනශාලා වල වේටර් කමක්, කඩයක කැෂියර් කමක්, හෝ පිට්සා බෙදීම වැනි රැකියාවක් වුනත් ඔවුනට මදිකමක් නෙවෙයි. මගේ රසායනාගාරයේ ඉන්නා එක සිසුවෙක් තමන්ගේ මූලික උපාධිය ලබා ගත්තේ නොට්‍රිඩෑම් විශ්ව විද්‍යාලය කියන පෞද්ගලික විශ්ව විද්‍යාලයේ. එහි පාසැල් ගාස්තු පමණක් වසරකට ඩොලර් 40,000 ක්. අමතර වියදම් සමඟ සියල්ල වසරකට අවම වශයෙන් ඩොලර් 60,000 පනිනවා. ඔහුගේ දෙමාපියෝ වෛද්‍යවරුන්. මව හෘද රෝග විශේෂඥවරියක්, පියා සාමාන්‍ය වෛද්‍යවරයෙක්. ඒ වුනත් මේකා අවුරුද්දක්ම රැකියාව වශයෙන් කරලා තියෙන්නේ නගරයේ කුණු එකතු කිරීමේ මධ්‍යස්ථානයේ සුපවයිසර් කෙනෙක් වශයෙන්. වෙනත් රැකියා සොයාගන්නට පුළුවන් වුනත් ඉගෙන ගැනීමේ පහසුව නිසා ඒ රැකියාව තෝරාගෙන තිබෙනවා. අපි නම් විහිළුවට කියන්නේ Sanitation Engineer කියලා. නමුත් මෙහේ ඇත්ත තත්ත්‍වය ඒකයි. දෙමාපියන් වෛද්‍යවරුන් සහ පොහොසත් නිසා ඔහුටත් තිබුණා නිකම් ඉඳලා හෝ වෙනත් සුළු රැකියාවක් කරලා ඉගෙනගන්න. නමුත් ලැජ්ජාවක් හෝ පිළිකුළක් නොමැතිව ඔහු ඒ රැකියාවේ නිරතවෙලා තියෙන්නේ ඉගෙන ගන්න පහසුව නිසා.

වෙනස් නොවීමට නිදහසට කාරණා 50 ක්

අදින් ඇරඹෙන නායකත්‍ව පුහුණුව වර්ජනය කරන්න එක එක්කෙනා එක එක දේවල් කියනවා. සමහරු පේන බලනවා හමුදා කඳවුරු වල ලිංගික අඩන්තේට්ටම් විය හැකි බවට. සමහරු කියනවා එතැන අමානුෂික විදියට නවක වදය දෙනවා කියලා. හැබැයි කවුරුත් මොනවා වෙයිද දන්නේ නෑ…. ඇත්තෙන්ම බලන්න ඕන මේ සති තුන ගිහින් ඉවර වුනාට පස්සේ විශ්ව විද්‍යලයට යන්න ඉන්න සිසුන් කී දෙනෙක් පණ පිටින් ඔතනින් එළියට එනවා ද කියලා… අපට කිසි දේක අනාගතය දකින්නට 100% ක් බැහැ. නිතරම අපි අවදානමක් ගන්නට ඕන. අවදානමක් ගන්නට බැරි කෙනාට ඉදිරියට යන්නත් බැහැ. අවදානමක් රැගෙන අත්හදා බලන කෙනා නිතරම ඉදිරියට යන්නේ ඒ අවදානම නියමිත පරිදි ගණනය කර (Calculated risk) කරන දෙයක් අත්හදා බලන නිසා. අපට රටක් හදන්නට  මාධ්‍යවලින්  පුරසාරම් දොඩමින් හෝ ලෝකයට අඬබෙර ගසමින් කරන්නට බැරිවා සේම බොහෝ දෙනෙක් මේ කිසිදු ප්‍රචාරයක් නොමැතිව තමනට හැකි ප්‍රමාණවලින්  රටේ ඉදිරි ගමනට දායක වෙනවා.

මෙය මහා ලොකු කාර්යයක් නෙවෙයි. ඇටමැස්සා එයාගේ බ්ලොගයේ කියලා තිබුණේ හෝඩියේ ළමුන්ටත් මේ හමුදා පුහුණුව දෙන්න කියලා. හමුදා පුහුණුව කෙසේ වෙතත් විනයක් ඇතුව හැදෙන්න කියලා දෙන එක නම් හෝඩියේ පන්තියේ ඉඳලාම කියලා දෙන එක වැදගත්. ලංකාවෙන් සිංගප්පූරුවට යන එකා පාරෙ කෙළ ගහන්නේ නැතුව කුණු දාන්නේ නැතිව සිංගප්පූරු ගිහින් ඇවිත් කටුනායකින් බැහැපු ගමන් අතේ තියෙන කොළ ටික පාරෙ දාලා යන්නේ අන්න ඒ කියපු විනය අපට නැති නිසා සහ දඬුවමට ඇති බය නිසා. පොඩි එකාව කාර් එකේ දාගෙන වැඩට යන අම්මා තාත්තා පාරේ කවුරුවත් නැති තැනක් බලලා රෑට ගෙදර එකතුවුන කුණු ටික පාරෙ අයිනෙ දාලා යනකොට ඒ පොඩි එකාට දෙන ආදර්ශය වන්නේ පාරේ කුණු දැම්මට කමක් නෑ කියන එකයි.. ඌ ලොකු වුනාම කරන්නෙත් ඒකම තමයි. ඒකයි පොඩි එවුන්ට හරි දේ කියලා දීලා විනයක් ඇතිව හදන්න ඕන.. එන්න ඒ විනය ප්‍රමාද වී හෝ ඇති කිරීමට කවුරු හෝ ක්‍රියා කරනවා නම් එය කෙසේ වන්නේද කියලා පැත්තක සිට බලාගෙන ඉඳලා එය නියමිත පරිදි නොවෙනවා නම් විවේචනය කළාට කමක් නැහැ.

අපට යමක් වෙනස් කරන්න බොහෝ දෙනෙක් අවශ්‍ය නැහැ. කාර්යාලයක වුනත් එක්කෙනෙක් යමක් හරියට කරනවා දුටුවොක් අනෙක් අයත් එය අනුගමනය කරාවි. හොඳම උදාහරණය නම් අපේ නිවාස සංකීර්ණයේ පසුගිය වසර තුළ සිදු වී වෙනසයි. එනම් නිවාස සංකීර්ණයේ වාහන නැවැත්වීමේදී වාහනය පසුපසට ගන්න තරම් ඉඩක් නැති නිසාත්, උදෑසන සේවයට යාමේදී කෙළින්ම වැහනය ඉදිරියට පදවාගෙන යාමෙන් තරමක් හෝ වෙලාව සහ ඉන්ධන ඉතිරිකරගැනීමට හැකි නිසාත් මා හැමදාම වාහනය නැවැත්වීමේදී වාහනයේ ඉදිරිපස පාර පැත්තට වන්නට නැවැත්වූවා. මසක් පමණ යත්දී ඒ පේළියේ නවතා තිබූ වාහන දෙක තුනක් එසේ නවත්වන්නට පුරුදු වුනා. මාස හයක් පමණ යද්දී ඒ පේළියේ වාහන බොහොමයක් ඒ අයුරින් නැවැත්වූවා පමණක් නොවෙයි, වාහන පිටුපසට ගැනීමේදී සිදුවන අනතුරුද වැලකුණා. මේ මම හෝ වෙනත් කෙනෙක් අඬබෙර ගසමින් හෝ ප්‍රසිද්ධියක් ලබා දී කල දෙයක් නොවෙයි. අනෙක් අය මෙහි ඇති වාසිය, හොඳකම දැක එය අනුගමනය කිරීමට පටන් ගැනීමයි. බොහෝ පෞද්ගලික ආයතනවල සහ රෝහල්වල වාහන නවතා තබන්නේ මේ අන්දමින්, හදිසි ගින්නක් හෝ අනතුරක් වූ විට වාහනය පණගන්වාගෙන ඉන් ඉවතට යාමට ඇති පහසුව නිසා බොහෝ කර්මාන්තශාලාවල පවා මේ අයුරිනුයි වාහන නවතා තබන්නේ. එසේම වාහනය පසුසට ගෙන ඉදිරියට යාමේදී ඉන්ධන දහනයත් වැඩි වෙනවා කියා කොහේදෝ තිබුණා මතකයි…

ඉතින්,…. ලෝකය වෙනස් කරන්න හෝ උප සංස්කෘතියක් ඇති කරන්න දාහක් දෙනා අවශ්‍ය නැහැ.. එසේම ඔබ හොඳ දෙයක් කරනවා නම් අනිත් අයත් අනුගමනය කරාවි… මුලින් විවේචන එල්ල වුනත් ඔබේ චේතනාව හොඳ නම් පසුව පැසසුම් ගලා ඒවි.. නමුත් පැසසුම් බලාගෙන වෙනස් වෙන්න එපා.. හිතට දැනෙනවා නම් වෙනස් වෙන්න ඕන කියලා ඔබ වෙනස් වෙන්න හිතාගන්න…

ලෝකය එවිට ඔබත් එක්ක වෙනස් වේවි…. එවිට ලෝකය ලස්සන වේවි… ඒ බව පොඩි එවුන්ටත් කියලා දෙන්න.. එවිට උන්ට හමුදා පුහුණුව ඕන වෙන එකක් නෑ..

%d bloggers like this: