Monthly Archives: ජූනි 2011

2011 ජුනි 30: මාස හයකුත් ඉවරයි….


අදට මගේ දිනපොතට මාස හයක් ඉවරයි. ඒක සමරන්න ඔන්න අළුතෙන් ඇඳුමක් ඇන්දෙවුවා… හැමදාම එකම විදියට ඉන්න බෑ නෙවැ… කවුරු හරි බැල්මක් දැම්මොත්… දිනපොත කියලා හිතක් පපුවක් නැති දෙයක් යෑ… ලස්සනද කියලා බලන්නකෝ…. මම ඉතිං වැඩිපුර විච්චූරණ කරන්න කැමැත්තකුත් නෑ වෙලවෙකුත් නෑ… තියෙන වෙලාවෙ හැටියට තමය් මේ කොරේ…

අදත් ලොක්කා කොහේද අන්තරස්දාන වෙලා.. මගෙ මොකෝ.. මට පුරුදු විදියට වැඩ ටික කළා… අපේ පොඩි එවුන්ටත් දැන් ලොක්කා හිටියත් එකයි නැතත් එකයි. උන් උන්ගේ පාඩුවේ වැඩ.. ලොක්කා නැති දවසට නිදහසේ වැඩ කරනවා.. ඉන්න දවසට මළ ඇණේ… කරන වැඩක් වත් හරියට කරන්න හිතෙන්නෙ නෑ.. මොකක් හරි දෙයක් පටලවලා කරන දේ යනවා. අන්තිමට කර කර හිටි එකත් හබක්.

අද අර කොරනවයි කියපු ආරක්‍ෂක විධි විධාන පිළිබඳ විපරම කරන්න කට්ටිය ආවෙත් නෑ.. ආවත් ඉතිං වැඩි වෙනසක් නෑ.. බලලා රවුමක් දාලා යයි… ඊට පස්සෙයි රිපෝට් එක එන්නේ… හවස තිබුණා පැටියගේ බේස් බෝල් තරඟයක්. තවම පොඩි පැටවු නිසා වැඩි තේරුමක් නෑ… ඔහේ කියන දේ කරනවා.

ඊට පස්සේ ගෙදර ඇවිත් කාලා බීලා තමයි මේ කුරුටු ගාන්න පටන් ගත්තේ. හෙට තියෙන Group meeting එකේ වැඩත් තව ඉවර නෑ.. ඒවා කරන්නත් තියෙනවා.

බ්ලොගයට මාස හයක් ගිහින් දන්නෙම නැතිව. අනේ මගේ දිනපොත හොරෙන් හෝ එළිපිට බලලා ඔබ යමක් ඉගෙන ගත්තා නම් ඒ මගේ සතුටයි. ඉඳ හිට කොමෙන්ටුවක් දැම්මොත් ඊටත් සතුටුයි. හිට් ගාන ගැන නම් මගේ වැඩිපුර එළවීමක් නෑ.. පුළු පුළුවන් වෙලාවට ලියලා දානවා…

හෙට තියෙන ප්‍රසන්ටේශන් එකට ලෑස්ති වෙන්න ඕන…. හෙට වෙලාවක් තිබුණොත් හමු වෙමු…

වෙලාවක් තියෙනවා නම් මෙන්න මේ සබැඳුම් බලන්න අමතක කරන්න එපා.. ආසනික් ගැන තියෙන්නේ.

1. ඇමරිකාවේ ආසනික් ප්‍රශ්නයේ එක පැත්තක්.

2. ත්‍රිමාණ සංවාදය – නාරද සමග

2011 ජුනි 29 : ඇල්කෙමියා ඡන්දෙන් තේරී පත් වූ වගයි…


අදත් හරිම වැඩ අධික දවසක්.  උදේ වරුවෙම ගත කළේ හෙටට අවශ්‍ය පරීක්‍ෂණයක් සඳහා අවශ්‍ය සංයෝග කිහිපයක් හදාගන්න… සවස් වරුව නම් ගෙවිලා ගියේ රසායනාගාරය පොඩ්ඩක් පවිත්‍ර කරන්න. හෙට උදේ සේවක ආරක්‍ෂා සහ සෞඛ්‍ය අංශයෙන් රසායනාගාරයේ ආරක්‍ෂක විධි විධාන පිළිබඳ පරීක්‍ෂා කරන්න එන නිසා සියළුම රසායන ද්‍රව්‍ය පිළිවෙලකට තියලා ඒවගේ ලිපි ලේඛණ ආදිය සොයා බලලා ඒවා එකලාසයක් කළා.

ඊයෙ අපේ රසායනාගාරයේ ඉන්න චීන  කෙල්ල එක්කලා බැඩ්මින්ටන් ගහලා උරිස්ස රිදෙනවා. ආයෙ නම් සතියකට ජිම් යන්න ඕන වෙන්නේ නැති වෙන්න ඒක මාව මහන්සි කළා… මීට පෙර මට බැඩ්මින්ටන් ක්‍රීඩාවෙන් මේ තරම් අභියෝගයක් කළේ මොන්රෝවල හිටිය ශියු යෙන් විතරයි. ඒත් අවුරුදු 8 කට පෙර… දැන් නම් සෑහෙන පුහුණුවෙන්න ඕන කියලා තේරනෙවා. ඒත් මේ මගේ උරහිස්සේ තියෙන අමාරුවත් එක්කලා ටිකක් හෙමින් තමයි ගමන යන්න වෙන්නේ. මොකද ක්‍රිකට් සීසන් එකත් තවම ඉවර නෑ.. අත කඩා ගත්තොත් ක්‍රිකට් ගහලා ඉවරයි.

ඒ මදිවට සිකුරාදාට Group Meeting එකේ පර්යේෂණ පිළිබඳ ඉදිරිපත් කිරීම කරන්න වෙලා තියෙන්නෙත් මටමයි. ඒකේ Presentation එක හදන්නත් වෙලාව ගියා.

සවස පැටියගේ අළුත් ඉස්කෝලේ පළමු ගුරු-දෙගුරු සැසිවාරය. අළුත් ඉස්කෝලෙයක් නිසා හැම දේම අළුතෙන් පටන් ගන්නවා. දෙමාපිය ගුරු සංවිධානය (Parent-Teacher Organization) කියලා එකකුත් පටන් ගත්තා. ඒ කියන්නේ පාසලේ විවිධ දේවල් සංවිධානය කරන්න, ගුරු-දෙගුරුන් සම්බන්ධීකරණය කරන්න වගේ දේවලට. මේ නිලධාරී මණ්ඩලයට මාවත් තේරී පත් වුනේ උප-සභාපති වශයෙන්. තියෙන වැඩ රාජකාරි මදිවට තවත් වැඩක් සෙට් වුනා… තේරී පත් වෙලා ඉන්න කට්ටිය අතරේ එකම පිරිමියා මමයි.

ඉතින් මේ සිද්ධි දාමය අතරේ තමයි අද දවස ගෙවුනේ. මම මේ සංවිධානයට සම්බන්ධ වුනේ කරුණු දෙකක් නිසා. පළමුවැන්න තමයි පැටියගේ පාසලේ දේවලට සම්බන්ධ වීම මගින් පාසලේ උන්නතිය වෙනුවෙන් වැඩ කරන්නත්, ඒ ගැන අදහස් දැක්වීමෙන් සහ ක්‍රියාකාරීව සම්බන්ධ වීමෙන් පාසලේ වෙන දේවල් පිළිබඳ මනා දැනීමක් ලැබීම. අනෙක තමයි මගේ සම්බන්ධතා ජාලය තවදුරටත් පුළුල් කරගැනීමට පුළුවන් වීම.. ඒ අතරෙම මගේ ජීව දත්ත සටහනට තවත් සුදුසුකමක් එකතු වෙනවා…

ඇල්කෙමියා මීයක් කඩන්නේ කවදාවත් අත ලෙවකාලා නිකං ඉන්න නෙවෙයි.

2011 මැයි 28: විශ්‍රාමික ජෙනරාල් සරත් ෆොන්සේකා බන්ධනාගාර ගතවූ පසු සිදුකළ පළමු සම්මුඛ සාකච්ඡාව.


විශ්‍රාමික ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා බන්ධනාගාර වූ පසු මාධ්‍යවේදියෙක් යැයි කියාගන්නා කිසිදු නිලමැස්සෙකුට ඒ මහතා අසලට වත් යාමේ අවකාශයක් නැතිව තිබුණි. මේ නිසා ඒ මහතා සමඟ දීර්ඝ සම්මුඛ සාකච්ඡාවක් කිරීමට කිසි කෙනෙකුට හැකියාවක් නොතිබුණි. මේ නිසා අපි බන්ධනාගාරයේ අභ්‍යන්තරයේ අපගේ සම්බන්ධතාවයක් ඇති පැරණි මාධ්‍යවේදියෙක් වන කොච්චිකඩේ පච්චසිරා මහතා යොදාගෙන ජංගම දුරකථනයක් භාවිතා කරගෙන කරන ලද පළමු සම්මුඛ සාකච්ඡාව මෙසේ ඔබ වෙත ගෙන එන්නෙමු.

කොච්චිකඩේ පච්චසිරා මාධ්‍යවේදියා

මෙහි අදාල මාධ්‍යවේදියා වන කොච්චිකඩේ පච්චසිරා මහතා මරදානේ මරියකඩේ මධ්‍ය මහා විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය හදාරා අනියම් මිනීමැරුමකට වැරදිකරු වී ජීවිතාන්තය දක්වා බන්ධනාගාරගතව සිටින දැනට බන්ධනාගාර දායක සභාවේ සභාපතිව සිටින දැහැමි පුද්ගලයෙකි. ඒ මහතා කොච්චිකඩේ ප්‍රදේශයේ ප්‍රසිද්ධ කැලෑපත්තරයක ප්‍රධාන කතෘ තුමා වශයෙන් කටයුතු කර ඇති පුරුද්ද නිසා මේ සාකච්ඡාව කිරීම සඳහා අප ඒ මහතා යොදාගත්තා. මේ ඒ සම්මුඛ සාකච්ඡාවයි.

කො.ක.ප.සි. : ආයුබෝවන් කිවුවා ලොක්කා.

ජ.ස.පො. : ආයුබෝවන්.

කො.ක.ප.සි. : කොහොමද දැන් වැඩ කටයුතු ?

ජ.ස.පො. : වරදක් නෑ… හොඳින් ඉන්නවා.

කො.ක.ප.සි. :එළම තමයි… එහෙනම් දැන් ගේමට බහිමු… මෙහෙමයි බොස් වැඩේ. අපේ ඇල්කෙමි ලොක්කා තමයි මේ වැඩේට මාව සාටර් කරේ. හරියට වැඩේ ගියේ නැත්තං මගේ ගාන කැපෙන්නෙ නෑ… ඒ නිසා හරියට වැඩේ ගෙනියමු අරී….

කො.ක.ප.සි. :දැන් කියන්න බලන්න ලොක්කා… කෝමද ලොක්කා යාපනේ ගේම ප්ලෑන් කරේ ?

ජ.ස.පො. : සිරා මහත්තයා, මේක ඇත්තෙන්ම කාටවත් කිවුවෙ නැති කතාවක්,…. දවසක් මම දවසක් බ්ලූ ලේබල් අඩියක් දාගෙන මගේ පෞද්ගලික සහායිකාවො වන කෝප්‍රල් සුභාෂිණීයි, සාජන් අමරාවතියි එක්ක ඊලඟට ගහන්නේ කොතැනටද කියලා ප්ලෑන් කරකර ඉන්නකොට කාමරේ පැත්තක එකපාරටම ජායාවක් මතු වුනා…

කො.ක.ප.සි. : ජායාවක් කිවුවෙ ලොක්කා මේ ගෑණු පරාණයක් ද?

ජ.ස.පො. : නෑ නෑ… ඡායාවක්… මේ හෙවනැල්ලක්…

කො.ක.ප.සි. : ඉතින් ?

ජ.ස.පො. : ඉතින් කෝප්‍රල් සුභාෂිණීයි, සාජන් අමරාවතියි ඒ ගොල්ලන්ගේ ඇඳුම් හොයාගෙන පිස්තෝල ඇදලා ගන්නකොටම, මේ ඡායාව මගේ දිහාට ඇවිදගෙන ආවා… මම හිතුවේ මරාගෙන මැරෙන බෝම්බයක්ද කියලා…. දන්නේ නෑනේ කොටින්ගේ ටෙක්නොලොජි එක ! කව්ද දන්නේ ටෙලිපෝර්ටින් වත් හොයාගෙන තිබුණද කියලා……
ඉතින් මේ ඡායාව ඇවිත් මෙහෙම කිවුවා… “දරුව සරත, මම දුට්ඨ ගාමිණි වෙම්” කියලා….

කො.ක.ප.සි. : නෑහ් !

ජ.ස.පො. : නෑ නෙවෙයි ඕයි… ඔව්…

ඉතිං ඉතිං…..

විශ්‍රාමික ජනරාල් සරත් ෆොන්සේකා මහතා

ජ.ස.පො. : ඉතිං මමත් හීතල වෙලා ගියා.. හරියට නිකං බාබු බයිසිකලේ පැදන් එනවා දැකපු ප්‍රේමදාස වගේ….. ඉතිං මම ඉතිං මොනවා වුනත් හමුදාපති නේ…. ඉතිං ගට අරගෙන මම ඇහුවා ඇයි මේ මෙතැනට පහල වුනේ කියලා…

දු. ගා. දෙ. : “දරුව, මේ දමිල කරදරය තුන් දශකයක් පුරා ඇදී යාම මාහට මහත් දුකකි. එසේම මා ක්‍රෝධයටද පත් කරවයි. මේ යුද්ධය නිසා අප්‍රමාණ වූ මිනිස් ජීවිත ගණනාවක් නිරපරාදේ නැති විය…… මේ නිසා මා තට වරයක් දෙමි. එනම් තට මේ යුද්ධය නිම කිරීමේ වරයයි. ඒ නිසා පෙර කළ සිදු කළ උපාය මාර්ග වෙනස් කොට, සෑම දිශාවකින්ම පහර දිය හැකි පරිදි දශ මහා යෝධයින් වන් සේනාංකාධිපතිවරුන් පත්කර, චතුරාංගනී සේනාවන් යොදාගෙන සදිසාවෙන් පහර දී නන්දිකඩාල් නම් ජය භූමිය වෙත සියළු සතුරන් කොටු කරව. ඉන්පසු සියළු සතුරන් සමූලඝාතනය කිරීමෙන් මේ සතුරු කරදරය සදහටම නිමා කළ හැක.”

“තා මේ තනතුරට පත් කිරීමට ගෝඨාභයට සිහිනෙන් පැවසුවේ ද මාය…. මා තොප කෙරෙහි තැබූ විශ්වාසය කඩ නොකොට, සියල්ලම එක් පොරෝ පහරකින් නිමාවනු දැකීම මාගේ පරම අභිප්‍රායයි.”

ජ.ස.පො. : එහෙමයි දේවතාවුන් වහන්ස…. කියලා කට ගන්න ලැබුනෙ නෑ සිරෝ මෙන්න ආවා නේ නාථ දෙයියෝ…. ඊට පිටිපස්සේ හිටියේ අනාථ දෙයියෝ… වෙන කවුරුවත් නෙවෙයි…. රෝහණ විජේවීර….. නාථ දෙයියොන්ගෙ ස්ට්‍රැටජික් ඇඩිවයිසර්…..

කො.ක.ප.සි. : අනේ සර් පිස්සු කෙළින්නෙ නැතුව යන්න… සර්ට මොන දෙයියොද ?

ජ.ස.පො. : ඕකනෙ බං කියන්නෙ…. බොරුනං සුභාෂීණී ගෙනුයි අමරාවතීගෙනුයි අහපන්කෝ….. අනෝමා පල්ල මේ ඇත්ත කියන්නේ…..

කො.ක.ප.සි. : ඉතිං ඉතිං…

ජ.ස.පො. : ඒ පාර නාථ දෙයියො කියනවා….. අපේ විපක්‍ෂයට දැන් යන එන මං නැති වෙලා තියෙන්නේ….. යුද්ධෙ ඉවර වුනාම ඒකත් ගොඩ දාලා දෙන්න කියලා…. මේ නාථ දෙයියො උසිගන්වලා තියෙන්නේ රෝහණ විජේවීර කලවැද්දා…. ඌට මල පැනලා අර ටිල්වියයි ගොඩ සුද්දයි දෙන ගේම දැකලා…..

කො.ක.ප.සි. : ඉතිං ඒකද ලොක්කා මේ ඡන්දෙ ඉල්ලලා ඇණ ගත්තේ…..

ජ.ස.පො. : ඒකනෙ ඕයි… මේ ගුණමකු කළවැද්දො කියන දේ අහලා මං කරගත්ත මගුලක්…. ඒ කාලෙ දෙයියො වත් ආවෙ නෑනේ ලඟට… මගේ වටේ හිටිය මළ පෙරේතයෝ දැකලා….

කො.ක.ප.සි. : ඉතිං දැන් මොකද ලොක්කා කරන්න හිතන් ඉන්නේ ?

ජ.ස.පො. : දැන් ඉතිං ඉස්සර වගේ බාව වනා කරන්න බැරි නිසා දැන් යන තැනකට වැඩක් සිද්ධකරගන්න භාවනාවක් වත් කරන්නයි හිතාගෙන ඉන්නේ…. අපට ඉතිං නවුෆර්ට වගේ රෑට ගෙදර ගිහින් උදේට මෙහේ එන්න චාන්ස් එකක් නෑනේ…. කට්ට කාගෙන ඉන්න වෙනවා….

කො.ක.ප.සි. : සර් සර්…. බැස්ටිය බැහැගෙන එන්නේ…. පස්සේ ඉතුරු ටික රැකෝඩ් කරගන්නං….

ටික දවසකට පසු කොච්චිකඩේ පච්ච සිරා මාධ්‍යවේදියා විසින් අපට පටිගත කරනලද හඬ සහිත ජංගම දුරකථනය ලබාදෙන ලදී…. එහිදී ඇතිවූ සංවාදය ඔබ වෙත අකුරක් නෑර ලබා දෙන්නේ එම මාධ්‍ය වාර්තාවේ ඇති ගුණාත්මක භාවය සහ නිරවද්‍යභාවය එසේම රඳවාගනු පිණිසයි…..

ඉඩක් ලදොත් තවත් මෙවන් මාධ්‍ය වාර්තා ඔබ වෙත සපයන්නෙමු.

එතෙක් ඔබට නාථ දෙවි පිහිටයි……

2011 ජුනි 26 : නලින් සිල්වාගේ කබරගොයා තලගොයා කරගත් විද්‍යාත්මක ක්‍රමය අපට ගැලපේද ?


ඊයෙත් සුපුරුදු පරිදි රසායනාගාරයේ වැඩ… සෙනසුරාදා කියලා නෑනේ අපට. අඩු පඩියට වැඩි වැඩ… ලංකාවෙ හිටියා නම් ස්ට්‍රයික් එකක් වත් කරන්න තිබුණා… මෙහේ ඒවා කරන්න හිතෙන්නෙත් නෑ….
ඒ වුනාට සුළු සුළු ප්‍රශ්න තිබුණත්, අපි වැඩ කරන්නේ නම් හරිම සතුටෙන්. මොකද කියනවා නම් අළුතෙන් දෙයක් සොයාගන්න එක ජීවිතයේ එක් අංගයක් වෙලා… සතියකට කුමක් හෝ දෙයක් අළුතෙන් ඉගෙන ගත්තෙ නැත්නම්, හෝ අළුත් දත්තයක් ලබා ගත්තෙ නැත්නම් හරියට දවසක් දෙකක් කෑවෙ නෑ වගේ දැනෙන්නේ. මේදවස්වල මම නම් වෙහෙසෙන්නේ අපේ රසායනාගාරය මගින් පළ කරන්නට යෙදෙන පළමු වන පර්යේෂණ ලිපියට අවශ්‍ය කරුණු සකසන්නයි. මේ ලිපිය ලියන්න ගත්තේ ඊයෙ වුනත් වැඩ අධික බව නිසාම අතපසු වුනා. ඉන්පසු ඊයේ සවස අපේ රසායනාගාරයේ සියළුම දෙනා ගියේ අපේ සාමාජිකාවක් සහ ඇයගේ සැමියා විසින් මිලදී ගත් නව නිවසටයි. එහි තිබූ සාදයට සහභාගී වී නැවත පැමිණෙන විට මධ්‍යම රාත්‍රියත් පහුයි. ඇල්කෙමිච්චියි පැටියයි නම් හොඳටම නිදි. අද උදේ වරුවම ගෙවුනේ පැටියා එක්ක…. ගොඩ දවසක් මාත් එක්ක ගත කරන්න බැරි වීම නිසා සාංකාවෙන් වගේ තමයි හිටියේ.. ඉන් පසු තවත් මිතුරියකගේ සාදයකට ගොස් ඒ නිවසේම පැවැත්වූ සුළු ගිණිකෙළි සංදර්ශනයකුත් නරඹලා ඇවිත් තමයි මේ ලියන්නේ. රසායනඥයෝ වුනාම ගිණිකෙළි ආදී දේවලට පුදුම ඇල්මක් නේ අපිට තියෙන්නේ…. මේ අතරවාරයේ තමයි නලින් සිල්වා උන්නැහේගේ අළුත්ම නාටකය ගැන කියවන්න ලැබුනේ.

නලින් සිල්වා මේ වගේද ?

ලෝකයේ පළමු වැනි වතාවට අනාථ දෙවියෙක් මේ වගේ දෙයක් ඇවිත් කිවුවාම ඉතින් නොසලකා හරින්න පුළුවනෑ…. ඒති ඔය දෙවියගෙන් අහන්න මට ප්‍රශ්න කීපයක් තියෙනවා.

  1. නලින් සිල්වා උන්නැහේට අනුව ලංකාවේ රසායනඥයෝ හොරු. ITI ආයතනයට දීපු සාම්පලයක් පරීක්‍ෂා කරන්නේ නැතිව ආපසු එවලාලු. එතැන හොරු ඉන්නවා තමයි. කාලයක් මමත් එතැන වැඩ කළානේ… එතැනත් සාමාන්‍ය රජයේ ආයතනයක්. ඒත් එතැන දැඩි කැපවීමෙන් වැඩ කරන අයත් ඉන්නවා. ඒ වගේම ITI එක විතරක් නෙවෙයි මේ පරීක්‍ෂණ කරන්නේ. වෙනත් පෞද්ගලික රසායනාගාර කිහිපයක්ම තියෙනවා. නලින් සිල්වට කරන්න තිබුණේ ඒ සාම්පල කිහිපයක් ඒ ඒ රසායනාගාර කිහිපයටම දී ඒ වාර්තා සැසඳීම නොවේද ?
  2. ආසනික් සාමාන්‍ය ජලයේ දියවෙනවාට වඩා වැඩියෙන් කිවුල් හෝ කඨින ජලයේ දියවෙනවා. ඒ කඨින ජලයේ ඇති Ca කැල්සියම් – ආසනික් සමග Ca(AsO4)2 කැල්සියම් ආසනේට් සංයෝගය තනන නිසා. මේ තත්ත්‍වය ඔවුන් සැලකිල්ලට ගත්තාද ?
  3. ඉහත කී තත්ත්‍වය නිසා ඇතිවන ආසනික් මට්ටම් වෙනස රටේ අනෙකුත් ප්‍රදේශවල ජල සාම්පල සමග සැසඳුවාද ?
  4. අනෙක් ප්‍රදේශවල පස් සාම්පල සැසැඳුවාද ?
  5. 2007 වසරේ කොළඹ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය එච්. ඩී. ගුණවර්ධන ඇතුළු පර්යේෂක කණ්ඩායමක් සොයාගත් පරිදි, රජරට සහ උතුරු මැද ප්‍රදේශවල ජලයේ නයිට්‍රේට සාන්ද්‍රණය අධික බව සොයාගෙන තිබුණා. එයට ප්‍රධාන හේතුව පොහොර භාවිතයයි. පොහොර භාවිතය නිසා පසට එකතු වන නයිට්‍රේට ජලයට එකතු වන අතර කිසිදු රසායනික ක්‍රමයකින් නයිට්‍රේට ජලයෙන් ඉවත් කළ නොහැකි වීම මෙයට හේතුවයි. ( බටහිර විද්‍යාවට අනුවද, සියළුම නයිට්‍රේට ජලයේ ද්‍රාව්‍ය වේ) මේ පර්යේෂණය නලින් සිල්වා ප්‍රමුඛ පිරිස සැලකිල්ලට ගත්තාද ?
  6. ලංකාවේ සිදු කළ පර්යේෂණයේදී අම්ල සහ භෂ්ම ප්‍රමාණය වෙනස් කර භාවිතා කළ බව ඔවුන් පවසනවා. පිළිගත් ක්‍රමයක පැහැදිලිව යෙදිය යුතු අම්ල-භෂ්ම ප්‍රමාණය නොසලකා, තමන්ට කැමති ප්‍රමාණවලින් භාවිතා කර ඒ ලැබෙන ප්‍රතිඵල පිළිගත් ක්‍රම සමඟ සැසැඳීමේ ක්‍රමයක් තිබෙනවාද ?
  7. එසේ පිළගත් ක්‍රම වෙනස් කිරීමෙන් ලැබෙන ප්‍රතිඵල පිළගන්නට අපට හැකියාවක් තිබෙනවාද ?

ලංකාවේ බොහෝ දෙනා තුළ රසායන විද්‍යාව පිළිබඳ ඇත්තේ අල්ප මාත්‍රික දැනුමක්, ඒ වගේම බියක්. යමෙක් ජලයේ ආසනික් ඇතියි කිවහොත්, හෝ තීන්ත වල ඊයම් ඇතැයි කිවහොත් ඒ දෙකම භාවිතා නොකර ඉන්නට තරම් බියක් සාමාන්‍ය ජනතාව තුළ ඇති වීම අතිශයින්ම ස්වභාවිකයි. මේ බව දැන දැනත් නලින් සිල්වා වැනි (දැනුම් තේරුම් ඇතැයි කියන) පුද්ගලයෙකු සාමාන්‍ය ජනතාව මෙසේ බිය වැද්දීම අතිශයින් පහත් තත්ත්‍වයක්.

මා නම් පවසා සිටින්නේ මෙය ස්වාධීන මහාචාර්ය මණ්ඩලයකින් යුත් කමිටුවකින් සොයා බැලිය යුතු කරුණක්. මහාචාර්ය එච්. ඩී. ගුණවර්ධන. මහාචාර්ය ඉලේපෙරුම, ආචාර්ය අසීස් මුබාරක්, ආචාර්ය එස් ඒ ප්‍රනාන්දු වැනි විශ්ලේෂණයෙහි හසළ බුද්ධියක් ඇති මණ්ඩලයක් මගින් මෙය අධීක්‍ෂණය කර, වරක් දෙවරක් නොව, අවම වශයෙන් පස් වතාවක් වත් සිදු කරන ලද පරීක්‍ෂණවල සාමාන්‍ය අගයයන් ලබාගෙන කළ යුතු මනා පර්යේෂණයකින් අනතුරුව එළි දැක්විය යුතු බැරෑරැම් ප්‍රකාශණයක් විය යුතුයි.

2011 ජුනි 24 : අවසානයේ සියල්ල යථා තත්ත්‍වයට පත් විය………


පසුගිය දවස් වල හරියට එක දිගට දිනපොත ලියන්නට බැරි වුනා. හේතු ගොඩක් නිසා. ඇල්කෙමි පැටියා හදිස්සියේම ගිය සෙනසුරාදා අසනීප වූ නිසා හැම දෙයක්ම පස්සට දාලා පැටියව යථා තත්ත්‍වයට ගන්න උත්සාහ කළා. ඒ නිසා වෙනත් කිසිම දෙයක් පිළිබඳ අවධානය යොමු කළේ නෑ…. ඒ නිසාම තවත් ගොඩක් ප්‍රශ්න ඇති වුනා… ඒත්… ඒ සියල්ල විසඳිලා සියල්ල යථා තත්ත්‍වයට පත් වුනා…

අපි සියළුම දෙනා අරුණි අක්කා වෙසෙන Ocean City කියන සංචාරක ප්‍රදේශයට චාරිකාවක් යොදාගෙනයි හිටියේ. අපිට නවතින්න ඉඩ දෙන්නට අරුණි අක්කාත් සුදු අප්පුහාමිත් බොහොම කැමැත්තෙන් හිටියේ. ඉතින් අපි එහි යනවිට පැටියා අසනීප වුන බව පෙරත් කීවා නේ. ඉතින් අපි හනි හනිකට අරුණි අක්කාගේ ගෙදරින් ආවේ පැටියට සහනයක් ලබාදෙන්න හිතාගෙන. ඒ වගේම නිවසට පැමිණි විට පැටියා ටිකක් සනීපෙන් හිටියේ. ඉරිදාත් තරමක සනීපෙන් හිටිය ඔහු සඳුදා උදෑසන වනවිට තරමක් දැඩි රෝගී ලක්‍ෂණ පෙන්නුම් කළා. ඒ නිසාම පැටියව පවුලේ ළමා වෛද්‍යවරයා වෙත රැගෙන ගියා. ඔහුගේ නිගමනය වුනේ පැටියව විජලන තත්ත්‍වයකට පත් වීමට ආසන්න බවයි. ඒ නිසාම ඔහු රෝහලේ හදිසි රෝගී අංශයට (ER) ඇතුලත් කර මා නැවත රසායනාගාරයට ගියා. මා මුලින් දන්වා වුවත්, ප්‍රමාද වී රසායනාගාරයට පැමිණීම ගැන මගේ ප්‍රධානියා සිටියේ සතුටකින් නොවේ. පැය කීපයක ප්‍රතිකාර වලින් අනතුරුව ඔහු නැවතත් රෝහලෙන් නිදහස් කළා. ඔහු සහ ඇල්කෙමිච්චිව රෝහලෙන් නැවත ගැනීමට මා රසායනාගාරයෙන් යනවිට පවා ඔහු ඇසුවේ මා නැවත රසායනාගාරයට එනවාදැයි කියා පමණයි. ඔහු ඒ තරමටම ආත්මාර්ථකාමී වෙලා.එදා රෑ 11.30 වනතුරු රසායනාගාරයේ මා වැඩ කළේ මගේ අතපසු වූ වැඩකටයුතු සම්පූර්ණ කිරීමටයි.

දවසක් සාමාන්‍ය තත්ත්‍වයේ සිටි පැටියා නැවතත් බඩ රිදෙන බව පැවසීම නිසා රෝහලට රැගෙන ගොස් තබා මා නැවත රසායනාගාරයට පැමිණියා. ඒ වුනත් ලොක්කා හිටියේ හිත හොඳින් නෙවෙයි. ඒ වගේම මගෙන් පැටියාගේ තත්ත්‍වය පිළිබඳ වචනයක් වත් විමසුවේ නැති එක ගැන රසායනාගාරයේ හැමෝටම පුදුමත් හිතුනා. පොඩි ළමයෙක් වගේ මූණ එල්ලගෙන ඉන්නවා…. ඉතින් මට අවස්ථාවක් ආපු වෙලේ මම එයාට පැහැදිලි කරලා දුන්නා පවුලක් වශයෙන් ජීවත් වෙත්දී දරුවන්ගේ දේ වලට අපි කැප වෙන්න ඕන විදිය… ඔහුගේ ගති පැවතුම් අනුව නම් පවුලක් වශයෙන් ජීවත් වෙන්න හැකියාවක් නැති බොහොම ආත්මාර්ථකාමී බවකුයි පේන්නේ… ඔහු සිය විවාහ ගිවිසගත් පෙම්වතිය සමග වූ ගිවිසුමත් කටුගාපු පුද්ගලයෙක්… ඒ නිසා ඔහුගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ. නමුත් මා කියා සිටියේ අපි සියළු දෙනා සමාජයීයි සත්ත්‍වයන් වශයෙන් ජීවත් වීමේදී යම් යම් බැඳීම් වලට යටත් විය යුතු බව. ඔහු තේරුම් ගත්තත් නැතත්, මා කිව යුතු දේ කිව්වා…

ඒ සියල්ල දැන් අවසානයි…. සියල්ල යථා තත්ත්‍වයට පත් වෙලා… අපේ ජීවිත නැවතත් සුපුරුදු පරිදි ගෙවෙනවා. ජීවිතයත් හරියට ගංගාවක් වගේ නේ… ටික කාලයක් නිසලව ගලනවා… ආයෙම ගල් පර්වත හමු වෙලා හැල හැප්පීම් වලට ලක් වෙලා කඩා වැටිලා නැවතත් නිසලතාවයට පත් වෙනවා…

අපි ආයෙත් සුපුරුදු පරිදි හැමදාම හමුවෙමු…

2011 ජුනි 21 : හැමදාම එකවගේ නෑ…..


අද උදේ වුනේ භයානක හීනෙකුත් එක්ක… භයානකයි කියන්නේ අපේ රසායානාගාරයේ Glove Box එක කැඩිලා සුනු විසුණු වෙලා තියෙනවා දැක්කා…. අනේ මන්දා මටත් පේන හීන…. සතියකට දවස් දෙකක් වත් රසායනාගාරය ගැන හීන පේනවා… මට නම් ඇත්තටම පිස්සුද මන්දා…..

අද උදෙන්ම නැගිටලා ඉක්මනටම රසායනාගාරයට ආවේ අර කැඩිච්ච NMR එක සුද්ද කරන්න උදව් වෙන්නයි. අදාල නිලධාරියාට වෙච්චි වැඩේ පැහැදිළි කරලා දීලා ඔහුට ඒක ගලවන්න උදවු කළා. උදේ වරුවම ගත වුනේ ඒක සුද්ද කරලා නැවත සකස් කරලා පිළිවෙලක් කරන්නයි. ඒ නිසා යන්තම් සිතට සහනයක් දැනුනා…. ලොකු අලාභයක් වුනා නම් ලොකු බැණුමකුත් අහගන්න වෙනවා…. වැඩේ කියන්නේ මේ වෙච්චි සිද්ධිය නිසා ඒ උපකරණය හොඳට සුද්ධ පවිත්‍ර කරගන්නත් අවස්ථාවක් ලැබුණා…

හවස් වරුවම වැඩ. තමන්ගේ වැඩයි අනුන්ගේ වැඩයි. ඒ වැඩ ඉවර කරලා හනික ගෙදරට දුවලා ගියේ පැටියගේ මූණ දකින්න. දවස් ගානක් අසනීපව ඉන්න නිසා හරිම ඈලි මෑලි වෙලා.. වෙනදා ගේ පෙරළන්න දුව පැන ඇවිදින පැංචා අද ඇඳට වෙලා… දුකේ බෑ…. හවස ගෙදර ගිහින් පැටියට කවලා ආයෙම රසායනාගාරයට ආවේ ඉතිරි වැඩ ටික කරන්න..

ඊයෙ හදපු සංයෝගයක් ස්ඵටික හැදෙන්න දාලා තමයි මේ කුරුටු ගාන්න පටන් ගත්තේ. අද නම් තරමක හොඳ කල දසාවක්….

බලමු හෙට කෝම වේද කියලා………..

2011 ජුනි 20 :  Gut Feeling එකට පයින් ගසා අමාරුවේ වැටුන දෙවන දවස…………..


අද දවසම හරිම අවාසනාවන්ත දවසක්. උදේ වරුවේ වෙච්චි දේවල් නොකියා ඉන්න තරමට හොඳයි. සවස් වරුව ගත වුනෙත් උදේ වරුව වගේම තමයි.

පැටියගේ අසනීපය නිසා තරමක් පරක්කු වෙලා වැඩට එනවා කියා ලියලා යවපු E-mail එකටත් ලොක්කා මූණ එල්ලගෙන… ඒ වැඩ ටික ඉවර වෙලා රසායනාගාරයට ගිහින් මගේ වැඩ ටික කළත්, ලොක්කා තවමත් මූණ එල්ලගෙන…. මට මොනවා හරි කියන්න ආවා නම් එයාට හොඳවැයින් දෙකක් කියලා දාන්න තරම් තරහිනුයි මමත් හිටියේ… කොහොම නමුත් හවස් වන විට යන්තම් හිත ටිකක් හොඳ වෙලා ඩිංගක් කතා කළා…

සවස මම පෙරදී කරපු පරීක්‍ෂණයක් නැවතත් කරන්න යොදා ගත්තා. පොදුවේ සැවොම භාවිතා කරන උපකරණයක් වූ NMR Spectrometer කියන උපකරණයෙන් පැය 12 ක පරීක්‍ෂණයක් තමයි කරන්න පටන් ගත්තේ. මිලි මීටර 5 ක අභ්‍යන්තර විශ්කම්භය ඇති නලයකට දැමූ සංයෝගයක වෙනස් වීමයි මේ පරීක්‍ෂණයෙන් නිර්ණය කරන්න යොදා ගත්තේ. මෙය ඒ උපකරණය තුළට බහා, ඒ උපකරණයේ ඇතුලත ඇති Probe එකක් මාර්ගයෙන් තමයි මේ කටයුත්ත කෙරෙන්නේ. මුල්ම පරීක්‍ෂණය කරත්දී මගේ සංයෝගය නිසි පරිදි ප්‍රතිඵල පෙන්වුවත්, එය හා දමා තිබූ පාලක සංයෝගයේ නිසි පරිදි සාන්‍ද්‍රණය දැක්වූවේ නැති නිසා මම පරීක්‍ෂණය අතරමග නතර කරන්නත් හිතුවා. (ඒක තමයි Gut Feeling එක)… දෙතුන් පාරක් ඒ ගැන සිතලා, උපකරණය මගේ නමින් වෙන් කළ නිසාම රාත්‍රිය පුරා පරීක්‍ෂණය ස්වයංක්‍රීයව ක්‍රියා කරන්නට සලස්වලා උපකරණය ක්‍රියාත්මක කළා. ලැබෙන දත්ත වල මොකක් දෝ වෙනසක් දැනුන නිසා නිකමට උපකරණය දිහා බලද්දියි තේරුණේ මගේ නළය උපකරණය තුළ පුපුරා ගොස් ඇති බව.

ඒ උපකරණය භාර තාක්‍ෂණික නිලධාරීතුමාට සහ මගේ ලොක්කාට ඒ බව දන්වා යවලා උපකරණය භාවිතා නොකරන සේ දැක්වෙන කොළයක් ද එතැන තබා ඇවිත් තමයි මේ සටහන ලියන්නේ.

මීට වසර දෙකකට පෙරත් මේ උපකරණයේම කොටසක් මගේ අතින් කැඩුනේ මෙන්න මේ වගේ Gut Feeling එකකට විරුද්ධව හිතලා වැඩ කරන්න ගිහින්. දැන් මේ දෙවන පාර…

මීට පස්සෙ නම් Gut Feeling එකට අනුව වැඩ කරන්න හිතා ගත්තේ දෙපාරක්ම අමාරුවේ වැටිච්ච නිසා…. පරීක්‍ෂණ කෙරුවා වගේ නෙවෙයි මේවා ගලවලා සුද්ද කරලා හයි කරන්න ගියාම…. දවසක්ම ඉවරයි…. ඒ වගේමයි… අනෙත් අයගේ කාලයත් අපරාදේ….

ඔන්න ඔහොමයි Gut Feeling එකට පයින් ගහලා දෙවනි පාරත් මම අමාරුවේ වැටුනේ….

2011 ජුනි 19 : හුටා…. අද Fathers Day ලු නේද ? සමරන්න අමතක වුනා නේ….


අද නිහාල් අයියගේ යථාර්තවාදියා බ්ලොග් එක දැක්කාමයි මතක් වුනේ අද පියවරුන්ගේ දිනය කියලා. ඒහෙම මතක් වෙන්න තරම් හිතක් අද තිබුණේ නැහැ… හිත බොහොම සසල වෙලයි තිබුණෙ ඊයෙ ඉඳලම….

සති ගානක ඉඳලා යොදා ගත්ත සැලසුමක් අනුව මේ සති අන්තය මේරිලන්ඩ් හි Ocean City කියන සංචාරක ප්‍රදේශයට යාමටයි අපේ ලාංකීය පවුල් කිහිපය සැලසුම් කරලා තිබුණේ. ආනෙක් පවුල් කිහිපය නම් සිකුරාදාම එහේ ගිහින් පැල් බැඳගෙන හිටිය නමුත්, මම පසුගිය සතියක දිග නිවාඩුවක් ගත් නිසාත්, රසායනාගාරයේ මේ දිනවල අධිකව වැඩ ඇති නිසාත් සෙනසුරාදා දවල් ගෙදරින් පිටත් වුනා. අපිට නවාතැන් දෙන්න අපේ බ්ලොග් අවකාශයේ හැමෝම දන්නා අඳුනන් අරුණි ශපිරෝ අක්කා සහ සුදු අප්පුහාමි මහතා සැදී පැහැදී සිටියා. ටික දුරක් යනවිට අපේ පැටියා එකපාරටම වාහනයේ වමනේ දාන්න ගත්තා. පැටියා ගමනක් යන්න පෙර යමක් බිව්වොත් සාමාන්‍යයෙන් මේ තත්ත්‍වය ඇති වෙනවා. ඒ වගේම එයා උදේ කිරි බීලා තිබුණෙත් අපි පිටත් වෙන්න බොහෝ වෙලාවකට පෙර නිසා තරමක් ප්‍රශ්නයක් වුනා… සියළු පිරිසිදු කිරීම් වලින් අනතුරුව නැවතත් ගමන ආරම්භ කළා… ගමනාන්තයට සැතපුම් 40 ක් වන විටත් පැටියගේ තත්ත්‍වය එතරමි හොඳ නැති නිසා ආපසු යන්න කල්පනා කළත්, අරුණි අක්කා කියු පරිදි ඇගේ නිවස ආසන්නයටම ආ නිසාත්, මේ තත්ත්‍වය වාහනයේ ගමන් කිරීම නිසා ඇති වූවක්ද යන්න නොදන්නා නිසාත් අපි දිගටම ගොස් ඇගේ නිවසට ගියා. ඇයත් සුදු අප්පුහාමිත් අපිව සාදරයෙන් පිළිගත්තා… සතුටු සාමිචියේ යෙදී සිටින අතරතුරේදිත් පැටියා අරුණි අක්කලාගේ නිවසේ පුටුවකුත් අපිරිසිදු කරමින් තවත් වරක් වමනය කළා… දන්නා අත් බෙහෙත් දී වමනය සමනය කර ගත්තත් පැටියගේ හිතට නම් හොඳ නැති වුනේ ඔහුගේ මිතුරු මිතුරියන් හමු වන්නට නොහැකි වීම නිසායි…

අරුණි අක්කා කඩි මුඩියේ සකසා දුන් රාත්‍රී ආහාර වේල ගත් අපි නැවත් නිවසට පැමිණීමට තීරණය කළේ පැටියගේ ඉල්ලීම මත සහ සියළු දෙනාගේම පහසුව පිණිසයි. නිවස් පැමිණෙන අතර වාරයේදීත් තත්ත්‍වය එතරම් සුව වූයේ නැහැ. නිවසට පැමිණ බෙහෙත් ලබා දී පැටියව නිදි කරපු අපි සැරෙන් සැරේ ඇහ ඇරුණේ සිතේ ඇති චකිතය නිසාමයි. උදේ වනවිට පැටියගේ තත්ත්‍වය තරමක් සුවදායක වුනත් තවමත් ඝණ ආහාරයක් ලබා ගත්තේ නැහැ. දවස පුරාවටම පැටියගේ කටයුතු සොයා බැලු අපි තරමක් හෝ විවේකයක් ගත්තේ සවස් වරුවේ. එවිටයි අපටත් මතක් වුනේ අද පියවරුන්ගේ දිනය කියා. අපි විශේෂයෙන් එය සැමරුවේ නැතත්, මේ වතාවෙත් පියවරුන්ගේ දිනය අපූරුවට ගෙවිලා ගියේ මෙහෙමයි.

2007 පියවරුන්ගේ දිනයේ නම් මමත් පැටියාත් හිටියේ ලන්ඩන් සිට කොළඹ බලා පැය 24ක් ප්‍රමාද වී ගිය ගුවන් යානයේ… ඒ පියවරුන්ගේ දිනයත් හරිම අපූරු එකක් වුනේ පැය 12 කින් යායුතු ගමන පැය 24 ක් දක්වා දීර්ඝ වූ නිසයි… ඒ අපේ ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් හි තිබූ අපූරු කාර්යක්‍ෂමතාවය නිසා….

පියවරුන්ගේ දිනය මට නම් මහා ලොකු අරුමයක් නොවුනත්, ඇල්කෙම්ච්චි සුළුවෙන් සැමරුවා… විශේෂ කෑම වේලකින්…. කන්න ඒ තරම් පිරියක් නැති වුනත් පොඩිත්තක් කෑවා….

අපේ තාත්තා ව.ග.වි. පියසේන ගුරු මහතා

බොහොමයක් පියවරු තමන්ගේ දරුවන් වෙනුවෙන් නොවිඳිනා දුක් විඳිනවා… මගේ තාත්තා තවමත් මම වෙනුවෙන් කරදර වෙනවා, සිතින්… පියවරුන්ගේ හැටි එහෙමයි. තවත් සමහර පියවරු ඉන්නවා ඒකේ අනිත් පැත්ත…. හොඳ වගේම නරකත් ලොවේ තියෙනවා… මගේ පියාගේ අගය සහ මගේ පියා මා වෙනුවෙන් විඳි දුකේ අගය මට දැනුනේ මම පියෙකු වූ දිනයේ…. එතකල් මට ඒ බව වැඩිය වැටහුනේ නැහැ… සමහර දරුවන්ට පියවරු නැහැ වගේම සමහර දරුවො පියවරු නැති ගානටයි වැඩ කරන්නේ….

මගේ ජීවිතය හැඩ ගස්වා ගන්නට මගේ තාත්තාගෙන් ලැබුණ සහයෝගය, උපදෙස්, උදවු වගේම මගේ ජීවිතය හැඩගස්වාගන්නට මම ඔහු දෙස බලා ඉගෙන ගත් දේ බොහොමයි. ඔහු හරිම සරළ සුන්දර අපූරු පුද්ගලයෙක්. මට ඒ ගැන කියන්න වචන නෑ… මට දුක අපට මෙහේ අපි ආදරය කරන සියල්ලන්ගෙන් වෙන් වෙලා ඉන්න සිදු වෙච්ච එක ගැන… තාත්තා අපි ලංකාවට එනවට කැමති නැහැ.. ඒ අපේ අනාගතය ගැන හිතලා..

මම පියවරුන්ගේ දිනය සැමරුවේ නැතත්. මේ සටහන තබන්නේ මගේ ජීවිතය පිටුපස තවමත් මහා සෙවනැල්ලක් සේ සිටින මගේ තාත්තා වෙනුවෙන්. අපේ තාත්තාට නිරෝගී සුව…. දීර්ඝායුෂ…….. !

2011 ජුනි 16 : අපේ හිස් බව…..


අද උදෙන්ම රසායනාගාරයට ගියේ වැඩ ගොඩක් තියෙන නිසා… විශේෂයෙන්ම මම භාරව ඉන්න Glove Box එක ඊයේ Regenerate එහෙමත් නැත්නම් ප්‍රතිජනනය කළා. Glove Box එකේ ඇතුලේ සංසරණය වන නයිට්‍රජන් වායුව උත්ප්‍රේරකයක් හරහා යවා එහි ඇති ඔක්සිජන් සහ ජලය ආදිය නිරන්තරයෙන් අයින් කරනවා. එසේ කිරීමෙන් තමයි ඒ තුළ වූ පරිසරය ඔක්සිජන් සහ ජලවාෂ්ප වලින් තොරව තබා ගන්නේ. පසු ගිය අවුරුද්දේම දිගින් දිගට ක්‍රියා කරවීම නිසා මේ උත්ප්‍රේරකයේ ක්‍රියාකාරීත්‍වය තරමක් අඩාල වෙලයි තිබුණේ. මේ නිසා නැවත මේ උත්ප්‍රේරකය ප්‍රතිජනනය කිරීමකට ලක් කළා ඊයේ. එය කළේ හයිඩ්‍රජන් වායුව මේ උත්ප්‍රේරකය හරහා යැවීමෙන් සහ උත්ප්‍රේරකය රත් කිරීමෙන්. මේ සියල්ල වන්නේ ස්වයංක්‍රීයව, නමුත් නිසි පරිදි සිදු වීම නිරීක්‍ෂණය කළ යුතුයි. යම් හෙයකින් හයිඩ්‍රජන් ටැංකිය අතරමගදී ඉවර වුනොත් මුළු කටයුත්තම නැවත අරඹන්න වෙනවා. මේ නිසා බොහොම පරීක්‍ෂාවෙන් තමයි සිටියේ. පිරුණ හයිඩ්‍රජන් ටැංකියක පීඩනය වර්ග අඟලට පැස්කල් 2000 ක් වෙනවා. නමුත් එක් ප්‍රතිජනන චක්‍රයකදී මේ පීඩනයෙන් වර්ග අඟලට පැස්කල් 600- 700 ත් අතර ප්‍රමාණයක් භාවිතා වෙනවා. මෙසේ ප්‍රතිජනනය කිරීම් දෙකක් දැනට පවතින ටැංකියෙන් කර තිබූ නිසා තුන්වන ප්‍රතිජනන චක්‍රය අවසාන වනතෙක් ටැංකිය පවතීද යන සැකය තමා තිබුණේ.. මේ නිසා උදෙන්ම ගිහින් බැලුවේ ටැංකිය ඉතිරි වෙලා තියේද කියලා. වාසනාවට වගේ අන්තිම කට්ට ලඟින් නැවතිලා තිබුණා. ඉන්පසු  හිස් වූ හයිඩ්‍රජන් ටැංකිය නැවතත් හිස් ටැංකි තබන ස්ථානයේ තබා, Glove Box එක නැවතත් යථා තත්ත්‍වයට ගෙන ආවා. ඒ වගේම ඒ හා සම්බන්ධ රික්ත පොම්ප වල දැවී ගිය තෙල් ඉවත් කර නැවත අළුත් තෙල් දමා ඒවාත් ප්‍රතිජනනය කළා.  උදේ වරුවෙ බොහෝ වෙලාවක් ගියේ මේ දේ වලට. ඉන්පසු තමයි අනෙක් අය සහභාගි වෙලා හිටිය පිරිසිදු කිරීමේ වැඩ කටයුත් වලට සහාය දෙන්න ගියේ. දවසෙන් බොහෝ වෙලාවක් ගත වුනේ පිරිසිදු කිරීමේ කටයුතු වලටයි. දැන් නම් රසායනාගාරය යම් පිළිවෙලක් තියෙනවා. ඒ වගේම Glove box එක පාවිච්චි කිරීමේ ක්‍රියා පටිපාටියක් නැත්නම් Standard Operating Procedure එකක් ලියලා තවත් නීති කන්දරාවක් ලියලා කට්ටියට හෙට ඉදිරිපත් කරන්නයි බලාපොරොත්තුව. ඒ ලියවිල්ලත් ලියලා ඉවර කරලා ගෙදර එන්න හදනකොටයි ධාරාණිපාත වරුසාවක් කඩන් වැටුනේ… ඒ වැස්ස තුරල් වෙනකල් ඉඳලා ගෙදර එනකොට රෑ 8 යි. පැටියව නිදි කරවලා පොඩ්ඩක් රූපවාහිනිය නරඹලා ඉවර වෙලා තමයි මේ දිනපොත කුරුටු ගාන්නේ.

රූපවාහිනියේ Science Channel කියන නාලිකාවේ බොහොම අපූරු වැඩසටහනක් යනවා. Morgan Freeman ඉදිරිපත් කරන Through the Wormhole කියන වැඩසටහන බොහොම අපූරු, අළුත් දේවල් බොහොමයක් ඉගෙන ගන්න තියෙන වැඩසටහනක්. මට දිනපතා බලන්නට බැරි වන නිසා ඒවා පටිගත කරන්න දාලා තමයි තියෙන්නේ. ඉඩ තියෙන වෙලාවට බලනවා. අද බලපු වැඩසටහන මේ වැඩසටහන් මාලාවේ මේ වාරයේ පළමුවැන්න. ඉන් කියැවුනේ අපේ ශරීර හැදිලා තියෙන කුඩාම අංශු පිළිබඳව. අපි සාමාන්‍ය පෙළ කාළයේ ඉගෙන ගන්නේ නම් මූලද්‍රව්‍ය හැදී තියෙන්නේ පරමාණු වලින් බවයි. පරමාණු න්‍යෂ්ඨිය සහ ඉලෙක්ට්‍රෝණ ලෙස බෙදෙන බවත්, න්‍යෂ්ඨිය ප්‍රෝටෝන සහ න්‍යුට්‍රෝණ ලෙස බෙදෙන බවත් අප ඉගෙන ගත්තා. උසස් පෙළ දී මේ න්‍යෂ්ඨියේ තවත් උපපරමාණුක අංශු තිස් හතලිස් ගාණක් තියෙන බව ඉගෙන ගන්නවා. විශ්ව විද්‍යාලයේ දී නම් ක්වාර්ක්ස් පිළිබඳවත් ඉගෙන ගන්නවා. මෙයින් එහාට තවමත් අපි පරමාණුව බෙදා වෙන් කරගන්නට සමත් වෙලා නැහැ. මේ උප පරමාණුක අංශු සහ ප්‍රෝටෝන න්‍යුට්‍රෝණ සියල්ලම තැනී ඇති ක්වාර්ක්ස් පවා ඇතුලත හිස් වූ අංශු වර්ගයක් බවයි ඉන් කියැවුනේ… මේ අනුව අපි මහා හිස් මිනිසුන් සමූහයක් ලු. අපේ ශරීරයේ ඇති හත් ට්‍රිලියන ට්‍රිලියනයක් පරමාණු වලින් (Seven trillion trillion atoms) වැඩි අවකාශය හිස්….

ඉතින් මේ හිස් ශරීරයේ භෞතික ස්වභාවය අපි හැමෝම කතා කළත් අපේ මනස හැදිලා තියෙන ආකාරය නම් කිසි කෙනෙකුට විග්‍රහ කිරීම අමාරුයි. හිත තියෙන්නේ මොළයේද හදවතේද කියලා කියන්න තවමත් කාටවත් බෑ… හිත රිදෙනවිට අපේ පපුව රිදුම් දෙන්නේ පපුවෙන් හිතන නිසාද ? අපි හැමෝම දන්නවා හදවතට හිතන්න බෑ කියලා… නමුත් සිතේ හැඟීම් පපුවෙන් ප්‍රකාෂ වෙන එක ගැන කාටවත් තවමත් කියන්න පුළුවන් වෙලත් නෑ… කොහොම වුනත් මගේ හැඟීම නම් මේ හිස් භෞතික ශරීරයේ හිස් බව නැති කරන්න පුළුවන් එකම විදිය මනස දියුණු කරලා පමණයි කියන එකයි. අපි හැමෝටම රහත් වෙන්නවත් මහණ වෙන්නවත් බෑ… නමුත් අපි ගත කරන ජීවිතය අපටත්, අනුන්ටත් අර්ථවත්ව ගත කරන්න පුළුවන් නම් අපේ මේ හිස් ශරීරයට පිරුණ බවක් දෙන්න පුළුවන් වේවි නේද ?

හිතන්න………

2011 ජුනි 15: සැලසුමක වටිනාකම…


මේ දවස් ටිකේම එක එක විදියේ වැඩ… ලුයිසියානා ගිහින් ආපු සතියේම ලියුවේ ඒ තොරතුරු නිසා වෙනත් යමක් ලියන්න වුනේම නැහැ. ඒ වගේම ගිය සතියේ East Coast Cricket Festival එකට නිවු ජර්සි ගිහින් හිටිය නිසා වැඩි යමක් ලියන්නත් බැරි වුනා. ඒ ගිහින් හිටපු සති අන්තයෙන් පස්සේ මම ගෙදර ආවෙ තනියම. පැටියයි ඇල්කෙමිච්චියි අර අළුතෙන් රැකියාව ලැබුණ මගේ හොඳම තුර්කි ජාතික මිතුරා සහ ඔහුගේ පවුල සමග දවස් හතරක්ම ගත කළේ පැටියගෙත් හොඳම යාළුවා මගේ හොඳම යාළුවාගේ දුව නිසා, ඔවුන්ට දෙදෙනා ලඟ නැති නිසා හරියට පාළුයි. ඒ නිසාම ටික දවසක් දෙන්නා එහේ නැවැත්වුවා…. ඊයෙ රෑ තමයි දෙන්නව ගිහින් අරගෙන ආවෙ… ගෙදර එනකොට රෑ 1.00 යි.

මේ දවස්වල රසායනාගාරයෙත් හරියට වැඩ… මගේ අර හරිගියා කියපු පරීක්‍ෂණයේ ප්‍රතිඵල එළිදක්වන්නට ලිපියකට කරුණු එකතු කරනවා. ඒ වගේම අපේ රසායනාගාරයට අළුතෙන් බඩු වගයක් ගෙනත්,… DuPont ආයතනයේ රැකියාව කර විශ්‍රාම ගිය රසායනඥයෙක් තමන්ගේ නිවසේ රසායනාගාරයක් පටන් අරන්… දැන් මනුස්සයා මානසික රෝහලකට දාලා… (රසායන විද්‍යාව කරන හැමෝටම වෙන්නේ මේකද දන්නෙ නෑ) ඉතින් මනුස්සයගේ රසායනාගාරයේ උපකරණ අපේ විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරුන්ට අරගන්න කියලා පරිසර ආරක්‍ෂණ අධිකාරිය දන්වලා එවලා… ඒ නිසා අපේ රසායනාගාරයට බඩු ගොඩක් ලැබුණා… ඒවි පිරිසිදු කරන්නයි අසුරන්නයි තමයි මේ දින කිහිපයම ගත වුනේ… ඒ අතරේ මගේ තවත් පරීක්‍ෂණයක් කරන්නත් අමතක කළේ නැහැ.

මේ වතාවෙ නම් කරන දේ හරියට කරන්න ඕන නිසා මුළු පරීක්‍ෂණයම හොඳට සැළසුම් කළා… ඉතාම සුළු දෙයක් පවා හරියටම සිතා බලා සැලසුම් කරලයි කළේ… ඒ නිසා වැඩේ හොඳට කෙරුණා… ප්‍රතිඵලත් හොඳයි වැඩේ සාර්ථකයි… ලොක්කටත් සතුටුයි… ආයෙ පාරක් කරන්න ඕනත් නෑ…

ඉතින් ටිකක් වෙලාව අරගෙන හරි කරන දෙයක් හරියට සැලසුම් කරලා කරනවා නම් බොහෝ පාඩු මඟහරවාගන්නට පුළුවනි… බලන්න අපේ ආණ්ඩු හිම දෙයකින්ම කෙරෙන සමහර වැඩ කිසිම සැලසුමක් නැතුව හදිසියේ කරලා බොහෝ පාඩු ලබනවා… නිවසක් වුනත් සැලසුම් කරලා දේවල් කරනවා නම් බොහෝ දේ සාර්ථක කරගන්න පුළුවනි….

කවුදෝ කියලා තිබුණා නිවස පාලනය කළ යුත්තේ සමාගමක් පාලනය කරනවා වගේ කියලා…. එහෙම කළොත් සමහර විට නිවසත් ලාභ ලබන ව්‍යාපාරයක් බවට පත් කරගන්නට පුළුවන් වේවි….

හිතලා බලන්න….

%d bloggers like this: