Daily Archives: ජූනි 6, 2011

2011 ජුනි 06 : සැතපුම් 3741 ක් ගොස් සිතෙන් කොටසක් ඈ ලඟ තබා ආ ගමන : පළමු කොටස


සතියකටත් වඩා කාලයක් අන්තර්ජාලයට ගොඩ වදින්නේ නැතිව මහා දිග ගමනක් ගිය බව ඔබ හැමෝම දන්නවා ඇති. ඒ ගමන ගියේ නොගිහින් බැරි හේතුවක් නිසයි. ඒ තමයි අපට හිටපු බොහොම හිතවත් ඇමරිකානු පවුලක අම්මා වූ ලින්ඩා මහත්මියගේ සුව දුක් බැලීමට යාම. මම කළින් කිවුවා වගේ ඇයට ජීවත් වෙන්නට වැඩි කලක් නැති නිසාත් ඇය අපේ පැටියාදැකලා නැති නිසාත්, ඇයගේ සිහිය අඩු වීමට පෙර ඇයව හමුවිය යුතු නිසාත් මොන බාධකය ආවත් මේ ගමන යාමට අපි තීරණය කළා. ගුවන් ටිකට්පත් වලට අධික මුදලක් වැය වන නිසාත්, එසේ ගියත් නැවතත් වාහනයකින් ගමන් කළ යුතු නිසාත්, යන කරුණු නිසා වාහනයක් කුලියට රැගෙන මේ ගමන යාමට අපි තීරණය කළා.

ගමනේ පළමු අදියර සැතපුම් 978 ක් මුළු ගමනට කාළය පැය 16 කුත් විනාඩි 30 ක්. පැටියත් එක්කලා එච්චර දුරක් වාහනේක යන එක හිතන්නවත් බැරි දෙයක්. කෙසේ හෝ බඩු පොදි බැඳගෙන සෙනසුරාදා උදෑසන 5.00 වනවිට අපි ඒ ගමන පිටත් වුනා. උදේ නිසා පැටියා හොඳටම නිදාගත්තා. පළමු නැවතුම වුනේ වර්ජිනියා ප්‍රාන්තයේ අමුත්තන්ගේ කේන්ද්‍රයේ (visitor’s center) සිදු වුනා.

වර්ජිනියා ප්‍රාන්තයේ දී අපි

බොහොම ඉක්මනින් කෑම බීම, විවේක ගැනීම කරගත් අපි නැවතත් මාර්ගයට අවතීර්ණ වුනා. මෙහි වේග සීමාව පැයට සැතපුම් 70 ක්. නමුත් ඊට වඩා සැතපුම් 5 ක් පමණ වේගයකින් යන්නට පුළුවනි. නමුත් වර්ජිනියා ප්‍රාන්තයේ පොලීසිය ටිකක් තදයි. ඒ වගේම අහුවුනොත් දඩයත් වැඩියි. මේ නිසාම නියමිත වේගයට වඩා සැතපුම් දෙකකට වැඩිය වේගයකින් ගියේ නැහැ. නමුත් වර්ජිනියා පසු වී ටෙනිසී ප්‍රාන්තයට පැමිණි පසු එයටත් හරියන්නට පැයට සැතපුම් 80 ක වේගයකින් යන්නට පුළුවන් වුනා.

මේ ටික ගෙවාගෙන ඊලඟට පසු කළේ ඇලබාමා සහ ජෝර්ජියා ප්‍රාන්ත දෙකයි. අපේ ගමනාන්තය වන මිසිසිපි ප්‍රාන්තයේ ස්ටාර්ක්විල් හි මිසිසිපි ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ ඉගෙන ගන්නා සමීර මල්ලිගේ නිවස වෙත ලඟා වනවිට රෑ 9.30 යි..

එදා රෑ සමීර මල්ලිගේ බිරිඳ ජයනි නංගි හොඳ කෑමක් හදලා තිබුණා. අපේ මිතුරන් පිරිසක් වන කව්මාල් සහ සෂි දෙපලත් ඇවිත් අපිව හමු වුනා….

ඊලඟ දවසේ උදෙන්ම ලුයිසියානා ප්‍රාන්තය බලා යන්න ගියෙන නිසාම වේලසනින් නිදිය ගත්තා…

ඔන්න ඔහොමයි ගමනේ පළමු අදියර නිමා වුනේ…. ඊලඟ අදියරේ වුන හොඳ හොඳ සෙල්ලම් හෙට ගෙන එන්නම්…..

%d bloggers like this: