2011 ජුනි 08 : සැතපුම් 3741 ක් ගොස් සිතෙන් කොටසක් ඈ ලඟ තබා ආ ගමන : තෙවන කොටස


අපේ ගමනේ තෙවැනි දිනය සහ සිවුවැනි දිනය වෙන් වුනේ හූස්ටන් හි ඇති කෞතුකාගාර නැරඹීමට සහ අපි මොන්රෝ වල සිටිත්දී අපගේ මහාචාර්ය වරයා වූ රිචර්ඩ් නෝමන් සහ ඔහුගේ පවුල දැකබලාගැනීමට යාමටයි. මුලින්ම අපි ගියේ හූස්ටන්හි ගැල්වෙස්ටන් මුහුදු වෙරළට, එය පසුගිය වසරක රීටා නම් චණ්ඩ මාරුතය හමුවේ මුළුමනින්ම විනාශ වුනා. නැවතත් පිලිසකර කර ඇති ඒ මුහුදු වෙරළ අපේ මුහුදු වෙරළවල් වලට සාපේක්‍ෂව තරමක් අපිරිසිදුයි. හේතු නම් ඒ මුහුදු වෙරළට මියගිය මුහුදු පාසි එකතු වීම, වැලි ඉතා සියුම් වීම නිසා රැල්ල වදිද්දී මඩ ඇවිස්සීම වැනි කරුණුයි. එසේ වුවත් දේශීය සංචාරකයෙන්ට නම් ඒක ගාණක් නැහැ. ඔවුනට ඒ වෙරළ මහා සම්පතක්. බොහෝ ආරක්‍ෂකයින් නිතරම සැරිසරන්නේ කිසිවෙකු අනතුරකට පත්වීමට ඉඩක් නොතබමින්. සියළුම දෙනා නීති රීති පිළිපදිමින් විනෝද වනු දැකීම පැසසිය යුතු කරුණක්. එසේමයි ඒ මුහුදු වෙරළේ මුහුදු ළිහිණි වැහි වැහැලා.. සාමාන්‍ය කැමරාවකින් පින්තූර ගන්න බැරි වුනත් කෙසේ හෝ මුහුදු ළිහිණින් කිහිප දෙනෙක් පින්තූර ගන්නට මගේ දුප්පත් කැමරාව සමත් වුනා.

මේ තුන්දෙනාට වතුර තියෙනවා නම් මොනවත් ඕන නෑ.

දවසේම ගැල්වෙස්ටන් මුහුදු වෙරළේ ගතකළ අපි සවස එන්නට පිටත් වුනේ මහාචාර්ය නෝමන්ගේ ගෙදරට යාමටයි. එනවිට ලොකු මාර්ග තදබදයක්. වාහනයක් අනතුරට පත් වීම නිසා, නමුත් තදබදය ඇත්තේ අනතුර නිසා නොවෙයි. ඒ කුමක්දැයි බැලීමට තමන්ගේ වාහනයේ වේගය අඩු කර බෙල්ල දමා බැලීම නිසා. ඇමරිකාවෙ මිනිස්සුත් ඒ අතින් නම් ලංකාවෙ මිනිස්සු වගේම තමයි. කෙසේ හෝ නැවතත් අපේ මිතුරන්ගේ නිවසට පැමිණ ලක ලෑස්ති වී මහචාර්ය නෝමන්ගේ නිවසට යනවිට රෑ 7.30 යි. අපේ මිතුරන්ගේ නිවසේ සිට ඒ නිවසට දුර සැතපුම් 75 ක්… ඒ මග ගෙවාගෙන අප එහි ගොස් රෑට කෑමත් කා ඔවුන් සමග ආ ගිය විස්තර කතා කර නැවත එනවිට රෑ 11.00 යි.

ලොව විශාලතම ගොළුබෙලි කටුව

එදින එසේ ගෙවා දැමූ අප ඊලඟ දිනයේ ගියේ හූස්ටන් හි සෞඛ්‍ය කෞතුකාගාරයට. එහි ශරීරයේ සියළුම ඉන්ද්‍රිය පද්ධති මනාව විස්තර කර තිබෙනවා. ඒ වගේම මොළය වෙහෙසවන කුඩා ක්‍රීඩා රාශියක් තිබෙනවා. ඒ සියල්ල දැක බලාගෙන අපි ගියේ හූස්ටන් හි ළමා කෞතුකාගාරයට. එහිදී නම් පැටියා ලොකු සතුටක් ලැබුවා. විවිධ ක්‍රීඩා මෙන්ම ජල ක්‍රීඩා මධ්‍යස්ථානයත් ඔහුගේ සිත් ගත්තා. ඒ වගේම මෙක්සිකෝව පිළිබඳ තොරතුරු ඇතුළත් වෙනම කොටසකුත් තිබුණා. මෙක්සිකෝවෙත් ත්‍රී රෝද රථ තියෙනවා කියලා දැනගත්තේ එහිදී… ඒවාත් බජාජ්. ඉන්පසු අප ගියේ හූස්ටන් හි ස්වභාවික විද්‍යා කෞතුතාගාරයට. එහි ඩයිනෝසරයන්ගේ ආකෘති, වැනි දේ අතර ආවර්තිතා වගුවක්ද දක්නට ලැබුණා. එහි තිබූ විශේෂත්‍වය නම් ඒ වගුවේ විකිරණශීලී මූලද්‍රව්‍ය හැර අන් සියල්ල ප්‍රදර්ශනයට තබා තිබීමයි. දෙවන තට්ටුවේ තිබුණු සිප්පි කටු එකතුව නම් හරිම අගෙයි. ඒ සියල්ල දැක බලාගෙන අප ගියේ සමනළ උද්‍යානයට. සමනළ උද්‍යානයේ විවිධාකාර සමනළ විශේෂ නිදහසේ සැරිසරණවා. ඔවුනට අවශ්‍ය ගස්, මල් ආදිය එතැනම වගා කරන අතර උෂ්ණත්‍වය ආර්ද්‍රතාව ආදිය මනාව පාලනය කෙරෙනවා. ඒ සමනළ විශේෂ රිසි පරිදි පින්තූර ගැනීමට පුළුවන් වුනත් මියගිය සමනළයෙක්වත් එතැනින් රැගෙන යාම තහනම්.

නාසා ආයතනයේ ඇතුළුවීමේ ස්ථානය.

එදින සම්පූර්ණයෙන්ම ඒ කෞතුකාගාරවල ගතකළ අපි තෙවැනි දිනය යොදාගත්තේ හූස්ටන් හි නාසා ආයතනය බැලීමට. හූස්ටන් ගිහින් නාසා ආයතනය බැලුවෙ නැහැ කියන්නේ හරියට සිරීපාදේ ගිහින් සිරිපතුල වැඳපුදා ගත්තේ නෑ වගේ වැඩක්. ඉතින් අවසාන දිනය නාසා ආයතනය බලන්න යොදා ගත්තා. හැබැයි නාසා ආයතනය කියන තරම් ලොකුවක් ඇත්තෙත් නැහැ. එහි තියෙනවා පැය එකහමාරක සංචාරයක්, පොඩි කෝච්චියක් වගේ එකක. ඉතින් මේක යන්න සෑහෙන වෙලාවක් යනවා. ඒ ගිහින් ඇවිත් ඇතුළේ පොඩ්ඩක් ඇවිදලා ආපසු ඇවිත් එදා හවසම මොන්රෝ එන්න පිටත් වුනා. ඒ ගමනට තවත් පැය 6 ක් ගතවෙනවා. මොන්රෝ වල ගත කරපු දින දෙකේ විස්තර ඊලඟ දවසේ ගෙන එන්නම්.

අද වැඩට ගියෙත් නෑ ජරා ස්ට්‍රෝබෙරි වගයක් කාලා බඩේ අමාරුවක් හැදිලා…. ඇඟට පණකුත් නෑ දවසේම කන්නේ නැතිව ඉඳලා….

Advertisements

Posted on ජූනි 8, 2011, in ඇල්කෙමියාගේ දිනපොත. Bookmark the permalink. ප්‍රතිචාරයක් ලබාදෙන්න.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: