2011 ජුනි 09 : සැතපුම් 3741 ක් ගොස් සිතෙන් කොටසක් ඈ ලඟ තබා ආ ගමන: සිවුවන කොටස


බදාදා රෑ දහය පමණ වනවිට අප මොන්රෝ හි අපේ ඇමරිකානු දෙමව්පියන්ගේ නිවසට ලඟා වුනා. ඒ වන විටත් අපේ ඇමරිකානු අම්මා නම් නින්දට ගිහින්. ඒත් රැම්බින් මහතා අප එනතෙක් මග බලාන උන්නා. රෑ කෑම කාලා ආවත් හවස හදපු මකුළු කුස් වගයක් බෙදලා දුන්නේ එපා කියත්දී මයි. ඒ සියල්ලත් ගිල දාලා නින්දට ගියේ ඇඟේ තිබුණ මහන්සියටමයි. උදේ 8.00 ට විතර දැනුන කෝපි සුවඳත් එක්ක තමයි ආයෙත් ඇහැ ඇරුණේ. රැම්බින් මහතා හදපු කෝපි කෝප්පයත් රැගෙන අපි ගියේ නිවස අසළ වූ ගඟ ලඟට…. කෝපි කෝප්පයක් බිබී ගඟක් ලඟ උදෑසනක් ගත කරන්න ලැබෙන්නේ කවදාද ? ඉතින් ඒ සියල්ල අහවර වෙලා දිග කතාවකින් පසු අප ගියේ අපට උගැන්වූ සහ අප සමඟ විවිධ වැඩ සටහන් වලට සහභාගී වූ මහාචාර්ය වරු කිහිප දෙනෙකු මුනගැහෙන්නටයි.

ආචාර්ය මාරා ලෝබ් සහ මෝනා ඔලිවර් මහත්මිය

ඉන් ආචාර්ය මාරා ලෝබ් සහ මෝනා ඔලිවර් මහත්මියන් අප සමග ජාත්‍යන්තර ශිෂ්‍ය සංගමයේ අනුශාසකවරුන් ලෙස කටයුතු කළ දෙන්නෙක්. ඔවුන් දෙදෙනා අපට දිවා ආහාර වේලකින් සංග්‍රහ කළ අතර ආ ගිය තොරතුරු රාශියක් කතා කෙරුණා. ඉන් පසු අප ගියේ රසායන විද්‍යා දෙපාර්තමේන්තුවේ භෞතික රසායනය ඉගැන්වූ දෙපළක් වන ආචාර්ය ගැරී ෆින්ඩ්ලේ සහ ආචාර්ය ෆ්‍රෙඩ් වොට්සන් හමු වීමටයි. ආචාර්ය ෆින්ඩ්ලේ නම් පසුවන්නේ අසනීපයෙන්. ඔහුත් පිළිකා රෝගියෙක්. ආහාර මාර්ගයේ සහ අක්මාවේ පිළිකාවලට රසායනික චිකිත්සාවන් කරන ඔහු සිටින්නේ තරමක් දුර්වල තත්ත්‍වයේ. ඒ දෙදෙනා සමඟ බොහෝ වේලාවක් කතා කරමින් සිටියේ මොන්රෝ නගරය ගිණි ගන්නා තරම් රස්නය මධ්‍යයේ. ඒ වනවිට මොන්රෝ නගරයේ උෂ්ණත්‍වය ෆැරන්හයිට් 100 ක් දක්වා ඉහළ ගොස් තිබුණා. එය වාර්තාගත අගයක්.

අපේ ගමන පටන් ගත් ස්ථානය

අප පළමු වතාවට මොන්රෝ නගරයට පය ගසන දිනයේ වසර විසි පහකට පසුව නගරයට හිම පතනය වූ දවසක් වුනා. අද එය දැඩි රස්නය ඇති දවසක්. එකම වෙනස පළම වතාවට අප පැමිණියේ දෙසැම්බර් 31 වනදා විමත් මේ වතාවේ අප ගියේ ජුනි 02 වනදා වීමත් පමණයි.

ඉන්පසු අප ගියේ මොන්රෝ කලා උත්සවයට. අපේ ඇමරිකානු අම්මා හොඳ දක්‍ෂ චිත්‍ර ශිල්පිණියක්. ඇය විවිධ ශෛලීන්ගෙන් චිත්‍ර රාශියක් ඇඳ තිබෙනවා. ඒවාත් ඒ ප්‍රදර්ශනයේ තබා තිබුණා. එපමණක් නොවෙයි ඒ ප්‍රදර්ශනය ඇය යන අවසාන ප්‍රදර්ශනය විය හැකි නිසා ඇයට විශේෂ තැනක් ද ලැබුණා. ඔවුන් දෙදෙනා අපව මහා ඉහළින් සිය මිතුරන්ට හඳුන්වා දුන්නා. විශේෂයෙන් අපේ පැටියාව හැමෝටම හඳුන්වා දුන්නේ මේ අපේ ශ්‍රී ලාංකික මුණුපුරා කියලයි.

රැම්බින් පවුලෙන් කිහිප දෙනෙක්.... පිටුපස ඇගේ කලා කෘති

සෑහෙන වෙලාවක් එහි ගතකළ අපි නැවත් නිවසට පැමිණියේ තරමක් රෑ වෙලා. රැම්බින් මහතා වත්කර දුන් Moonshine නොහොත් කසිප්පු වඩියක් පානය කරන්නත් සිද්ධ වුනේ ඉන් පසුවයි. එය ඔහුට ඔහුගේ මිතුරකුගෙන් ලැබුන දෙයක්. ඇමරිකාවෙත් කසිප්පු පෙරීම නීතියෙන් තහනම්, ඒ විතරක් නොවෙයි අහු වුනොත් දඩයත් බොහොම වැඩියි. එසේ නමුත් සමහරු තමන්ට හදාගන්න සුළු පරිමාණයෙන්  බඩ ඉරිඟු යොදාගෙන කසිප්පු පෙරනවා. මේ ලෝකෙ රහක් නැති ඒ දියරය පළමු වතාවට පානය කළේ එදායි. ඉන්පසු ඇමරිකානු සීයයි පැටියයි දෙන්න එක්ක සෙල්ලම් කරන්න ගත්තේ පැටියටත් රෑ වුනාට ගානක් නැති ගානටයි….

ඇමරිකන් සීයයි ලාංකික මුණුපුරයි සෙල්ලම් කරනවා

පැටියව නිදාගන්න දාලා ආයෙම අපි පරණ තොරතුරු- ලින්ඩා මහත්මියගෙන පසුව ඔහුගේ අනාගතය වැනි දේ බොහොමයක් කතා කෙරුවා. ඔහු බොහෝ රට රාජ්‍යවල ඇවිදපු මනුස්සයෙක් වුනත් ඒ සියල්ලෙන් දැන් කිසිම වැඩක් නැති බවත්, ඉන්න දින කීපය දෙදෙනාම සතුටින් සහ උපරිම අන්දමින් හොඳින් ගත කිරීමට සැලසුම් කර ඇති බවත් ඔහු පැවසුවා. ඒ අතරම මට නොදැනීම නින්දත් ගිහින්….

පසුදා උදේ ඉඳන් ඇල්කෙමිච්චි බරටම වැඩ… කට්ටියට කන්න දෙන්න උයනවා. අපේ කෑම වේලක් කන්න ඒ හැම දෙනාම ආසාවෙන් හිටියා පමණක් නොවෙයි හැම දෙනාටම ඒක පතුරවලත්, කළා උත්සවයේදීත් හැමෝම ඇහුවේ අපේ කෑම වේල කෑවද කියලයි. ඉතින් මමත් අන්නාසි කපන්න, වම්බොටු කපන්න ආදී දේ වලට උදවු වුනා. ඉන්පසු මමත් පැටියාත් රැම්බින් මහතාත් ගියේ ගඟේ ඔරු පදින්නටයි. ඔරුවට නගින්නට පෙර පැටියාට ආරක්‍ෂක කබායක් දාන්නටත් අමතක කළේ නැහැ. ඇල්කෙමිච්චි පැමිණ අපි ඔරුවට නගිනු පොටෝ ගත්තත්, අපට ඔරුවේ කැමරාව ගෙනියන්න ලැබුණේ නැහැ.

ඔරු පදින අපි

හදිසියේවත් ඔරුව පෙරළුනොත් එය නැතිවෙන නිසා. තරමක් දුර යත්දියි අපට වැටහුනේ කැමරාව ගෙන ආවෙ නැති එකේ පාඩුව…. අප සමගම අප අයිනෙන් පිහිනගෙන ආවේ අඩි 4 ක් පමණ දිග කිඹුල් පැටියෙක්… ඌ යට යනවිටම නැවත ඈතින් මතු වුනේ තවත් එකෙක්….. ඒ වගේම ඉබ්බෝ සහ විශාල කුරුල්ලකු වන Blue Heron නම් කුරුල්ලාත් අප පසුකර ගියා…

ඇල්කෙමිච්චිගෙ කෑම මේසය

පැයක් පමණ ඔරු පැදි අප නැවත නිවසට එනවිට ඇල්කෙමිච්චි රස කෑමක් හදලා තිබුණා. සියළු දෙනාම එක්වෙලා ඒ කෑම භුක්ති වින්දේ අපට අනේක වාරයක් ස්තුති කරමින්….

සමුගැන්මට කාළය හරි

ඒ සියල්ල අවසන් වූයේ අප ඔවුන්ගෙන් සමුගන්න වෙලාවත් ලං කරමින්. අපේ ඇමරිකන් අම්මාට නම් බොහොම දුකයි. ඒ අපව නැවත දැකගන්න ලැබෙන්නේ නැති නිසා. අපටත් එය බොහොම කණගාටුදායක අවස්ථාවක් වුනා. මේ ලොවේ කවුරු හමු වුනත් සමුගත යුතු වෙනවා. ඒ දහමට ගරු කරමින් අප ඒ සියල්ලන්ගෙන් සමුගත්තේ හැමෝගෙම දෑස් කඳුළු පුරවගෙනයි… ඔවුන්ගෙන් සමුගෙන අපි නැවත ආවේ ස්ටාර්කවිල් හි සමීර මල්ලිගේ නිවසටයි. ඒ කතාව හෙට අසමු… වෙලාවක් තිබුණොත්….

Advertisements

Posted on ජූනි 9, 2011, in ඇල්කෙමියාගේ දිනපොත. Bookmark the permalink. ප්‍රතිචාරයක් ලබාදෙන්න.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: