2011 ජුනි 13: සැතපුම් 3741 ක් ගොස් සිතෙන් කොටසක් ඈ ලඟ තබා ආ ගමන : අවසාන කොටස


අපි මොන්රෝ වලින් පිටත් වෙලා සමීර මල්ලිගේ ගෙදරට එනවිට රෑ 9.00 පමණ වෙලා. ඒ වනවිට ජයනි නගා තවත් නගාලා හතර දෙනෙක් එක්ක ගජ රාමෙට වැඩ… අපට උයනවා… වෙලා තියෙන්නේ එහේ තවත් මිතුරකුගේ පුතාගේ උපන් දින සාදයක් තිබිලා ඒ කට්ටිය ඒකට ගිහින්. ඒ නිසා පරක්කු වෙලා… ඔක්කොම ආපසු ඇවිත් අපට උයනවා… ඉතින් එදා රෑ අපි එහෙන් සප්පායම් වෙලා නින්දට ගියේ පසුදා තවත් ගමන් කිහිපයක් යන්නට දාගෙනයි.

උදේ ඇහැ ඇරිලා සූදානම් වුනේ කට්ටිය ටුපෙලෝ හි පිහිටි මීහරක් උද්‍යානය සහ වාහන කෞතුකාගාරය නැරඹීමට යාමටයි. අපේ පැටියා කාර් පිස්සා කියලා දන්න නිසා ඒ අය ඒ ගැන හොයලා ගමන සූදානම් කරගෙන තිබුණා. සමීර මල්ලිගේ නිවසේ සිට එතැනට සැතපුම් 75ක් විතර දුරයි.. කොහොම වුනත් අපි වාහන දෙකක එතැනට ගියා.  මීහරක් උද්‍යානය හෙවත් අපේ නෑයො ඉන්න තැන ඇතුළු වෙන තැනම තිබුණේ ලොකු බස් රථ කිහිපයක්… ඉතින් අපි ඒකට ගොඩ වුනේ නෑයො බලන්න යන්න… මුලින්ම ඔන්න බයිසන් ගවයො ටිකක් හමු වුනා… නෑදෑයො වුනත් භාෂාව දන්නෙ නැති නිසා වැඩිය අදහස් නම් හුවමාරු කරගන්නට බැරි වුනා… ඉන්පසු පාර හරහා පැන්නේ යැක් ගවයො ටිකක්, අළුත උපන් පැටියෙකුත් එතැන හිටියා…ඒ අසලින්ම වාගේ අපේ දුරස්ථ නෑදෑයෙක් වන ඔටුවෙකුත් ගියා… ඒ අය පසුකරගෙන යනවිට තමයි අර ඇඟ පුරාම ඉරි ඉරි තියෙන සීබ්‍රා රංචුව හමු වුනේ… එයාලා හිටිය තැන නවත්තලා කට්ටියටම කන්න දුන්නා… නෑදෑයො බලන්න සාමාන්‍යයෙන් කෑම බීම අරන් යන එක සිරිතක් නේ… ඒ වුනාට මෙතැන ඉන්න අයට එතැන කෑම තියෙනවා.. අපට තියෙන්නේ බෙදා දෙන්න විතරයි… බස් එක එතැන නවත්තනකොටම සරණාගතයො ටිකක් වගේ දුවගෙන එනවා එතැනට…. ඒ අස්සේ ටෙක්සාස් ලෝන් හෝර්න් කියන අං දෙක දෙපසට විහිදිච්චි ටිකක් නාහෙට අහන්නෙ නැති එක්කෙනෙකුත් එතැන හිටියා… අපට පිඹ පිඹ කනවා.. කිසිම කළගුණ සැලකීමක් නෑ…. ඔන්න ඉතින් ඒ ගොල්ලන්ට කන්න දීලා නැවත එනකොට අපේ පැටියා ඈත බලාගෙන ඉඳලා කියපි… තාත්තා…. තාත්තා… අන්න කහපාට Corvette එකක් යනවා කියලා… බස් එකේ අර සත්තු බල බල හිටපු ඔක්කෝටම හිනා… මොකද අනිත් අය සත්තු බලන්න සැදී පැහැදී ඉන්නකොට එයාට හැතැක්මක් විතර ඈත පුංචි තිතක් වගේ පෙනෙන කාර් එකක් පෙනිච්ච නිසා… ඉතින් මම කිවුවා මිනිහා කාර් පිස්සා කියලා…

ඒ ගමන නිමා වෙලා අපි ගියේ කූඩු කරලා හිටපු සතුන් බලන්න. ඒ අතර සමහර අයට නම් අතින් කන්න දෙන්න පුළුවනි. තඩි කළු වලහෙක්, සිංහයෙක්, කොටියෙක් සහ විවිධ සර්ප වර්ග හිටියත් ඒ අයට කන්න දෙන්න කාටවත් ඉඩ දෙන්නේ නැහැ. ජිරාෆ්ලට, එළුවොන්ට සහ පැස්බරු, තාරාවො වගේ මිනිසුන්ට අනතුරක් නැති අයට තමයි කන්න දෙන්න පුළුවන්. ඉතින් ඒ අයටත් කන්න බොන්න දීලා අපි ආයෙත් ආවේ උෂ්ණත්‍වය ෆැරන්හයිට් අංශක 100 ක් පමණ වන ගිණි කාෂ්ඨක අවුවේ..

ඒ ගමන ඉවර වෙලා අපි ගියේ අර මුලින් කියපු වාහන කෞතුකාගාරයට. උදේ පැටියා ඇහැ ඇරෙනකොට පොඩි බෙල්ලේ ඇමැට්ටි වීමක් නිසා තරමක් අපහසුවෙන් සිටියේ…. මේ නිසාම බෙල්ලට පොඩි බෙහෙත් ප්ලාස්ටරයක් දාලයි හිටියේ රිදුම අඩු වෙන්න.. නමුත් දිගටම මිනිහට ඒ රිදුම තිබුණා. අර වාහන කෞතුකාගාරයට ගියා විතරයි බෙල්ලේ රිදුම කොහෙන් ගියාද නෑ… හැම වාහනයක්ම එයාගේ කැමරාවෙන් පින්තූර ගත්තා.. ඒ විතරක් නොවෙයි එතැන තිබුණ හිම වාහනයක්ම ඉදිරිපස ඉඳන් පින්තූර වලට පෙනීහිටින්නත් අමතක කළේ නැහැ.. එතැන 1887 දී හදපු රෝද තුනේ බෙන්ස් එකක් ඇතුළුව තවත් බොහෝ පැරණි වාහන එතැන තිබුණා.

ලෝකෙ හදපු එකම Camerovette එක

එල්විස් ප්‍රෙස්ලිගේ ලින්කන් ලිමෝසීන් එක, ලෝකයේ හදපු එකම එක කැමෙරරෝ-කෝවේට් හයිබ්‍රිඩ් (Camerovette) කාර් එක ඇතුළු පැරණි වාහන රාශියක් එතැන තිබුණා…

ප්‍රෙස්ලි අල්විස් ගෙ ලින්කන් කාර් එක

මේ සියල්ල බලාගෙන ආපසු එනවිට සවස් වෙලා. ස්ටාර්ක්විල් හි මිසිසිපි රාජ්‍ය සරසවියෙන් පාලනය කෙරෙන රෝස උයන නරඹන්නට අපි අමතක කළේ නැහැ. ඒ අවස්ථාවේ ඇත්තෙන්ම එතැන මගුල් උත්සවයක්.. අපි ඒ අයට බාධා නොකර රෝසමල්වල පින්තූර අරගෙන සමීර මල්ලිගේ නිවස බලා ගියා… ඒ වන විට ඔහුගේ මිතුරන් ක්‍රිකට් තරඟයකට ලෑස්ති වෙනවා. අපිත් එතැනට ගොස් එයට සහභාගි වුනා… සුපුරුදු පරිදි මම නම් ලකුණු බිංදුවකට දැවී ගියා… නමුත් හොඳ විනෝදයක් ලැබුවා වගේම අළුත් මිතුරන් පිරිසක් හමු වන්නටත් ලැබුණා…

එදා රෑ කෑමත් රසායන විද්‍යා ආයතනයේ ආදි ශිෂ්‍යා නංගි කෙනෙකුගෙන් ලැබුණා… ඒ සියල්ල නිම වෙලා සමීර මල්ලිගේ නිවසට පැමිණ ඉක්මනින්ම නිදා ගත්තේ පසුවදා උදේ අවදි වී ආයෙම ඩෙලවෙයාර් බලා එන සැතපුම් 987හි ගමන අරඹන්නටයි. පසුවදා උදෙන්ම ඇහැ ඇරී ජයනි නගා හදලා දුන්න මාළුපාන් මල්ලත් උස්සන් ඒ අයට සමු දීලා අපි ඩෙලවෙයාර් බලා නැවත් ආවා. රෑ 10.00 වගේ වනවිට නැවත් කරදරයක් නැතිව නිවසට එන්නට පුළුවන් වුනා.. අඟෙ මහන්සියටම ආපු ගමන් නාගෙන නින්දක් ගත්තා…

ඔන්න ඔහොමයි අපේ දවස් දහයේ ගමන නිම වුනේ.. ගමන නිමා වෙනවිට අපි සැතපුම් 3741 ක් දුර ගමන් කරලා තිබුණා… අපි ඒ ගිහින් එනවිට අපේ සිතින් කොටසක් අපේ ඇමරිකානු අම්මා ලඟ තියලයි ආවේ… ඇය ලඟදිම අපෙන් සමු ගන්නවා කියලා හිතෙනකොටත් හරිම දුකයි, තමන් ඉක්මනින්ම මිය යනවා කියලා දැන දැන තවත් දවසකට ඉර එළිය බලන්න ජීවත් වන බලාපොරොත්තුවෙන් තමයි ඇය හැමදාම නින්දට යන්නේ… දවසක ඇය ආයෙම නැගිටින එකක් නැහැ. ඒ දවස ලඟ නොවී දුර වේවා යි කියා තමයි හිම දෙනාගෙම පැතුම… ගමන දුර වුනත් ඈ බලලා ආපු එක ගැන නම් ඇයටත් අනෙක් අයටත් අපටත් සතුටක්, ඈ මිය යන්නට පෙර එක වතාවක් අපේ අතින් උයපු කෑම වේලක් කවන්න තරම් අපි ආයෙම වාසනාවන්ත වුනා….

Advertisements

Posted on ජූනි 13, 2011, in ඇල්කෙමියාගේ දිනපොත. Bookmark the permalink. ප්‍රතිචාර 2.

  1. අනේ පව් ජයනි අක්කි පොඩි බඩවල් ටිකකටද කන්න උයන්න ඇත්තේ? මොනවා උනත් ජයනි අක්කියි සමීර අයියායි ආත්ම ගානකට හරියන්න පින් එකතු කර ගන්න ඇති ඔයාලට කන්න දීල…..BDW අර ඉරි ඉරි හරක් ඉන්න 4ටො එක හරිම ලස්සනයි 😉 seems pasindu enjoyed da jrny alots…

  2. පහුගිය දොහේ වැඩ හොඳටම, වෙලාවක් තිබුනෙම නෑ නෙ මේ පැත්තෙ ඇවිල්ල යන්න. කියවන්න ගොඩක් තියෙනෙව නේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: