2011 ජුනි 16 : අපේ හිස් බව…..


අද උදෙන්ම රසායනාගාරයට ගියේ වැඩ ගොඩක් තියෙන නිසා… විශේෂයෙන්ම මම භාරව ඉන්න Glove Box එක ඊයේ Regenerate එහෙමත් නැත්නම් ප්‍රතිජනනය කළා. Glove Box එකේ ඇතුලේ සංසරණය වන නයිට්‍රජන් වායුව උත්ප්‍රේරකයක් හරහා යවා එහි ඇති ඔක්සිජන් සහ ජලය ආදිය නිරන්තරයෙන් අයින් කරනවා. එසේ කිරීමෙන් තමයි ඒ තුළ වූ පරිසරය ඔක්සිජන් සහ ජලවාෂ්ප වලින් තොරව තබා ගන්නේ. පසු ගිය අවුරුද්දේම දිගින් දිගට ක්‍රියා කරවීම නිසා මේ උත්ප්‍රේරකයේ ක්‍රියාකාරීත්‍වය තරමක් අඩාල වෙලයි තිබුණේ. මේ නිසා නැවත මේ උත්ප්‍රේරකය ප්‍රතිජනනය කිරීමකට ලක් කළා ඊයේ. එය කළේ හයිඩ්‍රජන් වායුව මේ උත්ප්‍රේරකය හරහා යැවීමෙන් සහ උත්ප්‍රේරකය රත් කිරීමෙන්. මේ සියල්ල වන්නේ ස්වයංක්‍රීයව, නමුත් නිසි පරිදි සිදු වීම නිරීක්‍ෂණය කළ යුතුයි. යම් හෙයකින් හයිඩ්‍රජන් ටැංකිය අතරමගදී ඉවර වුනොත් මුළු කටයුත්තම නැවත අරඹන්න වෙනවා. මේ නිසා බොහොම පරීක්‍ෂාවෙන් තමයි සිටියේ. පිරුණ හයිඩ්‍රජන් ටැංකියක පීඩනය වර්ග අඟලට පැස්කල් 2000 ක් වෙනවා. නමුත් එක් ප්‍රතිජනන චක්‍රයකදී මේ පීඩනයෙන් වර්ග අඟලට පැස්කල් 600- 700 ත් අතර ප්‍රමාණයක් භාවිතා වෙනවා. මෙසේ ප්‍රතිජනනය කිරීම් දෙකක් දැනට පවතින ටැංකියෙන් කර තිබූ නිසා තුන්වන ප්‍රතිජනන චක්‍රය අවසාන වනතෙක් ටැංකිය පවතීද යන සැකය තමා තිබුණේ.. මේ නිසා උදෙන්ම ගිහින් බැලුවේ ටැංකිය ඉතිරි වෙලා තියේද කියලා. වාසනාවට වගේ අන්තිම කට්ට ලඟින් නැවතිලා තිබුණා. ඉන්පසු  හිස් වූ හයිඩ්‍රජන් ටැංකිය නැවතත් හිස් ටැංකි තබන ස්ථානයේ තබා, Glove Box එක නැවතත් යථා තත්ත්‍වයට ගෙන ආවා. ඒ වගේම ඒ හා සම්බන්ධ රික්ත පොම්ප වල දැවී ගිය තෙල් ඉවත් කර නැවත අළුත් තෙල් දමා ඒවාත් ප්‍රතිජනනය කළා.  උදේ වරුවෙ බොහෝ වෙලාවක් ගියේ මේ දේ වලට. ඉන්පසු තමයි අනෙක් අය සහභාගි වෙලා හිටිය පිරිසිදු කිරීමේ වැඩ කටයුත් වලට සහාය දෙන්න ගියේ. දවසෙන් බොහෝ වෙලාවක් ගත වුනේ පිරිසිදු කිරීමේ කටයුතු වලටයි. දැන් නම් රසායනාගාරය යම් පිළිවෙලක් තියෙනවා. ඒ වගේම Glove box එක පාවිච්චි කිරීමේ ක්‍රියා පටිපාටියක් නැත්නම් Standard Operating Procedure එකක් ලියලා තවත් නීති කන්දරාවක් ලියලා කට්ටියට හෙට ඉදිරිපත් කරන්නයි බලාපොරොත්තුව. ඒ ලියවිල්ලත් ලියලා ඉවර කරලා ගෙදර එන්න හදනකොටයි ධාරාණිපාත වරුසාවක් කඩන් වැටුනේ… ඒ වැස්ස තුරල් වෙනකල් ඉඳලා ගෙදර එනකොට රෑ 8 යි. පැටියව නිදි කරවලා පොඩ්ඩක් රූපවාහිනිය නරඹලා ඉවර වෙලා තමයි මේ දිනපොත කුරුටු ගාන්නේ.

රූපවාහිනියේ Science Channel කියන නාලිකාවේ බොහොම අපූරු වැඩසටහනක් යනවා. Morgan Freeman ඉදිරිපත් කරන Through the Wormhole කියන වැඩසටහන බොහොම අපූරු, අළුත් දේවල් බොහොමයක් ඉගෙන ගන්න තියෙන වැඩසටහනක්. මට දිනපතා බලන්නට බැරි වන නිසා ඒවා පටිගත කරන්න දාලා තමයි තියෙන්නේ. ඉඩ තියෙන වෙලාවට බලනවා. අද බලපු වැඩසටහන මේ වැඩසටහන් මාලාවේ මේ වාරයේ පළමුවැන්න. ඉන් කියැවුනේ අපේ ශරීර හැදිලා තියෙන කුඩාම අංශු පිළිබඳව. අපි සාමාන්‍ය පෙළ කාළයේ ඉගෙන ගන්නේ නම් මූලද්‍රව්‍ය හැදී තියෙන්නේ පරමාණු වලින් බවයි. පරමාණු න්‍යෂ්ඨිය සහ ඉලෙක්ට්‍රෝණ ලෙස බෙදෙන බවත්, න්‍යෂ්ඨිය ප්‍රෝටෝන සහ න්‍යුට්‍රෝණ ලෙස බෙදෙන බවත් අප ඉගෙන ගත්තා. උසස් පෙළ දී මේ න්‍යෂ්ඨියේ තවත් උපපරමාණුක අංශු තිස් හතලිස් ගාණක් තියෙන බව ඉගෙන ගන්නවා. විශ්ව විද්‍යාලයේ දී නම් ක්වාර්ක්ස් පිළිබඳවත් ඉගෙන ගන්නවා. මෙයින් එහාට තවමත් අපි පරමාණුව බෙදා වෙන් කරගන්නට සමත් වෙලා නැහැ. මේ උප පරමාණුක අංශු සහ ප්‍රෝටෝන න්‍යුට්‍රෝණ සියල්ලම තැනී ඇති ක්වාර්ක්ස් පවා ඇතුලත හිස් වූ අංශු වර්ගයක් බවයි ඉන් කියැවුනේ… මේ අනුව අපි මහා හිස් මිනිසුන් සමූහයක් ලු. අපේ ශරීරයේ ඇති හත් ට්‍රිලියන ට්‍රිලියනයක් පරමාණු වලින් (Seven trillion trillion atoms) වැඩි අවකාශය හිස්….

ඉතින් මේ හිස් ශරීරයේ භෞතික ස්වභාවය අපි හැමෝම කතා කළත් අපේ මනස හැදිලා තියෙන ආකාරය නම් කිසි කෙනෙකුට විග්‍රහ කිරීම අමාරුයි. හිත තියෙන්නේ මොළයේද හදවතේද කියලා කියන්න තවමත් කාටවත් බෑ… හිත රිදෙනවිට අපේ පපුව රිදුම් දෙන්නේ පපුවෙන් හිතන නිසාද ? අපි හැමෝම දන්නවා හදවතට හිතන්න බෑ කියලා… නමුත් සිතේ හැඟීම් පපුවෙන් ප්‍රකාෂ වෙන එක ගැන කාටවත් තවමත් කියන්න පුළුවන් වෙලත් නෑ… කොහොම වුනත් මගේ හැඟීම නම් මේ හිස් භෞතික ශරීරයේ හිස් බව නැති කරන්න පුළුවන් එකම විදිය මනස දියුණු කරලා පමණයි කියන එකයි. අපි හැමෝටම රහත් වෙන්නවත් මහණ වෙන්නවත් බෑ… නමුත් අපි ගත කරන ජීවිතය අපටත්, අනුන්ටත් අර්ථවත්ව ගත කරන්න පුළුවන් නම් අපේ මේ හිස් ශරීරයට පිරුණ බවක් දෙන්න පුළුවන් වේවි නේද ?

හිතන්න………

Advertisements

About Alchemiya

ආචාර්ය පියල් ආරියනන්ද, ජීව අකාබනික රසායන විද්‍යාව අංශයෙන් ඇමරිකාවේ ඩෙලවෙයා විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා වසර කිහිපයක් එහිම විද්‍යා පර්යේෂකයෙකු ලෙස සේවය කර, ජර්මනියේ BASF රසායන ආයතනයෙහි රසායනික උත්ප්‍රේරක සම්බන්ධයෙන් පර්යේෂණ කළ විද්‍යාඥයෙකි. හරිතාගාර ආචරණයට ප්‍රධාන දායකත්‍වයක් දක්වන කාබන් ඩයොක්සයිඩ් වායුව රසායනික සංයෝගවලට පරිවර්තනය කළහැකි රසායනික පර්යේෂණවලට ඉතා ඉහළ දායකත්‍වයක් දී ඇත. ලංකාවට පැමිණි පසු මයිඩාස් සේෆ්ටි ආයතනයෙහි පර්යේෂණ ප්‍රධානී වශයෙන් ද කටයුතු කර, දැනට MAS Holdings අනුබද්ධ Bodyline ආයතනයෙහි නවෝත්පාදන ප්‍රධානී වශයෙන් කටයුතු කරයි. රැකියාවට අමතරව ඔහු විද්‍යාත්මක Blog අඩවියක් ද, රිවිර -රිවිනෙත කලාපයට සතිපතා ලිපි පළකරන විද්‍යා ලේඛකයෙකි. මෙයට අමතරව ඔහු නවෝත්පාදන සහ නිර්මාණශීලීත්‍වය පිළිබඳව දේශන සහ වැඩමුළු ද පවත්වයි. Dr. Piyal Ariyananda was schooled at Mahinda College, Galle and obtained his first degree at the Institute of Chemistry, Ceylon. He excelled the studies being the Batch top in the First year and overall Batch second in the final year exams. After two years of work as a chemist at the Unilever Sri Lanka, Dr. Piyal received a scholarship to pursue his Masters Degree at the university of Louisiana, Monroe where he became the most outstanding Graduate student of the Department of Chemistry in 2003 at his graduation. Dr. Piyal did his Ph.D at University of Delaware, with another scholarship to study his Ph.D in Chemistry, where he studied the conversion of Carbon Dioxide to useful chemical compounds. After graduation with a Ph.D he continued the research at the same university in Energy generation through Carbon Dioxide conversion for two years. Dr. Piyal was offered a scientist position at the Catalytic Research Lab at BASF – Germany and prior to return to Sri Lanka, He worked on converting Carbon Dioxide to Superabsorbant materials, which are used in Diapers if simply explained. Prior to the current assignment, Dr. Piyal headed the R&D team at Midas Safety, a safety and sports glove manufacturing organization located in the Export processing zones in Sri Lanka. His team introduced several new products and technologies into the glove industry, which includes a recent international patent on a new method of making a special type of a coating. His team won the most outstanding innovation team Gold award, in the 2015 National Chamber of Exporters’ award Ceremony. Dr. Piyal is currently heading the Bodyline Innovation team in General Manager capacity. Bodyline is one of the largest business units in MAS holdings with over 15000 employees. He uses the latest innovation methods in the world to innovate the products, and new business models to cater the latest trends in apparel market. Apart from his professional work, He is a science communicator and he writes a special article in Sunday Rivira – Rivinetha, and a science fiction to the same paper. He is also a trainer of Science teachers working with the department of education, and the secretary of the Royal Society of Chemistry, Sri Lanka Section.

Posted on ජූනි 16, 2011, in ඇල්කෙමියාගේ දිනපොත. Bookmark the permalink. ප්‍රතිචාර 7.

  1. aduma gaane anunta ho thamanta arthawath wenna bari nam “thamange paaduwewath anunta karadarayak nowi jeewath wela enna puluwan nam” ekath watinawa…..api mona aagama adahala thibbath/nothibbath manussayek hatiyata apita aduma tharamin karanna puluwan lokume de meka thamai……

    කැමතියි

  2. ග්ලව් බොක්ස් කතවට පහලින් තියෙන සයන්ස් චැනල් කතාවනම් කනට මී පැණි වගේ. ඔය ජාතියේ ප්‍රෝග්‍රෑම්ස් වලට මම හරිම පෙරේතයි. කොහේද අපේ ටී වී වල මෙගා ඇරෙන්න ඔය වගේ දේවල් පෙන්නන එකක්යැ. මීට කාලෙකට ඉස්සර BBC The Universe, How its made, වගේ සීරීස් බාගෙන බැළුව. ඒවයෙ තියන වර්ම් හෝල්ස්, බ්ලැක් හෝල්ස්, සුපර් නෝවා, ගැමා රේස්, සෝලා වින්ඩ්ස් මාව පිස්සුවට්ටල. ඔන්න ඔය වෙලාවට නං හිතෙනව අපේ ටීවී පොලොවෙ ගහන්න.

    Through the warmhole ඩවුන්ලෝඩ් කරන්න බැලුව, අපෙ අප්පෝ එක එපිසොයිඩ් එකක් 1GB වලට කිට්‍ටුයි නෙව. ඔය වෙලාවට ඩොංගලෙත් පොලොවෙ ගහන්න හිතෙනව.

    කැමතියි

  3. පානීය ජලයේ පවතින ආසනික් As ප්‍රතිශතය ,සොයා ගැනීමට හැකි පරීක්ෂණාත්මක ක්‍රමයක් කියල දෙන්න පුළුවන් ද?

    කඨින ජලයේ තිබෙන Ca සමඟ ප්‍රතික්‍රියාකර සෑදෙන Ca3(AsO4)2 ජලයේ ද්‍රාව්‍යයි නේ ද?

    සාමාන්‍ය පරීක්ෂණාගාර ක්‍රමයන් යටතේ සොයා ගත හැකි ක්‍රමයක් නැතත්, ඉතා ඉහල පහසුකම් යටතේ සොයා ගත හැකි ක්‍රමයක් වුනත් කමත් නැහැ. නමුත් සරල වන තරමට හොඳයි.

    යම් උපකරණයක් භාවිතයෙන් උදා- spectrophotometer වැනි උපරකරණ භාවිතයෙන් සෙවිය හැකි ද?

    ( ඔබගේ දැනුම උරඟා බැලීමට නොව , මගේ දැනුම වර්ධනය කර ගැනීමට මට අසන ලද බව කාරුණිකව සලකනවා ඇතැයි සිතමි ර්‍ජ

    කැමතියි

    • පානීය ජලයේ ඇති ආසනික් ප්‍රමාණය මැන බැලීමේ සරළ උපකරණ දැන් වෙලඳපොලේ තියෙනවා. ලංකාවෙ නම් ඒවා තිබෙනවා ද යන්න සැක සහිතයි.
      මෙන්න මෙතැනින් ඒ පිළිබඳ වැඩි විස්තර ලබා ගන්න පුළුවනි
      http://www.state.nj.us/dep/dsr/arsenic/guide.htm

      කැල්සියම් නිසා ආසනික් ජලයේ දියවීම වැඩි වෙනවා. රජරට ප්‍රදේශයේ ජලයේ ආසනික් ප්‍රමාණය වැඩි වීමට ජලයේ කිවුල් බව හේතුවක් වන්නට පුළුවනි.

      පුළුවන් නම් ආසනික් ටෙස්ටින් කිට් එකක් ගෙන්න ගන්න දන්න කෙනෙකුට කියලා… වැඩි මිලක් නැහැ.

      කැමතියි

  4. දිනෙන් දින විද්‍යාව දියුනූ වෙද්දි ඔහොම තමා

    කැමතියි

  5. මේ මොගන් ෆ්‍රීමන් කියන්නෙ බැට්මෑන් බිගින්ස් ෆිල්ම් එකේ applied science කාරය නේද? 😀

    කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: