Daily Archives: ජූනි 21, 2011
2011 ජුනි 21 : හැමදාම එකවගේ නෑ…..
අද උදේ වුනේ භයානක හීනෙකුත් එක්ක… භයානකයි කියන්නේ අපේ රසායානාගාරයේ Glove Box එක කැඩිලා සුනු විසුණු වෙලා තියෙනවා දැක්කා…. අනේ මන්දා මටත් පේන හීන…. සතියකට දවස් දෙකක් වත් රසායනාගාරය ගැන හීන පේනවා… මට නම් ඇත්තටම පිස්සුද මන්දා…..
අද උදෙන්ම නැගිටලා ඉක්මනටම රසායනාගාරයට ආවේ අර කැඩිච්ච NMR එක සුද්ද කරන්න උදව් වෙන්නයි. අදාල නිලධාරියාට වෙච්චි වැඩේ පැහැදිළි කරලා දීලා ඔහුට ඒක ගලවන්න උදවු කළා. උදේ වරුවම ගත වුනේ ඒක සුද්ද කරලා නැවත සකස් කරලා පිළිවෙලක් කරන්නයි. ඒ නිසා යන්තම් සිතට සහනයක් දැනුනා…. ලොකු අලාභයක් වුනා නම් ලොකු බැණුමකුත් අහගන්න වෙනවා…. වැඩේ කියන්නේ මේ වෙච්චි සිද්ධිය නිසා ඒ උපකරණය හොඳට සුද්ධ පවිත්‍ර කරගන්නත් අවස්ථාවක් ලැබුණා…
හවස් වරුවම වැඩ. තමන්ගේ වැඩයි අනුන්ගේ වැඩයි. ඒ වැඩ ඉවර කරලා හනික ගෙදරට දුවලා ගියේ පැටියගේ මූණ දකින්න. දවස් ගානක් අසනීපව ඉන්න නිසා හරිම ඈලි මෑලි වෙලා.. වෙනදා ගේ පෙරළන්න දුව පැන ඇවිදින පැංචා අද ඇඳට වෙලා… දුකේ බෑ…. හවස ගෙදර ගිහින් පැටියට කවලා ආයෙම රසායනාගාරයට ආවේ ඉතිරි වැඩ ටික කරන්න..
ඊයෙ හදපු සංයෝගයක් ස්ඵටික හැදෙන්න දාලා තමයි මේ කුරුටු ගාන්න පටන් ගත්තේ. අද නම් තරමක හොඳ කල දසාවක්….
බලමු හෙට කෝම වේද කියලා………..