Daily Archives: ජූනි 26, 2011
2011 ජුනි 26 : නලින් සිල්වාගේ කබරගොයා තලගොයා කරගත් විද්‍යාත්මක ක්‍රමය අපට ගැලපේද ?
ඊයෙත් සුපුරුදු පරිදි රසායනාගාරයේ වැඩ… සෙනසුරාදා කියලා නෑනේ අපට. අඩු පඩියට වැඩි වැඩ… ලංකාවෙ හිටියා නම් ස්ට්‍රයික් එකක් වත් කරන්න තිබුණා… මෙහේ ඒවා කරන්න හිතෙන්නෙත් නෑ….
ඒ වුනාට සුළු සුළු ප්‍රශ්න තිබුණත්, අපි වැඩ කරන්නේ නම් හරිම සතුටෙන්. මොකද කියනවා නම් අළුතෙන් දෙයක් සොයාගන්න එක ජීවිතයේ එක් අංගයක් වෙලා… සතියකට කුමක් හෝ දෙයක් අළුතෙන් ඉගෙන ගත්තෙ නැත්නම්, හෝ අළුත් දත්තයක් ලබා ගත්තෙ නැත්නම් හරියට දවසක් දෙකක් කෑවෙ නෑ වගේ දැනෙන්නේ. මේදවස්වල මම නම් වෙහෙසෙන්නේ අපේ රසායනාගාරය මගින් පළ කරන්නට යෙදෙන පළමු වන පර්යේෂණ ලිපියට අවශ්‍ය කරුණු සකසන්නයි. මේ ලිපිය ලියන්න ගත්තේ ඊයෙ වුනත් වැඩ අධික බව නිසාම අතපසු වුනා. ඉන්පසු ඊයේ සවස අපේ රසායනාගාරයේ සියළුම දෙනා ගියේ අපේ සාමාජිකාවක් සහ ඇයගේ සැමියා විසින් මිලදී ගත් නව නිවසටයි. එහි තිබූ සාදයට සහභාගී වී නැවත පැමිණෙන විට මධ්‍යම රාත්‍රියත් පහුයි. ඇල්කෙමිච්චියි පැටියයි නම් හොඳටම නිදි. අද උදේ වරුවම ගෙවුනේ පැටියා එක්ක…. ගොඩ දවසක් මාත් එක්ක ගත කරන්න බැරි වීම නිසා සාංකාවෙන් වගේ තමයි හිටියේ.. ඉන් පසු තවත් මිතුරියකගේ සාදයකට ගොස් ඒ නිවසේම පැවැත්වූ සුළු ගිණිකෙළි සංදර්ශනයකුත් නරඹලා ඇවිත් තමයි මේ ලියන්නේ. රසායනඥයෝ වුනාම ගිණිකෙළි ආදී දේවලට පුදුම ඇල්මක් නේ අපිට තියෙන්නේ…. මේ අතරවාරයේ තමයි නලින් සිල්වා උන්නැහේගේ අළුත්ම නාටකය ගැන කියවන්න ලැබුනේ.
ලෝකයේ පළමු වැනි වතාවට අනාථ දෙවියෙක් මේ වගේ දෙයක් ඇවිත් කිවුවාම ඉතින් නොසලකා හරින්න පුළුවනෑ…. ඒති ඔය දෙවියගෙන් අහන්න මට ප්‍රශ්න කීපයක් තියෙනවා.
- නලින් සිල්වා උන්නැහේට අනුව ලංකාවේ රසායනඥයෝ හොරු. ITI ආයතනයට දීපු සාම්පලයක් පරීක්‍ෂා කරන්නේ නැතිව ආපසු එවලාලු. එතැන හොරු ඉන්නවා තමයි. කාලයක් මමත් එතැන වැඩ කළානේ… එතැනත් සාමාන්‍ය රජයේ ආයතනයක්. ඒත් එතැන දැඩි කැපවීමෙන් වැඩ කරන අයත් ඉන්නවා. ඒ වගේම ITI එක විතරක් නෙවෙයි මේ පරීක්‍ෂණ කරන්නේ. වෙනත් පෞද්ගලික රසායනාගාර කිහිපයක්ම තියෙනවා. නලින් සිල්වට කරන්න තිබුණේ ඒ සාම්පල කිහිපයක් ඒ ඒ රසායනාගාර කිහිපයටම දී ඒ වාර්තා සැසඳීම නොවේද ?
- ආසනික් සාමාන්‍ය ජලයේ දියවෙනවාට වඩා වැඩියෙන් කිවුල් හෝ කඨින ජලයේ දියවෙනවා. ඒ කඨින ජලයේ ඇති Ca කැල්සියම් – ආසනික් සමග Ca(AsO4)2 කැල්සියම් ආසනේට් සංයෝගය තනන නිසා. මේ තත්ත්‍වය ඔවුන් සැලකිල්ලට ගත්තාද ?
- ඉහත කී තත්ත්‍වය නිසා ඇතිවන ආසනික් මට්ටම් වෙනස රටේ අනෙකුත් ප්‍රදේශවල ජල සාම්පල සමග සැසඳුවාද ?
- අනෙක් ප්‍රදේශවල පස් සාම්පල සැසැඳුවාද ?
- 2007 වසරේ කොළඹ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය එච්. ඩී. ගුණවර්ධන ඇතුළු පර්යේෂක කණ්ඩායමක් සොයාගත් පරිදි, රජරට සහ උතුරු මැද ප්‍රදේශවල ජලයේ නයිට්‍රේට සාන්ද්‍රණය අධික බව සොයාගෙන තිබුණා. එයට ප්‍රධාන හේතුව පොහොර භාවිතයයි. පොහොර භාවිතය නිසා පසට එකතු වන නයිට්‍රේට ජලයට එකතු වන අතර කිසිදු රසායනික ක්‍රමයකින් නයිට්‍රේට ජලයෙන් ඉවත් කළ නොහැකි වීම මෙයට හේතුවයි. ( බටහිර විද්‍යාවට අනුවද, සියළුම නයිට්‍රේට ජලයේ ද්‍රාව්‍ය වේ) මේ පර්යේෂණය නලින් සිල්වා ප්‍රමුඛ පිරිස සැලකිල්ලට ගත්තාද ?
- ලංකාවේ සිදු කළ පර්යේෂණයේදී අම්ල සහ භෂ්ම ප්‍රමාණය වෙනස් කර භාවිතා කළ බව ඔවුන් පවසනවා. පිළිගත් ක්‍රමයක පැහැදිලිව යෙදිය යුතු අම්ල-භෂ්ම ප්‍රමාණය නොසලකා, තමන්ට කැමති ප්‍රමාණවලින් භාවිතා කර ඒ ලැබෙන ප්‍රතිඵල පිළිගත් ක්‍රම සමඟ සැසැඳීමේ ක්‍රමයක් තිබෙනවාද ?
- එසේ පිළගත් ක්‍රම වෙනස් කිරීමෙන් ලැබෙන ප්‍රතිඵල පිළගන්නට අපට හැකියාවක් තිබෙනවාද ?
ලංකාවේ බොහෝ දෙනා තුළ රසායන විද්‍යාව පිළිබඳ ඇත්තේ අල්ප මාත්‍රික දැනුමක්, ඒ වගේම බියක්. යමෙක් ජලයේ ආසනික් ඇතියි කිවහොත්, හෝ තීන්ත වල ඊයම් ඇතැයි කිවහොත් ඒ දෙකම භාවිතා නොකර ඉන්නට තරම් බියක් සාමාන්‍ය ජනතාව තුළ ඇති වීම අතිශයින්ම ස්වභාවිකයි. මේ බව දැන දැනත් නලින් සිල්වා වැනි (දැනුම් තේරුම් ඇතැයි කියන) පුද්ගලයෙකු සාමාන්‍ය ජනතාව මෙසේ බිය වැද්දීම අතිශයින් පහත් තත්ත්‍වයක්.
මා නම් පවසා සිටින්නේ මෙය ස්වාධීන මහාචාර්ය මණ්ඩලයකින් යුත් කමිටුවකින් සොයා බැලිය යුතු කරුණක්. මහාචාර්ය එච්. ඩී. ගුණවර්ධන. මහාචාර්ය ඉලේපෙරුම, ආචාර්ය අසීස් මුබාරක්, ආචාර්ය එස් ඒ ප්‍රනාන්දු වැනි විශ්ලේෂණයෙහි හසළ බුද්ධියක් ඇති මණ්ඩලයක් මගින් මෙය අධීක්‍ෂණය කර, වරක් දෙවරක් නොව, අවම වශයෙන් පස් වතාවක් වත් සිදු කරන ලද පරීක්‍ෂණවල සාමාන්‍ය අගයයන් ලබාගෙන කළ යුතු මනා පර්යේෂණයකින් අනතුරුව එළි දැක්විය යුතු බැරෑරැම් ප්‍රකාශණයක් විය යුතුයි.