Monthly Archives: ජූලි 2011

ඔබ සමාජයීය වෙබ් අඩවි පාවිච්චි කරන්නේ කුමක් සඳහාද ?


ලංකාවේ ෆේස්බුක් සාමාජිකයෝ සංඛ්‍යාව මිලියනයක් ඉක්මවූවා කියලා කොහෙදෝ තිබුණා… ඒ වගේම  CNN වෙබ් අඩවියේ තිබුණ ලිපියක් කෙරෙහි මගේ අවධානය යොමු වුනා. ඒ තමයි ෆේස්බුක්, ට්විටර්, සහ දැන් ප්‍රචලිත වන ගූගල් ප්ලස් වැනි සමාජ වෙබ් අඩවි ඇබ්බැහිවීම් කරා ගෙනයා හැකි බව..

මම දන්න සමහර අය ඉන්නවා ෆේස් බුක් එකේ ජීවත් වෙන.. මමත් කාලයක් ඇබ්බැහි  වෙලා වගේ ඉඳලා දැන් නම් ෆේස් බුක් යන්න වෙලාවක් වත් නැති තරම්.

මුලින්ම මට ෆේස් බුක් ආරාධනා බොහොමයක් ගලා ආවත් මෙය ඇබ්බැහිවීමක් කරා යා හැකි බව දැන දැනම මම මුල් කාළයේ එහි සාමාජිකත්‍වය නොගෙන සිටියා. නමුත්, පවුලේ කිහිප දෙනෙකු සාමාජිකත්‍වය ලබා ගැනීමත්, පැටියාගේ පින්තූර ආදිය ඔවුන් හා බෙදා හදාගැනීමේ පහසුවත් නිසා තමයි මම ෆේස්බුක් සාමාජිකයෙක් වුනේ.. වැඩිපුර වැඩ නැතිව සිටි කාළේ නම් සෑහෙන්න ෆේස් බුක් එකේ කාළය ගත කළා..

ඉඳලා හිටලා නොයෙක් නොයෙක් දේවල් මම දැම්මත්, දැන් නම් ෆේස්බුක් එක වැඩිය පාවිච්චි කරන්නේ ඇල්කෙමිච්චි… මම වැඩියෙන්ම පාවිච්චි කරන්නේ මගේ බ්ලොග් අඩවියේ ඇති ලිපි ප්‍රසිද්ධ කරන්නයි.ඒ වගේම අවුරුදු 20 ක් පමණ මට සොයා ගැනීමට නොහැකි වූ මගේ පැරණි මිතුරු මිතුරියන් රාශියක් සොයාගැනීමට හැකි වීම පිළිබඳව නම් මම ෆේස් බුක් එකට ණයගැතියි..

මම දන්න සමහර මල්ලිලා ඉන්නවා ෆේස් බුක් එකේ අඬනවා හිටු කියලා. කෙල්ලෙක් බැලුවත් ඇති ඒක ෆේස්බුක් එකේ දාන්න.. ඊට පස්සේ අඬන්නෙත් ඒ කෙල්ල ගැනම කියලා තමයි…  ඒ සමහර අය.. තවත් ඇමරිකානු මිතුරියක් ඉන්නවා පැය විසි හතරෙම වගේ ෆේස්බුක් ස්ටේටස් අප්ඩේට් කරන….තවත් සමහර අය ඉන්නවා දවසගානේ ප්‍රොෆයිල් එකේ පින්තූරෙ වෙනස් කරනවා…. මේ වගේ කට්ටිය ගොඩාක් ඉන්නවා. ඒ වගේම බොහොම නරක අයත් ඉන්නවා. ගෑණු ලමයින්ගේ නම් වලින් ප්‍රොෆයිල් හදාගෙන චැට් කරන මානසික රෝගීන් පවා අනන්තයි.

මොනවා වුනත් ෆේස්බුක් කියන්නේ ඔබේ සමාජයීය කැඩපත. එහි අනවශ්‍ය පින්තූර, විකාර කතා, හෝ කෙනෙකුට බැනීම් වැනි අතිශය පෞද්ගලික කාරණා දැමීමෙන් තමන්ගේ රැකියාවත් නැති වෙන්න පුළුවන් තරම් ප්‍රබල සන්නිවේදන මාධ්‍යයක් බවට ෆේස් බුක් එක පත් වෙලා. දැන් දැන් රැකියා සඳහා තෝරා ගැනීමේදී ෆේස්බුක් එකේ අඩංගු දේ ගැන පවා බලන්න තරම් එය ප්‍රබලයි. ඒ වගේම එය නිසි ලෙස ආරක්‍ෂා කරගේතේ නැත්නම් ලොකු අමාරුවක වැටෙන්නත් පුළුවනි….

පරිස්සමින්… ඔබේ සමාජයීය කැඩපත බිඳෙන්න මහ වෙලාවක් යන්නෙ නෑ….

ඉතිං… ඔබ මේ සමාජයීය වෙබ් අඩවි පාවිච්චි කරන්නේ මොනවටද ?

2011 ජුලි 27 : පුරුද්ද ඇබ්බැහි වීමක් කරා ගිය කළ………………


මේ දවස්වල දිනපොත ලියන්න හම්බ වුනේම නෑ… අළුතෙන් ලිපියක් ලියනවා. එක වෙලාවකට හිතෙනවා මේක නිෂ්ඵල ලිපියක් කියලා… මොකද කියනවා නම් ඒ ලිපියට මූලාශ්‍ර කියවගෙන යනවිට මගේ තර්කයේ යම් යම් හිදැස් තියෙනවා නේද කියලා මටම හිගෙනවා. ඒත් මගේ තර්කය වෙනස් කරලා මෙය අදහස් දැක්වීමක් පමණක් බවට වෙනස් කරලා ලියන්න තීරණය කළා.

බොහෝ විට මේ ලිපියත් පත්තරයක නොයන්න ඉඩකඩ වැඩියි. ඒත් එය ඇල්කෙමියාගේ රසායනාගාරයේ පළ වේවි පසු කාළෙක. මේ දිනවල රෑ වෙනකල් ලියුවේ ඒක… ඇල්කෙමිච්චි සමහර වෙලාවට කැගහනවා මොනවද කොටන්නේ කොම්පියුටරයට හැමතිස්සෙම කියලා… පුරුද්ද නතර කරන්න අමාරුයි… දැන් නම් ලියන එක පුරුද්දකටත් වඩා ඇබ්බැහිවීමක් වෙලා..

ඕනම පුරුද්දක් දිගින් දිගටම කෙරෙනවිට ඇබ්බැහි වීමකට පරිවර්තනය වෙනවා කියලා මම කොහේදෝ කියවලා තිබුණා. දුම් බීම, මත්පැන් බීම සුළුවෙන් පටන් අරගෙන නවත්තන්න බැරි තරමට ඇබ්බැහිවීමක් බවට පත් වෙනවා. සමහරු කියවන්න ඇබ්බැහි වෙනවා. පොතපත කියවීම නම් හොඳයි, නිකරුණේ කියවීම නම් භයානකයි. සමහරු බලන්න ඇබ්බැහි වෙනවා. චිත්‍රපටි, ටෙලි නාට්‍ය රූපවාහිනිය ආදී දේ ඇබ්බැහි වුනොත් ටිකක් අමාරුයි. ඇමරිකාවෙ ඉන්නා සමහරු රූපවාහිනී බලන්න කොච්චර ඇබ්බැහි වෙලාද කියතොත් තමන්ගේ බර රාත්තල් 500 ක් ඉක්මවා යනකල් පුටුව උඩට වෙලා කනවයි රූපවාහිනී නරඹනවයි හැරෙන්න මොනවත් කරන්නේ නෑ… ඒ අයට සිංහලෙන් කියන්නේ Couch Potatoes කියලා… අන්තිමට රෝහලට ගෙනියන්න වෙන්නේ ගෙදර උළුවස්ස කඩලා…

මේ අතර වඩාත් භයානක ඇබ්බැහි වීම් නැතුවාම නොවෙයි. මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම භයානකයි. බේරීම හරිම අමාරුයි… එයට හොඳ පුනරුත්ථාපනයක් මෙන්ම නැවත එය නොකරන්න තද හිතක් තිබිය යුතුමයි. සමහරු ලිංගික ක්‍රියා වලට ඇබ්බැහි වෙනවා. මෙය ඉතාම භයානක වන්නේ බොහෝ දුරට තමන්ගේ සහකරු/සහකාරිය එයට අවනත නොවුන අවස්ථාවල. බොහෝ දෙනෙකුගේ ලිංගික අවශ්‍යතා එක සමාන නැහැ. මේ නිසා බොහෝ දෙනෙකු අතර නොගැලපීම් ඇති වෙනවා. එසේම බොහෝ ‍දෙනා ඒ පිළිබඳව විවෘතව කතා කරන්නෙත් නැහැ. මේ නිසා පවුල් අවුල් වගේම අමාරුවේ වැටීම් ද වැඩියි. මේ ඇබ්බැහිවීමට වඩාත් වැඩියෙන් භාජනය වෙන්නේ පිරිමි වුනත් සුළු ප්‍රමාණයක් ගැහැණුන් ද අධික ලිංගික ක්‍රියාකාරීත්‍වයක් දක්වන නිසා ලිංගිකත්‍වයට ඇබ්බැහි වීමක් දක්වන බව වාර්තා වල සඳහන් වෙනවා. X-files වැඩසටහන් මාලාවේ මුල්ඩර් ලෙස රඟපෑ ඩේවිඩ් ඩක්නොව් මෙසේ ලිංගිකත්‍වයට ඇබ්බැහි වූ කෙනෙක්. දැන් ඔහු පුනරුත්ථාපනය වෙලා කියලයි කියන්නේ.

සමහරු සූදු කෙළිමට ඇබ්බැහි වෙනවා. එවිට සේසතමත් නැති වෙලා තමනුත් නැති වෙනවා. මේ සියළුම ඇබ්බැහි වීම් වලට හේතුව තමන් තමන්ට පාලනය කරගැනීමට නොහැකි වීමයි. ඒ සඳහා තමන් හරිහැටි කවුද කියලා හඳානාගැනීම වැදගත් වෙනවා. ඉතින් අනුන් හඳුනාගන්නට පෙර තමන් කවුද, තමන්ගේ අවශ්‍යතා, දක්‍ෂතා, දුර්වලතා ආදිය හඳුනාගැනීමෙන් තමන්ගේ අනාගතය සැලසුම් කරන්නට පුළුවනි.

තවත් සමහරු පරිඝණකවලට, අන්තර්ජාලයට, අසභ්‍ය පින්තූර, ෆේස්බුක් එකට, වීඩියෝ ක්‍රීඩා වලට, සේවා ස්ථානවලට, ආගම දහමට, කෑමට, ව්‍යායාම වලට, ආදී මෙකී නොකී බොහෝ දේ වලට ඇබ්බැහි වී සිටිනවා. මේ ඇබ්බැහි වීම් ගැන දන්නේ තමන්ම තමයි.  මේ බොහෝ ඇබ්බැහිවීම් පාලනය කරගන්නට බැරි වුනාම වැඩ දුරදිග යනවා. සමහර විට ජීවිතය පවා නැති වෙන්නට පුළුවනි. මේ ඇබ්බැහි වීම් වලක්වාගන්නට සේවා සපයන ආයතන බොහොමයක් තැන තැන තියෙනවා.

මම කියවීමට හරියට ඇබ්බැහි වෙලා ඉන්නේ… යමක් කියවන්න ගත්තාම වටපිට සිදු වන කිසිම දෙයක් දැනෙන්නේ නැහැ. එක වතාවක් නුගේගොඩ ගම්සභා හන්දියේ අපි පදිංචි වෙලා ඉන්න කාළෙක ගේට්ටුව අයිනේ ඉඳන් පොතක් කියවනවිට මගේ ළඟින්ම හොරෙක් ගිහින් වැලේ තිබුණ රෙදි එක්කොම අරගෙන ගිහින්.. එදා නම් ඇති වෙන්න බැණුම් ඇහුවා…..

මම කියවීමට ඇබ්බැහි වෙලා ඉන්න අතරේ ඒ මනුස්සයා හොරකමට ඇබ්බැහි වෙලා…. ලෝකයක හැටි…

තවත් දවසක දින සටහනකින් හමුවෙමු…

2011 ජුලි 24 : ෆැරන්හයිට් 104ක උෂ්ණත්‍වයක (40 C) ලංකාවෙ පොරවල් ටිකක් ක්‍රිකට් ගැහුවලු….


අනේ අපිටත් තියෙන අමාරු…. ඇමරිකාවේ බොහෝ ප්‍රාන්ත හරහා මේ දවස්වල තාප රැල්ලක් (heat wave) යනවා . මේ තාප රැල්ලේ තාප අංකය (Heat Index) ඒ කියන්නේ ඇඟට දැනෙන උෂ්ණත්‍වය 125 F (52 C) පමණ වුනා… ඒ දැඩි රස්නය මැද්දෙත් වොෂ්ංටන් ඩී සී – වර්ජිනියා – මේරිලන්ඩ් ප්‍රාන්ත වල හිටපු අපේ ක්‍රිකට් උණ කාරයෝ ටික සත් සාමාජික ක්‍රිකට් තරඟාවලියක් පැවැත්වුවා. රස්නය නිසාම වැඩි සෙනඟක් ආවෙ නැතත්, ක්‍රීඩකයොන්ගේ උනන්දුව නම් අඩු වුනේ නැහැ.

හැමෝගෙම කතාව වුනේ ලංකාවෙ නම් මෙච්චර රස්නෙ නැහැ නේද කියලා. ඇත්තෙන්ම ලංකාවෙ උෂ්ණත්‍වය මුහුදු සුලං හැමීම නිසා සමනය වෙනවා. මා මෑතකදී ලංකාවට ගියේ නැති වුනත්, එහි සිටින සහ ගිය සමහරු නම් කියන්නේ ලංකාවත් දැන් දැන් රස්නෙයි කියලායි. බොහෝ දෙනෙකුගේ අදහස නම් වැඩිවන ගෝලීය උණුසුම (Global Warming) හමුවේ මේ අසාමාන්‍ය කාලගුණ වෙනස්කම් ඇති වනවා කියලා – ඒකට මමත් එකඟයි. පසුගිය අවුරුදු 10 ඇතුලත ඇමරිකානු කාලගුණ රටාවේ පවා පැහැදිලි වෙනසක් දක්නට ලැබෙනවා.

විද්‍යාඥයින් පවසන අන්දමට ලබන වසර 10 ඇතුලත ගෝලීය කාලගුණ රටාවේ විශාල වෙනස්කම් රැසක් සැදු විය හැකි වකවානුවක්…

මිනිසා පරිසරය වනසන තරමටම පරිසරයත් මිනිසාට දඬුවම් කරනවා. පරිසරය ආරක්‍ෂා කරමින් ගෙවූ දිවිය අතහැර මිනිසා ආත්මාර්ථකාමී වීම තුලින් පරිසරයට විශාල හානි පැමිණුනා. සතා සීපාවාට යන එන මං නැති කර මිනිසාට පරිසරය විසින්ම යන එන මං නැති කරන්නට පටන් අරගෙන….

ඇඟටත් හරිම මහන්සියි… වැඩිපුර ලියන්න දෙයක් ඇත්තෙත් නැහැ…

පරිසරය ගැනත් පොඩ්ඩක් හිතලා බලමු…. මොන දේ වුනත් අපට ඉන්න තියෙන්නේ මේ ලෝකෙ විතරනේ….

2011 ජුලි 22 : ඇමරිකාවෙ එහෙම වුනත්, ලංකාවෙ එහෙම වෙන්නෙ නෑ…..


අපි හැම දේටම ලංකාවේ ආණ්ඩුවට බනින්න දත කට මැදගෙන සිටිමු. බොහෝ අපහසුකම් මැද අධ්‍යාපනයත්, සෞඛ්‍යයත්, නොමිලයේ දෙන රටක් වන්නේ ලංකාවය. අපට නිදහස් අධ්‍යාපනයේ වටිනාකම දැනෙන්නේ නැත්තේ එය නිකම් ම ලැබෙන නිසාය. විශ්ව විද්‍යාල සිසුන්ට නිකම් අධ්‍යාපනය ලැබෙනවා පමණක් නොව බොහොමයක් දෙනාට මහපොළ ද ලැබේ. ඒ සියල්ල මැද පොඩ්ඩ වැරදුන තැන ආණ්ඩුවට එරෙහිව වීදි බසින්නට ද අපේ විශ්ව විද්‍යාල සිසුන් පසුබට නොවේ. නොමිලයේ ලබා දෙන දෙයෙහි අඩුපාඩු නැතිවා නොවේ. සේවාවෙහි තත්ත්‍වය (quality) එතරම් ඉහලින් ලැබෙන්නේ නැත. සේවකයින්ට ලැබෙන වේතන අඩු වන අතර ඒ නිසාම ඔවුන්ගේ කැපවීමෙහි අඩුවක් දක්නට ද ලැබේ. බොහොමයක් පත්වීම් සහ උසස්වීම් අධ්‍යාපන සුදුසුකම් මතම සිදු නොවන අතර දේශපාලන අතපෙවීම් නිසා සියල්ල අවුල් සහගත වේ.

සෞඛ්‍ය ක්‍ෂෙත්‍රයද ඊට දෙවනි නොවේ. නොමිලයේ ලැබෙන නිසාම බොහෝ දෙනෙකුට එය අගයක් නැත. නොමිලයේ දෙන නිසාම එය ලබා දෙන අයටද වගකීමක් නැත. තමන්ගේ හැදීම ගැන බලා ගන්නා පිරිස වැඩිවන අතර දැන හැඳුනුම්කම් මත සේවා සැපයීම බොහෝවිට දක්නට ලැබේ. නර්ස් ලාට කාමරයක් දුන්නොත් දොස්තරලාට හිතට හරි නැත. උන් ටික වර්ජනයේ ය. ලොකු දොස්තර මහත්තයාට නර්ස් කෙනෙකු ලඟදී පඩයක් ගියොත් නර්ස්ලාට තරහ ගොස් වර්ජනය කරන්නට යති. ඇටෙන්ඩන්ලාඩ පඩි වැඩි කළොත් අපටත් පඩි වැඩි කරන්නැයි දොස්තරලාද වර්ජනයේ ය… මේ සියළුම දෙනා උගසට ගන්නේ අසරණ රෝගීන්ගේ ජීවිත වේ. මේ වර්ජන නිසා මිය යන කිසිකෙනෙකුගේ ජීවිතවල වගකීම මේ දොස්තරලා ගන්නේ නැත. දොස්තර කෙනෙකුගේ අත් වැරදීමකින් මියයන හෝ අසරණභාවයට පත් වන රෝගීන් වෙනුවෙන් කිසිවකු වර්ජනය නොකරයි.

ලංකාවේ ප්‍රවාහන ක්‍ෂෙත්‍රය අඩු මිලට ප්‍රවාහනයේ යෙදුනද, පුද්ගලික බස් මාෆියාවට යට වී සිටී. බොහෝ බස් රියදුරන් මඳපමණට ගෙන ගුවන්ගත වී පාර අයිනේ සිටින මගීන් අමුණාගෙන ගියත්, උන් ටික දවසකින් නිදහස් වී ඒ සියල්ල ඒ ආකාරයෙන්ම කරගෙන යති….

ඒ ලංකාවේය…

ඇමරිකාවේ තත්ත්‍වය එසේ නොවුනත්, වැඩි වෙනසක් නැත. සමහරවිට අන්තය.

ප්‍රවාහන ක්‍ෂෙත්‍රය නම් තරමක් ආචාරශීලීය…. මිනිසුන් ආචාරශීලීව සේවය සපයති. සෞඛ්‍ය ක්‍ෂෙත්‍රය නම් තනිකරම රක්‍ෂණ සේවා සපයන ආයතනවල මාෆියාවකි. සුළු රෝගයකටත් මහා ලොකු ගාණක් අය කරන අතර සෞඛ්‍ය රක්‍ෂණයක් නොමැති වුනොත් යම් රෝගයකට බෙහෙත් ගැනීමේදී සේසතම උගස් තියන්නට සිදු වෙයි. පසුගියදා මගේ පුතාගේ හිසේ සිදු වූ තුවාලයකට බෙහෙත් දමන්නට ගොස් පැය 6 ක් රස්තියාදු වී මැහුම් තුනක් දැම්මාට ඩොලර් 5000 ක බිලක් ආවේ ඒ රක්‍ෂණ සමාගම් වලට පින් සිදු වන්නටය… රෝහලේ ආර්ථික පහසුකම් වලට මුලින්ම අප බැඳී (Enroll) වී සිටි නිසා සියළු කැපීම් කෙටීම් අවසානයේ අපට ගෙවන්නට සිදු වන ගණන ඩොලර් 450 ක් ඉක්මවූවේ මේ මාෆියාවේ අරුමය කියා පාමිනි.

මේ දිනවල බොහෝ ප්‍රාන්තවල ලබන අවුරුද්ද සඳහා වැය ශීර්ෂ සැකසීමට පටන් ගෙන ඇත. මේ අතර වැදගත්ම ප්‍රවෘත්තිය ලැබෙන්නේ ටෙනිසී ප්‍රාන්තයේ මෙම්ෆිස් නගරයෙනි. එනම් ලබන අවුරුද්දට වැය කරන්නට මුදල් නැති නිසා මෙම්ෆිස් නගරයේ පාසල් බොහොමයක් වසා දමන්නට සිදු වී ඇත. මේ නිසා අසරණ වන සිසුන් සංඛ්‍යාව 100,000 කට වඩා අධික බව කියැවේ… දැන් දැන් ඇමරිකාවේ දරුවන්ට නිවසේ සිට ඉගැන්වීම (home schooling) වැඩි වී ඇති බව කියැවේ. මෙහි දෙපැත්තක් ඇත… සමහරුන් සාර්ථක වන අතර සමහරුන් සමාජයීයව බියගුළු තත්ත්‍වයට පත් වේ. ලංකාවේ කොපමණ අපහසුකම් තිබුණද පාසල් යන වයසේ දරුවන් බොහෝ දෙනෙකු පාසල් යන්නේ කොපමණ අඩුපාඩුකම් තිබුණත් රජය මගින් නොමිලයේ අධ්‍යාපනය ලබා දෙන නිසාවෙනි. මෙවැනි කතා මේ දිනවල සෑම තැනකින්ම ඇසෙන්නේ ලෝකයේ මහා බලවතා ලංකාවේ ආණ්ඩුවටත් වඩා අසරණ වී ඇති බව කියා පාමිනි….

ලංකාවේ ආණ්ඩුව මේ අධ්‍යාපනය, සෞඛ්‍ය ආදී දේ නොමිලයේ ලබා දෙන්නේ දහසකුත් දුෂ්කරතා මධ්‍යයේදීය… කොතෙකුත් අඩුපාඩුකම් තිබුණත් අපේ දරුවන් ඉගෙන ගන්නේත්, අපේ මිනිසුන් තරමක් දුරට හෝ නොමැරී සිටින්නේත් මේ නිදහස් සේවා වලට පින් සිදු වන්නටය…

අප වැරදි විවේචනය කළ යුතුය. එසේම අගය කළ යුතු දේ අගය කිරීමද කළ යුතුය… සාධනීය විවේචන මගින් යමක් නිවැරදි මගට ගත හැක.. ඒ සඳහා සිල්ලන්ගේ කැපවීම අවශ්‍යය… ආකල්පමය වශයෙන් අප වෙනස් විය යුතුය… එය ඉහළ සිට පහලටත්, පහල සිට ඉහලටත් සම සමව විය යුතුය….. එක් අතකින් අත්පුඩි ගැසිය නොහැක…. ආණ්ඩුව කරන තෙක් බලා නොසිටම අපටත් කළ හැක්කක් කිරීම කළ යුතුය…

ඇමරිකාවේ මිනිසුන්ගේත් ලංකාවේ මිනිසුන්ගේත් වෙනස වන්නේ ඇමරිකානුවා ලබන පඩියට සරිලන සේ අවංකව සේවය කරයි/ කරන්නට තැත් කරයි… ලංකාවේ සේවකයා අවම වැඩ ප්‍රමාණයකින් වැඩිම පඩියක් ලබා ගැනීමට තැත් කරයි… රටට හෙණ ගැහුවත්, මට වැඩ කරගත යුතු බව ලාංකිකයා සිතයි..

ආණ්ඩුව අපට ඉටු කරන සේවය ඇගයීම කළ යුතු අතරම අපෙන් රටට විය යුතු යුතුකම් ද අවංකව නොපිරිහෙලා ඉටු කිරීම අගනේය…

රට හදන්නට පෙර අපි හැදෙමු…  එවිට ඉබේම රට හැදේවි…..

මේ සතුන් බැඳ දමන්න තරම් කොන්දක් ලංකාවේ ආණ්ඩුවේ එකෙකුටවත් නැත්ද ?


ලංකාවේ පාර්ලිමේන්තුවට 225 ක් (ජාතික ලැයිස්තුවද ඇතුළුව) පත් කර යවන්නේ අපමය. ඡන්දය කාළයට ඉර හඳ පෙන්නා අපව කරේ තබාගෙන අපව ගොනාට අන්දවා අපේ ඡන්දය කෙසේ හෝ ලබන්නේ ඔවුන්ය. මෙයින් 90% ක් දෙනා අපට ආදරේට එතැනට යන්නෝ නොවෙති. සමහරු එක මනාපයට රුපියල් සියයක් හමාරක් ( හෝ දහස් ගණනක්) බැගින් වියදම් කර මනාප ලක්‍ෂ ගණනක් ලබා ගනිති. මේ සල්ලි කොහෙන්ද ? කාගෙන්ද ? කියා කිසිවකු නොදනී. එක්කෝ මුදලාලි ලා සල්ලි විසි කරමින් තමන්ට අල්ලේ නැටවිය හැකි එකෙකු එතැනට පත් කර හරි, නැතහොත් පෙර සිදු කළ මහා පරිමාණ ව්‍යාපාරවලින් උපයා ගත් මුදල් විසි කර එතැනට පත් වෙති. මේ කොයික වෙතත් එතැන සිදු වන්නේ දූෂණයකි. බොහෝ දෙනාට ජනතාව අවංකවම දෙන මනාප ගණන මීට වඩා බොහෝ සෙයින් අඩු විය හැක. මෙපමණ සල්ලි ගෙවමින් දියවන්නා මහගෙදරට රිංගන්න තතනන්නේ ඇයි. අපට ආදරේටද ?

මේ රංචුව අතර දෙපැත්තේම හරි හරි බඩු සිටී…. බොහෝ දෙනා යන්තම් අපොස පන්තියට සුදුසුකම් ලබා හෝ පන්තිය සමත්ව “සමාජ සේවය” හරහා දේශපාලනයට ගොඩ වූවෝ වෙති. තම ප්‍රදේශයේ ප්‍රශ්න පිළිබඳ දන්නා දෙයක් නැත. පැරණි මැතිවරණ මනාප ක්‍රමය අනුව මෙන් නොව කිසිදු මැතිවරණ කොට්ඨාසයකට වග කිවයුතු කෙනෙකු පත්වී ගියේ නැත  එසේම සියළුම දෙනා දිස්ත්‍රික්කයට අදාල මන්ත්‍රීවරු වන අතර ආසනයකට සීමා වූ කෙනෙකු නොවීය (ආසන සංවිධායකයන් සිටිති – අළුත් සංශෝධන අනුව මෙය වැරදි නම් අනේ කරුණාකර නිවැරදි කරන්න) කෙසේ හෝ මේ කිසි කෙනෙකු 80% ක් වත් තමන් පාර්ලිමේන්තුවට යැවූ ගොන් තකතිරු ජනතාවට කිසිදු වැඩක් කරන්නේ නැත. ඒ වෙනුවට තමන්ට සල්ලි දුන්, තමන් වෙනුවෙන් මිනී මැරූ, තමන් වෙනුවෙන් අනුන්ගේ පෝස්ටර් ගැලවූ “මහ” ජනතාවට මත්පැන් බලපත්, සතිපොල බලපත්, ආදී මෙකී නොකී සියල්ල ලබා දෙති. ලංකාවේ දේශපාලනය එසේය.

පසුගිය දිනවල වඩාත්ම කතා බහට ලක් වූයේ සතිපොලේ කඩයකින් ආචාර්ය උපාධියක් ලබා ගත් ආචාර්ය මර්වින් සිල්වා මැති තුමාගේ අපූර්ව ක්‍රියා කලාපයන්ය. එතුමා කැළණියේ ජනතාවට නොකරන දෙයක් නැත. රූපවාහිනී සංස්ථාවෙන් මදි නොකියන්න කෑවාට පසු එතුමා මුලින්ම තැබෑරුම් වසා ජනතාව මතට තිත තබන තැනට ගෙන ආවේය. ඉන් පසු කැළණිය ප්‍රදේශය ප්‍රජාතන්ත්‍රවාදයේ මුදුන් මල්කඩ බවට පත් කරවමින් විපක්‍ෂ දේශපාලන පක්‍ෂ වලට දේශපාලනය කිරීමේ තහනමක් ගෙන ආවේය (උන් ඉතින් කොහෙමත් බංකොලොත් නිසා තහනම් කළත් නැතත් අපට වැඩක් නැත – වුනේ මේක අල්ලන් ජෙප්පොයි ලොං හැලිච්ච අලියොයි ගිරිය පුප්පන් කෑ ගහපු එකයි එන් ජී ඕ කාරයෝ ඩොලර් ටිකක් කඩා ගත්ත එකයි විතරයි) ඊළඟට ඇහින්ද චින්තනයේ සඳහන් පරිදි අපි වවමු රට නගමු කරන්න ගොස් කැළණිය ජනතාවට කියා එළවළු සිටවීමය. ඉන් පසු රජයේ නිලධාරියෙක් සිය කැමැත්තෙන් ගස් බැඳගත්තේ ද මේ ආචාර්ය තුමා ඉදිරිපිටමය. කැළණිය ප්‍රදේශය නීතිය සහ සාමය අතින් ලංකාවේ අවසන් ස්ථානයේ පසුවන බව මෑතකදී සමීක්‍ෂණයකින් හෙළිවිය. එතුමාගේ පාර්ලිමේන්තු ලේකම් (ඉල්ලා අස්වූ එකා) කප්පං ගන්නට ගොස් හසු විය. එතුමාගේ හෙංචයියෙකු වූ පෑලියගොඩ නගර සභාවේ සභාපති, පෑලියගොඩ ධීවර වෙළඳසැල් සංකීර්ණයෙන් කප්පං ගන්නට ගොස් හසුවිය…  මේ සියල්ල වෙත්දීත් ආණ්ඩුවේ එකෙක් වත් කොන්ද පණ ඇතිව ආචාර්ය මර්වින්ට දඬුවමක් දෙන්නැයි ජනාධිපතිගෙන් ඉල්ලීමක් නොකළා පමණක් නොව මහලොකුවට යහපාලනය ගැන කතා කරන එතුමා ද අන්ධයෙකු සේ ඇහැ-කණ පියාගෙන රටේ සංවර්ධන ක්‍රියාදාමයට අත හිත දෙමින් කල් ගෙවීය. හැම ඉරිදාම ගෙදර බණ කියා දන් දුන්නාට නිවන් දකින්නේ නැති බව එතුමා වටා සිටින හැට හුටහමාරක් උපදේශකයෝ එකෙක්වත් එතුමාට නොකියන්නේ අපේම පූරුවේ කරුමයකටය.

දැන් නිහඬව සිටින ආචාර්ය මර්වින් සිල්වා මැතිතුමාගේ තැන ගන්නට දකුණෙන් වීරෝධාර ඇඟපත ඇති මොළය නැති තරුණ කොල්ලෙක් මතු වී තිබේ…. මුලින්ම දේශපාලනය කෙළ පැමිණි ඥාතියෙක් නිසා ඡන්දය ගන්නට සුදුසුකම් ලැබූ බඩුවක්  (අනේ අම්මපා නැති කුණුහරුප මතක් වෙන්නේ මෙන්න මේ වෙලාවට තමයි)  සමග පලාත් සභා ඡන්දයේදී ආරවුලකට ගිය ඔහු දෙවනුව මානසික රෝහලක දිවි ගෙවන්නට තරම් මානසික ආබාධයකින් පෙළෙන බවද පෙනෙන්නට විය. මෑතකදී ත්‍රි රෝද රථ ගාලකට වාහනය පැදගෙන ගිය ඔහු ගාල්ලේ බස් නැවතුම්පල විවෘත කරන අවස්ථාවේ කතාවක් ඉල්ලාගෙන – ඉල්ලං කන්නට ගියේ රාජපක්‍ෂ සමාගමේ සභාපති වේදිකාවට කැඳවමිනි. නීතිය ඔහුගේ බාප්පාගේ බූදලය යැයි සිතා වැඩ කරන ඔහු පොලීසියේ නිලධාරීන් පවා මාරු කරන්නට ප්‍රසිද්ධියේ කතා කරයි (පොලිස් කොමිසම පත් කළ කට්ටිය මොකද කියන්නේ ?) එපමණක් නොව ජනාධිපති තුමා විවෘත කළ ගාල්ලේ බස් නැවතුම් පොලේ වැටක් පවා දැනටමත් ගලවා දමා එතැනත් යකා නටන්නට මේ අමනයා ක්‍රියා කර ඇති බව දැනගන්නට ලැබුණි.

මේ අපට ඉන්නා අපේ බදු වලින් පඩි – යාන වාහන ආදිය ලබා ගන්නා දෙදෙනෙකු ගේ තොරතුරු ය…. මේ දෙදෙනාම දේශපාලනයට ගෙන ආවේ අපේම පැරණි දේශපාලනඥයින් විසිනි. නමුත් කරුමය වන්නේ දැන් සිටින එකෙකුටවත් මේ දෙන්නාගේ පුකට පයින් ගසා එලියට දමන්නට තරම් කොන්දක් නැති එකය.

මේ මගේ මිතුරෙක් දෙකක් දාගත් පසු කී කතාවකි. මේ කතාවට අදාල මන්ත්‍රීවරයා දැන් ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමති වරයෙකි. මගේ මිතුරා දොස්තර කෙනෙකි. මගේ මිතුරා යම් තැනක ටෙනිස් ගසමින් සිටින අතර මේ අදාල මන්ත්‍රීවරයාද එතැනට පැමිණ ඒ මිතුරා සමග ටෙනිස් ගසා ඇත. දෙදෙනා කුළුපග වූ පසු දින කීපයකට පසු….

මන්ත්‍රී : මේ සපත්තු පරණයි නේද ? ටෙනිස් රැකටුත් පරණයි… අළුත් ඒවා ටිකක් ගමුද ? මොකද්ද සයිස් එක ?

හොඳ අණ්ඩපාලයෙකු වූ මගේ මිතුරා ද හොඳම වර්ගයේ නයිකි සපත්තු සහ හොඳම වර්ගයේ ටෙනිස් පිතිවල මිලගණන් අදාල මන්ත්‍රීවරයාට ලබා දී තිබේ. ඒ වහාම අදාල මන්ත්‍රී ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරියෙකුට කතා කර ක්‍රීඩා සමාජයකට ප්‍රදානයක් වශයෙන් ඉහත කී උපකරණ කට්ටල දෙක බැගින් ලබා දෙන ලෙස නියෝග කර ඇත. ඒ අනුව සතියක් ගත වන්නටත් පෙර ඒ අදාල උපකරණ ලැබී ඇති අතර උපකරණ කට්ටල දෙකෙහි මිල අවම වශයෙන් රුපියල් ලක්‍ෂ එකහමාරක් වත් විය හැකි බව මගේ මිතුරා පැවසීය…

මේ දන්නා එක් උදාහරණයක් පමණි… මෙවන් අසමජ්ජාති ක්‍රියා කීයක් මේ සත්ගුණවත් දානපති මන්ත්‍රීවරුන්ගෙන් සිදු වනවා ඇත්ද ? මේ ඔවුන්ගේ අතින් කටින් යන මුදල් නොවේ… මේ මහජනතාවගේ මුදල් ය… හෙජින් ගණුදෙනුවෙන් ආණ්ඩුවට පාඩු වුනත් ඒවා ගෙවනවා යැයි පීබී ජයසුන්දර කියා ඇති බව කඩුල්ලේ සඳහන් වී තිබුණා. කඩුල්ලේ කියූ පරිදි, ආණ්ඩුවට විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගේ පඩි ගෙවන්න සල්ලි නැති වුනාට, හෙජින් වල පාඩුව ගෙවන්න සල්ලි ඇත.

මේ 225 පත් කරන්නේද අපමය… උන් පිස්සු කෙළීන විට කෑ ගසන්නේ ද අපමය. අපට පඩි වැඩි කරන්න අත ඉස්සුවේ නැතිවාට, උන්ට පෙජරෝ ගන්න – පඩි වැඩි කරගන්න අත උස්සන්න පක්‍ෂ විපක්‍ෂ භේදයකින් තොරව සියළු දෙනාම අත උස්සති. සත්‍යය නම් උනුත් එකයි- මුනුත් එකයි- අරුනුත් එකයි යන්නය… ඔතැනට යන සියළුම දෙනා කපටි සූට් එක ඇඳගත්තාට පසු මොළය (ඇත්නම්) ගෙදර කකුස්සියට දමා වතුර ගසා එති. ඉන්පසු හිතන්න ගන්නේ කිඩ්නියෙනි…(අගමැති තුමා කියූ දේවල් මතකනේ…) ඊලඟ මැතිවරණයේදීද මේ සෙට් එක විවිධ වේශයෙන් අප වෙත එති…  අපේ ගොන්කමට අපි උන් නැවත වතාවක් එතැනටම පත් කර අරිති. ඉන්පසු කෑගසති… මේ චක්‍රය හැමදාම පවතීවි…

ඊලඟ මැතිවරණයටවත් මොලේ ඇති, පිස්සු කෙළින්නේ නැති එවුන් ටිකක් පත්කරන්නට නාම යෝජනා සකසන්නැයි අපි සැවොම අදාල පක්‍ෂ නායක කාරකාරීන්ගෙන් ඉල්ලා සිටිමු… නිසි අධ්‍යාපන සුදුසුකම් නැතිව, අත්දැකීම්/පළපුරුද්ද නැතිව, ඉහළම වරප්‍රසාද ලබමින්, පාර්ලිමේන්තුවේ සභා වාරයක වචනයක් හෝ කතා නොකර, ලාබෙට ලැබෙන බත් එක ගිලදමා, කිසිදු වැඩක් නොකර කිසිදු දර්ශනයක් නැතිව වසර පහක් සිට විශ්‍රාම වැටුපක් ගත හැකි ලොවේ එකම තනතුර ලංකාවේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රී තනතුරයි.  නැති බැරි අය ඇති හැකි අය වන්නට පටන් ගන්නේ ඉන් පසුවයි. බයිසිකලේ ගිය එකා පෙජරෝවේ යයි. හන්දියේ කඩෙන් බඩු ගත් එකා කාර්ගිල්ස් එකට යයි. පැපොල් කෑ එකා – ඇපල් කයි. හන්දියේ සෝමලතා කැලේට උස්සපු එකා – ලිබර්ටි ප්ලාසා එකේ ජීනා මැඩම්ගේ පොට් එකට යයි. (ගිහිල්ලා අහු වෙයි – ඒ ගැනත් කතා නැත- ඒ මදිවට එතුමා සංස්කෘතිය ආරක්‍ෂා කරන ඇමතිලු). හොරෙන් කසිප්පු ගහපු එකා බ්ලූ ලේබල් ගහයි. හන්දියේ ටේලර්ගෙන් ඇඳුම් මස්සවාගෙන ඇඳපු එකා හමීඩියාස් යයි. ගෙදර ඇති කරපු වල් බල්ලා වෙනුවට ගෝලඩන් රිට්‍රීවර්ලා එයි. දවල්ට රොටි කෑ පුතා, පීසා නැතුව මරහඬ දෙයි. කොටින්ම කියතොත් පරම්පරා හතක් වත් ගොඩ යයි…. මේ සියල්ල ගැන කතා කර වැඩක් නැත… අපි කොපමණ බ්ලොග් ලිවුවත්, විකල්ප පත්තර-වෙබ් අඩවි හොරෙන් අරන් හෝ කොච්චර මේවා පළකර ප්‍රචාරය ලබා ගත්තත් (දුන්නත්) ලොක්කන්ට මේවා පේන්නේ නැතිය.

අපි වැඩි වැඩියෙන් පින් කර නාථ දෙයියන්ට පින් පමුණුවමු. එතුමා ජනාධිපති තුමාට හීනෙන් (හෝ හැබැහින්) පෙනී මේ තත්ත්‍වය දන්වා සැල කරනු ඇතැයි දේවාලම්භන ප්‍රීතියෙන් යුතුව පින් අනුමෝදන් කරමු….

ඒ නැතුව ඔහේලා අපි වෙන මක්කා කොරන්නෙයි ?

මේ ලිපිය බෙදා හදා ගත යුතු යැයි ඔබ සිතන්නේ නම්, ඇල්කෙමියාට දැනුම් දී, ප්‍රධාන ලිපියට ඇමුණුමක් සම්බන්ධ කර, වෙනත් බ්ලොග් අඩවි හෝ වෙබ් අඩවි හෝ ඊමේල් හෝ වෙනත් තැනක පළ කළ හැක..

2011 ජුලි 20: මම ඔහු ඉදිරියේ නිරුවත් වීමි.


හොඳටම දාඩිය දාලා නේද ?

නෑ මේ වතුර…. නාපු ගමන් ආවේ…

දැන් බඩත් ටිකක් අඩු වෙලා නේද ?

ඇයි ඉතින් පොරොන්දු වුනා නේ ජුලි මාසෙ වෙනකොට අඩු කරගන්නවා කියලා…

රැවුලත් ටිකක් වැඩියි…. ඉන්න… මම රැවුල කපන්නම්…..

(ඔහු මගේ රැවුල කපයි……)

මට ඔයා ගැන බොහොම ආඩම්බරයි…

ඇයි ?

මහන්සි වෙලා ව්‍යායාම කරලා ඇඟපත හරි ආකාරව තියා ගන්නවා නේ…

ඉතින් ඔයාගෙත් වෙනසක් නෑනෙ….

ඒත් තව බඩ පොඩ්ඩක් අඩු කරගත්තොත් තමයි හොඳ….

වැඩ වැඩියි… ඉස්සර වගේ හැමදාම ව්‍යායාම් කරන්න වෙලාවක් නෑ….

කොහොම හරි වෙලාව හොයා ගන්න…. ව්‍යායාම් නොකර ඉන්න එක ඔයාගෙ ඇඟට හොඳ නෑ…..

මේ දවස්වල පිහිණුම් තටාකය ඇරලා නිසා පීනන්න යනවා…

ඒකත් හොඳයි…

නරකම නෑ… හොඳට මහන්සි වෙනවා….

දැන් ඉතින් හොඳ ළමයා වගේ තුවාය ඇඳගන්න…. මෙහෙම ඉන්න එක හොඳ නෑනෙ….

(ටක් ටක් ටක්….. තාත්තා… මට චූ බරයි… දොර අරින්න බාත් රූම් එකේ….)

මම, ඔහු ඉදිරියේ නිරුවත් වීමි........

මම කණ්නාඩියෙන් පෙනෙන මගේම ප්‍රතිබිම්බයෙන් සමු ගතිමි……………….

(වලත්ත විදියට හිතුවා නම් නිවැරදි කරගන්න…… මේක හැමෝම කරන දෙයක්)

2011 ජුලි 19: මෙහෙම ඉඳලා වැඩක් නෑ… මම යනවා යන්න…. තව අවුරුද්දක් ඉන්න, ඔයා ගියොත් මම ඉවරයි….


අද ලොක්කා රසායනාගාරයේ කාර්යාල කාමරයට අළුතෙන් මේස දාන්න යෝජනා කළා… මේ යෝජනාවෙන් බොහෝ දෙනෙකුට ඉඩ කඩ අහිමි වෙන්නයි යන්නේ… අළුතෙන් එන ළමයින්ට ඉඩ කඩ හදන්න, අපේ මේස කුඩා කරන්නයි යෝජනාව. අපේ ලඟ තියෙන පොත් ලිපි ගොඩේ හැටියට මේස කුඩා වුනොත් හරි අමාරුයි… ඉතින් මේ ගැන පොඩි වාදයක් ගියා ලොක්කයි මායි… ඒපාර ලොක්කා විහිළුවට කිව්වා මාව අස් කරනවා කියලා… මම කිවුවා මෙහෙම ඉඳලා වැඩක් නෑ… මම යනවා යන්න කියලා…. මේ ආර්ථික තත්ත්‍වය මත ඒ වගේ ප්‍රකාශයක් කරන එක අන්තිම භයානක වුනත්, මම දන්නවා ලොක්කට මාව අස් කරන්න බැහැ කියලා. මම දන්නවා ලොක්කට මාව කොච්චර අවශ්‍ය ද කියලා. ඒකයි මම ඒ විදියට කිවුවේ…

එතකොට මාව පැත්තකට කතා කරලා ලොක්කා කියනවා, තව අවුරුද්දක් යනකල් මගේ සේවා කාළය දික් කරනවා කියලා. මම ගියොත්  එයාට බොහොම පාඩු බවත්, ඇත්තෙන්ම ඔහුගේ සියළුම දේ අවුල් වන බවත් පැවසුවා… ඉන් පසු අප කතා කළේ ලබන අවුරුද්දට කරන්න තියෙන වැඩ, අළුතෙන් ගන්න ඉන්න ළමයින්, දැනට සිටින ළමයින්ගේ ප්‍රගතිය, ආදී දේවල්. කොහොම වුනත් අපි දෙදෙනාම එක මතයකට ආපු එක බොහොම වටිනවා. දැන් බෝලය මගේ අතේ, ඒ වුනාට ඒක වැරදි විදියට පාවිච්චි කිරීමක් නොවන්න මම වග බලාගන්නවා. මගේ සහයට තවත් පර්යේෂකයෙක් ගන්නත් කතා වුනා…

මං පොර වෙන්න කියනවා නෙමෙයි. නමුත් කිසියම් ආයතනයක හෝ සේවා ස්ථානයක වගකීම් නිසි ලෙස ඉටු කරනවා වගේම අමතර යමක් කරලා තමන්ගේ අගය වැඩි කරගන්නා විට, කෙනෙකු ආදේශ කිරීම හෝ ඉවත් කිරීම අපහසුයි. මේ නිසා රැකියා සුරක්‍ෂිතභාවය ඇති වෙනවා. ඒ වගේම භයානක දේ උසස්වීම් ලැබෙන තැනක නම්, ඒ උසස්වීම් ලැබීම පමා වීමයි. ඒ ගැනත් සොයා බැලිය යුතුයි.

ඉතින් තමන් වැඩ කරන ස්ථානයට, තමන්ගේ රැකියාවට අවංකව සේවය කරන්න. යමක් ඉටු විය යුතු නම් වෘත්තීය සමිති, රාජකාරි ලේඛණ ආදී දේවල් නොසළකා හැරලා එය කරන්න බලන්න, තමන්ගේ සීමාව ඉක්මවා යන්නේ නැතිව ඒ දේ ඉටු කරන්න බලන්න. තමන්ට ආයතනයෙන්/රජයෙන් ලැබිය යුතු දේ කුමක්ද යන්න පසෙක තබා, තමන්ගෙන් ආයතනයට/රජයට/රටට ඉටු විය යුතු දේ ගැන සිතන්න, තමන්ට හිමි දේ ඉබේම ලැබේවි.

හිරෝෂිමා නාගසාකි බෝම්බ නිසා විනාශ වුන ජපානය ලෝක බලවතෙකු බවට පත් වුනේ දේශපාලනඥයින්ගේ මග පෙන්වීම නිසාම පමණක් නොවෙයි. ඒ රටේ ජනතාව තමන් ගැන නොසිතා, රට ගැන සිතා වැඩ කිරීම නිසා. අපේ රාජ්‍ය සේවකයන් කාර්යාලයේ ඇති කඩදා පවා හොරෙන් ගෙදර අරන් යන්නයි පුරුදු වෙලා තියෙන්නේ,…. එහෙව් රටක් කවදා ඉදිරියට යන්නද ?

අපා දේශපාලනඥයින්ට බනින එක ඇත්ත, නමුත් අපි හරියට හැදිලා බනින්න පටන් ගත්තොත් හොඳයි නේද ?

2011 ජුලි 17 : බලාපොරොත්තු සහ කඩවීම්… ඇතුවත් බැරි නැතුවත් බැරි ජලය….


ඇල්කෙමියාගේ දිනපොත කාලෙකින් කුරුටු ගාන්න බැරි වුනේ අහසටත් උසට වැඩ හිරවෙලා තිබුණ නිසා. මගේ පර්යේෂණය එහි  වැදගත් සන්ධිස්ථානයකට ඇවිත්. ඒ සියල්ල මත රසායනාගාරයේ වෙනත් දේත් නිසා කිසිම දෙයක් ලියන්නට වෙලාවක් නැති වුනා.

මගේ පර්යේෂණයට වැදගත්ම සංයෝගයක ස්ඵටික දැලිස් ව්‍යුහය ලබා ගන්නයි මම මේ දිනවල දිවා රෑ නොබලා වෙහෙසෙන්නේ. අවසානයේ ඒ ස්ඵටිකයක් ලබා ගත්තා. දැලිස් ව්‍යුහය  විවරණය කරලා බලන විට එය මගේ සංයෝගයට සමාන වෙනත් සංයෝගයක්. සිදු වී ඇත්තේ ස්ඵටිකය සඳහා ද්‍රාවණය සැකසීමේදී ඒ ද්‍රාවණයේ ඇති ජල අණුවක් විසින් මගේ සංයෝගයේ ඇති මෙතිල් කාණ්ඩයක් ඉවත් කර කාබන් ඩයොක්සයිඩ් සමග ප්‍රතික්‍රියා කර කාබනේටයක් සැදීමයි.

හෙට ඒ සඳහා යොදා ගන්නා ද්‍රාවණය දෙතුන් පාරක් ආසවනය කර ජලය බිඳක් වත් එකතු නොවන්නට සකසාගත යුතුයි. මේ ද්‍රාවණ වායුගෝලයට විවෘත කරනවාත් සමගම වායුගෝලයේ ඇති ජලවාෂ්ප අල්ලාගන්නවා.

ඉතින් මේ දවස්වල බලාපොරොත්තු කඩ වුනත්, හෙට සිට අළුත් ඇරඹුමක්….. බලාපොරොත්තු බිඳවැටුනාම ඒ ගැන පසුතැවිලි නොවී ඒකට හේතු සොයාගෙන ඉදිරියට යායුතුයි…

අපි බලමු මේ සතියේ මොකද වෙන්නේ කියලා…

පසුව හමුවෙමු…

2011 ජුලි 12 : මගේ ලිපි හොරකම් කරන්න එපා… ඉල්ලීමක් කළොත් බෑ කියන්නෙ නෑනෙ….


අනේ පින්වත් නෝනාවරුනි මහත්වරුනි.

ජුලි 08 වනදා ඇල්කෙමියාගේ දිනපොතට මා ලියූ “ඇමතිවරු කුඩු විකුණන රටක ජනතාවට යන කලදසාව” නම් ලිපියට බොහෝ ආණ්ඩු විරෝධී කණ්ඩායම් වල අවධානය යොමු වී ඇති බවක් පෙනෙන්නට ඇත.

අවවාදයයි : අදහස් බංකොලෙත්භාවය - මොළය සංකෝචනය කරවයි...

ලංකා ඊ නිවුස් අඩවිය මෙම ලිපිය පළ කර ඇති බව මට පැවසූයේ මගේ මිතුරියකි. කතන්දර ශූරීන් ද පසුව ඒ බව දැන්වීය – දෙදෙනාටම තුති. ඒ ලිපිය එහිදී 13000 කට අධික පාඨකයන් සංඛ්‍යාවක් කියවා ඇති අතර 46 දෙනෙකු ප්‍රතිචාර දක්වා ඇත. ප්‍රසිද්ධියට බොහොම ස්තූතියි – බොහෝ දෙනෙක් කියවීම පිළිබඳ සතුටුයි. නමුත් අවම වශයෙන් මට ඒ බව දැන්වීම හෝ කළ යුතුව තිබුණි. එය මාධ්‍ය සදාචාරයයි. බොහෝ දිනවල ලංකා ඊ නිවුස් හි මා දැමූ ප්‍රතිචාරයක් වත් පළ නොවූ අතර මගේ ලිපියක් මටත් හොරෙන්ම පළ වීම හරිම අපූරු ය.

තවත් බ්ලොගයක් වන අණ්ඩර දෙමළ අවකාශය මෙම ලිපියේ කෙටසක් උපුටාගෙන තමන්ගේ මෙන් පළ කර ඇත. අවම වශයෙන් මගේ ලිපියකින් උපුටාගත් බව වත් සඳහන් කිරීමට තරම් ශීලාචාර වී නැත.

මීට පෙර ඇල්කෙමියාගේ රසායනාගාරයෙහි පළ වූ “ගිණි අවි නැති ගිණිකෙළි” නම් වූ ලිපිය කව්දෝ දෙනෙක් එළකිරි ඩොට් කොම් හි තමන්ගේ මෙන් පළ කර ඇත.

මේ සියල්ල අදහස් බංකොලොත්භාවයේ රෝග ලක්‍ෂණ වේ.

මගේ ලිපි බුද්ධිමය දේපල පණතින් ආරක්‍ෂා කර නැත. මා ලියන්නේ හිට් සංඛ්‍යාව බලාගෙන ද නොවේ. මා ලියන්නේ මට හිතෙන දේ මට වෙලාව ඇති ප්‍රමාණය අනුවය. මා ආණ්ඩු විරෝධී නැත – ආණ්ඩුවට පක්‍ෂපාත ද නැත. හරි දේ සහ වැරදි දේ මා දකින විදියට මගේ ලිපි වල විග්‍රහ කරමි. ඔබේ සියළුම ප්‍රතිචාර මගේ ලිපිවල පළ කරන අතර ඒ සියල්ලෙන් මා යමක් ඉගෙන ගනිමි.

මා නිරීක්‍ෂණය කළ එක් දෙයක් නම්,  දේශපාලන ලිපි හෝ ලිංගිකත්‍වය පිළිබඳ සාකච්ඡාවන ලිපිවලට ඉහළ ප්‍රතිචාර ලැබෙන බවය. මිනිසා දේශපාලන සහ ලිංගික සත්ත්‍වයෙක් බව නැවත වරක් සනාථ කිරීමට මේ සාක්‍ෂියද  එක් කරගත හැක.

මින් පසු මගේ ලිපිවල ආරම්භයේ අයිතිය පිළිබඳ සටහනක් ලිවීමට මම කටයුතු යොදමි.

ලංකාවේ මිනිසුන්ගේ මාධ්‍ය සදාචාරය ගැනද ලිපියක් ලිවීමට සිදුවී ඇත.

අනේ මහතුනේ, මින්පසු මගේ ලිපි හොරෙන් ගන්න එපා… කිවුවනං දෙනවනේ… මොකද, මේවා ලියලා මම රජ වෙන්න යෑ….

මෙයට යටහත් පහත්,

ඇල්කෙමියා.

2011 ජුලි 10: මහින්දානන්ද නොදකින, ගෝඨාභය දුටු, සත්‍යය.


සංගක්කාරගේ කවුඩ්‍රි දේශනය ගැන මීට පෙර ඇල්කෙමියා විවරණයක් කළේය. එය මෙතැනින් බලන්න. එතැන මා පැහැදිලිව සටහන් කළේ විදේශ ඇමතීන් කිහිප දෙනෙකුට හෝ වෙනත් කෙනෙකුට කළ නොහැකි වූ දෙයක් සංගක්කාර විසින් පැයක් ඇතුලත කිරීම පිළිබඳවයි. “දේශනයේ මුල කොටසේ අපේ හිටපු විදේශීය ඇමති වරු දෙතුන් දෙනෙකුටම කරගන්න බැරි වුන දෙයක් කළ බව කාටවත් ඇසුනේ නැතිව හෝ ඒ පිළිබඳ උනන්දුවක් දැක්වූයේ නැතිව ඇති. ඔහුගේ දේශනයේ මුල කොටස වෙන් වූයේ ලංකාවේ ජාතික සමගිය වර්ධනය කිරීම ගැන. ද්‍රවිඩ ජාතික පවුල් 83 ජුලි කලබල සමයේ බේරා ගත් හැටි, ලංකාවට ත්‍රස්තවාදීන් කළ විනාශය ලොවට කියා පෑමට. ලංකාවේ බොහෝ දෙනෙකුට අවුරුදු ගානක් අන්තර් ජාතික දේශනයකදී කියාගන්න බැරිව තතනපු දේවල් සංගක්කාර මුල් විනාඩි කීපය තුළ අපූරුවට කියා පෑවා.”

මේ දේශනය ගැන මහින්දානන්ද ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් වාර්තාවක් ඉල්ලූ බවත් ජනමාධ්‍ය වල සඳහන් වුනා. මා සිතන අන්දමට නම් ඔහු වාර්තාවක් කෙසේ වෙතත් සිංහල පරිවර්තනයක් නම් ඉල්ලන්න ඇති. මක් නිසාද යත් ලංකාවේ ඇමති මණ්ඩලයෙන් සියයට 80 කට පමණම ඉංගිරිසි වචනයක් හරියට කියවා ගන්න හෝ කතා කරගන්න බැරි බව අප සියළුම දෙනා දන්නා නිසා. නමුත් ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට නම් මෙය පෙනී ඇත්තේ වෙනස් විදියකටයි. එනම් මෙය  බොහෝ දෙනෙකුට කරගන්නට බැරි වූ දෙයක් ලෝකය හමුවේ කියා පෑමක් ලෙසයි. රජයේ සහ හමුදාවේ ඇත්ත තත්ත්‍වය සංගක්කාර බ්‍රිතාන්‍යයේ 1500 ක් දෙනා හමුවේ නිර්භයව කියා පෑම ඊලාම්වාදීනට අත දිග හැර ලැබුණ හොඳ අතුල් පහරක්.

අපේ බොහෝ ඇමතිවරු පිටරට සංචාර වලට ගියත්, ඔවුන් ඒවායින් හරවත් යමක් නොගන්නා හැඩයි. අපේ බොහෝ දෙනා ලිං මැඩියන් වගෙයි සිතන්නේ. කවුරු හෝ දෙසා බාන දෙයක් අල්ලාගෙන උද්ඝෝෂණ කිරීම ආදිය ප්‍රධාන තැනක් ගන්නවා. මා ගෝඨාභයට ගරු කරන්නේ ඔහු කියන දේ කෙළින්ම කියන කරන දේ නිර්භයව කරන කෙනෙක් නිසයි. ඔහු ආරක්‍ෂක ලේකම් පදවියට පත් වුනේ නැත්නම් මේ යුද්ධය තවමත් එකතැන. ඔහු සියළුම කරුණු කාරණා වලට පටහැනිව යමින් විශ්‍රාම යන්නට සති දෙකක් තිබූ ජෙනරාල් සරත් ෆොන්සේකා හමුදාපති තනතුරට පත් කළේ ඉදිරියට විය හැකි සියල්ල දැන දැන වන්නට පුළුවන්. බොහෝ දෙනා සරත් ෆොන්සේකාට පමණක් යුද්ධ ජයග්‍රහණය දෙන්නට කල්පනා කළත්, සියල්ලන්ටම අමතක වී ඇත්තේ ඔහු සති දෙකකින් විශ්‍රාම ගියා නම් කුමක් සිදු විය හැකිව තිබුණාද යන්නයි. එය පිළිබඳ විවාදය පසෙක ලා දැනට පාතාලයට එරෙහිව කෙරෙන මෙහෙයුම් දෙස බැලුවද, ඒ සියල්ල පිටුපස ගෝඨාභය සිටින බව කාටත් පෙනෙන කරුණක්. කොළඹ නගරය කුණු නැති කර අලංකාර කිරීම ආදියෙහි මූලිකත්‍වය ඔහු විසින් ගෙන යනු ලබනවා.

අපේ ඇමති මණ්ඩලයේ තනතුරු වලට නුසුදුසු පුද්ගලයන් පත්ව ඇති බව මා පැවසුවේ වරක් දෙවරක් නොවෙයි. සියළුම ප්‍රශ්න ඔඩු දුවන තෙක් බලා සිට ජනාධිපති මැදිහත් වනතුරු බලා සිටින ඇමති මණ්ඩලයකුයි අපට ඇත්තේ. Island පුවත් පතේ තිබූ පරිදි විමර්ශනය කළ යුත්තේ ඇමති වරයා සහ ඔහුගේ හෙංචියියන්  විනා බ්‍රිතාන්‍යයේදී 1500 ක් දෙනා සිය අසුන් වලින් නැගිට සිය ආචාරය පුද කළ හිටපු ක්‍රිකට් නායක කුමාර සංගක්කාර නොවේ.

%d bloggers like this: