Daily Archives: ජූලි 2, 2011

2011 ජූලි 02 : මගේ ආදරණීය ඇල්කෙමිච්චිට සෙනෙහසින්……


මගේ ආදරණීය ඇල්කෙමිච්චියේ,

හැමදාම අනුන්ගේ මගුල් ගැන ලියන මම අද නුඹ ගැන ලියන්න හිතාගත්තේ අද අපි දෙන්නටම විශේෂ දවසක් නිසා. 1994 ජුලි දෙවනිදා අපි දෙන්නා බර බර ගාන ගල්කිස්ස කිරිබත්ගොඩ 154 ලංගම බස් එකේ යන ගමන් බොහෝ දේවල් කතා කළා මතකයි. ඒ වගේමයි මම ඇහුවෙ අපි දෙන්නා පෙම්වතුන් වෙමුද කියලා. අපි දෙන්නා යාළුවො වුනේ ඊට බොහොම ඉස්සර වුනාට පෙම්වතුන් වුනේ එදා.

එදා මෙදාතුර මගේ හැම දේටම සහාය වෙමින් හෙවනැල්ලක් වගේ පස්සෙන් හිටියෙ නුඹ. මම ලියපු කවි හැම එකක්ම එකතු කරලා ෆයිල් එකක දාගෙන හිටියෙ නුඹ. මට වගේ කවි ලියන්න, සිංදු කියන්න බැරි වුනත් මගේ හැම උත්සාහයක්ම මුවින් අගය නොකළත් ඒ කිසි දෙයක වැරැද්දක් දැක්කෙත් නෑ…රසායන විද්‍යා අයතනයේ අපි දෙන්නා කළ පෙරළි කරන්න තවමත් වෙන කාටවත් බැරි වෙලා තියෙනවා. මම Batch top වෙද්දි නුඹ Batch second වුනේ අපි දෙන්නගෙම උත්සාහයේ ප්‍රතිඵල නිසා. ඒ වගේම අපිව විවේචනය කරපු හැමෝටම හොඳට රිදෙන්න ඇණලා කියාදෙන ගමන්. දෙවන වතාවෙ නුඹ Batch top වෙලා මම Batch second වුන වෙලාවෙ නුඹ සතුටු වුනාට වඩා කළේ දුක් වෙන එකයි.. මම බොහෝ දේවල් වලට කැමැත්තෙන්ම ඉදිරිපත් වෙත්දි, ඒ කිසිවකට වැරැද්දක් නොකියා සහයෝගය දෙන පුරුද්ද තවමත් නුඹ ගාව තියෙනවා. මම පස්ස බිම ඇණගෙන දුක් වෙද්දි, පස්සෙ තෙල් ගාලා මාව ඉස්සරහට තල්ලු කරන්නෙත් නුඹ මයි.

අපි දෙන්නගේ ප්‍රේම පුරාණයට කාගෙන්වත් බාධක ආවෙ නැත්තෙ අපි-අපිටම හිමි වෙන බව බොහෝ දෙනා දැනගෙන හිටිය නිසාම වෙන්න ඇති. රසායන විද්‍යා ආයතනයේ සමහර කෙල්ලො මගේ පස්සෙන් එද්දි, ඒ බව පහදලා දීලා මාව සමහර වලවල් වලින් බේර ගත්තෙත් නුඹමයි. අපි දෙන්නා එදා වගේම තවමත් Team එකක්.. අපි දෙන්නා බොහෝ දේවල් කළේ එකටමයි. රසායන විද්‍යා ආයතනයේ, කාර්මික පර්යේෂණ ආයතනයේ වගේම මොන්රෝ විශ්ව විද්‍යාලයේදීත් අපි දෙන්නා Team එකක් වුනා. මොන්රෝ විශ්ව විද්‍යාලයේ අන්තර්ජාතික ශිෂ්‍යයන්ගේ දිනයේදී මම නුඹට ස්තුති කරද්දි ශාලාව දෙදරන්න අත්පොලසන් නාදයක් ලැබුනේ නුඹට.. මට නොවෙයි. ඒ නුඹ මගේ පිටිපස්සේ හෙවනැල්ලක් වගේ හිටිය බව මුව විශ්ව විද්‍යාලයම දැනගෙන හිටිය නිසා.  ඒකයි අපි දෙන්නා මේ තරම් දුරක් මේ ගමන ආවේ.  නුඹ නැත්තං මගේ ජීවිතයේ වැඩි කොටසක්  නෑ… ඒ බව මම නොකිවුවත් නුඹ දන්නවා. මගේ සාර්ථකත්‍වයක් ඇත්නම්, ඒකේ ගෞරවය හිමි වෙන්න ඕන නුඹටයි.

ක්‍රිකට් ගහන්න ගිහින් තුවාල කරගෙන ආවම බැණ බැණ බෙහෙත් දාන්න, තෙල් ගාන්න වගේම ගෙදර වැඩක් අතපසු වුනාම පලු යන්න බණින්නෙත් නුඹ තරහින් නොවන බව මම දන්නවා. නුඹට වගේ තරහ නොගියත්, සමහර වෙලාවට මම කෑගහනකොට සද්ද නැතුව ඉන්නේ මට බයට නොවෙයි කියලත් මම දන්නවා. ඒ අපි දෙන්නාගේ තියෙන අන්‍යොන්‍ය තේරුම් ගැණීම.. රෑ තිස්සේ බ්ලොග් ලියනකොට නිදාගන්න කියලා මට කෑගහන්නේ නුඹ මගේ ශරීර සෞඛ්‍යය ගැන සැලකිළිමත් වන නිසා බව මම දන්නවා. කඩේ ගිහින් අපි හැමෝටම ගැලපෙන සෞඛ්‍යාරක්‍ෂිත ආහාර, එළවලු, පළතුරු ආදිය ගේන්නේ නූතන මද්‍රි දේවියක් වගේ. නුඹ මට මාතෘ භාර්යාවක් වගේම මගේ හොඳම යෙහෙළිය. ඉතින් අදට අපේ මිතුරුකමට අවුරුදු 17 ක් වෙනවා… ඉතිං මම මේ අවුරුදු ගාන හැමදාම ගණන් කරනවා… ජීවත්ව ඉන්නකං… ඒක ගොඩක් කල් පවතීවි…. ලියන්න දාහක් දේවල් තියෙනවා.. ළඟදි තව සංවත්සරයක් එනවා නේ… ඉතිරි ටික ඒකට ලියන්නම්….

කවුරු මොනව කිවුවත්, අපේ පැටියත් හදාගෙන ඔන්න ඔහේ අපි අපේ ගමන හෙමින් හෙමින් යං…. එහෙමනේ අපි හැමදාම කියන්නේ…

කියන්න අමතක වුනා අද උදේ……. ඇත්තමයි.. මම නුඹට ආදරෙයි…

සදාදරණීය,

ඇල්කෙමියා.

%d bloggers like this: