Daily Archives: ජූලි 5, 2011

2011 ජූලි 05 : මට හිනාවෙච්ච ඇත්තන්ට, මෙන්න ඇත්ත…. නලින් සිල්වාගේ ම කටින්…


පසුගිය සතියක දවසක මම ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා බන්ධනාගාරගත වූ පසු සිදුකළ පළමු සම්මුඛ සාකච්ඡාව පළ කළ අවස්ථාවේ සමහරක් හිනා වුනා ඒ සාකච්ඡාව බොරුවක් බවත්, ආණ්ඩුව යුද්ධ කළේ දෙවි වරුන්ගේ සහායෙන් නොවන බවත්….. නමුත් මේ පිළිබඳ සත්‍ය තත්ත්‍වය පැහැදිලිව සම්මුඛ සාකච්ඡාවක් මගින් නලින් සිල්වා විසින් එලිදරවු කර තිබෙනවා මෙන්න මෙහෙම.

අප කණ්‌ඩායමේ මූලික අරමුණ රජරට නිදන්ගත වකුගඩු රෝගයට හේතුව දැනගැනීමත් ඒ සඳහා ප්‍රතිකාර හඳුන්වා දීමත් ය. එහි විවිධ අවස්‌ථාවල අපට නාථ දෙවියන් ගෙන් උපකාර ලැබී ඇත. අපි ඒ බව නො සඟවමු. නාථ දෙවියන්ට ද ඒ බව සැඟවීමේ අවශ්‍යතාවක්‌ නැත. එහෙත් නාථ දෙවියන් පිළිබඳ කතාව ජනමාධ්‍යවල සඳහන් වන්නේ විවිධ ආකාරයෙනි. ඇතැම් ජනමාධ්‍යයක පසුගිය දිනෙක කතුවැකිය ලියූ තැනැත්තා නාථ දෙවියන් මේ පරීක්‍ෂණයෙන් ඉවත් කරන ලෙසට අපට අවවාදයක්‌ ද දුන්නේ ය. එය එදින කතුවැකිය ලියූ තැනැත්තා ගේ අදහස මිස පුවත්පතේ අදහසක්‌ නො වන බව අපි දනිමු. පුවත්පතකට ඇත්තේ පුවත්පතට නිල වශයෙන් ලියන පුද්ගලයන් ගේ අදහස්‌ මිස ඊනියා වාස්‌තවික අදහසක්‌ නො වන බව දන්නා අපට එය ගැටලුවක්‌ නො වුවත් නාථ දෙවියන් අමතක කිරීමට තරම් අප ගුණමකු නො වන බව පමණක්‌ දැනට මෙහි දී සඳහන් කළ යුතු ය.

මෙහි දී සඳහන් කළ යුතු තවත් වැදගත් කරුණක්‌ වෙයි. නාථ දෙවියන් ගේ උපකාරය ලබාගෙන ඇත්තේ අප පමණක්‌ නො වේ. වෙනත් කරුණුවල දී ද නාථ දෙවියන් ප්‍රමුඛ සම්‍යක්‌ දෘෂ්ටික දෙවිවරුන් විවිධ අයට ආධාර කර ඇත. මාවිල්ආරුවෙන් ඇරඹි මානවීය මෙහෙයුම්වල දී ද එලෙස දෙවිවරුන් ගේ ආධාරය ලැබුණු බව අප පවසන්නේ ඒ මෙහෙයුම ජයග්‍රහහණය කළ රණවිරුවන්ට දිය යුතු ගෞරවය අබමල් රේණුවකින් වත් අඩු කිරීමට නො වේ. පසුව නාථ දෙවියන් ප්‍රමුඛ සම්‍යක්‌ දෘෂ්ටික දෙවිවරුන් වෙනත් කරුණුවල දී ද උපකාර වී ඇති අයුරු හෙළිදරව් වනු ඇත. එමෙන් ම මෙරට ඇතැම් නාට්‍ය අධ්‍යක්‍ෂවරුන්, චිත්‍රපට අධ්‍යක්‍ෂවරුන්, තිර රචකයන්, ග්‍රන්ථ කර්තෘවරුන්, මනුෂ්‍ය නො වන බලවේගවලින් ආධාර ලබාගෙන ඒ සඟවාගෙන සිටින අයුරින් කටයුතු කිරීමට ද අපි බලාපොරොත්තු නො වෙමු. ඔවුන් අතින් ඉඳහිට වැරැදීමකින් ඒ බව හෙළි වන අවස්‌ථා ද නැත්තේ නො වේ.”

මෙහෙමත් කියනවා….

රජරට නිදන්ගත වකුගඩු රෝගයට හේතුව ආසනික්‌ වීමට සියයට අනූ නවයක ඉඩක්‌ ඇතැයි පැවසූ අපි රජරට පොළොවට ආසනික්‌ ලැබෙන්නේ කෘෂි රසායන ද්‍රව්‍යවලින්, විශේෂයෙන් ම පළිබෝධනාශකවලින් යෑයි කීවෙමු. එහි දී ද සන්නිවේදන ගැටලු දෙකක්‌ මතු වී ඇත. අප අවධාරණය කරන්නේ පළිබෝධනාශකවල ඇති ආසනික්‌ වුවත් අද ජනමාධ්‍යවල අවධාරණය වන්නේ සහල්වල ඇති ආසනික්‌ ය. සහල්වල ද ආසනික්‌ ඇති බව අපි ස්‌ථිරව ම කියමු. එහෙත් අපේ ප්‍රශ්නය සහල්වල ආසනිත් තිබීම නො ව පළිබෝධනාශකවල ආසනික්‌ තිබීම ය.”

මෙහෙම ඇහැවුවෙ නම් අදමයි…

මේ අතර ඇතැම් පඬියන් තම පඬිකම ඉස්‌මතු කරමින් නිතර අසන ප්‍රශ්නයක්‌ ව ඇත්තේ පළිබෝධනාශක නැඟෙනහිර පළාතේත් යොදා ගැනෙන්නේ නම් ඒ පළාතේ වැසියන්ට නිදන්ගත වකුගඩු රෝගය වැළඳෙන්නේ නැත්තේ ඇයි ද යන්න ය. එයට හේතුව ද අප කිහිප වරක්‌ ම පැහැදිලි කර ඇති නමුත් ඇතැම් පඬි සන්නිවේදනලාභීන් ඒ ගැන නිසි උනන්දුවක්‌ දක්‌වා නොමැති බැවින් ඔවුහු නිතර නිතර එවැනි ප්‍රශ්න අසති. රජරට වකුගඩු රෝගයට ප්‍රධාන හේතුව ආසනික්‌ වුවත් ඒ සඳහා ජලයේ විශේෂ කිවුලක්‌ හා විශේෂ පසක්‌ අවශ්‍ය වෙයි. ඒ සියලු කරුණු සපුරා ලන්නේ රජරට හා ආසන්න ප්‍රදේශ කිහිපයක ය. ඇතැම් සන්නිවේදන පඬියන්ට ද මේ කරුණු අමතක වීම ගැන අප කුමක්‌ කරන්න ද?

මහාචාර්ය ඉලේපෙරුම මහතා දන්නා රසායන විද්‍යාව අනුව කැල්සියම් අඩංගු ජලයේ ආසනික් දියවීම අඩුය. එනම් අවක්‍ෂෙප වේ (මේ ගැන මා මුලින් කියුවේ එහි අනිත් පැත්තය – ටැපලුනාට සමා වෙන්න).. ඒ අනුව ජලයෙන් ආසනික් ඉවත් විය යුතු වේ.

එසේම 1996 ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගැනීමට නාථ දෙවියන්ගේ මග පෙන්වීම මහඟු පිටිවහලක් වූ බවද අපට දැන්ගන්නට ලැබී ඇත. සනත් ජයසූරිය සහ රොමේෂ් කළුවිතාරණ ආරම්භක පිතිකරුවන් ලෙස යොදවන්න යැයි අර්ජුන රණතුංගට සහ ඩේව් වට්මෝර්ට දන්වා ඇත්තේ නාථ දෙවියන් විසිනි.  2011 ලෝක කුසලානය ලංකාවට නොලැබුණේ නාථ දෙවියන්ට වඩා බලගතු දෙවියෙකු ඉන්දියාව වෙත එය දිනාගන්නට බලපෑම් කිරීමෙන් නාථ දෙවියන් සරෙන්ඩර් වූ නිසා බව නායක කුමාර සංගක්කාර සිය ලෝඩ්ස් හි සිදු කළ කතාවේදී ව්‍යංගයෙන් අඟවා තිබේ. ඒ අනුව ඉන්දියාවේ දෙවියන් විසින් නලින් සිල්වාගේ දෙයියන්ට කතා කරන කාන්තාව හරහා රට කරවන ඇත්තන්ට දන්වා ඇත්තේ ඉන්දියාව පැරදුනහොත් ලංකාව කෙරෙහි දැඩි තීරණ ගැනීමට සිදු වන බවත්, ඒ නිසා තරඟය පැරදී රට බේරා ගන්නා ලෙසත් ය. ඒ අනුව සංගක්කාර ආක්‍රමණකාරී ක්‍රීඩා පිටියක් සකසනු වෙනුවට ආරක්‍ෂාකාරී ක්‍රීඩා පිටියක් සකසා ඉන්දීය පිතිකරුවනට රිසි සේ ලකුණු රැස් කරන්නට ඉඩ දුන් බව පවසා ඇත.

දෙවියන් අපෙන් පින් ගන්නේ අපව පින් කරන්නට යොමු කිරීමට විනා අනෙකක් නිසා නොවන බවත් අපට දැනගන්නට ලැබී ඇත. ලිබියාවට ගහන එකත් නාථ දෙවියන්ට කියා නවත්තන්නට හැදුවත්, යැංකි දෙයියා නාථ දෙයියන්ට වඩා බලවත් නිසා ඒ වැඩේ අතෑර දමන්නට සිදු වී ඇත. සාමාන්‍යයෙන් නාථ දෙයියෝ අත දාන්නේ තමන්ට කළ හැකි දේ වලට පමණි. අපේ දේශපාලනඥයන් නාථ දෙයියන්ගෙන් ඒ පාඩම වත් ඉගෙන ගන්නවා ගම් අපූරුය.  පාතාලයේ ලොකු ලොක්කන් සිටින තැන්, ඩෙංගු මදුරු උවදුරට බෙහෙතක්, අකර්මන්‍ය රාජ්‍ය නිලධාරීන් කාර්යක්‍ෂම කරන අයුරු, දූෂිත දේශපාලනඥයන් පිරිසිදු කිරීම ආදිය නාථ දෙයියන්ගේ ඇජෙන්ඩා එකේ මීලඟට ඇති කරුණු වන නිසා ඔය කවුරු කවුරුත් පන්සල් ගොස් දෙයියන්ට පින්  අනුමෝදනා කිරීම යහපත් වේ.

කෙසේ හෝ මේ ගැන තර්ක කිරීම පසෙක ලා අප කළ යුත්තේ මේ වකුගඩු රෝගයට බෙහෙතක් සොයා ගැනීම බව පුන පුනා අවධාරණය කරනු කැමැත්තෙමි.


%d bloggers like this: