Daily Archives: ජූලි 6, 2011

2011 ජුලි 06: කුමාර් සංගක්කාර සියදිවි නසාගැනීමකට ලක් වේ… මොළේ ඇති නිසා යන්තම් බේරේවි යැයි ඇල්කෙමියා ප්‍රාර්ථනා කරයි…


සංගක්කාරගේ බෙල්ල කැපේද ?

ඊයේ වැඩ කරන අතරේ පැය ගානක් තිස්සේ  වරින් වර ඇසුවේ ලංකාවේ හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර මහතා ගේ දේශනය. සංගක්කාර කියන්නේ බොහෝ දෙනාගේ ගෞරවයට පාත්‍ර වෙච්චි ක්‍රීඩකයෙක්. ශ්‍රී ලාංකික ක්‍රිකට් කණ්ඩායමේ එදා මෙදා තුර බිහිවූ දක්‍ෂ බස හසුරවන්නෙක් වගේම දක්‍ෂ පිතිකරුවෙක්, නායකයෙක් කියන එක කාටවත් අමුතුවෙන් කියාදෙන්න අවශ්‍ය නැහැ. ජාතික කණ්ඩායමට නොයෙක් වර කණ්ඩායම් නායකයෝ (captains) පත් වුනාට මේ වගේ සැබෑ නායකයෙක් (Leader) පත් වුනේ නෑ.. ඉන්දීය ක්‍රීඩකයෝ වගේ ඔළුව උදුම්මා නොගත් ඔහු බොහොම නිහතමානී “පොරක්“. සාමාන්‍යයෙන් ක්‍රිකට් ක්‍රීඩකයෝ වැඩි දුර ඉගෙන ගන්නේ නැති වුනත්, සංගක්කාර සිය පියාගේ අඩිපාරේ යමින් නීතියත් හදාරනවා. මේ හැකියාව සහ මොලේ ඇති සංගක්කාර මේ පාර කවුඩ්‍රි දේශනයට ආරාධිතයා ලෙස සහභාගි වුනේ දැනට ක්‍රීඩා කරන ක්‍රීඩකයෙක්, ලාබාලම දේශකයා, සහ පළමු ශ්‍රී ලාංකිකයා යන වාර්තා තුනම තබමින්. මේ දේශනය ක්‍රිකට් වලට ආදරය කරන, ඒ පිළිබඳ උනන්දුවක් දක්වන බොහෝ දෙනෙක්ගේ ඇස් ඇරීමට සමත් වූ දේශනයක්. දේශනයේ මුල කොටසේ අපේ හිටපු විදේශීය ඇමති වරු දෙතුන් දෙනෙකුටම කරගන්න බැරි වුන දෙයක් කළ බව කාටවත් ඇසුනේ නැතිව හෝ ඒ පිළිබඳ උනන්දුවක් දැක්වූයේ නැතිව ඇති. ඔහුගේ දේශනයේ මුල කොටස වෙන් වූයේ ලංකාවේ ජාතික සමගිය වර්ධනය කිරීම ගැන. ද්‍රවිඩ ජාතික පවුල් 83 ජුලි කලබල සමයේ බේරා ගත් හැටි, ලංකාවට ත්‍රස්තවාදීන් කළ විනාශය ලොවට කියා පෑමට. ලංකාවේ බොහෝ දෙනෙකුට අවුරුදු ගානක් අන්තර් ජාතික දේශනයකදී කියාගන්න බැරිව තතනපු දේවල් සංගක්කාර මුල් විනාඩි කීපය තුළ අපූරුවට කියා පෑවා. නමුත් අවසාන කොටසේ ලංකාවේ දේශපාලනය සහ දූෂණය ගැන කියූ නිසා ඒ හොඳ සියල්ල අර දූෂිත දේශපාලනඥයන්ට ඇහුනේ නැතුව ඇති.  මෙන්න මේ නිසා තමයි මම කියන්නේ සංගක්කාරව සියදිවි නසාගැනීමකට ලක් කරනවා කියලා. මොකද්ද මේ හරුපේ කියලා සමහර දෙනෙකුට හිතෙනවාට කිසිම සැකයක් නෑ… නමුත් සංගක්කාර – සංගක්කාර නොවුනා නම්, මෙලහකටත් ඔහු සිය දිවි නසාගැනීමකට ලක් කරලා.

සංගක්කාර අපේ බොහොමයක් දේශපාලුවන්ට වඩා නුවණ ඇති කෙනෙක් බවයි මගේ වැටහීම. අපේ දේශපාලුවොන්ට කවුඩ්‍රි දේශනය තියා එංගලන්තේ මරණාධාර සමිතියක දේශනයකටවත් ආරාධනා කරන්නේ නෑ… උන්ට එහෙම ආරාධනා කළත් කියාගන්න දෙයක් නෑ… දන්න මගුලක් නෑනේ.. දන්න එකම දේ තමන්ගේ මඩිය තර කරගන්න එක විතර නේ..

මෙන්න මේ නිසා දේශපාලුවො සංගක්කාරගේ අනාගතය සියදිවි නසාගැනීමකට ලක් කරන්න බොහොම ඉඩකඩ තිබෙනවා. ඒකනේ මහින්දානන්ද ඒක ගැන හොයා බලන්න කියලා ක්‍රිකට් පාලක මණ්ඩලයට කියලා තියෙන්නේ.. ලංකාවේ කිසි කෙනෙකුට නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියක් නෑ කියලා ඔප්පු කරන්න මෙන්න මේක හොඳම සාධකයක්. මීට පස්සේ ක්‍රිකට් ක්‍රීඩකයෝ තරඟයේ වීරයා වුනාට පස්සේ මාධ්‍ය වලට කියන දේ ක්‍රීඩා අමාත්‍යංශය මගින් සහතික කරවගෙන කියන්න වෙන තත්ත්‍වයකට ලංකාව පත් වෙනවාට කිසිම සැකයක් නෑ…. ලංකාවේ ඇමැත්තෝ බොහොමයක් ඒ තැන්වලට සුදුස්සෝ නොවෙයි. උන්ව පත් කරන්නේ ජනාධිපති තුමාටයි අගමැති තුමාටයි තව කාටහරියි හිතෙන විදියට මිසක්, සුදුසුකම් බලලා නොවෙයි. එහෙම සුදුසුකම් බලලා පත් කරනවා නම් ඇමති මණ්ඩලයට පත් කරන්න කෙනෙක් නෑ… මොකද වැඩිපුර ඉන්නේ ජරා පප්පලා සහ මැරයෝ නේ.. මොළේ ඇති එකෙක් එතනට ආවම උගේ මොළෙත් නැති වෙනවා. මම නම් කියන්නේ බුදු හාමුදුරුවෝ ලංකාවේ දේශපාලනයට ආවත්, උන් වහන්සෙත් පගා ගහන තත්ත්‍වයට ලංකාවේ දේශපාලනය උන් වහන්සේව වෙනස් කරවනවා. ලාංකීය දේශපාලනය ඒ තරම් බලවත්. නමුත් රටේ බස් ගාස්තු නියමිත පරිදි පවත්වාගන්නවත්, වැඩිවන ඩෙංගු උවදුර පාලනයට ජනතාව දැනුවත් කිරීම, අදාල මදුරු මර්ධන කටයුතු කිරීම, පෙට්‍රල් ටික හරියට පිරිසිදුව බෙදන්නවත්, රටේ මෙච්චර විදුලි බලාගාර හදලා තිබුණත් විදුලිය නිසි ලෙස බෙදා හරින්නවත්,  පාසැල් නිල ඇඳුම් නිසි ලෙස බෙදා හරින්නවත්, අස්වැන්න වැඩි කාලෙට එළවලු නිසි ලෙස ගබඩා කරලා අඩු කාලෙට වෙළඳ පොළට මුදා හැරලා මිල පාලනය කරන්නවත්, වසර ගණනක් තිස්සේ ඔඩු දුවන වැටුප් සංශෝධන නිසිපරිදි ක්‍රියාත්මක කරන්නටවත්, වැඩිවන මැර බලය කුඩු ජාවාරම්, ආදිය නවත්වන්නටවත්, ආදී මේ කිසිම දෙයක් කරගන්නට ලංකාවේ ඇමැත්තොන්ට මොළේ නෑ..

මෙන්න මේ නිසා තමයි සංගක්කාරගේ දේශනය අපට වටින්නේ, මේ මෝඩ රැල අතරේ මොළයක් තියෙන එකෙක් හරි ලංකාවේ ඉන්නවා කියලා පෙන්වන්නට හොඳම අවස්ථාව නිසි අයුරින් ප්‍රයෝජනයට ගත් සංගක්කාරට මගේ ප්‍රණාමය.

ලංකාවට ගොඩ බහින කොටම ජනාධිපති ආරක්‍ෂක අංශයෙන් හෝ අපරාධ මර්ධන ඒකකයෙන් සංගක්කාරව කුදලාගෙන නොයේවා කියලා ජූලි හය වෙනිදා ප්‍රාර්ථනා කරනවා.

%d bloggers like this: