Daily Archives: ජූලි 10, 2011

2011 ජුලි 10: මහින්දානන්ද නොදකින, ගෝඨාභය දුටු, සත්‍යය.


සංගක්කාරගේ කවුඩ්‍රි දේශනය ගැන මීට පෙර ඇල්කෙමියා විවරණයක් කළේය. එය මෙතැනින් බලන්න. එතැන මා පැහැදිලිව සටහන් කළේ විදේශ ඇමතීන් කිහිප දෙනෙකුට හෝ වෙනත් කෙනෙකුට කළ නොහැකි වූ දෙයක් සංගක්කාර විසින් පැයක් ඇතුලත කිරීම පිළිබඳවයි. “දේශනයේ මුල කොටසේ අපේ හිටපු විදේශීය ඇමති වරු දෙතුන් දෙනෙකුටම කරගන්න බැරි වුන දෙයක් කළ බව කාටවත් ඇසුනේ නැතිව හෝ ඒ පිළිබඳ උනන්දුවක් දැක්වූයේ නැතිව ඇති. ඔහුගේ දේශනයේ මුල කොටස වෙන් වූයේ ලංකාවේ ජාතික සමගිය වර්ධනය කිරීම ගැන. ද්‍රවිඩ ජාතික පවුල් 83 ජුලි කලබල සමයේ බේරා ගත් හැටි, ලංකාවට ත්‍රස්තවාදීන් කළ විනාශය ලොවට කියා පෑමට. ලංකාවේ බොහෝ දෙනෙකුට අවුරුදු ගානක් අන්තර් ජාතික දේශනයකදී කියාගන්න බැරිව තතනපු දේවල් සංගක්කාර මුල් විනාඩි කීපය තුළ අපූරුවට කියා පෑවා.”

මේ දේශනය ගැන මහින්දානන්ද ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් වාර්තාවක් ඉල්ලූ බවත් ජනමාධ්‍ය වල සඳහන් වුනා. මා සිතන අන්දමට නම් ඔහු වාර්තාවක් කෙසේ වෙතත් සිංහල පරිවර්තනයක් නම් ඉල්ලන්න ඇති. මක් නිසාද යත් ලංකාවේ ඇමති මණ්ඩලයෙන් සියයට 80 කට පමණම ඉංගිරිසි වචනයක් හරියට කියවා ගන්න හෝ කතා කරගන්න බැරි බව අප සියළුම දෙනා දන්නා නිසා. නමුත් ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට නම් මෙය පෙනී ඇත්තේ වෙනස් විදියකටයි. එනම් මෙය  බොහෝ දෙනෙකුට කරගන්නට බැරි වූ දෙයක් ලෝකය හමුවේ කියා පෑමක් ලෙසයි. රජයේ සහ හමුදාවේ ඇත්ත තත්ත්‍වය සංගක්කාර බ්‍රිතාන්‍යයේ 1500 ක් දෙනා හමුවේ නිර්භයව කියා පෑම ඊලාම්වාදීනට අත දිග හැර ලැබුණ හොඳ අතුල් පහරක්.

අපේ බොහෝ ඇමතිවරු පිටරට සංචාර වලට ගියත්, ඔවුන් ඒවායින් හරවත් යමක් නොගන්නා හැඩයි. අපේ බොහෝ දෙනා ලිං මැඩියන් වගෙයි සිතන්නේ. කවුරු හෝ දෙසා බාන දෙයක් අල්ලාගෙන උද්ඝෝෂණ කිරීම ආදිය ප්‍රධාන තැනක් ගන්නවා. මා ගෝඨාභයට ගරු කරන්නේ ඔහු කියන දේ කෙළින්ම කියන කරන දේ නිර්භයව කරන කෙනෙක් නිසයි. ඔහු ආරක්‍ෂක ලේකම් පදවියට පත් වුනේ නැත්නම් මේ යුද්ධය තවමත් එකතැන. ඔහු සියළුම කරුණු කාරණා වලට පටහැනිව යමින් විශ්‍රාම යන්නට සති දෙකක් තිබූ ජෙනරාල් සරත් ෆොන්සේකා හමුදාපති තනතුරට පත් කළේ ඉදිරියට විය හැකි සියල්ල දැන දැන වන්නට පුළුවන්. බොහෝ දෙනා සරත් ෆොන්සේකාට පමණක් යුද්ධ ජයග්‍රහණය දෙන්නට කල්පනා කළත්, සියල්ලන්ටම අමතක වී ඇත්තේ ඔහු සති දෙකකින් විශ්‍රාම ගියා නම් කුමක් සිදු විය හැකිව තිබුණාද යන්නයි. එය පිළිබඳ විවාදය පසෙක ලා දැනට පාතාලයට එරෙහිව කෙරෙන මෙහෙයුම් දෙස බැලුවද, ඒ සියල්ල පිටුපස ගෝඨාභය සිටින බව කාටත් පෙනෙන කරුණක්. කොළඹ නගරය කුණු නැති කර අලංකාර කිරීම ආදියෙහි මූලිකත්‍වය ඔහු විසින් ගෙන යනු ලබනවා.

අපේ ඇමති මණ්ඩලයේ තනතුරු වලට නුසුදුසු පුද්ගලයන් පත්ව ඇති බව මා පැවසුවේ වරක් දෙවරක් නොවෙයි. සියළුම ප්‍රශ්න ඔඩු දුවන තෙක් බලා සිට ජනාධිපති මැදිහත් වනතුරු බලා සිටින ඇමති මණ්ඩලයකුයි අපට ඇත්තේ. Island පුවත් පතේ තිබූ පරිදි විමර්ශනය කළ යුත්තේ ඇමති වරයා සහ ඔහුගේ හෙංචියියන්  විනා බ්‍රිතාන්‍යයේදී 1500 ක් දෙනා සිය අසුන් වලින් නැගිට සිය ආචාරය පුද කළ හිටපු ක්‍රිකට් නායක කුමාර සංගක්කාර නොවේ.

%d bloggers like this: