Daily Archives: ජූලි 12, 2011

2011 ජුලි 12 : මගේ ලිපි හොරකම් කරන්න එපා… ඉල්ලීමක් කළොත් බෑ කියන්නෙ නෑනෙ….


අනේ පින්වත් නෝනාවරුනි මහත්වරුනි.

ජුලි 08 වනදා ඇල්කෙමියාගේ දිනපොතට මා ලියූ “ඇමතිවරු කුඩු විකුණන රටක ජනතාවට යන කලදසාව” නම් ලිපියට බොහෝ ආණ්ඩු විරෝධී කණ්ඩායම් වල අවධානය යොමු වී ඇති බවක් පෙනෙන්නට ඇත.

අවවාදයයි : අදහස් බංකොලෙත්භාවය - මොළය සංකෝචනය කරවයි...

ලංකා ඊ නිවුස් අඩවිය මෙම ලිපිය පළ කර ඇති බව මට පැවසූයේ මගේ මිතුරියකි. කතන්දර ශූරීන් ද පසුව ඒ බව දැන්වීය – දෙදෙනාටම තුති. ඒ ලිපිය එහිදී 13000 කට අධික පාඨකයන් සංඛ්‍යාවක් කියවා ඇති අතර 46 දෙනෙකු ප්‍රතිචාර දක්වා ඇත. ප්‍රසිද්ධියට බොහොම ස්තූතියි – බොහෝ දෙනෙක් කියවීම පිළිබඳ සතුටුයි. නමුත් අවම වශයෙන් මට ඒ බව දැන්වීම හෝ කළ යුතුව තිබුණි. එය මාධ්‍ය සදාචාරයයි. බොහෝ දිනවල ලංකා ඊ නිවුස් හි මා දැමූ ප්‍රතිචාරයක් වත් පළ නොවූ අතර මගේ ලිපියක් මටත් හොරෙන්ම පළ වීම හරිම අපූරු ය.

තවත් බ්ලොගයක් වන අණ්ඩර දෙමළ අවකාශය මෙම ලිපියේ කෙටසක් උපුටාගෙන තමන්ගේ මෙන් පළ කර ඇත. අවම වශයෙන් මගේ ලිපියකින් උපුටාගත් බව වත් සඳහන් කිරීමට තරම් ශීලාචාර වී නැත.

මීට පෙර ඇල්කෙමියාගේ රසායනාගාරයෙහි පළ වූ “ගිණි අවි නැති ගිණිකෙළි” නම් වූ ලිපිය කව්දෝ දෙනෙක් එළකිරි ඩොට් කොම් හි තමන්ගේ මෙන් පළ කර ඇත.

මේ සියල්ල අදහස් බංකොලොත්භාවයේ රෝග ලක්‍ෂණ වේ.

මගේ ලිපි බුද්ධිමය දේපල පණතින් ආරක්‍ෂා කර නැත. මා ලියන්නේ හිට් සංඛ්‍යාව බලාගෙන ද නොවේ. මා ලියන්නේ මට හිතෙන දේ මට වෙලාව ඇති ප්‍රමාණය අනුවය. මා ආණ්ඩු විරෝධී නැත – ආණ්ඩුවට පක්‍ෂපාත ද නැත. හරි දේ සහ වැරදි දේ මා දකින විදියට මගේ ලිපි වල විග්‍රහ කරමි. ඔබේ සියළුම ප්‍රතිචාර මගේ ලිපිවල පළ කරන අතර ඒ සියල්ලෙන් මා යමක් ඉගෙන ගනිමි.

මා නිරීක්‍ෂණය කළ එක් දෙයක් නම්,  දේශපාලන ලිපි හෝ ලිංගිකත්‍වය පිළිබඳ සාකච්ඡාවන ලිපිවලට ඉහළ ප්‍රතිචාර ලැබෙන බවය. මිනිසා දේශපාලන සහ ලිංගික සත්ත්‍වයෙක් බව නැවත වරක් සනාථ කිරීමට මේ සාක්‍ෂියද  එක් කරගත හැක.

මින් පසු මගේ ලිපිවල ආරම්භයේ අයිතිය පිළිබඳ සටහනක් ලිවීමට මම කටයුතු යොදමි.

ලංකාවේ මිනිසුන්ගේ මාධ්‍ය සදාචාරය ගැනද ලිපියක් ලිවීමට සිදුවී ඇත.

අනේ මහතුනේ, මින්පසු මගේ ලිපි හොරෙන් ගන්න එපා… කිවුවනං දෙනවනේ… මොකද, මේවා ලියලා මම රජ වෙන්න යෑ….

මෙයට යටහත් පහත්,

ඇල්කෙමියා.

%d bloggers like this: