Daily Archives: ජූලි 22, 2011
2011 ජුලි 22 : ඇමරිකාවෙ එහෙම වුනත්, ලංකාවෙ එහෙම වෙන්නෙ නෑ…..
අපි හැම දේටම ලංකාවේ ආණ්ඩුවට බනින්න දත කට මැදගෙන සිටිමු. බොහෝ අපහසුකම් මැද අධ්‍යාපනයත්, සෞඛ්‍යයත්, නොමිලයේ දෙන රටක් වන්නේ ලංකාවය. අපට නිදහස් අධ්‍යාපනයේ වටිනාකම දැනෙන්නේ නැත්තේ එය නිකම් ම ලැබෙන නිසාය. විශ්ව විද්‍යාල සිසුන්ට නිකම් අධ්‍යාපනය ලැබෙනවා පමණක් නොව බොහොමයක් දෙනාට මහපොළ ද ලැබේ. ඒ සියල්ල මැද පොඩ්ඩ වැරදුන තැන ආණ්ඩුවට එරෙහිව වීදි බසින්නට ද අපේ විශ්ව විද්‍යාල සිසුන් පසුබට නොවේ. නොමිලයේ ලබා දෙන දෙයෙහි අඩුපාඩු නැතිවා නොවේ. සේවාවෙහි තත්ත්‍වය (quality) එතරම් ඉහලින් ලැබෙන්නේ නැත. සේවකයින්ට ලැබෙන වේතන අඩු වන අතර ඒ නිසාම ඔවුන්ගේ කැපවීමෙහි අඩුවක් දක්නට ද ලැබේ. බොහොමයක් පත්වීම් සහ උසස්වීම් අධ්‍යාපන සුදුසුකම් මතම සිදු නොවන අතර දේශපාලන අතපෙවීම් නිසා සියල්ල අවුල් සහගත වේ.
සෞඛ්‍ය ක්‍ෂෙත්‍රයද ඊට දෙවනි නොවේ. නොමිලයේ ලැබෙන නිසාම බොහෝ දෙනෙකුට එය අගයක් නැත. නොමිලයේ දෙන නිසාම එය ලබා දෙන අයටද වගකීමක් නැත. තමන්ගේ හැදීම ගැන බලා ගන්නා පිරිස වැඩිවන අතර දැන හැඳුනුම්කම් මත සේවා සැපයීම බොහෝවිට දක්නට ලැබේ. නර්ස් ලාට කාමරයක් දුන්නොත් දොස්තරලාට හිතට හරි නැත. උන් ටික වර්ජනයේ ය. ලොකු දොස්තර මහත්තයාට නර්ස් කෙනෙකු ලඟදී පඩයක් ගියොත් නර්ස්ලාට තරහ ගොස් වර්ජනය කරන්නට යති. ඇටෙන්ඩන්ලාඩ පඩි වැඩි කළොත් අපටත් පඩි වැඩි කරන්නැයි දොස්තරලාද වර්ජනයේ ය… මේ සියළුම දෙනා උගසට ගන්නේ අසරණ රෝගීන්ගේ ජීවිත වේ. මේ වර්ජන නිසා මිය යන කිසිකෙනෙකුගේ ජීවිතවල වගකීම මේ දොස්තරලා ගන්නේ නැත. දොස්තර කෙනෙකුගේ අත් වැරදීමකින් මියයන හෝ අසරණභාවයට පත් වන රෝගීන් වෙනුවෙන් කිසිවකු වර්ජනය නොකරයි.
ලංකාවේ ප්‍රවාහන ක්‍ෂෙත්‍රය අඩු මිලට ප්‍රවාහනයේ යෙදුනද, පුද්ගලික බස් මාෆියාවට යට වී සිටී. බොහෝ බස් රියදුරන් මඳපමණට ගෙන ගුවන්ගත වී පාර අයිනේ සිටින මගීන් අමුණාගෙන ගියත්, උන් ටික දවසකින් නිදහස් වී ඒ සියල්ල ඒ ආකාරයෙන්ම කරගෙන යති….
ඒ ලංකාවේය…
ඇමරිකාවේ තත්ත්‍වය එසේ නොවුනත්, වැඩි වෙනසක් නැත. සමහරවිට අන්තය.
ප්‍රවාහන ක්‍ෂෙත්‍රය නම් තරමක් ආචාරශීලීය…. මිනිසුන් ආචාරශීලීව සේවය සපයති. සෞඛ්‍ය ක්‍ෂෙත්‍රය නම් තනිකරම රක්‍ෂණ සේවා සපයන ආයතනවල මාෆියාවකි. සුළු රෝගයකටත් මහා ලොකු ගාණක් අය කරන අතර සෞඛ්‍ය රක්‍ෂණයක් නොමැති වුනොත් යම් රෝගයකට බෙහෙත් ගැනීමේදී සේසතම උගස් තියන්නට සිදු වෙයි. පසුගියදා මගේ පුතාගේ හිසේ සිදු වූ තුවාලයකට බෙහෙත් දමන්නට ගොස් පැය 6 ක් රස්තියාදු වී මැහුම් තුනක් දැම්මාට ඩොලර් 5000 ක බිලක් ආවේ ඒ රක්‍ෂණ සමාගම් වලට පින් සිදු වන්නටය… රෝහලේ ආර්ථික පහසුකම් වලට මුලින්ම අප බැඳී (Enroll) වී සිටි නිසා සියළු කැපීම් කෙටීම් අවසානයේ අපට ගෙවන්නට සිදු වන ගණන ඩොලර් 450 ක් ඉක්මවූවේ මේ මාෆියාවේ අරුමය කියා පාමිනි.
මේ දිනවල බොහෝ ප්‍රාන්තවල ලබන අවුරුද්ද සඳහා වැය ශීර්ෂ සැකසීමට පටන් ගෙන ඇත. මේ අතර වැදගත්ම ප්‍රවෘත්තිය ලැබෙන්නේ ටෙනිසී ප්‍රාන්තයේ මෙම්ෆිස් නගරයෙනි. එනම් ලබන අවුරුද්දට වැය කරන්නට මුදල් නැති නිසා මෙම්ෆිස් නගරයේ පාසල් බොහොමයක් වසා දමන්නට සිදු වී ඇත. මේ නිසා අසරණ වන සිසුන් සංඛ්‍යාව 100,000 කට වඩා අධික බව කියැවේ… දැන් දැන් ඇමරිකාවේ දරුවන්ට නිවසේ සිට ඉගැන්වීම (home schooling) වැඩි වී ඇති බව කියැවේ. මෙහි දෙපැත්තක් ඇත… සමහරුන් සාර්ථක වන අතර සමහරුන් සමාජයීයව බියගුළු තත්ත්‍වයට පත් වේ. ලංකාවේ කොපමණ අපහසුකම් තිබුණද පාසල් යන වයසේ දරුවන් බොහෝ දෙනෙකු පාසල් යන්නේ කොපමණ අඩුපාඩුකම් තිබුණත් රජය මගින් නොමිලයේ අධ්‍යාපනය ලබා දෙන නිසාවෙනි. මෙවැනි කතා මේ දිනවල සෑම තැනකින්ම ඇසෙන්නේ ලෝකයේ මහා බලවතා ලංකාවේ ආණ්ඩුවටත් වඩා අසරණ වී ඇති බව කියා පාමිනි….
ලංකාවේ ආණ්ඩුව මේ අධ්‍යාපනය, සෞඛ්‍ය ආදී දේ නොමිලයේ ලබා දෙන්නේ දහසකුත් දුෂ්කරතා මධ්‍යයේදීය… කොතෙකුත් අඩුපාඩුකම් තිබුණත් අපේ දරුවන් ඉගෙන ගන්නේත්, අපේ මිනිසුන් තරමක් දුරට හෝ නොමැරී සිටින්නේත් මේ නිදහස් සේවා වලට පින් සිදු වන්නටය…
අප වැරදි විවේචනය කළ යුතුය. එසේම අගය කළ යුතු දේ අගය කිරීමද කළ යුතුය… සාධනීය විවේචන මගින් යමක් නිවැරදි මගට ගත හැක.. ඒ සඳහා සිල්ලන්ගේ කැපවීම අවශ්‍යය… ආකල්පමය වශයෙන් අප වෙනස් විය යුතුය… එය ඉහළ සිට පහලටත්, පහල සිට ඉහලටත් සම සමව විය යුතුය….. එක් අතකින් අත්පුඩි ගැසිය නොහැක…. ආණ්ඩුව කරන තෙක් බලා නොසිටම අපටත් කළ හැක්කක් කිරීම කළ යුතුය…
ඇමරිකාවේ මිනිසුන්ගේත් ලංකාවේ මිනිසුන්ගේත් වෙනස වන්නේ ඇමරිකානුවා ලබන පඩියට සරිලන සේ අවංකව සේවය කරයි/ කරන්නට තැත් කරයි… ලංකාවේ සේවකයා අවම වැඩ ප්‍රමාණයකින් වැඩිම පඩියක් ලබා ගැනීමට තැත් කරයි… රටට හෙණ ගැහුවත්, මට වැඩ කරගත යුතු බව ලාංකිකයා සිතයි..
ආණ්ඩුව අපට ඉටු කරන සේවය ඇගයීම කළ යුතු අතරම අපෙන් රටට විය යුතු යුතුකම් ද අවංකව නොපිරිහෙලා ඉටු කිරීම අගනේය…
රට හදන්නට පෙර අපි හැදෙමු… එවිට ඉබේම රට හැදේවි…..