Daily Archives: ජූලි 29, 2011

ඔබ සමාජයීය වෙබ් අඩවි පාවිච්චි කරන්නේ කුමක් සඳහාද ?


ලංකාවේ ෆේස්බුක් සාමාජිකයෝ සංඛ්‍යාව මිලියනයක් ඉක්මවූවා කියලා කොහෙදෝ තිබුණා… ඒ වගේම  CNN වෙබ් අඩවියේ තිබුණ ලිපියක් කෙරෙහි මගේ අවධානය යොමු වුනා. ඒ තමයි ෆේස්බුක්, ට්විටර්, සහ දැන් ප්‍රචලිත වන ගූගල් ප්ලස් වැනි සමාජ වෙබ් අඩවි ඇබ්බැහිවීම් කරා ගෙනයා හැකි බව..

මම දන්න සමහර අය ඉන්නවා ෆේස් බුක් එකේ ජීවත් වෙන.. මමත් කාලයක් ඇබ්බැහි  වෙලා වගේ ඉඳලා දැන් නම් ෆේස් බුක් යන්න වෙලාවක් වත් නැති තරම්.

මුලින්ම මට ෆේස් බුක් ආරාධනා බොහොමයක් ගලා ආවත් මෙය ඇබ්බැහිවීමක් කරා යා හැකි බව දැන දැනම මම මුල් කාළයේ එහි සාමාජිකත්‍වය නොගෙන සිටියා. නමුත්, පවුලේ කිහිප දෙනෙකු සාමාජිකත්‍වය ලබා ගැනීමත්, පැටියාගේ පින්තූර ආදිය ඔවුන් හා බෙදා හදාගැනීමේ පහසුවත් නිසා තමයි මම ෆේස්බුක් සාමාජිකයෙක් වුනේ.. වැඩිපුර වැඩ නැතිව සිටි කාළේ නම් සෑහෙන්න ෆේස් බුක් එකේ කාළය ගත කළා..

ඉඳලා හිටලා නොයෙක් නොයෙක් දේවල් මම දැම්මත්, දැන් නම් ෆේස්බුක් එක වැඩිය පාවිච්චි කරන්නේ ඇල්කෙමිච්චි… මම වැඩියෙන්ම පාවිච්චි කරන්නේ මගේ බ්ලොග් අඩවියේ ඇති ලිපි ප්‍රසිද්ධ කරන්නයි.ඒ වගේම අවුරුදු 20 ක් පමණ මට සොයා ගැනීමට නොහැකි වූ මගේ පැරණි මිතුරු මිතුරියන් රාශියක් සොයාගැනීමට හැකි වීම පිළිබඳව නම් මම ෆේස් බුක් එකට ණයගැතියි..

මම දන්න සමහර මල්ලිලා ඉන්නවා ෆේස් බුක් එකේ අඬනවා හිටු කියලා. කෙල්ලෙක් බැලුවත් ඇති ඒක ෆේස්බුක් එකේ දාන්න.. ඊට පස්සේ අඬන්නෙත් ඒ කෙල්ල ගැනම කියලා තමයි…  ඒ සමහර අය.. තවත් ඇමරිකානු මිතුරියක් ඉන්නවා පැය විසි හතරෙම වගේ ෆේස්බුක් ස්ටේටස් අප්ඩේට් කරන….තවත් සමහර අය ඉන්නවා දවසගානේ ප්‍රොෆයිල් එකේ පින්තූරෙ වෙනස් කරනවා…. මේ වගේ කට්ටිය ගොඩාක් ඉන්නවා. ඒ වගේම බොහොම නරක අයත් ඉන්නවා. ගෑණු ලමයින්ගේ නම් වලින් ප්‍රොෆයිල් හදාගෙන චැට් කරන මානසික රෝගීන් පවා අනන්තයි.

මොනවා වුනත් ෆේස්බුක් කියන්නේ ඔබේ සමාජයීය කැඩපත. එහි අනවශ්‍ය පින්තූර, විකාර කතා, හෝ කෙනෙකුට බැනීම් වැනි අතිශය පෞද්ගලික කාරණා දැමීමෙන් තමන්ගේ රැකියාවත් නැති වෙන්න පුළුවන් තරම් ප්‍රබල සන්නිවේදන මාධ්‍යයක් බවට ෆේස් බුක් එක පත් වෙලා. දැන් දැන් රැකියා සඳහා තෝරා ගැනීමේදී ෆේස්බුක් එකේ අඩංගු දේ ගැන පවා බලන්න තරම් එය ප්‍රබලයි. ඒ වගේම එය නිසි ලෙස ආරක්‍ෂා කරගේතේ නැත්නම් ලොකු අමාරුවක වැටෙන්නත් පුළුවනි….

පරිස්සමින්… ඔබේ සමාජයීය කැඩපත බිඳෙන්න මහ වෙලාවක් යන්නෙ නෑ….

ඉතිං… ඔබ මේ සමාජයීය වෙබ් අඩවි පාවිච්චි කරන්නේ මොනවටද ?

%d bloggers like this: