Monthly Archives: ජූලි 2011

2011 ජුලි 08: ඇමතිවරු කුඩු විකුණන රටක ජනතාවට යන කල දසාව……….


අපේ අගමැති තුමාට එක්කෝ අගමැතිකම එපාවෙලාය, එක්කෝ විපක්‍ෂයට යන්නට ඕනෑ වෙලාය, නැතහොත් කාත් එක්ක හරි තරහ වෙලාය, නැතහොත් ඇත්ත කියන්න යැයි කවුරු හරි බල කරලාය, නැත්තං ඉඳලා හිටලා හරි පොඩි අවධානයක් ගන්න ඕන වෙලාය. මේ මොන හේතුවක් නිසා හෝ එතුමා මාර කතා ටිකක් පසුගියදා ඇද බෑවේ කුමාර සංගක්කාර එංගලන්තේදී කියූ දේ වලට තවත් අරුතක් එක් කරමිනි.

ලංකාවේ කුඩු විකුණන ඇමතිවරු ඇතැයි කී අගමැතිවරයා කන්න නැත්නම් ස්ත්‍රී  දූෂණ වන්නේ කොහොමදැයි පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කර ඇත්තේ එතුමාගේ නුවණේ බල මහිමය ලොවටම කියාපාමිනි. අපේ රට මාරම රටකි. නිළියන් ගණිකා වෘත්තියේ නියැලෙන අතර ගණිකාවන් පාර්ලිමේන්තුවේය. මන්ත්‍රීවරු සිංදු කියති, ඇමතිවරු රඟපාති, නළුවෝ පාර්ලිමේන්තුවේය. ගායකයෝ ආණ්ඩුකාරවරුය. රාජකීය වෙදාට බලපත්‍ර නැත, මන්ත්‍රී කමේ පිහිටෙන් ලොම් හැලී දත් වැටී හැරමිටියෙන් යත්දීත් සමහරු මැච් ගසති, ලංකාවෙන් හැලුන ක්‍රීඩකයෝ පිටරට ක්‍රීඩා සමාජවල ක්‍රීඩාකර තරඟාවලියේ වීරයා වන්නට තරම් සුදුසුකම් පාති. ත්‍රස්තවාදී නායකයෝ යහතින් ජීවත් වෙන අතර යුද්ධයට දායක වූවෝ හිරබත් කති. වැඩිහරියක් තානාපතිවරු ලංකාව ගැන මෙලෝ හසරක් නොදන්නා එවුන්ය. කරන මගුලක් නැති අතර තම පරම්පරාව තර කර ගැනීමට යුහුසුළු වෙති. රාජ්‍ය නිලධාරීහු මර නින්දේය. මහාචාර්යවරු වර්ජනයේය. සිසුහු දේශපාලනය කරති, ඇමතිවරු කුඩු විකුණති. ඒ බව දැන දැනත් උන් නිදැල්ලේය. කසිප්පු ගොට්ටක් අරන් පාරෙ යන කම්කරුවා මාස හයක් හිරේය. හිරේ ඉන්න පාතාල නායකයෝ රෑට රෑට උන්ගේ අඹුවන් හෝ වෙන එවුන්ගේ අඹුවන් සොයා ගොස් උදේට හිරේට යති. සමහරු හිරේ ඉඳගෙනම එළියේ ඉන්නා අයගෙන් කප්පම් ගනිති. හැම පොලිස්පතිම  පොලීසිය සුද්ධ කරන්නට කියා පටන් ගෙන තමන් සුද්ධ වී ගෙදර යති.

මේ සියල්ල මැද අපේ ජනතාව ඊලඟ ඡන්දයේදීත් සත් ගුණවත්-උගත්- නැණවත්- පිංබර-ඉඩම් හිමි වැවිලිකරු-අවංක-එඩිතර-සුවච-කීකරු- ගමේ චන්ඩියා චූටි මහත්තයාට මනාප 3 ම දී ප්‍රාදේශීය සභාවට හෝ පලාත් සභාවට පිටත් කර හරියි. උන් එතැනට ගියාට පසු ඡන්දය දුන් ඡන්දදාසලා උන්නාද මලාද නොබලයි. ඒ වුනාට උන්ගේ සහචරයනට මදි නොකියන්නට හොදි බෙදා දෙයි. ඡන්දය ඉල්ලන ඔක්කෝගේම කටේ තියෙන්නේ මහින්ද චින්තනය ශක්තිමත් කිරීමයි. විපක්‍ෂ කට්ටිය කියන්නේ පවුල් පාලනය අවසන් කිරීමයි. මහින්ද චින්තනය ශක්තිමත් කිරීම හෝ පවුල් පාලනය අවසන් කිරීමෙන් ගමට ඇති වන සෙතක් නැත. ගමට ඡන්දය ඉල්ලන එකා කළ යුත්තේ ගම හැදීමේ සලසුම් ඉදිරිපත් කිරීමයි. මේ ලංකාවේ එය එසේ නොවේ. මීට වසර කීපයකට පෙර ඡන්දය ඉල්ලන්න බයිසිකලෙන් ගෙයින් ගෙට ගිය අපේ තාත්තාගෙන් ඉගෙන ගත් සමන්ත, දැන් ප්‍රාදේශිය සභාවේ සභාපතිතුමාය. ඉස්සර ඔහු සර් කියපු අපේ තාත්තාට දැන් එතුමාට සර් කියන්නට සිද්ධ වෙලාය.  ඒත් තාත්තා ඔහුට තවමත් කියන්නේ සමන්ත කියා පමණි… දයාසොරි ජයසේකරට ගොට්ට අල්ලගෙන පස්සෙන් යන අපේ ලොකු අම්මාගේ පුතාට තාත්තා දවසක් කීවේ “අනේ පුතේ උඹලා වගේ හැම බල්ලටම සර් කියන එක කොන්දක් තියාගෙන ඉන්න මට කරන්න බෑ” කියායි.

ලංකාවේ මේ තත්ත්‍වයට වග කිව යුත්තේ අපමය. ඡන්ද 2500 ක් ලබා මහ මැතිවරණයෙන් පරාද වූ මර්වින් සිල්වා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගෙන ආවේ චන්ද්‍රිකා කුමාරණතුංගයි. ඊලඟ ඡන්දයේදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඡන්ද 250,000 ක් ගත්තේද ඒ මර්වින් සිල්වාමය. එදා මෙදා තුර මර්වින් සිල්වා රටට කළ දෙයක් නැත. එසේ වුනත් කැළණියේ ජනතාවට බොහෝ දේ  කර දී ඇතැයි කට්ටිය පවසති. ඒ නමුත් ලංකාවේ නීතිය සහ සාමය අතින් කැළණිය ආසනය අවසාන ස්ථානයේ පසුවේ යැයි මෑත කළ සමීක්‍ෂණයකින් කියැවින. සිය සැමියාගේ අනියම් බිරිඳ/පෙම්වතිය මරා දැමූ මිල්රෝයි ප්‍රනාන්දුගේ බිරිඳට ජනාධිපති සමාව ලැබුණි. මිනීමැරුමකට වැරදිකරු වූ චන්දන කත්‍රිආරච්චි සිරගෙදරය.

විශ්ව විද්‍යාලවලට ප්‍රතිපාදන නැති වුවත්, මන්ත්‍රීවරුන්ගේ වැටුප වැඩි වන යෝජනාවට ආණ්ඩුවත් විපක්‍ෂයත් භේදයක් නැතිව අත උස්සති. ප්‍රශ්න පත්‍රයක් නිවැරදිව සකසාගත නොහැකි අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන් අධ්‍යාපනය පරිපාලනය කරති. කට්ටියක් ජලයේ ආසනික් ඇතැයි කියති. තවත් කට්ටියක් හාල්වල ආසනික් නැතැයි කියති. ජලයේ ආසනික් ඇතැයි කී කට්ටිය හාල්වල ආසනික් නැතැයි කී කට්ටියට විවිදයකට අඬගසති. මුන් සසඳන්නේ ඇපල් සහ දොඩම් යැයි දෙගොල්ලන්ටම නොතේරේ. කට්ටියම තම තමන්ගේ මතය නිවැරදි බව අඟවන්නට වෙර දරනවා විනා, වකුගඩු රෝගීන්ට කළ හැකි ප්‍රතිකාරයක් කියන්නේ නැත. අවම වශයෙන් නාථ දෙවියන්වත් ඒ ගැන කියන්නේ නැත.

යුද්ධය අවසන්ය. රටට සංචාරකයෝ ගලා එති. උන්ට ඉන්නට හෝටල් කාමර මදිය. හෝටල් හද හදා ඉන්න ගියොත් වසර ගණනක් ගතවේ. සංචාරක පුරවර අසල කුඩා පරිමාණයෙන් නිවාස හෝ හෝටල කුලියට ගෙන හෝ ඒ අවට මිනිසුන්ට සංචාරකයනට නවාතැන් දෙන්නට ඉඩ සලසා, දේශීයව සාමාන්‍ය ජනයාටත් මහා පරිමාණව රටටත් ආදායමක් ලබාදීමට අපේ සංචාරක අමාත්‍යාංශයේ නිලධාරීනට අමතක වී ඇති බව මෑතකදී සංචාරක පුරවරයක් ආශ්‍රිතව ජීවත් වන මගේ මිතුරකු මා හට පැවසුවේය. සියල්ල මහා පරිමාණයෙන් කරන්නට ගොස් අවසානයේ පුක බිම ඇණගන්නට වෙන්නේ අපටමය. සංචාරකයින් පැමිණීම වැඩි නිසා හෝටල් කාරයෝ උන්ට හිතෙන හිතෙන ගණන් වලට හෝටල් කාමරවල මිල වැඩි කරන්නට පටන් ගෙන ඇත. සංචාරකයින්ට යන්නට ඇත්තේ ලංකාව පමණක් නොවේ. අසල්වැසි මාලදිවයින අපට වඩා අඩු මිලට උසස් සේවාවක් සපයන රටකි. අපට මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත හැක. කළ යුත්තේ මොළය පාවිච්චි කිරීම පමණි.

දක්‍ෂිණ ලංකා අධි වේගී මාර්ගය තැනීම රජයක් බොහෝ කාළයක සිට කළ ඉතාම යහපත් කාර්යයයි. මෙහි ඇතිවිය හැකි අනතුරු පිළිබඳ රියැදුරන් දැනුවත් කළ යුතුය. ලංකාවේ රියැදුරන් පැයට කිලෝමීටර 60 වේග සීමාවේ 120 ට ගියාට, 120 වේග සීමාවේ රිය පැදවිය යුත්තේ කෙසේදැයි නොදනිති. නිසි ලෙස ධාවන මාර්ගය  මාරු කිරීම (Lane change) පිළිබඳ වැටහීමක් නැත. වාහන ධාවනයේදී රියැදුරාගේ අන්ධ ස්ථානය (blind spot) පිළිබඳ වැටහීමක් නැති නිසා පිටුපසින් පැමිණෙන වාහනයේ ගැටීමේ අවදානම වැඩිය. මේ ගැන දැනුවත් කිරීම අධිවේගී මාර්ගය විවෘත කිරීමට පෙර සිදු කිරීමෙන් ජීවිත ගණනාවක් බේරාගත හැක. මෙවන් මාර්ග කීපයක් ලංකාවේ ප්‍රධාන නගර යා කරමින් තැනීම පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලක් පැවැත්වීමට වඩා වැදගත්ය.

කිව යුතු දී බොහෝය. මේ සියල්ල කීමෙන් ඇල්කෙමියා රාජ්‍ය ද්‍රෝහියෙක් ලෙස හංවඩු ගැහීමට බැරිකමක් නැත. බොහෝ විට රසායන විද්‍යාත්මක කරුණු සාකච්ඡා කළ ඇල්කෙමියාගේ රසායනාගාරය පවා දේශපාලන බ්ලොගයක් ලෙස හංවඩු ගැසීමට අපේ සමහර සින්ඩිකේටර කටයුතු යොදා තිබුණි. ඒවාට වාද කිරීම පළක් නැත. කියවන කෙනා මෙය කියෙවුවාවේ.  කෙසේ වෙතත් අපේ ආණ්ඩුවේ කුඩු මුදලාලිලා ඉන්නවානම් උන්ට දඬුවම් දීම රට කරවන අයගේ වගකීමකි. විපක්‍ෂයට කොන්දක් නැතිවුන පලියට පාළු ගෙයි වලං බිඳින්නාක් මෙන් ආණ්ඩු කිරීම පවතින ආණ්ඩුව පිරිහීමකට ලක් කරයි.

ලබන ඡන්දයේදීවත් මොළයක් ඇති මිනිසුන් රට කරවන්නට පත් කර යැවීමට අපේ ඡන්දදාසලාට මොලේ පෑදේවා….. නැත්නං ඉතිං උඹලා හැමදාම වල පල්ලේය… මට නං ඔබාමා ඉන්නවාය.. නැත්තං අඩුම ගානේ සේරා පේලින්ගේ සායේ හරි එල්ලී ඉන්නට පුළුවන….

2011 ජූලි 07 : ජූලි හතයි මල කෙළි දාසයයි. මහින්දගේ කොමන්වෙල්ත් සිහිනය නිසා මැරෙන්න යන හම්බන්තොට අලි…………………


මහින්ද රාජපක්‍ෂ අලින් මෙල්ල කරන්න ගත්තේ බොහෝ කාළයක සිටය. ඉඳ හිට අලි එක දෙකා බුලත් කොළය උඩ වාඩි කරගත් මහින්ද එකපාරක් දෙවනි මහ අලියා එක්ක අලි පැටවු 17 ක් ද වාඩි කරවාගෙන උන්ට කිතුල් බඩ කන්න දී තව තව ජරාව දී බුලත් කොළය හපන තැනටම ගෙනාවේය. මහ අලියාද මේච්චල් කරගෙන මහින්ද යන ගමන කාටවත් කරන්න බැරි ගමනකි. ඔහු, මහ අලියා තමන් කියන කියන පදේට නටවන්නේ හරියට නයි පනික්කියෙක් නයා නටවනවා වගේය.

මහින්ද අලින්ට කැමති වුනත් නැති වුනත් මෙන්න මේ කරන්න යන වැඩේ නං අලිම අලි ගොං වැඩකි. එනම් පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල වෙනුවෙන් නිර්මාණය කෙරෙන ක්‍රීඩා නගරය නිසා හම්බන්තොට අලි 200 ක් වෙනත් තැන් වලට ගෙන ගොස් දැමීමට ගෙන ඇති අයින්ස්ටයින් ගණයේ තීරණයයි. කොළඹ හිඟන්නන් කුදලාගෙන ගොස් කොහේ හෝ ගාල් කර තැබිය හැක, ජේවීපී කාරයන් ඇස් බැඳගෙන හෝ කුදලා ගෙන ගොස් ගඟක මූදක හෝ හිරේ හෝ දැමිය හැක. සරත් පොන්සේකා පවා හිරේ දැමිය හැක. මාළු අල්ලාගෙන ගොස් ටැංකි වල දැමිය හැක… නමුත් අලි 200 ක් කුදාලාගෙන ගොස් කැලේ අතාරින්න මහින්දට තියා සක්කරයාගේ පුතා වයිමාට වත් බැරිය. ඒ කකුල් හතරේ අලියා යනු බුද්ධිමත්, නිසල, රංචු වශයෙන් වෙසෙන සත්ත්‍වෙයකු බැවිනි. එසේම මේ කාරණය නිසා අලි කීදෙනෙක් පණපිටින් අදාල ස්ථානවලට යාවි දැයි සැකයක් ද මතු වේ. පසු ගියදා දළ ඇතෙකු ගෙන ගියලොරියක් කඩා විටී අලියා මියගිය කතාව හැමෝටම අමතක වී ඇතැයි සිතේ. උන්ගේ වාසස්ථාන අහිමි වීම නිසා දැනටත් පාලනය කළ නොහැකි තරමට උග්‍ර වී ඇති අලි-මිනිස් ගැටුම් තවත් වර්ධනය කිරීමේ මහා ව්‍යායාමයක් ලෙස මේ මෝඩ ක්‍රියාව දැක්විය හැක. මහින්දගේ සිහිනය හම්බන්තොට සශ්‍රීක කිරීම විය හැක. එසේ වුනත්, ඒ මාර්ගයෙන් කරන්නට යන මේ මහා මෝඩ විනාශකාරී ක්‍රියාව ගැන මොළයක් ඇති කෙනෙකුට බලා සිටිය නොහැක.

ලෝකයේ බොහෝ නගර නිර්මාණය වන්නේ පරිසරය හා බැඳුන නගර වශයෙනි. ඇමරිකාවේ වොෂිංටන් ඩී සී නගරය වටා දිවෙන 495 පාරේ වටයක් යන ඕනෑම කෙනෙකුට පෙනෙන්නේ ඒ නගර සීමාව මධ්‍යයේ වුවත් ඇති කැලෑ සහ වන උයන් ප්‍රමාණයයි. බොහෝ රටවල් පරිසරය ආරක්‍ෂා කරගෙන පරිසරය හා බැඳී ඉදිකරනු ලබන නගර වෙනුවට අපේ මෝඩ රැල කරන්නේ පරිසරය විනාශ කරමින්, සතුන් වෙනත් ස්ථාන වලට ගාල් කරමින් ඉදිකරන නව නගර සංකල්ප ඉදිරිපත් කිරීමයි. ලංකාවේ අලි ගහණය දැන් දැන් අඩුවෙමින් පවතින කාළයේවත් මෙවන් මෝඩ තකතිරු තීරණ ගන්නා එවුන්ට මඩු වලිගෙන් තලා එළියට දමන්නට ලංකාවේ ආණ්ඩුවේ එකෙක් වත් නැති වීම ගැන අපට ඇත්තේ කණගාටුවකි. පරිසර ඇමති (මොකා වුනත්) කටයි පුකයි දෙකම වහගෙන ඉන්නේ උගේ තනතුරට ඇති කෑදර කම නිසා වෙන්නට පුළුවන. අඩුම ගණනේ ජනාධිපති මහින්දට වත් මේක තේරෙන්නේ නැති කම එතුමාගේ තාර්කික බුද්ධිය පිළිබඳවද ගැටළු ඇති කරවයි. (අගමැති තුමා ගැන හෙට කියන්නම්)

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල පැවැත්වීමෙන් අප තව තවත් ණය වීම ඇරෙන්නට රටට ඇති සෙතක් නැත. ඒකෙන් වන්නේ ආණ්ඩුවට හේත්තු වී ඉන්නා පගා මරුවෙන්ට තවත් පරම්පරා හතකට හම්බ කර ගැනීමට පොටක් පෑදෙනවා විනා සාමාන්‍ය ජනතාවට ඇති සෙතක් නැත. ලෝක කුසලානය අවසානයේ ක්‍රිකට් පාලක මණ්ඩලය රටට ණය වීමෙන්ම රටේ ඇත්ත තත්ත්‍වය ඕනෑම කෙනෙකුට  පෙනී යනවා ඇත. ඔය ඉදිකරන ක්‍රීඩා නගරයේ සේවය ගන්නට අපේ කොල්ලන්ට කෙල්ලන්ට අවස්ථාව නැති වන්නේ ඒ ඉදිකිරීම් බොහොමයක් ක්‍රීඩා උළෙලට පසු කිසිදු වැදගැම්මකට නැති තත්ත්‍වයකට පත්වී ජරා ජීරණ වන නිසාය. මාස දෙකකට පසු සියල්ල කැඩී බිඳී යන නිසාය.. අර ගම් උදාව කළා වගේම තමයි…. කෝටි ගාණක් යටකොට, නඩු කියාගෙන හදපු දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ ලයිට් මදිය, ඒකෙන් වුනේ තිලංග සුමතිපාල තවත් පෝසත් වීම පමණි. ආර් ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේද තත්ත්‍වය ගන්න දෙයක් නැතිය.

ඒ නිසා ඇල්කෙමියා උදේ හවා ප්‍රාර්ථනා කරන්නේ ඔය කොමන්වෙල්ත් මගුල ලංකාවට ලැබෙන්න එපා කියායි. ලැබුණොත් අපි තව තවත් ලෝකයට ණය වෙමින් අතලොස්සක් දෙනා පෝසත් වීම සහ සාමාන්‍ය ජනයා තව තවත් අගාධයට පත් වීම ඇරෙන්නට වෙනත් සෙතක් නැති. ඊට වඩා කළ යුතු දේ බොහෝය… ඒ මුදල වෙනත් කටයුතු වලට යොදා රට ඉදිරියට ගෙනයාම වඩාත් වැදගත්ය. දක්‍ෂිණ ලංකා අධිවේගී මාර්ගය හැදීම වැනි රටකට වැදගත් ප්‍රයෝජනයක් ඇති දේකට මේ මුදල යොදවනවා නම් එය වැදගත් ය. සංචාරක කර්මාන්තයේ උන්නතියට ඒ මුදල යොදා ගැනීමෙන් දීර්ඝ කාලීන වාසි උදාගරගත හැක. ලෝකෙට පරකාසේ කරන්නට ගොස් ගෙදරට මරගාතේ වීම වැඩක් නැත. රටක් සංවර්ධනය කිරීම පරිසරය විනාශ කිරීමෙන් කළ හැක්කක් නොවේ. පරිසරය රැක ගනිමින් සංවර්ධනය කරා පා නැගීමට අපේ මෝඩ පාලකයන්ට මොළය පෑදේවා….

නාථ දෙයියන්ගේ ආනුභාවයෙන් ආඥාවෙන් අපට කොමන්වෙල්ත් ගේම්ස් සත්කාර කරන්නට නොලැබී, ඕස්ට්‍රේලියාවට ඒ තැන ලැබේවා…….

2011 ජුලි 06: කුමාර් සංගක්කාර සියදිවි නසාගැනීමකට ලක් වේ… මොළේ ඇති නිසා යන්තම් බේරේවි යැයි ඇල්කෙමියා ප්‍රාර්ථනා කරයි…


සංගක්කාරගේ බෙල්ල කැපේද ?

ඊයේ වැඩ කරන අතරේ පැය ගානක් තිස්සේ  වරින් වර ඇසුවේ ලංකාවේ හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර මහතා ගේ දේශනය. සංගක්කාර කියන්නේ බොහෝ දෙනාගේ ගෞරවයට පාත්‍ර වෙච්චි ක්‍රීඩකයෙක්. ශ්‍රී ලාංකික ක්‍රිකට් කණ්ඩායමේ එදා මෙදා තුර බිහිවූ දක්‍ෂ බස හසුරවන්නෙක් වගේම දක්‍ෂ පිතිකරුවෙක්, නායකයෙක් කියන එක කාටවත් අමුතුවෙන් කියාදෙන්න අවශ්‍ය නැහැ. ජාතික කණ්ඩායමට නොයෙක් වර කණ්ඩායම් නායකයෝ (captains) පත් වුනාට මේ වගේ සැබෑ නායකයෙක් (Leader) පත් වුනේ නෑ.. ඉන්දීය ක්‍රීඩකයෝ වගේ ඔළුව උදුම්මා නොගත් ඔහු බොහොම නිහතමානී “පොරක්“. සාමාන්‍යයෙන් ක්‍රිකට් ක්‍රීඩකයෝ වැඩි දුර ඉගෙන ගන්නේ නැති වුනත්, සංගක්කාර සිය පියාගේ අඩිපාරේ යමින් නීතියත් හදාරනවා. මේ හැකියාව සහ මොලේ ඇති සංගක්කාර මේ පාර කවුඩ්‍රි දේශනයට ආරාධිතයා ලෙස සහභාගි වුනේ දැනට ක්‍රීඩා කරන ක්‍රීඩකයෙක්, ලාබාලම දේශකයා, සහ පළමු ශ්‍රී ලාංකිකයා යන වාර්තා තුනම තබමින්. මේ දේශනය ක්‍රිකට් වලට ආදරය කරන, ඒ පිළිබඳ උනන්දුවක් දක්වන බොහෝ දෙනෙක්ගේ ඇස් ඇරීමට සමත් වූ දේශනයක්. දේශනයේ මුල කොටසේ අපේ හිටපු විදේශීය ඇමති වරු දෙතුන් දෙනෙකුටම කරගන්න බැරි වුන දෙයක් කළ බව කාටවත් ඇසුනේ නැතිව හෝ ඒ පිළිබඳ උනන්දුවක් දැක්වූයේ නැතිව ඇති. ඔහුගේ දේශනයේ මුල කොටස වෙන් වූයේ ලංකාවේ ජාතික සමගිය වර්ධනය කිරීම ගැන. ද්‍රවිඩ ජාතික පවුල් 83 ජුලි කලබල සමයේ බේරා ගත් හැටි, ලංකාවට ත්‍රස්තවාදීන් කළ විනාශය ලොවට කියා පෑමට. ලංකාවේ බොහෝ දෙනෙකුට අවුරුදු ගානක් අන්තර් ජාතික දේශනයකදී කියාගන්න බැරිව තතනපු දේවල් සංගක්කාර මුල් විනාඩි කීපය තුළ අපූරුවට කියා පෑවා. නමුත් අවසාන කොටසේ ලංකාවේ දේශපාලනය සහ දූෂණය ගැන කියූ නිසා ඒ හොඳ සියල්ල අර දූෂිත දේශපාලනඥයන්ට ඇහුනේ නැතුව ඇති.  මෙන්න මේ නිසා තමයි මම කියන්නේ සංගක්කාරව සියදිවි නසාගැනීමකට ලක් කරනවා කියලා. මොකද්ද මේ හරුපේ කියලා සමහර දෙනෙකුට හිතෙනවාට කිසිම සැකයක් නෑ… නමුත් සංගක්කාර – සංගක්කාර නොවුනා නම්, මෙලහකටත් ඔහු සිය දිවි නසාගැනීමකට ලක් කරලා.

සංගක්කාර අපේ බොහොමයක් දේශපාලුවන්ට වඩා නුවණ ඇති කෙනෙක් බවයි මගේ වැටහීම. අපේ දේශපාලුවොන්ට කවුඩ්‍රි දේශනය තියා එංගලන්තේ මරණාධාර සමිතියක දේශනයකටවත් ආරාධනා කරන්නේ නෑ… උන්ට එහෙම ආරාධනා කළත් කියාගන්න දෙයක් නෑ… දන්න මගුලක් නෑනේ.. දන්න එකම දේ තමන්ගේ මඩිය තර කරගන්න එක විතර නේ..

මෙන්න මේ නිසා දේශපාලුවො සංගක්කාරගේ අනාගතය සියදිවි නසාගැනීමකට ලක් කරන්න බොහොම ඉඩකඩ තිබෙනවා. ඒකනේ මහින්දානන්ද ඒක ගැන හොයා බලන්න කියලා ක්‍රිකට් පාලක මණ්ඩලයට කියලා තියෙන්නේ.. ලංකාවේ කිසි කෙනෙකුට නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියක් නෑ කියලා ඔප්පු කරන්න මෙන්න මේක හොඳම සාධකයක්. මීට පස්සේ ක්‍රිකට් ක්‍රීඩකයෝ තරඟයේ වීරයා වුනාට පස්සේ මාධ්‍ය වලට කියන දේ ක්‍රීඩා අමාත්‍යංශය මගින් සහතික කරවගෙන කියන්න වෙන තත්ත්‍වයකට ලංකාව පත් වෙනවාට කිසිම සැකයක් නෑ…. ලංකාවේ ඇමැත්තෝ බොහොමයක් ඒ තැන්වලට සුදුස්සෝ නොවෙයි. උන්ව පත් කරන්නේ ජනාධිපති තුමාටයි අගමැති තුමාටයි තව කාටහරියි හිතෙන විදියට මිසක්, සුදුසුකම් බලලා නොවෙයි. එහෙම සුදුසුකම් බලලා පත් කරනවා නම් ඇමති මණ්ඩලයට පත් කරන්න කෙනෙක් නෑ… මොකද වැඩිපුර ඉන්නේ ජරා පප්පලා සහ මැරයෝ නේ.. මොළේ ඇති එකෙක් එතනට ආවම උගේ මොළෙත් නැති වෙනවා. මම නම් කියන්නේ බුදු හාමුදුරුවෝ ලංකාවේ දේශපාලනයට ආවත්, උන් වහන්සෙත් පගා ගහන තත්ත්‍වයට ලංකාවේ දේශපාලනය උන් වහන්සේව වෙනස් කරවනවා. ලාංකීය දේශපාලනය ඒ තරම් බලවත්. නමුත් රටේ බස් ගාස්තු නියමිත පරිදි පවත්වාගන්නවත්, වැඩිවන ඩෙංගු උවදුර පාලනයට ජනතාව දැනුවත් කිරීම, අදාල මදුරු මර්ධන කටයුතු කිරීම, පෙට්‍රල් ටික හරියට පිරිසිදුව බෙදන්නවත්, රටේ මෙච්චර විදුලි බලාගාර හදලා තිබුණත් විදුලිය නිසි ලෙස බෙදා හරින්නවත්,  පාසැල් නිල ඇඳුම් නිසි ලෙස බෙදා හරින්නවත්, අස්වැන්න වැඩි කාලෙට එළවලු නිසි ලෙස ගබඩා කරලා අඩු කාලෙට වෙළඳ පොළට මුදා හැරලා මිල පාලනය කරන්නවත්, වසර ගණනක් තිස්සේ ඔඩු දුවන වැටුප් සංශෝධන නිසිපරිදි ක්‍රියාත්මක කරන්නටවත්, වැඩිවන මැර බලය කුඩු ජාවාරම්, ආදිය නවත්වන්නටවත්, ආදී මේ කිසිම දෙයක් කරගන්නට ලංකාවේ ඇමැත්තොන්ට මොළේ නෑ..

මෙන්න මේ නිසා තමයි සංගක්කාරගේ දේශනය අපට වටින්නේ, මේ මෝඩ රැල අතරේ මොළයක් තියෙන එකෙක් හරි ලංකාවේ ඉන්නවා කියලා පෙන්වන්නට හොඳම අවස්ථාව නිසි අයුරින් ප්‍රයෝජනයට ගත් සංගක්කාරට මගේ ප්‍රණාමය.

ලංකාවට ගොඩ බහින කොටම ජනාධිපති ආරක්‍ෂක අංශයෙන් හෝ අපරාධ මර්ධන ඒකකයෙන් සංගක්කාරව කුදලාගෙන නොයේවා කියලා ජූලි හය වෙනිදා ප්‍රාර්ථනා කරනවා.

2011 ජූලි 05 : මට හිනාවෙච්ච ඇත්තන්ට, මෙන්න ඇත්ත…. නලින් සිල්වාගේ ම කටින්…


පසුගිය සතියක දවසක මම ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා බන්ධනාගාරගත වූ පසු සිදුකළ පළමු සම්මුඛ සාකච්ඡාව පළ කළ අවස්ථාවේ සමහරක් හිනා වුනා ඒ සාකච්ඡාව බොරුවක් බවත්, ආණ්ඩුව යුද්ධ කළේ දෙවි වරුන්ගේ සහායෙන් නොවන බවත්….. නමුත් මේ පිළිබඳ සත්‍ය තත්ත්‍වය පැහැදිලිව සම්මුඛ සාකච්ඡාවක් මගින් නලින් සිල්වා විසින් එලිදරවු කර තිබෙනවා මෙන්න මෙහෙම.

අප කණ්‌ඩායමේ මූලික අරමුණ රජරට නිදන්ගත වකුගඩු රෝගයට හේතුව දැනගැනීමත් ඒ සඳහා ප්‍රතිකාර හඳුන්වා දීමත් ය. එහි විවිධ අවස්‌ථාවල අපට නාථ දෙවියන් ගෙන් උපකාර ලැබී ඇත. අපි ඒ බව නො සඟවමු. නාථ දෙවියන්ට ද ඒ බව සැඟවීමේ අවශ්‍යතාවක්‌ නැත. එහෙත් නාථ දෙවියන් පිළිබඳ කතාව ජනමාධ්‍යවල සඳහන් වන්නේ විවිධ ආකාරයෙනි. ඇතැම් ජනමාධ්‍යයක පසුගිය දිනෙක කතුවැකිය ලියූ තැනැත්තා නාථ දෙවියන් මේ පරීක්‍ෂණයෙන් ඉවත් කරන ලෙසට අපට අවවාදයක්‌ ද දුන්නේ ය. එය එදින කතුවැකිය ලියූ තැනැත්තා ගේ අදහස මිස පුවත්පතේ අදහසක්‌ නො වන බව අපි දනිමු. පුවත්පතකට ඇත්තේ පුවත්පතට නිල වශයෙන් ලියන පුද්ගලයන් ගේ අදහස්‌ මිස ඊනියා වාස්‌තවික අදහසක්‌ නො වන බව දන්නා අපට එය ගැටලුවක්‌ නො වුවත් නාථ දෙවියන් අමතක කිරීමට තරම් අප ගුණමකු නො වන බව පමණක්‌ දැනට මෙහි දී සඳහන් කළ යුතු ය.

මෙහි දී සඳහන් කළ යුතු තවත් වැදගත් කරුණක්‌ වෙයි. නාථ දෙවියන් ගේ උපකාරය ලබාගෙන ඇත්තේ අප පමණක්‌ නො වේ. වෙනත් කරුණුවල දී ද නාථ දෙවියන් ප්‍රමුඛ සම්‍යක්‌ දෘෂ්ටික දෙවිවරුන් විවිධ අයට ආධාර කර ඇත. මාවිල්ආරුවෙන් ඇරඹි මානවීය මෙහෙයුම්වල දී ද එලෙස දෙවිවරුන් ගේ ආධාරය ලැබුණු බව අප පවසන්නේ ඒ මෙහෙයුම ජයග්‍රහහණය කළ රණවිරුවන්ට දිය යුතු ගෞරවය අබමල් රේණුවකින් වත් අඩු කිරීමට නො වේ. පසුව නාථ දෙවියන් ප්‍රමුඛ සම්‍යක්‌ දෘෂ්ටික දෙවිවරුන් වෙනත් කරුණුවල දී ද උපකාර වී ඇති අයුරු හෙළිදරව් වනු ඇත. එමෙන් ම මෙරට ඇතැම් නාට්‍ය අධ්‍යක්‍ෂවරුන්, චිත්‍රපට අධ්‍යක්‍ෂවරුන්, තිර රචකයන්, ග්‍රන්ථ කර්තෘවරුන්, මනුෂ්‍ය නො වන බලවේගවලින් ආධාර ලබාගෙන ඒ සඟවාගෙන සිටින අයුරින් කටයුතු කිරීමට ද අපි බලාපොරොත්තු නො වෙමු. ඔවුන් අතින් ඉඳහිට වැරැදීමකින් ඒ බව හෙළි වන අවස්‌ථා ද නැත්තේ නො වේ.”

මෙහෙමත් කියනවා….

රජරට නිදන්ගත වකුගඩු රෝගයට හේතුව ආසනික්‌ වීමට සියයට අනූ නවයක ඉඩක්‌ ඇතැයි පැවසූ අපි රජරට පොළොවට ආසනික්‌ ලැබෙන්නේ කෘෂි රසායන ද්‍රව්‍යවලින්, විශේෂයෙන් ම පළිබෝධනාශකවලින් යෑයි කීවෙමු. එහි දී ද සන්නිවේදන ගැටලු දෙකක්‌ මතු වී ඇත. අප අවධාරණය කරන්නේ පළිබෝධනාශකවල ඇති ආසනික්‌ වුවත් අද ජනමාධ්‍යවල අවධාරණය වන්නේ සහල්වල ඇති ආසනික්‌ ය. සහල්වල ද ආසනික්‌ ඇති බව අපි ස්‌ථිරව ම කියමු. එහෙත් අපේ ප්‍රශ්නය සහල්වල ආසනිත් තිබීම නො ව පළිබෝධනාශකවල ආසනික්‌ තිබීම ය.”

මෙහෙම ඇහැවුවෙ නම් අදමයි…

මේ අතර ඇතැම් පඬියන් තම පඬිකම ඉස්‌මතු කරමින් නිතර අසන ප්‍රශ්නයක්‌ ව ඇත්තේ පළිබෝධනාශක නැඟෙනහිර පළාතේත් යොදා ගැනෙන්නේ නම් ඒ පළාතේ වැසියන්ට නිදන්ගත වකුගඩු රෝගය වැළඳෙන්නේ නැත්තේ ඇයි ද යන්න ය. එයට හේතුව ද අප කිහිප වරක්‌ ම පැහැදිලි කර ඇති නමුත් ඇතැම් පඬි සන්නිවේදනලාභීන් ඒ ගැන නිසි උනන්දුවක්‌ දක්‌වා නොමැති බැවින් ඔවුහු නිතර නිතර එවැනි ප්‍රශ්න අසති. රජරට වකුගඩු රෝගයට ප්‍රධාන හේතුව ආසනික්‌ වුවත් ඒ සඳහා ජලයේ විශේෂ කිවුලක්‌ හා විශේෂ පසක්‌ අවශ්‍ය වෙයි. ඒ සියලු කරුණු සපුරා ලන්නේ රජරට හා ආසන්න ප්‍රදේශ කිහිපයක ය. ඇතැම් සන්නිවේදන පඬියන්ට ද මේ කරුණු අමතක වීම ගැන අප කුමක්‌ කරන්න ද?

මහාචාර්ය ඉලේපෙරුම මහතා දන්නා රසායන විද්‍යාව අනුව කැල්සියම් අඩංගු ජලයේ ආසනික් දියවීම අඩුය. එනම් අවක්‍ෂෙප වේ (මේ ගැන මා මුලින් කියුවේ එහි අනිත් පැත්තය – ටැපලුනාට සමා වෙන්න).. ඒ අනුව ජලයෙන් ආසනික් ඉවත් විය යුතු වේ.

එසේම 1996 ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගැනීමට නාථ දෙවියන්ගේ මග පෙන්වීම මහඟු පිටිවහලක් වූ බවද අපට දැන්ගන්නට ලැබී ඇත. සනත් ජයසූරිය සහ රොමේෂ් කළුවිතාරණ ආරම්භක පිතිකරුවන් ලෙස යොදවන්න යැයි අර්ජුන රණතුංගට සහ ඩේව් වට්මෝර්ට දන්වා ඇත්තේ නාථ දෙවියන් විසිනි.  2011 ලෝක කුසලානය ලංකාවට නොලැබුණේ නාථ දෙවියන්ට වඩා බලගතු දෙවියෙකු ඉන්දියාව වෙත එය දිනාගන්නට බලපෑම් කිරීමෙන් නාථ දෙවියන් සරෙන්ඩර් වූ නිසා බව නායක කුමාර සංගක්කාර සිය ලෝඩ්ස් හි සිදු කළ කතාවේදී ව්‍යංගයෙන් අඟවා තිබේ. ඒ අනුව ඉන්දියාවේ දෙවියන් විසින් නලින් සිල්වාගේ දෙයියන්ට කතා කරන කාන්තාව හරහා රට කරවන ඇත්තන්ට දන්වා ඇත්තේ ඉන්දියාව පැරදුනහොත් ලංකාව කෙරෙහි දැඩි තීරණ ගැනීමට සිදු වන බවත්, ඒ නිසා තරඟය පැරදී රට බේරා ගන්නා ලෙසත් ය. ඒ අනුව සංගක්කාර ආක්‍රමණකාරී ක්‍රීඩා පිටියක් සකසනු වෙනුවට ආරක්‍ෂාකාරී ක්‍රීඩා පිටියක් සකසා ඉන්දීය පිතිකරුවනට රිසි සේ ලකුණු රැස් කරන්නට ඉඩ දුන් බව පවසා ඇත.

දෙවියන් අපෙන් පින් ගන්නේ අපව පින් කරන්නට යොමු කිරීමට විනා අනෙකක් නිසා නොවන බවත් අපට දැනගන්නට ලැබී ඇත. ලිබියාවට ගහන එකත් නාථ දෙවියන්ට කියා නවත්තන්නට හැදුවත්, යැංකි දෙයියා නාථ දෙයියන්ට වඩා බලවත් නිසා ඒ වැඩේ අතෑර දමන්නට සිදු වී ඇත. සාමාන්‍යයෙන් නාථ දෙයියෝ අත දාන්නේ තමන්ට කළ හැකි දේ වලට පමණි. අපේ දේශපාලනඥයන් නාථ දෙයියන්ගෙන් ඒ පාඩම වත් ඉගෙන ගන්නවා ගම් අපූරුය.  පාතාලයේ ලොකු ලොක්කන් සිටින තැන්, ඩෙංගු මදුරු උවදුරට බෙහෙතක්, අකර්මන්‍ය රාජ්‍ය නිලධාරීන් කාර්යක්‍ෂම කරන අයුරු, දූෂිත දේශපාලනඥයන් පිරිසිදු කිරීම ආදිය නාථ දෙයියන්ගේ ඇජෙන්ඩා එකේ මීලඟට ඇති කරුණු වන නිසා ඔය කවුරු කවුරුත් පන්සල් ගොස් දෙයියන්ට පින්  අනුමෝදනා කිරීම යහපත් වේ.

කෙසේ හෝ මේ ගැන තර්ක කිරීම පසෙක ලා අප කළ යුත්තේ මේ වකුගඩු රෝගයට බෙහෙතක් සොයා ගැනීම බව පුන පුනා අවධාරණය කරනු කැමැත්තෙමි.


2011 ජූලි 02 : මගේ ආදරණීය ඇල්කෙමිච්චිට සෙනෙහසින්……


මගේ ආදරණීය ඇල්කෙමිච්චියේ,

හැමදාම අනුන්ගේ මගුල් ගැන ලියන මම අද නුඹ ගැන ලියන්න හිතාගත්තේ අද අපි දෙන්නටම විශේෂ දවසක් නිසා. 1994 ජුලි දෙවනිදා අපි දෙන්නා බර බර ගාන ගල්කිස්ස කිරිබත්ගොඩ 154 ලංගම බස් එකේ යන ගමන් බොහෝ දේවල් කතා කළා මතකයි. ඒ වගේමයි මම ඇහුවෙ අපි දෙන්නා පෙම්වතුන් වෙමුද කියලා. අපි දෙන්නා යාළුවො වුනේ ඊට බොහොම ඉස්සර වුනාට පෙම්වතුන් වුනේ එදා.

එදා මෙදාතුර මගේ හැම දේටම සහාය වෙමින් හෙවනැල්ලක් වගේ පස්සෙන් හිටියෙ නුඹ. මම ලියපු කවි හැම එකක්ම එකතු කරලා ෆයිල් එකක දාගෙන හිටියෙ නුඹ. මට වගේ කවි ලියන්න, සිංදු කියන්න බැරි වුනත් මගේ හැම උත්සාහයක්ම මුවින් අගය නොකළත් ඒ කිසි දෙයක වැරැද්දක් දැක්කෙත් නෑ…රසායන විද්‍යා අයතනයේ අපි දෙන්නා කළ පෙරළි කරන්න තවමත් වෙන කාටවත් බැරි වෙලා තියෙනවා. මම Batch top වෙද්දි නුඹ Batch second වුනේ අපි දෙන්නගෙම උත්සාහයේ ප්‍රතිඵල නිසා. ඒ වගේම අපිව විවේචනය කරපු හැමෝටම හොඳට රිදෙන්න ඇණලා කියාදෙන ගමන්. දෙවන වතාවෙ නුඹ Batch top වෙලා මම Batch second වුන වෙලාවෙ නුඹ සතුටු වුනාට වඩා කළේ දුක් වෙන එකයි.. මම බොහෝ දේවල් වලට කැමැත්තෙන්ම ඉදිරිපත් වෙත්දි, ඒ කිසිවකට වැරැද්දක් නොකියා සහයෝගය දෙන පුරුද්ද තවමත් නුඹ ගාව තියෙනවා. මම පස්ස බිම ඇණගෙන දුක් වෙද්දි, පස්සෙ තෙල් ගාලා මාව ඉස්සරහට තල්ලු කරන්නෙත් නුඹ මයි.

අපි දෙන්නගේ ප්‍රේම පුරාණයට කාගෙන්වත් බාධක ආවෙ නැත්තෙ අපි-අපිටම හිමි වෙන බව බොහෝ දෙනා දැනගෙන හිටිය නිසාම වෙන්න ඇති. රසායන විද්‍යා ආයතනයේ සමහර කෙල්ලො මගේ පස්සෙන් එද්දි, ඒ බව පහදලා දීලා මාව සමහර වලවල් වලින් බේර ගත්තෙත් නුඹමයි. අපි දෙන්නා එදා වගේම තවමත් Team එකක්.. අපි දෙන්නා බොහෝ දේවල් කළේ එකටමයි. රසායන විද්‍යා ආයතනයේ, කාර්මික පර්යේෂණ ආයතනයේ වගේම මොන්රෝ විශ්ව විද්‍යාලයේදීත් අපි දෙන්නා Team එකක් වුනා. මොන්රෝ විශ්ව විද්‍යාලයේ අන්තර්ජාතික ශිෂ්‍යයන්ගේ දිනයේදී මම නුඹට ස්තුති කරද්දි ශාලාව දෙදරන්න අත්පොලසන් නාදයක් ලැබුනේ නුඹට.. මට නොවෙයි. ඒ නුඹ මගේ පිටිපස්සේ හෙවනැල්ලක් වගේ හිටිය බව මුව විශ්ව විද්‍යාලයම දැනගෙන හිටිය නිසා.  ඒකයි අපි දෙන්නා මේ තරම් දුරක් මේ ගමන ආවේ.  නුඹ නැත්තං මගේ ජීවිතයේ වැඩි කොටසක්  නෑ… ඒ බව මම නොකිවුවත් නුඹ දන්නවා. මගේ සාර්ථකත්‍වයක් ඇත්නම්, ඒකේ ගෞරවය හිමි වෙන්න ඕන නුඹටයි.

ක්‍රිකට් ගහන්න ගිහින් තුවාල කරගෙන ආවම බැණ බැණ බෙහෙත් දාන්න, තෙල් ගාන්න වගේම ගෙදර වැඩක් අතපසු වුනාම පලු යන්න බණින්නෙත් නුඹ තරහින් නොවන බව මම දන්නවා. නුඹට වගේ තරහ නොගියත්, සමහර වෙලාවට මම කෑගහනකොට සද්ද නැතුව ඉන්නේ මට බයට නොවෙයි කියලත් මම දන්නවා. ඒ අපි දෙන්නාගේ තියෙන අන්‍යොන්‍ය තේරුම් ගැණීම.. රෑ තිස්සේ බ්ලොග් ලියනකොට නිදාගන්න කියලා මට කෑගහන්නේ නුඹ මගේ ශරීර සෞඛ්‍යය ගැන සැලකිළිමත් වන නිසා බව මම දන්නවා. කඩේ ගිහින් අපි හැමෝටම ගැලපෙන සෞඛ්‍යාරක්‍ෂිත ආහාර, එළවලු, පළතුරු ආදිය ගේන්නේ නූතන මද්‍රි දේවියක් වගේ. නුඹ මට මාතෘ භාර්යාවක් වගේම මගේ හොඳම යෙහෙළිය. ඉතින් අදට අපේ මිතුරුකමට අවුරුදු 17 ක් වෙනවා… ඉතිං මම මේ අවුරුදු ගාන හැමදාම ගණන් කරනවා… ජීවත්ව ඉන්නකං… ඒක ගොඩක් කල් පවතීවි…. ලියන්න දාහක් දේවල් තියෙනවා.. ළඟදි තව සංවත්සරයක් එනවා නේ… ඉතිරි ටික ඒකට ලියන්නම්….

කවුරු මොනව කිවුවත්, අපේ පැටියත් හදාගෙන ඔන්න ඔහේ අපි අපේ ගමන හෙමින් හෙමින් යං…. එහෙමනේ අපි හැමදාම කියන්නේ…

කියන්න අමතක වුනා අද උදේ……. ඇත්තමයි.. මම නුඹට ආදරෙයි…

සදාදරණීය,

ඇල්කෙමියා.

%d bloggers like this: