Monthly Archives: අගෝස්තු 2011
2011 අගෝස්තු 31 : අවුරුදු 11ක් දිග,…… තවමත් ලියන කතාවක්…….
ඉස්සර කාලෙ ඇල්කෙමියා කියලා එක්කෙනෙක් හිටියා. වැඩිය නාහෙට අහන්නෙ නැති කෙනෙක්… කැමති වෙලාවට ගෙදරින් ගිහින් කැමති යාළුවො එක්ක කැමති විදියට රවුම් ගහලා ක්‍රිකට් ගහලා අත පය කඩාගෙන… ඉඳලා හිටලා ගෑණු ළමයෙක් එක්ක එහේ මෙහේ ගිහින් ආදී වශයෙන් හිටිය මේකා ඔන්න ඇල්කෙමිච්චියෙක් එල්ලා ගත්තා… ඒ කාලෙ තමයි ඇල්කෙමියා ප්‍රේමවන්තයෙක් වුනේ… ඉස්සරත් කවි ලියුවට දිගටම කවි ලියන්න පටන් ගත්තේ ඒ කාලෙ…..ඒ කාලෙ ලියපු කවි සින්දු කොච්චර තිබුණත් මෙහෙමත් හිතුන වෙලාවල් අනන්තයි අප්‍රමාණයි.
අවුරුදු හතක්ම පෙම් කෙළපු මේ ඩබල කාළයාගේ ඇවෑමෙන් ගෙවල් දෙකම එකතු වෙලා එකලාසයක් කරලා දැම්මා. ඒ කොරලා මාස තුනකින් මේ ඩබල පිටරට පටවන්නත් මේ කට්ටියම ක්‍රියා කළා.. ලංකාවෙ තියන් හිටියොත් ලංකාවත් ඉවරයි කියලා වෙන්න ඇති.
එදා ඉඳන් ඇල්කෙමියාගෙ පිටිපස්සෙන් වලිගෙ වගේම සෙවනැල්ල වගේ හිටියේ මේ ඇල්කෙමිච්චි තමයි…. ඉතින් අර දුකට සැපට සතුටට සෝකයට ඉන්නවා කියනවා වගේ ඔක්කොටම හිටියේ මේ ඇල්කෙමිච්චි තමයි.. සෑම සාර්ථක මිනිසෙකු පිටිපසම සාර්ථක ගැහැණියක් සිටී කිවුවා වගේ අපි දෙන්නා ඉතිං ජීවිතේ හැම හැලහැප්පීමක්ම විඳ දරාගෙන මේ ගමන ආවේ.. ගිය අවුරුද්දේ දෙන්නගෙ ඔළු දෙක පූර්ණකාලීනව හානි වුනාට පස්සේ (Permanent Head Damage – Ph.D.) තමයි මේ ගමනේ කොමාවක් තියාගත්තේ… අවුරුදු 6 කට ඉස්සෙල්ලා අපේ පැටියා ඉපදුනාට පස්සේ අපේ ජීවිත බොහොම වෙනස් වුනා….. ඉස්සර නං කැමති වෙලාවට ගෙදරින් ගිහින් කැමති වෙලාවට ගෙදර ආපු මට දැන් ඉතින් වලිග දෙකක් එල්ලගෙනයි එළියට බහින්න වෙන්නේ හැම නිතරම. රෑ වෙලා ගෙදර එන්නත් බෑ… නවය වෙනකොට ටෙලිෆෝන් කෝල් දෙක තුනක්වත් ලැබෙනවා ඉන්න කොතැනකට වුනත්…. කිසිම දෙයක් හිතු මනාපෙට පිළියෙල කරගන්න බෑ… ඒ දෙන්නගේ කාලසටහනට මුල් තැන දෙන්න වෙනවා… නැත්තං ඉතිං කණක් ඇහිලා ඉන්නයෑ…. ඒ වගේමයි අපි දෙන්නා ප්‍රශ්න නිරාකරණය කරගන්නෙත් බොහොම සාමකාමීව… ලංකාවෙ පානීය ජලයේ ආසනික් තියෙනවාද නැද්ද, ලසිත් මාලිංග දිගටම ටෙස්ට් ක්‍රිකට් සෙල්ලම් කරනවාද ?, ආදී බැරෑරුම් ප්‍රශ්න නිරාකරණය කරන්න මට බාර දීලා ඇල්කෙමිච්චි අනිත් සෑම ප්‍රශ්නයකම අවසාන විසඳුම දෙනවා… ඒ නිසා අපි දෙන්නා බොහොම සාමකාමීව ප්‍රශ්න නිරාකරණය කරගන්නවා…
ඉස්සර අපි ප්‍රේම කරන කාලෙ යාළුවො ඇහුවාම කවදද බඳින්නේ කියලා, මම කියන්නේ අපි බඳින්නෙ නෑ… බැන්දම ලව් එක අඩු වෙන නිසා නොබැඳට ලව් කර කර ඉන්නවා කියලා… ඒත් අනේ නාථ දෙයියන්ගේ පිහිටෙන් අපේ ප්‍රේමය නම් තවමත් අඩු වෙලා නෑ… ඒ වුනත් මගේ මෝඩ වැඩ වලට බැණුම් අහන එකෙත් සීමාවක් නෑ… මගේ හැටියට මෙහෙම ජීවත් වෙලා ඉන්න එක පුදුමයක්…
ඉස්සර නම් ඉතිං අර සෝමතිලක ජයමහ කියනවා වගේ සුරඟන රූසිරු දුටිමි හැඳින්නෙමි සිත් ලෙස දෙනුවන් බඳුන් පුරා තමයි….. ඒත් දැන් ඒ සුරඟනන් දිහා බලනකොට මා පෙම් කළ මගෙ හදගත් කළණිය මට නුදුරුයි සුරඹුනට වඩා කියලා තමයි කියන්න වෙන්නේ….
හැබැයි යාළුවො එක්ක එකතු වෙලා ඉන්නකොට මෙහෙම කියන්නත් අමතක කරන්නේ නෑ මම.
සමහර වෙලාවට දැන් මම යාළුවො එක්ක එකතු වෙලා ඉන්නකොට මෙහෙමත් කියලා මාරු වෙනවා.
නමුත් මම නම් හැමදාම කියන්න කැමති මෙන්න මෙහෙමයි…. මම දන්නවා ඇල්කෙමිච්චිත් මේ සින්දුවට බොහොම කැමතියි….
ඉතිං මේ කතාව තවත් දිගට ලියැවේවි….. ඊයෙ මගේ ඇමරිකන් පියතුමා (අර මේ ළඟදි බිරිඳ මියගියේ… අන්න එයා) පැතුවේ එයාල ගතකරපු අවුරුදු 51 ටත් වඩා අපට දිගට කතාව කියන්න පුළුවන් වේවා කියලයි… ඉතින් අපි දවසින් දවස – සතියෙන් සතිය එකතු කරමු… හදිසියෙන් යනවට වඩා හෙමින් ගමන ආරක්‍ෂිතයි – දිගුයි….
මේ කතාව පටන් ගන්න සහ පවත්වාගෙන යන්න උපකාර කරපු බොහෝ දෙනෙක් ඉන්නවා.. ඒ අයටත් බොහොම ස්තුති කරන්න ඕන…. ඉතින් ඔන්න අද මේ ගමනේ තවත් අවුරුද්දක් පටන් ගන්නවා… ලබන අවුරුද්දෙ මේ දවසෙ මේ කතාවෙ තවත් පරිච්ඡේදයක් සම්පූර්ණ වෙලා තියේවි.. ඒක එදාට කියන්නම්…
2011 අගෝස්තු 30 : පුංචි පුතා මගෙ ඉස්කෝලේ ගිය මුල්ම දවස අද වේ…
ඇන්ජලීන් ගුණතිලක මහත්මිය මේ ගීතය කියනවිට මම නම් පියෙකු වෙන්න හිතලවත් නැතුව ඇති. ඒත් මේ දවස් ටිකේම මගේ හිතේ රැඳුනෙ ඒ ගීතය.
අද තමයි ඇල්කෙමි පැටියා මුලින්ම ඉස්කෝලෙ ගිය දවස.. උදේ පාන්දර නැගිට්ටවගෙන බොහොම අමාරුවෙන් ඉස්කෝලෙ අරන් ගියා. ගෙදර ලඟටම පාසැල් බස් රථය පැමිණුනත්, එයට එන්න එපා කිව්වේ පැමිණෙන වෙලාව බොහොම උදේ වැඩි නිසා. ඉතින් අම්මයි තාත්තයි එක්කලා අළුත් ඉස්කෝලෙ අළුත් පංතියට පැටියා ගියා. අළුත් ඉස්කෝලෙ නිල ඇඳුම ඇඳලා යන්න ඕන. මේක Charter School එකක්. ඒ කියන්නේ පෞද්ගලික සමාගම් වල ධනයෙන් යැපෙන පෞද්ගලිකව පාලනය වන රජයේ පාසැලක්. මෙහි විෂය මාලාව වෙනත් පාසල් වලට වඩා වෙනස්, ඒ වගේම උදේ වරුවේ ඉංග්‍රීසියෙනුත්, සවස ස්පාඥ්ඥ භාෂාවෙනුත් තමයි උගන්වන්නේ. ඒ නිසා පැටියා ත්‍රෛභාෂික වෙනවා. සෑම සිසුවා කෙරෙහිම පෞද්ගලික අවධානයෙන් ගුරුවරු ඉන්නේ. දක්‍ෂ ළමයි අති දක්‍ෂ කරන්නත්, අදක්‍ෂ ළමයි ඉහළට ගේන්නත් තනි තනිව වැඩ කරවනවා. පන්තියේ ළමුන් 24 දෙනාට ඉන්නේ එක ගුරුතුමියයි. සහයට ඩැනී කෙනෙක් ඉන්නවා… පළමු වසරෙ ඉඳලාම සංගීතය, චිත්‍ර, පරිඝණක විද්‍යාව උගන්වනවා. ඉතින් මේ පාසැලට පැටියා තේරුණ එක ගැන නම් අපට බොහොම සන්තෝසයි.
ගුරුතුමී, පන්තියේ ළමයි ඊට පෙර දැන හැඳිනගෙන හිටිය නිසා පැටියා වැඩි කතා බහක් නැතිවම ගිහින් පන්තියේ වාඩි වුනා. යාළුවො දෙතුන් දෙනෙක් එක්ක වාඩි වුනාට පස්සේ අපි උන්නද නැද්ද කියලා ගාණක් වත් නෑ….
අපි එළියට යනවිට අඳුනන දෙමාපියො බොහොමයක් දරුවො අරන් ඇවිත්.. ඒ අයටත් කතා කරලා රසායනාගාරයට ආවා. හවස අම්මා ගිහින් පැටියව ගත්තා..
අද හවස අපේ ගුරු- දෙගුරු සංගමයේ කාරක සභාවෙ රැස්වීමක්. හවස 6.30 ට මම පාසැලට යනවිටත් සියළුම ගුරුවරු තවමත් වැඩ… හෙටට කරන්න තියෙන වැඩ ලෑස්ති කරනවා. විදුහල්පති තුමියත් හැම තැනම ඇවිද ඇවිද අඩුපාඩු හොයා බලනවා. ඒ අතරේ පාසැල් බස් රථය වැරදුන ළමුන්ගේ දෙමාපියෝ ඇවිත් එතන එක කරච්චලයයි. තමන්ගේ දරුවා ගෙදර ආවෙ නැති වුනාම කොයි අම්මගෙ තාත්තගේ වුනත් පපුව ගිණි ගන්නවා නේ… කොහොම නමුත් ළමයි ටික ආපසු ඇවිත් සියළුම දෙනා සතුටින් විසිර ගොස් තිබුණා.
හැම දෙමාපියොන්ගෙ වගේම අපෙත් හිතේ බලාපොරොත්තු ගොඩ ගැහිලා…. තමන් ඔවුන්ගේ දෙමාපියොන්ගෙ බලාපොරොත්තු ඉටු කළා වගේ ඔවුන්ගෙ දරුවොත් ඔවුන්ට වඩා ඉහළට යයි කියලා හැම දෙමාපිය යුවලක්ම හිතන් ඉන්නෙ…. හැබැයි අපේ ගොයිය නම් තවම කාර් මත්තෙම නැහෙනව මිසක් පොතක පතක් ගැන අවධානයක් නෑ… පොඩි එවුන්ට ළමා කාළෙ හරියට ගතකරන්න දෙන්න ඕන… ලංකාවෙ වගේ ටියුෂන් පොරේ මෙහේ නැති එක ගැන නම් බොහොම සතුටුයි… ඉතින් ඒකත් මොනවා හරි කරයි අනාගතයෙ…
හෙට අළුත් දවසක්. අපේ පවුලට නම් හෙට අළුත් අවුරුද්දක්…ඒක හෙට කියන්නම්…
2011 අගෝස්තු 26 : කොරේ පිටට මරේ… ඔන්න එනවා අයිරීන්
කූඹිකම්පාව ඉවර වෙලා සතියක් යන්නටත් ඉස්සර මෙන්න එනවා අයිරීන්….
අයිරීන් කියන්නේ අළුත්ම සුළි සුළඟ….. බහමාස් දූපත් වලට ටිකක් ඈතින් වායුගෝලීය කැලඹීමක් (tropical storm) ලෙසින් ඇරඹුන මේ කුණාටුව දැන් ඇමරිකාවේ දකුණු කෙළවර ෆ්ලොරිඩාව කිට්ටුවේ සැරිසරනවා. ඇමෙරිකාවෙ වෙසෙන අපට මේ කුණාටු ඒ තරම් අමුතු දෙයක් නොවුනත් ලංකාවෙ ඉන්න අයට මේවා බොහොම භයානක දේවල්. ඒ ලංකාව වගේ රටකට සුළි සුළඟක් එනවා කියන්නේ බොහොම දරුණු විපත් ඇති කරන නිසා. මෙහේ සුළි සුළඟක් ආවම ඒ සා විශාල විපතක් ඇති කළත්, වසරකට මේ වගේ අවස්ථා කිහිපයක් එන නිසා බොහෝ දෙනෙක් ඒ සඳහා හොඳින් සූදානම් වෙලයි ඉන්නෙ.
සුළි සුළං වලට නම් ලබා දෙන්නේ ඒවා හඳුනාගැනීම පහසු වෙන්නයි. ඒ වගේම රටවල් 120 ක් මේ සුළි සුළං ගැන අවධානයෙන් ඉන්න නිසාත්, රූපවාහිනී විස්තර/ප්‍රවෘත්ති ප්‍රචාරකයන්ට කියවීමට පහසු වන්නටත් යන කාරණා දෙකම නිසා මේ කුණාටු වලට බොහොම සරළ නම් ලබා දෙනවා. මේ නම් ලබා දීමේදී ගැහැණු සහ පිරිමි නම් ලෙස මාරුවෙන් මාරුවට නම් ලබා දෙනවා. ඒ වගේම දැනට වසර 2016 දක්වා කුණාටු සියල්ලම නම් කරලයි තියෙන්නේ. මේ කුණාටු නම් කිරීමේදී Q, U,X,Y,Z යන අකුරු වලින් නම් ලබාදීම කරන්නේ නැහැ. ඒ එම අකුරුවලින් ඇති පමණ නම් සොයාගැනීමට නොහැකි නිසා. ඒ වගේමයි සමහර නම් කාළෙන් කාළෙට නැවත නැවත පාවිච්චි වුනත්, සමහර නම් විශ්‍රාම යවනවා. දරුණු කුණාටු ඇති කළ Katrina, Rita, වැනි නම් ඇතුළු බොහෝ නම් රාශියක් මෙසේ විශ්‍රාම යවා තිබෙනවා. මේ සියළු විස්තර මෙන්න මෙතැනින් බලාගන්නට පුළුවනි.
ඉතින් මේ කුණාටුවට ගොදුරුවිය හැකි යැයි සැලකෙන සියළු පලාත්වල මූදුබඩ ජීවත්වන අය අනිවාර්ය ඉවත්කිරීමකට භාජනය කරලා තිබෙනවා. ඒ සියළුම දෙනා සිය ගෙවල් අතහැරලා ආරක්‍ෂිත ස්ථාන කරා යා යුතුයි. එසේ යා නොහැකි අයට පොදු ආරක්‍ෂිත ස්ථාන පහසුකම් සළසලා තිබෙනවා. අපි ජීවත් වෙන්නේ රට මැද නිසා අපට නම් දැඩි බලපෑමක් නැහැ. නමුත් විදුලිය විසන්ධි වීම් වැනි දේ නිසා ඇතිවන අපහසුකම් මගහරවා ගන්නට ජලය ආහාර සහ ඉටිපන්දම්, ආදිය දැනටම එකතුකරගෙන සිටින ලෙස අනතුරු හඟවා තිබෙනවා. අපේ රසායනාගාරයත් අද සියළුම උපකරණ විසන්ධි කර ඉටිකොළ වලින් උපකරණ සියල්ල ආවරණය කළා. හදිසියේ හෝ ඇතිවිය හැකි ජලගැලීමකට මුහුණ දීමට සියළුම උපකරණ බිම් මට්ටමෙන් ඉහළට ඔසවා තැබුවා. පොඩි එවුන් සියල්ලම නිවෙස් වලට යවා ලොක්කයි මමයි විතරයි දැන් රසායනාගාරයේ ඉන්නේ. අපිත් තව ටිකකින් නිවෙස් බලා යනවා.
පැටියට නම් හරි සතුටු හිතෙයි. තාත්තා කාලෙකින් ගෙදර ඉන්න නිසා සෙල්ලම් කරන්න අවස්ථාවක් උදා වෙනවා. මම නම් මේ කාළය අතපසු වෙච්චි පොත් ටිකක් කියවන්න යොදාගන්නයි හිතාගෙන ඉන්නේ. ගෙදර පොතපත රාශියක් ගොඩගැහිලා තියෙනවා කියවගන්න වෙලාවක් නැතිව… විදුලිය තිබුණොත් තවත් ලිපි ටිකක් කෙටුම්පත් කරන්නත් හිතාගෙන ඉන්නවා… පසුගිය සතියක දිනපොතට ලියූ ආසනික් ලිපිය චානුක වත්තෙගම මහතාගේ උපකාරයෙන් රාවය පත්‍රයේ පළ වුනා.. ගිය සතියේ එක් කොටසකුත්, මේ සතියේ තවත් කොටසකුත් පළවෙනවා. තවත් ලිපි කිහිපයක් ම ලියන්න අදහසක් තියෙනවා… ඒවත් ලියාගන්නට අවස්ථාවක් මේ සති අන්තයේ උදා වේවි කියලා හිතනවා.කාලෙකින් කතා කරන්න බැරි වුන යාළුවොන්ට කතාකරන්නත් මේ අවස්ථාව යොදාගන්නට පුළුවනි. ලංකාවෙත් බොහොමයක් දෙනා ඉන්නවා කාලෙකින් කතා කරගන්නට බැරි වුන.. මෙහෙයි ලංකාවෙයි කාල පරතරය පැය 10.30 ක් නිසා ඒ අය නිවෙස්වල සිටිනවිට අපි රසායනාගාරයේ නිසා කතාකරන්නට වෙන්නේම නැහැ…
ඉතින් මේ සියල්ල කරගන්නටත් කාලෙකින් ටික දිනක් (දින 2 ක්) ගෙදර ඉන්නටත් අවස්ථාවක් ඉඳලා හිටලා හරි උදා වෙනවා. මේ කුණාටුව ඇමරිකාවේ නැගෙනහිර වෙරළට මෑතකදී හමන දරුණුම කුණාටුව කියලයි වාර්තා වෙන්නේ. අපට ලඟා වන විට උණුසුම් වායුගෝලීය කැළඹිමක් (tropical storm) දක්වා අඩු විය හැකි වුවත්, උතුරු කැරොලිනා වැනි ප්‍රදේශ වලට මෙය තෙවැනි හෝ දෙවැනි වර්ගයේ කුණාටුවක් එනම් සුළඟේ වේගය පැයට සැතපුම් 96 – 130 දක්වා විය හැකි බවට අනතුරු හඟවා තිබෙනවා. මේ නිසා නැගෙනහිර පලාතම එනම් ෆ්ලොරිඩා සිට නිව්යෝක් දක්වා කලාපයම මේ ව්‍යසනයට සූදානම් වෙනවා. මේ නිසා බොහෝ දෙනෙකුට උන්හිටිතැන් අහිමි වේවි, දේපල විනාශ වේවි, සමහර මුරණ්ඩු අය මේ අනිවාර්ය ඉවත්කිරීමට අවනත් නොවී තම නිවෙස්වලම රැඳී සිටිනවා ලු (උන් සමහරක් දෙනා මිය යාවි – කියන දේ නාහන එවුන් නේ, හිටියත් වැඩක් නෑ) මේ වගේ බොහෝ දේ සිදු වේවි.
පලාතේ සියළුම ආයතන මේ දින කීපය තුළ වසා දමනවා. පාසැල් සියල්ල නැවත දන්වන තුරු වසා තැබෙනවා. විශ්ව විද්‍යාලයත් නැවත දන්වනතුරු වසා තබනවා. කුණාටුව පහව ගියාට පසු සිදු වූ හානිය පරීක්‍ෂා කර බලා නැවත විවෘත කළ හැකි නම් පමණයි ඒ සියළු ආයතන විවෘත කරන්නේ. පළමුව ආරක්‍ෂාව !
ඉතින් සුළි සුළඟින් පසු හෝ හෙට අපි නැවත හමුවේවි….
2011 අගෝස්තු 24 : ගරු කටයුතු විශ්‍රාමලත් ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය මන්ත්‍රී තුමාගේ සාමාන්‍ය දැනීම
මටත් ඕන නැති අටමගලයක් නෑ… මේ මෙහේට වෙලා ඔබාමා දෙන දෙයක් කාලා රජයෙන් දෙන දීමනාව අරගෙන (මෙහේ ජනසවියයි සමෘද්ධියයි නෑනේ… ඒක වෙනුවට තියෙන්නේ විරැකියා දීමනාව…) ආතල් එකේ ඉන්නෙ නැතිව ලංකාවෙ මැච් බලනවා උදේ පාන්දර නැගිටගෙන…
මේ බලන අතරේ අපේ ජාතික විස්තර විචාරක පහල ගෙදර අප්පුහාමිලාගේ ටෝනි ග්‍රේග් මහතා එතැනට ආපු අපේ පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාමලත් ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය මැති තුමාව කතාවට අල්ලගත්තා. ඒ මදිවට එතුමාගෙන් ප්‍රශ්නත් අහන්න ගත්තා.. මේ පර සුද්දට වටිනවද ලංකාව ගැන ඒ වගේ ප්‍රශ්න සනත් ජයසූරිය මැතිතුමාගෙන් අහන්න…
ඔන්න ඇහුවා ප්‍රශ්නයක්…
ලංකාවේ ජාතික පුෂ්පය කුමක්ද කියලා…
අනේ අම්මපා ටෝනි ග්‍රේග්ට මොළයක් නැද්ද ? අපේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ගෙන් ඒ වගේ සරළ ප්‍රශ්නයක් අහන්න… ඇයි දෙයියනේ ඔන්න අළුත්ම මොන්ටෙරෝ එකක ගාන වගේ වැදගත්කමක් ඇති බැරෑරුම් ප්‍රශ්නයක් ඇහුවා නම් පිළිතුරු දෙයි…
ඉතින් ජයසූරිය මැතිතුමාට පුෂ්ප පැන්නා එළියට….. එතුමා උත්තර දෙන එක ප්‍රතික්‍ෂෙප කළා… බොහොම හොඳ වැඩේ..
ඊලඟ ප්‍රශ්නය වුනේ ජාතික වෘක්‍ෂය මොකද්ද කියලා… ඒකටත් ටෝනි ග්‍රේග්ටම උත්තර දීගන්න ඉඩ දීපු මන්ත්‍රීතුමා
හහ්… ඒක නම් මම දන්නවා කියලා කොචොක් එකකුත් දැම්මා… හොඳ වැඩේ ඩබල්…. ජය වේවා…
ටෝනි ග්‍රේග් කාරයම ප්‍රශ්න අහලා ඒකාම ඊට පස්සේ උත්තර දුන්නා… එහෙමම තමයි කරන්න ඕන ඔය වගේ අසමජ්ජාති නොසංඩාල වැඩ කරන සුදු හම ඇති පර සුද්දොන්ට… මේ බව විමල් වීරවංශ ඇමතිතුමාට දැනගන්න ලැබුනොත් ඔය පර සුද්දාට මේ බුදුන් වැඩිය දේශය දිහා බලාගෙන බත් කන්න බැරි වෙන්න උපවාසයක් කරයි… ඒ වගේම අපේ විදුලිබල ඇමතිතුමාට ඇහුනොත් ඔය සුද්දගේ මහ ගෙදර ලයිට් කප්පවයි.. නලින් සිල්වා මහාචාර්යතුමා දැනගත්තොත් ඔය සුද්දගෙ ඇඟේ ආසනික් තියෙනවා කියලා ඔප්පු කරයි. හොඳ වෙලාවට ඒ වගේ අය මේ වගේ පර සුද්දො ක්‍රීඩා කරන සුද්දන්ගෙ ක්‍රීඩාව නරඹන්නෙ නැත්තෙ. ඇරත් ඒ මහතුන්ට මැච් බල බල ඉන්න වෙලාවක් නෑනෙ.. රට හදන්න වැඩ තියෙනවා නෙ..
ඉතිං මම මේ කල්පනා කළේ….. අපේ රටට ගිය කලදසාව ගැන… වැරදිලාවත් මේ ප්‍රශ්න ටික පහේ ශිෂ්‍යත්වෙ කරන ළමයෙකුගේ ප්‍රශ්න පත්‍රයක තිබුණා නං ඒ ළමයට මොකද නාථ දෙයියනේ වෙන්නේ. ? මන්ත්‍රී කෙනෙකුට උත්තර දෙන්න බැරි ප්‍රශ්න කොහොමද පහේ ශිෂ්‍යත්වෙ කරන ළමයෙක් උත්තර දෙන්නේ ? වැරදිලාවත් ඔය ප්‍රශ්න සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයක හෝ උසස් පෙළ සාමාන්‍ය දැනීම ප්‍රශ්න පත්‍රයක තිබුණා නම් කී දෙනෙක් විභාගෙ අසමත් වෙලා කැම්පස් යන්න බැරි වෙනවද ? රටේ අසහනය කී ගුණයකින් වැඩි වෙනවද ?
මම නම් කියන්නේ මේකට හොඳම විසඳුම විදියට මේ වගේ ප්‍රශ්න හැමදාම අර කට්ටිය කසිකබල් කියලා පැත්තකට දාලා තියෙන, කිසි කෙනෙක් බලන්නෙ නැති මෙගා ටෙලි නාට්‍යයි ඔය සුපිරි තරු වැඩසටහනුයි වගේ අධ්‍යාපනික වැඩසටහන් යන අතරේ ටී වී එකේ දාලා sms වලින් ජයග්‍රාහකයා තෝරන්න ඕන කියලා.. එතකොට අපේ හැදෙන වැඩෙන ළමා පරපුර ඒවා බලනවා විතරක් නොවෙයි sms ගහලා තෑගිත් දිනා ගන්නවා නේ.. ඒ විතරක් නෙවෙයි, ඒ ප්‍රශ්න විභාග වලට එනවා කියලත් දැන්වීමක් දාන්න ඕන. එතකොට ප්‍රේක්‍ෂක ප්‍රමාණය හරි වැඩි වෙනවනේ.
ඒ වගේමයි අර අපිව පාලනය කරන්න දියවන්නාව මැද්දට ගිහින් ඉන්න 225 දෙනාට පොඩි සාමාන්‍ය දැනීම පරීක්‍ෂණයක් කරලා බලන්න ඕන මොළේ තියෙන්නේ කොහේද කියලා.. ඒක අවශ්‍යම නං විතරක් කරමු. දැන් රෝහල්වල රසායනික පරීක්‍ෂණ පිට රසායනාගාරවලින් කරන්නත් බෑ කියනවා නේ.. එතකොට ඉතිං අපේ තියෙන කාර්යක්‍ෂමතාවයේ හැටියට ලෙඩා මැරිලා තුන්මාසෙ දානෙ දෙන දවසට පරීක්‍ෂණයේ ප්‍රතිඵල ඒවි….
ඔන්න ඉතිං සනත් ජයසූරිය මන්ත්‍රීතුමාට ආදරය කරන ක්‍රිකට් ලෝලීන් ඉන්නවා නම් (එකෙක් හරි) මාව දේශද්‍රෝහියෙක් කියලා හම ගහන්න එහෙම එපා…. මේ කාපු බීපු වෙලාවට හිතෙන අමන කතා..
2011 අගෝස්තු 23 : ඇමරිකාවේ නැගෙනහිර වෙරළබඩ පෙදෙසට 5.9 පරිමාණයේ භූමිකම්පාවක්.
අද නැගෙනහිර වෙලාවෙන් සවස 1.51 ට ඇමරිකාවේ වර්ජිනියා ප්‍රාන්තයේ මිනරල් නම් නගරය ආසන්නය කේන්‍ද්‍රව රික්ටර් පරිමාණ 5.9 ක භූ චලනයක් හට ගත්තා. මෙය උතුරින් කැනඩාව, බොස්ටන් ආදී පෙදෙස් වලට නැගෙනහිරින් නිවු ජර්සි, නිව් යෝක් ප්‍රදේශවලටත්, දකුණින් ඇට්ලැන්ටා දක්වාත්, බටහිරින් ක්ලීව්ලන්ඩ් යන ප්‍රදේශ දක්වා දැනී තිබෙන බවයි ආරංචි.
ඩෙලවෙයාර් වල ඉන්න මටත් භූ චලනය දැඩිව දැනුනා. මගේ රසායනාගාරයේ වීදුරු බඩු සෙලවෙන්න පටන් ගත්තා තත්පර 20 ක් පමණ. අප මුලින් සිතුවේ අහල පහල කෙරෙන ගොඩනැගිලි තැනීම් කටයුතු වලදී සිදු වන කැණීම්වලින් ඇතිවන චලනයක් ලෙසයි. නමුත් ටික ටික තේරුම් ගියා එය භූ චලනයක් බව.
දන්නා කියන කිසි කෙනෙකුට කිසිදු අනතුරක් නැහැ. නමුත් නැගෙනහිර පෙදෙසේ ඇති වූ ලොකුම භූ චලනය මෙය බවයි වාර්තා වන්නේ.
මීට පෙරත් මෙවැනි භූ චලනයක් වාර්තා වුනත් එය මේ තරම් විශාල එකක් වූවේ නැහැ.
දැන් දැන් භූචලන වාර්තා නොවූ පෙදෙස් වලිනුත් මෙවැනි වාර්තා ලැබීම නම් ඒ තරමි හිතකර නැහැ. කෙසේ වෙතත් ඉදිරි කාලයේ ස්වභාවික විපත් වැඩි විය හැකි කාළයක බවට විද්‍යාඥයින් දැනටමත් අනතුරු අඟවා තිබෙනවා.
ජනමාධ්‍යයේ “වල්බූරු” නිදහස
මා පෙර කීවාක් මෙන් ලංකාව මාරම රටකි. කිසිවෙකු කිසිවක වගකීමක් කිසිවිටෙක නොගන්නා රටකි. දකුණු කකුල වෙනුවට රෝගියෙකුගේ වම් කකුල කපන දොස්තර නිදහසේ ගෙදර යන්නේ කිසිවක් නොවූවාක් මෙනි. රන් දෙපැය බලන්නට ගොස් ලෙඩුන් මලත්, නර්ස් නෝනා උදේට සුවසේ ගෙදර යයි. සිසුන් සියළුම දෙනා විභාගයෙන් අසමත් වුනත් ගුරුවරයාට කම් නැත. පඩිය ලැබෙනවාය – රස්සාව බේරෙනවාය. වැඩ කරන වෙලාවේ අයිනකට වී නිදා ගන්නා සේවකයා බේරා ගැනීමට වෘත්තීය සමිති සැදී පැහැදී සිටී. පාරේ කහ ඉර උඩ බසයට යටවී මිය යන පාසැල් දරුවාගේ අයිතිවාසිකම් වෙනුවට බීමත් රියදුරාගේ අයිතිවාසිකම් කතා කිරීමට බස් සංගමයේ ලේකම් තුමාට හිතක් පපුවක් ඇත. මෙවැනි උදාහරණ සිය දහස් ගණනක් මේ වර්ග කිලෝමීටර 65,610 තුළ සොයාගත හැක.
ජනමාධ්‍යය ඊට දෙවැනි නොවේ. කල දුටු කල වල ඉහ ගැනීම යන උපහැරණයට ගැලපෙන කතාවක් දෙන්නැයි කෙනෙකුට පැවසුවොත් ෆෙඩ්‍රිකා ජෑන්ස් හෝ සිරස හෝ අයි ටී එන් හෝ වෙනත් මාධ්‍ය වේදියෙකු හෝ මාධ්‍ය ආයතනයක නමක් කී විට පිළිතුර කෙසේ හෝ ගැලපේ. යුද්ධය තිබූ කාලයේ මේ මාධ්‍ය ආයතන සියල්ලම යුද්ධය වවාගෙන කෑවේය. අපට ප්‍රවෘත්ති රැගෙන ඒම එක් දෙයකි. එය වවාගෙන කෑම තවත් දෙයකි. මේ දිනවල බොහෝ මාධ්‍ය ආයතන වවාගෙන කන්නේ විපක්‍ෂයේ අර්බුධය ලු. රනිල් කියපු කුණුහරුපය බදාගෙන කන සිරසට තමන් පෙන්වන කුණුහරුප නොපෙනේ. මීට පෙර මගේ බ්ලොගයේ පළ වූ ලිපියක් මටත් නොකියා හොරෙන් අරන් පළ කළ ලංකා ඊ නිවුස් වෙබ් අඩවිය කෑ ගහන්නේ ද මාධ්‍ය වාරණය සහ මාධ්‍ය නිදහස ගැනයි.
සියළුම දෙනා බලන්නේ මොන දහ ජරාවක් හෝ ප්‍රචාරය කර තමන්ගේ වැඩසටහන හෝ චැනලය ප්‍රචලිත කරනු විනා ජනතාවට ගුණාත්මක යමක් ප්‍රදානය කිරීම නොවේ. ජනතාවද ඊටම හුරු වී ජරා ගොඩේ සිටින නිලමැස්සා මෙන් ජරාවටම ඇදේ. හොඳ වැඩසටහනක් පෙන්වූවද එය වසා දමා ජරාවම නරඹයි. කිසිම වැඩසටහනකට වාරණයක් නැත. වෙනත් රටවල නම් මොන ජරාව පෙන්වුවත් වයස් සීමා වලට අදාල වාරණ නීති පණවා ඇත. ඒ අනුව මොළයක් ඇති දෙමාපියන්ට තම දරුවන් ඒ ඒ වැඩසටහන් නැරඹීම වැලැක්විය හැක. ලංකාවේ සිදු වන්නේ පවුල් කඩා කප්පල් කරන අනියම් සබඳතා පිළිබඳ පෙන්වන ටෙලි නාට්‍ය, බාගෙට පායපු තරු අඩ නිරුවතින් සිහි විකල්ලෙන් නටන නැටුම් සියල්ල පවුලේ චිත්‍රපටියක් මෙන් උදේ පාන්දර ඉපදිච්ච පොඩි එකාගේ සිට හෙට උදේට මැරෙන්න ඉන්න ආච්චි/සීයා දක්වා එකට සිට නැරඹීමයි. මේ නිසා පොඩි එවුන් කුරුවල් වෙනවා පමණක් නොව නාකි ද තිරිහන් වී නැති ලෙඩ පැටලැවේ.
කරුමේ කියන්නේ ජනාධිපතිතුමාටත් පේන්නේ කවුරු හරි “තමුසේ” කියලා වෙන කාට හරි බනින එක පමණි. ගෙවල්වල වෙන රන්ඩු සරුවල්, කාර්යාලවල අනියම් පෙම් සබඳතා, මහමග වන ප්‍රචණ්ඩ ක්‍රියා රූපවාහිනියේ පෙන්වීම සාමාන්‍ය දෙයකි. මේ නිසා තමුසේ රූපවාහිනියෙන් තහනම් කිරීමට එතුමා පියවර ගෙන ඇත.
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරණතුංග මැතිණිය කළ කී දෑ පිළිබඳ බොහෝ අපැහැදිලිතා තිබුණත්, ලංකාවේ මාධ්‍ය නිදහස වල්බූරු නිදහසක් යැයි පැවසූ එක නම් හරියටම හරි ය. ඇමරිකාවේ මොන යුද්ධය තිබුණත් ඒ යුද්ධයට සම්බන්ධ නිලධාරීන්ගේ වතගොත මාධ්‍යයට හෙළි නොකිරීමත්, දැනගත්තද – මාධ්‍ය විසින් හෙළි නොකිරීමත් ආදී අන්‍යොන්‍ය තේරුම් ගැනීමක් ඇති මාධ්‍ය වගකීමක් ඒ ඒ මාධ්‍ය වලට ඇත. ලංකාවේ කරන්නේ කෙසේ හෝ එම නිලධාරීන්ගේ තොරතුරු සොයාගෙන පවුලේ පින්තූර පිටින් ආරක්‍ෂක විවරණ වල පළ වීමයි. තවද ප්‍රවෘත්ති වල මියගිය පුද්ගලයන්, අතවරයට ලක්වූවන් ආදී සංවේදී දේවල රූප රාමු විකාශය කිරීමෙන් වැලකී සිටින මේ රටවල මාධ්‍ය ඇත්තෙන්ම වගකීමක් සහිතව ක්‍රියා කරන ආකාරය පැසසුම් සහගතය.
අපේ රටේ කිසි කෙනෙක් කිසි දෙයක් හරියට නොකරනවා මෙන්ම, සියල්ල තමන්ගේ යැයි සිතා කටයුතු කිරීමත් නිබඳවම දැකගත හැකිය. තමන්ගේ මාධ්‍ය නිදහස පිළිබඳ අයිතිවාසිකම් කතා කිරීමට පෙර තමන් හරිහැටි වගකීමක් සහිතව, මාධ්‍ය ආචාර ධර්ම වලට එකඟව කටයුතු කරනවාදැයි සිතා බැලීම සියළු මාධ්‍යවේදීන් සහ මාධ්‍ය ආයතන හිමිකරුවන්ගේ වගකීමයි.
2011 අගෝස්තු 21 : අනිත්‍යය සුන්දරයි…..
අනිත්‍යය යන්න කණ වැකුණු සැනින් අප සියළුම දෙනාට පාහේ නිතැතින්ම මතක් වන්නේ මරණයයි. ඒ අපේ ධර්මය පිළිබඳ ඇති නොගැඹුරු අවබෝධය මනා ලෙස පසක් කරමින්. නමුත් ඇත්තෙන්ම අනිත්‍යය කියන්නේ කුමක්ද ?
අනිත්‍යය කියන්නේ නිත්‍ය නොවන බව නැතිනම් වෙනස්වීම. ස්වභාව ධර්මයා නිතරම වෙනස් වන සුළුයි. කුඩා ඇටයක් පැළයක් වන්නේත් පැළයක් මහා ගහක් බවට දළු ලා වැඩෙන්නේත් මේ නිරන්තර වෙනස් වීම නිසායි. ශුක්‍රාණුවක් සහ ඩිම්බයක් වශයෙන් ඒක සෛලිකව පැවත, කළලයක් බවට පත්ව දරුවකු වශයෙන් අප හැමෝම උපත ලබන්නේත් මේ අනිත්‍යය නිසයි. ඒ උපතින් පසු මොහොතින් මොහොත අපි වැඩෙන්නේ, තරුණ බව ලබන්නේ සහ වියපත්ව මිය යන්නේත් මේ අනිත්‍යය නිසයි. බොහෝ දෙනෙක් නොදැනුවත්කම නිසාම අනිත්‍යය මරණය හා පමණක් සම්බන්ධ කරගන්නවා. ඇත්තෙන්ම මරණය කියන්නේ තවත් ගමනක ආරම්භයක් කියලා හිතන්න පුරුදු වෙලා ඉන්නේ කීයෙන් කී දෙනාද ?
අනිත්‍යය නිසායි පරිසරය වෙනස් වෙන්නේ මලක පොහොට්ටුවක් මලක් බවට පත් වන්නේත් පණුවෙක් දළඹුවෙක් වී සමනලයෙක් ඇති වන්නේත් මේ නිරන්තර වෙනස්වීම නිසායි. මුළු පරිසරයම විශ්වයම එකම රසායනික ක්‍රියාවලියක ප්‍රතිඵලයක්. මේ විශ්වයේ ශක්තිය සමහරවිට පුදුමාකාරයි. තාප රසායන විද්‍යාවේ දෙවන නියමයෙන් කියවෙන පරිදි පද්ධතියක එන්ට්‍රොපිය අඩු වීම නොහොත් අහඹුතාවය අඩු වීම වෙනත් පද්ධතියක අහඹුතාවය වැඩි වීමකින් තොරව සිදු නොවේ. නමුත් මුළු විශ්වයම එක් පද්ධතියක් ලෙස ගත් කළ එහි අහඹුතාවය නිරන්තරයෙන් වැඩි වීමකට ලක් වේ. මහා පිපුරුම (Big Bang) සිට තවමත් විශ්වය ප්‍රසාරණය වෙමින් පවතී. එනම් අහඹුතාවය වැඩි වෙමින් පවතී. මේ නිසා විශ්වය කිසිවිටෙක සමතුලිතතාවයකට පත් නොවේ. එසේම විශ්වයේ ක්‍රියාවලි කිසිවක් නතර නොවේ. එනම් පද්ධතිය නිත්‍ය බවකට පත් නොවීමයි : අනිත්‍යයයි.
මුළු විශ්වයම විශාල රසායනික ප්‍රතික්‍රියාවක්, ඇත්තෙන්ම එය කුඩා රසායනික ප්‍රතික්‍රියා අනන්ත සංඛ්‍යාවක ප්‍රතිඵලයක්. අපේ ශරීරයත් විශ්වය වගේ. රසායනික ප්‍රතික්‍රියා අනන්ත සංඛ්‍යාවක් එක මොහොතක සිද්ධ වෙනවා. ඇසිපිය සැලීමක් වැනි සුළු චලනයක් පවා රසායනික ප්‍රතික්‍රියා රාශියක ප්‍රතිඵලයක්. පරමාණු, අණු, මූල ද්‍රව්‍ය, සංයෝග, මේ සියල්ලම අපේ කොටස්. මේ රසායනික ප්‍රතික්‍රියා ගැඹුරු ලෙස සලකා බැලුවහොත් අපේ චර්යාවන් බොහොමයක් මේ එක් එක් රසායනික ක්‍රියා වගේමයි. උදාහරණයක් ලෙස මූලද්‍රව්‍ය දෙකක් බන්ධනයක් සැදීම මිනිසකු හා ගැහැණියක අතර ඇතිවන සම්බන්ධතාවයක් වැනියි. සමහර සබඳතා සහජීවන සබඳතා – එනම් දෙදෙනාගෙන්ම එක සමාන සම්මාදමක් (contribution) ලැබෙන සබඳතා. මේවා බොහොමයක් බොහෝ ස්ථායී සුන්දර සබඳතා. (හරියට කාබන් පරමාණුවක් තවත් කාබන් පරමාණ්වක් හා බැඳී තනන සහසංයුජ බනධන වගේ) අයනික බන්ධනයක් හරියට මුදලට, තත්ත්‍වයට, හෝ බලපුළුවන්කාරකමකට යටත්ව ඇතිවන සබඳතාවයක් වගේ. එක පරමාණුවක් ධන ආරෝපිත වන අතර අනෙක ඍණ ආරෝපිතයි. ඊට වඩා බලවත් පරමාණුවක් ලඟට ආවොත් සමහරවිට එක පරමාණුවක් හෝ දෙකම තම බන්ධන කඩා දමා වෙනත් බන්ධන ඇති කරගන්නට පුළුවනි. තවත් සමහර පරමාණු බන්ධන එකකට වඩා තනනවා. ඒ වගේ සබඳතාත් අපේ කට්ටිය අතර නැතුවාම නොවෙයි.. ඒ බන්ධන පැත්තෙන් අපේ ජීවිත පරමාණු වලට සමාන වෙන්නේ කොහොමද කියලා පැහැදිලි කරන විදිය…
ආයෙම මාතෘකාවට පැමිණියොත්, මේ විශ්වයේ පවතින ක්‍රියාවලි සියල්ල සමබරයි. එනම් නිවුටන්ගේ තෙවැනි නියමය වගේම සෑම ක්‍රියාවකටම සමාන හෝ ප්‍රතිවිරුද්ධ ක්‍රියාවක් තිබෙනවා. බොහෝ අවස්ථාවල Duality නැත්නම් ද්විප්‍රකාරත්‍වය කියන්නේ මේකට. යින්-යැන් (Ying-Yang) පුරුෂ-ස්ත්‍රී, හොඳ-නරක, වේදනාව- සුවය, ආදී මෙකී නොකී සියල්ල මේ ද්විප්‍රකාරත්‍වයේ ප්‍රතිඵලයන්. මහා පිපුරුමට පසු මේ විශ්වය කිසිම වෙලාවක මේ ද්විප්‍රකාරත්‍වයෙන් ඔබ්බට ගියේ නැහැ. විශ්වයේ කුඩාම පද්ධතිය වන පරමාණුවක් ගතහොත්, එහිද ධන ආරෝපිත න්‍යෂ්ඨිය වටා ඍණ ආරෝපිත ඉලෙක්ට්‍රෝණ පවතිනවා. මෙය පුරාණ වේද ග්‍රන්ථවල විග්‍රහ කරනවා කියන්නේ ස්ත්‍රී – පුරුෂ භාවයට සමාන කරලා. ධන ආරෝපිත දෑ පුරුෂ ලෙසත්, ඍණ ආරෝපිත වස්තූන් ස්ත්‍රී ලෙසත් වන අයුරින්. ධන ආරෝපිත න්‍යෂ්ඨියේත් තවත් කුඩා උප පරමාණුක අංශු තිබීම, සෞර ග්‍රහ මණ්ඩලය වටා ග්‍රහලෝක ගමන් කිරීම ආදිය පවා මේ ද්විප්‍රකාරත්‍වය මත රඳා පවතිනවා. සූර්යයා හෝ වෙනත් මධ්‍ය තාරකාවේ ගුරුත්‍වාකර්ෂණ බලයට ඇදෙන ග්‍රහලෝක එහි ඉලිප්සාකාර චලිතයෙන් ඇතිවන බලය නිසා නියත මාර්ගයක පරිභ්‍රමණය වීමත් මේ ද්විප්‍රකාරත්‍වය නිසා සිදු වීමක්. මේ අයුරින් අනන්තවත් උදාහරණ ලබා දෙන්නට හැක.
මේ සියළු ක්‍රියාකාරකම් නිරන්තරයෙන් සිදුවන වෙනස්කම් මත රඳාපවතිනවා. මේ සියල්ල සිදු වන්නේ නැතිනම් සියළුම දෑ නිශ්චලව එකාකාරීව පවතිනවා. එනම් නිත්‍ය වෙනවා. මෙන්න මේ වෙනස්කම් සිදුවීම නිසයි අනිත්‍යය සුන්දර වන්නේ. අප සියළුම දෙනා මේ සුන්දර අනිත්‍යය නම් මායාවට වහල් වෙලයි සිටින්නේ. උපන් දා සිට අප තුළ සිදු වන වෙනස්වීම්, අප අවට සිදු වන වෙනස්වීම් අප ගත-සිත හා බද්ධ කරගෙන අපි ඒ ගැන කිසිවක් නොසිතාම කටයුතු කරගෙන යනවා. අවසන මරණය කරා ළඟා වනවිට පමණක් අපි අනිත්‍යය මෙනෙහි කරමින් වැලපෙනවා. නමුත් අපි මුළු ජීවිත කාලය පුරාවටම අනිත්‍යය සමඟ අත්වැල් බැඳගෙන ගමන් කළ බව කිසිවෙකු සිතන්නේ නැහැ.
මේ ද්විප්‍රකාරත්‍වයේ අවසානය ඇත්තෙන්ම Singularity නැතිනම් ඒකත්‍වය යනුවෙන් විග්‍රහ වෙනවා. මෙහිදී සිදු වන්නේ ද්විප්‍රකාරත්‍වයෙන් ඔබ්බට ගොස් එක් ගුණයක් පමණක් ඉතිරි වීමයි. මේ බව මුලින්ම සොයා ගත්තේ බුදුරජානන් වහන්සේ විසින් නිවන අවබෝධ කරගැනීමෙන්. එනම් නිවන කියන්නේ මෙන්න මේ ද්විප්‍රකාරත්‍වයේ කෙළවරයි. එය නොවෙනස්වන සුළුයි. නිවනට පත් වූ සිත නිත්‍යයි. එය නැවත වෙනස් වීමකට භාජනය වන්නේ නැහැ.
ලියන්න බොහෝ දේ තිබෙනවා… නමුත් ලිපිය දිගු වනවිට එය නීරස විය හැකියි……මා මේ ලිපියෙන් කියන්න අදහස් කළේ හැමටම නිවන් දකින්න සූදානම් වන්න කියා නොවෙයි. ඇල්කෙමියා බණ කියනවා කියලා මට මඩ ගහන්නත් එපා… ඒත් මේ කියු දෑ පොඩ්ඩක් හිතලා බලන්න…. ඔබට හිතෙන දෑ අපි කතා කරමු.
මේ ලිපිය සැකසීමට මූලික සිතුවිලි පහල කළ මගේ ධර්ම ගුරුවරයා වන කරුණාරත්න බණ්ඩා මහතා සහ එම මැතිණියටත්, වොෂිංටන් බෞද්ධ විහාරයේ මණ්ඩාවල පඥ්ඥාවංස හිමියන්ටත් මගේ අප්‍රමාණ කෘතඥතාවය හිමි වේ.
2011 අගෝස්තු 18 : හඳුනාගත්තොත් ඔබ – මා…………….
මිනිසා සමාජ සත්ත්‍වයෙක්. ඒ නිසාම අපි සමාජයීය සබඳතා රාශියක් ඇති උදවිය. දූපතක තනි වෙලා ඉන්න කෙනෙක් හැරෙන්න අන් සෑම දෙනාටම කිසියම් හෝ සමාජ සබඳතාවයක් තිබෙනවා. හිර ගෙදරක හිටියත් එතැනත් කුමක් හෝ සබඳතාවයක් ගොඩ නැගෙනවා. නිවසේදී දෙමාපියන් සහෝදර සහෝදරියන් සමග, හෝ බිරිඳ – සැමියා – දරුවන් සමග, එසේත් නැතිනම් බිරිඳ-සැමියාගේ පවුලේ නෑදෑයන් සමග තමන්ගේ නෑදෑයන් සමග ආදී පවුලේ සබඳතා, ඉන් එහාට ගිය කළ මිතුරු-මිතුරියන්, කාර්යාලයේ වෘත්තීයමය සබඳතා ආදී සියළුම සබඳතා ජාලයක් සමගයි අප සියළු දෙනා කටයුතු කරන්නේ.
නිවසේ හැදී වැඩෙන කුඩා දරුවාගේ සමාජය වන්නේ දෙමාපියන් සහ නෑදෑයන්… පෙර පාසැල් යනවිට එම සබඳතා කෙමෙන් කෙමෙන් පුළුල් වී මිතුරු මිතුරියන් ඇති වෙනවා, /ගුරුවරුන් හඳුනාගන්නවා. ඉන්පසු පාසල් දිවිය අවසන් වනතෙක් මේ ගුරු-දෙගුරු-මිතුරු සබඳතාවන් පවතිනවා. සමහර මිතුරු සබඳතා බිඳිය නොහැකි තරමට දැඩියි. සමහර මිතුරු සබඳතා නම් සරළයි. හායි – බායි දෙකට සීමා වෙනවා. පෙම් සබඳතා මීටත් වඩා සංකීර්ණයි. සමහර සබඳතා විවාහයෙන් කෙළවර වෙන අතර සමහර සබඳතා හුදු මතකයන් පමණක් බවට පත් වෙනවා. රැකියාවක් කරන අවධිය වන විට බොහෝ විට ඇති වන්නේ මිතුරු සබඳතා වගේම වෘත්තීය සබඳතා. තමන්ගේ ප්‍රධානියා සමග මිතුරු කමක් ඇති වනවා වගේම වෘත්තීය බැඳීමක් ද ඇති වෙනවා. ඉතින් මේ සබඳතා සියල්ල සරළ මෙන්ම සංකීර්ණ ද වෙනවා. සමහර පුද්ගලයන්ගේ ගති පැවතුම් අනුවත් මේ සබඳතා වෙනස් වෙනවා.
සමහරුන්ට ඉක්මනට තරහා යනවා. සමහරු ඉක්මනට අඬනවා. තවත් සමහරු බොහෝ දේ හිතේ තියාගෙන ඉඳලා අවස්ථාව ලැබුණාම ඇරලා දානවා. තවත් සමහරු කිසිම දෙයක් ගණන් ගන්නෙ නැතිව සුළු වැරැද්දක් හෝ ලොකු වැරැද්දක් වුවත් මිතුරු කම පවත්වාගෙන යනවා. තවත් සමහරු තරහ වුනොත් ආයෙ පැත්ත පලාතෙ බලන්නෙ නෑ මලත්…. ඒ මිතුරු සබඳතා. ඥාති සබඳතා මීට වඩා වෙනස්. සමහරු තම ඥාතීන්ගේ සැපත, දියුණුව දැකලා සංතෝෂ වෙනවා. ඔවුනට උදවු කරනවා. තවත් සමහරු ඒකෙ අනිත් පැත්ත, පුළුවන් තරම් දියුණුවට අකුල් හෙළනවා – ඊර්ෂ්‍යා කරනවා, යමක් ලැබෙන්න තියෙනවා නම් වලක්වනවා. වෘත්තීයමය සබඳතා ඊටත් වෙනස්. සමහරු ඔබේ දියුණුවට උදවු කරන අතර තවත් සමහරු අකුල් හෙලනවා. ඒ වගේම කේලාම් කියා ප්‍රධානියාගේ හෝ අනෙත් අයගේ හිත් බිඳවනවා. පිටිපස්සෙන් ඇවිත් පිට අතගාලා පිහියෙන් අනිනවා.
මේ සබඳතා සියල්ල මැද අපි හැමෝම ජීවත් වෙනවා. ඒක තමයි ජීවිතේ. නමුත් අපි හැමෝම අනුන්ව තේරුම් ගන්න නොයෙක් විදියේ උත්සාහ දරනවා, සමහර විට අනෙත් යාළුවන් එක්ක පැය ගණන් අන් අය ගැන කතා කරමින් තමන්ගේ කාළයත් අනුන්ගේ කාළයත් නාස්ති කරනවා. අඹු සැමි දෙපළක් වුනත් ඒ අය 100% ක්ම තමන්ගේ සහකරු/සහකාරිය හරියට තේරුම් ගන්නේ නැහැ. විවිධ ප්‍රශ්න ඇති වෙනවා. බොහෝ විට මේ ප්‍රශ්න විසඳුනත්, සමහරු දුර දිග නොබලා ක්‍ෂණික තීරණ අරගෙන ජීවිතේම අමාරුවේ දාගන්නවා.
අපි අනුන්ව තේරුම් ගන්න මහන්සි වෙන වෙලාව තමන්ව තේරුම් ගන්න වැය කළා නම් කොපමණ හොඳද ? තමන්ගේ රුචි අරුචිකම්, දක්‍ෂතා – දුර්වලතා. හැකියාවන්, මානසිකත්‍වය, ආදී දේ හරියට තේරුම් ගත් විට බොහෝ ප්‍රශ්න මගහරවාගන්නට පුළුවනි. තමන්ගේ තරම දැනගෙන යම් වැඩකට වුනත් යෙදෙන්නට පුළුවනි. සමහරු කායිකව ශක්තිමත්, සමහරු බුද්ධිමය අතින් ඉදිරියෙන්. තමන්ට කායික ශක්තිය වෙහෙසවා නමුත් කරන්න අපහසු වැඩක් ලැබුණ විට තමන්ට එය අසීරු බව පවසා ඉන් මිදීම- එය කරන්නට ගොස් අමාරුවේ වැටෙනවාට වඩා බුද්ධිමත් ක්‍රියාවක්.
සමහරවිට ඔබ කුලෑටි පුද්ගලයෙක් වන්නට පුළුවනි. එවිට ඔබ බොහෝ මිතුරු සබඳතා ඇති කරගන්නට වෙර දරන්නේ නැහැ. තවත් සමහරු දකින දකින ඕනෑම කෙනෙකු සමග ඉතාම ඉක්මනින් කුළුපග වෙනවා. එසේ වී සමහරු නම් අමාරුවෙත් වැටෙනවා. ඒ වගේම සමහරු උපතින්ම නායකත්‍ව ලක්‍ෂණ ඇති අය. එවන් අයව අනෙක් අය යටතේ පාලනය වෙන්නට කැමති නැහැ – එවිට ලොකු ප්‍රශ්න ඇති වෙනවා. තවත් සමහරු සුළු දේටත් කලබල වෙන අය… ඒ අය සමග හැසිරීමේදී ඔබවත් ඔවුන්වත් පාලනය කරගෙන කටයුතු කිරීමත් වැදගත්.
ඉතින් ඔබ හැමටම මේ කියූ සහ තවත් නොකියූ ගති පැවතුම් ඇති බොහෝ දෙනා සමාජයේ අනන්තවත් හමු වෙලා ඇති… ඒ ඒ බනිස් වලට ඒ ඒ කෙසෙල් ගෙඩි කියුවා වගේ අදාල පුද්ගලයින් සමග ගණුදෙනු කිරීමේදී ඒ ඒ විදියට සබඳතා පවත්වාගෙන යන්න අවශ්‍යයි. නමුත්, ඒ සියල්ලට පෙර ඔබ කවුද කියා ඔබ තේරුම් ගත්තාද ? සමහරවිට ප්‍රශ්නය ඇත්තේ ඔබේ වෙන්නට පුළුවනි. ඔබ නිසි ලෙස ඔබ කවුදැයි හඳුනා ගත්තොත්, ඔබට අවශ්‍ය – ඔබට ගැලපෙන සබඳතා ඇති කරගන්නට ඔබටම පුළුවන් වේවි.
ඉතින් කෙස් පැලෙනකල් අනුන්ව තේරුම් ගන්න උත්සාහ කරන්නට පෙර තමන් කවුරුන් වගේ පුද්ගලයෙක්ද කියලා තේරුම් ගන්න. එවිට සියල්ල සරළ වේවි….
2011 අගෝස්තු 17 : නාථ දෙයියනේ…… මෙන්න ප්‍රියානි පරණගම මහත්මිය කළ කතාව…..
මම ඊයේ පළ කළේ මහාචාර්ය ඔලිවර් ඉලේපෙරුම මහතා ශ්‍රී ජයවර්ධනපුර සරසවියේදී කළ කතාව
මේ තියෙන්නේ මහාචාර්ය ප්‍රියානි පරණගම මහත්මිය කළ කතාව.
පළමු කොටස
දෙවන කොටස
තෙවන කොටස
විශේෂ ස්තුතිය මහාචාර්ය හිරාන් අමරසේකර මහතාට
2011 අගෝස්තු 16 : නාථ දෙයියනේ… මෙන්න ඉලේපෙරුම මහත්තයා කළ කතාව…..
පානීය ජලයේ ආසනික් සම්බන්ධ කතිකාවත බොහෝ දුරට ඇදී ගොස් ඇති වකවානුවක ශ්‍රී ජයවර්ධනපුර සරසවියෙන් සංවිධානය කෙරුණ දේශනයක වීඩියෝවයි මේ.
මේ දේශනය කරන්නේ පේරාදෙනිය සරසවියේ අකාබනික රසායන විද්‍යා මහාචාර්ය ඔලිවර් ඉලේපෙරුම මහතා.
පැයක් පුරාවට විහිදෙන මේ වීඩියෝව බලන්න කාළය පොඩ්ඩක් මිඩංගු කරන්න පුළුවන් නම් හොඳ අවබෝධයක් ලබන්න පුළුවනි.
මම මීට පෙර ලියූ රජරටට පමණක් සීමා වූ වකුගඩු රෝගයට හේතුව එප්පාවල ඇපටයිට් නිධියද යන ලිපියටත් අදාලව කරුණු මේ කතාවෙන් විස්තර කෙරෙනවා.
බලන්න….. බලා තේරුම් ගන්න.
සාමාන්‍ය වීඩියෝව මෙතැනින්
HD වීඩියෝව මෙතැනින්.
ලබන සතියේ මහාචාර්ය නලින් සිල්වා කණ්ඩායමේ මහාචාර්ය පරණගම මහත්මියගේ දේශනයක් පැවැත්වෙනවා. එහි වීඩියෝවත් ලැබුණ සැණින් පළ කරන්නම්.
ස්තුතිය ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ මහාචාර්ය හිරාන් අමරසේකර මහතාට