Daily Archives: අගෝස්තු 4, 2011

2011 අගෝස්තු 04 : මිනිස් ජීවිත උකසට තබන මේ අයට දෙන දඬුවම් මොනවාද ?


අද දිවයින පත්තරේ තිබුණ මේ ප්‍රවෘත්තිය දැක්කාම මොනවා ලියන්නද කියලා හිතාගන්න බැරි වුනා. ඒ තමයි රෝහල් වලට ගෙනාව බාල සේලයින් එක් ලක්‍ෂ හැට දාහක් රෝහල්වලට බෙදලා කියන පුවත. මේ සේලයින් දෙන්නේ රෝගීන්ට. මේ රෝගීන් කිසිකෙනෙක් මේ පිළිබඳව දන්නෙත් නෑ… රෝහල් බලධාරීන් ඒ ගැන වැඩිදුර අවධානයෙන් සිටියෙ නැතිනම් රෝගීන් කිහිප දෙනෙකු මේ නිසා මිය යන්නත් ඉඩ තිබුණා…

ලංකාවේ සෞඛ්‍ය සේවය නොමිලේ ලබා දෙන සේවයක් බව ඇත්ත. එසේ වුනත් එම සේවාව නිසි පරිදි ක්‍රියාවේ යෙදවෙන්නේ නැත්නම් ඒ සේවයෙන් බලාපොරොත්තු වන කාර්යය සිදු වන්නේ නැහැ. අපේ රටේ සමහර දොස්තරවරු හිතන් ඉන්නේ ඒ අයට වඩා ලොක්කෙක් නැහැ කියලා. ඔවුන් සිතන්නේ නැහැ තමන්ගෙන් බෙහෙත් ගන්න එන රෝගියාගේ මානසිකත්‍වය. ඒ මනුස්සයාගේ තත්ත්‍වය. මේ නිසා සමහරවිට බොරුවටත් සැර දානවා. ඒ අතරේ දෙවිවරු වගේ දොස්තරවරු නැතුවාමත් නොවෙයි. ඊට හපන් අපේ නර්ස් නෝනලා… තදවුන ගමන්මයි ඉන්නේ… පොඩ්ඩ ඇත්නම් සැර දානවා… කරුණාවන්ත නර්ස් නෝනා කෙනෙක් දැක්කොත් ඒ බොහොම කලාතුරකින්. ඒ වගේමයි අමාත්‍යාංශයේ ඉන්න කට්ටිය. තමන්ට ගාණ වැටෙනවා නම් මොන බේහෙත ගේනවද කියලා ප්‍රශ්නයක් නෑ.. ලෙඩ්ඩු 100 ක් මැරුණත් කමක් නෑ ගමන්ගේ ගතමනාව ලැබෙනවා නම්.

දොස්තරලත්, නර්ස් නෝනලත් යන මේ දෙගොල්ලන්ටම හොස්ස ලඟින් මැස්සා යන්න බැහැ වර්ජනය කරනවා. හැබැයි මේ අයගේ වර්ජනය නිසා අසරණ වන රෝගීන්ගේ පැත්ත ගන්න හෝ මිය යන රෝගීන් වෙනුවෙන් වගකීමක් දරන්න කවුරුවත් නැහැ. ඒ වගේමයි වෛද්‍යවරුන් අතින් සිදුවන අතපසුවීම් නිසා සිද්ධවන අවාසනාවන්ත සිදුවීම්.. මේ කිසිවක වගකීමක් දරන්න කවුරුවත් ඉදිරිපත් වෙන්නෙත් නැහැ. කවුරු හෝ ඒ පිළිබඳ ක්‍රියා කරනවා නම් ඊට විරුද්ධව වෘත්තීය සමිති ක්‍රියාමාර්ග හෝ වෙනයම් පිළිවෙතකින් වැරදිකරුවා ආරක්‍ෂා කරන්නත් ඔවුන් පෙළඹෙනවා.

ලංකාවේ බොහොමයක් දේ වගකීමකින් තොරවයි සිදු වෙන්නේ. පොලීසියට ගෙනයන අපරාධකරුවා මාංචු දාගෙන සිටින අතරේ සැඟවූ අත් බෝම්බයක් විසි කරන්න ගොස් වෙඩිපහර කා මිය යන්නේ ලංකාවෙ විතරමයි. පොලීසියට මාංචු දාපු සිරකරුවෙක්ගෙන් ආරක්‍ෂා වෙන්නවත් බැරි තරමට දුර්වල වෙලා. මේ කිසිම අපරාධකරුවෙක් කකුලට හෝ මාරාන්තික නොවන ස්ථානයකට වෙඩි තබා මෙල්ල කරගන්න නොහැකි තරමට අපේ පොලීසිය අසරණයි.

අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉන්නේ ප්‍රශ්න පත්‍රයක් හරියට හදාගන්න බැරි බලධාරීන්.. ඒ වුනාට එක විෂයට නිලධාරීන් 25 ක් විතර ඉන්නවා…. ඒ බොහොමයක් දෙනා මැති ඇමති වරුන්ගේ හෙංචයියෝ…

ලංකාවෙ බොහොමයක් උසස් ස්ථාන ලැබෙන්නේ නුසුදුස්සොන්ට වෙන්න ඇති. හැම දේටම එක නිලධාරියාට වැඩියෙන් ඉන්නවා. ඒකයි ඇමති මණ්ඩලයෙත් සෑහෙන ගණනක් ඉන්නේ. ඒ කිසිකෙනෙකුට හරියට වැඩක් කරන්න බැරි නිසා වෙන්න ඇති එකම විෂය කොටස් කීපයකට බෙදලා දීලා ඇත්තේ.. ඒ වුනත් කාගෙන්වත් හරියට වැඩක් කෙරෙන්නෙ නෑනෙ.. යුද්ධයෙන් පස්සේ අපූරුවට ගොඩ නඟන්න තියෙන රටයි මේ කට්ටිය කිසිම වගකීමක්, දැක්මක් නැතිව කාලා දාන්නේ… ඇත්තෙන්ම මේ ගැන දුකක් දැනුනත් මෙහෙම කතා කරනවා මිසක් අපි මොනවා කරන්නද ?

මෑතකදී පළ වුන වාර්තාවක් අනුව අල්ලස් ගත් චීන දේශපාලනඥයන් දෙදෙනෙකුට චින අධිකරණය විසින් මරණිය දණ්ඩනය නියම කරලා තිබුණා. අපේ රටේ එහෙම නීතියක් ගෙනාවොත් කීදෙනෙක් ඉතිරි වෙයිද ?

ගණන හදන්න ඔබටම බාර කරමින් අදට සමු ගන්නවා…

Advertisements
%d bloggers like this: