Daily Archives: අගෝස්තු 7, 2011

2011 අගෝස්තු 07: රජරටට පමණක් සීමා වූ වකුගඩු රෝගයට හේතුව එප්පාවල ඇපටයිට් නිධිය ද?.


රජරට ජලයේ අඩංගු යැයි කියන ආසනික් නිසා බොහෝ දෙනා පසුගිය මාස ගණනාවක් තිස්සේ විවිධාකාර මති මතාන්තර ඉදිරිපත් කළහ. මහාචාර්ය නලින් සිල්වා කණ්ඩායම විසින් රජරට වකුගඩු රෝගයට මුල ජලයේ ඇති ආසනික් බව පවසන අතර, තවත් සමහරක් ඊට හේතුව ආසනික් නොව වෙනත් කාරණා බව පවසති. පසුගිය සතියක ඉරිදා දිවයින පුවත්පතට මහාචාර්ය නලින් සිල්වා මහතා ලියු “දහතුන සහ පලිබෝධනාශක” යන ලිපිය සහ මහාචාර්ය ඕ. ඒ. ඉලේපෙරුම මහතා ලියූ “දේව කන්නලව් වලින් මිරිස් ඇඹරීමෙන් සත්‍යය යටපත් කල නොහැකිය” යන ලිපි වලට සමගාමීව සහ ඒ ලිපිවල සඳහන් සමහර කරුණු වැඩිදුර විග්‍රහ කරනු පිණිස මෙම ලිපිය ලිවීමට අදහස් කළෙමි.

ආසනික් ආවර්තිතා වගුවේ පස්වැනි කාණ්ඩයේ පොස්ෆරස් වලට පහලින් ඇති ලෝහ සහ අලෝහ අතර ගතිගුණ පවත්නා මූලද්‍රව්‍යයකි. පරමාණුක ක්‍රමාංකය 33 ක් වන ආසනික් විද්‍යානුකූලව මුලින්ම සොයාගත්තේ වසර 1250 දී ඇල්බර්ටස් මැග්නස් නම් ඩොමිනිකන් ජාතික බිෂොප් වරයෙකු විසිනි. එසේ වුවද, පෙරදිග වේද ග්‍රන්ථවල සහ ආයුර්වේදයේ පාසානම්, හිරියල්, සහ මනෝශීල ලෙස ආසනික් පිළිබඳ සඳහන් වී ඇත. ආසනික් කළු, කහ සහ අළු පැහැති ආකාර ලෙස බහුරූපී ආකාර (allotropes) තුනකින් ස්වභාවයේ පවතී. වඩාත් බහුලව පවතින අළු පැහැති බහුරූපී ආකාරය මූලද්‍රව්‍යයක් ලෙස ඝණ අවස්ථාවේ පසුවන අතර විවිධ ලෝහමය අයන සමග එකතුව විවිධ ආකාරයෙන් පසේ සහ විවිධ ඛණිජයන් හි ස්වභාවිකව පවතී.  ආසනික්හි විවිධ ප්‍රයෝජන අතර ප්‍රධාන වශයෙන් මිශ්‍ර ලෝහ ශක්තිමත් කිරීම, විවිධ ලෝහ නිස්සාරණයට, ගැලියම් ආසනයිඩ් වැනි අර්ධ සන්නායක, ඉලෙක්ට්‍රොණික භාණ්ඩ, පලිබෝධනාශක සහ කෘමිනාශක වැනි දෑ තැනීමට, ලී පදම් කිරීමට භාවිතා කිරීම ප්‍රධාන තැනක් ගනී. ආසනික් පසට එකතු වන ක්‍රම ගණනාවකි. කෘමිනාශක/පොහොර/වල්නාශක ලෙස, ලෝහ නිස්සාරණය කරන නිධි වලින් ඉවත ලන අපද්‍රව්‍යයක් ලෙස, ඉලෙක්ට්‍රොණික අපද්‍රව්‍ය නිසි ලෙස බැහැර නොකිරීම හේතුවෙන් මෙන්ම ප්‍රධාන වශයෙන් පෘථිවියේ පවත්නා විවිධ ඛණිජ/පාෂාණ විඛාදනයෙන් පසට ආසනික් එකතු වේ. සාමාන්‍යයෙන් ආසනික් පොළවේ යටි පාෂාණයෙහි (Bedrock) ආසිනෝපයිරයිට් (Arsenopyrite – FeAsS) ලෙස හෝ ඔර්පිමන්ට් (Orpiment – As4S6) ලෙස පවතී. සාමාන්‍ය පසෙහි ආසනික් සාන්‍ද්‍රණය පස් කොටස් මිලියනයකට ආසනික් කොටස් 2 ක් (2 ppm) ලෙස පැවතිය හැකි වුවද, ආසනික් අඩංගු පාෂාණ ඇති පෙදෙස්වල මෙම අගය 20000 ppm වැනි ඉහළ අගයක් දක්වා වැඩි විය හැක. ජලයේ ආසනික් සාන්‍ද්‍රණය ද ඒ ඒ පෙදෙස්වල පවතින පාෂාණ අනුව වෙනස් වේ. පහත දැක්වෙන්නේ පාෂාණ වර්ග කිහිපයක ආසනික් සාන්‍ද්‍රණ වේ.1

පාෂාණය ආසනික් සාන්‍ද්‍රණය (mg/kg) හෝ (ppm)
පයිරයිට් 100 – 77000
හිමටයිට් 160 ක් දක්වා
මැග්නටයිට් 27 – 41
ක්වාර්ට්ස් (තිරුවාණා) 0.4 – 1.3
ෆෙල්ඩ්ස්පාර් <0.1-2.1
කැල්සයිට් 1-8
ඩොලමයිට්‍
ජිප්සම් 1-6

ඇපටයිට්

1-1000

ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තා අනුව 2007 වසර වන විට ආරක්‍ෂිත මට්ටමට (10ppb – එනම් ජලය ලීටරයකට ආසනික් මිලි ග්‍රෑම් 0.01 ක්) වඩා ආසනික් අඩංගු පානීය ජලය භාවිතා කරන ජනගහනය මිලියන 100 ක් පමණ වේ. මේ ප්‍රමාණය හිමාල කඳුවැටිය ආශ්‍රිත ප්‍රදේශවල පිහිටි රටවල් වන බංගලිදේශය, ඉන්දියාව, චීනය, මියන්මාරය, පකිස්ථානය, නේපාලය සහ කැම්බෝඩියාව අතර ප්‍රධාන වශයෙන් බෙදී යයි. මෙයට අමතරව ආජන්ටිනාව, ඕස්ට්‍රේලියාව, ඔස්ට්‍රියාව, චිලී, එල් සැල්වදෝරය, ෆින්ලන්තය, ප්‍රංශය, ජර්මනිය, ඝානාව, ග්‍රීසිය, හොන්ඩුරස්, හංගේරියාව, ඉරානය, ඉතාලිය, ජපානය, මැසිඩෝනියාව, මෙක්සිකෝව, මොංගෝලියාව, නවසීලන්තය, පේරු, රුමේනියාව, රුසියාව, සර්බියාව, තායිලන්තය, එක්සත් රාජධානිය, උතුරු ඇමරිකාව, වියට්නාමය සහ සිම්බාබ්වේ යන රටවල් වලද පානීය ජලයේ ආසනික් අඩංගු වීම ප්‍රශ්නයක් වී තිබේ. බංගලිදේශයේ පමණක් පානීය ජලයේ ආසනික් නිසා පීඩා විඳින ජනගහනය මිලියන 20 ක් වේ. මෙම තත්ත්‍වය ශ්‍රී ලංකාවට පමණක් වූ විශේෂ තත්ත්‍වයක් නොවන බව අවධාරණය කළ යුතුමය. ඇත්ත වශයෙන්ම මේ තාක් කල් සිදු වූ කිසිදු පර්යේෂණයකදී ශ්‍රී ලංකාව මෙම රටවල් අතරට අයත් වන බව කිසිදු සඳහනක් නොතිබුණි. 2010 වසරේ මැයි මාසයේ Science නම් වූ ලෝක පූජිත විද්‍යාත්මක සඟරාවට ලිපියක් පළ කරන ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ ස්කොට් ෆෙන්ඩෝර්ෆ්, ඩෙලවෙයාර් විශ්ව විද්‍යාලයේ හොලි මයිකල්, සහ කොලොම්බියා විශ්ව විද්‍යාලයේ ඇලෙක්සැන්ඩර් වැන් ගීන් යන පර්යේෂකයන් පවසන අන්දමට දකුණු සහ අග්නිදිග ආසියානු රටවල ජලයේ ආසනික් පැවතීමට ප්‍රධාන හේතුව වන්නේ හිමාලයේ සහ ඒ අවට ඇති පාෂාණවල අඩංගු අධික ආසනික් ප්‍රතිශතයයි2. මෙම තත්ත්‍වය වැඩියෙන්ම බලපවත්වන්නේ බංගලිදේශයටයි. ඒ හිමාලයේ පාෂාණ නිධි වලින් නිස්සාරණය වන ආසනික් අඩංගු ලවණ ගංගා, බ්‍රහ්මපුත්‍ර, සහ මේඝනා යන ගංගාවල් මගින් පහත් බිම් වලට පැමිණ තැන්පත් වීම නිසාය. බංගලිදේශයේ පානීය ජලයෙහි වූ ආසනික් පිළිබඳ ප්‍රශ්නය ලංකාවේ ප්‍රශ්නයටත් වඩා දුරදිග ගොස් ඇත. මේ ගැන පර්යේෂණ පත්‍රිකා 400 කට අධික ප්‍රමාණයක් විවිධ විද්‍යාත්මක සඟරාවල පළ වී ඇත. මේ පර්යේෂණ පත්‍රිකා සමහරක සාරාංශයට අනුව ඒ රටවල පානීය ජලයෙහි ආසනික් වැඩි වීම කෙරෙහි බලපා ඇත්තේ නිර්වායු ශ්වසනය කරන බැක්ටීරියා මගින් විඛාදනය කෙරෙන හිමාල අඩවියේ ඇති ආසනික් අඩංගු පාෂාණ සහ ඛණිජ වලින් නිදහස් කෙරෙන ආසනික් වේ5,6. මේ ආසනික් වැඩිපුරම එකතු වන්නේ දකුණු සහ අග්නිදිග ආසියාවේ පහත් බිම් ආශ්‍රිත ප්‍රදේශවලය.

ජුනි 13 වන දා සන්ඩේ ඔබ්සර්වර් පත්‍රයේ සඳහන් ලිපිය අනුව මහාචාර්ය නලින් සිල්වා මහතා ප්‍රමුඛ පර්යේෂක කණ්ඩායම මේ වකුගඩු රෝගයට සහ අනෙකුත් රෝගලක්‍ෂණ වලට හේතුව නිසැකවම ආසනික් බව සඳහන් කරයි. මේ සඳහා ජලය, පස්, ශාඛ, සහ මියගිය රෝගීන්ගේ සිරුරු කොටස් භාවිතා කිරීමෙන් ඒ පර්යේෂණයේ වලංගු භාවය සාක්ෂාත් කර ගැනීමට අදාල පර්යේෂක කණ්ඩායම උත්සාහ දරා ඇතිමුත්, මේ වකුගඩු රෝගයට ආසනික් වගකිවයුතු බවට පැහැදිලිවම නිගමනයකට ඉන් එළඹිය නොහැක. දිවයිනේ විවිධ පලාත්වල මේ පරීක්‍ෂණ සිදු කර එයට අදාල පාලක පරීක්‍ෂණ සිදු කිරීම, වෙනත් ප්‍රදේශවල හමු වූ වකුගඩු රෝගීන් (ඇත්නම්) ඔවුන්ගේ රුධිර සාම්පල පරීක්‍ෂා කර ඒ වකුගඩු රෝගවලට හේතුව ආසනික්ම බව තහවුරු කිරීම, රජරට ප්‍රදේශයේ වකුගඩු රෝගීන් නොවන පුද්ගලයන්ගේ රුධිර සාම්පල පරීක්‍ෂා කර ඔවුන්ගේ සිරුරුවල ආසනික් ඇති/නැති බව තහවුරු කිරීම වැනි සරළ පාලක පරීක්‍ෂණ රාශියක් මගින් මෙය සනාථ කළ හැකි වුවත්, ඒ සියල්ලෙහි ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීමට පර්යේෂක කණ්ඩායම අපොහොසත් වීම මේ පර්යේෂණයෙහි විශාල හිදැසක් ඇති කරවීමට හේතු වී ඇත. එසේම ආසනික් විෂවීම හේතුවෙන් පෙන්නුම් කරන රෝග ලක්‍ෂණ මෙම වකුගඩු රෝගීන්ගෙන් පළ නොවීම නිසා වකුගඩු රෝගයට මූල බීජය ආසනික්ම ද යන්න සැක සහිතය. මේ ගැන The Island පුවත් පතට ලිපි යොමු කරන මහාචාර්ය කාලෝ ෆොන්සේකා (2011 ජුනි 21, ජුලි 28) සහ මහාචාර්ය අජිත් අබේසේකර (2011 ජුනි 16) මහත්වරුන් ද පවසා සිටින්නේ මේ පර්යේෂණය පිළිබඳ නිසි විද්‍යාත්මක පළ කිරීමක අවශ්‍යතාවයයි. නලින් සිල්වා කණ්ඩායම කර ඇති ප්‍රධාන වැරැද්ද වන්නේ මෙම සොයාගැනීම පිළිගත් විද්‍යාත්මක සඟරාවක පළ නොකර කෙළින්ම ජනමාධ්‍යයට හෙළි කිරීමයි. මේ නිසා අවශ්‍ය පුද්ගලයන්ට මේ පර්යේෂණය පිළිබඳ අවශ්‍ය දත්ත සොයා බැලීමේ හැකියාවක් නැත. විද්‍යාත්මක සඟරාවක පළ කළ නොහැකි නම් ඔබලාගේ දත්ත දිවයින පුවත්පතේ හෝ පළ කරන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි.

සාමාන්‍යයෙන් පර්යේෂණයක ප්‍රතිඵල එළිදක්වන ක්‍රමවේදයක් ඇත. මහාචාර්ය වරුන්/වරියන් වන මේ කණ්ඩායමේ බොහෝදෙනා ඒ පිළිබඳව නොදන්නවා නොවේ. පළමුව සිය සොයාගැනීම් නිසි ලෙස ලියා දත්ත සියල්ල දෙතුන් වතාවක් පරීක්‍ෂා කර එහි නිරවද්‍යතාවය සහතික කර සිය ලිපිය පිළිගත් විද්‍යා සඟරාවකට යොමු කරනු ලබයි. ඉන්පසු එහි සංස්කාරක වරයා විසින් පත් කරන ලද කමිටුවකින් (සාමාන්‍යයෙන් මේ කමිටුවට අදාල වන්නේ එම විෂය පථයෙහි දැනුමැති ආචාර්ය/මහාචාර්ය වරු තිදෙනෙකි) ඒ පිළිබඳ අදහස් / යෝජනා සහ අනුමැතිය විමසනු ලබයි (Peer Review). එම කමිටුවේ අනුමැතිය ලද හොත් එම පර්යේෂණ පත්‍රිකාව කිසිදු සංශෝධනයක් නොමැතිව අදාල සඟරාවේ පළ කෙරේ. අදාල කමිටුව දත්ත සහ පත්‍රිකාවේ කරුණු පිළිබඳ සෑහීමකට පත් නොවන්නේ නම් ඔවුන් විවිධ අදහස් සහ නිවැරදි කිරීම්/ යෝජනා ඉදිරිපත් කරනු ඇත. ඉන්පසු පර්යේෂණ කණ්ඩායම කළ යුත්තේ අදාල පරීක්‍ෂණ සිදු කර දත්ත ඉදිරිපත් කර නැවත සංශෝධනය කරනලද පත්‍රිකාව ඉදිරිපත් කිරීම හෝ තමන්ගේ පැරණි පත්‍රිකාවෙහි දත්ත නිවැරදි බවට පැහැදිළි කිරීම් හෝ තහවුරු කිරීම් කර නැවත ඉදිරිපත් කිරීමයි. මේ පියවර දෙක කිහිප වතාවක් සිදු විය හැක. අවසන, දෙපාර්ශ්වයම කරුණු වලින් සෑහීමකට පත් වූ කළ සඟරාවෙහි අදාල ලිපිය පළ වේ. අදාල ලිපිය පළ වූවාට පසු අවධානය ලබන මේ ලිපි විවිධ මාධ්‍යවල  මාර්ගයෙන් හෝ කතෘවරුන්ම සිය සොයාගැනීම ප්‍රසිද්ධ කිරීම හෝ සිදු වේ.  නමුත් මෙහි සිදු වී ඇත්තේ අදාල පියවර උඩු යටිකුරු වීමයි. කිසිදු විද්‍යාත්මක පළ කිරීමකින් තොරව කෙළින්ම මාධ්‍යය හමුවට යන මේ කණ්ඩායම අවශ්‍ය පුද්ගලයන්ට දත්ත පෙන්වන්නෙමුයි පවසමින් සිය තර්කයන් තහවුරු කිරීමට උත්සාහ දරයි.

මහාචාර්ය නලින් සිල්වා මහතාගේ ලිපියෙහි මෙසේ සඳහන් වේ.

“කැලණිය විශ්වවිද්‍යාලයේ අප කණ්‌ඩායමට අවශ්‍ය වූයේ රජරට වකුගඩු රෝගයට හේතුව කුමක්‌දැයි දැනගැනීමටය. මහේශාක්‍ය වෙසින් පෙනී සිටින බටහිර වෛද්‍ය විද්‍යාවේ එයට හේතුව නොදැක්‌වෙයි. ඔවුන්ට ඒ සඳහා ප්‍රතිකර්මයක්‌ ද නැත. අද වනවිට මේ රෝගයෙන් විසිදහසකට අධික ජනතාව මියගොස්‌ ඇති බව බටහිර වෛද්‍යවරු ම පවසති”.

පළමුව ඔහු බටහිර විද්‍යාවට මේ වකුගඩු රෝගයට හේතුව සොයාගන්නට බැරි වූ බව පවසයි. එනම් ජලයෙහි ආසනික් ඇති බව විය යුතුය. රජරට ප්‍රදේශයේ පවතින මේ අවාසනාවන්ත තත්ත්‍වය අරභයා පර්යේෂණ ගණනාවක් සිදු වී ඇත. මහාචාර්ය ඕ. ඒ. ඉලේපෙරුම මහතා විසින් සිදු කරන ලද ෆ්ලුවොර්යිඩ් පර්යේෂණය, කැඩ්මියම් පර්යේෂණය, ඇල්ගී පර්යේෂණය ඒ අතරින් වැදගත් වන පර්යේෂණ වේ. සියළුම පර්යේෂණ කණ්ඩායම් තම මතය නිවැරදි යැයි කියන්නට උත්සාහ දරයි. එය පර්යේෂණ කණ්ඩායම් අතර සාමාන්‍යයෙන් සිදු වන දෙයකි. කිසිදු පර්යේෂණ කණ්ඩායමක් මේ තත්ත්‍වයට පිළියමක් ද සොයාගෙන නැත. අවම වශයෙන් මහාචාර්ය නලින් සිල්වා – මහාචාර්ය ප්‍රියානි පරණගම ඇතුළු කණ්ඩායම පවා මෙයට හේතුවක් (ලෙස ජලයේ ආසනික් ඇති බව) සොයාගෙන ඇති නමුත් එය ඉවත් කිරීමේ පිළියමක් ප්‍රසිද්ධ කරන්ට තවමත් අපොහොසත් වී ඇත. ලංකාවට ම ආවේනික පර්යේෂණ විධියක් සොයාගත් ඔවුනට මේ සඳහා ප්‍රතිකර්මයක් සොයාගැනීම අපහසු වී ඇත්තේ මන්ද ? මහාචාර්ය නලින් සිල්වා බටහිර විද්‍යාව ප්‍රතික්‍ෂේප කරන නමුත් ඒ විද්‍යාවෙන් ලබා දෙන දත්තයන් (විසිදහසකට අධික ජනතාව මියගොස් ඇති බව) විශ්වාස කරයි.

“බටහිර විද්‍යාවේ පර්යේෂණ ලෙස ලංකාවේ කෙරෙන්නේ බුද්ධිමය වශයෙන් ගත් කල ඉතාමත් පහළ මට්‌ටමේ දේය. මේ පර්යේෂකයෝ සූපශාස්‌ත්‍රයේදී මෙන් අහවල් අහවල් දේ එකතු කරති. අහවල් උෂ්ණත්වයට රත් කරති. එතරම් බුද්ධියක්‌ නැති අයකුට වුව ද මේ සූපශාස්‌ත්‍ර පර්යේෂණ ඔස්‌සේ පත්‍රිකා පළ කර මහාචාර්යවරුන් ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරුන් විය හැකිය”.

එසේනම් නලින් සිල්වාගේ පර්යේෂණ කණ්ඩායමේ සිටින මහාචාර්ය ප්‍රියානි පරණගම, වෛද්‍ය චන්න ජයසුමන ආදීන් ද වැටෙන්නේ මේ ගණයට නොවේද ? ඔවුන්ද මෙතෙක් සිදු කර ඇත්තේ  බුද්ධිමය අතින් පහළ පර්යේෂණ නොවේද ? මේ ඔවුන් ද ආචාර්ය මහාචාර්ය පදවි ලබාගෙන ඇත්තේ මෙසේ සිදු කෙරෙන සූපශාස්ත්‍ර පර්යේෂණ වලින් නොවේද ? මහාචාර්ය පරණගම මහත්මිය කාබනික රසායනය පිළිබඳ මහාචාර්ය වරියකි. ඇයද ආචාර්ය උපාධිය ලබාගෙන ඇත්තේ ග්ලස්ගොව් විශ්ව විද්‍යාලයෙනි. එයද බටහිර සරසවියකි. තවත් සුවිශේෂ කරුණක් වන්නේ ඇය මෙතෙක් පළ කරන ලද පර්යේෂණ ලිපි විස්සම (20) (Publications) කාබනික රසායනය, ශාක, ක්‍ෂුද්‍රජීව රසායනය සහ කෘමි/පලිබෝධ නාශක සම්බන්ධ ප්‍රකාශන විනා කිසිදු විශ්ලේශක හෝ අකාබනික රසායනික ලිපි නොවීමයි. මේ අතින් බලන කල මේ ආසනික් පර්යේෂණය විශේෂයෙන්ම ඇගේ විෂය පථයට අදාල නොවේ. ඇය උගන්වන්නේ කාබනික රසායනයයි, ඇය අකාබනික රසායනය හෝ විශ්ලේෂක රසායනය පිළිබඳ විශේෂඥවරියක් නොවේ. එසේ වූවද ඇගේ ආචාර්ය උපාධිය හෑල්ලුවකට ලක් කිරීමක් මෙතැන සිදු නොවේ. නමුත් මේ කාර්යය  උදෙසා අකාබනික රසායනය සහ විශ්ලේෂක රසායනය පිළිබඳ විශේෂඥයන්ගේ සහාය ලබා ගත්තේ නම් මේ සඳහා  වැඩි වටිනාකමක් හෝ පිළිගැණීමක් ලැබිය හැකිව තිබුණි. මහාචාර්ය නලින් සිල්වාගේ පර්යේෂක කණ්ඩායමේ සිටින කිසිදු පර්යේෂකයෙක් අකාබනික හෝ විශ්ලේෂක රසායනඥයෙකු නොවේ. බොහෝ දෙනෙකු වෛද්‍ය වරුන්ය.

“රෝගය වැළඳෙන්නේ කැල්සියම් ආසනේට්‌ නිසා බව ද අප කියා ඇත. පඬියන්ගේ ප්‍රශ්නය ඒ ආසනික්‌ ද නැත්නම් ආසනේට්‌ ද යන්නය. ඒ කුමක්‌ කීවත් එහි වරදක්‌ නැත. කැල්සියම් ආසනේට්‌ අදාළ ප්‍රදේශවල ජලයට එකතු වූයේ කෙසේද යන ප්‍රශ්නය පඬියන් ඇසී නම් ඔවුන්ට ඒ ආසනික්‌ ද ආසනේට්‌ ද යන්න දැනගැනීමට තිබිණි. අදාළ ප්‍රදේශවල ජලයේ කැල්සියම් ආසනේට්‌ ඇතිවන්නේ ආසනික්‌ ඒ කිවුල් ජලයෙහි ඇති කැල්සියම් ලවණයක්‌ සමග ප්‍රතික්‍රියා කිරීමෙනි. අදාළ ප්‍රදේශවල ජනතාවට වකුගඩු රෝගය වැළඳෙන්නේ බත් හෝ වෙනත් කෑමක්‌ නිසා නොව ප්‍රධාන වශයෙන් ම වතුර බීමෙනි. ඔවුන්ගේ ආමාශයට ගොස්‌ ඇත්තේ කැල්සියම් ආසනේට්‌ මිස ආසනික්‌ නොවේ. එහෙත් ආසනික්‌ නොමැතිව අදාළ ප්‍රදේශවල කැල්සියම් ආසනේට්‌ නැත”.

ආසනික් හෝ ආසනේට් හෝ වෙනයම් ආසනික් සංයෝගයක් වේවා ආසනික් යන මූලද්‍රව්‍යය සත්ත්‍වයනට අහිතකරය. නමුත් ආසනික් ජලයට හෝ පසට එකතු වන එකම ක්‍රමය කෘෂිරසායන සංයෝග බවට ඒ පර්යේෂණ කණ්ඩායම කර ඇති පරීක්‍ෂණ මොනවාද යන්න පැහැදිලි නැත. එසේම ඔවුහු ආසනික් ජලයට එකතුවීම නිසැකවම කෘෂිරසායන ද්‍රව්‍ය හරහා සිදු වන්නේ යැයි කරන ප්‍රකාශයේ හිදැස් බොහොමයක් තිබීම නිසා ඒ පිළිබඳ නිශ්චිත වශයෙන් පිළිගැනීමේ අපහසුතාවයක් පවතී. මහාචාර්ය නලින් සිල්වා කණ්ඩායමට අනුව ලංකාවේ අනෙකුත් ප්‍රදේශ වල ද ආසනික් අඩංගු කෘෂි රසායන ද්‍රව්‍ය භාවිතා කෙරෙන නමුත්, රජරට ඇති සුවිශේෂිත පස් වර්ගයක් නිසා මේ ආසනික් ජලයට මුසු වන බව පැවසේ. මෙය පාලක පරීක්‍ෂණයක් මගින් සනාථ කර නොමැති වීම මේ තර්කයේ ඇති විශාල අඩුපාඩුවකි. රජරට පමණක් සීමා වී ඇති මේ පස් වර්ගය කුමක්දැයි සියළුම දෙනාට අසන්නට අමතක වී ඇති අයුරු ඉතා අවාසනාවන්තය.

1924 ඇමරිකානු රසායන විද්‍යා සංගමයේ සඟරාවෙහි ලිපියක් පළ කරන හර්මන් වී ටාටර් ඇතුළු කණ්ඩායම පවසන අන්දමට පසට කැල්සියම් ආසනේට් එකතුවන එක් ක්‍රමයක් වන්නේ ඇපටයිට් නම් ඛණිජය හරහා වේ3. අප රටේද රජරට ප්‍රදේශයේ ඇති එප්පාවල ඇපටයිට් නිධිය මේ ආසනික් ප්‍රශ්නය හා සම්බන්ධයක් ඇත්දැයි සැක මතු වන්නේ මේ හේතු නිසායි. එප්පාවල ඇපටයිට් නිධිය එප්පාවල සහ නෙල්ලිකුලම ප්‍රදේශ ආශ්‍රිතව පැතිරී ඇත. මේ පෙදෙසෙහි මීටර 75 ක් පමණ යටට ඇපටයිට් නිධිය ඇති අතර සමහර තැන්හි මීටර 100 ක් දක්වා යටට පැතිරී ඇත. මේ නිධිය එප්පාවල කාබනේටයිට් නිධිය යනුවෙන් භූ විද්‍යා පොතපතවල හැඳින්වේ. ඇලබාමාහි අන්තර්ජාතික පොහොර සංවර්ධන කේන්‍ද්‍රයේ පර්යේෂණ වලට අනුව 1976 දී වාර්තා වූ පරිදි මේ නිධියෙහි සංයුතිය පහත ආකාර වේ1.

සංයෝගය   ප්‍රතිශතය
ක්ලෝරෝ-ඇපටයිට් Chloro-apatite 45.5
ෆ්‍රැන්කොලයිට් Francolite 41.5
ක්‍රැන්ටලයිට් Crandalite 5.1
ගොඑතයිට් සහ හීමටයිට් Goethite and Haematite 4.6
ඉල්මනයිට් Ilmanite 1.3
ක්වාර්ට්ස් Quartz 0.8
වැඩ් (මැංගනීස් ඔක්සයිඩ්) Wad 0.7

මෙයට අමතතරව තැනින් තැන කරන ලද සාම්පල් සහ කාබන්ටයිට් නිධියෙහි පයිරයිට් සහ චැල්කොපයිරයිට් යන ඛණිජ ද්‍රව්‍ය ද අඩංගු බව ද ප්‍රධාන නිධියෙන් පිටතට නිස්සාරණය වූ ඛණිජ ගණන් අතර මාර්ටයිට් කැල්සයිට්, ඩොලමයිට් සහ ඇපටයිට් අඩංගු බවද හෙළි වී ඇත. එප්පාවල ඇපටයිට් නිධියේ ගණනය කරන ලද ඛණිජ ප්‍රමාණය මෙට්‍රික් ටොන් මිලියන 60 කි.  මේ අනුව බලන කළ රජරට කලාපයේ වැඩිපුර ප්‍රදේශයක පැතිරී ඇති එප්පාවල ඇපටයිට් නිධියේ පස් ඇති ආසනික් අඩංගු පයිරයිට්, හීමටයිට්, ෆ්‍රැන්කොලයිට් ආදී ඛණිජ ද්‍රව්‍ය වල එකතුව ගණන් බැලීමේදී සැළකිය යුතු ප්‍රමාණයක ආසනික් ප්‍රමාණයක් මේ නිධියේ තිබිය හැකි බව පෙනේ. මේ රසායනික සංයුතිය ගණන් බැලීම 1976 තරම් ඈත කාළයක සිදු වූ බැවින් නව ගණනය කිරීමක් සිදු වී ඇත්දැයි යන්නත්, එසේ වී නම් ගණනය කරනලද නව රසායනික සංයුතිය කුමක්දැයි යන්නත් සළකා බැනීම වටී. (අළුත් ගණනය කිරීම් පිළිබඳ දත්ත ඉල්ලා භූ විද්‍යා හා පතල් කාර්යාංශය වෙත යැවූ විද්‍යුත් ලිපියට තවමත් ප්‍රතිචාරයක් නොමැත)

“දැන් ඇතැමුන්ට ප්‍රශ්නය වී ඇත්තේ කැල්සියම් ආසනේට්‌ ජලයේ දියවන්නේ ද යන්නය. මම බටහිර රසායන විද්‍යාව කුඩා කල (අවුරුදු දහහතරේ) සිටම අප්‍රිය කළෙමි. එබැවින් මම එය ඉගෙන නොගත්තෙමි. එයට හේතුව මගේ මනසට එය බටහිර ගණිතය හෝ බටහිර සෛද්ධාන්තික භෞතික විද්‍යාව හෝ තරම්වත් සෛද්ධාන්තිකව පොහොසත් නොවීමය. රසායන විද්‍යාව පිළිබඳ මට එතරම් දැනීමක්‌ නොමැති වුවත් අවශ්‍ය දේ මම විද්වතුන්ගෙන් හා පොත පතින් දැනගත්තෙමි”.

මෙය තනිකරම මහාචාර්ය නලින් සිල්වා විසින් තමන්වම ප්‍රතිවාචනය (contradict)  කිරීමකි. නලින් සිල්වා බටහිර රසායන විද්‍යාව ප්‍රතික්‍ෂේප කරයි, නමුත් රසායන විද්‍යාව පිලිබඳ බටහිර පොත්පත් කියවා හෝ විද්වතුන්ගෙන් ඉගෙනගෙන ඒ පිළිබඳ දැනුම ලබා ගනී. රසායන විද්‍යාව හැදී වැඩුනේ බටහිරය. මේ ඉහත කී විද්වතුන් ද රසායන විද්‍යාව ඉගෙන ගත්තේ බටහිරිනි. එසේ නම් ඔවුන්ගේ දැනුමත් මහාචාර්ය නලින් සිල්වා පැවසූ බුද්ධිමය අතින් පහළ විද්වතුන් නොවන්නේ ද ? අද නවීන විද්‍යාව පෙරදිග විද්‍යාවට වඩා ගවු ගණනක් ඉදිරියෙනි. ඒ දියුණු වන තාක්‍ෂණයේ බලමහිමයෙනි. ලංකාවට ජලයේ ආසනික් ඇතිබව අනාවරණය කිරීමට අවශ්‍ය සමහර උපකරණ මිලදී ගැනීමට අපහසු වුවත් ඇමරිකාවේ කුඩා විශ්ව විද්‍යාලවල පවා මේ උපකරණ ඇත. පෙරදිග විද්‍යාව අපට බැහැර කළ නොහැකිවාක් මෙන්ම නිසි විද්‍යාත්මක ක්‍රමයක් අනුගමනය කර නොමැති යම් යම් කාරණා ප්‍රතික්‍ෂේප කිරීමටද අපට හැකි විය යුතුය. අප සොයා යා යුත්තේ සත්‍යය කුමක්ද යන්න මිස කවුරු හරිදැයි යන්න නොවේ.

“මා ලබා ඇති තොරතුරු අනුව කැල්සියම් ආසනේට්‌ ඒ ඒ ආම්ලිකත්ව යටතේ ඒ ඒ උෂ්ණත්වවලදී ජලයේ දියවෙයි. රසායන විද්‍යාව හා වෙනත් ඒ සම්බන්ධ මහාචාර්යවරුන් ඒ බව නොදැන සිටීම පුදුමයට කරුණක්‌ නොවුවත් ඔවුන් ජනමාධ්‍යයේ දැනමුත්තන් ලෙස ශිල්ප දක්‌වා කැල්සියම් ආසනේට්‌ ජලයේ දිය නොවන බව කියමින් ජනතාව නොමඟ යෑවීම සම්බන්ධයෙන් නම් මගේ හදවතට අයහපත් වූ නමුත් මට ඇත්තේ සාධාරණ කෝපයකි. මේ මහදැනමුත්තන්ට දැනගැනීමට අවශ්‍ය නම් අදාළ පත්‍රිකා ඉදිරිපත් කළ හැකිය.”

මේ පිළිබඳ දිවයින පත්‍රයේ ලිපියක් ලියූ මහාචාර්ය ඕ. ඒ. ඉලේපෙරුම මහතා කියා සිටියේ කැල්සියම් ආසනේට් ජලයේ දිය නොවන බවය. නමුත් මහාචාර්ය නලින් සිල්වාගේ ගණිත ඥාණයට මේ බව නොතේරෙන්නේ ඔහු රසායන විද්‍යාව පිළිබඳ උපන් අකැමැත්තක් ඇති නිසාත්, ඔහු එය අප්‍රිය කළ නිසාත් විය හැකිය. සමහර මිනිසුන් තමන්ට  නොතේරෙන දේ මඟහැර යාම කරති. පහත විශ්ලේෂණය මහාචාර්ය නලින් සිල්වාට සහ රසායන විද්‍යාව නොතේරෙන සාමාන්‍ය මිනිසුන්ට ද්‍රාව්‍යතා ගුණිතය නම් සංකල්පය මගින් කැල්සියම් ආසනේට් ජලයේ දිය නොවන්නේ මන්දැයි තේරුම් කර දීම පිණිසය.

යම් යම් රසායනික ද්‍රව්‍යයන් ජලයේ දියවීමේ ප්‍රමාණ එකිනෙකට වෙනස් ය. සමහර සංයෝග පහසුවෙන් ජලයේ දියවී අයන තනන අතර සමහරක් ඉතා අපහසුවෙන් නමුත් යම් ප්‍රමාණයක් ජලයේ දියවේ. මෙය සංයෝගයෙන් සංයෝගයට සාපේක්‍ෂ අගයකි. එසේම මේ අගය රඳා පවතින්නේ උෂ්ණත්‍වය මතය. සාමාන්‍යයෙන් මේස ලුණු, සීනි වැනි ද්‍රව්‍ය ජලයේ බොහෝ සෙයින් දියවේ. නමුත් බේරියම් සල්ෆේට් වැනි සංයෝග ජලයේ දියවීම අවමය. නමුත් ඒවායේද දියවීමේ යම් සීමාවක් ඇත. ලුණු විශාල ප්‍රමාණයක් ජලය වීදුරුවක දිය කිරීමේදී සංතෘප්තතාවයට පැමිණ වැඩිපුර ලුණු ප්‍රමාණය අවක්‍ෂේප වේ. එවිට ඝන ලුණු සහ ජලීය (Aqueous) ලුණු සමතුලිතතාවයකට පැමිණේ. ගෙදර කුස්සියේ ලුණු පොල්කට්ටේ සිදු වන්නේ මේ සමතුලිතතාවයයි. එසේ නැතහොත් පොල්කට්ටට වතුර දැමූ සැනින් එහි ඇති ලුණු සියල්ල දියවී යා යුතුය. එසේම උණු ජලයේ වැඩිපුර ලුණු දියවන්නේ ද මේ සංසිද්ධිය උෂ්ණත්‍වය මත බලපවත්වන නිසාවෙනි. රසායන විද්‍යාවේදී ද්‍රාව්‍යතා ගුණිතය (KSP– Solubility Product) යනුවෙන් බටහිරයන් විග්‍රහ කර ඇත්තේ මේ සංසිද්ධියයි. කැල්සියම් ආසනේට් ජලයේ දියවීමේදී සිදු වන්නේ ද මෙයයි. අයනික සංයෝගයක් වූ කැල්සියම් ආසනේට් අණුව ජලයේ දිය වීමේදී කැල්සියම් අණු 3 ක් සහ ආසනේට් අණු 2 වශයෙන් ජලයේ දිය වේ. මෙසේ දියවන කැල්සියම් ආසනේට් ජලයේ සංතෘප්ත වූ විට පහත ආකාරයට සමතුලිතතාවයකට පැමිණේ. මෙම සමතුලිතතාවය අනුව කැල්සියම් ආසනේට් හි ද්‍රාව්‍යතා ගුණිතය ගණනය කළ හැක.

උෂ්ණත්‍වය සෙන්ටිග්‍රේඩ් 25 දී කැල්සියම් ආසනේට් වල ජලයේ ද්‍රාව්‍යතාවය මිලිලීටර සියයකට මිලිග්‍රෑම් 14 ක් වේ. චීනයේ ගුයිලින් සරසවියේ ජී සහ එන් ෂු සහ කණ්ඩායම කැල්සියම් ආසනේට සම්බන්ධයෙන් කළ පරීක්‍ෂණයකට අනුව සෙන්ටිග්‍රේඩ් අංශක 25 දී කැල්සියම් ආසනේට් ව්‍යුත්පන්න සංයෝග වල ජලයේ ද්‍රාව්‍යතාවය මෙසේ ගණනය කර ඇත4.

Ca3(AsO4)2·3H2O = 10−21.14(10−20.01 ∼10−22.02)

Ca3(AsO4)2·2¼H2O =10−21.40(10−20.08 ∼10−21.98)

Ca5(AsO4)3(OH) = 10−40.12(10−37.53 ∼10−42.72) සහ

Ca4(OH)2(AsO4)2·4H2O  = 10−27.49(10−26.10 ∼10−28.91)

ඒ අනුව කැල්සියම් ආසනේට් හි ද්‍රාව්‍යතාවය කැල්සියම් ෆ්ලුවොරයිඩ් (3.9 x 10−11) ටත් වඩා අඩුය. මේ අනුව සාමාන්‍ය ජලයේ කැල්සියම් ආසනේට් ද්‍රාව්‍යතාවය බොහෝ අඩු විය යුතුය. රජරට ජලයේ පවතින කැල්සියම් ෆ්ලුවොරයිඩ් සහ කැල්සියම් ඔක්සයිඩ් නිසා ජලයට කැල්සියම් අයණ එකතු වීමේ ප්‍රවණතාවය වැඩිය. මේ අනුව රජරට ජලයේ කැල්සියම් අයණ සාන්‍ද්‍රණය වැඩිය (ඒ බව අපි සැවොම දනිමු) කැල්සියම් අයණ සාන්‍ද්‍රණය වැඩි වන විට මේ කැල්සියම් ආසනේට් අවක්‍ෂේප වීම වැඩි වන්නේ පොදු අයන ආචරණය (Common Ion Effect) නම් වූ සංසිද්ධිය නිසාය. එනම් ඉහත දැක්වෙන සමීකරණයෙහි දකුණු පැත්තට තව තවත් කැල්සියම් එකතු වීම සිදු වේ. රසායන විද්‍යාවේ ඇති ලේ චැටලියර් මූලධර්මයට අනුව සමතුලිතතාවයේ පවතින පද්ධතියකට යම් වෙනසක් ඇති කළ විට එම පද්ධතිය සිය සමතුලිතතාවය නැවත සකසා ගනී. මේ අනුව වැඩිවන කැල්සියම් අයණ ප්‍රමාණය අඩු කරගැනීමට ඉහත ප්‍රතික්‍රියාවේ ආපසු ප්‍රතික්‍රියාව සිදු වී වැඩි වැඩියෙන් කැල්සියම් ආසනේට් අවක්‍ෂේප වේ. එනම්, ජලයේ ද්‍රාව්‍ය ආසනේට් අයන ප්‍රමාණය අඩු වේ. මේ මහාචාර්ය ඉලේපෙරුම මහතා විසින් රජරට ජලයේ කැල්සියම් ආසනේට් අඩු විය යුතු බව කළ පැහැදිළි කිරීම වඩාත් විද්‍යාත්මකව පැහැදිලි කළ හැකි ආකාරයයි. එමෙන්ම ජලය භාෂ්මික හෝ ආම්ලික වූ විට මේ සමතුලිතතාවය වෙනස් වේ. නමුත් ස්වභාවයේ පවතින ජලය වැඩිපුර ආම්ලික හෝ භාෂ්මික නොවේ: එය එසේ නොවිය යුතුය. පී එච් අගය 8.2 ට වැඩි ජලයේ කැල්සියම් ආසනේට් වලින් ආසනේට් සහ කැල්සියම් අයන මුදාහැරීම වැඩිය. මහාචාර්ය නලින් සිල්වා මහතා අවධාරණය කරන විශේෂ තත්ත්‍වය මෙය විය හැකිය. මෙය විමසා බැලීම සඳහා රජරට ජලයේ පී එච් අගය මෙන්ම එහි ඇති කැල්සියම් අයණ සාන්‍ද්‍රණය ද මැන බැලිය යුතුය.

බංගලිදේශයේ ආසනික් ප්‍රශ්නය පිළිබඳ පර්යේෂණයක් කරන මැසචුසෙට්ස් තාක්‍ෂණ ආයතන විශ්ව විද්‍යාලයේ (MIT) චාර්ල්ස් එෆ්. හාර්වි කණ්ඩායම සහ බ්‍රයන් මේලොක්ස් කණ්ඩායම5,6 ඇතුළු තවත් පර්යේෂක කණ්ඩායම් ගණනාවක් පවසන්නේ වැව් සහ දිගු කාලීනව ජලය රැස් කර තබන ජලාශවල ඇති ක්‍ෂුද්‍රජීවී ක්‍රියාකාරීත්‍වය නිසා විනාශ වන කාබනික ද්‍රව්‍ය මගින් පොළවේ පවතින ආසනික් අඩංගු ඛණිජ ද්‍රව්‍ය විඛාදනය වීම නිසා ආසනේට් මුදාහැරෙන බවයි.  දීර්ඝකාලීනව ජලය එකතුවන ස්ථාන වන වැව් වැනි විශාල ජලාශවල පතුලේ ඉතා දිගු කාළයක සිට කාබනික ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් එක් රැස් වී පවතී. වැව් පතුලෙහි ඔක්සිජන් සාන්‍ද්‍රණය අඩු නිසා නිර්වායු බැක්ටීරියා පස සමග ක්‍රියා කිරීම සිදු වේ. මේ නිර්වායු බැක්ටීරියා විසින් පසෙහි අඩංගු ඛණිජ ද්‍රව්‍ය ඛාදනය කිරීමට පටන් ගැනීමත් සමගම ඇපටයිට් වැනි ඛණිජවල ඇති ආසනික් ජලයට එකතු වේ. මහාචාර්ය ඉලේපෙරුම මහතා පවසන පරිදි රජරට ජලය යම් භාෂ්මිකතාවයක් දක්වයි. යම් හෙයකින් එම ජලයෙහි එහි කැල්සියම් ලවණ නොමැති නම්, භාෂ්මිකතාවය වැඩිව වීම නිසා ජලයට ආසනික් එකතු වීම වැඩි වීම මේ රජරට පෙදෙස්වල ජලයේ ආසනික් වැඩි වීමට හේතුවක් සේ මම දකිමි. මහාචාර්ය නලින් සිල්වා කණ්ඩායම පවසන්නේ රජරට පෙදෙසේ ඇති සුවිශේෂ පස් වර්ගයක් නිසා මේ ආසනික් ජලයට මුදා හැරීම වැඩි බවයි.  රජරට පෙදෙසේ ඇති මෙම සුවිශේෂ පස් වර්ගය වන්නේ මෙම භාෂ්මික පස විය හැක. ලංකාවේ කෘමිනාශක භාවිතා කරන අනෙකුත් ප්‍රදේශ වලින් මේ වකුගඩු රෝගය වාර්තා නොවන්නේ පසේ ඇති වෙනසක් නිසා හෝ කෘමිනාශක භාවිතාව නිසා හෝ නොව ඒ පෙදෙස්වල මේ ඇපටයිට් මිශ්‍රිත පස නොමැති නිසාය යන්න මගේ හැඟීමයි. භාෂ්මිකතාවය වැඩි සහ කෘමිනාශක භාවිතා කරන පෙදෙස්වල වකුගඩු රෝගය වාර්තා නොවන්නේ ඒ ප්‍රදේශවල මේ  ඇපටයිට් වලින් නිදහස්වන ආසනික් නොමැති වීම නිසා විය හැක.

ආසනික් අපගේ සෞඛ්‍යයට බලපාන ආකාරය

ආසනික් විවිධාකාරයෙන් අපගේ ශරීර සෞඛ්‍යයට බලපානු ලැබේ. එය

  • පානය කරන ජලයෙහි ඇති ආසනික් ප්‍රමාණය
  • ආසනික් ඇති ජලය දිනකට පානය කරන ප්‍රමාණය
  • ආසනික් අඩංගු ජලය පානය කළ අවුරුදු ප්‍රමාණය
  • ඒ ඒ පුද්ගලයා ආසනික් වලට දක්වන සංවේදීතාවය
  • වයස/ ලිංගිකත්‍වය/ සාමාන්‍ය නිරෝගී බව

යන කාරණා මත යැපේ. ආසනික් අනෙකුත් බැර ලෝහ මෙන් ශරීරයේ තැන්පත්වීමක් සිදු නොවන නිසා කෙටි කාලීන  සහ සුළු ප්‍රාමාණික ආසනික් ශරීරගත වීම් ශරීරය විසින්ම බැහැර කරනු ලබයි. ආසනික් අඩංගු ජලය දිගු කලක් පානය කිරීම නිසා ඇතිවන දීර්ඝකාලීන ආසනික් නිරාවරණය හේතුවෙන් ප්‍රධාන වශයෙන් සමේ, මුත්‍රාශයේ, පෙනහළු, අක්මා, ආහාර මාර්ගය සහ වකුගඩු යන අවයවයන්හි පිළිකා ඇති කිරීමේ අවදානම වැඩි කරයි. මෙයට අමතරව රුධිර වාහිනී තුවාල වීම, ස්නායු ආබාධ, රක්තහීනතාවය, උදරාබාධ, දියවැඩියාව සහ චර්ම රෝග යනාදිය ඇති කරයි. ආසනික් වලට අධික ලෙස නිරාවරණය වූ විට සමේ සහ නියපොතුවල පැහැදිලි වෙනස්කම් දැකගත හැකිය. ඉන්නන් ඇති වීම වැනි තත්ත්‍වයන්, සමේ විවිධ රටා ඇති වීම, නියපොතු රැලි වැටීම මේ අතර සුවිශේෂ වේ. පාදවල සම රළු වීම, නිරන්තරයෙන්ම මුවින් සුදුළූණු ගඳට සමාන දුගඳක් හැමීම වැනි හඳුනාගත හැකි රෝග ලක්‍ෂණ ද ආසනික් ශරීරගත වීමේ මූලික අවස්ථා වේ. කුඩා දරුවන්ට ආසනික් විෂවීම නිසා පසුකාලීන පෙනහළු පිළිකා සහ මානසික වර්ධනය බාලවීම ඇතුළු විවිධ ඉගෙනීමේ අපහසුතා ඇතිවිය හැක. වකුගඩු රෝග ලක්‍ෂණ බොහෝදුරට පහළ වන්නේ මේ ඉහත කියූ අනෙකුත් රෝග ලක්‍ෂණ බොහොමයක් පහළ වීමෙන් පසුවය. මේ නිසා රජරට වකුගඩු රෝගීන්ගේ රෝගයට හේතුව ආසනික් නම්, ඔවුන් ඉහත සඳහන් රෝග ලක්‍ෂණ එකක් හෝ කිහිපයක් පෙන්විය යුතුය.

පානීය ජලයෙන් ආසනික් ඉවත් කිරීම.

ජලයෙන් ආසනික් ඉවත් කරන ක්‍රම ගණනාවක් ඇත. මේ විධික්‍රම අපගේ අවශ්‍යතා අනුව වෙනස් වේ. ජලය උණුකිරීම කිසිසේත්ම සිදු කළ යුතු නොවේ, ඉන් සිදු වන්නේ ජලයේ ආසනික් මට්ටම ඉහළ යාම පමණි. සාමාන්‍ය ගෘහස්ථ මට්ටමේ වැඩි වියදමකින් තොරව කරගත හැකි එකම දේ ජලය ආසවනයට ලක් කිරීමයි. ජලය වාෂ්ප කර හුමාලය ඝණීභවනය කර එකතු කරගන්නා ජලය (ආසවනිත ජලය) ආසනික් වලින් තොරවේ; නමුත් සමහර අත්‍යවශ්‍ය ලවණ වර්ග ද ඒ ජලයෙහි අඩංගු නොවේ. මක් නිසාද යත්, ලවණ වර්ග වාෂ්පීකරණයට ලක් නොවන නිසාය. එසේම ආසනික් ද වාෂ්පීකරණයට ලක් නොවන හෙයින් ආසනික් අඩංගු සංයෝග ආසවනිත ජලයෙහි අඩංගු නොවේ. මේ සියළු ලවණ මුලින් ජලය තිබූ භාජනයේ තැන්පත් වේ. මහාචාර්ය ඉලේපෙරුම මහතා පැවසූ පරිදි ජලය උණු කළ ඇලුමිනියම් භාජන පතුලේ ඉතිරි වන සුදු කුඩු වර්ගය මේ ලවණ වර්ගයි. ප්‍රතිවර්තන ආස්‍රැතිය (reverse osmosis) නම් වූ ක්‍රියාවලිය අඩංගු ජල පිරිපහදු ඒකක මගින් ද ආසනික් බැහැර කිරීම කළ හැක; නමුත් මෙමගින් ජලය විශාල ප්‍රමාණයක් අපතේ යා හැකි අතර කාර්යක්‍ෂමතාවයද අඩු විය හැක. මෙයට අමතරව අයන් ඔක්සයිඩ්, සක්‍රීය කරනලද ඇලුමිනා සහ ඇනායන හුවමාරු කරන රසායන ද්‍රව්‍ය අඩංගු උපකරණ (anion exchange columns) මගින් ආසනික් පහසුවෙන්ම පානීය ජලයෙන් වෙන්කර ගත හැක. දැන් දැන් වඩාත් අවධානයට ලක්ව ඇති ARUBA, (Arsenic Removal Using Bottom Ash)7 නම් ක්‍රමය මගින් පරිසර හිතකාමීව ඉතා කාර්යක්‍ෂම අන්දමට පානීය ජලයේ ඇති ආසනික් ඉවත් කිරීමට හැකි බව වාර්තා වේ. මේ සඳහා භාවිතා වන්නේ ගල් අඟුරු බලාගාරවලින් ඉවතලන අළු ය. මේ අළුවල අයන් ඔක්සයිඩ් ආලේප කර ආසනික් හරණය හඳහා භාවිතා කරයි. එහි ඇති අයන් ඔක්සයිඩ් මගින් ජලයේ ඇති ආසනික් හා බැඳීම නිසා ජලයෙන් ආසනික් ඉවත් වන අතර අළුවල වැඩි පෘෂ්ඨීය වර්ගඵලයක් ඇති නිසා කාර්යක්‍ෂමතාවයද ඉහළය. මෙම තාක්‍ෂණය අමෙරිකාවේ ලෝරන්ස් බර්ක්ලි රසායනාගාරයේ සොයාගැනීමකි. මෙමගින් 1000 ppb ප්‍රමාණයක් ආසනික් ඇති ජලය 3 ppb දක්වා අඩු කරගත හැකි බවට බංග්ලාදේශයේ කරන ලද පර්යේෂණ වලදී තහවුරු වී ඇත. නොරෝච්චෝලේ ගල් අඟුරු බලාගාරයෙන් ඉවතලන අළු අයන් ඔක්සයිඩ් සමග මිශ්‍ර කිරීමෙන් මේ පිරිපහදු ක්‍රමය වැඩි වියදමකින් තොරව අපටම පිළියෙල කරගත හැක. ගල් අඟුරු බලාගාරවලින් ඉවතලන අළු නැවත ප්‍රයෝජනවත් ආකාරයෙන් භාවිතා කිරීම මෙන්ම ජලයේ ආසනික් ඉතා කාර්යක්‍ෂමව ඉවත් කිරීමද මෙයින් සිදු වේ. මේවා දැනටමත් ගෘහස්ථ සහ ප්‍රජා සංවර්ධන වැඩසටහන් ලෙස පොදු ජල පිරිපහදුවල භාවිතා වේ.

බොහෝ දෙනා මේ සම්බන්ධයෙන් විවිධ කරුණු ජනමාධ්‍ය හමුවේ ගෙනහැර පාති. තමන් නිවැරදි යැයි කියන්නට හැකි සෑම උත්සාහයක්ම ගත්තද, මේ තත්ත්‍වය හමුවේ අසරණ වී ඇති රජරට ප්‍රදේශයේ ජනතාවට පිළිසරණක් වන්නට, ඒ තත්ත්‍වයට පිළියමක් සොයන්නට කිසිවකු උත්සුක වන පාටක් පෙනෙන්ට නැත. අප කළ යුත්තේ කවුරු හරිද බැලීම නොව කුමක් හරිද බැලීමය. පත්තරවල පිටු ගණන් පුරා තමන්ගේ මතය ප්‍රකාශ කළද රජරට අහිංසක ජනතාවට ඉන් ඇතිවන සෙතක් නැත. විද්‍යාභිවර්ධන සංගමයත්, ජාතික විද්‍යා පදනමත්, මේ සියල්ල ගැන දන්නා උගතුන් සියළු දෙනාමත්, මැති ඇමතිවරුනුත් බලධාරීනුත් සිය පෞද්ගලික න්‍යාය පත්‍ර ඉවත දමා දේ රජරට ජනතාව වෙනුවෙන් දැන් යමක් කළ යුතුය. ශ්‍රී ලාංකිකයා හැමදාම අමාරුවේ වැටුනේ කුලල් කාගැනීම හේතුවෙනි. මිනිසා නොදන්නා දේ දේවත්වයෙන් සලකති, රසායන විද්‍යාව තියා විද්‍යාව පිළිබඳ මෙලෝ හසරක් නොදන්නා සාමාන්‍ය ජනතාව රසායන විද්‍යා සංකල්පයක් මත පිහිටා යමෙකු ප්‍රකාශයක් කළ විට එය කිසිදු විචාරයකින් තොරව පිළිගන්නේ තමන් ඒ පිළිබඳ වැඩිදුර නොදන්නා නිසාය. හාල් වල ආසනික් ඇතැයි පළ වූ ප්‍රචාරය නිසා සාමාන්‍ය ජනයා බිය වූයේ එබැවිනි.

මේ නිසා මේ සියළු විද්වතුන් එක් වේදිකාවකට පැමිණ සියළු කරුණු සළකා බලා රට වෙනුවෙන් මේ පර්යේෂණය නිසි ආකාරව සිදු කර නිගමනයකට පැමිණිය යුතුය. සෑම දේටම ජනාධිපතිතුමා මැදිහත් වනතුරු නොසිට කුලල් කා ගැනීම් වලින් තොරව මේ සියල්ල විසඳෙන තුරු අපි බලා සිටිමු…

මූලාශ්‍ර :

  1. Phosphate Deposits of the World: Volume 2, Phosphate Rock Resources, Volume 2 By A. J. G. Notholt, R. P. Sheldon, D. F. Davidson
  2. Scott Fendorf, Holly A. Michael, Alexander van Geen, Spatial and Temporal Variations of Groundwater Arsenic in South and Southeast Asia, Science, (2010) 328, 1123-1127.
  3. Herman V. Tartar, Lillian Wood, And Elizabeth Hiner.,  A Basic Arsanate of Calcium.  Journal of American Chemical Society, (1924) 46,  809 – 814
  4. Y. N. Zhu∗, X. H. Zhang, Q. L. Xie, D. Q. Wang and G. W. Cheng, Solubility And Stability  of Calcium Arsenates at 25C, Water, Air, and Soil Pollution (2006) 169: 221–238
  5. Rebecca B. Neumann, Khandaker N. Ashfaque, A. B. M. Badruzzaman, M. Ashraf Ali, Julie K. Shoemaker and Charles F. Harvey*, Anthropogenic influences on groundwater arsenic concentrations in Bangladesh, Nature Geoscience, (2010)  3,  p. 46-52.
  6. Brian J. Mailloux,* Ekaterina Alexandrova, Alison R. Keimowitz, Karen Wovkulich, Greg A. Freyer, Michael Herron, John F. Stolz, Timothy C. Kenna, Thomas Pichler, Matthew L. Polizzotto, Hailiang Dong, Michael Bishop, and Peter S. K. Knappett, Microbial Mineral Weathering for Nutrient Acquisition Releases Arsenic, Applied And Environmental Microbiology, Apr. (2009) 2558–2565
  7. Johanna L. Mathieu, Ashok J. Gadgil, Susan E.A. Addy & Kristin Kowolik, Arsenic remediation of drinking water using iron-oxide coated coal bottom ash, Journal of Environmental Science and Health, Part A, 45:11, 1446-1460
%d bloggers like this: