Daily Archives: අගෝස්තු 11, 2011

2011 අගෝස්තු 11 : ඩෙංගු වැඩි වුනා කියලා සෞඛ්‍ය ඇමති මක් කරන්නද ?


ලංකාවෙ දැන් අළුත්ම ප්‍රවණතාවය තමයි නව සොයාගැනීම් වැඩි වැඩියෙන් කිරීම. නාථ දෙයියෝ පානීය ජලයේ ආසනික් සොයාගත්තා වගේ (ප්‍රස්ථා පිරුළක් එහෙම නොවෙයි) අපේ විවිධ පර්යේෂකයෝ සාම්ප්‍රදායික සිංහල විද්‍යාව භාවිතා කරලා අළුත් සොයාගැනීම් කරනවා හිටු කියලා. ලංකාවෙ ඩෙංගු වැඩි වීමට සෞඛ්‍ය ඇමතිගේ සම්බන්ධයක් නැති බව අළුත්ම සොයාගැනීම් වලින් වාර්තා වෙනවා. මේ බව සොයාගෙන තියෙන්නේ බස්නාහිර පලාතේ පරිසර ඇමති උදය ගම්මන්පිල මැතිතුමායි. වැඩි විස්තර මෙතැනින් බලන්න. මෙයට හේතුව ගෝලීය උණුසුම වැඩි වීම විනා සෞඛ්‍ය ඇමතිගේ සම්බන්ධයක් නැති බවයි එතුමාගේ පර්යේෂණයෙන් කියවෙන්නේ.

සහතික ඇත්ත ! ඒ කියන්නේ සැටිපිකේට් ටෘත්.. හැබැයි මේක ඇත්තටම ඇත්තද ? ඇල්කෙමියා මේ වගේ කාරණා පොඩ්ඩක් වැඩිදුර හාරලා අවුස්සන්න කැමති නිසා පොඩ්ඩක් වැඩිදුර විමර්ශනය කළා.. මෙන්න වාර්තාව.

මදුරුවෝ මැස්සෝ වගේ සතුන් වැඩි වශයෙන් ජීවත් වෙන්නේ ඝර්ම කලාපීය දේශගුණයක බව ඇත්ත.  පරිසර උෂ්ණත්‍වය වැඩි වෙනකොට  මේ සත්ත්‍ව විශේෂවල පරිවෘත්තීය ක්‍රියා වේගවත් වී කෘමි විශේෂවල වර්ධනය වැඩි විය හැකි බව ද ඇමරිකන් නැචුරලිස්ට් නම් සඟරාවේ පළ වූ ප්‍රවෘත්තියක් උපුටා දක්වන  ලයිව් සයන්ස් නම් වෙබ් අඩවිය වාර්තා කරනවා. පරිවෘත්තීය ක්‍රියා වැඩි වීම නිසා වැඩිපුර කෘමි ජනගහනයක් ඇති වීම මෙන්ම කෘමීන් සිය වර්ගයා බෝ කිරීමේ ක්‍රියාවලිය ද වේගවත් වන බව සඳහන් වෙනවා. එයින් සඳහන් කෙරන්නේ මැලේරියා සහ අනෙකුත් කෘමීන් මගින් පැතිරෙන රෝගවල සහ රෝග කලාපවල වැඩි වීමක් දැකිය හැකි බවයි. මෙය රෝග බෝ වීමට පමණක් බලපාන කරුණක් නොවෙයි. වගාවට හානි  කරන කරන කෘමීන්ගේ වර්ධනය වැඩි වීම නිසා වගා හානි ද වැඩි විය හැකි බව ඉන් සඳහන් කෙරෙනවා. මෙයට පෙර මැලේරියාව වාර්තා නොවුනු ප්‍රදේශවල එම රෝගය වාර්තා වීම වැනි දේ ආශ්‍රිතව මෙම නිගමන වලට පැමිණ ඇති බවයි ඉන් සඳහන් වෙන්නේ.

නමුත් මේ මැසි මදුරු විශේෂ දීර්ඝ කාලීනව ගෝලීය උණුසුම වැඩි වීමට ඔරොත්තු දෙයිද, වඳ වී යයිද කියලා නම් දැන්ම කියන්න බැරි බවයි ඔවුන් සඳහන් කරන්නේ….. මෙපමණ කළක් ජීවත් වුන ලෝකයේ වැඩිම ජනගහනයක් ඇති සත්ත්‍ව කොට්ඨාසය වඳවී යයි කියලා නම් හිතන්න අමාරුයි. පරිසර උෂ්ණත්‍වය වැඩි වීම නිසා මදුරුවන් බෝ වන ස්ථාන වැඩි වීම. වර්ෂාව වැඩි වීම නිසා කෘමි වර්ධනය වැඩි වීම වැනි කරුණු ඍජුවම ගෝලීය උණුසුම වැඩි වීමට බලපානවා. මෙය විහිළුවක් ලෙස සමහරු සිතුවත් උදය ගම්මන්පිල මහතා එක්කෝ අන්තර්ජාලය ඇසුරු කර හෝ වෙනත් ක්‍රමයකින් මේ තොරතුරු ලබාගෙන මේ ප්‍රකාශය කර ඇති බවයි හැඟෙන්නේ.

කෙසේ වෙතත් ලංකාවේ අපි සැමගේ ප්‍රවණතාවය තමයි හැම වැරුද්දම දේශපාලනඥයන් පිට දමන එක. අප අවට ගෙවත්ත, පාර අයිනේ කාණු ආදිය පිරිසිදු කරන එක මහනගර සභාවට භාර දීලා අපි කම්මැලි කමට ගෙට වෙලා ඉන්නවා…. අහල පහල කෙනෙක් ඩෙංගු වලින් මැරුණාම බණින්නේ නගරාධිපතිට…. එළවළු මිල වැඩි වුනාම බණින්නේ වෙළඳ ඇමතිට.. ගෙදර තියෙන ඉඩේ පොඩ්ඩක් වගා කරගන්න හිතෙන්නෙ නෑ…. මේ නිසා අප අවට පරිසරය නිසි ලෙස කළමණාකරණය කර පවත්වාගෙන යාම, ජලය එකතුවන ස්ථාන අවම කිරීම, පිරිසිදු ජලය එකතු වන ස්ථානවලට මදුරු නාශක දියර/සබන් වැනි දෑ දැමීම මගින් මගින් මදුරුවන් බෝ වීම අවම කිරීම වැනි දෑ මගින් මේ ව්‍යසනය අවම කරගන්නට පුළුවන්.

ඩෙංගු වලින් මැරෙණ ගාණට වඩා වැඩි සංඛ්‍යාවක් වාහන අනතුරු වලින් මැරෙනවා කියලා මම එක වතාවකදිත් කිවුවා… මේවා ඉතින් කවුරුවත් ඇඟිල්ලෙන් ඇනලා කියලා දෙන්න ඕන දේවල් නෙවෙයි…

Advertisements
%d bloggers like this: