2011 අගෝස්තු 15 : ජනාධිපතිතුමනි, 4,846,388 දෙනා පොදු පෙරමුණට ඡන්දය දුන්නේ මේකටද ?


ජනාධිපතිතුමනි,

ඔබතුමා ගාල්ලේ බස් නැවතුම්පල විවෘත කළ අවස්ථාවේ අපූරු අදහසක් ජනතාව සහ මාධ්‍ය වෙත ගෙනහැර  පෑවේය. එනම් ඔබතුමා සාධනීය විවේචන (Constructive Criticism) හිස මුදුනින් පිළිගන්නා බවයි. සත්තකින්ම දියුණුව කරා ඇදී යන රටකට, සමාජයකට හෝ වෙනයම් ඒකකයකට සාධනීය විවේචන වලින් උගත හැකි පාඩම් බොහෝය. ඇල්කෙමියා මේ අවස්ථාව ප්‍රයෝජනයට ගන්නේ ඔබතුමාගේ ආණ්ඩුව කෙරෙහි බොහෝ විශ්වාසය තැබූ 4,846,388 දෙනාගේ අහිංසක බලාපොරොත්තු තවදුරටත් ඔබතුමාට මතක් කර දීමටයි. ඇල්කෙමියා ආණ්ඩුවට පක්‍ෂ හෝ විපක්‍ෂ නැත: මධ්‍යස්ථය. මේ නිසා කිසිදු පැත්තකට බර නොවී අදහස් ප්‍රකාශ කිරීමේ ශක්තිය ඇතැයි විශ්වාස කරයි. මේ සාධනීය විවේචනය ඔබතුමාට කියවන්නට ලැබේවා‘යි යන්න ඇල්කෙමියාගේ ද විශ්වාසයයි.
ඔබ පළමුවරට ඡන්දය ඉල්ලනවිට ඔබට කිසි දිනක දිනිය නොහැකිබව ඔබේම පක්‍ෂයේ බොහෝ දෙනා දැරූ මතයයි. වෙනකක් තියා ඔබේ පූර්වගාමියා වූ හිටපු ජනාධිපතිනි චන්‍ද්‍රිකා කුමාරතුංග මහත්මිය පවා යටි සිතින් පැතුවේ ඔබේ පරාජය සහ රනිල්ගේ ජයග්‍රහණයයි. කවුරු මොනවා කීවත්, ප්‍රභාකරන් උතුරු-නැගෙනහිර ඡන්දය වැලැක්වූයේ නැතිනම් ඔබ ජනාධිපති නොවන්නට බොහෝ දුරට ඉඩ තිබුණි. ඒ සියල්ල කණපිට හරවමින්  ඔබ ජනාධිපති තනතුරට පත් වූයේ ශ්‍රී ලංකාවේ වාසනාවට විය හැක. ඔබ සැබෑ විප්ලව වාදියෙකු බව ඔබ කළ බොහෝ දේ වලින් පෙනෙන්නට තිබුණි. ඔබට ලැබුණ සෑම ඇමති කමක්ම යමක් කළ හැකි දෙයක් බවට පෙන්වූයේ ඔබ කම්කරු ඇමතිව සිටියදී ගෙන ආ කම්කරු ප්‍රඥප්තිය සහ ධීවර ඇමතිව සිටියදී කළ කාර්යයන් දෙස බැලීමේදී ය. ඔබ අගමැතිව සිටි කාළයේදී ඔබේ අත් බැඳ තිබියදී පවා ඔබ කළ හැකි දේ කල නිසාම ජනතාව එබ කෙරෙහි විශ්වාසය තබා ඔබ ජනාධිපති තනතුර වෙත තල්ලු කර හැරීය. (මෙහිදී ඔබ ලැබූ ජයග්‍රහණයේ වැඩි ඡන්ද ප්‍රතිශතය අඩු වූ නිසා සහ උතුරු නැගෙනහිර ඡන්ද නොවැටීම නිසා ඇත්තෙන්ම එය තල්ලු කර හැරීමක්  ය යන්න මගේ හැඟීමයි) කෙසේ හෝ  ජනතාව ඔබ කෙරෙහි තැබූ විශ්වාසය පළුදු නොකළ ඔබ විදේශ බලවේග සහ ස්වදේශීය බලවේග සියල්ල මැඩ පවත්වමින්, වසර 30 ක් තිස්සේ දේශපාලනඥයන් විසින්ම ඔඩු දුවන්නට සලස්වමින් තිබූ යුද්ධය නිමා කිරීමට තිත තැබීමට කටයුතු කළේය. සත්තකින්ම ජාතියම ඔබට ණය ගැති වන්නේ ඒ නිසාය. ඒ පිළබඳ විවාදයක් නොමැත. මෑතකදී ලෝකයේ ත්‍රස්තවාදී කණ්ඩායමක් යුද්ධයකින් පරාජය ක රජයක් වන්නේ ඔබගේ රජයයි. නූතන තාක්‍ෂණයෙන් අනූන සියළු රටවල ඇති සහය ලබාගෙනත් ඇමරිකානු හමුදාව තවමත් ඇෆ්ගනිස්ථානයේ සහ ඉරාකයේ අසාර්ථකය. මේ කාර්යයේදී ඔබ, සිය සහෝදරයන් කෙරෙහි දැඩි විශ්වාසයක් පළ කිරීම සමහරු වාසියට හරවාගෙන ඔබට පහර ගැසුවද, ඇත්තෙන්ම එය දූරදර්ශී ක්‍රියාවකි. වෙන කිසිවකු ඒ තනතුරු වලට පත් කළද, වර්තමාන ජරා ජීර්ණ දේශපාලන රටාව තුළ ඕනෑම කෙනෙකු මුදලට විකුණුනද, සහෝදරයන් ඒ තත්ත්‍වයට පත් නොවන බව ඔබ පසක් කරගෙන සිටි බව පැහැදිලියි. ඒ නිසාම කුමන බලවේග පැමිණියද, ඔබ සහ ඔබේ සහෝදර කැළ ඒ සියල්ල මැඩ පවත්වාගෙන යුද්ධයේ නිමාව තෙක් එය අඛණ්ඩව ගෙන ගියේය. පළමු ජනාධිපතිවරණ සමයේ ඔබට සහය දැක්වූ ජනතා විමුක්ති පෙරමුණ ද, ඔබට එරෙහි වෙමින් පැවති සමයක, ඒ සියල්ල පාලනය කරගනිමින් එල් ටී ටීයේ යුධමය අවසානය කරා රැගෙන යාමට ඔබ කටයුතු කළේය.

මෙහිදී යුද්ධයේ නියමුවෙකු වූ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා කළ සේවය කිසිදු හමුදාපතිවරයෙකුට කරන්නට බැරි වූ සැලසුම් සහගත මෙහෙයුම් බව ද අවධාරණය කරනු කැමැත්තෙමි. අවුල සිදු වූයේ ඉන් පසුවයි. මගේ හැඟීමේ හැටියට ඔබ සහ ඔබේ සහෝදරයන් බොහෝ සේ විශ්වාසය තබා යුද්ධය මෙහෙයවීම භාර දුන් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා සිය දේශපාලන ශක්තිය අවතක්සේරු කර ඔබ හා සටනට පැමිණීම ඉතිහාසයේ සිදු වූ දැවැන්තම වැරදි කිහිපයෙන් එකකි. ඔහු මාණ්ඩලික සේවා ප්‍රධානි තනතුරේ තව ටික කලක් තබා ගනිමින් ජනාධිපතිවරණ සටනට පැමිණීමේ ඉඩකඩ ඇහිරීමට ඔබට බලය තිබුණද, ඔබ ඔහු ඉන් මුදා හැර නියම සටනකට ඔහුට අභියෝග කළේය. පෙර තිබූ ජවිපයේ සහය නොමැතිව වුවද, වැඩි ඡන්ද විශාල සංඛ්‍යාවකින් ඔබ ජයග්‍රහණය කළේ ශ්‍රී ලාංකික ජනතාව විසින් ඔබ රට වෙනුවෙන් කළ සේවයට ප්‍රත්‍යුපකාර දැක්වීමක් ලෙස බව සියළුම දෙනා දනී. ඒ සියල්ල අතීතයයි. අතීතයේ ජයග්‍රහණ මතින් වර්තමානය සහ අනාගතය ගොඩනැගිය යුතුය. ජනරාල් සරත් ෆොන්සේකා සිරගත කිරීම පිළිබඳ වැඩි යමක් නොදන්නා නිසා  ඒ පිළිබඳ සාකච්ඡා කිරීමෙන් වැලකී සිටිමි.

ඔබ රට යුද්ධයෙන් බේරා දුන් පරිදිම රට සංවර්ධනය කරතැයි ජනතාව දෑස් අයා බලා සිටියේ ඔබ මුල් වතාවේ දුන් පොරොන්දුව ඒ අයුරින්ම ඉටු කිරීම නිසාය. අවුරුදු 30 ක් තිස්සේ දුක් විඳි සිංහල දෙමළ මුස්ලිම් සහ වෙනත් සියළුම දෙනා වන ශ්‍රී ලාංකික ජනතාව ඔබ දෙවනවර වැඩි ඡන්ද මිලියන 1.8 කින් ඔබව පත් කළේ මෙතෙක් කළක් දුක් විඳි ජනතාවගේ දුකට සහනයක් ලැබේවි යැයි බලාපොරොත්තුවෙනි. දෙවන වර පත් වීමෙන් පසු ඔබ පාර්ලිමේන්තුව විසුරවා හැර මහ මැතිවරණයක් කැඳවූ පසු ජනතාව බලා සිටියේ රට පෙරට ගෙන යාමට හැකි දූෂණයෙන් තොර, අවංකව රටට වැඩ කරන, බුද්ධිමත් ආණ්ඩුවක් පත් කිරීමට ඔබ කටයුතු යෙදෙනු ඇතැයි කියාය. ඒ වෙනුවට ඔබ කළේ පැරණි හම්පඩ දේශපාලනඥයන්ම නැවත කරලියට ගෙන ඒමයි. තරුණ දේශපාලනඥයන් පිරිසත් පාර්ලිමේන්තුවට පත්ව ආවද, ඉන් කිසිවෙකු කැපී පෙනෙන වැඩ කොටසකට දායක වනු දක්නට නොහැක. (එය ජනමාධ්‍ය මගින් නොපෙන්වනවාද, නාමල් රාජපක්‍ෂ මහතා පමණක් මාධ්‍ය වලින් පෙන්වනවාද යන්න නොදනිමි). රටක් පාලනයට දායක විය යුත්තේ රටට ගමට ප්‍රදේශයට වැඩදායක, තමන්ට අදාල ප්‍රදේශයේ ඇති විවිධ කරුණු කාරණා ගැන දැනීමක් සහ අවධානයක් දක්වන කිසියම් දැක්මක් (vision/mission) ඇති තරමක් හෝ උගත් කාර්යක්‍ෂම පුද්ගලයින් වුවත්, වර්තමාන පාර්ලිමේන්තුවට පත් වී ඇති 225 දෙනාගෙන් වැඩි දෙනෙකු අවම වශයෙන් මේ සුදුසුකම් සපුරා නැති වීමම ලංකාවේ අවාසනාවට හේතු වී තිබේ. කිසිදු දේශපාලන පක්‍ෂයක් නාම යෝජනා භාර දීමේදී ඊට පෙර දූෂණ, වංචා, සිරගත වීම් ආදී දේ සමාජයීය වශයෙන් පරිහාණියට ලක් වූ කිසිදු කෙනෙකුට නාම යෝජනා ලබා දීම ප්‍රතික්‍ෂෙප කර ද නැත. එසේ කර ඇත්නම් ප්‍රාදේශීය සභා ඡන්දය වැනි කිසිදු වැදගත්කමක් නැති අවස්ථාවකදී පමණි. දූෂණ වංචා වැරදි වලට හසු වූ ජාතික තලයේ දේශපාලනඥයින් කෙතරම් පාර්ලිමේන්තුවේ සිටියද, ඔවුන් නිතිපතා එම චෝදනාවලින් නිදහස්ව තව තවත් ඒවාටම ඇලී ගැලී සිය “ජීවිකාව” කරගෙන යති. දූෂණ චෝදනා එල්ලවන විපක්‍ෂ මන්ත්‍රීවරු ආණ්ඩු පක්‍ෂයට එක් වී ඇමති තනතුරු ලබා ගනිති. ආණ්ඩුව සමඟ විරසක වන්නන්ට යන කල දසාව ගැන අමුතුවෙන් ඔබට කියා දිය යුතු නැත.

කිසිදු ඇමතිවරයෙකු, මන්ත්‍රීවරයෙකු හෝ අවම වශයෙන් රජයේ නිලධාරියෙකු සිය ක්‍රියා කලාපයන් සඳහා වගකීමක් භාර නොගනී. උදාහරණයක් ලෙස මේ කතාව ගත හැකිය. අසන්තාද මෙල් ගේ හෙජිං ගනුදෙනුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකළා යැයි සුසිල් ප්‍රේමජයන්ත පවසන්නේ දැන්ය. මේ හෙජිං ගනුදෙනුව බොහෝ දෙනා දැනගෙන සිටි කාරණයකි. හෙජිං හරියට කළොත් වාසියත්, නොකළොත් අවාසියත් වේ. මෙවැනි භාරදූර කටයුත්තක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකළා නම්, ඒ පිළිබඳ වගකීම දරන්නේ කවුරුන්ද ? මේ පාඩුවට කිසි කෙනෙකු දඬුවම් ලබන්නේ නැද්ද ? රටේ මුදල් මිලියන සියගණනක අලාභයක් හමුවේ වුවත්, කිසිදු පුද්ගලයෙකු වැරදි කරුවකු නොවේ. ලංකාවට බාල පෙට්‍රල් ගෙන්වීම ගැන වගකියන්නේ කවුද ?  වගකීමක් භාර ගැනීමට හෝ වැරැද්දකට දඬුවමක් නොලැබෙන රටක වැරදි කිරීමට බලා සිටින පුද්ගලයා ඉන් තව තවත් වැරදි කිරීමට පෙළඹෙනවා විනා වැරැද්දෙන් මිදීමක් සිදු වන්නේ නැත.

පසුගිය දවසක අගමැතිවරයාම පැවසූ පරිදි මන්ත්‍රීවරු පාතාලයට සම්බන්ධකම් දැක්වීම සහ මත්ද්‍රව්‍ය බෙදාහැරීම වැනි දේට සම්බන්ධ බවම අපේ රට පරිහාණියට පත්ව ඇති අන්දම පෙන්වා දීමට ඇති සාධකයකි. සැවොම දන්නා නමුත් අමතක වන සත්‍යය නම්, අපේ රටේ කිසිදු මිනිසෙක් දේශපාලනයට පැමිණෙන්නේ ජනතාවට සේවය කිරීමට නොවේ: තමන්ට සහ තම පරම්පරා වලට සේවය කරගන්නටයි.

ජනාධිපති තුමනි,

පාර්ලිමේන්තුවත්, පලාත් සභාවත් ප්‍රාදේශීය සභාවත් යන ස්ථාන තුනම මහා භයානක ස්ථාන තුනකි. මන්ත්‍රීකම යන වචනය මිනිසුන්  විකෘති තත්ත්‍වයට පත් කරවන භයානක තනතුරකි.

සත් ගුණවත් දානපති මුදලාලි මහත්තයා ඡන්දයෙන් පසු තඹ සතයක් හිඟන්නෙකුටවත් දෙන්නේ නැති මසුරු සිටානෝ කෙනෙක් බවට පත් කරවන්නේද, උගත් නැණවත් තරුණ ඉස්කෝලෙ මහත්තයා ඡන්දෙන් පසු අමුම අමු ගොබ්බයෙකු බවට පත් වන්නේ ද, අවංක පිරිසිදු තරුණ නායකයා පගා ගහන හොරකම් කරන අමුම ජරා හොරකු වන්නේද, අහිංසක කීකරු තරුණ මහතා මැර කල්ලියක නායකයෙකු වන්නේ ද, අමද්‍යප සංගමයේ සභාපති  මහතා කුඩු සහ ගංජා විකුණන මුදලාලි කෙනෙකු වන්නේද, අහිංසා සංගමයේ ලේකම් තුමා හරක් හොරෙකු, සතුන් දඩයම් කරන්නෙකු බවට පත් වන්නේ ද, උද්භිද විද්‍යා සංගමයේ සාමාජික මහතා හොරෙන් මල් පැල පිටරට යවන්නෙකු සහ හොරෙන් ගස් කපන සහ ගංජා හේනක හිමිකරුවකු වන්නේ ද, තරුණ සමිතියේ තරුණ මහතා ගමේ චන්ඩියා වි ලොකු හයිරං පාන්නේද, මන්ත්‍රී යන වචනයට හිමිකම් කීමට පටන් ගත් දා සිටය. මේ නිසා මා අදහන විදියට නම් ලෝකයේ භයානකම වචනය වන්නේ මන්ත්‍රීකම යන වචනයයි. එය මිනිහා නොමිනිහා කරවයි. කරුණාකර මේ මන්ත්‍රී යන වචනය වෙනුවට ජනතා සේවක යන වචනය ආදේශ කර ඒ සේවය පිණිස අදාල මිනිසුන් පුහුණු කරවන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. මේ මන්ත්‍රී යන වචනයේ අදාලතාව අනුව ඒ ඒ මිනිසුන්ගේ මොළයේ ක්‍රියාකාරීත්‍වය අඩපණ වීමද නොසළකා හැරිය නොහැක. මා මේ ලිපිය ලිවීමට දත්ත එකතු කරමින් සිටින අතරතුර මගේ මේසය මතට වැඩම කල නාථ දෙයියන් විසින් මට සමීකරණයක් ලබා දෙන ලදී… එහි මෙසේ සඳහන් විය.

මන්ත්‍රීකමේ බල-පුළුවන්කාරකම් අදාල පුද්ගලයාගේ මොළයේ ක්‍රියාකාරීත්‍වයට ප්‍රතිලෝමව සමානුපාතික වේ… සරළ සිංහලෙන් කියනවා නම් ඉහළට යන්න යන්න මොළය අඩුවන බව ඉන් පැහැදිළි වේ. මෙය දෙවියන් විසින් පැවසූ නිසා සත්‍යයක් බව මා පිළිගනිමි.

එදා පාර්ලිමේන්තුවේ සිටි ලලිත් ඇතුලත්මුදලි, ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා, ගාමිණී දිසානායක, ලක්‍ෂ්මන් කදිරගාමර් වැනි වියතුන් උගතුන් සහ තීක්‍ෂණ දේශපාලනඥයන් ගෙන් 10% ක් වත් වටිනා දේශපාලනඥයෙකු අද පාර්ලිමේන්තුවේ දක්නට ලැබේද ? ඒ වෙනුවට අද ඉන්නේ කුඩු මුදලාලිවරුන්, පගා මරුවන් සහ විකටයන් රැසක් බව කණගාටුවෙන් වුවද කිව යුතුය. ගම් සභාවක් තිබූ අපට වැඩි හොඳ කරන්නට පැටවූ ප්‍රාදේශීය සභාවෙන් කෙරෙන හොඳට වඩා සිදුවන්නේ මන්ත්‍රීවරු තර වීමයි. ඉන්දියාවෙන් අපට බලෙන් පැටවූ පලාත් සභා නම් සුදු අලියා නිසා වූ හොඳක් කීමට නොහැක.  පලාත් සභාවල අපේක්‍ෂිත අරමුණක් වූ උතුරු-නැගෙනහිර පලාත් සභාව ස්ථාපිත කිරීම මෑතක් වනතුරුම අපේ කිසිදු රජයකට කරගන්නට නොහැකි විය. මේ සියල්ලට තෝරා පත් වන්නට මිනිසුන් දරන උනන්දුව, නාස්ති කරන මුදල් කන්දරාව පිළිබඳ බැලූ විට අපේක්‍ෂකයන් මහංනතාවට සේවය කරන්නට මේ තරම් පොරකන්නේ මන්දැයි කිසි කෙනෙකුට සිතාගත නොහැක.

රටක් පාලනය නිවසක් හෝ ආයතනයක් පාලනය කරනවාක් මෙන් සරළ කටයුත්තක් නොවන බව අප සැම දනිමු. හොඳක් අසන රජයක් මේ ලෝකයේ කොතැනකවත් නොමැත. මිනිසුන් නිරන්තරයෙන් ලැබෙන දේ අගය කරනවාට වඩා නොලැබෙන දේ ගැන නගන මැසිවිලි වැඩිය. ඔබේ සංවර්ධන ක්‍රියාදාමයන් අගය කරන අතර ඔබේ රජයේ සිටින කවටයන්ගේ සහ අමනයන්ගේ ක්‍රියාකලාපයන් ද ජනතාව හෙලා දකිති. සිදු වන එකම දෙය එම අප්‍රසාදය එළිපිට සිදු නොවීමයි. රටක් ඉදිරියට යාමට නම් පාලනාධිකාරයට බුද්ධිමතුන් එක් විය යුතුය. එසේ නැතහොත් රට පරිහාණියට පත් වේ. අපේ පාර්ලිමේන්තුව කළෙක බුද්ධිමතුන් ගහණ ස්ථානයක් විය. දැන් එය බුද්ධිමතුන් පය නොගහන ස්ථානයක් බවට පත් වී ඇත….

නගර සභා ඡන්දයක් ලඟ ලඟ පැමිණෙන බවත්, ඒ සඳහා නොයක් නම් යෝජනා වී ඇති බවත් පුවත්පත් මගින් දැන ගන්නට ලැබේ… කොළඹ මහ නගර සභාවේ පසුගිය නගරාධිපති වරයා ත්‍රී රෝද රථ රියැදුරෙකි. ඒ අපේ රටේ දේශපාලනයේ අරුමය මොනවට කියා පෑමකි. ඒ නගරාධිපති තුමාගේ පාලනය ගැන මා කිසිවක් නොකියමි. මන්ද එතුමා නගරාධිපති වුවද, එය පාලනය වූයේ වෙනත් මාර්ගයකින් බැවිනි.

රෝහලක ශල්‍ය වෛද්‍යවරයෙකු නිසි ලෙස දැනුමින් සන්නද්ධ වී නැතිනම් කැපෙන්නේ රෝගියාගේ රෝගී අවයවය නොව බෙල්ලය. නිසි ලෙස පුහුණුව නොලත් ගුරුවරුන්ගෙන් ඉගෙන ගන්නා ළමුන් නිසි  දැනුමක් ලබත් ද? නිසි පුහුණුවක් නොලැබූ රියැදුරෙකුට බර වාහනයක් පාලනය කළ හැකිද ? නිසි ව්‍යාපාරික ඥාණයක් නොමැතිව කෙනෙකුට මහා පරිමාණ ව්‍යාපාරයක් නිසි ලෙස පාලනය කළ හැකිද ? ආචාර්ය උපාධියක් නැතිව කෙනෙකුට විශ්ව විද්‍යාලයක මහාචාර්ය කෙනෙකු විය හැකිද ? එසේම පාලනය පිළිබඳ කිසිදු දැනුමක් නොමැති, විනයක් නොමැති කෙනෙකුට ජනතාව පාලනය කළ හැකිද ? ඔබතුමාගේ දේශපාලන දිවිය අත්දැකීම් බහුල පරිපූර්ණ දේශපාලන දිවියක් බව බොහෝ දෙනා පිළිගනිති. එනමුදු වර්තමාන දේශපාලනයට එන නළු නිළියන්, පුයර බබ්බු සහ වංචාව දූෂණය ආදී වැරදි වලට හසුව (එනමුත් වැරදි කරුවන් නොවූ ) සත්ගුණවත් මහතුන් විසින් පාලනය කෙරෙන ප්‍රදේශයක් / දේශයක් දියුණු විය හැකිද ?

අවාසනාවකට අපේ ඡන්ද දායකයන් තවමත් ඡන්දය දෙන්නේ සුදුසුකම් වලට නොව නොයෙක් නොයෙක් සමාජ සබඳතා, බල-පුළුවන්කාරකම්, මුදල්- මැර බලය සහ සමාජ තත්ත්‍වයන් උදෙසාය. සමහර තරුණ දේශපාලනඥයන්ට හේත්තු වී සිටින තරුණ කැළ එයින් බලාපොරොත්තු වන්නේ රැකියාවක් හෝ වෙනත් උපකාරයකි. මත්පැන් අලෙවි සැලක්, මාළු ලෑල්ලක්, කොන්ත්‍රාත් සැපයීමක් හෝ වෙනත් ඉක්මනින් ලාභ ලබන ව්‍යාපාරයක නිරත වීමට ඔවුන් දේශපාලනඥයනට උදවු කරති. ඔබතුමා කතා කරන චර්යාමය වෙනස සහ ආකල්පමය විප්ලවය ඔබතුමාගෙන්ම පටන් ගැනීමට කාළය පැමිණ ඇත… මෙවර පලාත් පාලන ආයතන ඡන්දයට ජනප්‍රිය චරිතවලට වඩා, සුදුසුකම් ඇති – උගත් – බුද්ධිමත් චරිත ඉදිරිපත් කිරීමෙන් මේ කියන ආකල්පමය විප්ලවය ඔබටම පටන්ගත හැක….

ඒ වෙනස කවදා වේ දැයි අපි බලා සිටිමු….

මෙයට,

බොහෝ දෙනා වෙනුවෙන්,

ඇල්කෙමියා.

 විකල්ප වෙබ් අඩවි වෙතින් කෙරෙන කාරුණික ඉල්ලීමයි.  කරුණාකර මේ ලිපිය ඔබේ අවශ්‍යතාවන් සඳහා යොදා ගැනීමෙන් වලකින්න.

About Alchemist

ආචාර්ය පියල් ආරියනන්ද, ජීව අකාබනික රසායන විද්‍යාව අංශයෙන් ඇමරිකාවේ ඩෙලවෙයා විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා වසර කිහිපයක් එහිම විද්‍යා පර්යේෂකයෙකු ලෙස සේවය කර, ජර්මනියේ BASF රසායන ආයතනයෙහි රසායනික උත්ප්‍රේරක සම්බන්ධයෙන් පර්යේෂණ කළ විද්‍යාඥයෙකි. හරිතාගාර ආචරණයට ප්‍රධාන දායකත්‍වයක් දක්වන කාබන් ඩයොක්සයිඩ් වායුව රසායනික සංයෝගවලට පරිවර්තනය කළහැකි රසායනික පර්යේෂණවලට ඉතා ඉහළ දායකත්‍වයක් දී ඇත. ලංකාවට පැමිණි පසු මයිඩාස් සේෆ්ටි ආයතනයෙහි පර්යේෂණ ප්‍රධානී වශයෙන් ද කටයුතු කර, දැනට MAS Holdings අනුබද්ධ Bodyline ආයතනයෙහි නවෝත්පාදන ප්‍රධානී වශයෙන් කටයුතු කරයි. රැකියාවට අමතරව ඔහු විද්‍යාත්මක Blog අඩවියක් ද, රිවිර -රිවිනෙත කලාපයට සතිපතා ලිපි පළකරන විද්‍යා ලේඛකයෙකි. මෙයට අමතරව ඔහු නවෝත්පාදන සහ නිර්මාණශීලීත්‍වය පිළිබඳව දේශන සහ වැඩමුළු ද පවත්වයි. Dr. Piyal Ariyananda was schooled at Mahinda College, Galle and obtained his first degree at the Institute of Chemistry, Ceylon. He excelled the studies being the Batch top in the First year and overall Batch second in the final year exams. After two years of work as a chemist at the Unilever Sri Lanka, Dr. Piyal received a scholarship to pursue his Masters Degree at the university of Louisiana, Monroe where he became the most outstanding Graduate student of the Department of Chemistry in 2003 at his graduation. Dr. Piyal did his Ph.D at University of Delaware, with another scholarship to study his Ph.D in Chemistry, where he studied the conversion of Carbon Dioxide to useful chemical compounds. After graduation with a Ph.D he continued the research at the same university in Energy generation through Carbon Dioxide conversion for two years. Dr. Piyal was offered a scientist position at the Catalytic Research Lab at BASF – Germany and prior to return to Sri Lanka, He worked on converting Carbon Dioxide to Superabsorbant materials, which are used in Diapers if simply explained. Prior to the current assignment, Dr. Piyal headed the R&D team at Midas Safety, a safety and sports glove manufacturing organization located in the Export processing zones in Sri Lanka. His team introduced several new products and technologies into the glove industry, which includes a recent international patent on a new method of making a special type of a coating. His team won the most outstanding innovation team Gold award, in the 2015 National Chamber of Exporters’ award Ceremony. Dr. Piyal is currently heading the Bodyline Innovation team in General Manager capacity. Bodyline is one of the largest business units in MAS holdings with over 15000 employees. He uses the latest innovation methods in the world to innovate the products, and new business models to cater the latest trends in apparel market. Apart from his professional work, He is a science communicator and he writes a special article in Sunday Rivira – Rivinetha, and a science fiction to the same paper. He is also a trainer of Science teachers working with the department of education, and the secretary of the Royal Society of Chemistry, Sri Lanka Section.

Posted on අගෝස්තු 15, 2011, in ඇල්කෙමියාගේ දිනපොත. Bookmark the permalink. ප්‍රතිචාර 12.

  1. ඇල්කෙමියෝ දිග උනත් ආසෙවෙන් කිවෙවේ ගොඩක් දේ ඇත්ත කියලා හිතෙන හිංදා?

    ඔයා කිව්ව විදිහට හොරුන්ට ආයේ නොමොනේෂන් හම්බුනත් උන්ට කතිරේ ගහන්නේ ජනතාව නේද? මොන හොර බොරු තිබුනත් අන්තිමේදී උන් ජන්දේ දිනන්නේ ජනතාව කතිරේ ගහන හ්න්දා?

    මේ රටේ ඉන්න හැත්ත තමා මේකට වග කියන්න ඕනේ උන් හරියට හිටියනම් මේ වගේ දේවල් වෙන්නෑ. ඒත් මේ ඔක්කොම යන්නේ හරහට.

    මොනා කරන්නද>

    කැමතියි

  2. @ Buddie
    //මේ රටේ ඉන්න හැත්ත තමා මේකට වග කියන්න ඕනේ උන් හරියට හිටියනම් මේ වගේ දේවල් වෙන්නෑ. ඒත් මේ ඔක්කොම යන්නේ හරහට.//

    ඇත්තම ඇත්ත…….

    කැමතියි

  3. මේ රට හදන්ඩ බෑ…….මේවා කොච්චර කිව්වත් වැඩක් නෑ ඇල්කෙමියා…….කිසිම කෙනෙකුට මේ විනාසෙ පේන්නෙත් නෑ…..ඇත්තටම නම් පේන්නෙ නෑ නෙවෙයි…..පෙනිලත් දැක්කෙ නෑ වගෙ ඉන්නවා…..තමන්ගෙ වාසියට,

    කැමතියි

  4. මහත්තයෝ

    ලංකාවේ මිනිස්සුන්ගේ මනස ටිකටික හදලා තියෙන්නේ දෙන දේ කාලා වෙන දේ බලාගෙන ඉන්න. මේ ක්‍රමයට පිටින් යන්න උත්සාහ ගත්තොත් මොනවා වේවිද දන්නේ නෑ.සරත් පොන්සේකා ඒකට උදාහරනයක්.එයාව හිරේ දැම්ම වරදේ හැටියට හෙජින් කරපු අයට මොනවද කරලා තියෙන්නේ.තව දෙයක් අර ආචර්ය උපාධියක් නැතුව මහාචාර්ය කෙනෙක් වෙන්න බෑ කියන එක ගැන සැකයක් තියනවා.මහාචාර්ය සෙනරත් පරනවිතාන කවදාවත් විශ්ව විද්යාලයකට ගිහින් නෑ නේද?

    කැමතියි

    • මහාචාර්යය කියන්නේ තනතුරක් විතරයි, ආචාර්යය කියන්නේ නාමයක්, Doctor rate.
      ඒක නිසා මහාචාර්යය කෙනෙක් වෙන්න ආචාර්යය උපාධියක් ඕනේ නෑ,
      ඒත් ඉතින් හුගාක් වි.වි. මාහාචාර්යය පට්ටමක් දෙන්නේ ආචාර්යය උපාධියක් අරගෙන සෑහෙන කාලයක් වි.වි. කැබැරුවට පස්සෙ. එහෙමත් පොරකට තමා ඉතින් නිකම්ම හම්බෙන්නේ.

      කැමතියි

      • බූඩි හරි.
        ආචාර්ය උපාධියක් නැතුව උගන්වන්න පුළුවනි. නමුත් මහාචාර්ය පට්ටම ලැබෙන්න නම් සෑහෙන කට්ටක් කන්න ඕන.
        සමහර වෙලාවට ලොකු ලොකු තැන් වලට දෙකට නැවිලා බොහොම ඉක්මනින් මහාචාරය පට්ටමක් ගන්නත් පුළුවනි.
        කොළඹ විශ්ව විද්‍යාලයේ රසායන විද්‍යා අංශයේ එහෙම පොරක් ඉන්නවා. කැම්පස් යන කාලෙ නම් මිනිහා බ්‍රයිටා… දැනුත් රිංගන්නේ නැති තැනක් නෑ… එක වතාවක් ලංකාවෙ තිබුණ දේශනයකදි මම මිනිහව ඇන්නුවා නැති වෙන්න… එහෙම අයටත් මහාචාර්ය පට්ටම් ලැබෙනවා ලංකාවෙ.
        සමහර අයට ආචාර්ය පට්ටම් දෙනවා කළ සේවයට ගෞරවයක් ලෙස – ආචාර්ය තිස්ස අබේසේකර ඒ වගේ කෙනෙක්.

        කැමතියි

  5. හ්තවත් ඇල්කෙමියා ඔබගේ අද ලිපිය තවමත් කියවූයේ නැහැ. වැඩ ටිකක් වැඩියි. නමුත් පහත ලින්ක් එක ඔබට වැදගත් වන නිසා එවමි. කියවා බලන්න.

    2011 දෙසැම්බර් 01 : වැස්සෙ ඇවිදින්න යනවනං රේන් කෝට් එකක් අරන් යන්න…..

    කැමතියි

  6. නාමයෝජනා දෙන්නේ සල්ලි වියදම් කරන්න පුළුවන් මැට්ටන්ට.
    ඉන් හොදම මැට්ටා මංත්‍රී වෙනවා.
    මැට්ටෝ පාර්ලිමේන්තුවෙදී ඕන මැටි වැඩකට අත උස්සනවා.
    විවේචන කරන්න – අදහස් ඉදිරිපත් කරන්න
    මේ මැට්ටෝ දන්නේ මොනවද ?
    රටේ ඉහලම පරිපාලන ආයාතනයේ සංයුතිය ඔහොමයි.

    කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න