2011 අගෝස්තු 18 : හඳුනාගත්තොත් ඔබ – මා…………….


මිනිසා සමාජ සත්ත්‍වයෙක්. ඒ නිසාම අපි සමාජයීය සබඳතා රාශියක් ඇති උදවිය. දූපතක තනි වෙලා ඉන්න කෙනෙක් හැරෙන්න අන් සෑම දෙනාටම කිසියම් හෝ සමාජ සබඳතාවයක් තිබෙනවා. හිර ගෙදරක හිටියත් එතැනත් කුමක් හෝ සබඳතාවයක් ගොඩ නැගෙනවා. නිවසේදී දෙමාපියන් සහෝදර සහෝදරියන් සමග, හෝ බිරිඳ – සැමියා – දරුවන් සමග, එසේත් නැතිනම් බිරිඳ-සැමියාගේ පවුලේ නෑදෑයන් සමග තමන්ගේ නෑදෑයන් සමග ආදී පවුලේ සබඳතා, ඉන් එහාට ගිය කළ මිතුරු-මිතුරියන්, කාර්යාලයේ වෘත්තීයමය සබඳතා ආදී සියළුම සබඳතා ජාලයක් සමගයි අප සියළු දෙනා කටයුතු කරන්නේ.

නිවසේ හැදී වැඩෙන කුඩා දරුවාගේ සමාජය වන්නේ දෙමාපියන් සහ නෑදෑයන්… පෙර පාසැල් යනවිට එම සබඳතා කෙමෙන් කෙමෙන් පුළුල් වී මිතුරු මිතුරියන් ඇති වෙනවා, /ගුරුවරුන් හඳුනාගන්නවා. ඉන්පසු පාසල් දිවිය අවසන් වනතෙක් මේ ගුරු-දෙගුරු-මිතුරු සබඳතාවන් පවතිනවා. සමහර මිතුරු සබඳතා  බිඳිය නොහැකි තරමට දැඩියි. සමහර මිතුරු සබඳතා නම් සරළයි. හායි – බායි දෙකට සීමා වෙනවා. පෙම් සබඳතා මීටත් වඩා සංකීර්ණයි. සමහර සබඳතා විවාහයෙන් කෙළවර වෙන අතර සමහර සබඳතා හුදු මතකයන් පමණක් බවට පත් වෙනවා. රැකියාවක් කරන අවධිය වන විට බොහෝ විට ඇති වන්නේ මිතුරු සබඳතා වගේම වෘත්තීය සබඳතා. තමන්ගේ ප්‍රධානියා සමග මිතුරු කමක් ඇති වනවා වගේම වෘත්තීය බැඳීමක් ද ඇති වෙනවා. ඉතින් මේ සබඳතා සියල්ල සරළ මෙන්ම සංකීර්ණ ද වෙනවා. සමහර පුද්ගලයන්ගේ ගති පැවතුම් අනුවත් මේ සබඳතා වෙනස් වෙනවා.

සමහරුන්ට ඉක්මනට තරහා යනවා. සමහරු ඉක්මනට අඬනවා. තවත් සමහරු බොහෝ දේ හිතේ තියාගෙන ඉඳලා අවස්ථාව ලැබුණාම ඇරලා දානවා. තවත් සමහරු කිසිම දෙයක් ගණන් ගන්නෙ නැතිව සුළු වැරැද්දක් හෝ ලොකු වැරැද්දක් වුවත් මිතුරු කම පවත්වාගෙන යනවා. තවත් සමහරු තරහ වුනොත් ආයෙ පැත්ත පලාතෙ බලන්නෙ නෑ මලත්…. ඒ මිතුරු සබඳතා. ඥාති සබඳතා මීට වඩා වෙනස්. සමහරු තම ඥාතීන්ගේ සැපත, දියුණුව දැකලා සංතෝෂ වෙනවා. ඔවුනට උදවු කරනවා. තවත් සමහරු ඒකෙ අනිත් පැත්ත, පුළුවන් තරම් දියුණුවට අකුල් හෙළනවා – ඊර්ෂ්‍යා කරනවා, යමක් ලැබෙන්න තියෙනවා නම් වලක්වනවා. වෘත්තීයමය සබඳතා ඊටත් වෙනස්. සමහරු ඔබේ දියුණුවට උදවු කරන අතර තවත් සමහරු අකුල් හෙලනවා. ඒ වගේම කේලාම් කියා ප්‍රධානියාගේ හෝ අනෙත් අයගේ හිත් බිඳවනවා. පිටිපස්සෙන් ඇවිත් පිට අතගාලා පිහියෙන් අනිනවා.

මේ සබඳතා සියල්ල මැද අපි හැමෝම ජීවත් වෙනවා. ඒක තමයි ජීවිතේ. නමුත් අපි හැමෝම අනුන්ව තේරුම් ගන්න නොයෙක් විදියේ උත්සාහ දරනවා, සමහර විට අනෙත් යාළුවන් එක්ක පැය ගණන් අන් අය ගැන කතා කරමින් තමන්ගේ කාළයත් අනුන්ගේ කාළයත් නාස්ති කරනවා. අඹු සැමි දෙපළක් වුනත් ඒ අය 100% ක්ම තමන්ගේ සහකරු/සහකාරිය හරියට තේරුම් ගන්නේ නැහැ. විවිධ ප්‍රශ්න ඇති වෙනවා. බොහෝ විට මේ ප්‍රශ්න විසඳුනත්, සමහරු දුර දිග නොබලා ක්‍ෂණික තීරණ අරගෙන ජීවිතේම අමාරුවේ දාගන්නවා.

අපි අනුන්ව තේරුම් ගන්න මහන්සි වෙන වෙලාව තමන්ව තේරුම් ගන්න වැය කළා නම් කොපමණ හොඳද ? තමන්ගේ රුචි අරුචිකම්, දක්‍ෂතා – දුර්වලතා. හැකියාවන්, මානසිකත්‍වය, ආදී දේ හරියට තේරුම් ගත් විට බොහෝ ප්‍රශ්න මගහරවාගන්නට පුළුවනි. තමන්ගේ තරම දැනගෙන යම් වැඩකට වුනත් යෙදෙන්නට පුළුවනි. සමහරු කායිකව ශක්තිමත්, සමහරු බුද්ධිමය අතින් ඉදිරියෙන්. තමන්ට කායික ශක්තිය වෙහෙසවා නමුත් කරන්න අපහසු වැඩක් ලැබුණ විට තමන්ට එය අසීරු බව පවසා ඉන් මිදීම- එය කරන්නට ගොස් අමාරුවේ වැටෙනවාට වඩා බුද්ධිමත් ක්‍රියාවක්.

සමහරවිට ඔබ කුලෑටි පුද්ගලයෙක් වන්නට පුළුවනි. එවිට ඔබ බොහෝ මිතුරු සබඳතා ඇති කරගන්නට වෙර දරන්නේ නැහැ. තවත් සමහරු දකින දකින ඕනෑම ‍කෙනෙකු සමග ඉතාම ඉක්මනින් කුළුපග වෙනවා. එසේ වී සමහරු නම් අමාරුවෙත් වැටෙනවා. ඒ වගේම සමහරු උපතින්ම නායකත්‍ව ලක්‍ෂණ ඇති අය. එවන් අයව අනෙක් අය යටතේ පාලනය වෙන්නට කැමති නැහැ – එවිට ලොකු ප්‍රශ්න ඇති වෙනවා. තවත් සමහරු සුළු දේටත් කලබල වෙන අය… ඒ අය සමග හැසිරීමේදී ඔබවත් ඔවුන්වත් පාලනය කරගෙන කටයුතු කිරීමත් වැදගත්.

ඉතින් ඔබ හැමටම මේ කියූ සහ තවත් නොකියූ ගති පැවතුම් ඇති බොහෝ දෙනා සමාජයේ අනන්තවත් හමු වෙලා ඇති… ඒ ඒ බනිස් වලට ඒ ඒ කෙසෙල් ගෙඩි කියුවා වගේ අදාල පුද්ගලයින් සමග ගණුදෙනු කිරීමේදී ඒ ඒ විදියට සබඳතා පවත්වාගෙන යන්න අවශ්‍යයි. නමුත්, ඒ සියල්ලට පෙර ඔබ කවුද කියා ඔබ තේරුම් ගත්තාද ? සමහරවිට ප්‍රශ්නය ඇත්තේ ඔබේ වෙන්නට පුළුවනි. ඔබ නිසි ලෙස ඔබ කවුදැයි හඳුනා ගත්තොත්, ඔබට අවශ්‍ය – ඔබට ගැලපෙන සබඳතා ඇති කරගන්නට ඔබටම පුළුවන් වේවි.

ඉතින් කෙස් පැලෙනකල් අනුන්ව තේරුම් ගන්න උත්සාහ කරන්නට පෙර තමන් කවුරුන් වගේ පුද්ගලයෙක්ද කියලා තේරුම් ගන්න. එවිට සියල්ල සරළ වේවි….

Advertisements

Posted on අගෝස්තු 18, 2011, in ඇල්කෙමියාගේ දිනපොත. Bookmark the permalink. ප්‍රතිචාර 2.

  1. පැහැදිලිවම, තමන්ට සාපේක්ෂව අන්‍යයන් තේරුම ගැනීම බොහෝ ගැටළු ඇති කරනවා. මේ සිතන රටාවන් විවිධ පුද්ගලයා මත වෙනස් වනවා වගේම ඔවුන්ගේ තමන් පිළිබඳ තක්සේරුව අධිමානය හෝ හීනමානය යන අන්ත දෙකෙන් එකක්නම් අනිවාර්යයෙන්ම ගැටළු ඇති වනවා.

    ————————
    මගේ බ්ලොග් අඩවියේ අලුත්ම ලිපිය කාබනික රසායනයට අදාළ නිසා ඔබතුමාගෙන් යම පැහැදිලි කිරීමක් එහි කෙරෙනවානම් ඉතා වටිනවා. මේ කමෙන්ටුව ඒ ආරාධනයට යොදා ගැනීම පිලිබඳ සමා වෙන්න.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: