2011 අගෝස්තු 21 : අනිත්‍යය සුන්දරයි…..


අනිත්‍යය යන්න කණ වැකුණු සැනින් අප සියළුම දෙනාට පාහේ නිතැතින්ම මතක් වන්නේ මරණයයි. ඒ අපේ ධර්මය පිළිබඳ ඇති නොගැඹුරු අවබෝධය මනා ලෙස පසක් කරමින්. නමුත් ඇත්තෙන්ම අනිත්‍යය කියන්නේ කුමක්ද ?

අනිත්‍යය කියන්නේ නිත්‍ය නොවන බව නැතිනම් වෙනස්වීම. ස්වභාව ධර්මයා නිතරම වෙනස් වන සුළුයි. කුඩා ඇටයක් පැළයක් වන්නේත් පැළයක් මහා ගහක් බවට දළු ලා වැඩෙන්නේත් මේ නිරන්තර වෙනස් වීම නිසායි. ශුක්‍රාණුවක් සහ ඩිම්බයක් වශයෙන් ඒක සෛලිකව පැවත, කළලයක් බවට පත්ව දරුවකු වශයෙන් අප හැමෝම උපත ලබන්නේත් මේ අනිත්‍යය නිසයි. ඒ උපතින් පසු මොහොතින් මොහොත අපි වැඩෙන්නේ, තරුණ බව ලබන්නේ සහ වියපත්ව මිය යන්නේත් මේ අනිත්‍යය නිසයි. බොහෝ දෙනෙක් නොදැනුවත්කම නිසාම අනිත්‍යය මරණය හා පමණක් සම්බන්ධ කරගන්නවා. ඇත්තෙන්ම මරණය කියන්නේ තවත් ගමනක ආරම්භයක් කියලා හිතන්න පුරුදු වෙලා ඉන්නේ කීයෙන් කී දෙනාද ?

අනිත්‍යය නිසායි පරිසරය වෙනස් වෙන්නේ මලක පොහොට්ටුවක් මලක් බවට පත් වන්නේත් පණුවෙක් දළඹුවෙක් වී සමනලයෙක් ඇති වන්නේත් මේ නිරන්තර වෙනස්වීම නිසායි. මුළු පරිසරයම විශ්වයම එකම රසායනික ක්‍රියාවලියක ප්‍රතිඵලයක්. මේ විශ්වයේ ශක්තිය සමහරවිට පුදුමාකාරයි. තාප රසායන විද්‍යාවේ දෙවන නියමයෙන් කියවෙන පරිදි පද්ධතියක එන්ට්‍රොපිය අඩු වීම නොහොත් අහඹුතාවය අඩු වීම වෙනත් පද්ධතියක අහඹුතාවය වැඩි වීමකින් තොරව සිදු නොවේ. නමුත් මුළු විශ්වයම එක් පද්ධතියක් ලෙස ගත් කළ එහි අහඹුතාවය නිරන්තරයෙන් වැඩි වීමකට ලක් වේ. මහා පිපුරුම (Big Bang) සිට තවමත් විශ්වය ප්‍රසාරණය වෙමින් පවතී. එනම් අහඹුතාවය වැඩි වෙමින් පවතී.  මේ නිසා විශ්වය කිසිවිටෙක සමතුලිතතාවයකට පත් නොවේ. එසේම විශ්වයේ ක්‍රියාවලි කිසිවක් නතර නොවේ. එනම් පද්ධතිය නිත්‍ය බවකට පත් නොවීමයි : අනිත්‍යයයි.

විශ්වයම ප්‍රතික්‍රියාවකි

මුළු විශ්වයම විශාල රසායනික ප්‍රතික්‍රියාවක්, ඇත්තෙන්ම එය කුඩා රසායනික ප්‍රතික්‍රියා අනන්ත සංඛ්‍යාවක ප්‍රතිඵලයක්. අපේ ශරීරයත් විශ්වය වගේ. රසායනික ප්‍රතික්‍රියා අනන්ත සංඛ්‍යාවක් එක මොහොතක සිද්ධ වෙනවා. ඇසිපිය සැලීමක් වැනි සුළු චලනයක් පවා රසායනික ප්‍රතික්‍රියා රාශියක ප්‍රතිඵලයක්. පරමාණු, අණු, මූල ද්‍රව්‍ය, සංයෝග, මේ සියල්ලම අපේ කොටස්. මේ රසායනික ප්‍රතික්‍රියා ගැඹුරු ලෙස සලකා බැලුවහොත් අපේ චර්යාවන් බොහොමයක් මේ එක් එක් රසායනික ක්‍රියා වගේමයි. උදාහරණයක් ලෙස මූලද්‍රව්‍ය දෙකක් බන්ධනයක් සැදීම මිනිසකු හා ගැහැණියක අතර ඇතිවන සම්බන්ධතාවයක් වැනියි. සමහර සබඳතා සහජීවන සබඳතා – එනම් දෙදෙනාගෙන්ම එක සමාන සම්මාදමක් (contribution) ලැබෙන සබඳතා. මේවා බොහොමයක් බොහෝ ස්ථායී සුන්දර සබඳතා. (හරියට කාබන් පරමාණුවක් තවත් කාබන් පරමාණ්වක් හා බැඳී තනන සහසංයුජ බනධන වගේ) අයනික බන්ධනයක් හරියට මුදලට, තත්ත්‍වයට, හෝ බලපුළුවන්කාරකමකට යටත්ව ඇතිවන සබඳතාවයක් වගේ. එක පරමාණුවක් ධන ආරෝපිත වන අතර අනෙක ඍණ ආරෝපිතයි. ඊට වඩා බලවත් පරමාණුවක් ලඟට ආවොත් සමහරවිට එක පරමාණුවක් හෝ දෙකම තම බන්ධන කඩා දමා වෙනත් බන්ධන ඇති කරගන්නට පුළුවනි. තවත් සමහර පරමාණු බන්ධන එකකට වඩා තනනවා. ඒ වගේ සබඳතාත් අපේ කට්ටිය අතර නැතුවාම නොවෙයි.. ඒ බන්ධන පැත්තෙන් අපේ ජීවිත පරමාණු වලට සමාන වෙන්නේ කොහොමද කියලා පැහැදිලි කරන විදිය…

Duality - ද්විප්‍රකාරත්‍වය

ආයෙම මාතෘකාවට පැමිණියොත්, මේ විශ්වයේ පවතින ක්‍රියාවලි සියල්ල සමබරයි. එනම් නිවුටන්ගේ තෙවැනි නියමය වගේම සෑම ක්‍රියාවකටම සමාන හෝ ප්‍රතිවිරුද්ධ ක්‍රියාවක් තිබෙනවා. බොහෝ අවස්ථාවල Duality නැත්නම් ද්විප්‍රකාරත්‍වය කියන්නේ මේකට. යින්-යැන් (Ying-Yang) පුරුෂ-ස්ත්‍රී, හොඳ-නරක, වේදනාව- සුවය, ආදී මෙකී නොකී සියල්ල මේ ද්විප්‍රකාරත්‍වයේ ප්‍රතිඵලයන්. මහා පිපුරුමට පසු මේ විශ්වය කිසිම වෙලාවක මේ ද්විප්‍රකාරත්‍වයෙන් ඔබ්බට ගියේ නැහැ.  විශ්වයේ කුඩාම පද්ධතිය වන පරමාණුවක් ගතහොත්, එහිද ධන ආරෝපිත න්‍යෂ්ඨිය වටා ඍණ ආරෝපිත ඉලෙක්ට්‍රෝණ පවතිනවා. මෙය  පුරාණ වේද ග්‍රන්ථවල විග්‍රහ කරනවා කියන්නේ ස්ත්‍රී – පුරුෂ භාවයට සමාන කරලා. ධන ආරෝපිත දෑ පුරුෂ ලෙසත්, ඍණ ආරෝපිත වස්තූන් ස්ත්‍රී ලෙසත් වන අයුරින්. ධන ආරෝපිත න්‍යෂ්ඨියේත් තවත් කුඩා උප පරමාණුක අංශු තිබීම, සෞර ග්‍රහ මණ්ඩලය වටා ග්‍රහලෝක ගමන් කිරීම ආදිය පවා මේ ද්විප්‍රකාරත්‍වය මත රඳා පවතිනවා. සූර්යයා හෝ වෙනත් මධ්‍ය තාරකාවේ ගුරුත්‍වාකර්ෂණ බලයට ඇදෙන ග්‍රහලෝක එහි ඉලිප්සාකාර චලිතයෙන් ඇතිවන බලය නිසා නියත මාර්ගයක පරිභ්‍රමණය වීමත් මේ ද්විප්‍රකාරත්‍වය නිසා සිදු වීමක්. මේ අයුරින් අනන්තවත් උදාහරණ ලබා දෙන්නට හැක.

මේ සියළු ක්‍රියාකාරකම් නිරන්තරයෙන් සිදුවන වෙනස්කම් මත රඳාපවතිනවා. මේ සියල්ල සිදු වන්නේ නැතිනම් සියළුම දෑ නිශ්චලව එකාකාරීව පවතිනවා. එනම් නිත්‍ය වෙනවා. මෙන්න මේ වෙනස්කම් සිදුවීම නිසයි අනිත්‍යය සුන්දර වන්නේ. අප සියළුම දෙනා මේ සුන්දර අනිත්‍යය නම් මායාවට වහල් වෙලයි සිටින්නේ. උපන් දා සිට අප තුළ සිදු වන වෙනස්වීම්, අප අවට සිදු වන වෙනස්වීම් අප ගත-සිත හා බද්ධ කරගෙන අපි ඒ ගැන කිසිවක් නොසිතාම කටයුතු කරගෙන යනවා. අවසන මරණය කරා ළඟා වනවිට පමණක් අපි අනිත්‍යය මෙනෙහි කරමින් වැලපෙනවා. නමුත් අපි මුළු ජීවිත කාලය පුරාවටම අනිත්‍යය සමඟ අත්වැල් බැඳගෙන ගමන් කළ බව කිසිවෙකු සිතන්නේ නැහැ.

මේ ද්විප්‍රකාරත්‍වයේ අවසානය ඇත්තෙන්ම Singularity නැතිනම් ඒකත්‍වය යනුවෙන් විග්‍රහ වෙනවා. මෙහිදී සිදු වන්නේ ද්විප්‍රකාරත්‍වයෙන් ඔබ්බට ගොස් එක් ගුණයක් පමණක් ඉතිරි වීමයි. මේ බව මුලින්ම සොයා ගත්තේ බුදුරජානන් වහන්සේ විසින් නිවන අවබෝධ කරගැනීමෙන්. එනම් නිවන කියන්නේ මෙන්න මේ ද්විප්‍රකාරත්‍වයේ කෙළවරයි. එය නොවෙනස්වන සුළුයි. නිවනට පත් වූ සිත නිත්‍යයි. එය නැවත වෙනස් වීමකට භාජනය වන්නේ නැහැ.

ලියන්න බොහෝ දේ තිබෙනවා… නමුත් ලිපිය දිගු වනවිට එය නීරස විය හැකියි……මා මේ ලිපියෙන් කියන්න අදහස් කළේ හැමටම නිවන් දකින්න සූදානම් වන්න කියා නොවෙයි. ඇල්කෙමියා බණ කියනවා කියලා මට මඩ ගහන්නත් එපා… ඒත් මේ කියු දෑ පොඩ්ඩක් හිතලා බලන්න…. ඔබට හිතෙන දෑ අපි කතා කරමු.

මේ ලිපිය සැකසීමට මූලික සිතුවිලි පහල කළ මගේ ධර්ම ගුරුවරයා වන කරුණාරත්න බණ්ඩා මහතා සහ එම මැතිණියටත්, වොෂිංටන් බෞද්ධ විහාරයේ  මණ්ඩාවල පඥ්ඥාවංස හිමියන්ටත් මගේ අප්‍රමාණ කෘතඥතාවය හිමි වේ.

Advertisements

Posted on අගෝස්තු 21, 2011, in ඇල්කෙමියාගේ දිනපොත. Bookmark the permalink. ප්‍රතිචාර 5.

  1. I think if you meditate, you can easily attain some levels! NON-DUALTY can be realized.

  2. හොදයි හොදයි ඇලෝ දැන් ඉතින් ඔය වයසට මේ වගේ ඩ්හැහැමි දේවල් ලියලා පින් ටිකක් කරගෙන ඉන්න එක හොදයි, 🙂
    මොනා වුනත් කියවන්න තේරුම් ගන්න සෑහෙන වෙලාවක් ඉන්වෙස්ට් කරන්න වුනා

    • කමෙන්ට් නැතිකොට හිතුනා බර වැඩි ඇති කියලා..
      කොහොමත් ඉඳලා හිටලා හරි බර දැනෙන ලිපියක් කියෙවුවට කමක් නෑනේ.. මේක මගේ හිතේ බොහොම කාලයක් තිස්සේ කියාගන්න තිබුණ අදහසක්.
      මේක ලියුවෙත් පොඩි ටෙස්ට් එකක් විදියට… මේ වගේ ලිපියකට කට්ටියගේ ප්‍රතිචාරය මොන වගේද කියලා බලන්න. ටෙස්ට් එක සාර්ථකයි… අපේ කට්ටියට මේ වගේ දේවල් හරි යන්නෙ නෑ…
      ඒත් මේ වගේ දෙවල් ලියන එක නවත්වන්නෙත් නෑ… එකෙක්ගෙ හරි ඇස් පාදන්න පුළුවන් නම් එක සැරේකට ඒකත් ලොකු දෙයක් නේ.

  3. තේරුම් ගන්නට අපහසු නොවූ අතර, වැදගත් කතාවකියි තේරුම්ගිය බැවින් ප්‍රතිචාර දක්වමි!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: