2011 අගෝස්තු 26 : කොරේ පිටට මරේ… ඔන්න එනවා අයිරීන්


කූඹිකම්පාව ඉවර වෙලා සතියක් යන්නටත් ඉස්සර මෙන්න එනවා අයිරීන්….

අයිරීන්ගේ ගමන්මග සහ සුළං වේගයන්

අයිරීන් කියන්නේ අළුත්ම සුළි සුළඟ….. බහමාස් දූපත් වලට ටිකක් ඈතින් වායුගෝලීය කැලඹීමක් (tropical storm) ලෙසින් ඇරඹුන මේ කුණාටුව දැන් ඇමරිකාවේ දකුණු කෙළවර ෆ්ලොරිඩාව කිට්ටුවේ සැරිසරනවා. ඇමෙරිකාවෙ වෙසෙන අපට මේ කුණාටු ඒ තරම් අමුතු දෙයක් නොවුනත් ලංකාවෙ ඉන්න අයට මේවා බොහොම භයානක දේවල්. ඒ ලංකාව වගේ රටකට සුළි සුළඟක් එනවා කියන්නේ බොහොම දරුණු විපත් ඇති කරන නිසා. මෙහේ සුළි සුළඟක් ආවම ඒ සා විශාල විපතක් ඇති කළත්, වසරකට මේ වගේ අවස්ථා කිහිපයක් එන නිසා බොහෝ දෙනෙක් ඒ සඳහා හොඳින් සූදානම් වෙලයි ඉන්නෙ.

සුළි සුළං වලට නම් ලබා දෙන්නේ ඒවා හඳුනාගැනීම පහසු වෙන්නයි. ඒ වගේම රටවල් 120 ක් මේ සුළි සුළං ගැන අවධානයෙන් ඉන්න නිසාත්, රූපවාහිනී විස්තර/ප්‍රවෘත්ති ප්‍රචාරකයන්ට කියවීමට පහසු වන්නටත් යන කාරණා දෙකම නිසා මේ කුණාටු වලට බොහොම සරළ නම් ලබා දෙනවා. මේ නම් ලබා දීමේදී ගැහැණු සහ පිරිමි නම් ලෙස මාරුවෙන් මාරුවට නම් ලබා දෙනවා. ඒ වගේම දැනට වසර 2016 දක්වා කුණාටු සියල්ලම නම් කරලයි තියෙන්නේ. මේ කුණාටු නම් කිරීමේදී Q, U,X,Y,Z යන අකුරු වලින් නම් ලබාදීම කරන්නේ නැහැ. ඒ එම අකුරුවලින් ඇති පමණ නම් සොයාගැනීමට නොහැකි නිසා. ඒ වගේමයි සමහර නම් කාළෙන් කාළෙට නැවත නැවත පාවිච්චි වුනත්, සමහර නම් විශ්‍රාම යවනවා. දරුණු කුණාටු ඇති කළ Katrina, Rita, වැනි නම් ඇතුළු බොහෝ නම් රාශියක් මෙසේ විශ්‍රාම යවා තිබෙනවා. මේ සියළු විස්තර මෙන්න මෙතැනින් බලාගන්නට පුළුවනි.

අයිරීන්ව ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට පෙනෙන හැටියට

ඉතින් මේ කුණාටුවට ගොදුරුවිය හැකි යැයි සැලකෙන සියළු පලාත්වල මූදුබඩ ජීවත්වන අය අනිවාර්ය ඉවත්කිරීමකට භාජනය කරලා තිබෙනවා. ඒ සියළුම දෙනා සිය ගෙවල් අතහැරලා ආරක්‍ෂිත ස්ථාන කරා යා යුතුයි. එසේ යා නොහැකි අයට පොදු ආරක්‍ෂිත ස්ථාන පහසුකම් සළසලා තිබෙනවා. අපි ජීවත් වෙන්නේ රට මැද නිසා අපට නම් දැඩි බලපෑමක් නැහැ. නමුත් විදුලිය විසන්ධි වීම් වැනි දේ නිසා ඇතිවන අපහසුකම් මගහරවා ගන්නට ජලය ආහාර සහ ඉටිපන්දම්, ආදිය දැනටම එකතුකරගෙන සිටින ලෙස අනතුරු හඟවා තිබෙනවා. අපේ රසායනාගාරයත් අද සියළුම උපකරණ විසන්ධි කර ඉටිකොළ වලින් උපකරණ සියල්ල ආවරණය කළා. හදිසියේ හෝ ඇතිවිය හැකි ජලගැලීමකට මුහුණ දීමට සියළුම උපකරණ බිම් මට්ටමෙන් ඉහළට ඔසවා තැබුවා. පොඩි එවුන් සියල්ලම නිවෙස් වලට යවා ලොක්කයි මමයි විතරයි දැන් රසායනාගාරයේ ඉන්නේ. අපිත් තව ටිකකින් නිවෙස් බලා යනවා.

අයිරීන්ගේ ඇස... චන්‍ද්‍රිකා ඡායාරූපයක්

පැටියට නම් හරි සතුටු හිතෙයි. තාත්තා කාලෙකින් ගෙදර ඉන්න නිසා සෙල්ලම් කරන්න අවස්ථාවක් උදා වෙනවා. මම නම් මේ කාළය අතපසු වෙච්චි පොත් ටිකක් කියවන්න යොදාගන්නයි හිතාගෙන ඉන්නේ. ගෙදර පොතපත රාශියක් ගොඩගැහිලා තියෙනවා කියවගන්න වෙලාවක් නැතිව… විදුලිය තිබුණොත් තවත් ලිපි ටිකක් කෙටුම්පත් කරන්නත් හිතාගෙන ඉන්නවා… පසුගිය සතියක දිනපොතට ලියූ ආසනික් ලිපිය චානුක වත්තෙගම මහතාගේ උපකාරයෙන් රාවය පත්‍රයේ පළ වුනා.. ගිය සතියේ එක් කොටසකුත්, මේ සතියේ තවත් කොටසකුත් පළවෙනවා. තවත් ලිපි කිහිපයක් ම ලියන්න අදහසක් තියෙනවා… ඒවත් ලියාගන්නට අවස්ථාවක් මේ සති අන්තයේ උදා වේවි කියලා හිතනවා.කාලෙකින් කතා කරන්න බැරි වුන යාළුවොන්ට කතාකරන්නත් මේ අවස්ථාව යොදාගන්නට පුළුවනි. ලංකාවෙත් බොහොමයක් දෙනා ඉන්නවා කාලෙකින් කතා කරගන්නට බැරි වුන.. මෙහෙයි ලංකාවෙයි කාල පරතරය පැය 10.30 ක් නිසා ඒ අය නිවෙස්වල සිටිනවිට අපි රසායනාගාරයේ නිසා කතාකරන්නට වෙන්නේම නැහැ…

ඉතින් මේ සියල්ල කරගන්නටත් කාලෙකින් ටික දිනක් (දින 2 ක්) ගෙදර ඉන්නටත් අවස්ථාවක් ඉඳලා හිටලා හරි උදා වෙනවා. මේ කුණාටුව ඇමරිකාවේ නැගෙනහිර වෙරළට මෑතකදී හමන දරුණුම කුණාටුව කියලයි වාර්තා වෙන්නේ. අපට ලඟා වන විට උණුසුම් වායුගෝලීය කැළඹිමක් (tropical storm) දක්වා අඩු විය හැකි වුවත්, උතුරු කැරොලිනා වැනි ප්‍රදේශ වලට මෙය තෙවැනි හෝ දෙවැනි වර්ගයේ කුණාටුවක් එනම් සුළඟේ වේගය පැයට සැතපුම් 96 – 130 දක්වා විය හැකි බවට අනතුරු හඟවා තිබෙනවා. මේ නිසා නැගෙනහිර පලාතම එනම් ෆ්ලොරිඩා සිට නිව්යෝක් දක්වා කලාපයම මේ ව්‍යසනයට සූදානම් වෙනවා. මේ නිසා බොහෝ දෙනෙකුට උන්හිටිතැන් අහිමි වේවි, දේපල විනාශ වේවි,   සමහර මුරණ්ඩු අය මේ අනිවාර්ය ඉවත්කිරීමට අවනත් නොවී තම නිවෙස්වලම රැඳී සිටිනවා ලු (උන් සමහරක් දෙනා මිය යාවි – කියන දේ නාහන එවුන් නේ, හිටියත් වැඩක් නෑ) මේ වගේ බොහෝ දේ සිදු වේවි.

පලාතේ සියළුම ආයතන මේ දින කීපය තුළ වසා දමනවා. පාසැල් සියල්ල නැවත දන්වන තුරු වසා තැබෙනවා. විශ්ව විද්‍යාලයත් නැවත දන්වනතුරු වසා තබනවා. කුණාටුව පහව ගියාට පසු සිදු වූ හානිය පරීක්‍ෂා කර බලා නැවත විවෘත කළ හැකි නම් පමණයි ඒ සියළු ආයතන විවෘත කරන්නේ. පළමුව ආරක්‍ෂාව !

ඉතින් සුළි සුළඟින් පසු හෝ හෙට අපි නැවත හමුවේවි….

Advertisements

Posted on අගෝස්තු 26, 2011, in ඇල්කෙමියාගේ දිනපොත. Bookmark the permalink. ප්‍රතිචාර 6.

  1. අනිවාර්ය ඉවත්කිරීමට අයත් වන නිව් යොර්ක් Zone A එකේ මමත් ඉන්නේ. හෙට පහෙන් ඉස්සෙල්ල යන්න වෙලා.

    • මම දැක්කා අරුණිගේ ලිපියේ කොමෙන්ටුවක් දාලා තියෙනවා….
      අපිත් දැන් මේ බලාගෙන ඉන්නේ අයිරීන් එනකල්… හොඳ කහට දාලා ප්ලේන්ටියක් දෙන්න

      මම මේ කල්පනා කරන්නේ මේ දවස් දෙක ගෙදරට වෙලා කොහොම ගත කරන්නද කියලා… ගෙදර ඉඳලා පුරුද්දක් නෑනෙ…..

  2. කොහොම හරි ගෙදර ඉන්න ලැබෙන එකත් මරු නේද? ජරමර අස්සේ හරි ඇලෝ 🙂

  3. කැත්‍රිනා ආවට පස්සේ ඔහේ පත්තර වල සුනාමියේදී ලාංකිකයින්,රජය ක්‍රියා කල ආකාරයට කටයුතු කලානම් අපට (ඇමෙරිකාවට) මේ වගේ වෙන්නේ නැහැ කියලා තිබුනා කියලා මෙහෙ පත්තර වල තිබුනා. 🙂

    ලංකාවෙන් ඩොලර් 25000ක ආධාර මුදලකුත් ඇමෙරිකාවට ලබා දුන්නාලු.

  4. ඔබගේ පසුගිය ලිපිවලට සම්බන්ධ නොවුනේ වැඩ අධිකව යෙදී තිබූ නිසයි. දැන් ඔබට කෙසේද කියා දැන ගැනීමට අරුණී අක්කා ගෙන්ද විමසුවා. කෙසේ හෝ හොඳින් ඇතැයි සිතනවා ලැබුනු ගමන් කෙටි හෝ ලිපියක් දමන්න. යහපතක්ම වේ යැයි පතනවා.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: