Daily Archives: අගෝස්තු 31, 2011

2011 අගෝස්තු 31 : අවුරුදු 11ක් දිග,…… තවමත් ලියන කතාවක්…….


ඉස්සර කාලෙ ඇල්කෙමියා කියලා එක්කෙනෙක් හිටියා. වැඩිය නාහෙට අහන්නෙ නැති කෙනෙක්… කැමති වෙලාවට ගෙදරින් ගිහින් කැමති යාළුවො එක්ක කැමති විදියට රවුම් ගහලා ක්‍රිකට් ගහලා අත පය කඩාගෙන… ඉඳලා හිටලා ගෑණු ළමයෙක් එක්ක එහේ මෙහේ ගිහින් ආදී වශයෙන් හිටිය මේකා ඔන්න ඇල්කෙමිච්චියෙක් එල්ලා ගත්තා…  ඒ කාලෙ තමයි ඇල්කෙමියා ප්‍රේමවන්තයෙක් වුනේ… ඉස්සරත් කවි ලියුවට දිගටම කවි ලියන්න පටන් ගත්තේ ඒ කාලෙ…..ඒ කාලෙ ලියපු කවි සින්දු කොච්චර තිබුණත් මෙහෙමත් හිතුන වෙලාවල් අනන්තයි අප්‍රමාණයි.

අවුරුදු හතක්ම පෙම් කෙළපු මේ ඩබල කාළයාගේ ඇවෑමෙන් ගෙවල් දෙකම එකතු වෙලා  එකලාසයක් කරලා දැම්මා. ඒ කොරලා මාස තුනකින් මේ ඩබල පිටරට පටවන්නත් මේ කට්ටියම ක්‍රියා කළා.. ලංකාවෙ තියන් හිටියොත් ලංකාවත් ඉවරයි කියලා වෙන්න ඇති.

එදා ඉඳන් ඇල්කෙමියාගෙ පිටිපස්සෙන් වලිගෙ වගේම සෙවනැල්ල වගේ හිටියේ මේ ඇල්කෙමිච්චි තමයි…. ඉතින්  අර දුකට සැපට සතුටට සෝකයට ඉන්නවා කියනවා වගේ ඔක්කොටම හිටියේ මේ ඇල්කෙමිච්චි තමයි.. සෑම සාර්ථක මිනිසෙකු පිටිපසම සාර්ථක ගැහැණියක් සිටී කිවුවා වගේ අපි දෙන්නා ඉතිං ජීවිතේ හැම හැලහැප්පීමක්ම විඳ දරාගෙන මේ ගමන ආවේ.. ගිය අවුරුද්දේ දෙන්නගෙ ඔළු දෙක පූර්ණකාලීනව හානි වුනාට පස්සේ (Permanent Head Damage – Ph.D.) තමයි මේ ගමනේ කොමාවක් තියාගත්තේ… අවුරුදු 6 කට ඉස්සෙල්ලා අපේ පැටියා ඉපදුනාට පස්සේ අපේ ජීවිත බොහොම වෙනස් වුනා….. ඉස්සර නං කැමති වෙලාවට ගෙදරින් ගිහින් කැමති වෙලාවට ගෙදර ආපු මට දැන් ඉතින් වලිග දෙකක් එල්ලගෙනයි එළියට බහින්න වෙන්නේ හැම නිතරම. රෑ වෙලා ගෙදර එන්නත් බෑ… නවය වෙනකොට ටෙලිෆෝන් කෝල් දෙක තුනක්වත් ලැබෙනවා ඉන්න කොතැනකට වුනත්…. කිසිම දෙයක් හිතු මනාපෙට පිළියෙල කරගන්න බෑ… ඒ දෙන්නගේ කාලසටහනට මුල් තැන දෙන්න වෙනවා… නැත්තං ඉතිං කණක් ඇහිලා ඉන්නයෑ…. ඒ වගේමයි අපි දෙන්නා ප්‍රශ්න නිරාකරණය කරගන්නෙත් බොහොම සාමකාමීව… ලංකාවෙ පානීය ජලයේ ආසනික් තියෙනවාද නැද්ද, ලසිත් මාලිංග දිගටම ටෙස්ට් ක්‍රිකට් සෙල්ලම් කරනවාද ?, ආදී බැරෑරුම් ප්‍රශ්න නිරාකරණය කරන්න මට බාර දීලා ඇල්කෙමිච්චි අනිත් සෑම ප්‍රශ්නයකම අවසාන විසඳුම දෙනවා… ඒ නිසා අපි දෙන්නා බොහොම සාමකාමීව ප්‍රශ්න නිරාකරණය කරගන්නවා…

ඉස්සර අපි ප්‍රේම කරන කාලෙ යාළුවො ඇහුවාම කවදද බඳින්නේ කියලා, මම කියන්නේ අපි බඳින්නෙ නෑ… බැන්දම ලව් එක අඩු වෙන නිසා නොබැඳට ලව් කර කර ඉන්නවා කියලා… ඒත් අනේ නාථ දෙයියන්ගේ පිහිටෙන් අපේ ප්‍රේමය නම් තවමත් අඩු වෙලා නෑ… ඒ වුනත් මගේ මෝඩ වැඩ වලට බැණුම් අහන එකෙත් සීමාවක් නෑ… මගේ හැටියට මෙහෙම ජීවත් වෙලා ඉන්න එක පුදුමයක්…

ඉස්සර නම් ඉතිං අර සෝමතිලක ජයමහ කියනවා වගේ සුරඟන රූසිරු දුටිමි හැඳින්නෙමි සිත් ලෙස දෙනුවන් බඳුන් පුරා තමයි….. ඒත් දැන් ඒ සුරඟනන් දිහා බලනකොට මා පෙම් කළ මගෙ හදගත් කළණිය මට නුදුරුයි සුරඹුනට වඩා කියලා තමයි කියන්න වෙන්නේ….

හැබැයි යාළුවො එක්ක එකතු වෙලා ඉන්නකොට මෙහෙම කියන්නත් අමතක කරන්නේ නෑ මම.

සමහර වෙලාවට දැන් මම යාළුවො එක්ක එකතු වෙලා ඉන්නකොට මෙහෙමත් කියලා මාරු වෙනවා.

නමුත් මම නම් හැමදාම කියන්න කැමති මෙන්න මෙහෙමයි…. මම දන්නවා ඇල්කෙමිච්චිත් මේ සින්දුවට බොහොම කැමතියි….

ඉතිං මේ කතාව තවත් දිගට ලියැවේවි….. ඊයෙ මගේ ඇමරිකන් පියතුමා (අර මේ ළඟදි බිරිඳ මියගියේ… අන්න එයා) පැතුවේ එයාල ගතකරපු අවුරුදු 51 ටත් වඩා අපට දිගට කතාව කියන්න පුළුවන් වේවා කියලයි… ඉතින් අපි දවසින් දවස – සතියෙන් සතිය එකතු කරමු… හදිසියෙන් යනවට වඩා හෙමින් ගමන ආරක්‍ෂිතයි – දිගුයි….

 මේ කතාව පටන් ගන්න සහ පවත්වාගෙන යන්න උපකාර කරපු බොහෝ දෙනෙක් ඉන්නවා.. ඒ අයටත් බොහොම ස්තුති කරන්න ඕන…. ඉතින් ඔන්න අද මේ ගමනේ තවත් අවුරුද්දක් පටන් ගන්නවා… ලබන අවුරුද්දෙ මේ දවසෙ මේ කතාවෙ තවත් පරිච්ඡේදයක් සම්පූර්ණ වෙලා තියේවි.. ඒක එදාට කියන්නම්…

%d bloggers like this: