Daily Archives: සැප්තැම්බර් 1, 2011

2011 සැප්තැම්බර් 01: ඔබාමාගේ මාමා සහ එස් බී ගේ රියදුරා


ඇත්ත ඇමරිකාව චිත්‍රපටි වලින් ලංකාවේ අය බලන ඇමරිකාවට වඩා තරමක් වෙනස් ය… මිනිස්සුන්ට කන්න බොන්න හෝ වෙනත් මොනවා නැතත් ඇමරිකාවේ එක දෙයක් තවමත් ඇත. ඒ නීතිය තරමක් හෝ හරියට ක්‍රියා කරවීමයි. යම් යම් අඩුපාඩු ඇතත්, බොහෝ අවස්ථාවල ඇමරිකාවේ නීතිය කාටත් පොදුය… මොනිකා බිල් ක්ලින්ටන් අමාරුවේ දමා (හෝ ඒකේ අනිත් පැත්ත සිදුවී) තවමත් යහතින් සිටින්නේත් ඒ නිසාය… සමහර පොලිස් නිලධාරීන් අත්තනෝමතිකව ක්‍රියා කළත්, බොහොමයක් දෙනා නීතියට පිටින් නොයන්නේ ඇමරිකාවේ හිරගෙවල්වල තරම දන්නා නිසාය.. හොලිවුඩයේ නළු නිළියන් සුළු වැරදිවලට හසුවූ පසු සිය දඬුවම් අඩු කරගත්තත්, බොහෝ දෙනා නීතිගරුකව ඉන්නේ ඇමරිකාවේ මිනිසුන්ගේ හැදියාව නිසා නොව නීතියට ඇති බය නිසාය.

ඔබාමාගේ මාමා

නිදහස් ඇමරිකාවේ පළමු කළු ජාතික ජනාධිපති බරක් ඔබාමාගේ නෑදෑයන් සමහරක් වෙසෙන්නේ ඇමරිකාවේය.. එක දිනක් මේ ජනාධිපතිගේ මාමා කෙනෙක් තරමකට පදම් වී වාහනයක් පදවත්දී එක්තරා මංසන්ධියකදී අනෙක් වාහන වලට යාමට ඉඩ නොදී නොනවත්වා තම රථය ධාවනය කිරීම නිසා හැංගී සිටි පොලිස් නිලධාරියෙකු අල්ලා ගත්තේ ලු..  මේ මාමාත් අපේ මාමලා වගේම පොලීසියට කොකා පෙන්වන්නට හිතාගෙන ධවල මන්දිරයට දුරකථතන ඇමතුමක් ඉල්ලා සිටියේ ලු.. පොලීස් නිලධාරියාගේ උද්ධච්ච කමට මේ අසරණ මනුස්සයා හිර කූඩුවේ දැමූ බව ආරංචි වේ. මාමා ධවල මන්දිරයට කතා කළාද නැද්ද කියා ධවල මන්දිරයෙන් සනාථ නොකරන බවත් ප්‍රවෘත්ති වාර්තාවල සඳහන්. කෙසේ වෙතත් මේ මාමා නීති විරෝධීව ඇමරිකාවේ ඉන්නවා දැයි බැලීමට දැන් පොලීසියේ නවත්වාගෙන සිටිනවාලු… මාමා ඇල්ලූ පොලිස් නිලධාරියා තවමත් යහතින් බොස්ටන් හි සේවය කරනවා ලු.. ඔහු ඉරාකයට මාරු කර නොමැති බව ප්‍රවෘත්ති වාර්තාවල සඳහන්.

නිදහස් ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ඇමති තුමාගේ පුත්‍ර රත්නය පිටරට සිට ගුවන් තොටුපලට සැපත් වුනේ ලු. බේබිව ගුවන් තොටුපල පර්යන්තයේ තනිවම තැබිය නොහැකි නිසා එස් බී තුමාගේ ආරක්‍ෂක නිලධාරීන් පිරිසක් ගුවන් තොටුපලට යැවුවේ බේබිව කැඳවාගෙන එන්නලු.. බේබි එන වෙලාව පරක්කු නොවුනද ඇමති තුමාගේ රස්නය ඇඟට වැදුන වාහනය පියාඹවන පොලිස්කාරයා විසින් තම බිරිඳද මෝටර් බයිසිකලයේ නංවාගෙන ගිය විශ්‍රාමලත් ඉංජිනේරුවරයෙක් යටකරගෙන ගියේ ලු… පොලිස්කාරයා මේ බව දැක්කේ වත් නැතිලු.(අඳෝමැයි). කෙසේ හෝ පසුව මේ පොලිස්කාරයා පොලිසියටම බාර වෙලාලු.. අසරණ මනුස්සයා මියගිහින් ලු.. ඔහුගේ බිරිඳටත් අමාරුයිලු…

දැන් ත්‍රස්තවාදීන් කොළඹ බෝම්බ පුපුරවන්නේ නැති නිසා හදිසි නීතියත් ඉවත් කරලාලු. ඒත් අපේ මන්ත්‍රීලා ඇමතිලා ආරක්‍ෂකයින් පිරිවරාගෙන පාරෙ පවනට බඳු වේගයෙන් ඉගිල්ලෙනවාලු.. මේ පිස්සුව නිසා දැනටමත් දෙතුන් දෙනෙක් මිය පරලොව ගිහිල්ලා ලු.. ඒත් අර රියැදුරන්ට නම් කිසි ගානක් නැතිලු…

රටේ නීතිය ක්‍රියාත්මක කරවන්නට ඉන්නේ පොලීසියය. දැන් අපේ රටේ සිටින පොලිස් නිලධාරීන්ගෙන් කී දෙනෙකු POLICE  කියන වචනයේ තේරුම දන්නවා දැයි සිතාගන්නටවත් අපහසුය…

Politeness – ඇත්තේම නැත. මිනිස්සුන්ට කතා කරන්නේ තිරිසනුන්ට මෙනි..

Obedience – තියෙන්නේ ඇමතිවරුන් හෝ මන්ත්‍රීවරුන්ට පමණි… නීතියට Obedience එකක් නැත… අඟුලානේ කට්ටියත් බම්බලපිටියේ කට්ටියත් අසරණයින් මැරුවේ එබැවිනි.

Loyalty – තියෙන්නේද මැති ඇමතිවරුන්ට පමණි.

Intelligence – මොකක් ?

Courageous – අසරණ මිනිසුන්ට පමණක් නීතිය හරිහැටි ක්‍රියා කරවන්න ධෛර්යය තියෙනවා.

Encouraging / Enthusiastic / Eager to help – එහෙම දේවල් අහලා නැතුව ඇති…

නමුත්, සමහර පොලිස් නිලධාරීන් නීතිය අකුරටම ක්‍රියා කරවන අවස්ථා දක්නට ලැබේ, ඒ අයට අපේ ප්‍රණාමය… කෙසේ වුවත් මේ නීතිය අපේ රට කරවන ඇත්තන් විසින් කඩ කිරීමත්, ඔවුනට කිසිදු දඬුවමක් නොලැබීමත් කණගාටුවට කරුණකි. ගෝනවල සුනිල් ලවා විනිශ්චයකාරවරුන්ගේ නිවෙස් වලට ගල් ගැස්සවූයේත්, ඒ ගෝනවල සුනිල්ටම සාම විනිසුරුකමක් ප්‍රදානය කළේත්, තොන්ඩමාන් ඇමති තුමා මහ රෑ පොලීසියක OIC මහත්තයාගේ පුටුවක වාඩි වුනේත්, ආචාර්ය මර්වින් සිල්වා මැතිතුමා පිස්තෝලය ගෙන ප්‍රසිද්ධියේ චන්ඩිකම් පෑවේත්, නිශාන්ත මුතුහෙට්ටිගම මැතිතුමා ජනාධිපතිතුමා විවෘත කළ ගාල්ලේ බස් නැවතුම්පොලේ යකඩ පොලු කැපුවේ – කරාපිටියේ ත්‍රීරෝද රථ ගාලට කඹය කඩා ගත් මී හරකෙකු සේ රථය පැදවූයේත්, මැති ඇමති ආරක්‍ෂක රථ වාහන නිසා කිහිප දෙනෙකු මරු වැළඳ ගත්තේත් තවත් බොහෝ සිදුවීම් සිදු වන්නේත් මේ නීතියට ඇස් නැති නිසා නොව ඇති නිසාය.. අවාසනාව මේ දකින ජනතාවටද ඇස් නොමැති වීමයි… අපේ කට්ටිය මේ අයව ආයෙමත් අපව පාලනය කරන්න දියවන්නාව මැද්දට යවනවා නොඅනුමානය….

රටක් ආර්ථිකව, සමාජයීයව ඉදිරියට යන්නේ හැදියාවක් ඇති විටය. හැදියාව ඇති කරවිය යුතු තැන්වල හැදියාවක් නැති තැන රටේ ජනතාව හැදියාවකින් කටයුතු කරවීම අපහසුය… එය හරියට තාත්තා සිගරැටි බිබී පුතාට එහි ආදීනව කියා දීම වැනි නිෂ්ඵල ක්‍රියාවකි…. තුනෙන් දෙකක වැඩි ඡන්දයක් ඇති ආණ්ඩුවකටත් මේ හැදියාව පාලනය කිරීමට නොහැකි වීමෙන් අදහස් වන්නේ කුමක්දැයි යන්න ඔබටම භාර කරමි…

%d bloggers like this: