2011 සැප්තැම්බර් 01: ඔබාමාගේ මාමා සහ එස් බී ගේ රියදුරා


ඇත්ත ඇමරිකාව චිත්‍රපටි වලින් ලංකාවේ අය බලන ඇමරිකාවට වඩා තරමක් වෙනස් ය… මිනිස්සුන්ට කන්න බොන්න හෝ වෙනත් මොනවා නැතත් ඇමරිකාවේ එක දෙයක් තවමත් ඇත. ඒ නීතිය තරමක් හෝ හරියට ක්‍රියා කරවීමයි. යම් යම් අඩුපාඩු ඇතත්, බොහෝ අවස්ථාවල ඇමරිකාවේ නීතිය කාටත් පොදුය… මොනිකා බිල් ක්ලින්ටන් අමාරුවේ දමා (හෝ ඒකේ අනිත් පැත්ත සිදුවී) තවමත් යහතින් සිටින්නේත් ඒ නිසාය… සමහර පොලිස් නිලධාරීන් අත්තනෝමතිකව ක්‍රියා කළත්, බොහොමයක් දෙනා නීතියට පිටින් නොයන්නේ ඇමරිකාවේ හිරගෙවල්වල තරම දන්නා නිසාය.. හොලිවුඩයේ නළු නිළියන් සුළු වැරදිවලට හසුවූ පසු සිය දඬුවම් අඩු කරගත්තත්, බොහෝ දෙනා නීතිගරුකව ඉන්නේ ඇමරිකාවේ මිනිසුන්ගේ හැදියාව නිසා නොව නීතියට ඇති බය නිසාය.

ඔබාමාගේ මාමා

නිදහස් ඇමරිකාවේ පළමු කළු ජාතික ජනාධිපති බරක් ඔබාමාගේ නෑදෑයන් සමහරක් වෙසෙන්නේ ඇමරිකාවේය.. එක දිනක් මේ ජනාධිපතිගේ මාමා කෙනෙක් තරමකට පදම් වී වාහනයක් පදවත්දී එක්තරා මංසන්ධියකදී අනෙක් වාහන වලට යාමට ඉඩ නොදී නොනවත්වා තම රථය ධාවනය කිරීම නිසා හැංගී සිටි පොලිස් නිලධාරියෙකු අල්ලා ගත්තේ ලු..  මේ මාමාත් අපේ මාමලා වගේම පොලීසියට කොකා පෙන්වන්නට හිතාගෙන ධවල මන්දිරයට දුරකථතන ඇමතුමක් ඉල්ලා සිටියේ ලු.. පොලීස් නිලධාරියාගේ උද්ධච්ච කමට මේ අසරණ මනුස්සයා හිර කූඩුවේ දැමූ බව ආරංචි වේ. මාමා ධවල මන්දිරයට කතා කළාද නැද්ද කියා ධවල මන්දිරයෙන් සනාථ නොකරන බවත් ප්‍රවෘත්ති වාර්තාවල සඳහන්. කෙසේ වෙතත් මේ මාමා නීති විරෝධීව ඇමරිකාවේ ඉන්නවා දැයි බැලීමට දැන් පොලීසියේ නවත්වාගෙන සිටිනවාලු… මාමා ඇල්ලූ පොලිස් නිලධාරියා තවමත් යහතින් බොස්ටන් හි සේවය කරනවා ලු.. ඔහු ඉරාකයට මාරු කර නොමැති බව ප්‍රවෘත්ති වාර්තාවල සඳහන්.

නිදහස් ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ඇමති තුමාගේ පුත්‍ර රත්නය පිටරට සිට ගුවන් තොටුපලට සැපත් වුනේ ලු. බේබිව ගුවන් තොටුපල පර්යන්තයේ තනිවම තැබිය නොහැකි නිසා එස් බී තුමාගේ ආරක්‍ෂක නිලධාරීන් පිරිසක් ගුවන් තොටුපලට යැවුවේ බේබිව කැඳවාගෙන එන්නලු.. බේබි එන වෙලාව පරක්කු නොවුනද ඇමති තුමාගේ රස්නය ඇඟට වැදුන වාහනය පියාඹවන පොලිස්කාරයා විසින් තම බිරිඳද මෝටර් බයිසිකලයේ නංවාගෙන ගිය විශ්‍රාමලත් ඉංජිනේරුවරයෙක් යටකරගෙන ගියේ ලු… පොලිස්කාරයා මේ බව දැක්කේ වත් නැතිලු.(අඳෝමැයි). කෙසේ හෝ පසුව මේ පොලිස්කාරයා පොලිසියටම බාර වෙලාලු.. අසරණ මනුස්සයා මියගිහින් ලු.. ඔහුගේ බිරිඳටත් අමාරුයිලු…

දැන් ත්‍රස්තවාදීන් කොළඹ බෝම්බ පුපුරවන්නේ නැති නිසා හදිසි නීතියත් ඉවත් කරලාලු. ඒත් අපේ මන්ත්‍රීලා ඇමතිලා ආරක්‍ෂකයින් පිරිවරාගෙන පාරෙ පවනට බඳු වේගයෙන් ඉගිල්ලෙනවාලු.. මේ පිස්සුව නිසා දැනටමත් දෙතුන් දෙනෙක් මිය පරලොව ගිහිල්ලා ලු.. ඒත් අර රියැදුරන්ට නම් කිසි ගානක් නැතිලු…

රටේ නීතිය ක්‍රියාත්මක කරවන්නට ඉන්නේ පොලීසියය. දැන් අපේ රටේ සිටින පොලිස් නිලධාරීන්ගෙන් කී දෙනෙකු POLICE  කියන වචනයේ තේරුම දන්නවා දැයි සිතාගන්නටවත් අපහසුය…

Politeness – ඇත්තේම නැත. මිනිස්සුන්ට කතා කරන්නේ තිරිසනුන්ට මෙනි..

Obedience – තියෙන්නේ ඇමතිවරුන් හෝ මන්ත්‍රීවරුන්ට පමණි… නීතියට Obedience එකක් නැත… අඟුලානේ කට්ටියත් බම්බලපිටියේ කට්ටියත් අසරණයින් මැරුවේ එබැවිනි.

Loyalty – තියෙන්නේද මැති ඇමතිවරුන්ට පමණි.

Intelligence – මොකක් ?

Courageous – අසරණ මිනිසුන්ට පමණක් නීතිය හරිහැටි ක්‍රියා කරවන්න ධෛර්යය තියෙනවා.

Encouraging / Enthusiastic / Eager to help – එහෙම දේවල් අහලා නැතුව ඇති…

නමුත්, සමහර පොලිස් නිලධාරීන් නීතිය අකුරටම ක්‍රියා කරවන අවස්ථා දක්නට ලැබේ, ඒ අයට අපේ ප්‍රණාමය… කෙසේ වුවත් මේ නීතිය අපේ රට කරවන ඇත්තන් විසින් කඩ කිරීමත්, ඔවුනට කිසිදු දඬුවමක් නොලැබීමත් කණගාටුවට කරුණකි. ගෝනවල සුනිල් ලවා විනිශ්චයකාරවරුන්ගේ නිවෙස් වලට ගල් ගැස්සවූයේත්, ඒ ගෝනවල සුනිල්ටම සාම විනිසුරුකමක් ප්‍රදානය කළේත්, තොන්ඩමාන් ඇමති තුමා මහ රෑ පොලීසියක OIC මහත්තයාගේ පුටුවක වාඩි වුනේත්, ආචාර්ය මර්වින් සිල්වා මැතිතුමා පිස්තෝලය ගෙන ප්‍රසිද්ධියේ චන්ඩිකම් පෑවේත්, නිශාන්ත මුතුහෙට්ටිගම මැතිතුමා ජනාධිපතිතුමා විවෘත කළ ගාල්ලේ බස් නැවතුම්පොලේ යකඩ පොලු කැපුවේ – කරාපිටියේ ත්‍රීරෝද රථ ගාලට කඹය කඩා ගත් මී හරකෙකු සේ රථය පැදවූයේත්, මැති ඇමති ආරක්‍ෂක රථ වාහන නිසා කිහිප දෙනෙකු මරු වැළඳ ගත්තේත් තවත් බොහෝ සිදුවීම් සිදු වන්නේත් මේ නීතියට ඇස් නැති නිසා නොව ඇති නිසාය.. අවාසනාව මේ දකින ජනතාවටද ඇස් නොමැති වීමයි… අපේ කට්ටිය මේ අයව ආයෙමත් අපව පාලනය කරන්න දියවන්නාව මැද්දට යවනවා නොඅනුමානය….

රටක් ආර්ථිකව, සමාජයීයව ඉදිරියට යන්නේ හැදියාවක් ඇති විටය. හැදියාව ඇති කරවිය යුතු තැන්වල හැදියාවක් නැති තැන රටේ ජනතාව හැදියාවකින් කටයුතු කරවීම අපහසුය… එය හරියට තාත්තා සිගරැටි බිබී පුතාට එහි ආදීනව කියා දීම වැනි නිෂ්ඵල ක්‍රියාවකි…. තුනෙන් දෙකක වැඩි ඡන්දයක් ඇති ආණ්ඩුවකටත් මේ හැදියාව පාලනය කිරීමට නොහැකි වීමෙන් අදහස් වන්නේ කුමක්දැයි යන්න ඔබටම භාර කරමි…

Advertisements

Posted on සැප්තැම්බර් 1, 2011, in ඇල්කෙමියාගේ දිනපොත. Bookmark the permalink. ප්‍රතිචාර 7.

  1. එක ඉන්ජිනේරුවෙක් මැරුනට මොකද? ඒ අඩුව පුරවන්න ඔය හැම අවුරුද්දෙම පිට වෙන්නේ දහස් ගාණක්.
    ඒ වගේද දේශපාලකයන්ගේ පුත්තු.

    ඔයා කියන කථාව සහතික ඇත්ත. දියුණු [ආර්ථික වශයෙන්] රටවල විනය ගොඩක් වෙලාවට රැකෙන්නේ ඒ රටවල නීතිය ගොඩක් තද නිසා සහ පොඩි කාලේ ඉදන්ම ඒ අයට විනය නීතිරීති උගන්වන නිසා. ඒ වගේම ඒ රටවල වැරැදි වලට ලැබෙන දඩුවමුත් හරි සැරයි [මුදල්මය වශයෙන් ගත්තත්]. උදාහරණයක් විදිහට මගේ යාළුවෙක් ලඟදි කෝච්චි ටිකට් එක වැලිඩේට් නොකර [අතපසු වීමකින්] කෝච්චියේ ගිහින් ඩොලර් 150 ක දඩයක් කෑව [රුපියල් 15000ක් පමන]. එයාට ඒ දඩ මුදල සහ සිදු වූ ලැජ්ජාව මතක තියෙනකම් එයා ආයෙත් ඒ වරද ජිවිතේටම කරන එකක් නැහැ. ලයිශන් එකට ඩි මෙරිට් පොයින්ට්ස් එකතු වෙන නිසා එළවන කෙනෙක් වුනත් ඉතාම සැළකිල්ලෙන් තමයි එළවන්නේ.

    ඔයා කිව්ව වගේ නීතිය හැමෝටම පොදුයි. මගේ තාත්තා අම්මා අහවලා අදුනනවා කියල බේරිලා යන්න හම්බවෙන්නේ නැහැ.

    ලන්කාවේ මේ දේවල් කරන්න බැරි ඔයා ලියලා තියෙනවා වගේ නීතිය රකින්න ඕනේම මිනිස්සු ඒක ඇබියුස් කරන නිසා, දූශිත නිළධාරීන් නිසා සහ දෙන දෙයක් කාල වෙන දෙයක් බලන් ඉන්න පක්ශ පාට බදාගෙන එකිනෙකා මරා ගන්න අපේ ජහ මනය නිසා.

    හොඳ ලිපියක්. මහන්සියට ස්තුතියි.

  2. ඇමෙරිකාවේදි ජනාධිපතිගෙ මාමටත් නීතිය ක්‍රියාත්මක උනාට ,ලංකාවේ ප්‍රාදේශීය සභා මන්ත්‍රි කෙන්ක්ගේ අල්ලපු ගෙදර මාමටවත් නීතිය ක්‍රියාත්මක කරන්න අමාරුයි

  3. මේ සිද්ධියට සමාන සිද්ධියක් මට අසන්නට ලැබුනා. ඒ නවසීලන්ත නායිකාවක් සම්බන්ධව. ඇයගේ රියදුරා අධික වේගයෙන් රිය පදවා අසු වුනා. ඇය ඒ වන විට එම රටේත් නායිකාව. කෙසේ හෝ උසාවියේදී රියදුරා මාස හයක සිපිරි ගෙට ගියා. නායිකාවට දැඩි සේ අවවාද කලා උසාවිය විසින් වරදක් දැක දැකත් ඒ පිළිබඳව ක්‍රියා නොකිරීමට. තවත් අවස්ථාවක නවසීලන්ත රජයේ ඇමතිවරයෙක් රාත්‍රී බීමත්ව කලු ජාතික ටැක්සි රියදුරුවරයෙකුට තමන්ගේ ගාස්තුව නොදී හිරිහැර කිරීමට වරද කරු වී දින ගනනාවක් රිමාන්ඩ් බාරයේ සිටීමටත් විශාල දඩයක් ඒ රියදුරාට ගෙවීමටත් සිදු වුනා. මට මේ සිද්ධි දෙකම මතක් වුනා ඔය ලංකාවේ සිද්ධිය නිසා බලන්න අර කට්ටිය ලංකාවේ සිටියානම වෙන දේ…

  4. ‘ මේ ලිපියේ තියෙන දේවල් ගැන මගේ විවේචනයක් නැහැ ලංකාවට වඩා සංවර්ධිත රටවල් වල පොලිසි , මිනිස්සු , දේශපාලනඥයෝ නීති ගරුකයි කියන එකත් ඒ රට වල නීතිය ලංකාවට වඩා බොහොම ගුණයකින් හරියාකාරව ක්‍රියාත්මක වෙනවා කියන එක ගැනත් මම සම්පූර්ණයෙන්ම එකඟයි .ඒ උනත් මේ ලිපිය කියවද්දී මගේ සිහියට ආපු පොඩි පොඩි දේවල ටිකකුත් මට ලියන්න හිතුනා .ඇල්කෙමියා බිල් ක්ලින්ටන්ට ප්‍රණාමය පුදකරලා තිබුනා මොනිකා ලෙවන්ස්කිට නඩුවෙන් පස්සෙ යහතින් ඉන්න දුන්නා කියල .ඒක ඇත්ත .එත් ජනාධිපති තනතුරේ ඉන්න ගමන්ම බයිබලේ අත තියල දිවුරලා , නීති ගරුක විය යුතු පළමු වැනි ඇමෙරිකානු පුරවැසියා බිල් ක්ලින්ටන් උසාවිය ඉස්සරහ බොරු බේගල් ඇද බාලා නිදහස් උනා කියල මුළු ලෝකෙම දන්නවා . බිල් ක්ලින්ටන් නඩුවෙන් පස්සෙ මොනිකට අබමල් රේණුවකින් වත් හිංසාවක් පීඩාවක් නොකලාට බිල් ක්ලින්ටන්ව සමාන කෙරුණු ජෝන් එෆ් කෙනඩිගේ නම තාමත් සී අයි ඒ එකත් එක්කම ගාවලා කටකතා පැතිරෙනවා මැරලින් මොන්රෝ ගේ මරණයත් එක්ක , ඩයනා කුමාරිගේ මරණයට රජපවුල සම්බන්දයි කියනවාට වඩා හුඟක් වැඩියෙන් . මම කොහෙහරි කියවල තියෙනවා හිටපු එංගලන්ත ක්‍රිකට් නායක ඩේවිඩ් ගවර් ඔස්ට්‍රේලියාවේදී අධික වේගයෙන් කාර් ඒක එලවල පොලිසියෙන් නවත්තල පස්සෙ කාර් එකේ ඉන්නේ එංගලන්තේ ක්‍රිකට් නායකයා කියල දැන ගත්තහම සමරු අත්සනක් ලබාගෙන නිරුපද්‍රිතව යන්න දීපු ආකාරය ඩේවිඩ් ගවර් ම ලියල තියෙනවා .මේ හැම දෙයක්ම ලංකාවේ සිද්දවෙන දේවල් එක්ක බලනකොට සුළු සිද්දීන් තමයි . ඇල්කෙමිය උනත් තෝරු මෝරුන්ට යන්න ඇරලා පොඩි හාල්මැස්සෝ අල්ලාගෙන කෑමොර දෙනවාදෝ කියල මට වෙලාවකට හිතෙනවා .ජෙනරාල් ෆොන්සේකාව හිරේට යවපු වෙලාවෙවත් , චන්දන කතරිආරච්චිට තිබුන මිනීමැරීම් චෝදනා ඔක්කොම අවුරුදු 10-15 කට පස්සෙ නීතිපති ඉල්ලලා අස්කරගෙන දඩයක් ගහල එලියට දාපු වෙලාවෙවත් ඇල්කෙමිය වචනයක් කිවුව කියල මට මතක නැහැ .හොලිවුඩ් වල නළු නිලියන්ට විතරක් නෙමෙයි ලංකාවේ නළු නිළියන්ටත් නීතිය ක්‍රියාත්මක කෙරෙනවා .රන්ජන් රාමනායකට විරුද්දව විශ්වාසය කඩකිරීමේ චෝදනාවකට රිමාන්ඩ් කරලා නඩු පවරලා තිබුන !!!! ‘

  5. බොහොමයක් දේට එකඟයි… මේ වගේ සුළු ලිපියකින් ඔය ඔක්කෝම ලියන්න බෑ වගේම මම ලිවුවෙත් මට මතක හිටපු ටිකක් විතරයි..
    චන්දන කත්‍රිආරච්චි ගැන මම මීට පෙර ලියලා තියෙනවා ඒ වගේම මිල්රෝයි ප්‍රනාන්දුගේ බිරිඳ ගැනත් ලියලා තියෙනවා… ඒ හැම දෙයක්ම හැමදාම වගෙ ලියන්න ගියාම බලන අයටත් එපා වෙනවනේ…

    ජනරාල් ගැන මගේ තියෙන්නෙ වෙනම අදහසක්.. ඔහු හිරේ දාපු එක වැරදි තමයි… ඒත් ඔහුගෙත් වැරදි සහ ඔහුව පොළඹවපු අයගෙත් වැරදි නැතුවාම නෙවෙයි… මම ඒ ගැන නම් කතා කරන්න කැමති නැහැ..

  6. ලෝකයේ ඉහළම ප්‍රජාතන්ත්‍රවාදය තියෙන රට ඔබත් මමත් ජීවත් වෙන ඇමරිකාවයි. රටේ විශාලත්වය සහ ජනගහනය සළකා බලන කල, සිදුවන නීති රීති කඩකිරීම් ගනන් ගන්න වත් බැරි තරම්.
    දැන් එස් බී ගේ රියැදුරාට මොනවගේ දඬුවම ලැබේවිද කියාල ඇල්කෙමිය හිතන්නෙ. මම නම් හිතන්නෙ සම්පූර්ණ වරද අර ඉන්ජිනේරුවගේ. මොකද මිනිහ පැන්ෂන් ගියේ. වැඩ කළා නම් ඕක වෙන්නෙ නැහ නේද? ඒකට වරද කරු එයාගෙ තාත්තා. ඔන්න ඔහොමයි ලංකාවෙ තීන්දු.

  7. ‘ඇල්කෙමියා මාව කොන්ඩඥ්ඥ බමුණාව මෙන් හිනස්වා යලි හඬා වැට්ටවීමට සලස්වා ඇත .ජෙනරාල් හිරේ දාපු එක වැරදියි කීම නිසාය මට සතුටක් දැනුනේ .එත් ඊළඟ වාක්‍යයෙන් ඇල්කෙමියා මාව වික්ෂිප්ත කර දමයි . ඒ ” ඒත් ඔහුගෙත් [ජෙනරාල් ගේත් ] වැරදි සහ ඔහුව පොළඹවපු අයගෙත් වැරදි නැතුවාම නෙවෙයි යන්න කීමෙනි ” !!!! මට සැබවින්ම මගේ දැස අදහා ගත නොහැකි වේ !!!! ඇල්කෙමියාත් මාත් මෙහි අදහස් දක්වූ සියලු දෙනාත් එකග වූ පොදු කාරණයක් තිබුණි . එනම් ලංකාවේ දේශපාලඥයන් නීතිය තමන්ගේ අතට ගෙන ක්‍රියා කරන බවයි !!!! ඉතින් එහෙනම් මේ ඇල්කෙමියා කියන්නේ මොකක්ද ???? ජෙනරාල් අද සිරබත් කන්නේ ඔහුගේ වැරදි වලට අමතරව ඔහුව පොලඹවපු අයගේ වැරදි නිසා යන සුප්‍රසිද්ද කියමනමයි !!!! ඔහුව පොලඹවනලද්දේ කුමක් සඳහාද ???? දේශපාලනය කිරීම සදහායි !!!! එනම් ඇල්කෙමියා සිතන ආකාරයට විරුද්ධ පක්ෂවලින් දේශපාලනය නොකලානම් ජෙනරාල් හිරේ නොවැටන බව නොවේද , දේශපාලන පළිගැනීමකට ලක් නොවන බව නොවේද ඇල්කෙමියා කියන්නේ ???? අපි හැමදෙනාම වැරදියි කිවුවේ එවැනි දේවල් නොවේද ???? එහෙනම් එවැනි වැරදිවලට විරුද්ධව ලිපි ලියන ගමන් ඇල්කෙමියා මේ කියන්නේ මොකක්ද ????’

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: