2011 සැප්තැම්බර් 02 : මෙන්න තවත් ආචාර්ය උපාධියක්….


ලංකාවේ බුද්ධිමතුන්ට ලංකාවේ අපි හරියට සලකන්නේ නැත. මේ නිසා සිදු වන පාඩු ගණනාවකි.

  • ඒ බුද්ධිමතුන්ගේ කලකිරීම නිසා උපරිම සේවය නොලැබීම.
  • ඔවුන් හට ලැබිය යුතු ගෞරවය නොලැබී යාම නිසා කළකිරී සිය රාජකාරි පැහැර හැරීම.
  • සිය බුද්ධියට සරිලන වැටුප් නොලැබීම නිසා මන්දෝත්සාහී වීම.
  • නිසි ලෙස නොසැලකීම නිසා රටට සේවය කිරීමට ඇති අකැමැත්ත.

ආදී මෙකී නොකී සෑම දේ සිදු වේ.

අපේ ආචාර්ය මර්වින් සිල්වා මහතා දැන් සිය ගතේ පමණක් නොව මුළු ආසනයේම වෙර යොදා රටට වැඩ කරන්නේ එතුමාගේ උගත්කමට සරිලන ලෙස ආචාර්ය උපාධියක් ලබා දීම නිසාය. අපේ ජනාධිපති ආචාර්ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමාට තෙවන ආචාර්ය උපාධියත් මෑතකදී චීන රජයෙන් ලබා දුන්නේ ඒ මැතිතුමා රටට, ජාතියට ආගමට සහ චීනයට දක්වන ලැදියාව නිසාය. ආචාර්ය ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාට කොළඹ විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධියක් ලබා දුන්නේ ඒ මහතා වසර 30 ක් තිස්සේ ඇදී ගිය යුද්ධයට තිත තැබීම සඳහා ඇප-කැප වී වැඩ කළ නිසාය. ආචාර්ය මහින්ද බාලසූරිය පොලිස්පති තුමා ආචාර්ය උපාධිය ලබා ගත්තේ අපේ රට හොර මැර තක්කඩින්ගෙන් තොර සුචරිත සමාජයක් බවට පත් කළ නිසාය.

ආචාර්ය රාජිත සේනාරත්න මැතිතුමා

මේ ආචාර්ය ගොන්නට තවත් ආචාර්යවරයෙක් එකතු වී තිබීම ශ්‍රී ලංකා වාසී අප අමන්දානන්දයට පත් කරවන්නකි. ලෝකයේ ලොකුම ඇමති මණ්ඩලය ඇති අප ලෝකයේ බුද්ධිමත්ම ඇමති මණ්ඩලය බවට පත් කිරීම සඳහා ගෙන යන මේ ප්‍රයත්නයට කිසිදු ලෙසකින් බාධාවන් නොපැමිණේවායි යන්න අපේ පැතුමයි. පෑලියගොඩ මාළු වෙළඳපල සිය පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් තනා නිමකර ජනතා අයිතියට පැවරීම හේතුවෙන් නව නම්බු නාමයක් ලැබූ ආචාර්ය රාජිත සේනාරත්න මැතිතුමා වෙත අපේ සුබ පැතුම්.

මේ ගොන්නට තවත් එක්කළ යුතු බොහෝ දෙනා ඇත… අපේ රටේ ඇමති මණ්ඩලයට ආචාර්ය උපාධි ප්‍රමාණය වැඩි වන්නට වැඩි වන්නට අපේ රටේ ඇමතිවරුන්ගේ බුද්ධි මහිමය ලොවටම විදහා පෑම කළ හැකිය. මේ සඳහා  නිර්දේශිත නාම මෙසේයි. ලෝකයේ ඇති කොහේ හෝ විශ්ව විද්‍යාලයකින් මේ මන්ත්‍රීවරු සහ ඇමතිවරුන්ටත් ආචාර්ය උපාධියක් පිරිනැමීමට සිත් පහළ වේවා…. !

  • උසස් අධ්‍යාපනය වෙනුවෙන් කළ සේවය උදෙසා –  ආචාර්ය බන්දුල ගුණවර්ධන, ආචාර්ය එස් බී දිසානායක මැතිතුමන්ලා.
  • ජාත්‍යන්තර වෙළඳාම අතැඹුලක් සේ දැන, ලංකාවේ වෙළඳ වර්ධනය  උපරිමයක් දක්වා ගෙනගිය – ආචාර්ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මැතිතුමා.
  • දේශියත්‍වය අගයමින් උපරිම වියදමක් දරා අවම විදුලි ජනනයක් සිදු කිරීමේ ක්‍රමය වටහා ගත්, විදුලිබල ඇමති – ආචාර්ය චම්පික රණවක මැතිතුමා.
  • වැඩිම වියදමින් අඩුම නිවාස ප්‍රමාණයක් තැනීමෙන් ලෝක වාර්තාවක් තැබූ නිවාස හා උපවාස  ඇමති – ආචාර්ය විමලසිරි ගම්ලත් මැතිතුමා.
  • වැඩිම මැතිවරණ ගණනාවක් පරාද වී තවමත් පක්‍ෂනායක හා විපක්‍ෂ නායක යන තනතුරු දෙකම එකවර හොබවන ලෝකයේ එකම පුද්ගලයා වන – ආචාර්ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා.
  • පීඩිත පන්තිය සඳහාම පෙනී සිටින වෙනත් කිසිදු අරමුණක් නොමැති එකම මන්ත්‍රීවරයා ලෙස – ආචාර්ය අනුර කුමාර දිසානායක මැතිතුමා.
  • තම බුද්ධි මහිමය මැනවින් ප්‍රදර්ශනය කරමින් කාන්තාවන්ට අතවර සිදුවීම සහ මානව සංහතියේ ආර්ථික වර්ධනය පිළිබඳ සම්බන්ධය ලොවට හඳුන්වාදුන් එමෙන්ම මත්ද්‍රව්‍ය වෙළඳාම් කරන ඇමතිවරු හඳුනාගැනීමේ යන්ත්‍රය ලොවට බිහි කළ අපේ අතිගරු අගමැති ආචාර්ය දි. මු. ජයරත්න මැතිතුමා.
  • ඩෙංගු රෝගයේ මූල බීජය හඳුනාගෙන බීටී අයි වැනි කිසිදු කමකට නැති හානිකර බැක්ටීරියාවක් පරිසරයට මුදා හැරීම වලකන සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිළධාරීන් සුරකිමින් ඔවුන්ට තවමත් බැන වදින, ලංකාවට බෙහෙත් ගෙන්වීමේ නව ක්‍රමවේදයක් හඳුන්වා දුන් සෞඛ්‍ය ඇමති ආචාර්ය මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා
  • සෞඛ්‍ය සේවය ලංකාවේ ඉහලම තලයට ගෙනා හිටපු සෞඛ්‍ය ඇමති ආචාර්ය ඇ.නිමල් සිරිපාල මැතිතුමා.
  • සිය වර්ගයාගේ උන්නතිය කෙරෙහි කිසිදු පැකිලීමකින් තොරව කටයුතු කරන පශු සම්පත් ඇමති ආචාර්ය ආරුමුගම් තොන්ඩමාන් මැතිතුමා
  • ඉන්ධන පිරිමැසීමට නව ක්‍රමයක් සොයාගත් ඉන්දන ජාති (අල බතල නොවේ) සම්බන්ධ ඇමති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා.
  • තාක්‍ෂණය සහ පර්යේෂණයන් හි කෙළ පැමිණි ආචාර්ය පවිත්‍රා වන්නිආරච්චි මැතිණිය
  • මගී ප්‍රවාහනය කාර්යක්‍ෂම කරමින් මගීන්ට ලෝකයේ නවතම සහ පරිපූර්ණම සේවාව සැපයීම නිසා ප්‍රවාහන ඇමති ආචාර්ය කුමාර වෙල්ගම මැතිතුමා.

මෙයට අමතරව දැනටත් දියවන්නාවේ සිටින ආචාර්ය රජීව විජේසිංහ, ආචාර්ය හර්ෂ ද සිල්වා, ආචාර්ය මර්වින් සිල්වා, ආචාර්ය ජී ඇල්පීරිස්, ආචාර්ය කෙළියනේද රඹුක්වැල්ල (මම හිතන්නෙ එයත් ආචාර්ය තමයි) ආදී මෙකී නොකී ආචාර්ය වරුන් ඇතුළුව අපේ පාර්ලිමේන්තුව සහ ඇමති මණ්ඩලය ලෝකයේ බුද්ධිමත්ම ඇමති මණ්ඩලය කිරීමට අපේ ජනාධිපති ආචාර්ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමාට ධෛර්යය ශක්තිය තව තවත් ලැබේවා… යි ඉත සිතින් ප්‍රාර්ථනා කරමු…

ආචාර්ය මහේන්‍ද්‍ර සිං දෝණි මැතිතුමා

ප.ලි:

එංගලන්තෙ ගහපු ටෙස්ට් මැච් හතර පරාද වුන ගමන්ම එංගලන්තෙන් ආචාර්ය උපාධියක් ලබපු ඉන්දීය කණ්ඩායමේ නායක ආචාර්ය මහේන්‍ද්‍ර සිං දෝණි මැතිතුමාටත් අපේ සුභ පැතුම්…..

තවත් ප.ලි.

ඔබාමාට ඉස්සරහට කරන්න තියෙන වැඩ ගැන හිතලා නොබෙල් සාම ත්‍යාගය ලැබුණ එකේ මෙහෙව් ආචාර්ය උපාධි කජ්ජක් ද බොලං…

About Alchemist

ආචාර්ය පියල් ආරියනන්ද, ජීව අකාබනික රසායන විද්‍යාව අංශයෙන් ඇමරිකාවේ ඩෙලවෙයා විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා වසර කිහිපයක් එහිම විද්‍යා පර්යේෂකයෙකු ලෙස සේවය කර, ජර්මනියේ BASF රසායන ආයතනයෙහි රසායනික උත්ප්‍රේරක සම්බන්ධයෙන් පර්යේෂණ කළ විද්‍යාඥයෙකි. හරිතාගාර ආචරණයට ප්‍රධාන දායකත්‍වයක් දක්වන කාබන් ඩයොක්සයිඩ් වායුව රසායනික සංයෝගවලට පරිවර්තනය කළහැකි රසායනික පර්යේෂණවලට ඉතා ඉහළ දායකත්‍වයක් දී ඇත. ලංකාවට පැමිණි පසු මයිඩාස් සේෆ්ටි ආයතනයෙහි පර්යේෂණ ප්‍රධානී වශයෙන් ද කටයුතු කර, දැනට MAS Holdings අනුබද්ධ Bodyline ආයතනයෙහි නවෝත්පාදන ප්‍රධානී වශයෙන් කටයුතු කරයි. රැකියාවට අමතරව ඔහු විද්‍යාත්මක Blog අඩවියක් ද, රිවිර -රිවිනෙත කලාපයට සතිපතා ලිපි පළකරන විද්‍යා ලේඛකයෙකි. මෙයට අමතරව ඔහු නවෝත්පාදන සහ නිර්මාණශීලීත්‍වය පිළිබඳව දේශන සහ වැඩමුළු ද පවත්වයි. Dr. Piyal Ariyananda was schooled at Mahinda College, Galle and obtained his first degree at the Institute of Chemistry, Ceylon. He excelled the studies being the Batch top in the First year and overall Batch second in the final year exams. After two years of work as a chemist at the Unilever Sri Lanka, Dr. Piyal received a scholarship to pursue his Masters Degree at the university of Louisiana, Monroe where he became the most outstanding Graduate student of the Department of Chemistry in 2003 at his graduation. Dr. Piyal did his Ph.D at University of Delaware, with another scholarship to study his Ph.D in Chemistry, where he studied the conversion of Carbon Dioxide to useful chemical compounds. After graduation with a Ph.D he continued the research at the same university in Energy generation through Carbon Dioxide conversion for two years. Dr. Piyal was offered a scientist position at the Catalytic Research Lab at BASF – Germany and prior to return to Sri Lanka, He worked on converting Carbon Dioxide to Superabsorbant materials, which are used in Diapers if simply explained. Prior to the current assignment, Dr. Piyal headed the R&D team at Midas Safety, a safety and sports glove manufacturing organization located in the Export processing zones in Sri Lanka. His team introduced several new products and technologies into the glove industry, which includes a recent international patent on a new method of making a special type of a coating. His team won the most outstanding innovation team Gold award, in the 2015 National Chamber of Exporters’ award Ceremony. Dr. Piyal is currently heading the Bodyline Innovation team in General Manager capacity. Bodyline is one of the largest business units in MAS holdings with over 15000 employees. He uses the latest innovation methods in the world to innovate the products, and new business models to cater the latest trends in apparel market. Apart from his professional work, He is a science communicator and he writes a special article in Sunday Rivira – Rivinetha, and a science fiction to the same paper. He is also a trainer of Science teachers working with the department of education, and the secretary of the Royal Society of Chemistry, Sri Lanka Section.

Posted on සැප්තැම්බර් 2, 2011, in ඇල්කෙමියාගේ දිනපොත. Bookmark the permalink. ප්‍රතිචාර 11.

  1. හික් හික්!! ආචාර්ය උපාධියටත් ගිය කලක්!!! 😀

    කැමතියි

  2. දැන් බලා ගෙන ගියාම විශ්ව විද්‍යාල වලින් වැඩක් නැහැනෙ. ඕව වහලම දාන්නයි තියෙන්නෙ.

    කැමතියි

    • ඕකනෙ ජේ ආර් කළේ…. සාහිත්‍යය කන්නද කියලා ඇහුවේ…
      මේ කාලෙ උන් ඉගෙන ගන්න ඕන නෑ…
      පුංචි කාලෙම දෙරණ ළමා ස්ටාර් හරි ඔය මොකක් හරි වැඩසටහනකට පුරුදු කරලා ඉස්ටාර් කෙනෙක් කළා නම් ඉවරයි…
      ඉගෙන ගත්ත උන්ට කවදද හරි ගියේ. ?
      අනේ පුතේ උඹත් අට පාස් වෙලා දේශපාලනය කළා නම් අපේ පරම්පරාවත් ගොඩ කියලා තාත්තා දවසක් මට කිව්වා… බොහොම හිතේ අමාරුවෙන්….

      කැමතියි

  3. මටත් එකක් ලැබුණා, නිකං වැරදීමකින් වගේ!
    කිසිම තීසිස් එකක් සබ්මිට් නොකරම.

    කැමතියි

  4. කිව්වත් වගේ පෝස්ට් එක මල් හතයි . . ..

    ෆේස් බුක් එකේයි ගූගල් බස් එකේයි ශෙයා කලාට කමක් නැතෙයි?

    කැමතියි

  5. //වෛද්‍ය රාජිත සේනාරත්න මහතා දේශපාලන ක්ෂේත්‍රයේ දක්වන ලද විචක්ෂණශීලභාවය සමඟ දූරදර්ශීභාවය මෙන් ම එතුමා සතු පිරිපුන් න්‍යාත්මක දැනුම මෙම ආචාර්ය උපාධිය පිරිනැමීමට හේතු වී තිබේ.//
    ඇල්කෙමියගෙ ඉරිසියාව…………

    කැමතියි

  6. ඇයි බොලේ අමතක උනැයි කෙල්ල කාලේ කොට ගවුං ඇඳං මල් ගස් වටේ දුවා නාකි වූ පසු දියවන්නාවට වී තව තව විගඩං කරමින් දොරමඬලාවේ පාරට්‍ටු කතා කියනා ආචාරිය මාලනී ෆොන්සේකා.

    බ්ලොග් කලාවට මෙහෙවර කරනා එවුන්ට කවදා දෙයිද ආචාරිය පට්ටම්…..

    කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න