Daily Archives: සැප්තැම්බර් 17, 2011

ලිංගිකත්‍වය පිළිබඳ විවෘතව සාකච්ඡා කිරීමට අප සූදානම් ද ?


මේ ලිපිය ලියලා සෑහෙන දවසක් වුනත්, සම්පූර්ණ කරගන්න ටික කලක් ගතවුන නිසා පළ කරන්න බැරි වුනා.

මේක බොහොම බැරෑරුම් මාතෘකාවක්, සීමාවේ පිහිටා ලිවීම හරිම අමාරු කටයුත්තක්, එසේම මේ සටහන් ප්‍රසිද්ධ කරන සිංහල සින්ඩි වල සීමා වලටත් අදාලව ලිවිය යුතු නිසා බොහොම පරිස්සමින් තමයි ලිවිය යුත්තේ…   ලංකාවෙත් මේ කතා නීතියෙන්ම තහනම් නේ…. ඒ වගේමයි, මේ ලිපිය ඔබට කියවන්න අනවශ්‍යයි කියලා හැඟෙනවා නම් දැන්ම පිටවන්න…. කියවලා බලලා මැසිවිලි නඟනවාට වඩා එය හොඳයි. ප්‍රතිචාර දැක්වීමේදී තමන්ගේ සීමාවේ සිට ප්‍රතිචාර දක්වන්න…. අපි වැදගත් මිනිස්සු ලෙස මෙය සාකච්ඡා කරමු…..

අවවාද:

  1. වැඩිහිටියන්ටම පමණක් නොවේ.
  2. උඩින් පල්ලෙන් කියවන්න එපා – හිතලා බලන්න.
  3. චූන් වෙන්න දෙයක් මෙහි නැත – එසේ සිතුවා නම් දැන්ම පිටවන්න.

ලිංගික චර්යාව ඒක සෛලිකයාගේ පටන් පරිණාමයේ ඉහළම හිණිපෙත්තේ සිටින මානවයා දක්වා සියළුම සත්ත්‍වයින්ට පොදු වූ ක්‍රියාදාමයක්. ඒක සෛලිකයා සහ නොදියුණු සතුන් සිය වර්ගයා බෝ කිරීමේ අරමුණින් ලිංගිකව හැසිරුණත් මිනිසා සහ ඩොල්ෆින් වැනි මනසින් උසස් සතුන් ලිංගිකව හැසිරෙන්නේ වර්ගයා බෝ කිරීමට පමණක්ම නොවෙයි: වැරදීමක් වුනොත් ඇරෙන්න. ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත අනුව දිනකට මිලියන සියයක ලිංගික හැසිරීම් ලොව පුරා සිදු වනවා. ඇමරිකානුවන් මිලියන හතලිහක් ලිංගිකව සක්‍රීය වන අතර ඇමරිකානු වැඩිහිටි ජනගහණයෙන් 52% ක් සිය ලිංගික සම්බන්ධතා පිළිබඳ අසතුටෙනුයි පසු වන්නේ. යුරෝපයේ හැර වෙනත් බොහෝ රටවල මේ දත්ත දක්නට නොලැබෙන්නේ ඒ රටවල් තවමත් ලිංගිකත්‍වය යන්න විවෘතව කතා කරන මාතෘකාවක් නොවීම නිසා. ලෝකයේ සියයට 25 – 35 ත් අතර සබඳතාවල මූලික හරය වී ඇත්තේ ලිංගික සබඳතා. එය නැතිවූ කළ විවාහය හෝ ප්‍රේම සම්බන්ධයට තිත තැබෙනවා. ආසියානු පවුල් සංස්ථාව ලිංගිකත්‍වයට වඩා පවුල් සබඳතාවයට මුල් තැන දෙනවා. එය බොහෝ විට සංස්කෘතික බැඳීම් සහ ආගම අනුව තීරණය වන්නක්. සමහර ආගම් බහු භාර්යා විවාහ වලට පවා අවසර දෙනවා.

බොහොමයක් ආසියාතික සමාජවල ලිංගිකත්‍වය යනු විවෘත සංවාදයකට සුදුස්සක් නොවෙයි. අවම වශයෙන් අඹු-සැමි දෙදෙනාවත් මේ ගැන විවෘතව කතා කෙරෙන්නේ නැති නිසා බොහෝ ප්‍රශ්න ඇති වෙනවා.  බොහෝ දෙනා වැරදි මතිමතාන්තර, විකෘති ආකල්ප ආදියෙන් ඔළුගෙඩි පුරවාගෙන සිටිනවා පමණක් නොවෙයි ඒවා නිවැරදි කරගැනීමට වත් උත්සුක වන්නේ නැහැ. උදාහරණයක් වශයෙන් අප්‍රිකානු සමාජයේ ඇති විකෘති මතයක් නම් ඒඩ්ස් වැළඳුන කෙනෙකු කන්‍යාවක් හා එක් වුවහොත් ඒඩ්ස් සුව වන බව. මෙයින් අසරණ කුඩා ගැහැණු දරුවන් දූෂණය වනවා පමණක් නොවෙයි – ඔවුන්ටද එය වැළඳෙනවා.

පරිඝණක යුගය පැමිණෙන්නට පෙර බොහෝ දේ පොත-පතට සීමා වුනත්, පරිඝණක සහ අන්තර්ජාලය මේ ලිංගික දැනුම පුපුරවා යන වේගයකින් බෙදා හරින්න පටන් ගත්තා.  බොහෝ පිරිමින් ලිංගික වෙබ් අඩවි පරිහරණය කළත්, මෑතක් වනතුරුම කාන්තාවන් ලිංගික වෙබ් අඩවි පරිහරණය තරමක් සීමා වී තිබුණේ සමාජයීය බැමි, සීමා ආදිය තවමත් කාන්තාව වටකොට තිබෙන නිසා වෙන්නට ඇති. නමුත්, CNN වෙබ් අඩවියේ තිබුණ වාර්තාවකට අනුව පිරිමින් හා සම සමව ගැහැණුන් ද අන්තර්ජාලයේ Porn නරඹන බව දැක්වෙනවා…. මෙය එක්තරා අන්දමකට නව ප්‍රවණතාවයක් මෙන්ම කාන්තාව සිය ස්වාධිනත්‍වය කරා යන ගමනේ වැදගත් සන්ධිස්ථානයක් වන්නටත් ඉඩ තිබෙනවා. මේ වාර්තාවට අනුව කාන්තාවන් ලිංගික දර්ශන නරඹන්නට හේතු කිහිපයක් තිබෙනවා.

  • බොහෝ තරුණ යුවල ලිංගික දර්ශන දෙදෙනාම එක්ව නැරඹිම. මෙහිදී කාන්තාව විසින් කුමක් නරඹනවාද යන්න තෝරා ගැනීමට ප්‍රමුඛත්‍වය දෙයි..
  • තනිකඩ කාන්තාවන් සිය සන්තර්පනය උදෙසා සහ තමන් විසින් තමන්ගේ ලිංගිකත්‍වය අවදි කරගැනීම උදෙසා.
  • යම් යම් අළුත් දේ ඉගෙන ගැනීම සඳහා සහ විවිධාකාර අළුත් ක්‍රම ආදිය ඉගෙනීමට.
  • සාමාන්‍ය කුතුහලය සංසිඳුවාගැනීමට (සමහර දෑ අසා දැනගැනීමට නොහැකියි)
  • බොහෝ කාන්තාවන් දැන් දැන් ලිංගිකත්‍වය පිළිබඳ කුලෑටි ගතියක් නොදක්වන නිසා ඒ පිළිබඳ විවෘතව කතා කිරීමේදී අවශ්‍ය කරුණු ආදිය දැනගැනීම සඳහා.

එනම් කාන්තාවද ලිංගික දසුන් නැරඹීම කරන්නේ පොදුවේ පිරිමින් විසින් නරඹනු ලබන හේතු සඳහාම වේ.

“Men are like light switches – just flip them on and they’re ready to go. Women are like irons – plug them in and let them warm up.”

කාන්තා ලිංගිකත්‍වය සහ පිරිමි ලිංගිකත්‍වය යනු එකිනෙකට වෙනස් පරාස දෙකක පැතිර ඇති විෂයයන් දෙකකි. පිරිමි ස්වභාවිකවම ඉතා ඉක්මනින් ලිංගිකව උත්තේජනය වේ. ඔවුනට රූපයක්, ශබ්ධයක්, සුවඳක්, ස්පර්ශයක්, හෝ සුළු ආලවන්ත කතා බහක්, උත්තේජනය සඳහා ප්‍රමාණවත් වන අතර එය බොහෝවිට ලිංගික සම්බන්ධතාවයකින් හෝ අවම වශයෙන් ස්වයංවින්දනයෙන් හෝ නිම වේ. සරළව පැවසුවොත්, පිරිමි ලිංගික පරිපථ ඉක්මනින් සම්පූර්ණ වන අතර සුළු උත්තේජනයකින් එය ආරම්භ වේ. නමුත් කාන්තා ලිංගිකත්‍වය මෙයට වඩා සංකීර්ණ බව විද්‍යාඥයින් හා වෛද්‍යවරුන්ගේ මතයයි. කාන්තාවන් ද ඉහත කී කාරණා මගින් ලිංගිකව උත්තේජනය වුවද, ඔවුනට ලිංගික සම්බන්ධතාවයකින් හෝ සුරාන්තයකින් ඒ උත්තේජනය අවසන් කිරීමේ අවශ්‍යතාවයක් බොහෝ දුරට පැණ නගින්නේ නැත. එයට බොහෝවිට හේතු වන්නේ ඔවුන් අවසාන ප්‍රතිඵලය කරා ලඟා විමට බොහෝ වේලාවක් ගතවීම සහ බොහොමයක් කාන්තාවන් විවිධ හේතූන් මත එයින් වැලකී සිටීම නිසායි. (එය සමාජයීය සහ සංස්කෘතික බැඳීම් වලින් සීමා වී ඇත). අප බොහෝ දෙනා විවිධාකාර ආකල්ප දැරුවත්, ලිංගිකත්‍වය වින්දනයට කෙතරම් වලිකෑවත්, පිරිමි සුරාන්තයක් පවතින්නේ තත්පර 6ක් බවත් ගැහැණියක් තත්පර 20 ක් පුරාවට එම හැඟීම විඳින බවත් දන්නේ කීයෙන් කී දෙනාද ?

සුරාන්තය පිළිබඳ ඔබ දන්නේ කෙතරම් ස්වල්පයක් ද යන්න දැනගන්න මෙන්න මේ ප්‍රශ්න 10 ට උත්තර දීල බලන්න.

පරම්පරා ගණනක් පුරාවට කාන්තාවන් ලිංගික දසුන් නැරඹීම නොකළයුත්තක් බවට හැඟීමක් පළවී තිබුණි. ඒ සඳහා කාන්තාවන් යොදා ගැනීම කාන්තා පරපුරටම කරන නින්දාවක් බවත්, කාන්තාවන්ගේ ලිංගික දසුන් කාන්තාවන් විසින් නැරඹීම කාන්තාවන් අවමානයට ලක් කිරීමක් බවත් මතයක් වී තිබුණි. නමුත් දැන් දැන් සමලිංගික විවාහ, සහ සමලිංගිකත්‍වය විවෘතව සංවාදයට බඳුන් වන දෙයක් නිසාම කාන්තාවන් අතර ඒ මතය කෙමෙන් කෙමෙන් බැහැරව යමින් පවතින දෙයක්. ලංකාවේ සමලිංගිකත්‍වයට බාධක තිබුණත්, ලෝකයේ බොහෝ රටවල ඊට පැවති සීමා ලිහිල් වීමෙන් ලිංගිකත්‍වය නිසා පීඩා විඳි බොහෝ දෙනෙකුට සහනය ලැබී තිබෙනවා. එසේම  මෑතක් වනතුරු ලිංගික දැනුම බොහෝ විට ඉලක්ක වී තිබුණේ පිරිමියා උදෙසා පමණක් වීම නිසා කාන්තාවට විවෘතව ලිංගික දැනුම පරිහරණයට හේතුවක්, අවස්ථාවක් නොලැබී ගොස් තිබුණා. එසේම පවුල් සම්බන්ධතාවයකදී පවා පිරිමියා ලිංගිකව සියල්ල දත් පුද්ගලයෙක් සේ හැසිරීම නිසා කාන්තාවට ඒ පිළිබඳ සිය අදහස් ප්‍රකාශ කිරීමේ අවස්ථාව අහිමි වී ගොස් තිබුණා. නමුත් දැන් දැන් පවුල් සංස්ථාව තුළ ද අඹු සැමියන් අතර විවෘත භාවයෙන් යුක්තව අදහස් හුවමාරු වීම නිසා කාන්තාවට ද සිය ලිංගික අභිමතාර්ථයන් සහ ආසාවන් පිළිබඳ අදහස් හුවමාරු කර ගැනීමේ අවස්ථාව උදා වී තිබෙනවා.

නමුත් ආසියාතික රටවල මේ තත්ත්‍වය බොහෝ වෙනස්. ආසියාතික කාන්තාව (සහ පිරිමියා) තවමත් සංස්කෘතික යදම් වලින් බැඳී ඇති දෙදෙනෙක්. බොහෝ විට නිවසේ අඹු සැමි දෙදෙනාටම කියා වෙලාවක්, ස්ථානයක් වෙන්ව නොතිබීම, දරුවන් කිහිප දෙනෙකු සිටීම නිසා කාර්යබහුල වීම, නිවසේ බොහෝ විට අඹු සැමියන්ට අමතරව ඔවුන්ගේ දෙමාපියන්, නෑදෑයන් විසීම ආදී කරුණු නිසා ආසියාතික අඹු සැමියන් තවමත් ලිංගිකත්‍වය පිළිබඳව බොහෝ දුරට සංවෘතයි. අවම වශයෙන් සුරාන්තයේදී කාන්තාවට ඇතිවන ආවේගයන් ශබ්ධ නගා පිට කිරීමටවත් ලංකාවේ ඉඩක් නැති නිසා ඔවුන් නිහඬවම එය විඳිනවා. දෙමාපියන් දරුවන් හා කිසිදු අන්දමින් ලිංගිකත්‍වය පිළිබඳ සංවාදයක නිරත නොවීම නිසා බොහෝවිට දරුවන් සිය කුතුහලය සංසිඳුවාගන්නේ මිතුරන් හෝ දැන් නම් අන්තර්ජාලය මගින්. අන්තර්ජාලයේ ඇති විවිධාකාර තොරතුරු දරුවාට ලබා දෙන්නේ විකෘති තොරතුරුයි. බොහෝවිට දරුවන් ලිංගිකත්‍වය පිළිබඳ දෙමාපියන් සමඟ සංවාදයකට පැමිණෙන්නේ බොහෝ දේ නැවත ගත හැකි තත්ත්‍වයෙන් ඔබ්බට ගිය පසුවයි. මෙතරම් විවෘතභාවයක් ඇති ඇමරිකාවේද මේ තත්ත්‍වය මෙසේමයි. බොහෝ යොවුන් දියණිවරුන් දෙමාපියන් සමඟ ඒ පිළිබඳ සංවාදයකට එළැඹෙන්නේ ඔවුන් ගැබ් ගත් පසුවයි..එවිට පරක්කු වැඩියි. මේ තත්ත්‍වය සමනය කිරීමට විවිධ සංවිධාන, ලිංගික අධ්‍යාපන සම්මන්ත්‍රණ ආදිය පැවැත්වුවත්, තත්ත්‍වයේ වැඩි වෙනසක් දක්නට නැහැ.

එසේම ලංකාවේ ඇති සමාජයීය බැමි නිසා ලිංගික අසහනය තරමක් ඉහළයි. බටහිර රටවල කාන්තාවන් ශරීරය තරමක් නිරාවරණය වන ඇඳුමක් ඇන්දාට කිසිවිටෙක ඇනුම්පද ඇසීමට හෝ අනවශ්‍ය ලෙස බැලීම් හෝ ස්පර්ශකිරීම් වලට භාජනය වන්නේ නැහැ. එය බොහෝ දුරට නීති මගින්ම සීමා වී තිබෙනවා. එසේම ඒ නීති නියමිත පරිදි ක්‍රියාවට ද නැගෙනවා. නමුත් දකුණු ආසියාතික  රටවල මේ තත්ත්‍වය වෙනස්, එසේම ඒ සම්බන්ධ නීති ද හරිහැටි ක්‍රියාත්මක වන්නේ නැහැ. කොටින්ම පාර අයිනේ ඇති දැන්වීම් පුවරු වලින්ද ශරීරය නිරාවරණය වන සේ දක්වා ඇති කාන්තා රූප ඉවත් කිරීමෙන් පෙනෙන්නේ අප ජීවත් වන සංස්කෘතික ආගාධය පිළිබඳවයි. කුඩා දරුවන් අනවශ්‍ය ලෙස පරිහරණය කරන නිසා අන්තර්ජාල වෙබ් අඩවි සීමා කිරීම වැනි වැදගත්, කාලෝචිත දෑ සිදු වුවද, ලංකාවේ සංස්කෘතික පොලීසියට බොහෝ දේ ඉගෙන ගැනීමට ඇත. මා වරක් ප්‍රකාශ කළාක් මෙන්, ලංකාවේ මාධ්‍ය භාවිතය තවමත් නිදැල්ලේ- අයාලේ යාමට ඉඩ තැබීම සහ රූපවහිනී වැඩසටහන් වර්ගීකරණය නොකිරීම වැනි දේ නිසා මේ දැන්වීම් පුවරු වලින් සිදුවන හානියට වඩා හානියක් දරුවන්ට සිදු වේ. සිප වැළඳ ගැනීම් මත්පැන් පානය වැනි දේ රූපවාහිනී වැඩසටහන් වලින් ඉවත් කළත්, පවුල් අවුල්, ප්‍රචණ්ඩත්‍වය වැනි දේ එළිපිටම පෙන්වීම දරුවනට හානි කර දෙයක්, එසේම ටෙලිනාට්‍ය වලින් පෙන්වන වැඩිහරියක් පවුල් අවුල් වීම නිසාම බොහොමයක් දෙනාට අනියම් සම්බන්ධතාවයක් හෝ විරසක වීම් දැන් ලොකු දෙයක් නොවන තත්ත්‍වයට පත් වෙලා. මෑතදී මගේ මිතුරියක් කීවේ බොහෝ කාර්යාලවල සේවකයන් අනියම් සම්බන්ධතාවලට පැටලීම් ප්‍රවණතාවය වැඩි වී ඇති බවයි. මේ සඳහා හේතු කිහිපයක් තිබිය හැකියි.

  1. සිය නිවසේ ඇති ව්‍යාකූල තත්ත්‍වයන්
  2. බිරියගේ නොසලකා හැරීම්
  3. පිරිමියාගේ වලත්තකම
  4. පිරිමියා නොසලකා හැරීම
  5. සිය බිරිඳට/සිවාමියාට වඩා අනියම් පුරුෂයා/අනියම් ස්වාමියා ලෙන්ගතුකමක් දැක්වීම

ඇතුළු මෙකී නොකී සියළුම දෑ… මෙහිදී වඩාත් වැදගත් වන්නේ බිරිඳගේ සහ ස්වාමියාගේ අන්‍යොන්‍ය නොසැලකිළිමත්කමයි. බොහෝ විට කාන්තාව විවාහයට පෙර සිය සිරුර ගැන සැලකිලිමත් වූවාට. විවාහයෙන් පසු හෝ දරුවන් ලැබූ පසු සිය සිරුරේ හැඩරුව නිරෝගීබව කෙරෙහි දක්වන්නේ අඩු සැලකිල්ලකි. (හුචක්කුව වීඩියෝව කොහෙන් හරි හොයාගෙන බලන්න) පිරිමියා නම් තම සිරුර පිළිබඳ දක්වන්නේ ගැහැණියටත් වඩා අඩු සැලකිල්ලක්. බොහොමයක් දෙනා වයස 30 පසු කරනවිටම උදරය ඉදිරියට නෙරා එන්නට පටන් ගන්නවා. කෙතරම් අවස්ථා තිබුණත් ව්‍යායාමයක් ගෙදර වැඩ පල මහන්සි වී කිරීමක් වැනි දේ සිදු වන්නේ බොහොම කලාතුරකින්. සමහරුන්ට ඒ සියල්ල මතක් වන්නේ පළමු Heart attack එක ආවට පසුවයි. එසේමයි ආහාර පාලනය අතිනුත් අපපේ ආසියාතික පවුල් බොහොමයක් සිටින්නේ පිටුපසින්. ගුණාත්මක ආහාර සහ නිසි ව්‍යායාම ශරීර සෞඛ්‍යයට පමණක් නොවෙයි ලිංගික සෞඛ්‍යයටත් වැදගත් බව බොහෝ දෙනා අමතක කරලා. නිසි ලිංගික සම්බන්ධතාවල වාසි මෙතැනින් කියවන්න. මෙතැනත් තියෙන්නේ එහි වැදගත් කම….

ලංකාවේ දිනකට ගබ්සා 800 ක් පමණ සිදු වන බව මෑතදී පළ වූ වාර්තාවක සඳහන්.. මේ සියල්ලෙන් පෙනී යන්නේ ලාංකිකයා සතු ලිංගික නොදැනුවත්කමයි. ආරක්‍ෂාකාරී ලිංගික හැසිරීම් පිළිබඳ කිසිවක් නොදන්නා බවයි. එසේම තවමත් උපත් පාලන ක්‍රම ආදිය ලබා ගැනීමේදී ඇති කුලෑටි බව මේ සඳහා දැඩිව බලපා තිබෙනවා. ඒ වගේම අධික වෙහෙසකර සහ දුවන්නන් වාලේ දුවන ජීවන රටාව හමුවේ ක්‍ෂණික තෘප්තියක් හෝ තරමක සහනයක් හෝ ලබා ගැනීම සඳහා ලිංගික ඇසුරක් කරා ගිය විට ඉන් ඇතිවන ප්‍රතිඵල ගැන නොහිතා සිටීම නිසාම මෙවැනි සැලසුම් නොකරන ලද පිළිසිඳ ගැනීම් ඇති වෙනවා. ඒ වගේම දැන් පාසැල් සිසුන් අතරත් ලිංගිකව සක්‍රීයවීමේ ප්‍රවණතාවය වැඩි නිසා බොහෝ දෙනා නොදැනුවත්වම අමාරුවේ වැටෙනවා. ඇත්තෙන්ම  මෙයින් අමාරුවේ වැටෙන්නේ තරුණියන් පමණයි. තරුණයන් සිය කටයුත්ත කරගෙන බොහෝ විට පැත්තකට වෙනවා. මේ සියල්ලෙන් විඳවන්නේ තරුණියන්. මගේ මිතුරෙකුත් මේ වගේ සිදුවීමකට මුහුණ දුන්නා. ඔහු තමාට වඩා වයසින් බාල උසස් පෙළ හදාරන තරුණියක් සමග පැවතූ සම්බන්ධතාවයකින් අනතුරුව ඇය ගැබ් ගත්තා. අවසානයේ ඔහු ඇයව ගබ්සා මධ්‍යස්ථානයකට රැගෙන ගියා. සිදුවිය හැකි වූ තත්ත්‍වය සළකා බැලූ විට ඒ සඳහා හොඳම පිළිතුර එය වුනා. නමුත් ඔවුන් දෙදෙනාම අවම වශයෙන් ආරක්‍ෂාකාරී ලිංගික හැසිරීමක් ගැනවත් සිතුවා නම් එය එසේ සිදු වන්නේ නැහැ. දැන් දෙදෙනාම වෙනත් දෙදෙනකු හා විවාහකයි. ඔවුන්ගේ සහකරු/සහකාරිය මේ පිළබඳ දන්නවාද කියා මම හිතන්නේ නැහැ. තවත් තරුණියක් සිය පෙම්වතා (පසුව ඔවුන් විවාහ වුනා) නිසාම ගැබ් ගෙන සිදු කළ ගබ්සාවකින් අනතුරුව ඇයට සමාජ රෝගයක් වැළඳී තිබෙනවා. මෙවැනි කතා අනන්තවත් ඇති. මේ දුරදිග නොසිතා හැඟීම්වලට වහල් වී සැලසුම් නොකර සිදු වන ලිංගික සම්බන්ධතාවන අවසාන ප්‍රතිඵලය නීති විරෝධී ගබ්සාවන්. මේ නිසා අනාගතයේ මව් පදවිය ලැබීමට බලා සිටින තරුණියන් එක්කෝ අනතුරට පත් වීම, විවිධ රෝග වැළඳීම, ගබ්සා මධ්‍යස්ථානවලදීම අතවර වලට පත් වීම සහ නැවතත් තම පුරුදු පිළිවෙතටම එළැඹිම ආදිය නිසා අකාලයේ ජීවිත අඳුරට පත් කරගන්නවා.

ලිංගිකත්‍වය කිසි විටෙක සැඟවිය හැකි දෙයක් නොවෙයි. සෑම විටම විරුද්ධ ලිංගිකයන් කෙරෙහි කිසියම් ආකර්ෂණයක් සෑම කෙනා තුළම තිබෙනවා. එය සෑම වයසකම දකින්නට පුළුවනි. විවාහක- අවිවාහක කියා බේදයක් නැහැ. ප්‍රශ්නය වන්නේ එය ප්‍රසිද්ධියේ පිළිගැනීමට අපේ සුද්දවන්තයින් අකමැති වීමයි. සමහරු සමලිංගිකත්‍වයට නැඹුරුයි. එය මෙතෙක් කල් මානසික විකෘතිතාවයක් කියා සිතා සිටියත් දැන් දැන් ඒවාත් පිළිගැනීමට සමාජය පටන් අරන් තිබෙනවා. ලංකාවේ නම් සම ලිංගිකත්‍වය පිළි ගැනීමට තව දශකයක් වත් ගත වේවි. නමුත් සත්‍යය එයයි. එසේම ලිංගිකත්‍වය නිසි ලෙස ඉදිරි පරම්පරාවට කියා දීමට කටයුතු කිරීම මව්පියන්ගේත් වැඩිහිටියන්ගේත් යුතුකමක්. සිය දියණිය පියෙකු නැති දරුවෙක් ගෙදර ගෙන එනවාට හෝ ගබ්සා මධ්‍යස්ථානයකදී විනාශ වනවාට වඩා සුදුසු ආකාරයට දරුවනට ඒ පිළිබඳව සුදුසු අවස්ථාවකදී කියා දීම වැදගත්.

එසේමයි අඹු සැමියන් වශයෙන් සිය අදහස් විවෘතව සාකච්ඡා කිරීමෙන් බොහෝ ප්‍රශ්න මගහරවාගන්නටත් පුළුවනි. සමහර විට ඔබ දෙදෙනාගේම සම්බන්ධතාවය මීට වඩා නැවුම් වෙන්නට පුළුවනි.

වෙන වෙන හෝටල් වලින් කන්න ගොස් අමාරුවේ වැටෙනවාට වඩා ගෙදර හෝටලයේ කෑම විවිධාකාරයෙන් සකසාගෙන කෑම කාගෙත් ඇඟට ගුණයි…

%d bloggers like this: