Daily Archives: සැප්තැම්බර් 29, 2011

2011 සැප්තැම්බර් 29: අපි දුවමූ….. අපි පනිමූ….. නොහොත් රාජ්‍ය සේවකයන්ට ආණ්ඩුව ගානේ ව්‍යායාම කරවීම…..


අපේ ආණ්ඩුවේ ඉන්න උදවිය ඇල්කෙමියාගේ දිනපොත බලනවද මන්දා…..ඔන්න මම කාළයක් තිස්සේ කිය කිය හිටපු තවත් දෙයක් පළ දරන්න හදනවා…… ඒ තමයි රාජ්‍ය සේවකයන්ට ආණ්ඩුව ගානේ ව්‍යායාම කරවීම

ක්‍රමාණුකූලව ව්‍යායාම් කිරීමේ ආදීනව මම දිනපොතේ සඳහන් කළේ එක දිනක් නෙවෙයි.. බොහෝ සටහන්වල ව්‍යායාම කිරීමෙන් ලැබෙන ප්‍රයෝජන, වාසි ආදිය මම සඳහන් කරලා තියෙනවා. මෙම කාරණය ඇත්තෙන්ම පැසසිය යුතු කටයුත්තක්… රාජ්‍ය හෝ පෞද්ගලික අංශයේ සේවකයන් වේවා මේ සියල්ලන්ම දුවන්නේ එකම රටාවකට… උදේ සේවා ස්ථානයට පැමිණෙන ඔවුන් උදේ ආහාරය ලෙස එක්කෝ පාන් පෙති කීපයක් හෝ වෙනත් පහසු “කොට කෑම” ස්වල්පයක් ගිලදමා තමන්ගේ රාජකාරි පටන් ගන්නවා.. බොහෝ දෙනෙක් පුටු උඩ ඉඳගෙන හෝ එකතැන සිටගෙක කරන වැඩ තමයි කෙරෙන්නේ… මේ නිසාම බොහෝ දෙනෙකුගේ ඇඟ වෙහෙසා යමක් කෙරෙනවා අඩුයි… දිවා ආහාරය වුවත් සමබල ආහාරයක් ගැනෙන්නේ නැති තරම්.. පිෂ්ඨය අධික ආහාර වේලකට හිමිකම් කියන ශ්‍රී ලාංකිකයා ඊට අමතරව තෙලෙනුත් බැදිලයි එන්නේ… මේ නිසා ඔවුන්ගේ ආහාර වේල් සහ ආහාර රටා බෙහොමයක් සෞඛ්‍ය සම්පන්න නැහැ… ඒ වගේමයි සවසට ගෙදර බලා යන මේ දෙගොල්ලන්ටම වැඩ රාජකාරි බොහොමයි… බස් එකේ දාඩිය දාගෙන ගියා කියලා ඒක ව්‍යයාමයක් නෙවෙයි… ඉතින් මේ මහන්සිය පිටින්ම නින්දට යන ඔවුන් බොහොමයක් කායික තෙහෙට්ටුවට අමතරව සමහර විට සේවා ස්ථානයේ කාර්ය බහුලතාවය නිසා මානසිකවත් තෙහෙට්ටු වෙලයි ඉන්නේ….  සති අන්තයත් බොහෝ විට අතිකාල වැඩ හෝ දරුවන්ගේ වැඩ… මේ නිසා බොහෝ දෙනෙකුට ව්‍යායාමයක් නොකෙරෙන තරම්.. මේ නිසාම අවුරුදු 30 පණින විට බොහෝ දෙනාගේ “ටයර් – එසේත් නැත්නම් Love handle”  එන්න පටන් ගන්නවා.. ඒ පිටතට පෙනෙන දේ.. නමුත් ඇඟ ඇතුලේ අධික රුධිර පීඩනය, දියවැඩියාව ආදී රෝග ලක්‍ෂණ ගිණි කන්දක් වගේ පැසවනවා… එක්කෝ හදිසි හෘදයාබාධයක් හෝ දැඩි දියවැඩියා ලක්‍ෂණ මතු වීම වැනි බොහෝ කල් ගියපසු එහි ආදීනව කෙනෙකුට දැනෙනවා… ඉන් පසුවයි නිසි ලෙස ව්‍යායාම කරන්නට මතක් වෙන්නේ…

මෙයට හොඳම උදාහරණය මගේ ඥාති බාප්පා කෙනෙක්.. ඔහු මහ බැංකුවේ උසස් නිලධාරියෙක්. තරුණ කාළයේ හොඳට මස් මාළු කෑ… ඉඳහිට මඳපමණට ගත් බොහොම සැහැල්ලු විනෝදකාමී පුද්ගලයෙක් වුන ඔහු බොහෝ දුම් පානය කළ තැනැත්තෙක්.. ඔහුව දුම් පානයෙන් මුදවා ගන්නට මා කෙතරම් උත්සාහ කළත්, එය ගඟට කැපූ ඉණි වුනා… මීට වසර තුනකට පමණ පෙර ඔහුට හදිසි හෘදයාබාධයක් වැළඳී බයිපාස් සැත්කම් 4 ක් එකවර කිරීමට සිදු වුවා… මේ සියල්ලට අනතුරුව දැන් ඔහු දිනපතා සැතපුම් කිහිපයක් ඇවිදීම, නිවසේ ව්‍යායාම් කිරීමේ යන්ත්‍රයක් තබාගෙන ව්‍යායාම කිරීම ආදි සියල්ල කරන අතර දුම් පානය සහ මත්පැන් පානය නතරකර තිබෙනවා.. මේ සිද්ධිය බොහෝ දෙනෙකුට පොදු කාරණයක්…

දැන් මේ කරන්න යන රාජ්‍ය සේවකයන්ට ව්‍යායාම කරවීම අගය කළ යුතු කටයුත්තක් වුනත් කොයිතරම් ප්‍රායෝගික ද යන්න විමසා බැලිය යුතු වෙනවා. මුලින් පැය 2 ක් ව්‍යායාම කරවන්නයි බලාපොරොත්තුව… මේ පැය දෙක කෙසේ යොදා ගැනීමට අදහස් කරනවා දැයි අප තවම නොදන්නා නමුත්, ව්‍යායාම නොකළ කෙනෙකු හදිසියේම පැය දෙකක් එකවර මහන්සි කරවීම ප්‍රවේශමෙන් කළ යුත්තක් වෙනවා. ඒ වගේම අදාල ආයතනවල ඵලදායීතාවයට හානි නොවන පරිදි මෙය සිදු කළ හැකිනම් හරිම අගෙයි… අපේ රාජ්‍ය ආයතන බොහොමයක් තැන තැන විසිරිලයි තිබෙන්නේ.. මේ ආයතනවලට පොදු ව්‍යායාම ශාලාවක් වැනි දෙයක් ස්ථාපිත කළ හැකි නම් සහ ඒ ස්ථානවලට යාමට සේවකයන් උනන්දු කිරීමේ වැඩපිළිවෙලක් සම්පාදනය කළ හැකිනම් තවත් අගෙයි….

මේ සියල්ලටම වඩා රාජ්‍ය සේවකයන්ගේ ආකල්පමය වර්ධනයක් ඇති කර, ඔවුන් සමබල සහ පෝෂ්‍යදායී ආහාර රටාවකට හුරු කරවීම, සිය සිරුරු පිළිබඳව මීට වඩා සැලකිල්ලක් දැකවීමට උනන්දු කරවීම, යහපත් සෞඛ්‍ය පුරුදු හුරු කරවීම වැනි දේ මගින් බොහෝ දේ මගහරවා ගන්නට පුළුවනි..

මේ ඇසූ මගේ මිතුරෙක් මෙහෙමත් කිවුවා..

“ලංකාවෙ රාජ්‍ය සේවකයන්ට අමුතුවෙන් ව්‍යායාම කරන්න ඕන නෑ.. ලොක්කා එනකොට පනින්න දන්නවා… වැඩ ඇරෙන්න ලංවෙන කොටම දුවන්න දන්නවා… වැඩ වලින් ලිස්සන්න දන්නවා.. පවුල්-බර උස්සන්න පුළුවන් නිසා බර එසවීම දන්නවා.. මේ නිසා ලංකාවෙ රජයේ සේවකයා කියන්නේ මේ හැම ව්‍යායාමයක්ම කන්තෝරුව ඇතුලෙම කරන කෙනෙක්.. අමුතුවෙන් ව්‍යායාම කරවන්න ඕන නෑ…”

ඒ ගැන හිතන්න ඔබට බාරයි…

%d bloggers like this: